ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
බෙහෙවින් විපාකදායී බැහැදැකීමක්
ෂෙබාහි සිට යෙරුසලමට ගමන් කිරීම බිසවට අතිශයින් වෙහෙසකර කටයුත්තක් වෙන්න ඇති. ඇය පුරුදුව සිටියේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමටයි. දැන්, ඇය ඔටුවෙකුගේ වේගයෙන් කිලෝමීටර් 2,400ක ගමනක් යමින් සිටි අතර, වැඩිහරියක් ගමන් කරන්න සිදු වුණේ කාන්තාරයේ අව් කාස්ටකයෙයි. එක් අධ්‍යයනයකට අනුව, එක දිශාවකට පමණක් යමින් ඇයගේ ගමන සම්පූර්ණ කිරීමට දින 75ක් පමණ ගත වෙන්න ඇති!a
මේ ධනවත් බිසව ෂෙබාහි ඇගේ සැප පහසු නිවස අත්හැර එවැනි දුෂ්කර ගමනක් ඇරඹුවේ මන්ද?
කුතුහලය දනවන වාර්තාවක්
“[යෙහෝවාගේ] නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා” ෂෙබාහි බිසව යෙරුසලමට පැමිණියා. (1 රාජාවලිය 10:1) බිසවට අහන්න ලැබුණේ හරියටම කුමක්ද කියා ප්‍රකාශ කර නැහැ. කෙසේවුවත්, යෙහෝවා විශිෂ්ට ප්‍රඥාව, ධනසම්පත් හා ගෞරවය මගින් සාලමොන්ට ආශීර්වාද කළා. (2 ලේකම් 1:11, 12) බිසවට මේ ගැන දැනගන්න ලැබුණේ කොහොමද? ෂෙබා වෙළඳ මධ්‍යස්ථානයක් වූ බැවින්, ඇගේ දේශයට ආව ගිය වෙළෙඳුන් මගින් ඇයට සාලමොන්ගේ කීර්තිය ගැන අහන්න ලැබුණා විය හැකියි. මොවුන්ගෙන් සමහරෙක් ඕපීර්ට ගොස් තිබිය හැකියි; එය සාලමොන් විසින් සෑහෙන දුරකට ව්‍යාපාරික කටයුතුවල යෙදුණු දේශයක්.—1 රාජාවලිය 9:26-28.
කෙසේනමුත්, බිසව යෙරුසලමට පැමිණියේ, ‘ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියක්ද අනර්ඝ ගල් හා පටවන ලද ඔටුවන්ද ඇතුවයි.’ (1 රාජාවලිය 10:2අ) ‘ඉතා මහත් පිරිවරට’ සන්නද්ධ භට කණ්ඩායමක් ඇතුළත් වූ බව සමහරු පවසනවා. බිසව ගෞරවය ලත් බලවත් කෙනෙකුව සිටි බවත්, ඩොලර් මිලියන ගණනක් වටිනා භාණ්ඩ රැගෙන ගමන් කරමින් සිටි බවත් සැලකිල්ලට ගැනීමෙන් මෙය මන්ද කියා තේරුම්ගත හැකියි.b
කෙසේවෙතත්, සාලමොන්ගේ කීර්තිය ගැන බිසව අසා තිබුණේ ‘යෙහෝවාගේ නාමයේ හේතුවෙන්’ බව සැලකිල්ලට ගන්න. ඒ නිසා මෙය නිකම්ම ව්‍යාපාරික ගමනක් පමණක් නොවෙයි. පැහැදිලිවම, බිසවගේ පරමාර්ථය වුණේ සාලමොන්ගේ ඥානය ගැනත්, සමහරවිට ඔහුගේ දෙවි වූ යෙහෝවා ගැනත් යමක් ඉගෙනීම විය හැකියි. ඇය යෙහෝවාගේ නමස්කාරකයන් වන ෂෙම් හෝ හාම්ගෙන් පැවතෙන්න ඇති බැවින්, ඇය ඇගේ මුතුන්මිත්තන්ගේ ආගම ගැන කුතුහලයෙන් සිටියා විය හැකියි.
අසීරු ප්‍රශ්න, සෑහීම ගෙන දෙන උත්තර
සාලමොන්ව මුණගැසුණු බිසව “අසීරු ප්‍රශ්නවලින්” ඔහුව පරීක්ෂා කරන්න පටන්ගත්තා. (1 රාජාවලිය 10:1, NW) මෙහි භාවිත කර ඇති හෙබ්‍රෙව් වචනය “තේරවිලි” වශයෙන් පරිවර්තනය කළ හැකියි. නමුත් බිසව සාලමොන් සමඟ වැදගැම්මකට නැති සුළු සුළු දේවල් ගැන කතා කළ බවක් මින් අදහස් වන්නේ නැහැ. පාපය, මරණය හා මිදීම සම්බන්ධ බැරෑරුම් ප්‍රශ්න විස්තර කිරීමට ගීතාවලිය 49:4, [NW] යොදාගන්නේ එම හෙබ්‍රෙව් වචනයම වීම උනන්දුවට කරුණකි. එසේනම්, ෂෙබාහි බිසව සාලමොන්ගේ ප්‍රඥාවේ ගැඹුරත්වය පරීක්ෂා කර බැලීමට ඔහු සමඟ ගැඹුරු විෂයන් සාකච්ඡා කරමින් සිටියා විය හැකියි. ඇය “ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළ” බව බයිබලයේ පවසයි. ප්‍රතිඵලයක් වශයෙන්, සාලමොන් “ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කීය. රජ විසින් ඈට තෝරාදෙන්ට නොහැකිවූ යම් ප්‍රශ්නයක් නොවීය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත.”—1 රාජාවලිය 10:2ආ, 3.
සාලමොන්ගේ ප්‍රඥාව හා ඔහුගේ රාජ්‍යයේ සමෘද්ධිය ෂෙබාහි බිසවගේ සිතට මොනතරම් කාවැදුණාද කිවහොත්, “ඈ අතිශයින් මවිත” වුණා. (1 රාජාවලිය 10:4, 5) බිසවගේ “හුස්ම හිර වුණා” යන්න අදහස් කිරීමට සමහරු මේ වදන් යොදාගන්නවා. ඇය ඇත්තෙන්ම ක්ලාන්ත වුණා කියාත් එක් ප්‍රවීණයෙක් පවසනවා! කාරණය කුමක් වුවත්, බිසව තමා ඇසූ දුටු දෙයින් පුදුමයට පත් වුණා. මේ රජගේ ප්‍රඥාව ඇසීමට හැකිවීම නිසා සාලමොන්ගේ සේවකයන්ට සතුට පළ කළ ඇය සාලමොන්ව සිංහාසනාරූඪ කිරීම සම්බන්ධයෙන් යෙහෝවාට ප්‍රශංසා කළා. එවිට ඇය රජට මිල අධික ත්‍යාග දුන්නා; රත්තරන් පමණක් ගත් කල ඒවායේ නවීන දින වටිනාකම රු. 240,00,00,000ක් වුණා. “ඇගේ කැමැත්තේ හැටියට ඈ ඉල්ලූ සියල්ලත් ඈට” දෙමින් සාලමොන්ද ත්‍යාග පිරිනැමුවා.c—1 රාජාවලිය 10:6-13.
අපට පාඩමක්
ලියන්නන් හා ඵරිසිවරුන් සඳහා ආදර්ශ පාඩමක් හැටියට යේසු ෂෙබාහි බිසවව යොදාගත්තා. “දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි” කියා ඔහු ඔවුන්ට පැවසුවා. (මතෙව් 12:42) ඔව්, ෂෙබාහි බිසව දෙවි-දුන් ප්‍රඥාව සඳහා ඉමහත් අගයක් පෙන්නුවා. ඇය සාලමොන්ට සවන් දීමට කිලෝමීටර් 2,400ක දුරක් ගමන් කළා නම්, ලියන්නන් හා ඵරිසිවරුන්, තමන් ඉදිරියෙහි සිටි යේසුට ඊටත් වඩා ඕනෑකමින් සවන් දිය යුතුව තිබුණේ නැද්ද?
අදදින අපට උතුම් සාලමොන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ගැඹුරු අගයක් පෙන්විය හැකියි. කෙසේද? එක් මාර්ගයක් නම්, “සියලු ජාතීන් ගෝලයන් කරන්න” කියා ඔහු දුන් අණ පිළිපැදීමෙනුයි. (මතෙව් 28:19) තවත් මාර්ගයක් නම්, යේසුගේ ආදර්ශය හා ඔහුගේ මානසික ආකල්පය කිට්ටුවෙන් සලකා බලා, ඉන්පසු මේවා අනුගමනය කිරීමත්ය.—පිලිප්පි 2:5; හෙබ්‍රෙව් 12:2, 3.
ඇත්තයි, උතුම් සාලමොන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට අපේ පැත්තෙන් වෑයමක් දැරීම අවශ්‍යයි. එහෙත්, අප බෙහෙවින් විපාක ලබන්න යනවා. ඇත්තවශයෙන්ම, තම සෙනඟ ආත්ම-පරිත්‍යාගී ස්වභාවයක් පෙන්වනවා නම්, ‘අහසේ කවුළු ඇර ඉඩම් මදි වෙන තරම් ඔවුන්ට ආශීර්වාදයක් වගුරුවා දෙන’ බව යෙහෝවා ඔවුන්ට පොරොන්දු වෙනවා.—මලාකී 3:10.
[පාදසටහන්වල]
a ෂෙබා පිහිටා තිබුණේ නිරිතදිග අරාබියේ බව බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන අතර, අද එය යේමන් ජනරජයයි.
b පුරාණ ග්‍රීක් භූගෝල ශාස්ත්‍රඥ ස්ට්‍රැබෝ පවසන ආකාරයට, ෂෙබාහි ජනයා අතිශයින් ධනවත් අය වුණා. ඔවුන් තමන්ගේ ගෘහ භාණ්ඩවලට හා භාජනවලට මෙන්ම තම නිවෙස්වල බිත්තිවලට, දොරවල්වලට හා වහලවලට රත්රන් බහුල ලෙස යොදාගත් බව ඔහු පවසනවා.
c බිසව, සාලමොන් සමඟ ලිංගික සබඳකම් පැවැත්වූ බව දැක්වීමට සමහරු මේ වදන් යොදාගන්නවා. ඔවුන්ට පුතෙකු පවා සිටි බවට ප්‍රබන්ධ කතාවල පැවසෙනවා. කෙසේවුවත්, මේ සම්බන්ධ කිසිවකට අනුබල දෙන සාක්ෂි නැහැ.