ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 මැයි 8-14 පි.
  • දෙවියන්ගේ සතුරන් ගැන එළිදරව්වක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ සතුරන් ගැන එළිදරව්වක්!
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘සංකේතවලින්’ අදහස් කරන දෙවියන්ගේ සතුරන්
  • සතුරන් කවුද කියලා හෙළි වෙයි!
  • මහා ගණිකාවට නින්දිත අවසානයක්!
  • මහා මකරාට විනිශ්චයක්!
  • රෞද්‍ර මෘගයන් දෙදෙනෙක්
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් හිස් හතක් ඇති මෘගයා කවුද?
    බයිබලයෙන් උත්තර
  • ඉතා ළඟදී සිදු වන දේවල් දෙවි හෙළි කරයි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 මැයි 8-14 පි.

පාඩම් ලිපිය 20

දෙවියන්ගේ සතුරන් ගැන එළිදරව්වක්!

“ඔවුහු, හෙබ්‍රෙව් බසින් හඳුන්වනු ලබන හර්–මගෙදොන් නමැති ස්ථානයට රැස් වූහ.”—එළි. 16:16.

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

මේ ලිපියෙන්a

1. දෙවියන්ගේ සෙනඟ ගැන එළිදරව් පොතේ කියලා තියෙන්නේ මොනවාද?

දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවනවාත් එක්කම සාතන්ව ස්වර්ගයෙන් මේ පොළොවට හෙළුවා කියලා එළිදරව් පොතේ කියනවා. (එළි. 12:1-9) ඊටපස්සේ ස්වර්ගයට උදා වුණේ හරිම ප්‍රීතිමත් කාලයක්. හැබැයි අපිට නම් ඒක අඳුරු කාලයක ආරම්භයක්. මොකද පොළොවේ ඉන්න දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් එක්ක කේන්තියෙන් ඉන්න සාතන් එදා ඉඳන් එයාලට දිගටම පීඩා කරනවා.—එළි. 12:12, 15, 17.

2. දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

2 සාතන් එක පිට එක ප්‍රහාර එල්ල කරද්දී දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් කොහොමද? (එළි. 13:10) ඒකට අනාගතේදී වෙන්නේ මොනවාද කියලා දැනගෙන ඉන්න එක අපිට උදව් වෙනවා. උදාහරණෙකට ළඟදීම අපිට ලැබෙන්න යන සමහර ආශීර්වාද ගැන යොහන් කියලා තියෙනවා. ඒ වගේම දෙවියන්ගේ සතුරන්ගේ විනාශය ගැනත් එයා කියලා තියෙනවා. ඒක දැනගෙන ඉන්න එක අපිට ලොකු සහනයක්! දෙවියන්ගේ සතුරන් ගැන එළිදරව් පොතේ කියලා තියෙන්නේ මොනවාද? ඒ සතුරන්ට ළඟදීම වෙන්නේ මොනවාද? අපි බලමු.

‘සංකේතවලින්’ අදහස් කරන දෙවියන්ගේ සතුරන්

දානියෙල් සහ එළිදරව් පොත්වල කතා කරන මෘගයන්ට මකරා බලය ලබා දෙන විදිහ පෙන්නලා තියෙන රූප සටහනක්. දානියලේ 7වෙනි පරිච්ඡේදයේ සඳහන් විශාල මෘගයන් හතරදෙනා මහජනයා කියන මුහුදෙන් මතු වෙනවා. ඒ මෘගයන්ට පස්සේ හිස් හතක් තියෙන තවත් මෘගයෙක් ඒ මුහුදෙන්ම මතු වෙනවා. හිස් හතක් තියෙන මෘගයාගේ හත්වෙනි හිස අං දෙකක් තියෙන තවත් මෘගයෙක් විදිහටත් පෙන්නලා තියෙනවා. ඊළඟට පෙන්නලා තියෙන්නේ රතු පාට මෘගයෙක්ව. උගේ පිට උඩ ගණිකාවක් වාඩි වෙලා ඉන්නවා. මකරාව, අං දෙකක් තියෙන මෘගයාව සහ රතු පාට මෘගයාව අන්තිමේදී ගිනිවිලට හෙළනවා. මේ දර්ශනයේ පෙන්නලා මෘගයන් ගැන 4, 6, 9, 10 සහ 19 ඡේදවල කතා කරනවා.

3. එළිදරව් පොතේ පාවිච්චි කරලා තියෙන සමහර සංකේත මොනවාද?

3 එළිදරව් පොත පටන්ගද්දීම කියනවා ඒ පොත ලියලා තියෙන්නේ “සංකේත යොදාගෙන” කියලා. (එළි. 1:1) දෙවියන්ගේ සතුරන්ව විස්තර කරන්න ඒ පොතේ මෘගයන් කීපදෙනෙක්ව පාවිච්චි කරලා තියෙනවා. උදාහරණෙකට ‘මුහුදෙන් මතු වෙන මෘගයෙක්’ ගැන ඒකේ කියනවා. ඌට ‘අං දහයක් සහ හිස් හතක්’ තියෙනවා. (එළි. 13:1) ඒ මෘගයාට පස්සේ ‘පොළොවෙන් තවත් මෘගයෙක් මතු වෙනවා.’ මකරෙක් වගේ කතා කරන ඌ “අහසෙන් පොළොවට ගිනි බස්සන” තරමට මහත් ලකුණු සිදු කරනවා. (එළි. 13:11-13) ඊටපස්සේ කතා කරන්නේ වෙනස්ම විදිහේ මෘර්ගයෙක් ගැන. ඌ ‘තද රතු පාටයි.’ උගේ පිට උඩ ගණිකාවක් වාඩි වෙලා ඉන්නවා. යෙහෝවා දෙවියන්ටත් දේවරාජ්‍යයටත් සියවස් ගාණක් තිස්සේ සතුරුකම් කරන අයව ඒ මෘගයන් තුන්දෙනාගෙන් නියෝජනය වෙනවා. ඒ නිසයි ඒ සතුරන් කවුද කියලා අපි දැනගන්නම ඕනේ.—එළි. 17:1, 3.

දානියෙල් 7වෙනි පරිච්ඡේදයේ සඳහන් මහජනයා කියන මුහුදෙන් මතු වෙන විශාල මෘගයන් හතරදෙනා. සිංහයෙක්ගේ පෙනුම තියෙන පළවෙනි මෘගයාට රාජාලියෙක්ගේ වගේ පියාපත් තියෙනවා. වලහෙක්ගේ පෙනුම තියෙන දෙවෙනි මෘගයාගේ දත් අතරේ ඉළ ඇට තුනක් තියෙනවා. දිවියෙක්ගේ පෙනුම තියෙන තුන්වෙනි මෘගයාට හිස් හතරක් සහ පියාපත් හතරක් තියෙනවා. අසාමාන්‍ය ශක්තියක් තියෙන හතරවෙනි මෘගයාට අං දහයක් සහ යකඩ දත් තියෙනවා.

විශාල මෘගයන් හතරදෙනා

ඒ මෘගයන් “මුහුදෙන් උඩට මතු වුණා.” (දානි. 7:1-8, 15-17) දානියෙල්ගේ කාලේ ඉඳලා පාලනය කරපු, දෙවියන්ගේ සෙනඟට යම් විදිහකින් බලපෑම් කරලා තියෙන ලෝක බලවතුන්ව ඒ මෘගයන්ගෙන් නියෝජනය වෙනවා. (4, 7 ඡේද බලන්න)

4-5. මේ සංකේතවලින් අදහස් කරන දේ තේරුම්ගන්න දානියෙල් 7:15-17 අපිට උදව් වෙන්නේ කොහොමද?

4 දෙවියන්ගේ සතුරන් කවුද කියලා අඳුරගන්න ඉස්සෙල්ලා එළිදරව් පොතේ තියෙන ඒ සංකේතවලින් අදහස් කරන දේ අපි තේරුම්ගන්න ඕනේ. ඒකට බයිබලේ අනිත් පොත්වල තියෙන තොරතුරු අපිට උදව් වෙනවා. උදාහරණෙකට දානියෙල් සිහිනයකින් දැක්කා “විශාල මෘගයන් හතරදෙනෙක් මුහුදෙන් උඩට මතු වෙනවා.” (දානි. 7:1-3) උන්ගෙන් නියෝජනය වෙන්නේ “රජවරුන්” නැත්නම් ආණ්ඩු හතරක් කියලා දානියෙල් වාර්තා කරලා තියෙනවා. (දානියෙල් 7:15-17 කියවන්න.) එහෙම බලද්දී එළිදරව් පොතේ කියලා තියෙන මෘගයන්ගෙනුත් නියෝජනය වෙන්න ඕනෙ ආණ්ඩු කියලා හොඳටම පැහැදිලියි.

5 දැන් අපි එළිදරව් පොතේ තියෙන සංකේත කීපයක් ගැන බලමු. ඒවාවලින් අදහස් කරන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න බයිබලේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා. අපි මේ ලිපියෙන් මෘගයන් හතරදෙනෙක් ගැන බලනවා. මුලින්ම අපි බලමු උන්ගෙන් නියෝජනය වෙන්නේ කාවද කියලා. ඒ මෘගයන්ට සිද්ධ වෙන්නේ මොනවාද කියලත් ඒ සිද්ධීන් අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියලත් ඊටපස්සේ අපි බලමු.

සතුරන් කවුද කියලා හෙළි වෙයි!

මහජනයා කියන මුහුදෙන් මතු වෙන එළිදරව් පොතේ සඳහන් හිස් හතක් තියෙන මෘගයා. දිවියෙක්ගේ පෙනුම තියෙන ඌට අං දහයක් සහ ඔටුනු දහයක් තියෙනවා. උගේ කකුල් වලහෙක්ගේ වගේ. කට සිංහයෙක්ගේ වගේ.

හිස් හතක් ඇති මෘගයා

“මුහුදෙන් මතු වන” ඌට හිස් හතක්ද අං දහයක්ද ඒ මත ඔටුනු දහයක්ද තියෙනවා. (එළි. 13:1-4) ඒ මෘගයාගෙන් ඉතිහාසය පුරාම මිනිස්සුන්ව පාලනය කරපු ආණ්ඩු නියෝජනය වෙනවා. හිස් හතෙන් දෙවියන්ගේ සෙනඟට යම් විදිහකින් බලපෑම් කරලා තියෙන ලෝක බලයන් හතක් නියෝජනය වෙනවා. (6-8 ඡේද බලන්න)

6. එළිදරව් 13:1-4 සඳහන් හිස් හතක් තියෙන මෘගයාගෙන් නියෝජනය වෙන්නේ මොකක්ද?

6 හිස් හතක් තියෙන මෘගයා කවුද? (එළිදරව් 13:1-4 කියවන්න.) ඒ දර්ශනයේ විස්තර කරලා තියෙන මෘගයාට තියෙන්නේ දිවියෙක්ගේ පෙනුමක්. හැබැයි උගේ කකුල් වලහෙක්ගේ වගේ. කට සිංහයෙක්ගේ වගේ. ඌට අං දහයකුත් තියෙනවා. ඒ ලක්ෂණමයි දානියෙල් හත්වෙනි පරිච්ඡේදයේ විස්තර කරන මෘගයන් හතරදෙනාටත් තියෙන්නේ. හැබැයි එළිදරව් පොතේ කියන මේ මෘගයාගේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි දානියෙල් පොතේ විස්තර කරන මෘගයන් හතරදෙනාටම තිබුණ හැම ලක්ෂණයක්ම මේ මෘගයාටත් තියෙන එක. ඒකෙන් පැහැදිලි වෙනවා එළිදරව් පොතේ කතා කරන මෘගයාගෙන් නියෝජනය වෙන්නේ එක ආණ්ඩුවක් නැත්නම් එක ලෝක බලයක් නෙවෙයි කියලා. ඊට අමතරව එළිදරව් පොතේ කියනවා “සියලු ගෝත්‍රයන්ද ජනයන්ද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි අධිකාරියත් ඌට දෙනවා” කියලා. එහෙමනම් මේ මෘගයාට තනි ආණ්ඩුවකට තියෙන බලයට වඩා වැඩි බලයක් තියෙන්න ඕනේ. (එළි. 13:7) ඒකෙන් තේරෙන්නේ එළිදරව් පොතේ කියන මෘගයාගෙන් අද වෙන කල් මිනිස්සුන්ව පාලනය කරපු හැම ආණ්ඩුවක්ම නියෝජනය වෙනවා කියලා.b—දේශ. 8:9.

7. හිස් හතක් තියෙන මෘගයාගේ එක් එක් හිසෙන් නියෝජනය වෙන්නේ මොකක්ද?

7 මෘගයාගේ එක් එක් හිසෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයා ගැන තේරුම්ගන්න එළිදරව් 17වෙනි පරිච්ඡේදය අපිට උදව් වෙනවා. එළිදරව් 17:10 මෙහෙම කියනවා. “රජවරුන් හත්දෙනෙකුද එයින් නියෝජනය වේ. පස්දෙනෙක් වැටී ගොස් ඇත. එක් කෙනෙක් දැන් සිටියි. අනික් තැනැත්තා තවමත් පැමිණ නැත. ඔහු පැමිණි විට ඔහු පවතින්නේ කෙටි කලකට පමණි.” ඉතිහාසය පුරාම හුඟක් ආණ්ඩු මේ ලෝකය පාලනය කරලා තියෙනවා. හැබැයි ඒ අතරින් හතක් විශේෂයි. “හිස්” විදිහට හඳුන්වලා තියෙන ඒ ලෝක බලයන් පාලනය කරපු ප්‍රදේශවල දෙවියන්ගේ සෙනඟ ජීවත් වෙලා තියෙනවා. නැත්නම් එයාලා දෙවියන්ගේ සෙනඟට පීඩා කරලා තියෙනවා. යොහන්ගේ කාලේ වෙද්දී ඒ ලෝක බලයන් පහක්ම බිඳ වැටිලයි තිබුණේ. ඒවා තමයි ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේද පර්සියාව සහ ග්‍රීසිය. යොහන්ට එළිදරව්ව ලැබෙද්දී පාලනය කරමින් හිටියේ හයවෙනි ලෝක බලය. ඒ තමයි රෝමය. එතකොට හත්වෙනි හිස නැත්නම් හත්වෙනි ලෝක බලය කවුද?

8. හත්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ කාවද?

8 මෘගයාගේ හත්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ කාවද කියලා තේරුම්ගන්න දානියෙල් පොතේ තියෙන අනාවැකි අපිට උදව් වෙනවා. මුලින්ම අපි තේරුම්ගමු “ස්වාමීන්ගේ දවසේ” ඒ කියන්නේ අපි ජීවත් වෙන මේ අවසාන කාලයේ ඉන්න ලෝක බලය කවුද කියලා. (එළි. 1:10) ඒ තමයි එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය එකතු වෙලා හැදිලා තියෙන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය. ඒ විදිහට බලද්දී එළිදරව් 13:1-4 විස්තර කරලා තියෙන මෘගයාගේ හත්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය කියලා කියන්න පුළුවන්.

බැටළු පැටියෙක්ගේ වගේ අං දෙකක් තියෙන එළිදරව් පොතේ සඳහන් මෘගයා. ඌ මතු වෙන්නේ හිස් හතක් ඇති මෘගයාගේ හත්වෙනි හිසෙන්. අන්තිමේදී ඌව ගිනිවිලට හෙළනවා.

බැටළු පැටවෙකුගේ අං දෙකක් හා සමාන අං තියෙන මෘගයා

‘ඌ මතු වෙන්නේ පොළොවෙන්. ඌ මකරෙක් වගේ කතා කරන්න පටන්ගත්තා.’ ඒ වගේම ‘ඌ අහසින් පොළොවට ගිනි බස්සනවා.’ ඌව ‘බොරු අනාගතවක්තෘවරයා’ විදිහටත් හඳුන්වනවා. (එළි. 13:11-15; 16:13; 19:20) අං දෙකක් තියෙන මෘගයාගෙන් සහ බොරු අනාගතවක්තෘවරයාගෙන් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය නියෝජනය වෙනවා. ඒ ලෝක බලය පොළොවේ ඉන්න අයව නොමඟ යවලා හිස් හතක් සහ අං දහයක් තියෙන “මෘගයාගේ රූපයක් හදන්න” කියලා එයාලට කියනවා. (9 ඡේදය බලන්න)

9. “බැටළු පැටවෙකුගේ අං දෙකක් හා සමාන අං” තිබුණ මෘගයාගෙන් නියෝජනය වෙන්නේ කාවද?

9 එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ කියනවා මෘගයාගේ හත්වෙනි හිස ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය ‘බැටළු පැටවෙක්ගේ අං දෙකක් හා සමාන අං තියෙන, මකරෙකු වගේ කතා කරන’ තවත් මෘගයෙක් විදිහටත් පෙනී ඉන්නවා කියලා. එළිදරව් 16වෙනි සහ 19වෙනි පරිච්ඡේදවල මේ මෘගයාව “බොරු අනාගතවක්තෘවරයා” විදිහටත් හඳුන්වලා තියෙනවා. (එළි. 16:13; 19:20) ඒ වගේම ඒ මෘගයා “මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්සන තරමටම මහත් ලකුණු සිදු කරනවා” කියලත් ඒකේ කියනවා. (එළි. 13:11-15) දානියෙලුත් කිව්වා ඒ මෘගයා ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය “මහත් විනාශයක්” කරනවා කියලා. (දානි. 8:19, 23, 24) ඒ අනාවැකිවල කියපු දේ දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේදී ඒ විදිහටම ඉටු වුණා. බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ විද්‍යාඥයන් එකතු වෙලා පරමාණු බෝම්බ හැදුවා. දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් වෙන්න ගොඩක්ම හේතු වුණේ ඒ බොම්බවලින් ජපානයට එල්ල කරපු ප්‍රහාරයයි. බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඒ විදිහට සහයෝගයෙන් වැඩ කරපු නිසා බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය “අහසින් පොළොවට ගිනි බැස්සුවා” කියලා කියන්න පුළුවන්.

හිස් හතක් සහ අං දහයක් තියෙන රතු පාට මෘගයාගේ පිට උඩ ගණිකාවක් වාඩි වෙලා ඉන්නවා. අන්තිමේදී ඒ දෙන්නාවම ගිනිවිලට හෙළනවා.

රතු පාට මෘගයා

මහ බැබිලෝනිය කියන ගණිකාව ඒ මෘගයාගේ පිට උඩ නැඟලා ඉන්නවා. ඒ මෘගයාව අටවෙනි රජ කියලත් හඳුන්වනවා. (එළි. 17:3-6, 8, 11) මුලින්ම ගණිකාව ඒ මෘගයාව පාලනය කරනවා. හැබැයි පස්සේ ඌ ගණිකාව විනාශ කරනවා. ගණිකාවගෙන් නියෝජනය වෙන්නේ මේ ලෝකේ තියෙන සියලුම බොරු ආගම්. මෘගයාගෙන් නියෝජනය වෙන්නේ දේශපාලනයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය. (10, 14-17 ඡේද බලන්න)

10. “මෘගයාගේ රූපෙන්” නියෝජනය කරන්නේ කාවද? (එළිදරව් 13:14, 15; 17:3, 8, 11)

10 ඊළඟට එළිදරව් පොතේ තවත් මෘගයෙක් ගැන හෙළි කරනවා. මේ මෘගයාට තියෙන්නෙත් හිස් හතක් තිබුණ මෘගයාට තිබුණා වගේම පෙනුමක්. හැබැයි මේ අලුත් මෘගයා තද රතු පාටයි. ඒ අනාවැකියේ ඌව “මෘගයාගේ රූපය” කියලත් ‘අටවෙනි රජ’ කියලත් හඳුන්වලා තියෙනවා.c (එළිදරව් 13:14, 15; 17:3, 8, 11 කියවන්න.) ඒ “රජ” කලින් හිටියා කියලත් ටික කාලෙකට නැති වෙනවා කියලත් ඊටපස්සේ ආයෙත් නැඟී ඉන්නවා කියලත් එළිදරව් පොතේ කියනවා. ඒ කියපු හැම දෙයක්ම දේශපාලනයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට හොඳටම ගැළපෙනවා. ඒ කොහොමද? මුලින්ම ඒක ජාතීන්ගේ සංගමය විදිහට පෙනී හිටියා. ඊටපස්සේ දෙවෙනි ලෝක මහා යුද්ධය අතරතුරේදී නැති වෙලා ගියා. කාලෙකට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විදිහට ආයෙත් නැඟී හිටියා.

11. මෘගයන් කරන්නේ මොනවාද? අපි එයාලට බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

11 දේශපාලනයට සම්බන්ධ මේ මෘගයන් බොරු පතුරුවලා යෙහෝවාටත් ඔහුගේ සෙනඟටත් විරුද්ධ වෙන්න මිනිස්සුන්ව උසිගන්වනවා. මේ මෘගයන් “දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධයට” නැත්නම් හර්–මගෙදොන් යුද්ධයට “ලොව පුරාම සිටින රජුන්ව” රැස් කරනවා. (එළි. 16:13, 14, 16) හැබැයි අපිට ඒ ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද අපේ සියලු බලැති යෙහෝවා දෙවියන් අපිත් එක්ක ඉන්නවා. ඔහුගේ පාලනයට යටත් වෙන අයව ගලවාගන්න ඔහු ඉක්මනින්ම පියවර ගන්නවා.—එස. 38:21-23.

12. හැම මෘගයෙක්ටම ඉස්සරහට වෙන්නේ මොකක්ද?

12 මෘගයන්ට ඉස්සරහට වෙන්නේ මොකක්ද? එළිදරව් 19:20 ඒ ගැන මෙහෙම කියනවා. “එවිට මෘගයාවද ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින් මෘගයාගේ සලකුණ ලැබූ අයව හා උගේ රූපයට නමස්කාර කරන අයව නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.” ඒ කියන්නේ මේ බලවතුන් බලයේ වැජඹෙමින් ඉද්දීම යෙහෝවා එයාලව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියන එකයි.

13. මේ ලෝකේ තියෙන ආණ්ඩු නිසා ක්‍රිස්තියානීන්ට මුහුණ දෙන්න වෙලා තියෙන අභියෝගය මොකක්ද?

13 අපිට බලපාන්නේ කොහොමද? ක්‍රිස්තියානීන් විදිහට අපි දෙවියන්ටත් ඔහුගේ රාජ්‍යයටත් හැම තිස්සේම ළැදි වෙන්න ඕනේ. (යොහ. 18:36) ඒ නිසයි අපි දේශපාලන කාරණාවලදී කිසිම විදිහකින් පැති ගන්නේ නැත්තේ. හැබැයි සමහර වෙලාවට එහෙම කරන්න අපිට ලොකු සටනක් කරන්න වෙනවා. මොකද මේ ලෝකේ තියෙන ආණ්ඩු උත්සාහ කරන්නේ අපිව කොහොමහරි දේශපාලන කාරණාවලට සම්බන්ධ කරගන්න. ඒ පීඩනයට අහු වෙලා තමන් කරන කියන දේවල්වලින් එයාලට සහයෝගය දෙන අයට ඒ මෘගයා ලකුණක් දෙනවා. (එළි. 13:16, 17) ඒ ලකුණ තියෙන අයට යෙහෝවාගේ අනුමැතියවත් සදාකාල ජීවිතේවත් ලැබෙන්නේ නැහැ. (එළි. 14:9, 10; 20:4) ඒ නිසා මේ ලෝකේ තියෙන ආණ්ඩු අපිට මොන පීඩනයක් ගෙනාවත් දේශපාලන කාරණාවලදී කිසිම පැත්තක් ගන්නේ නැතුව ඉන්න එක කොයි තරම් වැදගත්ද!

මහා ගණිකාවට නින්දිත අවසානයක්!

14. එළිදරව් 17:3-5 කියන විදිහට යොහන් ඊළඟට දකින්නේ මොකක්ද?

14 යොහන් ඊළඟට දකින දෙයින් එයා “අතිශයින් පුදුමයට පත් වෙනවා.” මොකක්ද එයා දකින්නේ? දරුණු මෘගයාගේ පිට උඩ ඉන්න ස්ත්‍රියක්ව. (එළි. 17:1, 2, 6) ඒ ස්ත්‍රියව “මහා ගණිකාව” විදිහටත් “මහ බැබිලෝනිය” විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ ස්ත්‍රිය “පොළොවේ රජවරු” එක්ක “වේශ්‍යාකම්” කරනවා.—එළිදරව් 17:3-5 කියවන්න.

15-16. “මහ බැබිලෝනිය” කියන්නේ කාටද? අපි ඒක දන්නේ කොහොමද?

15 “මහ බැබිලෝනිය” කියන්නේ කාටද? ඒ ස්ත්‍රිය පොළොවේ රජවරු එක්ක ඒ කියන්නේ දේශපාලන නායකයන් එක්ක වේශ්‍යාකම් කරන නිසා ඒ ස්ත්‍රියගෙන් දේශපාලන සංවිධාන නියෝජනය වෙනවා කියලා කියන්න බැහැ. (එළි. 18:9) මොකද යොහන් දකින්නේ ඒ ස්ත්‍රිය මෘගයාගේ පිට උඩ වාඩි වෙලා ඉන්න විදිහ. එයා දේශපාලන නායකයන්ව පාලනය කරන්න උත්සාහ කරනවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. අනිත් අතට ඒ ස්ත්‍රියගෙන් සාතන්ගේ පාලනය යටතේ තියෙන කෑදර ව්‍යාපාරික ලෝකය නියෝජනය වෙනවා කියලා හිතන්නත් බැහැ. මොකද එයාලව “පොළොවේ සංචාරක වෙළෙන්දන්” විදිහට වෙනමම හඳුන්වලා තියෙනවා.—එළි. 18:11, 15, 16.

16 එතකොට මේ මහ බැබිලෝනිය කියන ගණිකාව කවුද? බයිබලේ සමහර වෙලාවට “ගණිකාවක්” විදිහට හඳුන්වන්නේ දෙවියන්ට දෙන්න ඕනෙ නමස්කාරය වෙන කෙනෙක්ට, වෙන දේකට දෙන අයව. ඒ වගේම මේ ලෝකයත් එක්ක මිතුරුකම් පවත්වන අයව. (1 ලේක. 5:25; යාකො. 4:4) හැබැයි දෙවියන්ට විශ්වාසවන්තව නමස්කාර කරන අයව හඳුන්වන්නේ ‘නිර්මල අය’ නැත්නම් ‘කන්‍යාවන්’ විදිහට. (2 කොරි. 11:2; එළි. 14:4, පාදසටහන) අනිත් අතට පුරාණ බැබිලෝනිය ගැන හිතුවොත් ඒක බොරු නමස්කාරයෙන් පිරිලා තිබුණ තැනක්. එහෙම බලද්දී ලෝක අධිරාජ්‍යයක් වගේ තියෙන මහ බැබිලෝනියෙන් හැම බොරු ආගමක්ම නියෝජනය වෙනවා කියලා පැහැදිලියි.—එළි. 17:5, 18; මේ ගැන වැඩි විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ තියෙන “මහ බැබිලෝනිය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

17. මහ බැබිලෝනියට ළඟදීම වෙන්නේ මොකක්ද?

17 මහ බැබිලෝනියට වෙන්නේ මොකක්ද? එළිදරව් 17:16, 17 ඒකට උත්තරේ තියෙනවා. එතන මෙහෙම කියනවා. “ඔබ දුටු අං දසය හා මෘගයා ගණිකාවට වෛර වී ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය. මන්ද දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඔවුන්ගේ මනස් තුළට යම් අදහසක් දමා ඇත.” ඒ රතු පාට මෘගයා මාර්ගයෙන් හැම බොරු ආගමක්ම විනාශ කරලා දාන්න යෙහෝවා ජාතීන්ව පොලඹවනවා. ඒ කියන්නේ හැම බොරු ආගමක්ම විනාශ කරන්න දෙවියන් පාවිච්චි කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.—එළි. 18:21-24.

18. මහ බැබිලෝනියෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න අපිට පුළුවන් කොහොමද?

18 අපිට බලපාන්නේ කොහොමද? “අපේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසිම කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක්” කරන්නයි අපිට ඕනේ. (යාකො. 1:27) ඒ නිසා අපි බොරු ඉගැන්වීම්, මිථ්‍යා චාරිත්‍ර, පහත් සදාචාර ප්‍රමිති සහ භූතවාදයට සම්බන්ධ හැම දෙයක්ම අපේ ජීවිතෙන් අයින් කරන එක හරිම වැදගත්. ඒ විතරක් නෙවෙයි අපි අනිත් අයටත් දිගටම කියනවා “ඇයව අත්හැර පිටතට එන්න” කියලා. එතකොට මහ බැබිලෝනියේ පාපවලට හවුල් වෙන්නේ නැතුව ඉන්න එයාලටත් පුළුවන්.—එළි. 18:4.

මහා මකරාට විනිශ්චයක්!

හිස් හතක්, අං දහයක් සහ ඔටුනු දහයක් තියෙන ගිනි පැහැති මකරා දානියෙල් සහ එළිදරව් පොත්වල කතා කරන මෘගයන්ට බලය ලබා දෙනවා. අන්තිමේදී මකරාව ගිනිවිලට හෙළනවා.

ගිනි පැහැති මහා මකරා

සාතන් මෘගයාට අධිකාරිය දෙනවා. (එළි. 12:3, 9, 13; 13:4; 20:2, 10) යෙහෝවාගේ ප්‍රධාන සතුරා වන සාතන්ව නියෝජනය කරන මේ මකරාව අවුරුදු 1,000කට අගාධයට දානවා. ඊටපස්සේ සාතන්ව “ගින්නෙන් සහ ගෙන්දගමින් දැවෙන විලට හෙළනවා.” (19-20 ඡේද බලන්න)

19. “ගිනි පැහැති මහා මකරා” කවුද?

19 එළිදරව් පොතේ “ගිනි පැහැති මහා මකරෙක්” ගැනත් කියලා තියෙනවා. (එළි. 12:3) ඒ මකරා යේසුස් සහ ඔහුගේ දූතයන් එක්ක යුද්ධ කරනවා. (එළි. 12:7-9) ඒ විතරක් නෙවෙයි දෙවියන්ගේ සෙනඟටත් පීඩා කරනවා. දේශපාලනය නියෝජනය කරන හිස් හතක් තියෙන මෘගයාට අධිකාරිය දෙන්නෙත් ඒ මකරායි. (එළි. 12:17; 13:4) කවුද ඒ මකරා? ඒ වෙන කවුරුත් නෙවෙයි ‘යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුල් සර්පයා.’ (එළි. 12:9; 20:2) යෙහෝවා දෙවියන්ගේ හැම සතුරෙක්ගේම පිටිපස්සේ ඉන්න ප්‍රධාන සතුරත් සාතන්.

20. මකරාට ළඟදීම වෙන්නේ මොකක්ද?

20 මකරාට වෙන්නේ මොකක්ද? එළිදරව් 20:1-3 කියනවා දේවදූතයෙක් සාතන්ව අගාධයට හෙළනවා කියලා. ඒ කියන්නේ සාතන්ව අක්‍රියාශීලී තත්වයකට පත් කරනවා කියන එකයි. ආගාධයේ ඉන්න ඒ ‘අවුරුදු දහස අවසන් වෙන කල් ජාතීන්ව නොමඟ යවන්න සාතන්ට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ.’ අන්තිමේදී සාතන්වයි, භූතයන්වයි “ගින්නෙන් සහ ගෙන්දගමින් දැවෙන විලට හෙළනවා.” (එළි. 20:10) ඒ කියන්නේ සාතන්වයි, භූතයන්වයි සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ටිකක් හිතලා බලන්න සාතන් සහ භූතයන් නැති ඒ කාලේ අපිට කොයි තරම් නිදහසක් තියෙයිද!

21. එළිදරව් පොතෙන් දැනගත්ත දේවල් ගැන අපිට සතුටු වෙන්න පුළුවන් ඇයි?

21 එළිදරව් පොතේ සංකේතවත් විදිහට විස්තර කරලා තියෙන දේවල්වල නියම අර්ථය තේරුම්ගන්න ලැබුණ එක කොච්චර වටිනවාද! යෙහෝවාගේ සතුරන් කවුද කියලා අඳුරගත්තා විතරක් නෙවෙයි ඒ සතුරන්ට ළඟදීම වෙන්නේ මොනවාද කියලත් අපි දැනගත්තා. ‘මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන, ඊට සවන් දෙන අයට ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි’ කියන වචන මොන තරම් ඇත්තක්ද! (එළි. 1:3) ඒත් දෙවියන්ගේ සතුරන්ව විනාශ කළාට පස්සේ ඉතුරු වෙන විශ්වාසවන්ත අයට ලැබෙන ආශීර්වාද මොනවාද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ඔයාට මතකද?

  • එළිදරව් පොතේ තියෙන සංකේතවලින් අදහස් වෙන දේවල් තේරුම්ගන්න අපිට පුළුවන් කොහොමද?

  • දේශපාලන කාරණාවලදී අපි පැති ගන්නේ නැත්තේ ඇයි?

  • “මහ බැබිලෝනියට” සම්බන්ධ කිසිම දේකට හවුල් නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

ගීතිකාව 23 යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි

a එළිදරව් පොතේ දෙවියන්ගේ සතුරන්ව විස්තර කරලා තියෙන්නේ සංකේතවත් විදිහට. ඒ සංකේතවලින් අදහස් කරන්නේ මොනවාද කියලා තේරුම්ගන්න දානියෙල් පොත අපිට උදව් වෙනවා. අපි මේ ලිපියෙන් දානියෙල් පොතේ සහ එළිදරව් පොතේ තියෙන එකිනෙකට සම්බන්ධ අනාවැකි කීපයක් සන්සන්දනය කරලා බලමු. එතකොට දෙවියන්ගේ සතුරන් කවුද කියලා අපිට හරියටම අඳුරගන්න පුළුවන්. ඊටපස්සේ අපි බලමු ඒ සතුරන්ට අන්තිමේදී මොකද වෙන්නේ කියලා.

b හිස් හතක් තියෙන මේ මෘගයාගෙන් හැම ආණ්ඩුවක්ම නියෝජනය වෙනවා කියලා කියන්න තියෙන තව හේතුවක් තමයි ඌට “අං දහයක්” තියෙන එක. හුඟක් වෙලාවට බයිබලේ අංක දහයෙන් සම්පූර්ණත්වය අදහස් කරනවා.

c කලින් මෘගයාගේ වගේ මේ මෘගයාගේ අං මත “ඔටුනු” දකින්න නැහැ. (එළි. 13:1) ඒකට හේතුව මේ මෘගයා ‘බිහි වෙන්නේ අනිත් රජවරු හත්දෙනාගෙන්.’ ඌට බලය ලැබෙන්නේ ඒ රජවරුන්ගෙන්.—මේ ගැන වැඩි විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ තියෙන “එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයා කවුද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න