4වෙනි පරිච්ඡේදය
සීමාව කොතැනද?
හරිද වැරදිද . . .
යාළු වෙලා ඉන්න දෙන්නෙක් ආදරේට අතින් අල්ලන එක, වැලඳගන්න එක කොහොමටවත් සුදුසු නැහැ.
□ හරි
□ වැරදියි
වේශ්‍යාකම කියන බරපතළ වරද වෙන්නේ දෙන්නෙක් ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් විතරයි.
□ හරි
□ වැරදියි
දෙන්නෙක් ලිංගික හැඟීම් ඇවිස්සෙන විදිහට හැසිරෙන්නේ නැතුව ඉන්න සීමා දාලා නම් ඒ දෙන්නාගේ ආදරේ අඩුවක් තියෙනවා.
□ හරි
□ වැරදියි
ඔයා කෙනෙක් එක්ක යාළු වෙලා නම් ආදරය පෙන්නන්න කරන්න පුළුවන් දේවල්වල සීමාව කොතැනද කියලා කල්පනා කරලා ඇති. උඩ තියෙන අදහස් තුන ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා දැනගත්තොත් ඒකට උත්තරේ හොයාගන්න පුළුවන්.
● යාළු වෙලා ඉන්න දෙන්නෙක් ආදරේට අතින් අල්ලන එක, වැලඳගන්න එක කොහොමටවත් සුදුසු නැහැ.
වැරදියි. බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කඩ කරන්නේ නැතුව ආදරේ පෙන්නන එක වැරදි නැහැ. ෂූලම්මීය තරුණිය හා එයාගේ පෙම්වතාත් දෙන්නාට දෙන්නා ආදරේ පෙන්නුවා කියලා බයිබලයේ තියෙනවා. (සලමොන්ගේ ගීතිකාව 1:2; 2:6; 8:5) ඒකෙන් තේරෙන්නේ ආදරේ පෙන්නන්න පිවිතුරු චේතනාවකින් කරන සමහර දේවල් බයිබලයේ හෙළාදැකලා නැහැ කියලයි. ඒ නිසා විවාහ වෙන්න හිතාගෙන ඉන්න දෙන්නෙක්ට අතින් අල්ලන්න, වැලඳගන්න පුළුවන්.a
හැබැයි මේ දේ මතක තියාගන්න ඕනේ. ආදරය පෙන්නන්න වැලඳගන්න කොට, සිපගන්න කොට කිසිම පාලනයක් නැතුව එහෙම කළොත් හැඟීම් ඇවිස්සෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට දන්නේම නැතුව දෙන්නා අතින් බරපතළ වරදක් වෙන්න පුළුවන්.—කොලොස්සි 3:5.
● වේශ්‍යාකම කියන බරපතළ වරද වෙන්නේ දෙන්නෙක් ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් විතරයි.
වැරදියි. බයිබලයේ “වේශ්‍යාකම” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට (පෝර්නියා) නීත්‍යනුකූලව විවාහ වුණු දෙන්නෙක් අතරේ වෙන ලිංගික සම්බන්ධකම් හැර අනිත් ඕනම ලිංගික ක්‍රියාවක් ඇතුළත් වෙනවා. මුඛය හා ගුද මාර්ගය ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගන්න එකත් ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න එකිනෙකාගේ ලිංගික අවයව අත පත ගාන එකත් ඒකට ඇතුළත්.
වේශ්‍යාකම විතරක් නෙමෙයි අපවිත්‍රකම හා නින්දිත හැසිරීමත් බයිබලයේ හෙළාදැකලා තියෙනවා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලියි. වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම වැනි දේවල් ඔහු තුළ දකින්න තියෙනවා. එවැනි දේවල් කරන අයට දෙවිගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ.’—ගලාති 5:19-21.
බයිබලයේ “අපවිත්‍රකම” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට පුළුල් අදහසක් තියෙනවා. ක්‍රියා විතරක් නෙමෙයි පහත් කතාබහත් ඒකට ඇතුළත් වෙනවා. වෙනත් කෙනෙක්ගේ ඇඳුම් ඇතුළට අත දාන එක, ඇඳුම් ගලවන එක, පියයුරු වැනි රහස් තැන් අත ගාන එක අපවිත්‍ර ක්‍රියාවලට ඇතුළත්. පියයුරු අල්ලන්න හා එහෙම කරලා සතුටක් ලබන්න අයිතියක් තියෙන්නේ විවාහ වුණු දෙන්නෙක්ට විතරයි.—හිතෝපදේශ 5:18, 19.
සමහර යෞවනයන් වැරදි ආශාවන් ඉටු කරගන්න කිසිම ලැජ්ජාවක් නැතුව ඒ වගේ අපවිත්‍ර දේවල් කරනවා. තවත් අය වැරදි ආශාවන් ඉටු කරගන්න එක් කෙනෙක්ව විතරක් නෙමෙයි කීපදෙනෙක්ව වුණත් පාවිච්චි කරනවා. කිසි ගානක් නැතුව නොහොබිනා දේවල් කරන එහෙම අයව බයිබලයේ විස්තර කරලා තියෙන්නේ “නින්දිත” විදිහට හැසිරෙන අය කියලයි. ඒ අයට බයිබලයේ තියෙන ප්‍රමිති, නීති ගැන කිසි තැකීමක් නැහැ. එයාලා කරන පහත් දේවල් අනිත් අයට අදහාගන්න බැරි වුණත් එයාලාට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අය ඉන්නේ කාමාශාවෙන් මත් වෙලා. ‘කිසිම හැඟීමක් දැනීමක් නැතුව කෑදරකමින් ක්‍රියා කරන’ ඒ වගේ කෙනෙක් වෙන්න ඔයා නම් කීයටවත් කැමති නැතුව ඇති.—එෆීස 4:17-19.
● දෙන්නෙක් ලිංගික හැඟීම් ඇවිස්සෙන විදිහට හැසිරෙන්නේ නැතුව ඉන්න සීමා දාලා නම් ඒ දෙන්නාගේ ආදරේ අඩුවක් තියෙනවා.
වැරදියි. ලිංගික හැඟීම් ඇවිස්සෙන විදිහට හැසිරුණා කියලා යාළු වෙලා ඉන්න දෙන්නෙක්ගේ ආදරේ වැඩි වෙන්නේ නැහැ. ඇත්තටම ඒකෙන් වෙන්නේ දෙන්නා අතරේ තියෙන ගෞරවය, විශ්වාසය අඩු වෙන එකයි. ලෝරාගේ මේ අද්දැකීම බලන්න. “දවසක් මගේ බෝයිෆ්‍රෙන්ඩ් TV බලන්න කියලා අපේ ගෙදර ආවා. ඒ වෙලාවේ අම්මලා හිටියේ නැහැ. TV බලබල ඉන්න කොට එයා මගේ අතින් ඇල්ලුවා. ඊටපස්සේ එයා වෙන වෙන තැනුත් අල්ලන්න ගත්තා. එහෙම කරන්න එපා කියලා කියන්න හිතුණත් එයාට කේන්ති ගිහින් එයා යයි කියලා මට බය හිතුණා.”
ඒ පිරිමි ළමයා ඇත්තටම ලෝරාට ආදරේ කළාද? නැත්නම් එයා හැදුවේ එයාගේ ආශාවන් ඉටු කරගන්නද? ඔයා යාළු වෙලා ඉන්න කෙනා අපවිත්‍ර දෙයක් කරන්න ඔයාව පොලඹවාගන්න හදනවා නම් එයා ඇත්තටම ඔයාට ආදරෙයි කියලා කියන්න පුළුවන්ද?
පිරිමි ළමයෙක් දැන දැනම වැරදි දෙයක් කරන්න ගැහැනු ළමයෙක්ව පොලඹවාගන්නවා නම් එයා කරන්නේ දෙවිට විරුද්ධව ලොකු වරදක්. ඒ වගේ කෙනෙක් අවංකව ආදරය කරනවා කියලා කියන්න බැහැ. ඒ වගේම ගැහැනු ළමයෙක් ඒ වගේ දේකට කැමැත්තෙන්ම ඉඩ දෙනවා නම් එයා කරන්නෙත් වරදක්. මොකද එයාත් ඒ අපවිත්‍ර ක්‍රියාවට හවුල් වෙනවා. සමහරවිට ඒක වේශ්‍යාකමක් දක්වා දුරදිග යන්නත් පුළුවන්.b—1 කොරින්ති 6:9, 10.
දුර දිග නොයන්න නම් . . .
ඔයා කෙනෙක් එක්ක යාළු වෙලා නම් ලිංගික හැඟීම් ඇවිස්සෙන විදිහට ආදරේ පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද? කරන්න පුළුවන් හොඳම දේ තමයි ආදරේ පෙන්නද්දී තියෙන්න ඕන සීමාවන් මොනවාද කියලා එයාත් එක්ක කලින්ම කතා කරන එක. බයිබලයෙත් කියලා තියෙන්නේ, ‘එකිනෙකාගෙන් අදහස් විමසන කොට ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න පුළුවන්’ කියලයි. (හිතෝපදේශ 13:10) හැඟීම් ඇවිස්සුණාට පස්සේ ඒ ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඒක හරියට ගෙදරට හොඳටම ගිනි ඇවිළුණාට පස්සේ ඒක නිවන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා වරදකට වැටෙන්නේ නැති විදිහට ආදරේ පෙන්නන්න පුළුවන් සුදුසු විදිහ ගැන එයාත් එක්ක කලින්ම කතා කරන්න.
යාළු වෙච්ච මුල්ම කාලේ ඒ වගේ දේවල් ගැන කතා කරන්න දෙන්නෙක්ට ලැජ්ජ හිතෙන්න පුළුවන්. හැබැයි සීමාවන් මොනවාද කියලා දෙන්නා කලින්ම තීරණ කරලා තියෙනවා නම් ඒක ලොකු ආරක්ෂාවක්. ඒ වගේ දෙයක් ගැන වුණත් ඔය දෙන්නාට විවෘතව කතා කරන්න පුළුවන් කියන එකෙන් ඔය දෙන්නාගේ සම්බන්ධය කොච්චර දුරට සාර්ථක වෙයිද කියලත් පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් ගැන විතරක් හිතන්නේ නැතුව අනිත් කෙනා ගැනත් හිතන්න, හැඟීම් පාලනය කරගන්න ඉගෙනගන්න එක විවාහ වුණාට පස්සෙත් ප්‍රයෝජනවත්. මොකද ලිංගික සම්බන්ධකම් පවත්වලා දෙන්නෙක්ට නියම තෘප්තියක් ලබන්න නම් ඒ දේවල් හරි වැදගත්.—1 කොරින්ති 7:3, 4.
දෙවිගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙන එක හැම වෙලාවෙම ලෙහෙසි නැහැ. හැබැයි දෙවි මඟ පෙන්වීම් දීලා තියෙන්නේ ඔයාට තියෙන ආදරේ නිසයි කියලා අමතක කරන්න එපා. ඒ ගැන බයිබලයෙත් මෙහෙම කියලා තියෙනවා. ‘ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් යෙහෝවා දෙවි වන මමයි.’—යෙසායා 48:17.
තවත් දැනගන්න 1වෙනි පොතේ 24වෙනි පරිච්ඡේදය බලන්න
බඳින්න කලින් ලිංගික දේවල් කරන්නේ නැතුව ඉන්න ඔයා තීරණය කරලා තියෙනවා නම් ඒක ඥානවන්ත තීරණයක්. ඒ ඇයි?
[පාදසටහන්වල]
a යාළු වෙලා ඉන්න අය අනිත් අය ඉස්සරහා අත් අල්ලන එක, වැලඳගන්න එක වැරදි හැසිරීමක් හැටියට සමහර රටවල සලකනවා. ඒ නිසා දෙවිගේ සේවකයන් අනිත් අයව අපහසුතාවට පත් කරන්නේ නැති විදිහට හැසිරෙන්න වගබලා ගන්න ඕනේ.—2 කොරින්ති 6:3.
b මේ ඡේදයේ පිරිමි ළමයෙක් ගැහැනු ළමයෙක්ව වරදට ඇදගන්න විදිහ ගැන කතා කළාට ඒක අනිත් පැත්තට සිද්ධ වෙන්නත් පුළුවන්.
බයිබල් උපදෙස
‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අවිනීතව හැසිරෙන්නේ නැත.’—1 කොරින්ති 13:4, 5.
යෝජනාවක්
ඔයා යාළු වෙලා ඉන්න කෙනාත් එක්ක ගෙදරදී නැත්නම් පාළු තැන්වල තනි වෙන්න එපා. කට්ටියක් එක්ක ඉද්දී, අඩුම ගානේ තව එක් කෙනෙක් හරි ඉන්නවා නම් විතරක් ආශ්‍රය කරන්න.
මේක දැනගෙන හිටියාද?
විවාහ ගිවිසගෙන ඉන්න කෙනා එක්ක සමහර ලිංගික කාරණා ගැන විවෘතව කතා කරන්න ඕනේ. ඒත් හැඟීම් ඇවිස්සෙන විදිහට ඒ ගැන ඕනවට වඩා විස්තර කරකර කතා කරන එක අපවිත්‍ර ක්‍රියාවක්. ඒක ෆෝන් එකෙන් කතා කළත් SMS හරහා විස්තර කළත් වෙනසක් නැහැ.
ඔයාට වැඩක්!
වරදකට වැටෙන්නේ නැතුව ඉන්න නම් මං මේ දේවල් කරන්න ඕනේ ․․․․․
මං යාළු වෙලා ඉන්න කෙනා නොහොබිනා දෙයක් කරන්න මාව පොලඹවනවා නම් මං මෙහෙම කරනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● ඔයා යාළු වෙලා ඉන්න කෙනාට ආදරේ පෙන්නද්දී තියාගන්න සීමාවන් මොනවාද?
● වේශ්‍යාකම, අපවිත්‍රකම හා නින්දිත හැසිරීම එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද?
[46වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘පවිත්‍රකම ගැන බයිබලයේ තියෙන උපදෙස් විස්තර කරලා තියෙන සඟරා අපි දෙන්නා එකට කියෙව්වා. අපේ සම්බන්ධය පවිත්‍රව තියාගන්න ඒ විදිහට මඟ පෙන්වීම් ලැබුණු එක අපි ගොඩක් අගය කරනවා.’’—ලැටීෂියා
[44වන පිටුවේ කොටුව]
සීමාව පැනලා නම් . . .
ඔයායි ඔයා යාළු වෙලා ඉන්න කෙනායි මොකක් හරි වරදක් කළොත් කාටවත් ඒ ගැන කියන්නේ නැතුව ඔය දෙන්නාට තනියෙන් ඒකෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතන්න එපා. එක යෞවනියක් මෙහෙම කිව්වා. “ආයේ ඒ වැරැද්ද කරන්නේ නැතුව ඉන්න අපිට උදව් කරන්න කියලා මං යාච්ඤා කළා. සමහර වෙලාවට එහෙම ඉන්න පුළුවන් වුණාට කීප වතාවක්ම අපි අතින් ඒ වැරැද්ද ආයෙත් වුණා.” කරන්න පුළුවන් හොඳම දේ තමයි වෙච්ච දේ ගැන දෙමාපියන්ට කියන එක. වැඩිමහල්ලන්ටත් කියන්න. (යාකොබ් 5:14) ඒගොල්ලන්ට පුළුවන් ඔයාට අවශ්‍ය මඟ පෙන්වීම්, උපදෙස්, අවවාද දීලා දෙවි එක්ක ඔයාට තිබ්බ බැඳීම ආයේ ගොඩනඟා ගන්න ඔයාට උදව් කරන්න.
[47වන පිටුවේ පින්තූර]
ගෙදරට හොඳටම ගිනි ඇවිළුණාට පස්සේ ඒක නිවන්න හදන එක මෝඩ වැඩක්. ආදරේ පෙන්නද්දී තියෙන්න ඕන සීමාවන් මොනවාද කියලා කතා කරගන්න හැඟීම් ඇවිස්සෙනකං ඉන්න එකත් ඒ වගේ