අතීතයෙන් බිඳක්—සංගීත භාණ්ඩ
“හොරණෑ පිඹිමින් [දෙවිට] ප්‍රශංසා කරන්න. තත් භාණ්ඩ වාදනය කරමින්ද වීණා වයමින්ද ඔහුට ප්‍රශංසා කරන්න. රබන් ගසමින් හා නටමින් ඔහුට ප්‍රශංසා කරන්න. තත් භාණ්ඩ වාදනය කරමින්ද නළා පිඹිමින්ද ඔහුට ප්‍රශංසා කරන්න. මිහිරි හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න. මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.”—ගීතාවලිය 150:3-5.
යෙහෝවා දෙවිට කරන නමස්කාරයේදී සංගීතයට විශේෂ තැනක් හිමි වුණා. උදාහරණයකට, යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව රතු මුහුදෙන් එගොඩ කළ විට මෝසෙස්ගේ සහෝදරිය වූ මිරියම් තවත් ස්ත්‍රීන් පිරිසක් සමඟ ගීතිකා ගායනා කරමින් සහ නටමින් දෙවි ලබා දුන් ජයග්‍රහණය සැමරුවා. ඔවුන් එසේ කළේ රබන් ගසමිනුයි. ඊශ්‍රායෙල්වරු සංගීතයට මොන තරම් ප්‍රිය කළාද කියා ඉන් පැහැදිලියි. ඔවුන් ඊජිප්තුවරුන්ගෙන් ගැලවී පැමිණෙන විට ස්ත්‍රීන් ඔවුන්ගේ සංගීත භාණ්ඩද රැගෙන ඇවිත් තිබුණා. (නික්මයාම 15:20) පසු කාලයේදී සංගීතය හා ගායනය දේවමාලිගාවේ සිදු කළ නමස්කාර කටයුතුවල කොටසක් වුණා. ඒ සඳහා සංගීතඥයන් දහස් ගණනක් සිටි අතර සංගීත භාණ්ඩද විශාල ප්‍රමාණයක් යොදාගත්තා.—1 ලේකම් 23:5.
එම සංගීත භාණ්ඩ මොන වගේද? ඒවා සෑදීමට භාවිත කළේ මොනවාද? ඒවායින් නිකුත් වූ ශබ්දය කොයි වගේද? එම සංගීත භාණ්ඩ යොදාගත් අවස්ථා මොනවාද?
විවිධ සංගීත භාණ්ඩ
පුරාණයේදී සංගීත භාණ්ඩ සෑදීමට අනර්ඝ ලී, සතුන්ගේ හම්, සතුන්ගේ අං, ලෝහ සහ ඇටකටු යොදාගත්තා. සමහර සංගීත භාණ්ඩ අලංකාර කිරීමට ඇත්දළ භාවිත කළා. සංගීත භාණ්ඩ සඳහා අවශ්‍ය තත් ඔවුන් සාදාගත්තේ ගස්වලින් ලබාගත් කෙඳි හෝ සතුන්ගේ බඩවැල්වලිනුයි. පුරාණයේදී භාවිත කළ සංගීත භාණ්ඩ කිසිවක් අද දින සොයාගැනීමට නොහැකි වුණත් එම සංගීත භාණ්ඩ දැක්වෙන චිත්‍ර තවමත් තිබෙනවා.
බයිබලයේ සඳහන් සංගීත භාණ්ඩ වර්ග තුනකට බෙදන්න පුළුවන්. තත් භාණ්ඩ: (1) වීණාව, (2) කුඩා වීණාව. ශුශිර භාණ්ඩ: (3) ෂෝෆාර්, (4) හොරණෑව, (5) බට නළාව. සමාඝාත භාණ්ඩ: (6) රබන්, (7) පන්තේරුව, (8) අත්තාළම, (9) සීනු. ගීත හා ගීතිකා ගායනා කරන විටත් නටන විටත් එම භාණ්ඩ වාදනය කළා. (1 සාමුවෙල් 18:6, 7) ඔවුන් විශේෂයෙන්ම එම භාණ්ඩ යොදාගත්තේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහායි. තනු නිර්මාණය කරන්නත් ගීත රචනා කරන්නත් ගායනා කරන්නත් හැකියාව ලබා දුන්නේ ඔහුයි. (1 ලේකම් 15:16) දැන් අපි එම සංගීත භාණ්ඩ වර්ග තුන ගැන සොයා බලමු.
තත් භාණ්ඩ ඊශ්‍රායෙල්වරු සෑදූ වීණා හා කුඩා වීණා සැහැල්ලු නිසා ඒවා එහෙ මෙහෙ ගෙන යෑමට හැකි වුණා. ලීවලින් සෑදූ රාමුවක තත් ඇද ඔවුන් ඒවා සාදාගත්තා. සාවුල් රජුගේ කෝපය නිවන්න දාවිත් වීණාව වාදනය කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 16:23) දේවමාලිගාව කැප කරන අවස්ථාවේ සිටි සංගීත කණ්ඩායම වීණාද වාදනය කළා. ඒ වගේම ඊශ්‍රායෙල්වරු සතුටින් සිටි අවස්ථාවලදීත් වීණාව වාදනය කළා.—2 ලේකම් 5:12; 9:11.
වීණාවට වඩා කුඩා වීණාවේ හැඩය වෙනස්. එහි තත් ඇද තිබුණේ ලීයක් මතයි. ඉන් ශබ්දය නිකුත් වුණේ හරියට බොක්ස් ගිටාරයකින් ශබ්දය නිකුත් වෙනවා හා සමානවයි. ඊට අවශ්‍ය තත් සාදාගත්තේ ගස්වලින් ලබාගත් කෙඳි හෝ සතුන්ගේ බඩවැල්වලිනුයි.
ශුශිර භාණ්ඩ මේ වර්ගයට අයත් සංගීත භාණ්ඩ ඊශ්‍රායෙල්වරුන් අතරේ ඉතා ජනප්‍රිය වුණා. බැටළුවන්ගේ අංවලින් සාදාගත් ෂෝෆාර් යන නමින් හැඳින්වූ සංගීත භාණ්ඩය ඒ අතරින් පැරණිතම එකක්. එයින් නිකුත් වුණේ රළු ශබ්දයක්. හමුදාවන් යුද්ධයට කැඳවීම සඳහාත් යම් ක්‍රියාමාර්ග ගත යුත්තේ කුමන වේලාවේදීද කියා දැනුම් දීම සඳහාත් ඊශ්‍රායෙල්වරුන් එය භාවිත කළා.—විනිශ්චයකරුවෝ 3:27; 7:22.
ලෝහවලින් තැනූ හොරණෑද ඊශ්‍රායෙල්වරුන් සතුව තිබුණා. එම හොරණෑවලින් විවිධ පරාසයන්ගෙන් යුත් ශබ්ද ඇති කළ හැකි බව මළ මුහුද අසල තිබී සොයාගත් ලියවිලිවලින් පැහැදිලි වෙනවා. ශුද්ධ කූඩාරමේ භාවිතය සඳහා රිදීවලින් හොරණෑ දෙකක් සාදන්න කියා යෙහෝවා දෙවි මෝසෙස්ට පැවසුවා. (ගණන් කතාව 10:2-7) දේවමාලිගාව කැප කරන උත්සවයට හොරණෑ පිඹින 120දෙනෙක් සහභාගි වුණා. (2 ලේකම් 5:12, 13) ඊශ්‍රායෙල්වරුන් විවිධ ප්‍රමාණවලින් යුත් හොරණෑ සෑදූ අතර සමහර ඒවා අඩි තුනක් පමණ දිගින් යුක්තයි.
ඊශ්‍රායෙල්වරුන් අතර ජනප්‍රියතම ශුශිර සංගීත භාණ්ඩය වුණේ බට නළාවයි. පවුලේ සියලුදෙනා එකට එකතු වන අවස්ථාවලදී විවාහ උත්සව හා වෙනත් උත්සව අවස්ථාවලදී ඊශ්‍රායෙල්වරු සංගීතය සඳහා බට නළාව භාවිත කළා. ඉන් නිකුත් වූ මිහිරි හඬ පැමිණ සිටි සියලුදෙනාව සතුටට පත් කළා. (1 රාජාවලිය 1:40; යෙසායා 30:29) එපමණක් නොව අවමගුල් උත්සව වැනි දුක්බර අවස්ථාවලදීත් බට නළාව වාදනය කළා. (14වන පිටුව බලන්න.)—මතෙව් 9:23.
සමාඝාත භාණ්ඩ උත්සව අවස්ථාවලදී ඊශ්‍රායෙල්වරු විවිධ සමාඝාත සංගීත භාණ්ඩ භාවිත කළා. සතුටින් සිටින අවස්ථාවලදී සතුට වැඩි කිරීම සඳහා ඔවුන් රබන් යොදාගත්තා. වර්තමානයේදී මෙන් ඊශ්‍රායෙල්වරුන්ද රබන් සෑදුවේ ලීයෙන් සාදාගත් රවුම් රාමුවක් මත සත්ව හම් ඇදීමෙනුයි. ලී රාමුවේ තැනින් තැන ඔවුන් කුඩා යකඩ තහඩු සවි කළා. රබන් ගසන අතරතුර එය සෙලවීමෙන් වෙනත් ශබ්දයක් ලබාගැනීමටද හැකි වුණා.
ඊශ්‍රායෙල්වරුන්ගේ සංගීත භාණ්ඩ අතර පන්තේරුවද තිබුණා. ඔවුන් එය සෑදුවේ ලෝහවලිනුයි. ලෝහ රාමුවක් තුළින් යකඩ කූරු කිහිපයක් යවා ඒ යකඩ කූරුවල ඒ මේ අත පැද්දෙන යකඩ කැබලි සවි කර තිබුණා. එය විවිධ රිද්මයන්ට අනුව සෙලවීමෙන් විවිධ ශබ්ද ලබාගැනීමට හැකි වුණා.
ලෝකඩවලින් සෑදූ අත්තාළම් ඉතා තියුණු හඬක් නිකුත් කළා. ඊශ්‍රායෙල්වරුන් ප්‍රමාණ දෙකකින් අත්තාළම් සෑදුවා. ඒවායින් නිකුත් වූ ශබ්දය එකිනෙකට වෙනස්.—ගීතාවලිය 150:5.
අද දින සංගීතයට හිමි තැන
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද නමස්කාරය සඳහා රැස්වන වන විට ආරම්භයේදී මෙන්ම අවසානයේදී ගීතිකා ගායනා කරනවා. නවීන තාක්ෂණයෙන් නිපදවා තිබෙන තත්, ශුශිර සහ සමාඝාත යන සංගීත භාණ්ඩ යොදා පටිගත කළ සංගීතය ඔවුන් ඒ සඳහා යොදාගන්නවා.
එසේ කිරීමෙන් ඔවුන් පුරාණයේ සිටි ඊශ්‍රායෙල් සෙනඟ හා මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ව අනුකරණය කරනවා. එලෙස එකට එකතු වී යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගැයීමෙන් ඔවුන් ලැබුවේ මහත් සතුටක්!—එෆීස 5:19.
[23වන පිටුවේ පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)