ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 ජූනි 22-26 පි.
  • වැදගත් ප්‍රශ්නේ අමතක කරන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැදගත් ප්‍රශ්නේ අමතක කරන්න එපා!
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බැරෑරුම් ප්‍රශ්නයක් කියන්නේ ඇයි?
  • අපේ ගැලවීමට වඩා වැදගත් දෙයක්
  • යෝබ් හිතපු විදිහ වෙනස් කරගත්තා
  • නිතරම මනසේ තියාගන්න
  • යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැමදාටම දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 ජූනි 22-26 පි.
දෙවිට කරපු චෝදනාව ඔප්පු කරන්න සාතන් යෝබ්ට හුඟක් පීඩා කළා. ඒ පීඩාවලට දරුණු අසනීපයක් වගේම බොරු යාළුවෝ 3දෙනා ගෙනාපු චෝදනා ඇතුළත් වුණා

වැදගත් ප්‍රශ්නේ අමතක කරන්න එපා!

“යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”—ගීතා. 83:18.

ගීතිකා: 9, 22

ඔයා ඉගෙනගත්තේ මොනවද?

  • පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට කියන කාරණය තහවුරු කරන එක මිනිසුන් හැටියට අපිට වැදගත් ඇයි?

  • පාලකයා හැටියට තමන් පිළිගන්නේ යෙහෝවා දෙවිව කියලා යෝබ් පෙන්නුවේ කොහොමද? ඒත් යෝබ් අතින් වුණ වරද මොකක්ද?

  • පාලකයා හැටියට අපි පිළිගන්නේ යෙහෝවා දෙවිව කියලා පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

1, 2. (අ) මිනිසුන් හැමෝටම බලපාන වැදගත් ප්‍රශ්නේ මොකක්ද? (ආ) ඒක අපේ මනසේ නිතරම තියාගන්න එක වැදගත් ඇයි?

අද ඉන්න හුඟදෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ සල්ලි. ඒ නිසයි එයාලා තව තව සල්ලි හොයන එක ගැන නිතරම හිතන්නේ. තියෙන සල්ලි ආරක්ෂා කරගන්න වද වෙන්නේ. තවත් අය කරදර වෙන්නේ පවුල, සෞඛ්‍යය නැත්නම් ජීවිතේ ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් ගැන.

2 ඒත් ඒ හැම දේකටම වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ විශ්වය පාලනය කරන්න යෙහෝවා දෙවිට තියෙන අයිතිය ගැන සාතන් මතු කරපු ප්‍රශ්නේ. ඒක මුළු විශ්වයටම බලපාන බැරෑරුම් ප්‍රශ්නයක්. ඒත් අපි ජීවිතේ එදිනෙදා දේවලට වැඩි අවධානයක් දෙනවා නම්, මුහුණ දෙන ප්‍රශ්න ගැන ඕනෑවට වඩා වද වෙනවා නම් සාතන් මතු කරපු ප්‍රශ්නේ විසඳන එකේ වැදගත්කම අපිට අමතක වෙයි. ඇත්තටම, අපේ ප්‍රශ්න ගැනම හිතනවා වෙනුවට පාලනය කරන්න සුදුසුම කෙනා යෙහෝවා දෙවි කියලා තහවුරු කරන්න අපිට පුළුවන් දේ කරනවා නම් අපි මුහුණ දෙන ප්‍රශ්න දරාගන්න පහසුයි. ඒ වගේම යෙහෝවා දෙවිට අපි තවත් ළං වෙයි.

බැරෑරුම් ප්‍රශ්නයක් කියන්නේ ඇයි?

3. දෙවිගේ පාලනය ගැන සාතන් කිව්වේ මොනවද?

3 විශ්වය පාලනය කරන්න යෙහෝවා දෙවිට තියෙන අයිතිය ගැන සාතන් ප්‍රශ්නයක් මතු කළා. සාතන් අඟවන්නේ යෙහෝවා දෙවි දූෂිත පාලකයෙක්, ඔහු මිනිසුන්ට යහපත් දේවල් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා දෙවිගේ පාලනයක් මිනිසුන්ට අවශ්‍ය නැහැ කියලත් ඒ පාලනය මිනිසුන් තමන්ගේ අතට ගන්නවා නම් වැඩි සතුටක් අද්දකින්න පුළුවන් කියලත් එයා නොකියා කිව්වා. (උත්. 3:1-5) කිසිම මිනිසෙක් දෙවිට ඇත්තටම ආදරේ නැහැ කියලත් දුක් කරදර එද්දී එයාලා දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරනවා කියලත් සාතන් කිව්වා. (යෝබ් 2:4, 5) ඒ නිසා දෙවිගේ පාලනය නැතුව ජීවිතේ කොච්චර දුෂ්කරද කියලා හැමෝටම තේරුම්ගන්න දෙවි යම් කාලෙකට ඉඩහැරියා.

4. පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය ගැන මතු කරපු ප්‍රශ්නේ විසඳන එක වැදගත් ඇයි?

4 සාතන් එල්ල කළේ බොරු චෝදනාවක් කියලා යෙහෝවා දෙවි දන්නවා. එහෙමනම් ඇයි දෙවි සාතන්ට කාලේ දුන්නේ එයා කියපු දේ ඔප්පු කරන්න? දෙවි එහෙම කළේ ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැමෝම ගැන හිතපු නිසයි. (ගීතාවලිය 83:18 කියවන්න.) ආදම් සහ ඒව දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළාට පස්සේ එයාලගෙන් පැවත ආපු හුඟදෙනෙකුත් ඒ දේම කළා. ඒ නිසා සාතන් කිව්ව දේ ඇත්ත කියලා සමහරුන්ට හිතෙයි. සාතන් කියපු දේ හරිද වැරදිද කියලා දෙවි ඔප්පු කළේ නැත්නම් මිනිසුන්ගේ වගේම දේවදූතයන්ගේ මනසෙත් ඒ ගැන සැකයක් තියෙයි. එයාලා ඒ ගැන වාද කරයි. ඒක මතභේදවලට හේතුවක් වෙයි. ඒ නිසයි සාතන් මතු කරපු ප්‍රශ්නේ විසඳන එක එච්චරටම වැදගත්. ටිකක් හිතන්න, පාලනය කරන්න සුදුසුම තැනැත්තා තමන් කියලා දෙවි ඔප්පු කරන දවස ගැන. එදා ඉඳන් සදහටම හැම කෙනෙක්ම දෙවිගේ පාලනය යටතේ ජීවත් වෙයි. ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැමෝම එක්සත්ව දෙවිට නමස්කාර කරයි.—එෆී. 1:9, 10.

5. මේ වැදගත් ප්‍රශ්නෙදී අපිට කරන්න පුළුවන් මොනවද?

5 පාලනය කරන්න සුදුසුම කෙනා තමන් කියලා දෙවි අනිවාර්යයෙන්ම තහවුරු කරනවා. හැම අතින්ම අසාර්ථක සාතන්ගේ සහ එයාගේ පැත්තේ ඉන්න මිනිසුන්ගේ පාලනය දෙවි අයින් කරනවා. දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවි කරන පාලනය හැම අතින්ම සාර්ථක වෙනවා. තමන්ගේ පාලකයා වෙන්න සුදුසුම කෙනා යෙහෝවා දෙවියි කියලා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ඒ වෙද්දී ඔප්පු කරලා තියෙයි. (යෙසා. 45:23, 24) ඔයාටත් ඕනෙ ඒ විශ්වාසවන්ත අය අතරේ ඉන්නද? එහෙමනම් විශ්වයේ ඉන්න හැමෝටම බලපාන ප්‍රශ්නේ ඔයාගේ මනසේ නිතරම තියෙන්න ඕනේ.

අපේ ගැලවීමට වඩා වැදගත් දෙයක්

6. පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය තහවුරු කරන එක කොච්චර වැදගත්ද?

6 මේ විශ්වයේ විසඳන්න තියෙන වැදගත්ම ප්‍රශ්නයක් තමයි පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය ගැන සාතන් මතු කරපු ප්‍රශ්නේ. නැතුව අපි එක් එක් කෙනාගේ සතුට ගැන හිතන එක නෙමෙයි. ඒත් ඒකෙන් දෙවි අපි ගැන සැලකිලිමත් නැහැ කියලවත් අපිව පාපයෙන් සහ මරණයෙන් ගලවන එක දෙවිට වැදගත් නැහැ කියලවත් අදහස් වෙන්නේ නැහැ. අපි ඒක දන්නේ කොහොමද?

7, 8. සාතන් මතු කරපු ප්‍රශ්නේ දෙවි විසඳන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවි මිනිසුන්ට කොයි තරම් ආදරේද කියනවා නම් එයාලට සදහටම ජීවත් වෙන්න අවස්ථාව දෙන්න ඔහු තමන්ගේ පුතාගේ ජීවිතේ මිනිසුන් වෙනුවෙන් දුන්නා. (යොහ. 3:16; 1 යොහ. 4:9) අනාගතය ගැන දෙවි දීලා තියෙන පොරොන්දු ඔහු ඉටු කළේ නැත්නම් සාතන් සහ දෙවිගේ අනිත් සතුරන් කරන චෝදනා හරි කියලා ඔප්පු වෙයි. සාතන් චෝදනා කරන්නේ දෙවි බොරුකාරයෙක්, අසාධාරණ පාලකයෙක් කියලයි. දෙවි මිනිසුන්ට යහපත් දේවල් දෙන්නේ නැහැ කියලත් සාතන් කියනවා. සාතන්ගේ පැත්තේ ඉන්න අය දෙවිගේ පොරොන්දු විහිළුවට අරන් මෙහෙම කියනවා. “ඔහු පැමිණ සිටිනවා කියා පොරොන්දු වුණත් සිදු වී ඇත්තේ කුමක්ද? අපගේ මුතුන්මිත්තන් ජීවත් වී දැන් මිය ගොස්ද අවසානයි. නමුත් මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත.” (2 පේතෘ. 3:3, 4) ඒත් යෙහෝවා දෙවි ඔහුගේ පොරොන්දු කඩ කරන්නේ නැහැ. පාලනය ගැන සාතන් මතු කරපු ප්‍රශ්නෙට දෙවි දෙන විසඳුමට කීකරු මිනිසුන්ට ගැලවීම ලබා දෙන එකත් ඇතුළත්. දෙවි කාරණා සැලසුම් කරලා තියෙන්නේ ඒ විදිහටයි. (යෙසායා 55:10, 11 කියවන්න.) දෙවිගේ පාලනය පදනම් වෙන්නේ ආදරේ මත නිසා දෙවිට ළැදි අයට ඔහු හැමදාටම ආදරේ කරයි කියලා අපිට ස්ථිරයි.—නික්. 34:6.

8 දෙවිගේ පාලනය ගැන සාතන් කරපු චෝදනාවට පැහැදිලි උත්තරයක් දෙන එක හරිම වැදගත් කාරණයක් කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපේ ගැලවීම දෙවිට වැදගත් නැහැ කියලා. ඒත් ඒක අපිට මතක් කරනවා අපි නිතරම හිතන්න ඕනෙ අපේ ගැලවීම ගැන නෙමෙයි, දෙවිගේ පාලනය ගැන මතු කරලා තියෙන ප්‍රශ්නේ විසඳන එක ගැනයි කියලා. අපි පිළිගන්නේ දෙවිගේ පාලනය කියලා ඔප්පු කරලා පෙන්නන්න නම් ඒ දේ නිතරම අපේ මනසේ තියාගන්න එක වැදගත්.

යෝබ් හිතපු විදිහ වෙනස් කරගත්තා

9. සාතන් යෝබ් ගැන කිව්වේ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 දෙවිගේ පාලනය ගැන සාතන් මතු කරපු ප්‍රශ්නේ දෙවි විසඳන විදිහ ගැන නිතරම අපේ මනසේ තියාගන්න එකේ වැදගත්කම අපිට යෝබ්ගේ ජීවිත කතාවෙන් ඉගෙනගන්න පුළුවන්. කටුක දේවලට මුහුණ දෙන්න යෝබ්ට සිද්ධ වුණොත් එයා දෙවිව අත්හරිනවා කියලා සාතන් කරපු චෝදනාව ඒකේ සඳහන් වෙනවා. යෝබ්ට දුක් පීඩා ගේන්න කියලා සාතන් දෙවිට කිව්වා. දෙවි ඒ වගේ දෙයක් කවදාවත් කරන්නේ නැහැ. ඒත් යෝබ්ගේ විශ්වාසය සෝදිසි කරලා බලන්න දෙවි සාතන්ට ඉඩහැරියා. දෙවි කිව්වේ “ඔහු සතු සියල්ල ඔබේ අතට භාර දෙන්නෙමි” කියලයි. (යෝබ් 1:7-12 කියවන්න.) ඊටපස්සේ යෝබ්ට තිබුණ හැම දේම නැති වුණා. එයාට හිටපු සේවකයන් අහිමි වුණා. දරුවන් 10දෙනාම මැරුණා. සාතන් දේවල් කළේ ඒ හැම දුක් කරදරයක්ම යෝබ්ට ගෙනාවේ දෙවි කියලා පේන විදිහට. (යෝබ් 1:13-19) ඊටපස්සේ සාතන් යෝබ්ට දරුණු කුෂ්ඨයකින් පහර දුන්නා. (යෝබ් 2:7) තමන්ගේ බිරිඳ, බොරු යාළුවෝ 3දෙනා කියපු දේවල් නිසා යෝබ් මානසිකව වැටුණා.—යෝබ් 2:9; 3:11; 16:2.

10. (අ) යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියේ කොහොමද? (ආ) යෝබ් අතින් වුණ වරද මොකක්ද?

10 යෝබ් ගැන සාතන් කියපු දේ හරිද? නැහැ. කොච්චර පීඩා ආවත් යෝබ් යෙහෝවා දෙවිව අත්හැරියේ නැහැ. (යෝබ් 27:5) ඒත් එයා තමන් ගැන ඕනෑවට වඩා හිතන්න පටන්ගත්ත නිසා විශ්වයේ ඉන්න හැමෝටම බලපාන ප්‍රශ්නේ එයාට අමතක වුණා. එයා දිගින් දිගටම කිව්වේ තමන් කිසිම වරදක් කරලා නැහැ කියලා. තමන් දුක් වේදනා අද්දකින්නේ මොන හේතුව නිසාද කියලා දැනගන්න තමන්ට අයිතියක් තියෙනවා කියලත් එයා හිතුවා. (යෝබ් 7:20; 13:24) යෝබ්ට එහෙම හැඟෙන්න ඇත්තේ ඇයි කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. ඒත් එයා හිතපු විදිහේ යම් වරදක් තිබුණා. ඒ නිසා දෙවි එයාව නිවැරදි කළා.

11, 12. මොන කාරණය තේරුම්ගන්නද දෙවි යෝබ්ට උදව් කළේ? ලැබුණ උපදෙස් යෝබ් පිළිගත්තේ කොහොමද?

11 යෙහෝවා දෙවි යෝබ්ට කියපු දේවල් යෝබ් 38-41 දක්වා පරිච්ඡේදවල සඳහන් වෙනවා. යෝබ් දුක් වේදනා අද්දකින හේතුව දෙවි එයාට පැහැදිලි කළේ නැහැ. ඒ වෙනුවට දෙවිට ඕනෙ වුණේ දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය එක්ක බලද්දී යෝබ්ට තමන් ගැන මහ ඉහළින් හිතන්න තරම් දෙයක් නැහැ කියන දේ තේරුම්ගන්න එයාට උදව් කරන්නයි. දෙවි විසඳුමක් ලබා දෙන්න ඕන වඩා බරපතළ ප්‍රශ්න තියෙනවා කියන දේ දෙවි එයාට තේරුම් කරලා දුන්නා. (යෝබ් 38:18-21 කියවන්න.) තමන් හිතපු විදිහ වෙනස් කරගන්න දෙවි කියපු දේවල් යෝබ්ට උදව් වුණා.

12 හුඟක් දුක් වේදනා අද්දකිමින් හිටපු යෝබ්ට යෙහෝවා දෙවි කතා කරපු විදිහ අකාරුණිකද? නැහැ. යෝබ් එහෙම හිතුවේ නැහැ. දෙවි එයාව නිවැරදි කරපු එක එයා අගය කළා. “මම කලින් පැවසූ සියල්ල ගැන පසුතැවෙමි. මම දූවිලි හා අළු මත හිඳ මාගේ වරද ගැන දුක් වෙමි” කියලා එයා කිව්වේ ඒ නිසයි. (යෝබ් 42:1-6) යෝබ් හිතපු විදිහ වෙනස් කරගන්න එලිහු කියන යාළුවාත් එයාට උදව් කළා. (යෝබ් 32:5-10) එයා කියපු දේවලුත් හිතට ගත්ත යෝබ්, කාරණා දිහා හරි විදිහට බලන්න පටන්ගත්තා. යෝබ් තමන්ගේ ආකල්ප වෙනස් කරගත්තා කියලා දැක්කම දෙවි ඒ ගැන සතුටු වුණා. යෝබ්ගේ විශ්වාසවන්තකම ගැන තමන් සතුටු වෙනවා කියලා දෙවි අනිත් අයටත් කිව්වා.—යෝබ් 42:7, 8.

13. දුෂ්කර කාලේ අවසන් වුණාට පස්සෙත් දෙවි දුන්න උපදෙස යෝබ්ට උදව් වුණේ කොහොමද?

13 දුෂ්කර කාලේ අවසන් වුණාට පස්සෙත් දෙවි දුන්න උපදෙස යෝබ්ට උදව් වුණා. “යෙහෝවා දෙවි යෝබ්ට මුලින් ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළා.” කාලයක් යද්දී යෝබ්ට තව පුතාලා 7දෙනෙකුයි, දුවලා 3දෙනෙකුයි ලැබුණා. (යෝබ් 42:12-14) ඒත් මිය ගිය දරුවන් නැති පාළුව යෝබ්ට තදින්ම දැනෙන්න ඇති. එයායි, එයාගේ පවුලේ අයයි මුහුණ දීපු කටුක දේවල් එයාට කවදාවත් අමතක වෙන්න නැතුව ඇති. අපි හිතමු, තමන්ට දුෂ්කර දේවලට මුහුණ දෙන්න වුණේ ඇයි කියලා කාලයත් එක්කම යෝබ් දැනගත්තා කියලා. සමහර වෙලාවලදී එයාට හිතෙන්න ඇති ‘ඇයි දෙවි මෙච්චර දුෂ්කර දේවලට මුහුණ දෙන්න මට ඉඩහැරියේ’ කියලා. එහෙම හිතුණ වෙලාවලදී දෙවි එයාට කියලා දුන්න පාඩම ආයේ මතක් කරගන්න එයාට පුළුවන්කම තිබුණා. එයාට වෙච්ච දේ ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව වඩා වැදගත් ප්‍රශ්නෙට අවධානය දෙන්න ඒකෙන් එයාට පුළුවන් වෙන්න ඇති.—ගීතා. 94:19.

රෝහල්ගතව ඉන්න සහෝදරියක් සාක්ෂි දරමින්; සහෝදරයෙක් ෆොටෝ එකක් පපුවට ළං කරගෙන; ස්වාභාවික විපතකට මුහුණ දීපු අම්මා කෙනෙක් සහ දුවක්

වේදනාකාරී දේවලට මුහුණ දෙද්දීත් විශ්වයේ ඉන්න හැමෝටම බලපාන ප්‍රශ්නේ මනසේ තියාගන්න පුළුවන්ද? (14 ඡේදය බලන්න)

14. යෝබ්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

14 යෙහෝවා දෙවි යෝබ් ගැන වාර්තාව බයිබලේට ඇතුළත් කළේ ‘ඒ සෑම දෙයකින්ම අපිට යමක් ඉගෙනගන්න පුළුවන්’ නිසයි. ඒ වාර්තාව කියවන එකෙන් ‘අපි විඳදරාගන්න ඉගෙනගන්නවා. සැනසිල්ල අද්දකිනවා. බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් ඒ වාර්තාව අපිට උපකාරවත් වෙනවා.’ (රෝම 15:4) යෝබ්ගේ සිද්ධිය ගැන හිතද්දී අපිට තේරුම්ගන්න පුළුවන් අපි අපේ ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතුවොත් සාතන් මතු කරපු ප්‍රශ්නේ අපිට අමතක වෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් දෙවි දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕන නිසයි කියලා අපිට අමතක වෙයි. ඒ නිසා මොන දුක් කරදර ආවත් අපි ගැන ඕනෑවට වඩා හිතහිත ඉන්නේ නැතුව දෙවිට විශ්වාසවන්තව ඉඳලා අපි පක්ෂ දෙවිගේ පාලනයටයි කියලා පෙන්නමු.

15. පීඩා අද්දකිද්දීත් අපි දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් ලැබෙන ප්‍රයෝජන මොනවද?

15 යෝබ්ගේ සිද්ධිය අපිට මතක් කරනවා අපි දුෂ්කර දේවල් අද්දකින්නේ දෙවිට අපිත් එක්ක තරහක් තියෙන නිසා නෙමෙයි කියලා. ඒක අපිට ලොකු සහනයක්. දුක් කරදර එද්දී අපිට අවස්ථාව ලැබෙනවා අපි පක්ෂ දෙවිගේ පාලනයටයි කියලා පෙන්නන්න. (හිතෝ. 27:11) අපි පීඩා විඳදරාගෙන දෙවිට ළැදිව ඉද්දී ඔහුව සතුටු කරන්න අපිට පුළුවන්. අනාගතය ගැන අපිට තියෙන බලාපොරොත්තුවත් ඒකෙන් තව ස්ථිර වෙනවා. (රෝම 5:3-5 කියවන්න.) “යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්” කියලත් ඒ සිද්ධියෙන් පැහැදිලියි. (යාකො. 5:11) අපි කැමැත්තෙන්ම දෙවිගේ පාලනය පිළිගන්නවා නම් දෙවි අනිවාර්යයෙන්ම අපිට ආශීර්වාද කරනවා. ඒ දේ මනසේ තියාගද්දී ‘සාර්ථකව විඳදරාගැනීමටත් අපේ ප්‍රීතිය රැකගෙන බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමටත් අපිට පුළුවන්.’—කොලො. 1:11.

නිතරම මනසේ තියාගන්න

16. පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය තහවුරු කරන එක හරිම වැදගත් දෙයක් කියලා අපි නිතරම මනසේ තියාගන්න ඕනෙ ඇයි?

16 අපි ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැනම හිතන්න ගියොත් අපිට පේන්නේ අපේ ප්‍රශ්නේ විතරයි. සමහර පුංචි ප්‍රශ්න පවා අපිට මහ ලොකු ඒවා වගේ පෙනෙයි. දෙවි ප්‍රශ්න ගැටලුවලට ඉඩ දීලා තියෙන හේතුව එහෙම වෙලාවලදී අපිට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මොන දුෂ්කරතාවට මුහුණ දෙන්න වුණත් දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න එක තමයි වැදගත්ම දේ කියන කාරණේ අපි නිතරම මනසේ තියාගන්න ඕනේ.

17. දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන එක වැදගත්ම ප්‍රශ්නේ මනසේ තියාගන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

17 දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන එක සාතන් මතු කරපු ප්‍රශ්නේ නිතරම මනසේ තියාගන්න අපිට උදව්වක්. මේ අද්දැකීම බලන්න. සහෝදරි රෙනෙයි අංශභාග රෝගය නිසා නිතරම හිටියේ වේදනාවෙන්. එයාට පිළිකාවකුත් තිබුණා. ඒත් එයා ප්‍රතිකාර ගන්න ගියාම එහේ වැඩ කරන අයට, බෙහෙත් ගන්න ඇවිත් හිටපු අයට සාක්ෂි දැරුවා. එක අවස්ථාවක එයාට සති 2 1/2ක්ම ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න වුණා. ඒ කාලේ ඇතුළත එයා දේශනා කරන්න පැය 80ක් වැය කළා. එයා දැනගෙන හිටියා එයා තව වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒත් දුෂ්කර දේවලට දෙවි ඉඩහැරලා තියෙන්නේ ඇයි කියන දේ එයාට අමතක වුණේ නැහැ. ඒක එයාට ලොකු සහනයක් වුණා.

18. ජෙනිෆර්ගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

18 එදිනෙදා මුහුණ දෙන පුංචි පුංචි ප්‍රශ්නවලදීත් අපිට පුළුවන් අපි පක්ෂ යෙහෝවා දෙවිගේ පාලනයටයි කියලා පෙන්නන්න. සහෝදරි ජෙනිෆර්ගේ අද්දැකීම බලන්න. ගුවන් ගමන්වල ඇති වුණ ප්‍රශ්නයක් නිසා එයාට දවස් 3ක්ම එයාපෝට් එකක ඉන්න වුණා. එයාට දැනුණ මහන්සිය, තනිකම නිසා ඕනෙ නම් වෙච්ච දේ ගැන හිතලා ළත වෙවී ඉන්න එයාට තිබුණා. එහෙම කරනවා වෙනුවට එතන හිටපු අයට සාක්ෂි දරන්න එයා දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කළා. හුඟදෙනෙක්ට දේශනා කරන්නත් ප්‍රකාශන ලබා දෙන්නත් ඒ දවස් 3දී එයාට පුළුවන් වුණා. ජෙනිෆර් මෙහෙම කියනවා. “ඒ අමාරු අවස්ථාවේදීත් දෙවිගේ උදව් ලැබුණා කියලා මට දැනුණා. දෙවිගේ නමට ගෞරවයක් ගේන විදිහට වැඩ කරන්න දෙවි මට ශක්තිය දුන්නා.”

19. පාලනය කරන්න සුදුසුම කෙනා කවුද කියන කාරණේදී සාක්ෂිකරුවන් ඉන්නේ කාගේ පැත්තෙද?

19 පාලනය කරන්න සුදුසුම කෙනා යෙහෝවා දෙවි කියලා තේරුම් අරන් ඉන්නේ දෙවිගේ සෙනඟ විතරයි. ඒක එයාලයි, දෙවිට සේවය නොකරන අයයි අතරේ තියෙන කැපීපේන වෙනසක්. ඒ නිසා දිගටම දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න අපි එක් එක් කෙනා අදිටන් කරගමු.

20. දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න ඔයා දරන වෑයම ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

20 පීඩා, ප්‍රශ්න මැද දෙවිට විශ්වාසවන්තව ඉඳලා දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න ඔයා දරන වෑයම යෙහෝවා දෙවි දකිනවා විතරක් නෙමෙයි ඔහු ඒක හුඟක් අගය කරනවා. (ගීතා. 18:25) සාතන් මතු කරපු ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්න දෙවිට සහය වෙන්න අපිට පුළුවන් කියන්නේ ඇයි කියලත් ඒක කරන්න පුළුවන් කොහොමද කියලත් ඊළඟ ලිපියෙන් බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න