ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 ජූලි 7-11 පි.
  • කවදාවත් අහිමි නොවන වස්තුව රැස් කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කවදාවත් අහිමි නොවන වස්තුව රැස් කරගන්න
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අධර්මිෂ්ඨ සේවකයාගේ කතාව
  • ධනය ඥානවන්තව පාවිච්චි කරන්න
  • ව්‍යාපාර ලෝකයේ දාසයෙක් නොවී ඉන්න
  • ධනය අහිමි වුණාම
  • ප්‍රායෝගික ප්‍රඥාව ඇතුව අනාගතය සැලසුම් කරන්න
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • තැනට සුදුසු නුවණ පාවිච්චි කළ සේවකයෙක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • වෙනස් ආකාරයේ පොහොසත්කමක්
    2007 පිබිදෙව්!
  • ‘අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න’
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 ජූලි 7-11 පි.
දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට සම්මාදම් යොදාගන්න විවිධ විදි

කවදාවත් අහිමි නොවන වස්තුව රැස් කරගන්න

“මෙලොවේදී ඔබ උපයන ධනයෙන් මිතුරන් ඇති කරගන්න.”—ලූක් 16:9.

ගීතිකා: 122, 129

පැහැදිලි කරන්න පුළුවන්ද?

  • දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය තව වැඩි කරගන්න අපිට තියෙන ධන සම්පත් යොදාගන්න පුළුවන් කොහොමද?

  • ව්‍යාපාර ලෝකේ දාසයෙක් නොවී ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

  • ස්වර්ගයේ වස්තු රැස් කරගන්න ඔයා අදිටන් කරගෙන ඉන්නේ ඇයි?

1, 2. දුෂ්ට සමාජය තියෙන තාක් කල් දුප්පත් අය ඉඳියි කියන්නේ ඇයි?

අද තියෙන්නේ හරිම තරඟකාරී ආර්ථික රටාවක්. තරුණයන් හුඟදෙනෙකුට රස්සාවල් නැහැ. සමහරු තමන්ගේ ජීවිතේ පවා අවදානමේ දාලා ධනවත් රටවලට යන්න උත්සාහ කරනවා. ඒත් ධනවත් රටවලත් දුප්පත් අය ඉන්නවා. පොහොසත් අය එන්න එන්නම පොහොසත් වෙනවා. දුප්පත් අය තව තවත් අසරණ වෙනවා. ධනවත් අයගෙන් 1%ක් ළඟ තියෙන වත්කම්වල වටිනාකම ලෝක ජනගහනයෙන් 99%කගේ වත්කම්වල එකතුවට සමානයි කියලා වාර්තාවක සඳහන් වෙනවා. සමහරුන්ට පරම්පරා ගාණකට ඇති වෙන්න සල්ලි තිබුණත් බිලියන ගාණක් ජීවිත ගැටගහගන්නේ අමාරුවෙන්. “දිලිඳු අය නම් ඔබ සමඟ හැමදාම සිටිනවා” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (මාක් 14:7) ඒත් ඇයි මේ තරම් ඇති නැති පරතරයක්?

2 මේ ආර්ථික රටාව වෙනස් කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා යේසුස් දැනගෙන හිටියා. බයිබලේ කියනවා “සංචාරක වෙළෙන්දෝ” නැත්නම් අද තියෙන ව්‍යාපාර ලෝකය, දේශපාලනය, දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් අයිති සාතන්ගේ දුෂ්ට සමාජයට කියලා. (එළි. 18:3) දේශපාලනයෙන්, අසත්‍ය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න දෙවිගේ සේවකයන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒත් ව්‍යාපාර ලෝකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න අපෙන් වැඩිදෙනෙක්ට බැහැ.

3. අපි සලකා බලන්නේ මොන ප්‍රශ්නද?

3 ‘ව්‍යාපාර ලෝකය ඉදිරිපත් කරන දේවල් මං සලකන්නේ කොයි විදිහටද’ කියලා අපි නිතරම හිතන්න ඕනේ. දෙවි ගැන මට තියෙන විශ්වාසය ඔහුට පෙන්නන්න මං ළඟ තියෙන ධන සම්පත් යොදාගන්න පුළුවන් කොහොමද? ව්‍යාපාර ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය අඩු කරන්න මට පුළුවන් කොහොමද? දෙවිගේ සෙනඟට දෙවි ගැන විශ්වාසයි කියලා පැහැදිලි වෙන අද්දැකීම් මොනවාද?

අධර්මිෂ්ඨ සේවකයාගේ කතාව

4, 5. (අ) යේසුස් කිව්ව කතාවේ ඉන්න සේවකයාට වුණේ මොකක්ද? (ආ) යේසුස් කියලා දුන්න පාඩම මොකක්ද?

4 ලූක් 16:1-9 කියවන්න. අධර්මිෂ්ඨ සේවකයා ගැන යේසුස් කිව්ව කතාවෙන් වටින පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ සේවකයා ස්වාමියාගේ දේපළ නැති නාස්ති කරනවා කියලා දැනගත්තාම එයාව තනතුරෙන් අයින් කරන්න ස්වාමියා තීරණය කළා.a ඒ වෙලාවේ “ඥානවන්තව” වැඩ කරපු සේවකයා, පස්සේ කාලෙකදී තමන්ට උදව් කරන්න පුළුවන් අයව යාළුවන් කරගන්න පියවර ගත්තා. යේසුස් ඒ කතාව කිව්වේ මේ සමාජයේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනෙ නිසා අධර්මිෂ්ඨ විදිහට වැඩ කරන්න කියලා ඔහුගේ අනුගාමිකයන්ව දිරිගන්වන්න නෙමෙයි. ඔහුට ඕනෙ වුණේ වැදගත් පාඩමක් කියලා දෙන්න.

5 ඒ සේවකයාට වුණා වගේ මේ අසාධාරණ ලෝකේ ඉන්න තමන්ගේ අනුගාමිකයන්ටත් ජීවිතේ ගැටගහගන්න විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසා ඔහු මෙහෙම කිව්වා. ‘මෙලොවේදී ඔබ උපයන ධනයෙන් මිතුරන් ඇති කරගන්න. එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් [යෙහෝවා දෙවි සහ යේසුස්] ඔබව සාදරයෙන් පිළිගනීවි.’ ඒ උපදෙසින් අපි ඉගෙනගන්නේ මොනවාද?

6. ව්‍යාපාර ලෝකය දෙවිගේ අරමුණට ඇතුළත් වුණ දෙයක් නෙමෙයි කියලා අපි දන්නේ කොහොමද?

6 බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා කෑදර, අසාධාරණ විදිහට ලාභ උපයන එක දෙවිගේ අරමුණට ඇතුළත් වුණේ නැහැ කියලා. මේ හේතු බලන්න. දෙවි ආදම් සහ ඒවව ඒදන් උයනේ පදිංචි කරලා එයාලට අවශ්‍ය කෑම බීම ඇති තරම් ලබා දුන්නා. (උත්. 2:15, 16) මුල් සියවසේ හිටපු අභිෂේක ලත් අය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ‘එයාලා තමන් සතු දේවල් එකිනෙකා අතරේ බෙදාගත්තා. ඒ නිසා තමාට අයිති දෙයක් තමාගේ කියා කවුරුත් කිව්වේ නැහැ.’ (ක්‍රියා 4:32) හැමෝම ගස් වැල්වලින් ලැබෙන ඵලදාව හිතේ හැටියට භුක්ති විඳින කාලයක් එනවා. (යෙසා. 25:6-9; 65:21, 22) ඒ වෙන කල් යේසුස්ගේ අනුගාමිකයන්ට තමන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමහගන්න අවශ්‍ය සල්ලි උපයන්න වෙයි. ඒත් එයාලගේ ජීවිතේ ප්‍රධානම දේ වෙන්න ඕනෙ දෙවිගේ හිත සතුටු වෙන විදිහට වැඩ කරන එකයි. එහෙම කරන්න නම් “ඥානවන්තව” දේවල් කරන්න එයාලා පුරුදු වෙන්න ඕනේ.

ධනය ඥානවන්තව පාවිච්චි කරන්න

7. ලූක් 16:10-13 සඳහන් උපදෙස මොකක්ද?

7 ලූක් 16:10-13 කියවන්න. අධර්මිෂ්ඨ සේවකයා මිතුරන් ඇති කරගත්තේ තමන්ගේ වාසියට. ඒත් තමන්ට වාසි ප්‍රයෝජන ලබාගන්න අරමුණින් යෙහෝවා දෙවි එක්කත් යේසුස් එක්කත් හොඳ බැඳීමක් ඇති කරගන්න කියලා නෙමෙයි යේසුස් අනුගාමිකයන්ට උනන්දු කළේ. ඔහුට ඕනෙ වුණේ අපි උපයන ධනය පාවිච්චි කරන විදිහෙන් අපි විශ්වාසවන්ත අයද නැද්ද කියන දේ පෙන්නන්න අපිට පුළුවන් කියලා තේරුම් කරලා දෙන්නයි.

8, 9. තමන් දෙවිට විශ්වාසවන්තයි කියලා සමහරු ඔප්පු කරලා තියෙන්නේ කොහොමද?

8 ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ කාර්යය වෙනුවෙන් අපිට තියෙන දේවල් පරිත්‍යාග කරන එක අපි දෙවිට විශ්වාසවන්තයි කියලා ඔප්පු කරන්න පුළුවන් එක විදිහක්. (මතෙ. 24:14) මේ අද්දැකීම් බලන්න. ඉන්දියාවේ ඉන්න දැරියක් කැටයක් එකතු කළා. එයාට ලැබෙන කාසි එයා ඒකට දැම්මා. සෙල්ලම් බඩු ගන්නේ නැතුව ඒ සල්ලිත් කැටේට දැම්මා. කැටේ පිරුණාම ඒක එයා ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් දුන්නා. තවත් සහෝදරයෙක් එයාගේ පොල් වත්තෙන් ලැබුණ පලදාවෙන් කොටසක් මලයාලම් ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලයට පරිත්‍යාග කළා. එයාලට පොල් සල්ලිවලට ගන්න වෙන නිසා ඒ විදිහේ පරිත්‍යාගයක් කරන එක වටිනවා කියලා ඒ සහෝදරයා හිතුවා. ග්‍රීසියේ ඉන්න සහෝදරයනුත් නිතිපතා ඔලීව තෙල්, චීස් සහ වෙනත් කෑම ජාති බෙතෙල් පවුල වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

9 ශ්‍රී ලංකාවේ සහෝදරයෙක් රැස්වීම් තියන්න, සමුළු තියන්න, පූර්ණකාලීන සේවකයන්ට නවාතැන් දෙන්න නිවසක් එක්ක ඉඩමක් පරිත්‍යාග කළා. ඒක අගහිඟකම් තිබුණ සහෝදරයන් හුඟදෙනෙක්ට ප්‍රයෝජනවත් වුණා. අපේ සේවය තහනම් කරලා තියෙන රටක සහෝදරයන් රැස්වීම් තියන්න තමන්ගේ නිවෙස් ලබා දෙනවා. සහෝදරයන් ඒ පරිත්‍යාගය කළේ නැත්නම් ලොකු වියදමක් දරලා රැස්වීම් තියන්න තැන් කුලියට ගන්න වෙනවා.

10. අපි ත්‍යාගශීලී වෙද්දී අද්දකින්නේ මොන වගේ ආශීර්වාදද?

10 දෙවිගේ සේවකයන් ‘සුළු කාරණාවලදීත්’ ඒ කියන්නේ ධන සම්පත් පාවිච්චි කරන විදිහෙනුත් ‘විශ්වාසවන්තව කටයුතු කරනවා’ කියලා ඒ අද්දැකීම්වලින් පැහැදිලියි. (ලූක් 16:10) පරිත්‍යාගයන් කරද්දී තමන් කරන්නේ “සැබෑ ධනය” රැස් කරන එකයි කියලා දෙවිගේ මිතුරන් තේරුම් අරන් ඉන්නවා. ඒක එයාලට ලොකු සතුටක්. (ලූක් 16:11) නිතිපතා සම්මාදම් කරන සහෝදරියක් ගත වුණ අවුරුදු ගාණ පුරා තමන් අද්දැක්ක පුදුම දෙයක් ගැන මෙහෙම කිව්වා. “මම ත්‍යාගශීලී වෙන්න වෙන්න අනිත් අයට මං සලකන විදිහට ඒක බලපානවා කියලා මට දැනෙනවා. අනිත් අයට ඉක්මනින්ම සමාව දෙන්න, එයාලා එක්ක ඉවසීමෙන් වැඩ කරන්න, බලාපොරොත්තු කඩ වෙද්දී සැලෙන්නේ නැතුව ඉන්න, උපදෙස් කැමැත්තෙන්ම පිළිගන්න ඒ හින්දා මට පුළුවන් වෙලා තියෙනවා.” ත්‍යාගශීලී වෙද්දී ඒකෙන් තමන් කොයි තරම් ආශීර්වාද ලබනවාද කියලා හුඟක් අය තේරුම් අරන් තියෙනවා.—ගීතා. 112:5; හිතෝ. 22:9.

11. (අ) ත්‍යාගශීලී වෙද්දී අපි “ඥානවන්තව” වැඩ කරනවා කියලා ඔප්පු වෙන්නේ කොහොමද? (ආ) දෙවිගේ සෙනඟ දේවල් බෙදා හදා ගන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට දේවල් පරිත්‍යාග කරද්දී අපි “ඥානවන්තව” වැඩ කරනවා කියලත් ඔප්පු වෙනවා. සමහරවිට පූර්ණකාලීන සේවය කරන්න, ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට යන්න අපිට බැරි වෙයි. ඒත් අපි කරන පරිත්‍යාගයන් ඒ සේවය කරන අයට උදව්වක්. (හිතෝ. 19:17) සමහර දුප්පත් රටවල ඉන්න හුඟදෙනෙක්ට දෙවි ගැන දැනගන්න තියෙන්නේ පුදුම ආසාවක්. ඒ වගේ රටවලත් දේශනා සේවය දිගටම කරගෙන යන්න අපේ පරිත්‍යාග දායක වෙනවා. කොංගෝව, මැඩගස්කරය, රුවන්ඩාව වගේ රටවල බයිබල් ගිනි ගණන්. සමහර තැන්වල කෙනෙක්ට බයිබලයක් ගන්න සතියක් නැත්නම් මාසයක් වැඩ කරලා හොයන මුදල යනවා. ඒ නිසා පවුලේ අය වෙනුවෙන් කෑමද නැත්නම් බයිබලයක්ද ගන්නේ කියලා තීරණය කරන්න සහෝදරයන්ට සිද්ධ වෙනවා. අපි දෙන සම්මාදම් නිසාත් දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් ඒ සම්මාදම් “සම සේ බෙදී යන්න” සැලසුම් කරලා තියෙන නිසාත් බයිබලය විවිධ භාෂාවලට පරිවර්තනය කරලා අය කිරීමක් නැතුව බෙදාහරින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ටම තමන්ටම කියලා බයිබලයක් ලබාගන්න පුළුවන්. (2 කොරින්ති 8:13-15 කියවන්න.) පරිත්‍යාග කරන, ප්‍රයෝජන ලබන ඒ දෙගොල්ලන්ටම දෙවිගේ මිතුරන් වෙන්න ඒකෙන් අවස්ථාව ලැබිලා තියෙනවා.

ව්‍යාපාර ලෝකයේ දාසයෙක් නොවී ඉන්න

12. තමන් විශ්වාසය තියන්නේ දෙවි ගැන කියලා ආබ්‍රහම් පෙන්නුවේ කොහොමද?

12 අපි ව්‍යාපාර ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය අඩු කරලා “සැබෑ ධනය” රැස් කරනවා නම් දෙවිගේ මිතුරන් වෙන්න අපිට පුළුවන්. ආබ්‍රහම් ජීවත් වුණේ ධනවත් නගරයක් වුණ ඌර්වල. ඒත් ඒ නගරය අත්හැරලා කූඩාරම්වල ජීවත් වෙන්න කියලා දෙවි කිව්වාම එයා කීකරු වුණා. එයාට ඕනෙ වුණේ දෙවිගේ මිතුරෙක් වෙන්න. (හෙබ්‍රෙ. 11:8-10) ධන සම්පත් ගැන විශ්වාසය තියනවා වෙනුවට එයා හැම වෙලේම විශ්වාසය තිබ්බේ යෙහෝවා දෙවි ගැන. (උත්. 14:22, 23) ආබ්‍රහම්ට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න කියලා යේසුස් අනිත් අයටත් උනන්දු කළා. දවසක් යේසුස් පොහොසත් තරුණයෙකුට මෙහෙම කිව්වා. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි. ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.” (මතෙ. 19:21) ඒ තරුණයාට ආබ්‍රහම්ට තිබුණා වගේ විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් ඒ වගේ විශ්වාසයක් තිබුණ අය ඒ කාලේ හිටියා.

13. (අ) පාවුල් තිමෝතිට දුන්න උපදෙස මොකක්ද? (ආ) අපිට ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් කොහොමද?

13 තිමෝතිට ශක්තිමත් විශ්වාසයක් තිබුණා. පාවුල් එයාව “ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙකු” කියලා හැඳින්නුවා. ඊටපස්සේ එයාට මෙහෙම කිව්වා. “හේවායෙකු ලෙස සේවය කරන කිසිවෙක් තම සේවයට අදාළ නැති ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වන්නේ නැත. ඔහු එසේ සම්බන්ධ නොවන්නේ තමාව හේවායෙකු ලෙස බඳවාගත් තැනැත්තාගේ අනුමැතිය ලබාගැනීම සඳහාය.” (2 තිමෝ. 2:3, 4) පූර්ණකාලීන සේවකයන් ඇතුළුව යේසුස්ගේ හැම අනුගාමිකයෙක්ම උත්සාහ කරන්නේ පාවුල් දුන්න ඒ උපදෙස අදාළ කරගන්නයි. වෙළඳ ලෝකය ආකර්ෂණීය දේවල් ඉදිරිපත් කළත් ඒවාට අහු නොවී ඉන්න එයාලා ලොකු වෑයමක් දරනවා. මොකද එයාලා දන්නවා “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙක්” කියලා. (හිතෝ. 22:7) සාතන්ට ඕනෙ ව්‍යාපාර ලෝකය වෙනුවෙන් අපි අපේ මුළු කාලය, ශක්තිය වැය කරනවා දකින්නයි. ගෙවල් හදන්න, වාහන ගන්න, උසස් අධ්‍යාපනයක් ලබාගන්න, විවාහ උත්සවය ලොකුවට ගන්න සමහරු ණය වෙනවා. ඊටපස්සේ අවුරුදු ගාණක් යන කල් ඒ ණය ගෙවනවා. ඒත් ඥානවන්ත කෙනෙක් තමන්ගේ ජීවිතේ සරල කරගන්නවා. අරපිරිමැස්මෙන් වියදම් කරලා ණය නොවී ඉන්නවා. ඒ වගේ කෙනෙක්ට පුළුවන් ව්‍යාපාර ලෝකේ දාසයෙක් නොවී දෙවිට වැඩි සේවයක් කරන්න.—1 තිමෝ. 6:10.

14. අපේ අදිටන වෙන්න ඕනෙ මොකක්ද? උදාහරණ දෙන්න.

14 සරල ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් වෙන්නේ අපි දේවරාජ්‍යයට මුල් තැන දෙනවා නම් විතරයි. යුවළකට ඕනෙ වුණා පූර්ණකාලීන සේවය පටන්ගන්න. සරුවට කරගෙන ගිය එයාලගේ ව්‍යාපාරය, බඩුමුට්ටු විකුණලා එයාලා වෝර්වික්වල ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න ගියා. එයාලගේ දුවයි, බෑනයි සේවය කළේ බෙතෙල් එකේ නිසා ඒ දෙන්නාත් එක්ක සේවය කරන්න ලැබුණ එක මේ යුවළට ලොකු සතුටක්. ඒ සහෝදරයාගේ දෙමාපියනුත් සති කීපයකට ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න ආවා. පවුලක් විදිහට කරපු ඒ සේවය කවදාවත් එයාලට අමතක වෙන එකක් නැහැ. එක්සත් ජනපදයේ ඉන්න තවත් සහෝදරියකට බැංකුවක සතියට දවස් කීපයක් වැඩ කරන රස්සාවක් ලැබුණා. සතියම වුණත් වැඩට එන්න කියලත් පඩිය තුන් ගුණයකින් වැඩි කරන්නම් කියලත් බැංකුවේ ප්‍රධානීන් එයාට කිව්වා. ඒත් සේවයට මුල් තැන දෙන්න බැරි වෙන නිසා එයා ඒක ප්‍රතික්ෂේප කළා. දේවරාජ්‍යයට මුල් තැන දෙන්න අපි අදිටන් කරගෙන ඉන්නවා නම් ඒකෙන් අපි පෙන්නන්නේ අපිට වටින්නේ ධන සම්පත් රැස් කරන එක නෙමෙයි දෙවිගේ යාළුවෙක් වෙන්න ලැබුණ එක කියලයි. ඒ වගේම ස්වර්ගයේ වස්තු රැස් කරගන්න අපි වෙහෙසෙනවා කියලයි.

ධනය අහිමි වුණාම

15. අපි මොන වස්තුව රැස් කළොත්ද නියම සතුට ලැබෙන්නේ?

15 අපිට හුඟක් ධන සම්පත් තිබුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපිට දෙවිගේ අනුමැතිය තියෙනවා කියලා. දෙවි ආශීර්වාද කරන්නේ “යහපත් ක්‍රියාවලින් පොහොසත්” අයට. (1 තිමෝති 6:17-19 කියවන්න.) ඉතාලියේ හිටපු සහෝදරි ලූචියා ඇල්බේනියාවේ ප්‍රචාරකයන් අඩුයි කියලා දැනගත්තාම 1993දී එහේට ගියා.b එහේ එයාට රස්සාවක් තිබුණේ නැතත් යෙහෝවා දෙවි එයාව බලාගනියි කියන විශ්වාසය එයාට තිබුණා. එයා ඇල්බේනියන් භාෂාව ඉගෙනගත්තා. 60කට වඩා වැඩිදෙනෙක්ට දෙවිට කැප වෙන්න එයා උදව් කළා. සමහරවිට ඒ වගේ අද්දැකීම් ලබන්න අපිට බැරි වෙයි. ඒත් දෙවිට ළං වෙන්න අනිත් අයට උදව් කරන්න අපි කරන හැම පුංචි දෙයක්ම ස්වර්ගයේ තියෙන අපේ වස්තු ගබඩාවට එකතු වෙනවා. ඒ වස්තුව කවදාවත් නැති වෙන්නේ නැහැ.—මතෙ. 6:20.

16. (අ) ව්‍යාපාර ලෝකයට වෙන්නේ මොකක්ද? (ආ) ඒක අපිට බලපාන්න ඕනෙ කොහොමද?

16 ව්‍යාපාර ලෝකෙට වෙන දේ ලූක් 16:9 යේසුස් කියපු දෙයින් පැහැදිලියි. ඔහු කිව්වේ ‘ධනය අහිමි වූ විට’ කියලා මිසක් ධනය අහිමි වුණොත් කියලා නෙමෙයි. සමහර බැංකු දැනටමත් බංකොලොත් වෙලා. සමහර රටවල ආර්ථිකය කඩා වැටිලා. ළඟදීම තත්වය තවත් නරක අතට හැරෙනවා. සාතන්ගේ දුෂ්ට සමාජයට අයිති දේශපාලනය, දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්, ව්‍යාපාර ලෝකය විනාශ වෙනවා. ව්‍යාපාර ලෝකේ වටිනා දේවල් විදිහට සලකන රන්, රිදීවල කිසි වටිනාකමක් නැති දවසක් එනවා. (එස. 7:19; ශෙප. 1:18) හිතන්න, ඔයා ඔයාගේ ජීවිතේ අවසානයට ළං වෙලා කියලා. ජීවිත කාලෙම ඔයා කරලා තියෙන්නේ මේ ලෝකේ දේවල් ලබාගන්න වෙහෙසෙන එකයි. දැන් ඔයාට කොහොම හැඟෙයිද? ජීවිත කාලේ පුරාම වෙහෙසිලා ගොඩගහගත්ත සල්ලි හොර සල්ලි කියලා අන්තිමේදී දැනගත්ත කෙනෙක්ට ඇති වෙන හැඟීමම ඔයාටත් ඇති වෙයි. (හිතෝ. 18:11) මේ ලෝකේ අපි උපයන ධනයේ කිසිම වටිනාකමක් නැති දවසක් එනවා. ඒත් දැන් ඔයාට අවස්ථාව තියෙනවා ඔයා උපයන ධනය යෙහෝවා දෙවි සහ යේසුස් එක්ක ඔයාට තියෙන මිත්‍රත්වය තව වැඩි කරගන්න විදිහට යොදාගන්න. ඒ අවස්ථාව අත්හරින්න එපා. මොකද අපිට සැබෑ සතුට ලැබෙන්නේ දෙවි වෙනුවෙනුත් දේවරාජ්‍යය වෙනුවෙනුත් කරන දේවලින් විතරයි.

17, 18. දෙවිගේ මිතුරන්ගේ අනාගතය කොයි වගේද?

17 දේවරාජ්‍යය පොළොව පාලනය කරද්දී කුලී ගෙවන්නවත්, ණය ගන්නවත් කාටවත් සිද්ධ වෙන්නේ නැහැ. හැමෝටම ඇති තරම් කෑම එදාට තියෙනවා. වෛද්‍යවරු, බෙහෙත් එදාට නැහැ. යෙහෝවා දෙවිගේ යාළුවෝ හැමෝම පොළොවේ තියෙන දේවල් හිතේ හැටියට භුක්ති විඳියි. රන්, රිදී, මැණික් එදාට අපි අගය කරන්නේ ඒවාවල තියෙන ලස්සන නිසා මිසක් ඒවාවලින් ධනවත් වෙන්න නෙමෙයි. අපේ ගෙවල් ඉදි කරන්න වටිනා ලී, ගල්, ලෝහ වර්ග ඕනෙ තරම් තියෙයි. අපේ යාළුවෝ අපිට උදව් කරන්නේ කැමැත්තෙන්මයි. සල්ලි බලාගෙන නෙමෙයි. පොළොවේ තියෙන හැම දේම එදාට අපි බෙදා හදා ගන්නවා.

18 ඒ අපි කතා කළේ යෙහෝවා දෙවිව සහ යේසුස්ව යාළුවන් කරගන්න අයට ලැබෙන ආශීර්වාදවලින් ටිකක් ගැන විතරයි. “මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. පොළොවේ දරුවන් බිහි වූ දා සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න” කියලා යේසුස් කියන හඬ ඇහෙද්දී පොළොවේ ඉන්න දෙවිගේ හැම සේවකයෙක්ම සතුටින් ඉපිල යයි.—මතෙ. 25:34.

a සේවකයා ගැන ස්වාමියාට “දැනගන්න ලැබුණ” තොරතුරු ඇත්තද, බොරුද කියලා යේසුස් කිව්වේ නැහැ. කවුරු හරි ස්වාමියාට බොරුවක් කිව්වා වෙන්න පුළුවන්. යේසුස් අවධානය දුන්නේ තනතුර අහිමි වෙනවා කියලා දැනගත්තාම සේවකයා කරපු දේට මිසක් එයාට තනතුර අහිමි වුණ හේතුවට නෙමෙයි.

b සහෝදරි ලූචියාගේ ජීවිත කතාව 2003 ජූලි 8 ‘පිබිදෙව්!’ කලාපයේ 18-22 පිටුවල පළ වුණා.

ඔන්ලයින් සම්මාදම් කරන්න කැමති නම්

jw.org වෙබ් අඩවිය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකේ පුරාම කරන බයිබල් අධ්‍යාපන සේවයට, ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අයට උදව් කරන වැඩවලට අවශ්‍ය මුදල් ලැබෙන්නේ ස්වේච්ඡාවෙන් කරන සම්මාදම්වලින්. ඔන්ලයින් සම්මාදමක් කරන්න කැමති නම් jw.org/si වෙබ් අඩවියේ ඕනෑම පිටුවක පහළ තියෙන “සම්මාදමක් කරන්න කැමති නම්” කියන ලින්ක් එක ක්ලික් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න