ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 ජූලි 22-26 පි.
  • “ඔබේ සියලු සැලසුම් ඔහු සාර්ථක කරනු ලැබේවා!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ සියලු සැලසුම් ඔහු සාර්ථක කරනු ලැබේවා!”
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නියම සතුට අද්දකින්න නම් . . .
  • කරන්න පුළුවන් හොඳම කාර්යය
  • වැඩි සේවයක් කරන්න අවස්ථා
  • ඔයාගේ අනාගත සැලසුම් මොනවාද?
  • පූර්ණ කාලීන සේවයෙන් ලබන ප්‍රීතිය
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද?
    යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද?
  • පූර්ණකාලීන සේවකයන්ව අගයමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමී සේවයේ ආශීර්වාද
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 ජූලි 22-26 පි.
යෞවන සහෝදරයෙක් එක අතක පූර්ණකාලීන සේවයට අයදුම්පතකුත් අනිත් අතේ විශ්වවිද්‍යාල පාඨමාලා ගැන තියෙන පත්‍රිකාවකුත් තියාගෙන ඉන්නවා

“ඔබේ සියලු සැලසුම් ඔහු සාර්ථක කරනු ලැබේවා!”

“යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.”—ගීතා. 37:4.

ගීතිකා: 135, 81

ඔයා හිතන්නේ මොකක්ද?

  • අනාගතය සාර්ථක කරගන්න නම් ඔයා කරන්න ඕනෙ මොන වගේ සැලසුම්ද?

  • යෞවන කාලෙදීම පූර්ණකාලීන සේවය පටන්ගන්න එකෙන් ඔයාට ලැබෙන්නේ මොන වගේ පුහුණුවක්ද?

  • පුරෝගාමි සේවය නිසා තව මොන වගේ විදිවලින් සේවය කරන්න ඔයාට අවස්ථාව ලැබෙයිද?

1. යෞවනයෙක් ගන්න ඕනෙ තීරණය මොකක්ද? ඒ ගැන කනස්සලු නොවී ඉන්න එයාට උදව් වෙන්නේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

අපේ ජීවිතය හරියට දිගු ගමනක් වගේ. ඒ ගමන යන්න ඕනෙ කොහේටද කියලා කලින්ම සැලසුම් කළොත් තමයි අපිට ඕනෙ තැනට යන්න පුළුවන් වෙන්නේ. යෞවනයෙනි, ඒ තීරණය ඔයා ගන්න ඕනෙ යෞවන කාලෙදීමයි. යෞවනියක් වන හෙදර් මෙහෙම කිව්වා. “අපිට දැන් ගන්න තියෙන්නේ මුළු ජීවිතේටම බලපාන තීරණයක්. ඒ ගැන හිතද්දීත් බයයි.” ඔයාටත් එහෙම හිතෙනවා නම් යෙහෝවා දෙවි කිව්ව මේ දේ මතක තියාගන්න. “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි.”—යෙසා. 41:10.

2. ඔයා තෘප්තිමත් අනාගතයක් වෙනුවෙන් සැලසුම් කරනවාටයි දෙවි කැමති කියලා ඔයා දන්නේ කොහොමද?

2 යෙහෝවා දෙවි ඔයාට උනන්දු කරන්නේ අනාගතය ඥානවන්තව සැලසුම් කරන්න කියලයි. (දේශ. 12:1; මතෙ. 6:20) ඔහු කැමති ඔයා සතුටින් ඉන්නවාටයි. දෙවිගේ නිර්මාණ දකිද්දී, ඒවාවල රස බලද්දී ඒක අපිට තහවුරු වෙනවා. දෙවි අපිට ජීවත් වෙන්න ඕනෙ හොඳම විදිහ උගන්වනවා. ඔහුගේ උපදෙස් පිළි නොගන්න අයට දෙවි මෙහෙම කියනවා. ‘ඔබ තෝරාගත්තේ මා කැමති නැති දේමය. මාගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යන නමුත් ඔබට අත් වන්නේ ලැජ්ජාව පමණි. මාගේ සේවකයන් සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟනවා.’ (යෙසා. 65:12-14) අපි ඥානවන්ත තීරණ ගද්දී දෙවිව ගෞරවයට පත් වෙනවා.—හිතෝ. 27:11.

නියම සතුට අද්දකින්න නම් . . .

3. ඔයා මොනවා කළොත් හොඳයි කියලාද දෙවි කියන්නේ?

3 ඔයා මොන වගේ සැලසුම් කළොත් හොඳයි කියලාද දෙවි හිතන්නේ? අපිට සැබෑ සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ දෙවිව හඳුනාගෙන ඔහුට සේවය කරද්දියි. දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඒ විදිහට. (ගීතා. 128:1; මතෙ. 5:3) ඔහු අපිව නිර්මාණය කරලා තියෙන විදිහ සතුන්ව නිර්මාණය කරලා තියෙන විදිහට වඩා හුඟක් වෙනස්. උන් කාලා, බීලා, වර්ගයා බෝ කරලා සෑහීමට පත් වෙනවා. ඒත් ඔයා ඊට වඩා අර්ථවත් ජීවිතයක් වෙනුවෙන් සැලසුම් කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. ඔයාගේ නිර්මාතෘ ප්‍රේමණීය, “ප්‍රීතිමත්” දෙවි කෙනෙක්. ඔහු මිනිසුන්ව නිර්මාණය කළේ “ඔහුගේම ගතිලක්ෂණ ඇතුව.” (2 කොරි. 13:11; 1 තිමෝ. 1:11; උත්. 1:27) දෙවිව ආදර්ශයට ගද්දී සැබෑ සතුට අද්දකින්න ඔයාට පුළුවන්. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලයි බයිබලේ කියන්නේ. (ක්‍රියා 20:35) දෙවි ගැන, අනිත් අය ගැන ඔයාට තියෙන ආදරේ පැහැදිලිව දකින්න පුළුවන් වෙන විදිහට ඔයාගේ අනාගතය සැලසුම් කරන්න කියලා දෙවි ඔයාට කියන්නේ ඒ නිසයි.—මතෙව් 22:36-39 කියවන්න.

4, 5. යේසුස් සතුටක් ලැබුවේ මොන දේවලින්ද?

4 යෞවනයෙනි, ඔයාලට ඉන්න හොඳම ආදර්ශය යේසුස්. පොඩි කාලේ ඔහු සෙල්ලම් කරලා විනෝද වෙන්න ඇති. (දේශ. 3:4) ඒත් යේසුස් කළේ ඒ දේවල් විතරක් නෙමෙයි. ඔහු ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරලා දෙවිට ළං වෙන්න පියවර ගත්තා. අවුරුදු 12ක් වෙද්දී ‘ඔහුට තිබුණු අවබෝධය ගැන හා ඔහු පිළිතුරු දුන් ආකාරය ගැන’ දේවමාලිගාවේ හිටපු ගුරුවරු පුදුම වුණා.—ලූක් 2:42, 46, 47.

5 වැඩිහිටි වියේදීත් යේසුස් සතුට අද්දැක්කා. ඒ දෙවි බලාපොරොත්තු වුණ දේ ඔහු කරපු නිසයි. තමන් ‘දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරයි’ කියලත් ‘අන්ධයන්ට නැවත පෙනීම ලබා දෙයි’ කියලත් දෙවි බලාපොරොත්තු වුණා කියලා යේසුස් දැනගෙන හිටියා. (ලූක් 4:18) ඒ ගැන ඔහුට හැඟුණේ මෙහෙමයි. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි.” (ගීතා. 40:8) තමන්ගේ තාත්තා ගැන අනිත් අයට කියලා දීලා යේසුස් කොයි තරම් සතුටක් අද්දැක්කාද! (ලූක් 10:21 කියවන්න.) දවසක් යේසුස් සැබෑ නමස්කාරය ගැන ස්ත්‍රියකට පැහැදිලි කළාට පස්සේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.” (යොහ. 4:31-34) යේසුස් තෘප්තිමත් ජීවිතයක් ගත කළේ දෙවිට, අනිත් අයට ආදරේ කරපු නිසයි. ඒ ආදරේ ක්‍රියාවෙන් පෙන්නපු නිසයි. ඔයාත් ඒ දේම කරනවා නම් සැබෑ සතුට අද්දකින්න පුළුවන්.

6. ඔයාගේ සැලසුම් ගැන අනිත් අය එක්ක කතා කරන එක වැදගත් ඇයි?

6 යෞවන කාලෙදී පුරෝගාමි සේවය පටන්ගත්ත හුඟක් අය අපි අතරේ ඉන්නවා. ඔයාගේ අනාගත සැලසුම් ගැන එයාලා එක්ක කතා කරන්න. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝ. 15:22) ජීවිත කාලෙටම ප්‍රයෝජනවත් පුහුණුවක් පුරෝගාමි සේවයෙන් ලැබෙනවා කියලා එයාලා ඔයාට කියයි. යේසුත් ස්වර්ගයේ ඉද්දී යෙහෝවා දෙවිගෙන් පුහුණුවක් ලැබුවා. පොළොවේදීත් ඔහු හුඟක් දේවල් ඉගෙනගත්තා. ශුභාරංචිය දේශනා කරද්දී අද්දකින සතුට මොන වගේද, අමාරු අවස්ථාවලදී දෙවිට ළැදිව ඉද්දී අද්දකින සතුට මොන වගේද කියලා ඔහු ඉගෙනගත්තේ පොළොවේදී. (යෙසායා 50:4 කියවන්න; හෙබ්‍රෙ. 5:8; 12:2) දැන් අපි බලමු පූර්ණකාලීන සේවයෙන් ඔයාට සතුටක් ලබන්න පුළුවන් කියන්නේ ඇයි කියලා.

කරන්න පුළුවන් හොඳම කාර්යය

7. යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරලා හුඟක් යෞවනයන් සතුට අද්දකින්නේ ඇයි?

7 යේසුස්ගේ ‘ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන්න’ කියලා ඔහු අපිට කිව්වා. (මතෙ. 28:19, 20) ඒ කාර්යය පූර්ණකාලීනව කරන්න ඔයා සැලසුම් කරනවා නම් තෘප්තිමත් වගේම දෙවිව ගෞරවයට පත් කරන ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන්. ඒත් ඒ කාර්යය දක්ෂ විදිහට කරන්න ඉගෙනගන්න ඔයාට කාලයක් යයි. යෞවන වයසේදී පුරෝගාමි සේවය පටන්ගත්ත තිමති මෙහෙම කියනවා. “මං පූර්ණකාලීන සේවයට ආසයි. මොකද මගේ ආදරේ මං දෙවිට පෙන්නන්නේ ඒ විදිහට. මුලදී නම් මට එක බයිබල් පාඩමක්වත් තිබුණේ නෑ. පස්සේ මං වෙන ප්‍රදේශයකට ගියා. එහෙදී මාසයක් යන්නත් කලින් පාඩම් කීපයක්ම පටන්ගන්න පුළුවන් වුණා. එක් කෙනෙක් රැස්වීම්වලටත් ආවා. තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලට සහභාගි වුණාට පස්සේ මට අලුත් පැවරුමක් ලැබුණා.a එහෙදී මං බයිබල් පාඩම් 4ක් පටන්ගත්තා. දෙවිගේ බලය මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන විදිහ දකින එක තරම් සතුටක් තවත් නෑ.”—1 තෙස. 2:19.

8. සමහර යෞවනයන් කරලා තියෙන්නේ මොනවාද?

8 සමහර යෞවනයන් වෙනත් භාෂාවක් ඉගෙනගෙන තියෙනවා. එක්සත් ජනපදයේ ඉන්න ජේකබ් මෙහෙම ලිව්වා. “මට වයස 7දී පන්තියේ හිටපු ළමයි හුඟදෙනෙක් වියට්නාම ජාතිකයන්. එයාලටත් දෙවි ගැන කියලා දෙන්න ඕනෙ නිසා මං ඒ භාෂාව ඉගෙනගන්න හිතුවා. ඒකට මට හුඟක්ම උදව් වුණේ ඒ භාෂාවෙන් තිබුණ ‘මුරටැඹ’ සඟරාවයි, ඉංග්‍රීසි සඟරාවයි එකට තියාගෙන බලපු එක. වියට්නාම භාෂාව කතා කරන සභාවේ අයවත් මං ආශ්‍රය කළා. වයස 18දී මං පුරෝගාමි සේවය පටන්ගත්තා. තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලටත් ගියා. ඒ පුහුණුව දැන් මං කරන පැවරුමට ලොකු උදව්වක් වුණා. මං සේවය කරන්නේ වියට්නාම භාෂාව කතා කරන කණ්ඩායමක. ඒකේ එකම වැඩිමහල්ලා මං. සේවයේදී හම්බ වෙන වියට්නාම ජාතිකයන් හුඟදෙනෙක් මං ඒ භාෂාව ඉගෙනගත්ත එක ගැන පුදුම වෙනවා. එයාලා මාව ආදරෙන් පිළිගන්නවා. බයිබලේ පාඩම් කරන්නත් කැමති වෙනවා. සමහරු දැන් බව්තීස්මත් වෙලා.”—ක්‍රියා 2:7, 8 බලන්න.

9. යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරද්දී ලැබෙන්නේ මොන වගේ පුහුණුවක්ද?

9 ඒකෙන් හොඳ පුහුණුවක් ලැබෙනවා. වෙලාවට, පිළිවෙළට වැඩ කරන්න වගේම හොඳින් අදහස් හුවමාරු කරගන්න, විවිධ තත්වයන්ට අනුව හැඩගැහිලා වැඩ කරන්න, බය නැති කරගන්න ඒකෙන් කෙනෙක් පුහුණු වෙනවා. (හිතෝ. 21:5; 2 තිමෝ. 2:24) ඒත් ඒ කාර්යයට හවුල් වෙන එකෙන් ඔයා ලබන ලොකුම සතුට තමයි ඔයාගේ විශ්වාසයන් බයිබලෙන්ම ඔප්පු කරන්න ඔයා ඉගෙනගන්න එක. යෙහෝවා දෙවි එක්ක එකට වැඩ කරන්නත් ඒකෙන් ඔයා ඉගෙනගන්නවා.—1 කොරි. 3:9.

10. මිනිසුන් පණිවිඩයට උනන්දු නැති වුණත් ඔයාගේ සතුට දිගටම තියාගන්න පුළුවන් කොහොමද?

10 බයිබල් පාඩම් හොයාගන්න අමාරු පැත්තක ඔයා සේවය කළත් සතුට නැති කරගන්න එපා. යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන එක සභාවේ හැමෝම කණ්ඩායමක් විදිහට කරන කාර්යයක්. බයිබල් පාඩමක් පටන්ගන්න පුළුවන් වෙන්නේ අපෙන් එක් කෙනෙක්ට විතරක් වෙන්න පුළුවන්. ඒත් එයාව හොයන කාර්යයට හැමෝම හවුල් වුණ නිසා හැමෝටම සතුටු වෙන්න පුළුවන්. ශුභාරංචියට උනන්දු නැති අය ඉන්න පැත්තක අවුරුදු 9ක් පුරෝගාමි සේවය කරපු බ්‍රැන්ඩන් මෙහෙම කියනවා. “දේශනා කරන්න කියලා අපිට කියන්නේ යෙහෝවා දෙවි නිසා මං ඒ සේවයට ආසයි. ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්ම මං පුරෝගාමි සේවය පටන්ගත්තා. සභාවේ ඉන්න යෞවනයන්ව දිරිගන්වද්දී, එයාලා සේවය තව වැඩියෙන් කරන්න පියවර ගද්දී මට ලොකු සතුටක් දැනෙනවා. තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලට මං ගියා. මේ වෙන කල් සේවයේදී මට හම්බ වුණ කවුරුත් බව්තීස්මය දක්වා දියුණු වෙලා නෑ. ඒත් සභාවේ අනිත් අයට එහෙම අයව හම්බ වෙලා තියෙනවා. මේ සේවය උපරිමයෙන් කරන්න මං හවුල් වෙන එක ගැන මට සතුටුයි.”—දේශ. 11:6.

වැඩි සේවයක් කරන්න අවස්ථා

11. යෞවනයන් හුඟදෙනෙක් දෙවිට සේවය කරන තව විදිහක් මොකක්ද?

11 දෙවිට වැඩි සේවයක් කරන්න ඕනෑ තරම් අවස්ථා තියෙනවා. ඉදි කිරීම් ව්‍යාපෘති ගැන හිතන්න. හුඟක් යෞවනයන් ඒවාවල සේවය කරනවා. නමස්කාර මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක අවශ්‍යතාව තවමත් තියෙනවා. අපේ නමස්කාර මධ්‍යස්ථාන යෙහෝවා දෙවිට ගෞරවයක් ගේන නිසා ඒවා ඉදි කරන්න හවුල් වෙන එකෙන් ඔයාට ලොකු තෘප්තියක් අද්දකින්න පුළුවන්. සහෝදරයන් එක්ක එකට වැඩ කරන එකත් ලොකු සතුටක්. වැඩක් ප්‍රමිතියට, ආරක්ෂාකාරීව කරන්නත් මූලිකත්වය ගන්න සහෝදරයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නත් ඔයා ඉගෙනගනියි.

පුර්ණකාලීන සේවය කරන යෞවනයෙකුගේ මතක සටහන්

පූර්ණකාලීන සේවය කරන අය හුඟක් ආශීර්වාද අද්දකිනවා (11-13 ඡේද බලන්න)

12. පුරෝගාමි සේවය නිසා තව මොන වගේ විදිවලින් දෙවිට සේවය කරන්න අවස්ථාව ලැබෙයිද?

12 කෙවින් මෙහෙම කියනවා. “පුංචි කාලේ ඉඳලා මට ඕනෙ වුණේ පූර්ණකාලීන සේවය කරන්න. අවුරුදු 19දී මං පුරෝගාමි සේවය පටන්ගත්තා. දවස් කීපයක් ඉදි කිරීම් වැඩ කරපු සහෝදරයෙක් ළඟ වැඩත් කළා. වහලවල් ගහන්න, දොර ජනෙල් හයි කරන්න ඒකෙන් මං ඉගෙනගත්තා. පස්සේ කාලෙක සුළිසුළං නිසා අවතැන් වුණ සහෝදරයන්ගේ ගෙවල්, නමස්කාර මධ්‍යස්ථාන හදන ව්‍යාපෘතියක අවුරුදු 2ක් මං වැඩ කළා. ඊටපස්සේ ඉදි කිරීම් වැඩවලට දකුණු අප්‍රිකාවට යන්න මට අවස්ථාව ලැබුණා. අපි සති කීපයක් ඇතුළත එක නමස්කාර මධ්‍යස්ථානයක් හදනවා. ඊටපස්සේ තවත් එකක් හදන්න යනවා. ඉදි කිරීම් කණ්ඩායම පවුලක් වගේ. අපි ඉන්නේ එක ගෙදර. බයිබලේ අධ්‍යයනය කරන්නේ, වැඩ කරන්නේ එකට. මෙහේ සහෝදරයෝ එක්ක සේවයේ යන්න ලැබෙන එකත් මට ලොකු සතුටක්. වැඩි සේවයක් කරන්න යෞවන වයසේදීම මං සැලසුම් කරපු නිසා හිතුවෙවත් නැති තරම් තෘප්තියක් අද මං අද්දකිනවා.”

13. යෞවනයන් හුඟදෙනෙක් බෙතෙල් සේවයෙන් සතුටක් ලබන්නේ ඇයි?

13 කලින් පුරෝගාමි සේවය කරපු සමහරු දැන් සේවය කරන්නේ බෙතෙල් එකේ. බෙතෙල් එකේ කරන හැම දේම යෙහෝවා දෙවි වෙනුවෙන් කරන සේවයක් නිසා එයාලා අද්දකින්නේ ලොකු තෘප්තියක්. මිනිසුන්ට සත්‍යය ඉගෙනගන්න උදව් වෙන බයිබලය, ප්‍රකාශන ලබා දෙන කාර්යයට බෙතෙල් සේවකයන් හවුල් වෙනවා. බෙතෙල් සේවකයෙක් වන ඩස්ටින් මෙහෙම කියනවා. “අවුරුදු 9 ඉඳන් මගේ ඉලක්කය වුණේ පූර්ණකාලීන සේවය. ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්ම මං පුරෝගාමි සේවය පටන්ගත්තා. අවුරුදු 1 1/2කට පස්සේ මට බෙතෙල් එකට එන්න කිව්වා. ලෝකේ පුරාම ශුභාරංචිය දේශනා කරලා ලබන අද්දැකීම් ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා. අපි කරන සේවය යෙහෝවා දෙවිට ළං වෙන්න මිනිසුන්ට උදව්වක් නිසා මං මේ සේවයට ආසයි.”

ඔයාගේ අනාගත සැලසුම් මොනවාද?

14. පූර්ණකාලීන සේවයට සූදානම් වෙන්න දැන් ඔයාට මොනවාද කරන්න පුළුවන්?

14 පූර්ණකාලීන සේවයට සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයාට උදව් වෙන වැදගත්ම දේ යේසුස්ව හොඳින් ආදර්ශයට ගන්න ඉගෙනගන්න එක. බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට කල්පනා කරන එක අතපසු කරන්න එපා. රැස්වීමේදී අදහස් ඉදිරිපත් කරලා ඔයාගේ විශ්වාසය පෙන්නන්න. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම අනිත් අයට හොඳින් දේශනා කරන්න පුහුණු වෙන්න. අදහස් එළියට ගන්න විදිහේ ප්‍රශ්න අහන්න, මිනිසුන්ට හොඳින් ඇහුම්කන් දීලා එයාලා ගැන තියෙන සැලකිල්ල පෙන්නන්න ඉගෙනගන්න. නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන, නඩත්තු කරන වැඩවලට හවුල් වෙන්න. යෙහෝවා දෙවි ඔහුගේ වැඩවලට පාවිච්චි කරන්නේ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන, නිහතමානී අයව. (ගීතාවලිය 110:3 කියවන්න; ක්‍රියා 6:1-3) අනිත් අයට සේවය කරලා “සහෝදරයන් අතර හොඳ නමක් දිනාගෙන” හිටපු නිසයි මිෂනාරි සේවය කරන්න පාවුල් තිමෝතිට ආරාධනා කළේ.—ක්‍රියා 16:1-5.

15. මොන වගේ දේවල් කරන එක රස්සාවක් හොයාගන්න ඔයාට උදව් වෙයිද?

15 හුඟක් පුරෝගාමීන් තමන්ගේ වියදම් පියවාගන්න රස්සාවක් කරනවා. (ක්‍රියා 18:2, 3) ඔයාගේ ප්‍රදේශයේ මොන වගේ රස්සාවලටද ඉල්ලුමක් තියෙන්නේ කියලා හොයලා බලන්න. ඒ වගේ රස්සාවක් ඉලක්ක කරගෙන පාඨමාලාවක් කරන්න ඔයාට පුළුවන්. ඒ සැලසුම් ගැන චාරිකා සේවක එක්ක, අනිත් පුරෝගාමීන් එක්ක කතා කරලා එයාලගෙනුත් අදහස් ගන්න. බයිබලේ කියන්නේ “ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි” කියලා.—හිතෝ. 16:3; 20:18.

16. අනාගතයේ ලැබෙන වෙනත් වගකීම්වලට පූර්ණකාලීන සේවය පුහුණුවක් වෙන්නේ කොහොමද?

16 යෙහෝවා දෙවිට ඕනෙ ඔයා “සැබෑ ජීවිතය තදින් අල්ලාගන්නවා” දකින්නයි. (1 තිමෝති 6:18, 19 කියවන්න.) පූර්ණකාලීන සේවය කරද්දී අද්දැකීම් තියෙන අය එක්ක වැඩ කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඒක ඔයාට උදව්වක්. යෞවන වයසේදී ඒ සේවය පටන්ගත්ත හුඟදෙනෙක් තේරුම් අරන් තියෙනවා ඒකෙන් ලැබුණ පුහුණුව පස්සේ කාලෙක එයාලගේ විවාහ ජීවිතේටත් උදව් වෙලා තියෙනවා කියලා. තනිකඩව ඉද්දී පුරෝගාමි සේවය කරපු හුඟක් අය විවාහ වුණාට පස්සෙත් යුවළක් විදිහට දිගටම ඒ සේවය කරනවා.—රෝම 16:3, 4.

17, 18. අනාගත සැලසුම් හදවතින්ම එන්න ඕනෙ දෙයක් කියන්නේ ඇයි?

17 ගීතාවලිය 20:4 කියන්නේ ‘ඔබේ සිතේ ආශාව දෙවි ඉටු කරනු ලැබේවා! ඔබේ සියලු සැලසුම් ඔහු සාර්ථක කරනු ලැබේවා’ කියලයි. අනාගතය සැලසුම් කරද්දී ‘ඇත්තටම මට ඕනෙ මගේ ජීවිතේ කොයි විදිහට ගෙවන්නද’ කියලා හිතන්න. මේ කාලේ යෙහෝවා දෙවි කරන පුදුමාකාර දේවල් ගැනත් ඔහුට සහය වෙන්න ඔයාට පුළුවන් කොහොමද කියලත් හිතන්න. ඊටපස්සේ දෙවි බලාපොරොත්තු වෙන දේ කරන්න සැලසුම් කරන්න.

18 පූර්ණකාලීන සේවය කරන්න සැලසුම් කළොත් දෙවිව ගෞරවයට පත් කරන්න ඔයාට පුළුවන්. ඒ සතුට වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. “යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරයි.”—ගීතා. 37:4.

a ඒ පාසැල වෙනුවට දැන් තියෙන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න