23වෙනි පරිච්ඡේදය
කපර්ණවුමේදී තවත් ප්රාතිහාර්යයන්
යේසුස් තම මුල්ම ගෝලයන් සතරදෙනා වන පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් කැඳවීමෙන් පසුව එළඹි සබත් දවසේදී ඔවුන් සියලුදෙනාම යනවා කපර්ණවුමේ තිබෙන සිනගෝගයට. එහිදී යේසුස් ජනයාට උගන්වන්න පටන්ගන්නවා. ඔහු උගන්වන්නේ ලියන්නන් වාගේ නොවෙයි, අධිකාරිය ඇති කෙනෙක් වාගෙයි. ඒ නිසා ජනයා පුදුමයට පත් වෙනවා.
මේ සබත් දවසේදී භූතාවේශ වූ මනුෂ්‍යයෙක් එහි සිටිනවා. ටික වේලාවකට පසු ඔහු මහ හයියෙන් කෑ ගසමින් පවසන්නේ මෙසේයි. ‘නාසරිය යේසුස්, ඔබ හා අප අතර මොන ගනු දෙනුවක්ද? ඔබ ආවේ අපව විනාශ කරන පිණිසද? ඔබ කවුද කියා මම හොඳින් දනිමි. ඔබ දෙවිගේ ශුද්ධ තැනැත්තාය.’
ඇත්තෙන්ම මේ මනුෂ්‍යයාට ආවේශ වී ඔහුව මෙහෙයවමින් සිටින්නේ සාතන්ගේ භූතයෙක්. භූතයාට තරවටු කරමින් යේසුස් මෙසේ පවසනවා. “නිහඬ වී, ඔහුගෙන් පිට වෙන්න!”
භූතයා ඒ මනුෂ්‍යයාට තදින් වෙවුලන්න සලස්වමින් යටි ගිරියෙන් කෑ ගසා ඔහුගෙන් පිටතට එනවා. එහෙත් භූතයා ඉවතට පැමිණෙන්නේ මනුෂ්‍යයාට කිසිම හානියක් කරන්නේ නැතුවයි. සියලුදෙනාම විස්මයට පත් වෙනවා! ඔවුන් පවසන්නේ මෙහෙමයි. ‘මේ කුමක්ද? ඔහු අධිකාරියක් ඇත්තෙකු මෙන් අපවිත්‍ර ආත්මයන්ට පවා අණ කරන විට, ඔවුහු ඔහුට කීකරු වෙති.’ මේ පුවත අවට ගම් සිසාරා පැතිරෙනවා.
සිනගෝගයෙන් පිටත් වන යේසුස් හා ඔහුගේ ගෝලයන් දැන් යන්නේ සීමොන් හෙවත් පේතෘස්ගේ නිවසටයි. පේතෘස්ගේ නැන්දම්මා හොඳටම අසනීප වී සිටිනවා. ඇයට දරුණු උණක් වැලඳිලා. එහි සිටින අය ඔහුගෙන් අයැද සිටින්නේ ‘අනේ ඇයට උපකාර කරන්න’ කියායි. ඒ නිසා යේසුස් ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇයව නැඟිටුවනවා. ඒ විගසම ඇය සුව වන අතර ඇය ඔවුන් සඳහා ආහාරයක් පිළියෙළ කරන්නත් පටන්ගන්නවා!
හිරු බැස ගිය පසු තමන් අතර සිටින රෝගීන්ව රැගෙන පේතෘස්ගේ නිවසට සෑම තැනකින්ම මනුෂ්‍යයන් පැමිණෙනවා. වැඩි වේලාවක් යන්න කලින් මුළු ගමම ඔහුගේ දොරකඩ ළඟ රැස් වෙලා! රෝගය කුමක් වුවත් යේසුස් සෑම රෝගියෙක්වම සුව කරනවා. භූතාවේශ වූවන්ව පවා ඔහු නිදහස් කරනවා. ඔහු දුරු කරන භූතයන් ඉවතට එද්දී කෑ ගසන්නේ “ඔබ දෙවිගේ පුත්‍රයාය” කියායි. එහෙත් ඔහු ක්‍රිස්තුස් බව ඔවුන් දන්නා නිසා යේසුස් ඔවුන්ට කතා කිරීමට ඉඩ නොදෙමින් ඔවුන්ට තරවටු කරනවා. මාක් 1:21-34; ලූක් 4:31-41; මතෙව් 8:14-17; NW.
▪ යේසුස් තම ගෝලයන් සතරදෙනා කැඳවීමෙන් පසු සබත් දවසේදී සිනගෝගයේදී සිදු වන්නේ කුමක්ද?
▪ සිනගෝගයෙන් පිටත්ව යේසුස් ගමන් කරන්නේ කොතැනටද? එහිදී ඔහු කරන ප්රාතිහාර්යය කුමක්ද?
▪ පසුව එම සැන්දෑවේදීම සිදු වන්නේ කුමක්ද?