48වෙනි පරිච්ඡේදය
යායිරස්ගේ නිවසේ සිට යළි නාසරෙත් වෙතට
දෙකපොලිසයේ සිට ආ මුහුදු ගමන, ලේ ගැලීම තිබූ ස්ත්රියව සුව කිරීම සහ යායිරස්ගේ දියණියව නැවත නැඟිටුවීම ආදි සිදුවීම් ඇතුළත් එම දවස යේසුස්ට කාර්යබහුල එකක් වී තිබෙනවා. එහෙත් දවස තවමත් නිම වී නැහැ. පෙනෙන විදිහට, යේසුස් යායිරස්ගේ නිවසින් පිට වී යද්දී අන්ධ මනුෂ්‍යයන් දෙදෙනෙක් පිටුපසින් ඇවිත් හඬ නඟා පවසන්නේ, “දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න” කියායි.
යේසුස්ට “දාවිත්ගේ පුත්‍රය” යනුවෙන් ඇමතීමෙන් ඔවුන් පෙන්නුම් කරන්නේ දාවිත්ගේ සිංහාසනයට උරුමක්කරු යේසුස් බවත් එබැවින් ඔහු පොරොන්දු වූ මෙසියස් බවත් ඔවුන් විශ්වාස කරනවා කියායි. නමුත් හඬ නඟා උපකාර ඉල්ලන ඔවුන්ව යේසුස් නොසලකාහරින බවක් පෙනෙනවා. සමහරවිට ඔහු එසේ කරන්නේ ඔවුන්ගේ උත්සාහවන්තකම පරීක්ෂා කිරීමට විය හැකියි. එහෙත් එම මනුෂ්‍යයන් තමන්ගේ උත්සාහය අත්හරින්නේ නැහැ. ඔවුන් යේසුස් නැවතී සිටින ස්ථානය දක්වාම ඔහු පසුපස ගොස්, ඔහු නිවසට ඇතුල් වන විට ඔවුනුත් ඔහුත් සමඟ ඇතුලට යනවා.
එහිදී යේසුස් ඔවුන්ගෙන් මෙසේ අසනවා. “මට මේ දේ කළ හැකි බවට ඇදහිල්ලක් ඔබට ඇද්ද?”
“එසේය, ස්වාමිනි” කියා ඔවුන් නිසැකවම පිළිතුරු දෙනවා.
ඉතිං යේසුස් ඔවුන්ගේ ඇස් මත ඔහුගේ අත් තබමින්, “ඔබේ ඇදහිල්ල අනුව ඔබට සිදු වේවා” කියා පවසනවා. ඔවුන්ට විගස පෙනීම ලැබෙනවා! එවිට යේසුස් තදින් ඔවුන්ට අණ කරන්නේ “කිසිවෙකු මේ ගැන දැන නොගන්නා හැටියට වගබලා ගන්න” කියායි. එහෙත් ප්‍රීති උද්දාමයට පත්ව සිටි ඔවුන් යේසුස්ගේ අණ නොසලකාහරිමින් මුළු ගමටම ඔහු පිළිබඳව පවසනවා.
මෙම මනුෂ්‍යයන් එතැනින් පිට වී යන විටම භූත බලපෑම නිසා ගොළු වී සිටින භූතාවේශ වූ මිනිසෙකුව මනුෂ්‍යයන් රැගෙන එනවා. යේසුස් භූතයාව පලවාහරින අතර එම මිනිසා එවෙලේම කතා කරන්න පටන්ගන්නවා. සමූහයා මෙම ප්රාතිහාර්යයන් දැකීමෙන් දෑස් අදහාගත නොහැකි තරම් විස්මයට පත් වී පවසන්නේ, “මෙවැන්නක් ඊශ්‍රායෙල්හි කිසි කලෙක දැක තිබුණේ නැත” කියායි.
පරිසිවරුද එම ස්ථානයේ සිටිනවා. ඔවුන්ට ප්රාතිහාර්යයන් ප්‍රතික්ෂේප කළ නොහැකි වුණත්, දුෂ්ටකම නිසා නොඅදහන ඔවුන් යේසුස් සිදු කරන බලවත් ක්‍රියාවල උල්පත පිළිබඳව නැවතත් මෙසේ චෝදනා කරනවා. “ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා මාර්ගයෙන්ය.”
මෙම දේවල් සිදු වී වැඩි වේලාවක් යන්න මත්තෙන් යේසුස් ආපසු තම උපන් ගම වූ නාසරෙත් නුවර බලා පිටත් වෙනවා. යේසුස් මෙවර යන්නේ තම ගෝලයන් සමඟයි. මීට වසරකට පමණ කලින්, ඔහු එහි සිනගෝගයට ගොස් උගන්වා තිබුණා. මුලදී ඔහුගේ ප්‍රියමනාප වචන ගැන මවිත වුවත් පසුව ඔහුගේ ඉගැන්වීම් ගැන අමනාප වී, ඔහුව ඝාතනය කිරීමට මනුෂ්‍යයන් උත්සාහ කළා. දැන්, යේසුස් දයාන්විත ලෙස ඔහුගේ මුල් අසල්වැසියන්ට උපකාර කිරීමට තවත් උත්සාහයක් ගන්නවා.
වෙනත් ස්ථානවලදී මනුෂ්‍යයන් යේසුස් වෙතට එක්රොක් වුණත්, පෙනෙන ආකාරයට මෙහිදී එබන්දක් සිදු වන්නේ නැහැ. එනිසා, සබත් දවසේදී ඉගැන්වීම සඳහා ඔහු සිනගෝගයට යනවා. ඔහුට සවන් දෙන අයගෙන් වැඩිදෙනෙක් මහත් සේ පුදුමයට පත් වෙනවා. ඔවුන් මෙසේ අසනවා. “මේ මිනිසාට මේ ප්‍රඥාව හා බලවත් ක්‍රියා කොහෙන්ද? මේ වඩුවාගේ පුතා නොවේද? ඔහුගේ මවගේ නම මරියා නොවේද? ඔහුගේ සහෝදරයන්ගේ නම් යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවේද? ඔහුගේ සියලු සහෝදරියන්ද අප සමඟ සිටිනවා නොවේද? එසේ නම්, මේ මිනිසාට මේ සියල්ල ලැබුණේ කොහෙන්ද?”
ඔවුන් තර්ක කරන්නේ මේ ආකාරයටයි. ‘යේසුස් අපි වගේම ගමේ වැසියෙක්. ඔහු ලොකු මහත් වුණ හැටි අපි දැක්කා. ඔහුගේ පවුලේ අයවත් අපි අඳුරනවා. එහෙමනම් කොහොමද ඔහු මෙසියස් වෙන්නේ?’ ඉතිං ඔහුගේ ඉමහත් ප්‍රඥාව හා ප්රාතිහාර්යයන් සම්බන්ධව ඇති තරම් සාක්ෂි තිබුණත් ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කරනවා. යේසුස්ව හොඳින් දන්නා හඳුනන නිසා ඔහුගේම ඥාතීන් පවා ඔහු නිසා පැකිලීමට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යේසුස් නිගමනය කරන්නේ මෙසේයි. “අනාගතවක්තෘවරයෙකුට ගෞරවය නොලැබෙන්නේ තමාගේම ගමේදීත් තමාගේම ගෙදරදීත් පමණය.”
ඇත්තෙන්ම, ඔවුන්ගේ ඇදහිල්ල නොමැතිකම ගැන යේසුස් පුදුමයට පත් වෙනවා. එබැවින් ඔහු රෝගීන් කීපදෙනෙකු මත අත් තබා සුව කරනවා හැරෙන්න වෙන කිසිම ප්රාතිහාර්යයක් සිදු කරන්නේ නැහැ. මතෙව් 9:27-34; 13:54-58; මාක් 6:1-6; NW; යෙසායා 9:7.
▪ යේසුස්ට “දාවිත්ගේ පුත්‍රය” යනුවෙන් ඇමතීමෙන් අන්ධ මනුෂ්‍යයන් පෙන්වන්නේ ඔවුන් කුමක් විශ්වාස කරන බවද?
▪ පරිසිවරුන් යේසුස්ගේ ප්රාතිහාර්යයන් ගැන පවසන්නේ කුමක්ද?
▪ නාසරෙත්හි වැසියන්ට උපකාර කිරීම සඳහා නැවතත් එහි යෑමෙන් යේසුස් දයාව පෙන්වනවා කියා පැවසිය හැක්කේ මන්ද?
▪ නාසරෙත්හිදී යේසුස්ට ලැබෙන්නේ මොන වගේ පිළිගැනීමක්ද? ඒ ඇයි?