ඔවුන් දිවි ගලවාගත්තේ සවන් දුන් නිසයි
යෙරුසලමේ දේවමාලිගාව මධ්‍යස්ථානය වී තිබූ යුදෙව් සමාජ ක්රමයේ අවසානය ගැන යේසුස් ක්‍රිස්තුස් කලින්ම අනතුරු ඇඟෙව්වා. එය සිදු වන දිනයක් ඔහු දුන්නේ නැහැ. ඒත් එම විනාශයට මඟ පාදන සිද්ධීන් ගැන ඔහු විස්තරයක් දුන්නා. සෝදිසියෙන් සිටින්න කියාත් අනතුරුදායක ප්‍රදේශයෙන් පලා යන්න කියාත් ඔහු සිය ගෝලයන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා.
යේසුස් මෙසේ පුරෝකථනය කළා. “සේනාවන් කඳවුරු බැඳ යෙරුසලම වටලා සිටිනවා ඔබ දකින කල, ඇගේ පාළු කිරීම ළං වී තිබෙන බව දැනගන්න.” ඔහු මෙසේද පැවසුවා. “පාළු කිරීම සිදු කරන පිළිකුල ශුද්ධ ස්ථානයක තිබෙනවා ඔබ දකින විට . . . යුදයේ සිටින අය කඳුවලට පලා යන්න.” යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා තමන් සතු ද්‍රව්‍යමය දේවල් ආරක්ෂා කරගැනීම සඳහා ආපසු හැරී යන්න එපා කියා. ඔවුන්ගේ ජීවිත ගලවාගැනීමට නම් ඔවුන් විගස පලා යා යුතුව තිබුණා.—ලූක් 21:20, 21; මතෙව් 24:15, 16.
සෙස්ටියස් ගැලස් දිගු කාලයක් පුරා පැවති කැරැල්ල මැඩපැවැත්වීම සඳහා යෙරුසලමට විරුද්ධව රෝම හමුදා සමඟ ක්‍රි.ව. 66දී පැමිණියා. ඔහු නගරයට පවා ඇතුල් වී, එහි දේවමාලිගාව වට කළා. මහත් කලබලයක් නගරය හාත්පස පැතිරුණා. සෝදිසියෙන් සිටි අයට විනාශයක් ඉතා ආසන්න බව දැකගැනීමට පුළුවන් වුණා. ඒත් පලා යෑමට හැකියාවක් තිබුණාද? බලාපොරොත්තු නොවූ ලෙස සෙස්ටියස් ගැලස් ඔහුගේ හමුදා ඉවත් කරගත්තා. යුදෙව් විප්ලවවාදීන් ඔවුන් පසුපස ලුහුබැන්දා. යෙරුසලමෙන් පමණක් නොව මුළු යූදා පළාතෙන්ම පලා යෑමට කාලය පැමිණියේ ඒ අවස්ථාවේදීයි.
රෝම හමුදා ඊළඟ අවුරුද්දේදී වෙස්පේසියන් හා ඔහුගේ පුත් ටයිටස්ගේ නායකත්වය යටතේ නැවත පැමිණියා. යුද්ධය මුළු රටම ගිලගත්තා. ක්‍රිස්තු වර්ෂ 70 මුල්භාගයේදී රෝමවරුන් යෙරුසලම වටේට උල් කළ කණුවලින් වැටක් සෑදුවා. පලා යෑමට කිසිම මඟක් තිබුණේ නැහැ. (ලූක් 19:43, 44) නගරය ඇතුළේ භේදභින්න වූ ජනයා එකිනෙකාව මරාගත්තා. ඉතිරි වූ අය රෝම හමුදාව අතින් මැරුම් කෑවා. තවත් අයව වහල්භාවයට ගෙන ගියා. නගරය හා එහි තිබූ දේවමාලිගාව සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා. පළමුවන සියවසේ විසූ යුදෙව් ඉතිහාසඥයෙකු වූ ජොසීෆස් පැවසූ පරිදි යුදෙව්වන් දශලක්ෂයකට වඩා වැඩි පිරිසක් දුක් වේදනා විඳ මිය ගියා. ඒ දේවමාලිගාව නැවත කවදාවත් ගොඩනැඟුවේ නැහැ.
ක්‍රිස්තු වර්ෂ 70දී ක්‍රිස්තියානීන් යෙරුසලමේ සිටියා නම් ඔවුන්ට සිදු වන්නේද එහි සිටි සියලුදෙනා මෙන් මැරුම් කන්න හෝ වහල්භාවයට යන්නයි. කෙසේවෙතත් පුරාණ ඉතිහාසඥයන් වාර්තා කරන්නේ ක්‍රිස්තියානීන් දෙවිගේ අනතුරු ඇඟවීමට සවන් දී යෙරුසලම වගේම මුළු යූදා දේශයම අත්හැර යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි කඳුවලට පලා ගිය බවයි. සමහරුන් පෙරයාව නම් පළාතේ පිහිටි පෙලාහි පදිංචි වුණා. යූදා දේශය අත්හැර ගිය ඔවුන් ආපසු පැමිණියේ නැහැ. ඔවුන් දිවි ගලවාගත්තේ යේසුස් දුන් අනතුරු ඇඟවීමට සවන් දුන් නිසයි.
විශ්වාසවන්ත මාර්ගවලින් ලැබෙන අනතුරු ඇඟවීම් ඔබ හොඳින් සිතට ගන්නවාද?
අනතුරු ඇඟවීම් කළත් ඒවා බොහෝවිට ඉටු වී නැති නිසා බොහෝදෙනෙක් සෑම අනතුරු ඇඟවීමක්ම එතරම් ගණන් ගන්නේ නැහැ. කෙසේවෙතත් අනතුරු ඇඟවීම්වලට සවන් දීමෙන් ඔබේ ජීවිතය රැකගත හැකියි.
චීනයේ භූමිකම්පාවක් සිදු වෙනවා කියා 1975දී අනතුරු ඇඟවීම් දෙනු ලැබුවා. බලධාරීන් ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තා. ජනයාද එයට ප්‍රතිචාරය දැක්වුවා. ඒ නිසා දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා වුණා.
වර්ෂ 1991 අප්‍රියෙල් මාසයේදී පිලිපීනයේ පිනටූබෝ කන්දෙන් හුමාලය හා අළු නිකුත් වන බව එහි බෑවුම්වල ජීවත් වූ ගම් වැසියන් බලධාරීන්ට වාර්තා කළා. මාස දෙකක් තිස්සේ ඒ ගැන සොයා බැලීමෙන් පසු පිලිපීනයේ ගිනි කඳු හා භූ කම්පන අධ්‍යයන ආයතනය අනතුරක් ඉතා ආසන්න බවට අනතුරු ඇඟෙව්වා. විගස එම ප්‍රදේශයෙන් දහස් ගණනක් ජනයාව වෙනත් ප්‍රදේශවලට යවනු ලැබුවා. ජූනි 15වන දා අලුයම දැවැන්ත හඬක් සමඟින් එම ගිනි කන්ද පිපිරී එයින් විසි වුණ ද්‍රව්‍යය ඝන කිලෝමීටර් අටකට වඩා වැඩියෙන් ඉහළ අහසට විසි වී ගිය අතර පසුව ඒවා ගම් බිම්වලට ගලා ඇවිත් තැන්පත් වුණා. දහස් ගණනක් දිවි ගලවාගත්තේ සවන් දුන් නිසයි.
වත්මන් සමාජ ක්රමයේ අවසානය ගැන බයිබලය අනතුරු අඟවනවා. අපි දැන් ජීවත් වන්නේ අන්තිම දවස්වලයි. අවසානය ළඟා වෙද්දී ඔබ දිගටම සෝදිසියෙන් සිටිනවාද? අනතුරුදායක ප්‍රදේශයෙන් ඉවත්ව සිටීමට ඔබ පියවර ගනිමින් සිටිනවාද? අන් අයටද එසේ කිරීම සඳහා ඔබ හදිසිතාවේ හැඟීමකින් යුතුව අනතුරු අඟවනවාද?
[20වන පිටුවේ පින්තූරය]
පිනටූබෝ කන්දෙන් ගිනි අළු පිට වෙද්දී දහස් ගණනක් දිවි ගලවාගත්තේ අනතුරු ඇඟවීමට සවන් දුන් නිසයි
[21වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලම විනාශ කළ අවස්ථාවේදී බේරී ජීවත් වුණේ යේසුස් දුන් අනතුරු ඇඟවීමට සවන් දුන් අයයි