‘ඔවුන් ඒ ගැන කිසි තැකීමක් කළේ නැත’
අනතුරු ඇඟවීම් සැහැල්ලුවට ගැනීමේ ප්‍රතිඵලය විනාශකාරී එකක් විය හැකියි.
ඕස්ට්‍රේලියාවේ ඩාවින් නගරය හරහා සුළිසුළඟක් හමා එන බවට 1974දී සයිරන් නළා මගින් අනතුරු අඟවද්දී, එහි වැසියන් එම වසරේ නිවාඩු උත්සව සැමරීමට සූදානම් වෙමිනුයි සිටියේ. ඒත් අවුරුදු 30කට ආසන්න කාලයක් පුරා සුළිසුළඟකින් ඩාවින් නගරයට හානි වෙලා තිබුණේ නැහැ. ඉතින් දැන් මොකද සුළිසුළඟකින් වෙන හානියක් ගැන කියන්නේ? චණ්ඩ මාරුතය නිසා වහලවල් ගැලවී ගියා; මිනිසුන් එකට රැස් වී සිටිය ගෙවල්වල බිත්ති කඩා වැටෙන්න පටන්ගත්තා. මෙය සිදු වන තෙක් එහි වැසියන් හුඟදෙනෙක් ඒ අනතුර ඇත්තටම බරපතළ එකක් වෙයි කියා සිතුවේ නැහැ. පසුදා උදෑසන වන විට මුළු නගරයම සුන් බුන් ගොඩක් වී තිබුණා.
වර්ෂ 1985 නොවැම්බර් මාසයේදී කොලොම්බියාවේ ගිනි කන්දක් පුපුරා ගියා. හිම හා අයිස් දියවීමේ ප්‍රතිඵලයක් ලෙස එම කන්දෙන් නිකුත් වුණ මඩ කන්දරාවට යට වී ආමේරෝ නගරයේ වැසියන් 20,000කට වඩා වැඩි පිරිසක් මරුමුවට පත් වුණා. කලින් ඒ ගැන කිසිම අනතුරු ඇඟවීමක් ලැබුණේ නැද්ද? මාස ගණනාවක් තිස්සේ ඒ කන්ද සෙලවෙමින් තිබුණා. ඒ කොහොමවුණත් ගිනි කන්දක් ළඟ ජීවත් වෙන්න පුරුදු වී සිටි ආමේරෝ වැසියන් හුඟදෙනෙක් එය ගණන්ගත්තේ නැහැ. විනාශයක් අත ළඟ බවට බලධාරීන්ට අනතුරු ඇඟවීම් ලැබුණත්, ඒ ගැන මහජනයාට දැනුම් දෙන්න ඔවුන් කටයුතු කළේ නැහැ. ජනයාගේ බිය සැක දුරු කිරීම සඳහා ඔවුන් ගුවන්විදුලිය ඔස්සේ නිවේදන නිකුත් කළා. නගරයේ තිබූ පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍රය යොදාගෙන සන්සුන්ව සිටින ලෙස ජනයාගෙන් ඉල්ලා සිටියා. එදින සැන්දෑවේම දැවැන්ත පිපිරුම් දෙකක් සිදු වුණා. ඔබ එහි සිටියා නම් ඔබ ඔබේ දේපොළ දමා ඒ ප්‍රදේශයෙන් පලා යනවාද? ප්‍රමාද වීමට කලින් පිට වී යෑමට උත්සාහ කළේ ටිකදෙනෙක් විතරයි.
භූමිකම්පා සිදු විය හැකි ප්‍රදේශ ගැන බොහෝ අවස්ථාවලදී භූ විද්‍යාඥයන් බොහෝදුරට ඉතා නිවැරදිව පුරෝකථනය කරනවා. ඒත් භූමිකම්පා සිදු වන්නේ කොයි අවස්ථාවේද කියා නිශ්චිතව පුරෝකථනය කරන්න ඔවුන්ට හැක්කේ කලාතුරකින්. වර්ෂ 1999දී ලොව පුරා සිදු වුණ භූමිකම්පාවලින් 20,000ක් පමණ ජනකායක් මිය ගියා. මෙසේ මිය ගිය අයගෙන් බොහෝදෙනෙක් සිතාගෙන සිටියේ තමන්ගේ ජීවිත කාලයේදී ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ කියායි.
දෙවිගෙන් පැමිණෙන අනතුරු ඇඟවීම්වලට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
අන්තිම දවස් හඳුනාගැනීමට උපකාරවත් වන සිද්ධීන් බයිබලය බොහෝ කාලයකට පෙර ඉතාමත් පැහැදිලිව විස්තර කර තිබෙනවා. ඒ ගැන විස්තර කිරීමේදී බයිබලය අපෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ “නෝවාගේ දවස්” සැලකිල්ලට ගන්න කියායි. “ජලගැල්මට පෙර ඒ දවස්වල” විසූ ජනයා එදා සමාජයේ හාත්පස පැතිරී තිබූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ගැන සිත්තැවුලෙන් සිටි බවට කිසි සැකයක් නැහැ. ඒත් ඔවුන්ගේ ජීවිත එදිනෙදා කටයුතුවලින් පිරී තිබුණා. දෙවි ඔහුගේ සේවකයා වූ නෝවා මාර්ගයෙන් ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. ඒත් “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු” ඔවුන් ඒ ගැන “කිසි තැකීමක් නොකර [සිටියා].” (මතෙව් 24:37-39) ඔබ එදා සිටියා නම් ඒ අනතුරු ඇඟවීමට සවන් දෙනවාද? දැනුත් ඔබ අනතුරු ඇඟවීම්වලට සවන් දෙනවාද?
ඔබ ආබ්‍රහම්ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත්ගේ කාලයේ මළ මුහුද අසල පිහිටි සොදොම් නගරයේ ජීවත් වූ කෙනෙක් නම්, ඔබේ තත්වය මොන වගේ වෙන්න ඉඩ තිබුණාද? ඒ ප්‍රදේශය හරියට පාරාදීසයක් වගේ. ඒ නගරය පොහොසත් නගරයක්. එහි ජීවත් වුණ මිනිසුන් සිතුවේ ඔවුන් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙනවා කියායි. ලොත්ගේ දවස්වලදී “[ඔවුන්] කමින්, බොමින්, මිල දී ගනිමින් විකුණමින්, වවමින් ගොඩනඟමින් [සිටියා].” ඔවුන් ජීවත් වුණ සමාජය අන්ත පහත් අනාචාරකමින් පිරී තිබුණා. ලොත් දූෂිත දේවල් හෙළාදකිමින් කතා කරන විට, ඔබ එදා එහි සිටියා නම් ඔහු දුන් අනතුරු ඇඟවීම ඔබ සිතට ගනියිද? සොදොම් නගරය විනාශ කර දමන්න දෙවි තීරණය කර තිබෙනවා කියා ඔහු ඔබට පවසන විට ඔබ ඔහුට සවන් දෙයිද? නැත්නම් ලොත්ගේ බෑනාවරුන් වීමට සිටි අය කළා වගේ ඔබත් එය විහිළුවකට ගණන්ගනියිද? ඔබත් ලොත්ගේ භාර්යාව කළා වගේ ඒ නගරයෙන් පලා යන්න පටන්ගෙන, ටික දුරක් ගොස් ආපසු හැරී බලයිද? ලොත් සොදොමින් පිට වුණු දවසේදී අනිත් අය ඒ අනතුරු ඇඟවීම බැරෑරුම්ව ගණන්ගත්තේ නැති වුණත් “අහසෙන් ගිනිද ගෙන්දගම්ද වැස ඔවුන් සියල්ලන්ව විනාශ [කළා].”—ලූක් 17:28, 29.
අපේ කාලයේ සිටින වැඩිදෙනෙක් ජීවත් වෙන්නේද කිසිම තැකීමක් නැතුවයි. ඒත් අපට අනතුරු ඇඟවීමක් හැටියට මේ ආදර්ශ අද දක්වා දේවවචනයේ සුරැකිව තිබෙන්නේ අපට මේ දෙය කිරීමට දිරිගැන්වීම සඳහායි. එනම් සෝදිසියෙන් සිටින්න.
[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ලෝක ව්‍යාප්ත ජලගැල්මක් ඇත්තටම සිදු වුණාද?
බොහෝ විවේචකයන් කියන්නේ නැත කියායි. ඒත් බයිබලය පවසන්නේ ඔව් කියායි.
යේසුස් ක්‍රිස්තුස්ම ඒ ගැන කතා කළා. එය සිදු වන විට ඔහු ජීවත් වෙමිනුයි සිටියේ. ඔහු එය ස්වර්ගයේ සිට බලාගෙන සිටියා.
[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]
සොදොම සහ ගොමෝරා යන නගර ඇත්තටම විනාශ වුණාද?
පුරාවිද්‍යාව මෙයට සාක්ෂි සපයනවා.
ඉතිහාසය මෙයට සාක්ෂි දරනවා.
මෙය සත්‍යයක් බව යේසුස් ක්‍රිස්තුස් සනාථ කළා. ඒ විනාශය ගැන බයිබලයේ පොත් 14ක සඳහන් වෙනවා.