බයිබලයේ භූගෝලීය තොරතුරු—ඒවා නිවැරදි ද?
ඉරු පලස්තීනයේ අවරට ගියා පමණි. වර්ෂය 1799 ය. උණුසුම් දවසක් පුරා ගමන් වෙහෙසෙන් පසු, ප්‍රංශ හමුදාව කූඩාරම් ගසා ගත් අතර, එහි ප්‍රධාන අඥාපති නැපෝලියන්, තමාගේ කූඩාරමේ විවේක ගනිමින් සිටියි. ඔහුගේ සේවකයන්ගෙන් කෙනෙක් ඉටිපන්දමේ මද ආලෝකයෙන්, ප්‍රංශ බයිබලය හඬ නගා කියවමින් සිටියි.
නැපෝලියන්ගේ පලස්තීන හමුදා මෙහෙයුම තුළ මෙම සිද්ධිය නිතර සිදු වූ බව කිව හැකි ය. “එම පුරාතන නගරවල නටඹුන් මත කූඩාරම් ගසන විට, ඔවුහු සෑම සන්ධ්‍යාවක ම හඬ නගා ශුද්ධ ලියවිල්ල කියෙවූහ . . . විස්තරයන්හි සමාන බව හා සත්‍ය බව පුදුම සහගත ලෙස ගැලපෙන තත්ත්වයක තිබුණි: ශතවර්ෂ ගණනාවකට හා වෙනස්කම් බොහොමයකට පසුවත් ඒවා තවදුරටත් මේ රටට ගැලපේ” යයි ඔහු පසු කලෙක සිය මතක සටහන් සිහිපත් කළේ ය.
ඇත්ත වශයෙන් ම, මැද පෙරදිගට සංචාරය කරන්නෝ බයිබල් සිද්ධීන් වත්මන් දින ස්ථානයන් සමඟ ගලපා ගැනීමට පහසු බව සොයා ගනිති. ප්‍රංශ හමුදාව ඊජීප්තුව යටත් කරන්නට පෙර, එම පුරාතන දේශය ගැන එතරම් අවබෝධයක් විදේශිකයන් හට නොතිබුණි. පසු ව නැපෝලියන් ඊජීප්තුවට ගෙනා විද්‍යාඥයෝ හා විශාරදයෝ, ඊජීප්තුවේ පුරාතන ශ්‍රී විභූතියේ විස්තර ලොවට එළිදරව් කරන්නට පටන් ගත්හ. ඉශ්රායෙල්වරුන් වරක් කරමින් සිටි “තද වැඩ [දැඩි වහල්කම් NW ]” සිතින් මවා ගැනීමට මෙය වඩාත් පහසු කරවා ඇත.—නික්මයාම 1:13, 14.
ඔවුන් ව මිසරයෙන් නිදහස් කළ රාත්‍රියේ, ඉශ්‍රායෙලිතයෝ රාමෙසෙස් හි රැස් ව පසු ව ‘පාළුකරයේ මායිමට’ ගමන් කළෝ ය. (නික්මයාම 12:37; 13:20) මේ අවස්ථාවෙහි, නැවත “හැරී” “මුහුද ළඟ කූඩාරම් ගහගනිල්ලා” යයි දෙවියන් වහන්සේ ඔවුන්ට ආඥා කළ සේක. මෙම අමුතු ක්‍රියාව “මංමුළාවී” සිටීමක් හැටියට අර්ථ දක්වනු ලැබූ අතර, මිසරයේ රජ සිය හමුදාව හා යුද්ධ රථ 600ක් ඇති ව තමාගේ හිටපු වහලුන් ව යළි අල්ලා ගැනීමට පිටත් ව ගියේ ය.—නික්මයාම 14:1-9.
නික්මයාම
පොදු යුගයේ පළමු ශතවර්ෂයේ ජීවත් ව සිටි ඉතිහාසඥයෙක් වූ, ජොසෆස් පවසන ආකාරයට, මිසරයේ හමුදාව ඉශ්‍රායෙලිතයන් ව “පටු ස්ථානයකට” යොමු කර “මුහුදත් ළං විය නොහැකි ප්රපාතයන් අතරත්” ඔවුන් ව කොටු කළහ. ඉශ්‍රායෙලිතයන් රතු මුහුදෙන් එගොඩ වූ සැබෑ ස්ථානය අද දින නිශ්චිත ව ම දන්නේ නැත. කෙසේ වෙතත්, රතු මුහුදේ උතුරු කෙළවරට මුහුණ ලා පිහිටි කඳු වැටියක මුදුනේ සිට එම සිද්ධිය සිතින් මවා ගැනීම පහසු ය. සිත් ගන්නා සුලු කරුණක් නම්, එම කන්දට “ගැලවීමේ කන්ද” අරුත් ඇති, ජෙබෙල් ආටාකහ් ලෙස නම් කර තිබීමයි. මෙම වැටිය හා රතු මුහුද අතර කුඩා තැන්නක් ඇති අතර, එම තැන්න කෙතරම් පටු ද කිවතොත් අවට ඇති පා කඳු මුහුද වෙතට ඉතා සමීප ව නෙරා ගොස් ඇත. රතු මුහුදේ විරුද්ධ පැත්තේ “මෝසෙස්ගේ ළිං” යන අරුත් දෙමින් ‘අයූන් මූසා’ නමින් හැඳින්වෙන, උල්පත් රාශියකින් සමන්විත ක්ෂේම භූමියකි. මෙම ලක්ෂයන් දෙක අතර මුහුදු පත්ල ඉතා ක්රමික ව ගැඹුරු වන අතර, වෙනත් ස්ථානවල එය එකවර අඩි 30 සිට 60 දක්වා ගැඹුරු වේ.
ක්‍රිස්තියානි ලෝකයේ කිසි ඇදහිල්ලක් නොමැති දේව ධර්ම ශාස්ත්‍රඥයෝ, දෙවියන් වහන්සේ රතු මුහුදේ ජලය දෙබෑ කර, වියළි භූමිය මතින් ඉශ්‍රායෙලිතයන්ට බේරී යාමට හැකියාව ලබා දුන් විට උන් වහන්සේ සිදු කළ ප්රාතිහාර්යය, විශ්වාස කළ නොහැකි යමක් බව පැහැදිලි කිරීමට වෑයම් කර ඇත්තාහ. ඔවුහු එම සිද්ධිය රතු මුහුදට උතුරින් නොගැඹුරු මඩ වගුරක හෝ වගුරු බිමක සිදු වූයේ යයි පවසමින් ඊට වෙනත් ස්ථානයක් දෙන්නට වෑයම් කරන්නාහ. එහෙත්, ඵාරාවෝ හා ඔහුගේ මුළු හමුදාව ම දියේ ගිල්වා මැරීමට, එසේ ය, ඔවුන් ව ගිල දැමීමට, රතු මුහුදේ ඕනෑතරම් ජලය තිබූ ස්ථානයක් හරහා යාම සිදු වූ බව පුන පුනා පවසන බයිබල් වාර්තාවට එය නොගැළපේ.—නික්මයාම 14:26-31; ගීතාවලිය 136:13-15; හෙබ්‍රෙව් 11:29.
සීනයි හි පාළුකරය
සීනයි අර්ධද්වීපයේ දක්නට ලැබෙන ඉතා දුෂ්කර තත්ත්වයන්, ඉශ්රායෙල්වරුන්ගේ තැනින් තැන යාම පිළිබඳ බයිබල් වාර්තාවේ පැහැදිලි ව විස්තර කර ඇත. (ද්විතීය කථාව 8:15) එමනිසා, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ලැබීමට සීනයි කන්ද පාමුලට රැස් වී සිටි එම මුළු ජාතියකට ‘දුරින් සිටින’ සේ ආපස්සට යාමට පසු ව හැකි ද? (නික්මයාම 19:1, 2; 20:18) සංඛ්‍යාත්මක වශයෙන් මිලියන තුනක් යයි ගණන් බලා ඇති සෙනඟකගේ මෙවන් එහා මෙහා යාමක් සඳහා ඉඩ සැලසීමට මෙහි අවශ්‍ය තරම් විශාල ස්ථානයක් තිබේ ද?
දහ නවවන ශතවර්ෂයේ සංචාරකයෙක් හා බයිබල් විශාරදයෙක් වූ, ආතර් ස්ටැන්ලි, සීනයි කන්ද පිහිටි ප්‍රදේශය බැලීමට ගිය අතර, රාස් සාෆ්සාෆා නැගීමෙන් පසු ඔහු සමඟ ගිය පිරිසට දක්නට ලැබුණ දර්ශනය මෙසේ විස්තර කළේ ය: “එය දැක, විස්තර කළ සෑම කෙනෙක් කෙරෙහි ම ඇති කළ ආකාරයට, එය අප කෙරෙහි ද ඇති කළ ප්‍රතිඵලය, ක්ෂණික විය. . . . මෙහි දක්නට ලැබුණේ කඳු ප්‍රපාතයේ පාමුල දක්වා විහිදී ගිය විශාල පළල් කහ තැනිතලාවක් ය . . . මෙම ප්‍රදේශයේ තැනිතලා හා කඳුවල මෙවන් සම්බන්ධ වීමක් සහමුලින් ම දක්නට නොතිබීම සැලකීමේ දී, මෙවන් එක් සම්බන්ධ වීමක් සොයා ගත හැකි වීමත්, එමෙන් ම එය චිරන්තන සීනයි අවට ප්‍රදේශයේ තිබීමත්, මෙම කථා වස්තුවේ සත්‍යතාවට සැබවින් ම වැදගත් සාක්ෂියක් වේ.”
පොරොන්දු දේශය
ඉශ්‍රායෙලිතයන් පාළුකරයේ තැනින් තැන ගමන් කළ 40වන අවුරුද්දේ දී, තමන් ඇතුල් වන්නට යන දේශයේ ස්වභාවය පිළිබඳ විස්තරයක් මෝසෙස් ලබා දුන්නේ ය: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] නුඹ හොඳ දේශයකට පමුණුවන සේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය.”—ද්විතීය කථාව 8:7.
මෙම පොරොන්දුවේ නිවැරදිභාවය, මුළු ජාතිය ම—එනම් පුරුෂයන් ද, ස්ත්‍රීන් ද, බාලයන් ද, විදේශිකයන් ද—එබාල් කන්ද හා ගෙරිසීම් කන්ද අතර පිහිටි හොඳ ජල සැපයුමක් තිබූ ෂෙකෙම් මිටියාවතේ එකට රැස් වූ විට එකෙණෙහි ම අත්දකිනු ලැබී ය. ගෙරිසීම් කන්ද පාමුල ගෝත්‍ර හයක් සිටියහ. ජාතිය යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වූයේ නම්, ඔවුන් භුක්ති විඳිනු ඇති දිව්‍ය ආශීර්වාදයන් ද, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ඔවුන් පැවැත්වීමට අපොහොසත් වුවහොත් අත්වන ශාපය ද, අසන්නට අනික් ගෝත්‍ර හය මිටියාවතේ විරුද්ධ පැත්තේ එබාල් කන්ද පාමුල රැස් වූහ. (යෝෂුවා 8:33-35) එහෙත් එම ජාතියට මේ පටු මිටියාවතේ සිටින්නට තරම් එහි ඉඩ තිබුණේ ද? තව ද නවීන ශබ්ද විකාශන උපකරණ කිසිත් නොමැති ව ඔවුන් සියල්ලන්ට එය ඇසුණේ කෙසේ ද?
යෙහෝවඃ දෙවියන් වහන්සේ ආශ්චර්යවත් ආකාරයකට ලෙවීවරුන්ගේ කටහඬ වැඩි කරන්නට ඇත. කෙසේ වෙතත්, මෙවන් ප්රාතිහාර්යයක් සිදු වීම සඳහා අවශ්‍යතාවයක් තිබුණු බව පෙනෙන්නට නොතිබුණි. මෙම මිටියාවතේ ශබ්ද ශ්‍රවණය ඉතා අනර්ඝ ය. “ සියලු සංචාරකයෝ කාරණා දෙකක් මත එකඟ වෙති” යයි 19වන සියවසේ බයිබල් විශාරදයෙක් වූ ඇල්ෆ්‍රඩ් එඩර්ෂයි ලීවේ ය: “1. මිටියාවතේ කථා කරන ලද ඕනෑ ම දෙයක් එබාල් හා ගෙරිසීම් යන ස්ථාන දෙකේ සිට පැහැදිලි ව ඇසීමෙහි කිසිදු අපහසුවක් නොතිබීම. 2. මෙම කඳු දෙක මුළු මහත් ඉශ්‍රායෙලිතයන් සඳහා ම සිටගෙන සිටීමට අවශ්‍යතරම් භූමි ප්‍රමාණයක් සැපයීම.”
දහ නවවන ශතවර්ෂයේ තවත් බයිබල් විශාරදයෙක් වූ, විලියම් ටොම්සන්, ද ලෑන්ඩ් ඇන්ඩ් ද බුක් නම් සිය පොතේ එම මිටියාවතේ තමා ලැබූ අත්දැකීම් මෙසේ විස්තර කළේ ය: “මම දෝංකාරය අසන පිණිස කෑගසා ඇති අතර අනතුරුව උස් හඬක් ඇති ලෙවීවරුන් . . . ‘යෙහෝවඃ වහන්සේට පිළිකුලක් වූ කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් සාදා ගන්න මනුෂ්‍යයාට ශාප වේවා’ යයි ප්‍රකාශ කළ විට, තත්ත්වය කොයි ආකාර වන්නට ඇත්දැයි සිතේ මවා ගතිමි. පසු ව ඊට දස ගුණයකටත් වඩා උස් හඬින්, මුළු සභාව විසින් ම නැගී සිට ගැඹුරින් ආමෙන්! යයි පැවසීමත් එය එබාල් සිට ගෙරිසීම් දක්වාත් ගෙරිසීම් සිට එබාල් දක්වාත් නැවත නැවතත් දෝංකාරය දීම කොයි ආකාර වන්නට ඇද්ද.”—ද්විතීය කථාව 27:11-15 සසඳන්න.
යෙශ්රයෙල් මිටියාවත
ෂෙකෙම්ට උතුරින්, මුහුදු මට්ටමට පහළින් පටන් ගෙන විශාල තැනිතලාවක් බවට විවෘත වන්නා වූ තවත් සාරවත් මිටියාවතකි. මේ මුළු ප්‍රදේශයට ම යෙශ්රයෙල් මිටියාවත යයි ද, පසු ව එය යෙශ්රයෙල් නගරය නමින් ද හදුන්වනු ලැබී ය. මිටියාවතේ උතුරට, යේසුස් වහන්සේගේ ගම වූ, නාසරෙත් හි පිහිටා තිබූ ගලීලයේ කඳු දක්නට ලැබේ. ද හිස්ටොරිකල් ජියෝග්රෆි ඔෆ් ද හෝලි ලෑන්ඩ් නම් සිය පොතේ, ජෝජ් ස්මිත් පැහැදිලි කරන පරිදි: “නාසරෙත් කඳු අතර ද්‍රෝණියක පිහිටා තිබේ; එහෙත් ඔබ මෙම ද්‍රෝණියේ කෙළවරට නැග්ග කල, ඔබට දක්නට ලැබෙන දර්ශනයේ සුන්දරත්වය මොනතරම් ද! [යෙශ්රයෙල් මිටියාවත], එහි . . . රණ බිම් . . . ඔබ ඉදිරියේ විහිදී යනු ඇත . . . එය පැරණි ගිවිසුම් ඉතිහාසයේ සිතියමකි.”
මෙම මිටියාවත් තැනිතලාවේ, පුරාවිද්‍යාඥයෝ යෝෂුවාගේ කාලයේ ආක්‍රමණය කළ නගර රාජ්‍යයන්හි, නාමික වශයෙන් තායනාක්, මෙගිද්දෝ, යොක්නෙයාම් හා ඇතැම් විට කෙදෙෂ් හි නටඹුන් සොයා ගෙන ඇත්තාහ. (යෝෂුවා 12:7, 21, 22) විනිශ්චයකරු බාරාක් හා විනිශ්චයකරු ගිඩියොන්ගේ කාලවල දී, මෙම ප්‍රදේශයේ දී ම යෙහෝවඃ වහන්සේ ආශ්චර්යවත් ලෙස සතුරු ජාතීන්ගේ විනාශකාරී බලයෙන් ස්වකීය ජනයා ව ගලවා ගත් සේක.—විනිශ්චයකාරයන් 5:1, 19-21; 6:33; 7:22.
ඉන් ශතවර්ෂ ගණනාවකට පසු, යෙසෙබෙල් හා ආහබ්ගේ ඇදහිල්ල අත්හළ නිවස කෙරෙහි යෙහෝවඃ වහන්සේගේ විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමට, යේහු රජ එම තැනිතලාව ඔස්සේ යෙශ්රයෙල් නගරය වෙතට ගියේ ය. යෙශ්රයෙල්හි තිබූ මුරටැඹෙන් නැගෙනහිර දෙසට බලන කල, සැතපුම් 12ක් දුරින් එන යේහුගේ හමුදාවන් දැකීම පහසු වන්නට ඇත. එබැවින්, අසු පිටින් පළමු හා අනතුරුව දෙවන පණිවුඩකරුවෙක් යවන්නටත්, අවසානයේ, ඉශ්රායෙලයේ යෙහෝරාම් හා යුදා හි අහසියා යන රජවරුන්ට, තමන්ගේ රථ සූදානම් කරගෙන යේහු යෙස්රෙයෙල් නගරයට එන්නට කලින් ඔහු ව හමු වීමටත් යෙහෝරාම් රජුට ඕනෑතරම් කාලය තිබෙන්නට ඇත. යේහු වහා ම යෙහෝරාම් ව මරා දැමී ය. අහසියා පලා ගිය ද, පසු ව තුවාල කරනු ලැබූ අතර ඔහු මෙගිද්දෝ හි මළේ ය. (2 රාජාවලිය 9:16-27) ඉහත සඳහන් රණ බිම් වැනි ඒවා සම්බන්ධයෙන්, ජෝර්ජ් ස්මිත් මෙසේ ලියයි: “මෙම වාර්තා කිසිවකට . . . භූගෝලීය වශයෙන් විය නොහැකි යමක් නොතිබීම සිත් ගන්නා දෙයකි.”
යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමෙහිලා, පොරොන්දු වූ මෙසියස් වහන්සේ හැටියට, තමන්, ශ්‍රේෂ්ට යෝෂුවාගේ, ශ්‍රේෂ්ට බාරාක්ගේ, ශ්‍රේෂ්ට ගිඩියොන්ගේ, හා ශ්‍රේෂ්ට යේහුගේ කාර්ය භාරය ඉෂ්ට කරන්නට නියමය ලබා සිටි බව දැන, යේසුස් වහන්සේ නිතර යෙශ්රයෙල් තැනිතලාව දෙස බලා එහි ලැබූ විස්මයජනක ජයග්රහණයන් මෙනෙහි කරන්නට ඇති බව නිසැක ය. ඇත්ත වශයෙන් ම, බයිබලය (“මෙගිද්දෝ කන්ද” අදහස් කරන) හර්-මගෙදොන් නමැති දෙවියන් වහන්සේගේ යුද්ධය පැවැත්වෙන ස්ථානයේ සංකේතයක් හැටියට, මෙම තැනිතලා තැන්නේ යුද්ධ පිණිස වඩාත් ම තීරණාත්මක මෙගිද්දෝ ව යොදා ගනියි. එය වනාහි රජවරුන්ගේ රජ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේගෙත් දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ වූ ක්‍රිස්තියානි සභාවේත් සියලු සතුරන් විනාශ කරනු ඇති ලෝක ව්‍යාප්ත සටනක් වනු ඇත.—එළිදරව් 16:16; 17:14.
නාසරෙත් හි සිටි කෝපයෙන් පිරුණු යුදෙව්වන් යේසුස් වහන්සේ ව මරණයට පත් කරන ලෙස “තමුන්ගේ නුවර ගොඩනගනලද කන්ද අද්දර” සිට පහතට හෙළන්නට වරක් වෑයම් කළ බව බයිබලය පවසයි. (ලූක් 4:29) සැලකිය යුතු ලෙසින්, නවීන දින එම නාසරෙත් නගරය පිහිටි ස්ථානයෙන් නිරිත දිසාවට අඩි 40ක ප්රපාතයක් ඇති අතර මෙම සිද්ධිය මෙහි සිදු වන්නට ඇත. යේසුස් වහන්සේ සිය සතුරන්ගෙන් ගැලවී ගලීල මුහුද අසබඩ පිහිටි “කපර්ණවුමට පැමිණි” බව බයිබලය තවදුරටත් පවසයි. (ලූක් 4:30, 31) ඇත්ත වශයෙන් ම, ගලීල මුහුද අසබඩ කපර්ණවුම ඊට වඩා පහත මට්ටමක, පිහිටා තිබේ.
මෙවැනි ම තවත් බොහෝ විස්තර බයිබල් භූගෝලීය තොරතුරුවල නිවැරදිභාවය පිළිබඳ ව විස්මය පළ කරන්නට නැපෝලියන්ට අමතර ව තවත් අයට හේතු වී ඇත. “භූ-ලක්ෂණයන්ට [බයිබලය] බොහෝ සෙයින් යොමු දැක්වීම් කර ඇති අතර, ඒවා සහමුලින් ම සතුටුදායක ය,” යයි ද ලෑන්ඩ් ඇන්ඩ් ද බුක් නම් පොතේ ටොම්සන් ලීවේ ය. “පැරණි හා නව ගිවිසුමේ යන දෙකේ ම වාර්තාගත ඉතිහාසය හා ස්වාභාවික භූගෝල පිහිටීම් අතර නිරන්තර එකඟත්වය මගින් විස්ම පත් නොවී සිටිය නොහැකි ය,” යයි සීනයි ඇන්ඩ් පැලස්ටයින් නම් පොතේ ස්ටැන්ලි පවසයි.
භූගෝල විද්‍යාත්මක කාරණා පිළිබඳ ව බයිබලයේ නිවැරදිභාවය, නිකම් ම මනුෂ්‍ය මුල පිරීමෙන් හට ගත් පොතක් නොවන බවට හුදු එක් සාක්ෂියක් පමණකි. මුරටැඹ සඟරාවේ මීට පෙර කලාප තුනේ බයිබලයට සම්බන්ධ ලිපි පළ වී තිබුණි. මෙම මාලාවේ අනෙක් කොටස් තුන ලබාගෙන කියවන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු.
[7වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
යෙශ්රයෙල් මිටියාවත
යෙශ්රයෙල්
නාසරෙත්
තායනාක්
මෙගිද්දෝ
යොක්නියෙම්
කෙදෙෂ්
උතුර
ගලීල මුහුද
මහ මුහුද
සැතපුම්
කිලෝමීටර
5
10
10
20
[හිමිකම් විස්තර]
Based On a map copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel.
[5වන පිටුවේ පින්තූරය]
ඉශ්රායෙල් ජාතිය සීනයි කන්ද අසල දී ව්‍යවස්ථාව ලැබූහ
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.