අසල් වැසියන්ට ප්‍රේම කිරීම කළ හැකි යමකි
සමාරියයා පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාව අව්‍යාජ අසල්වැසි ප්‍රේමය අදහස් කරන්නේ කුමක් දැයි පෙන්වී ය. (ලූක් 10:25-37) යේසුස් වහන්සේ වැඩිදුරටත් මෙය ද ඉගැන්වූ සේක: “තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW ] ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, තට මෙන් තාගේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.”—මතෙව් 22:37-39.
බොහෝ දෙනෙකුට දැනෙන ආකාරයට, ඔබගේ ජාතියට අයත් නොවන වෙනත් වාර්ගික කණ්ඩායමකට අයත් අසල් වැසියෙකුට ප්‍රේම කිරීම දුෂ්කර බව ඔබටත් හැඟේ ද? ඔබ අසාධාරණ ව සලකනු ලැබීම හා අයුක්තිය ගැන දැනගත්තා හෝ එය පෞද්ගලික ව අත්දැක්කා හෝ විය හැකි නිසා ඇතැම් විට තත්ත්වය දුෂ්කර විය හැකි ය. ඔබත් ඔබ ප්‍රේම කරන අයත් වෙනත් කණ්ඩායමකට අයත් ජනයාගේ පීඩාවෙන් දුක් විඳ තිබෙනවා විය හැක.
අප අපගේ අසල් වැසියන්ට ප්‍රේම කිරීම දෙවියන් වහන්සේගේ ආඥාවලින් එකක් බව යේසුස් වහන්සේ සඳහන් කළ බැවින්, මෙවන් දැඩි හැඟීම් මැඩපැවැත්වීමට අපට හැකියාවක් තිබිය යුතු ය. මෙය කළ හැකි මූලික ක්‍රමය නම් දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ බලන ආකාරයට ජනයා දෙස බැලීම ය. මේ සම්බන්ධයෙන් අපි යේසුස් වහන්සේගේ හා මුල් ක්‍රිස්තියානින්ගේ ආදර්ශය සලකා බලමු.
යේසුස් වහන්සේගේ කදිම ආදර්ශය
පළමු ශතවර්ෂයේ ජීවත් වූ යුදෙව්වන් තුළ, යුදාව හා ගලීලය අතර ජීවත් වූ සමාරියයන් නමැති ජන පිරිසට එරෙහි ව ප්‍රබල හැඟීම් තිබුණි. විරුද්ධවාදී යුදෙව්වෝ එක්තරා අවස්ථාවක අවමන් සහගත ලෙසින් යේසුස් වහන්සේගෙන් මෙසේ විමසුවෝ ය: “නුඹ සමාරියයෙක්ය, නුඹට යක්ෂයෙක් ආවේශවෙලාය කියා අප කියනවා හරි නොවේද”? (යොහන් 8:48) සමාරියයන්ට විරුද්ධ වූ හැඟීම කොතරම් දැඩි ව තිබුණේදයත්, ඇතැම් යුදෙව්වෝ සමාරියයන්ට සිනගෝගවල දී ප්‍රසිද්ධියේ ශාප කළ අතර ඔවුනට සදාකාල ජීවනය නොලැබෙන ලෙස දින පතා යාච්ඤා කළහ.
සොරුන් විසින් පහර දෙන ලද යුදෙව් මිනිසාට සැලකිල්ල දැක්වීමෙන් සැබෑ අසල් වැසියෙක් බව තහවුරු කළ සමාරියයා පිළිබඳ උපමාව ඉදිරිපත් කිරීමට නිසැක ව ම යේසුස් වහන්සේ ව පොලඹවන්නට ඇත්තේ, හොඳාකාරයෙන් ම මුල් බැස තිබුණු මෙම බද්ධ වෛරය පිළිබඳ අවබෝධය විය යුතු ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව මැනවින් දැන සිටි යුදෙව් මිනිසා, “මාගේ අසල්වාසියා කවුද” කියා ඇසූ විට යේසුස් වහන්සේ හට කොයි ආකාරයට පිළිතුරු දෙන්නට හැකි වී ද? (ලූක් 10:29) ඇත්තෙන් ම, “ඔබගේ අසල් වැසියාට අයත් වන්නේ ඔබගේ සෙසු යුදෙව්වන් පමණක් නොවේ, වෙනත් අයත්, සමාරියයෙක් පවා අයත් වෙනවා” යනුවෙන් ඍජු ලෙස යේසුස් වහන්සේට පිළිතුරු දිය හැකි ව තිබුණි. කෙසේ වෙතත්, එය පිළිගැනීමට යුදෙව්වන්ට අපහසුවක් දැනෙනවා ඇත. එනිසා උන් වහන්සේ සමාරියයෙකුගේ අනුකම්පාව ලද යුදෙව්වෙක් පිළිබඳ උපමාවක් සඳහන් කළ සේක. සැබෑ අසල්වැසි ප්‍රේමය යුදෙව් නොවන්නන් දක්වා ව්‍යාප්ත වන බව නිගමනය කිරීමට යේසුස් වහන්සේ එයාකාරයෙන් ම යුදෙව් ශ්රාවකයින් හට උපකාර කළ සේක.
සමාරියයන් කෙරෙහි විරුද්ධවාදී වූ හැඟීම් යේසුස් වහන්සේ තුළ තිබුණේ නැත. සමාරිය හරහා ගමන් කළ එක්තරා අවස්ථාවක, සිය ගෝලයින් ආහාර ලබා ගැනීමට අසල නගරයට ගිය අතර උන් වහන්සේ ළිඳක් ළඟ විවේක ගත් සේක. සමාරිය ස්ත්‍රියක් වතුර ගැනීමට පැමිණි කල, “මට බොන්ට දියන්න” යයි උන් වහන්සේ පැවසූ සේක. සමාරියයන් සමඟ යුදෙව්වන්ගේ ගනුදෙනුවක් නැති නිසා, “යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමද” යයි ඇය ඇසුවා ය. යේසුස් වහන්සේ එවිට, තමන් මෙසියස් වහන්සේ බව පවා විවෘත ව ප්‍රකාශ කරමින්, ඇයට සාක්ෂි දැරූ සේක. නුවරට ගොස්, උන් වහන්සේට සවන් දීමට වෙනත් අය කැඳවීමෙන් ඇය ප්‍රතිචාරය දැක්වූවා ය. ප්‍රතිඵලය? “ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.” යේසුස් වහන්සේ සිය යුදෙව් සමකාලිකයින් තුළ පැවති ආකල්පයන්ට බැඳී නොසිටීම කොතරම් කදිම ප්‍රතිඵලයක් ද!—යොහන් 4:4-42.
දෙවියන් වහන්සේ තරාතිරම් නොබලයි
යේසුස් වහන්සේ මූලික ව යුදෙව්වන්ට, එනම් “ඉශ්රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට” දේශනා කිරීම දෙවියන් වහන්සේගේ අරමුණ විය. (මතෙව් 15:24) එබැවින්, උන් වහන්සේගේ මුල් අනුගාමිකයෝ යුදෙව් පසුබිමකට අයත් වූහ. එහෙත් පො.යු. 33 පෙන්තකොස්ත දින ශුද්ධාත්මය ලැබීමෙන් හුදෙක් වසර තුනකට පසු, ගෝලයින් සෑදීමේ කටයුත්ත වෙනත් ජාතීන්හි ජනයාට, එනම් අන්‍යජාතීන් වෙතට, යුදෙව් ඇදහිලිවන්තයින් විසින් ව්‍යාප්ත කරනු ලැබීම උන් වහන්සේට උවමනා බව යෙහෝවඃ වහන්සේ පැහැදිලි කළ සේක.
සමාරියයෙකුට තමාට මෙන් ප්‍රේම කිරීම යුදෙව් මනසට ඉතා දුෂ්කර දෙයක් වනු ඇත. යුදෙව් අයගෙන් සමාරියයන්ටත් වඩා බැහැර ව සිටි අය වන, අචර්මච්ඡේදිත අන්‍යජාතීන්ට, අසල්වැසි ප්‍රේමය පෙන්වීම ඊටත් වඩා දුෂ්කර දෙයක් වනු ඇත. අන්‍යජාතීන් කෙරෙහි යුදෙව්වන්ගේ ආකල්පය පිළිබඳ ව අදහස් දක්වමින්, දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලෝපීඩියා පවසන්නේ මෙසේ ය: “අ[ලුත්] ගි[විසුමේ] කාලවල ඉතා අන්තවාදී පිළිකුල් කිරීමක්, අවඥා කිරීමක් හා වෛර කිරීමක් අපට පෙනේ. ඔවුන් [අන්‍යජාතීන්] අපවිත්‍ර යයි සලකනු ලැබූ අතර, ඔවුන් සමඟ යම් මිත්‍රශීලී ගනුදෙනුවක් පැවැත්වීම නීත්‍යානුකූල නොවී ය. ඔවුහු වනාහි යුදෙව් ආගමට හැරුණොත් මිස දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම වළක්වනු ලැබූ, දෙවියන් වහන්සේගේ හා උන් වහන්සේගේ ජනයාගේ සතුරන් වූහ. එසේ හැරුණු විට පවා, පුරාතන කාලයේ පැවති ආකාරයට, පූර්ණ ඇසුරට ඔවුන් ව සහභාගි කරවා ගත නොහැකි විය. ඔවුනට උපදෙස් දීම යුදෙව්වන් හට තහනම් කර තිබූ අතර දිව්‍ය කාරණා පිළිබඳ ඔවුන් විමසුවේ නම්, ඔවුන්ට ශාප කළ යුතු විය.”
බොහෝ දෙනෙක් මෙම දෘෂ්ටීන්වල පිහිටා සිටි අතරතුර “දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ අපවිත්‍ර යයි නොකියන්න” යයි කියනු ලැබූ දර්ශනයක් දකින්නට දෙවියන් වහන්සේ පේතෘස්ට සැලස්වූ සේක. ඉන් අනතුරුව අන්‍යජාතිකයෙක් වූ කොර්නේලියස්ගේ නිවසට දෙවියන් වහන්සේ ඔහු ව යොමු කළ සේක. කොර්නේලියස්ටත්, ඔහුගේ පවුලේ අයටත්, වෙනත් අන්යජාතිකයින්ටත් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ව සාක්ෂියක් පේතෘස් ඉදිරිපත් කළේ ය. “සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ” යයි පේතෘස් කීවේ ය. පේතෘස් කථා කරමින් සිටිය දී, අලුතෙන් ඇදහිල්ලට පමුණුවන ලද අය කෙරෙහි ශුද්ධාත්මය පැමිණි අතර ඔවුන් බව්තීස්මය ලැබ ක්‍රිස්තුස් වහන්සේගේ පළමු අන්‍යජාතික අනුගාමිකයින් බවට පත් වූහ.—ක්‍රියා, 10වන පරිච්ඡේදය.
“සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා” යනුවෙන් වූ යේසුස් වහන්සේගේ ආඥාව සියලු රටවල සිටි යුදෙව්වන්ට පමණක් සීමා නොවූ බවත්, අන්‍යජාතීන්ට ද අයත් වූ බවත් තේරුම් ගනිමින්, යුදෙව් අනුගාමිකයින් මෙම සංවර්ධනය පිළිගත්හ. (මතෙව් 28:19, 20; ක්‍රියා 11:18) තමන් සතු ව යම් අන්‍යජාතික-විරෝධී හැඟීමක් තිබුණේ ද, එය මැඩපවත්වා ගනිමින්, සියලු ජාතීන් තුළ ගෝලයින් සෑදීමට ඔවුහු ජ්වලිත ව දේශනා ව්‍යාපාරයක් සංවිධානය කළහ. ඉන් වසර 30කටත් නොවැඩි කාලයකට පසු ව, ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි ප්රකාශවුණේ” යයි කිව හැකි ව තිබුණි.—කොලොස්සි 1:23.
මෙම දේශනා වැඩයේ පෙරමුණ ගෙන කටයුතු කළේ, යුදෙව් පසුබිමකින් පැමිණි ක්‍රිස්තියානියෙක් ව සිටි ප්‍රේරිත පාවුල් ය. ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් වන්නට පෙරාතුව, ඔහු ඵරිසිවරුන්ගේ ආගමික නිකායේ ජ්වලිත සාමාජිකයෙක් ව සිටියේ ය. ඔවුහු අන්‍යජාතීන් ව පමණක් නොව තමන්ගේ ම ජාතියේ පොදු ජනයා ව ද පහත් කොට සැලකූහ. (ලූක් 18:11, 12) එහෙත් වෙනත් අයට අසල්වැසි ප්‍රේමය පෙන්වීම වළක්වන්නට පාවුල් එම දෘෂ්ටීන්වලට ඉඩ හැරියේ නැත. ඒ වෙනුවට, මුළු මධ්‍යධරණී ප්‍රදේශයේ ම ගෝලයින් සෑදීමේ කාර්යයට තමාගේ ජීවිතය කැප කරමින්, ඔහු “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්” බවට පත් වූයේ ය.—රෝම 11:13.
තමාගේ සේවා කටයුතු තුළ පාවුල්ට ගල් ගැසීමත්, පහර දීමත් එමෙන් ම සිරගත කිරීමත් පවා කරනු ලැබී ය. (ක්‍රියා 14:19; 16:22, 23) මෙවන් අමිහිරි අත්දැකීම්, ඔහු ව කලකිරීමට පත් කර, ඇතැම් ජාතීන් හා වාර්ගික කණ්ඩායම් අතර තමාගේ කාලය තමන් නාස්ති කරමින් සිටි බව නිගමනය කිරීමට ඔහුට සැලැස් වී ද? කිසිසේත් නැත. තමාගේ දවසේ තිබූ බොහෝ වාර්ගික කණ්ඩායම් අතර අවංක හදවත් ඇති පුද්ගලයින් විසිර සිටි බව ඔහු දැන සිටියේ ය.
දෙවියන් වහන්සේගේ මාර්ග උගන්වනු ලැබීමට කැමැත්තක් දැක්වූ අන්‍යජාතීන් පාවුල්ට හමු වූ විට, ඔහු ඔවුනට ප්‍රේම කිරීමට පටන් ගත්තේ ය. උදාහරණයක් හැටියට, තෙසලෝනිකයින්ට ඔහු ලීවේ මෙසේ ය: “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව.” (1 තෙසලෝනික 2:7, 8) මෙම හෘදයාංගම වදන්, පාවුල් සැබවින් ම අන්‍යජාතීන්ට ප්‍රේම කළ බවත්, එම යහපත් සම්බන්ධතාවේ ප්‍රීතිය පලුදු කිරීමට ඔහු කිසිවකට ඉඩ නොහළ බවත් පෙන්වයි.
අසල්වැසි ප්‍රේමය ක්‍රියාවට නැංවී
අද දින, පළමුවන ශතවර්ෂයේ දී මෙන්, ක්‍රිස්තියානි සභාවට සම්බන්ධ වන අය, සියලු වාර්ගික කණ්ඩායම්වල ජනයා සඳහා අසල්වැසි ප්‍රේමය වර්ධනය කර ගනිති. අන් අය පිළිබඳ ව දේව දෘෂ්ටියක් වර්ධනය කර ගැනීමෙන් හා ඔවුන් සමඟ රාජ්‍යයේ ශුභාරංචිය බෙදා ගැනීමෙන්, සැබෑ ක්‍රිස්තියානින් කිසිදාක දැනගැනීමට නොපැමිණෙන ජනයා පිළිබඳ තමන්ගේ අවබෝධය පුලුල් කර ගෙන ඇත්තාහ. ජනයා කෙරෙහි සහෝදර ප්‍රේමයක් පවා ඔවුන් තුළ ඇත. (යොහන් 13:34, 35) මෙය ඔබගේත් අත්දැකීම වන්නට පුළුවන.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් රටවල් 229ක විසිරී සිටිය ද, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” නියෝජනය වුව ද, එවන් ප්‍රේමයක් ඔවුන් අතර ඇත. (එළිදරව් 7:9) සමස්ත ලෝක සහෝදරත්වයක් හැටියට, ඔවුහු යෙහෝවඃ වහන්සේගේ නමස්කාරයෙහිත්, වාර්ගික ගැටුම් හා විරෝධතාවල කොටස්කරුවන් වීමට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීමෙහිත්, සෙසු මනුෂ්‍යයන් සමඟ උණුසුම් සම්බන්ධතාවක් වළක්වන්නා වූ අගති සහගත අදහස් ඔවුන් විසින් ඉවත ලෑමෙහිත් එක්සත් වී සිටිති.
සාක්ෂිකරුවන් හා ඇසුරු කිරීමෙන්, සියලු වාර්ගික පසුබිම් ඇති ජනයා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන ආකාරය ඔබ නිරීක්ෂණය කරනු ඇත. ඔවුන් දේව රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරත් ම, ක්‍රියාත්මක ව පවතින අසල්වැසි ප්‍රේමය ඔබට දකින්නට පුළුවන් වනු ඇත. එසේ ය, තමන්ගේ අසල් වැසියන්ට ප්‍රේම කිරීමට ඔවුන් සැබවින් ම ඉගෙන ගෙන ඇති බව සිය ජීවිතවලින් පෙන්වන්නා වූ, කරුණාවන්ත, අවංක ජනයා ව ඔවුනගේ සභාවන්හි ඔබට හමුවනු ඇත.
[6වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්වල සියලු ජාතීන්ට අයත් සන්තෝෂවත් ජන සමූහයන් ඔබට සොයා ගත හැකි ය
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Arival of the Good Samaritan at the Inn/The Doré Bible Illustrations/Dorer Publications Inc.