සීමා තහංචි ඔබව අධෛර්යයට පත් කරනවාද?
සීමා තහංචි! ඇත්තෙන්ම කිසිවෙක් ඒවාට කැමති නැත! එහෙත්, අප සියල්ලන්ටම යම් තරමකට ඒවා සමඟ කටයුතු කරන්නට සිදුවේ. එනමුත්, ඔබගේ ජීවිතයට ඕනෑවට වඩා සීමා වී ඇති බවක් පෙනෙන්ට තිබෙන නිසා, ඇතැම්විට ඔබ ඒ මගින් අධෛර්යයට පත්වෙනවාද? ඔබ ඔබගේ දෘෂ්ටිකෝණය වෙනස් කරන්නේ නම්, සමහරවිට ඔබට මීට වඩා හොඳ බවක් දැනෙනු ඇත. ඔබට කරන්නට බැරි දේ ගැන නොරිස්සුම් ගතියකින් සිටිනවාට වඩා, ඔබ සැබවින්ම භුක්ති විඳින කුමන අන්දමේ හෝ නිදහසකින් සම්පූර්ණ ප්‍රයෝජන නොගන්නේ මන්ද?
නිදසුනක් වශයෙන්, ආර්ථික වශයෙන් දිළිඳුව සිටින බොහෝ දෙනෙක් තමන් ධනවත්ව සිටියා නම් කොතරම් හොඳද කියා කල්පනා කරති. කෙසේවෙතත්, මේ දේවල පිළිවෙළ තුළ අපට කළ හැකි දෙය දිළිඳුකම නිසා සීමාවන නමුත්, ජීවිතයේ වැදගත් දේවල් සියල්ලන්ටම ලබා ගත හැකිව තිබේ. දිළිඳු අය මෙන්ම ධනවත් අයද, ප්‍රේමයෙන් බැඳෙති, විවාහ වෙති, දරුවන් හදා වඩා ගනිති, යහපත් සබඳතා භුක්ති විඳිති, යනාදි මේ දේවල් දෙපාර්ශ්වයම කරති. මීටත් වඩා වැදගත් ලෙස, දිළිඳු අය මෙන්ම ධනවත් අයද යෙහෝවඃවහන්සේ දන්නා අතර, පොරොන්දු වී ඇති නව ලෝකය දෙස ඉදිරියට බලා සිටිති. දිළිඳු අය මෙන්ම ධනවත් අයද, ධනසම්පත්වලට වඩා වටින්නාවූ ක්‍රිස්තියානි ප්‍රඥාව සහ දැනුම තුළ ප්‍රගතිය ලබති. (හිතෝපදේශ 2:1-9; දේශනාකාරයා 7:12) ධනවත් සහ දිළිඳු සියල්ලන්ටම තමන් සඳහා යෙහෝවඃවහන්සේ සමඟ අනර්ඝ නාමයක් ඇති කර ගත හැක. (දේශනාකාරයා 7:1) පාවුල්ගේ දවස්වලදී, ක්‍රිස්තියානි සභාව විශාල වශයෙන් සෑදී තිබුණේ සමාජයේ පහත් යයි සලකනු ලැබූ අයගෙන් වූ අතර, ඔවුන්ගෙන් සමහරෙක් තමන්ගේ තත්ත්වයට අනුව ලැබුණු කුමන නිදහසක් හෝ ඥානවන්තව යොදා ගත්තාවූ වහල්ලු වූහ.—1 කොරින්ති 1:26-29.
ශුද්ධ ලියවිලිමය මූලිකත්වය
ක්‍රිස්තියානි විවාහයක් තුළ, භාර්යාව ඇගේ ස්වාමිපුරුෂයාට යටත්ව සිටින්නීය—මෙය මුළු පවුලටම ප්‍රයෝජන ලබාදීම සඳහා සලස්වා ඇති විධිවිධානයකි. (එපීස 5:22-24) මේ හේතුවෙන්, තමා පහත් තත්ත්වයකට දමා තිබෙන බව භාර්යාවකට හැඟී යා යුතුද? කිසිසේත් නැත. ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකට වැඩකරන කණ්ඩායමකි. ක්‍රිස්තුස්වහන්සේට සමාන ආකාරයකින් හසුරුවනු ලැබූ කල, පුරුෂයාගේ මූලිකත්වය, තමාගේ භාර්යාව මත සාපේක්ෂ වශයෙන් සීමා තහංචි ස්වල්පයක් පනවන අතර, ඇගේ හැකියාවන් හා කුසලතා විදහා පෙන්වීමට එමගින් බොහෝ ප්‍රස්තා උදාකරයි. (එපීස 5:25, 31) හිතෝපදේශ 31 පරිච්ඡේදයේ, “දක්ෂ භාර්යාව,” [NW] උනන්දුව දනවන හා අභියෝගාත්මක වැඩකටයුතු බොහොමයක නියැලී සිටියාය. ඇගේ ස්වාමිපුරුෂයාට යටත්වීම ඇගේ කලකිරීමට හේතු නොවූ බව පැහැදිලිය.—හිතෝපදේශ 31:10-29.
මේ හා සමානව, ක්‍රිස්තියානි සභාව තුළ සුදුසුකම් ලත් පුරුෂයන්ට ඉදිරියෙන් පෙරමුණ ගැනීමට ස්ත්‍රියකට ඉඩ දී නැත. (1 කොරින්ති 14:34; 1 තිමෝති 2:11, 12) ක්‍රිස්තියානි ස්ත්‍රීන් එම සීමාව යටතේ නොසෑහීමට පත්විය යුතුද? නැත, ක්‍රිස්තියානි සේවයේ එම අංගය දිව්‍යාණ්ඩු ආකාරයකින් බලාකියා ගැනීම සම්බන්ධයෙන් වැඩි දෙනෙක් කෘතඥ වෙති. පත්කරන ලද වැඩිමහල්ලන්ගේ එඬේරකම්වලින් හා ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ලැබීමට සතුටු වන ඔවුහු, දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ අතිවැදගත් කර්තව්‍ය ගැන වෙහෙසෙති. (මතෙව් 24:14; 28:19, 20) ක්‍රිස්තියානි ස්ත්‍රීන් මෙම ක්ෂේත්රය තුළ බොහෝ දේ ඉටු කරන අතර, මේ මගින් යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔවුන්ට ගෞරවය ලැබේ.—ගීතාවලිය 68:11; හිතෝපදේශ 3:35.
යෞවනයන් මත සීමා තහංචි
තමන්ගේ ජීවිතයට ඕනෑවට වඩා සීමා තහංචි පනවා තිබෙන බව ඇතැම් අවස්ථාවල යෞවනයෝ පැමිණිලි කරති, බොහෝ විට මෙසේ වන්නේ තමන් තම දෙමාපියන්ගේ අධිකාරය යටතේ සිටින නිසාය. එහෙත් මෙයද ශුද්ධ ලියවිල්ලට එකඟය. (එපීස 6:1) තම දෙමාපියන් තමන් මත පනවන සීමා තහංචි නිසා කුපිත වෙනවා වෙනුවට, සාමාන්‍යයෙන් බැරෑරුම් වගකීම්වලින් නිදහස ඇතුළුව තමන්ට තිබෙන නිදහස භුක්ති විඳීමට ඥානවන්ත ක්‍රිස්තියානි යෞවනයෝ තම අවධානය යොමු කරති. මේ අන්දමින්, වැඩිහිටි ජීවිතයට තමන්වම සූදානම් කරගනුවස්, තමන්ගේ තාරුණ්‍ය ශක්තියෙන් සහ තත්ත්වයන්ගෙන් ඔවුන්ට ප්‍රයෝජන ගත හැකිය.
එක් කුඩා හුදෙකලා කණ්ඩායමක සිටි, තමන්ට කළ හැකි දේ සම්බන්ධයෙන් සීමා වී සිටි, 12 හැවිරිදි යෞවනයෙකුව බ්‍රසීලයේ හිටපු චාරිකා අවේක්ෂකයෙකුට හොඳට මතකය. වාර්තා ලිපි ගොනු සම්බන්ධව කටයුතු කළ තැනැත්තා බාහිර වැඩකටයුතුවල වැඩබහුලව සිටි අතර, කණ්ඩායම කෙරෙහි වැඩි අවධානයක් දීමට නොහැකි වූයේය, නමුත් ඔහු මෙම යෞවනයාගෙන් උපකාර ලබා ගැනීමට කටයුතු යොදා ගත්තේය. සියලු පෝරම තිබෙන තැන් ඉගෙන ගත් මෙම යෞවනයා, උපකාර කිරීමට සෑමවිටම අසල සිටියේය. ඔහු දැක්වූ උනන්දුව දිරිගන්වනසුලු වූ අතර, ඔහු ක්ෂේත්‍ර සේවයේ විශ්වාසවන්ත සහයකයෙක් වූයේය. එම යෞවන මිනිසා දැන් පත්කරන ලද වැඩිමහල්ලෙකි.
පුද්ගලයෙකුගේ නිදහස සීමා කළ හැකි තත්ත්වයන් බොහොමයක් තිබෙන්නට පුළුවන. ඇතැම් අය අසනීපවලින් සීමා වී සිටිති. ඇතැම් අය බෙදුණු පවුල්වල ජීවත් වන අතර, නොඇදහිලිකාර කලත්‍රයෙකුගේ බලකිරීම් නිසා ඔවුන්ගේ නිදහස සීමා වී තිබෙන බව පෙනෙනවා විය හැක. දේවල් මීට වඩා වෙනස්ව තිබුණා නම් කොපමණ හොඳද කියා සීමා තහංචිවලට කොටුවී සිටින අයට හැඟුණත්, තවමත් ඔවුන්ට තෘප්තිමත් ජීවිත ගත කිරීමට හැකියි. තමන් යෙහෝවඃවහන්සේ මත රඳා පැවතීම නිසාත්, තමන්ගේ තත්ත්වයන්ගෙන් උපරිම ඵල නෙලාගත් නිසාත් අන්‍යයන්ට බොහෝ සෙයින් දිරිගැන්වීමක් වී ඇති එවන් පුද්ගලයන්ගේ වාර්තා බොහොමයක් මෙම සඟරාවේ පළ වී තිබේ.
තම දවසේ තිබූ පොදු තත්ත්වයක් ගැන කථා කරමින්, ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේය: “ඔබව කැඳවනු ලැබුවේ ඔබ වහලෙකුව සිටියදීද? ඒ ගැන ළත නොවන්න; නමුත් ඔබට නිදහස් වීමටත් හැකි නම්, ඒ ප්‍රස්තාව අල්ලා ගන්න.” (1 කොරින්ති 7:21, NW) මොනතරම් සමබර දෘෂ්ටියක්ද! ඇතැම් තත්ත්වයන් වෙනස් වේ. යෞවනයෝ හැදී වැඩෙති. විරුද්ධ වන කලත්රයෝ ඇතැම් විට සත්‍යය පිළිගනිති. ආර්ථික තත්ත්වයන් දියුණු වන බව දන්නා කරුණකි. අසනීපව සිටින අය සුවය ලබනවා විය හැකියි. වෙනත් අවස්ථාවන්හිදී, යෙහෝවඃවහන්සේගේ නව ලෝකය මෙහි පැමිණෙන තෙක් දේවල් වෙනස් නොවෙන්නට පුළුවන. කෙසේවෙතත්, වෙනත් අයට කළ හැකි දේ තමාට කළ නොහැකි නිසා නොසන්සුන් බවක් දැක්වීමෙන් ලබාගත හැකි වාසියක් තිබේද?
ඔබ කවරදාක හෝ පොළොවට උඩින් අහසේ සැරිසරන කුරුල්ලන් දෙස බලා ඔවුන්ගේ අලංකාරය හා ඔවුන් භුක්ති විඳින නිදහස දෙස බලා ඒ ගැන පුදුම වී ප්‍රශංසා මුඛයෙන් කථා කොට තිබේද? සමහරවිට ඔබටත් එලෙස පියාඹන්නට පුළුවන් වුණානම් කියා ඔබ සිතුවා විය හැක. ඇත්තෙන්ම, ඔබට නොහැක, තවද ඔබට කවරදාකවත් කුරුල්ලන් මෙන් ඉගිලෙන්නට හැකි වන්නේ නැත. එහෙත්, පෙනෙන විදිහට ඔබ මේ ගැන පැමිණිලි කරන්නේ නැත! ඒ වෙනුවට, දෙවියන්වහන්සේ ඔබට දානය කර ඇති හැකියාවන්ගෙන් ඔබ ප්‍රීති වන්නෙහිය. ඔබ පොළොව මත ඇවිදීමෙන් දේවල් සාර්ථක ලෙස ඉටු කරගන්නෙහිය. මේ හා සමානව, අපගේ ජීවිතය තුළ කිනම් තත්ත්වයක වුවද, අපට කළ නොහැකි දෙය පිළිබඳව නොසන්සුන් බවක් ඇති කරගන්නවා වෙනුවට, අපට කළ හැකි දේ ගැන අපගේ සිත් ඒකාග්ර කරනවා නම්, ජීවිතය තෘප්තිමත් එකක් වනු ඇති අතර, අප යෙහෝවඃවහන්සේගේ සේවය තුළ ප්‍රීතිය ලබා ගන්නවා නොඅනුමානය.—ගීතාවලිය 126:5, 6.
[28වන පිටුවේ පින්තූරය]
ඔබගේ දෙමාපියන් ඔබව කොටුකර තිබෙන බව ඔබට හැඟේද?