ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 2/1 14-19 පි.
  • මැටි භාජනවල දරන අපේ වස්තුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැටි භාජනවල දරන අපේ වස්තුව
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පුරාණ ඉශ්‍රායෙලය සැකසීම
  • ආත්මික ජාතියක් සැකසීම
  • අදදින, දෙවිගේ ඉශ්‍රායෙල්ව සකස් කිරීම
  • “බලව! මහත් සමූහයක්”
  • ශ්‍රේෂ්ඨ කුම්භකාරයා හා ඔහුගේ කර්මාන්තයන්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානි යුගයෙහි දිව්‍යාණ්ඩු පරිපාලනය
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි කරන දේ අගයමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවි දෙන හික්මවීම් පිළිගෙන සකස් වෙන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 2/1 14-19 පි.

මැටි භාජනවල දරන අපේ වස්තුව

“ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව [දෙවිට] අයිති වන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.”—2 කොරින්ති 4:7.

1. යේසුස්ගේ ආදර්ශය අපව දිරිගැන්විය යුත්තේ කුමක් කිරීම සඳහාද?

යෙහෝවා විසින් මේ පොළොවේදී යේසුව සැකසීමේදී, මනුෂ්‍යවර්ගයාගේ දුර්වලකම් ඔහුට අද්දැකීමට හැකි විය. එසේ නම් අඛණ්ඩතාව රැකීමේ ඔහුගේ ආදර්ශය අපව කොතරම් දිරිගැන්විය යුතුද! ප්‍රේරිතයා අපට මෙසේ පවසයි: ‘එසේය, ඊට ඔබ කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස් ඔබ නිසා වධවිඳ, ඔහුගේ අඩි පාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දී ගියේය.’ (1 පේතෘස් 2:21) එවන් සැකසීමකට යටත් වීමෙන් යේසුස් මේ ලෝකයෙන් ජයගත්තා. තවද තම ගෝලයන්ට ජයග්‍රාහකයන් වීම සඳහා ඔවුන්ව ශක්තිමත් කළා. (ක්‍රියා 4:13, 31; 9:27, 28, 29අ; 14:3; 19:8) තවද ඔහුගේ අවසාන කතාවේ අන්තිමයේදී ඔවුන්ට පැවසුවේ කොතරම් මහඟු දිරිගැන්වීමේ වචනද! ඔහු මෙසේ ප්‍රකාශ කළා: “මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමි.”—යොහන් 16:33.

2. ලෝකයේ අන්ධකාරයට වෙනස්ව අපට ඇති ආලෝකය කුමක්ද?

2 එයාකාරයෙන්ම, ‘තේජවත් ශුභාරංචියේ ආලෝකය’ හා “මේ ලෝකයේ දෙවියා” ඇති කර තිබෙන අන්ධකාරය අතර වෙනස හුවාදැක්වීමෙන් පසු, ප්‍රේරිත පාවුල් අපේ අනගි සේවය ගැන පැවසුවේ මෙසේයි: “නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව [දෙවිට] අයිති වන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව. අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.” (2 කොරින්ති 4:4, 7-9) අපි දුර්වල “මැටි භාජන” වුවද, සාතන්ගේ ලෝකයෙන් පූර්ණ වශයෙන් ජයගත හැකි වන පිණිස දෙවි ඔහුගේ ආත්මයෙන් අපව සකසා ඇත.—රෝම 8:35-39; 1 කොරින්ති 15:57.

පුරාණ ඉශ්‍රායෙලය සැකසීම

3. යුදෙව් ජාතියේ සකස් කිරීම යෙසායා විස්තර කළේ කොහොමද?

3 යෙහෝවා පුද්ගලයන් පමණක් නොව සම්පූර්ණ වශයෙන් ජාතීන්ද සකස් කරනු ලබයි. උදාහරණයක් හැටියට, පුරාණ ඉශ්‍රායෙලය යෙහෝවාගේ සැකසීමට අවනත වූ විට, එය සමෘද්ධිමත් විය. නමුත් අවසානයේදී, ඔවුන් තමන්වම දැඩි කරගනිමින්, අකීකරුකමේ මාර්ගයක් තෝරාගත්තා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ඉශ්‍රායෙල්ගේ අඹන්නා ඔවුන් පිට ‘දුක’ ගෙනාවා. (යෙසායා 45:9) පොදු යුගයට පෙර අටවන සියවසේදී, ඉශ්‍රායෙල්ගේ දරුණු පාපයන් ගැන යෙහෝවාට කියද්දී යෙසායා මෙසේ පැවසුවා: “[යෙහෝවා], ඔබ අපේ පියාණෝය, අපි මැටිය, ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය. . . . අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.” (යෙසායා 64:8-11) විනාශයට පමණක් සුදුසු වන භාජනයක් හැටියට ඉශ්‍රායෙල්ව අඹා තිබුණා.

4. යෙරෙමියා විසින් රඟ පෑ උපමාව කුමක්ද?

4 ශතවර්ෂයකට පමණ පසු, විනාශයේ දවස ළඟාවීමත් සමඟ, මැටි කළයක් ගෙන යෙරුසලමේ වැඩිමහල්ලන්ව හින්නොම් මිටියාවතට ගෙනයන හැටියට යෙහෝවා යෙරෙමියාට පවසමින්, මෙසේ උපදෙස් දුන්නා: “නුඹ සමග යන මනුෂ්‍යයන් ඉදිරියේදී කළය බිඳ, ඔවුන්ට මෙසේ කියන්න: සේනාවල [යෙහෝවා] මෙසේ [කියන්නේය]—නැවත හරිගස්සන්ට බැරිලෙස කුම්භකාරයාගේ භාජනය බිඳදමන්නාක්මෙන්ම මම මේ සෙනගත් මේ නුවරත් බිඳදමන්නෙමි.”—යෙරෙමියා 19:10, 11.

5. ඉශ්‍රායෙල් කෙරෙහි යෙහෝවාගේ විනිශ්චය කොතරම් බලගතු එකක් වුණාද?

5 පොදු යුගයට පෙර 607දී, නෙබුකද්නෙශර් යෙරුසලම හා එහි දේවමාළිගාව නැති නාස්ති කර, මරණින් බේරුණු යුදෙව්වන්ව බබිලෝනියේ වහල්භාවයට ගෙන ගියා. නමුත් අවුරුදු 70ක පිටුවහල්භාවයෙන් පසු, පසුතැවුණු යුදෙව්වන්ට යෙරුසලමට නැවත පැමිණ එහි දේවමාළිගාව ගොඩනැඟීමට හැකි වුණා. (යෙරෙමියා 25:11) කොහොම වුණත්, පො.යු. පළමු සියවස වන විට, එම ජාතිය ශ්‍රේෂ්ඨ කුම්භකාරයාව නැවතත් අතහැර තිබූ අතර, අන්තිමේදී දෙවිගේම පුත්‍රයාව මරාදැමීමේ අපරාධය සිදු කරන තරමටම තමන්ව පහත් කරගත්තා. යුදෙව් දේවල පිළිවෙළ විනාශ කරන්නා හැටියට යෙහෝවා රෝම ලෝක අධිරාජ්‍යය යොදාගත් අතර, පො.යු. 70දී යෙරුසලමත් එහි දේවමාළිගාවත් පොළොවටම සමතලා කළා. මින් මත්තට කවමදාකවත්, යෙහෝවා අතින් ඉශ්‍රායෙල් ජාතිය ‘ශුද්ධ වූ අලංකාරවත්’ දෙයක් හැටියට සැකසෙන්න යන්නේ නැහැ.a

ආත්මික ජාතියක් සැකසීම

6, 7. (අ) ආත්මික ඉශ්‍රායෙලයේ සකස් කිරීම පාවුල් විස්තර කරන්නේ කොහොමද? (ආ) ‘දයාවේ භාජනවල’ සම්පූර්ණ ගණන කීයද? එමෙන්ම එය සෑදුණේ කොහොමද?

6 යේසුස්ව පිළිගත් යුදෙව්වන්ව නව ජාතිය එනම් ‘දෙවිගේ ඉශ්‍රායෙලයේ’ මූලික සාමාජිකයන් හැටියට සකස් කරනු ලැබුවා. (ගලාති 6:16) එසේ නම් පාවුල්ගේ වචන ඉතා යෝග්‍ය වෙයි: ‘එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද? දෙවි තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශ කරන්ටත් කැමතිව, මහිමය පිණිස පූර්වයෙන් තමන් විසින් සූදානම් කරන ලද දයාවේ භාජන ප්‍රකාශ කරන්ට කැමති වීම නිසා, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසුවේය.’—රෝම 9:21-24.

7 පසු කාලයකදී නැවත නැඟුටුවන ලද යේසුස්, මෙම “දයාවේ භාජන” ගණනින් 1,44,000ක් වනු ඇති බව පෙන්නුම් කළා. (එළිදරව් 7:4; 14:1) ඉශ්‍රායෙල් ජාතිය එම ගණන සම්පූර්ණ නොකළ හෙයින්, යෙහෝවා වෙනත් ජාතීන්ටත් එම දයාව පිරිනැමුවා. (රෝම 11:25, 26) මෙම නව ක්‍රිස්තියානි සභාවේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණා. අවුරුදු 30ක් ඇතුළත ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය.” (කොලොස්සි 1:23) මෙයින් අදහස් වුණේ, විසිර තිබූ ප්‍රාදේශීය සභා රාශියක් නිසි අධීක්ෂණය යටතට ගෙන ඒමේ අවශ්‍යතාවක් පැනනැඟුණු බවයි.

8. මුල් පාලක මණ්ඩලය සෑදුණේ කාගෙන්ද? තවද මෙම මණ්ඩලය වර්ධනය වූයේ කොහොමද?

8 මුල් පාලක මණ්ඩලයේ සාමාජිකයන් හැටියට කටයුතු කිරීමට යේසුස් ගෝලයන් 12දෙනෙක්ව සූදානම් කොට තිබුණා; එමෙන්ම ඔවුන්ව මෙන්ම වෙනත් අයවත් සේවය සඳහා සූදානම් කොට තිබුණා. (ලූක් 8:1; 9:1, 2; 10:1, 2) පොදු යුගයේ 33 පෙන්තකොස්තයේදී, ක්‍රිස්තියානි සභාව පිහිටෙවූ අතර, කාලයාගේ ඇවෑමෙන් එහි පාලක මණ්ඩලය ‘ප්‍රේරිතයෝද යෙරුසලමේ වැඩිමහල්ලෝද’ අයත් වන ආකාරයට පුළුල් කරනු ලැබුවා. ප්‍රේරිතයෙක් නොවූවද, යේසුස්ගේ අර්ධ සහෝදර වූ යාකොබ් එහි සභාපති හැටියට දිගු කාලයක් පුරා සේවය කළ බව පෙනී යනවා. (ක්‍රියා 12:17; 15:2, 6, 13; 21:18) ඉතිහාසඥ යූසීබියස්ට අනුව, ප්‍රේරිතයන් පීඩනයේ ප්‍රධාන ඉලක්කයන් බවට පත් වූ අතර, වෙනත් ප්‍රදේශවලට විසුරුවා හරිනු ලැබුවා. පාලක මණ්ඩලය ඒ අනුව සකස් කරනු ලැබුවා.

9. ඉටුවීමට තිබෙනවාය කියා යේසුස් පුරෝකථනය කළේ කෙබඳු කනගාටුදායක සිදුවීමක්ද?

9 පළමු ශතවර්ෂයේ අවසානයත් සමඟ, ‘සතුරා නමැති යක්ෂයා’ ‘ස්වර්ගරාජ්‍යයේ’ තිරිඟු වැනි උරුමක්කාරයන් අතරේ ‘කිරිඳි වැපිරීමට’ පටන්ගත්තා. ‘මේ දේවල පිළිවෙළේ අවසානයේ [NW]’ ගොයම් කැපීමේ කාලය වන තුරු මේ කනගාටුදායක තත්වය වර්ධනය වීමට ඉඩ දෙනු ඇති බව යේසුස් පුරෝකථනය කළා. එවිට නැවතත්, “ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය.” (මතෙව් 13:24, 25, 37-43) එවැන්නක් සිදු වනු ඇත්තේ කවදාද?

අදදින, දෙවිගේ ඉශ්‍රායෙල්ව සකස් කිරීම

10, 11. (අ) නූතන දින දෙවිගේ ඉශ්‍රායෙල්ගේ සකස් කිරීම ඇරඹුණේ කොහොමද? (ආ) ක්‍රිස්තියානි ලෝකය හා අවංක බයිබල් ශිෂ්‍යයන් අතරේ එකිනෙකට පටහැනි කෙබඳු ඉගැන්වීම්ද සොයාගැනීමට හැකි වූයේ?

10 වර්ෂ 1870දී, අ.එ.ජ. පෙන්සිල්වේනියා, පීටස්බ’ග්හි චාල්ස් ටේස් රසල් බයිබල් ශිෂ්‍ය කණ්ඩායමක් සෑදුවා. ඔහු 1879දී අද මුරටැඹ ලෙස හඳුන්වන සඟරාව මාසිකව මුද්‍රණය කිරීමට පටන්ගත්තා. බයිබල් ශිෂ්‍යයන්යයි හඳුන්වනු ලැබූ ඔවුන් ආත්මයේ අමරණීයබව, නිරාගින්න, ශුද්ධගිනිස්ථානය, ත්‍රිත්ව දෙවිකෙනෙක් හා ළදරු බව්තීස්මය වැනි ශුද්ධ ලියවිලිමය නොවන මිථ්‍යා ඉගැන්වීම් ක්‍රිස්තියානි ලෝකය විසින් ඈඳාගෙන තිබූ බව වටහාගත්තා.

11 එහෙත් වඩා වැදගත් ලෙස, යේසුස්ගේ මිදීමේ මිලය මගින් ගැළවීම හා දෙවිගේ රාජ්‍යය යටතේ සාමකාමී පාරාදීස පොළොවකට නැවත නැඟිටීම වැනි මූලික බයිබල් ඉගැන්වීම්, බයිබල් සත්‍යයට ප්‍රේම කරන මොවුන් විසින් යළි ස්ථාපිත කළා. සියල්ලටම වඩා වැඩියෙන් අවධානය යොමු කළේ, යෙහෝවා දෙවිව විශ්වනීය පරමාධිපති හැටියට විශුද්ධවත් කිරීමට නියමිතව තිබූ සිද්ධිය වෙතටයි. ස්වාමීන්ගේ යාච්ඤාවට උත්තරයක් ලැබෙන්න යන බවට බයිබල් ශිෂ්‍යයන්ට විශ්වාසයක් තිබුණා. එහි මෙසේ පැවසේ: “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) දෙවිගේ ශුද්ධාත්මය සාමයට ඇලුම් කරන ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සංගමයක් හැටියට ඔවුන්ව සකස් කරමින් සිටියා.

12. වැදගත් දිනයක් බයිබල් ශිෂ්‍යයන් අවබෝධ කරගත්තේ කොහොමද?

12 දානියෙල් 4වන පරිච්ඡේදය හා වෙනත් අනාවැකි ගැඹුරින් අධ්‍යයනය කිරීම හේතුවෙන් මෙසියානු රජ හැටියට යේසුස්ගේ පැමිණ සිටීම අත ළඟ බව බයිබල් ශිෂ්‍යයන්ට ඒත්තු ගියා. “අන්‍යජාතීන්ගේ කාලවල්” අවසන් වීමට නියමිත කාලය 1914 බව ඔවුන් තේරුම්ගෙන සිටියා. (ලූක් 21:24; එසකියෙල් 21:26, 27) බයිබල් ශිෂ්‍යයන් තම ක්‍රියාකාරකම් යුහුසුලුව ව්‍යාප්ත කළා; ඔවුන් එසේ මුළු එක්සත් ජනපදය පුරාම (පසුව සභා ලෙසින් හැඳින්වූ) බයිබල් පන්ති පිහිටුවීමට පටන්ගත්තා. දහනවවන ශතවර්ෂයේ ආරම්භයත් සමඟ, ඔවුන්ගේ බයිබල් අධ්‍යාපන වැඩය යුරෝපය හා ඔස්ට්‍රලේසියාව හා නවසීලන්තයේ යම් ප්‍රදේශවලටත් ව්‍යාප්ත වුණා. දැන් හොඳින් සංවිධානය වීමක් අවශ්‍ය වුණා.

13. බයිබල් ශිෂ්‍යයන්ට ලැබුණේ කිනම් නීත්‍යනුකූල මුහුණුවරක්ද? තවද සමිතියේ පළමු සභාපති පිරිනැමුවේ කිනම් අද්විතීය සේවයක්ද?

13 බයිබල් ශිෂ්‍යයන්ට නීත්‍යනුකූල මුහුණුවරක් දීම සඳහා, සයන්ස් වොච් ටවර් ට්‍රැක්ට් සොසයටි අමෙරිකා එක්සත් ජනපදයේ වර්ෂ 1884දී සංස්ථාගත කළා; තවද එහි මූලික ශාඛාව පිහිටියේ පෙන්සිල්වේනියාවේ, පීටස්බ’ග්හිය. එහි අධ්‍යක්ෂකයන් කේන්ද්‍රීය පාලක මණ්ඩලයක් හැටියට සේවය කළ අතර, දෙවිගේ රාජ්‍යය දේශනා කිරීමේ ලෝක ව්‍යාප්ත වැඩය එය මගින් අධීක්ෂණය වුණා. සමිතියේ පළමු සභාපති වන චාල්ස් ටී. රසල් ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය (ඉංග්‍රීසියෙන්) යන පොත් කාණ්ඩයේ වෙළුම් හයක් ලේඛනගත කළ අතර, පුළුල් දේශනා කිරීමේ සංචාරවලද නියැලුණා. තම බයිබල් අධ්‍යයනයන් ඇරඹීමට මත්තෙන් තමන් එක්රැස් කරගත් විශාල ධන සම්භාරයද ඔහු ලෝක ව්‍යාප්ත රාජ්‍ය වැඩකටයුතු වෙනුවෙන් ප්‍රදානය කළා. වර්ෂ 1916දී, මහා යුද්ධයෙන් යුරෝපය දෙදරා යමින් තිබූ අතරතුරේදී, අධික විඩාවට පත්ව සිටි සහෝදර රසල් දේශනා ගමනකදී මරණයට පත් වුණා. ඔහු තමා සතු සියල්ල දෙවිගේ රාජ්‍යය ගැන සාක්ෂිය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් දී තිබුණා.

14. ජේ. එෆ්. රදෆඩ් ‘යහපත් යුද්ධයෙහි යුද්ධ කළේ’ කොහොමද? (2 තිමෝති 4:7)

14 මිසූරිහි තාවකාලික ලෙස, විනිසුරුවෙක් හැටියට කටයුතු කළ ජෝසෙෆ් එෆ්. රදෆඩ් ඊළඟ සභාපති බවට පත් වුණා. බයිබල් සත්‍යය ඔහු අභීත ලෙස ප්‍රචාරය කිරීම හේතුවෙන්, ‘පනතෙන් නපුර යෙදීමට’ ක්‍රිස්තියානි මණ්ඩලයේ පූජකයන් දේශපාලනඥයන්ට එකතු වුණා. වර්ෂ 1918 ජූනි 21වනදා, සහෝදර රදෆඩ් හා පෙරමුණ ගත් තවත් බයිබල් ශිෂ්‍යයන් 7දෙනෙකුව සිරගත කළ අතර, එයට අවුරුදු 10 හෝ 20 කාලපරිච්ඡේදවලින් යුත් බහු-සංගාමීය දණ්ඩ නියමයන් ඇතුළත් වුණා. බයිබල් ශිෂ්‍යයන් සටන අතහැරියේ නැහැ. (ගීතාවලිය 94:20; පිලිප්පි 1:7) අභියාචනා පිට ඔවුන්ව 1919 මාර්තු 26වනදා නිදහස් කළ අතර, පසුව කැරලිගැසීම යන බොරු චෝදනාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කළා.b මෙම අද්දැකීම ඔවුන්ව සත්‍යයේ ශක්තිමත් වූ ප්‍රචාරකයන් වීමට සකස් කරනු ලැබුවා. තවද යෙහෝවාගේ උපකාරය ඇතුව, මහා බබිලෝනියෙන් එල්ල වන විරුද්ධවාදිකම් මධ්‍යයේ, ශුභාරංචිය දේශනා කිරීමට වූ ආත්මික සටනේ විජයග්‍රාහී වීම සඳහා තිබෙන සෑම විකල්පයක්ම ඔවුන් යොදාගත්තා. තවද ඒ සටන මෙම 1999වන වසර දක්වාම කරගෙන යයි.—සසඳන්න මතෙව් 23වන පරිච්ඡේදය; යොහන් 8:38-47.

15. වර්ෂ 1931, ඓතිහාසික වැදගත්කමකින් යුත් වසරක් වූයේ ඇයි?

15 එක්දහස් නවසිය විසිගණන් හා තිස්ගණන්වලදී, ශ්‍රේෂ්ඨ කුම්භකාරයාගේ මඟ පෙන්වීම යටතේ ආලේප ලත් දෙවිගේ ඉශ්‍රායෙල්ව තවදුරටත් සකස් කිරීම කරගෙන ගියා. ශුද්ධ ලියවිල්ලෙහි ඇති අනාවැකිමය ආලෝකය තව තවත් දීප්තිමත් වූ අතර, එනයින් යෙහෝවාට ගෞරවය ගෙන එමින්, යේසුස්ගේ මෙසියානු රාජ්‍යය කෙරෙහි අවධානය යොමු කළා. වර්ෂ 1931දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන අලුත් නම ඈඳාගැනීමෙන් බයිබල් ශිෂ්‍යයන් ප්‍රීති උද්දාමයට පත් වුණා.—යෙසායා 43:10-12; මතෙව් 6:9, 10; 24:14.

16. හා 19වන පිටුවේ කොටුව. 1,44,000 ගණන සම්පූර්ණ වූයේ කවදාද? තවද මේ සඳහා ඇත්තේ කිනම් සාක්ෂිද?

16 එක්දහස් නවසිය තිස්ගණන්වලදී, ‘කැඳවාගත් තෝරාගත් විශ්වාසවන්ත’ වූ අයගේ ගණන වන 1,44,000 පෙනෙන ප්‍රකාරයට සම්පූර්ණ වුණා. (එළිදරව් 17:14; 19වන පිටුවේ කොටුව බලන්න.) පළමු ශතවර්ෂයේදී ආලේප ලත් අය කීදෙනෙක්ව එකතු කළාද කියාවත්, ක්‍රිස්තියානි ලෝකයේ මහා ඇදහිල්ල අත්හැර යෑමේ අඳුරු කාලයේදී, “කිරිඳි” අතරෙන් කොතරම් ප්‍රමාණයක් එකතු කළාද කියාවත් අප දන්නේ නැහැ. නමුත් 1935දී, 56,153ක උපරිමයක් තිබූ අතර, ඉන් ලෝක ව්‍යාප්තව සිටි ප්‍රචාරකයන් 52,465දෙනෙක් සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් වීමෙන් තම ස්වර්ගීය බලාපොරොත්තුව ඇඟෙව්වා. එසේ නම් තවත් එකතු කිරීමට තිබෙන විශාල ප්‍රමාණය ගැන කුමක් කිව හැකිද?

“බලව! මහත් සමූහයක්”

17. වර්ෂ 1935දී ඇති වූයේ කිනම් ඓතිහාසිකමය වර්ධනය වීමක්ද?

17 වර්ෂ 1935දී මැයි 30 සිට ජූනි 3වනදා දක්වා අ.එ.ජ. වොෂිංටන් ඩී.සී.හි පැවති සමුළුවකදී, සහෝදර රදෆඩ් මහත් වෙනසකට තුඩු දුන් කතාවක් දුන්නා; එහි මාතෘකාව වූයේ “මහත් ජනකාය” යන්නයි.c “කිසිවෙකුට ගණන්කළ නොහැකි” වූ මෙම පිරිස දැකගත හැකි වනු ඇත්තේ, ආත්මික ඉශ්‍රායෙලයේ 1,44,000 මුද්‍රා කිරීම අවසානයකට ළඟා වෙමින් තිබූ අදියරකදීයි. මේ අයද යේසුස්ගේ එනම්, ‘බැටළුපැටවාගේ ලෙය මගින්’ මුදවාගැනීමට ඇති බලය කෙරෙහි ඇදහිල්ලක් නිරූපණය කිරීමට යන අතර, නමස්කාරය සඳහා ඇති යෙහෝවාගේ දේවමාළිගා විධිවිධානයේ ඔවුන් පරිශුද්ධ සේවයද පිරිනමයි. කණ්ඩායමක් හැටියට, “මරණය තවත්” නැති පාරාදීසමය පොළොවකට උරුමකම් කීමට ඔවුන් ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වෙයි. එම සමුළුවට අවුරුදු කිහිපයකට පෙර, මෙම කණ්ඩායම හඳුන්වා තිබුණේ යෝනාදාබ්වරුන් හැටියටයි.—එළිදරව් 7:9-17; 21:4; යෙරෙමියා 35:10.

18. වර්ෂ 1938 තීරණාත්මක වසරක් වූයේ කිනම් විධිවලින්ද?

18 පන්ති දෙක පැහැදිලිව හඳුනාගැනීම සම්බන්ධයෙන් ගත් කල, 1938වන වර්ෂය තීරණාත්මක එකක් වුණා. වර්ෂ 1938 මාර්තු 15 හා අප්‍රියෙල් 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාප මගින් “ඔහුගේ රැළ” යන තේමාවෙන් යුත් පාඩම් ලිපි දෙක ඉදිරිපත් කළ අතර, ආලේප ලත් ඉතිරි කොටසේ හා ඔවුන්ගේ සහයකයන් වන මහත් සමූහයේ ස්ථානද එය පැහැදිලි අයුරින් හුවාදැක්වූවා. අනතුරුව, යෙසායා 60:17 මත පදනම් වූ “සංවිධානය” යන මැයෙන් යුත් පාඩම් ලිපි දෙකක් ජූනි 1 හා ජූනි 15වන කලාපවල දක්නට ලැබුණා. ප්‍රාදේශීය සේවකයන් පත් කරන හැටියට පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටින මෙන් සියලු සභාවලට දන්වා සිටියා. මෙනයින් වැඩි දියුණු වූ, දෙවි විසින් ස්ථාපිත, දිව්‍යාණ්ඩුමය සැලැස්මක් බිහි වුණා. තවද සභාවන් එලෙසින්ම ක්‍රියා කළා.

19. හා පාදසටහන. ‘වෙනත් බැටළුවන්’ සඳහා ඇති පොදු කැඳවීම දැනට අවුරුදු 60කටත් වැඩියෙන් කරගෙන ගොස් ඇති බව සනාථ කරන්නේ කිනම් සාක්ෂිද?

19 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (ඉංග්‍රීසියෙන්) 1939දී මෙසේ වාර්තා කළා: “දැන් මිහිපිට සිටින ක්‍රිස්තුස් යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන් ගණනින් සීමිත වන අතර, එම ගණන කවමදාකවත් වැඩි වන්න යන්නේ නැහැ. දෙවිගේ සංවිධානය වන සියොන්ගේ දරුවන්ගේ ‘ඉතිරි අය’ හැටියට මේ අයව ශුද්ධ ලියවිලිවල පෙන්නුම් කරයි. (එළි. 12:16) ස්වාමීන් දැන් තමන්හට ‘වෙනත් බැටළුවන්’ එකතු කරමින් සිටින අතර, මේ අයගෙන් ‘මහත් ජනකාය’ සැකසෙයි. (යොහන් 10:16) දැන් එකතු කරමින් සිටින අය වනාහි ඉතිරි අයගේ සහයකයන් වන අතර, ඔවුන් ඉතිරි අය සමඟ හවුලේ වැඩ කරයි. මෙතැන් සිට ‘මහත් ජනකාය’ එකතු වන තුරු, ‘වෙනත් බැටළුවන්ට’ අයත් වන අය ගණනින් වැඩි වෙයි.” මහත් සමූහය එකතු කරගැනීම පිණිස ආලේප ලත් ඉතිරි අයව සකසනු ලැබුවා. දැන් මොවුන්වද සකස් කළ යුතුයි.d

20. වර්ෂ 1942 සිට කිනම් සංවිධානමය වෙනස්කම් සිදු වී ඇද්ද?

20 වර්ෂ 1942 ජනවාරියේදී, IIවන ලෝක මහා යුද්ධය එහි හිණි පෙත්තටම නැඟ තිබූ කාලයකදී, ජෝසෆ් රදෆඩ් මරණයට පත් වූ අතර, නේදන් නෝර් සභාපති හැටියට ඔහුගේ තැන ගෙන කටයුතු කළා. සභාවල දිව්‍යාණ්ඩු සේවා පාසැල් ආරම්භ කිරීම හා මිෂනාරිවරුන්ව පුහුණු කිරීම සඳහා ගිලියද් පාසැල් පිහිටුවීම වැනි කාරණාවලදී, සමිතියේ තෙවන සභාපතිව ආදරයෙන් සිහිපත් කරයි. කලින් සමිතියේ සාමාජිකත්වය සම්මාදම් දීම මත පදනම් වී තිබුණත්, සමිතියේ ප්‍රඥප්තිය සංශෝධනය කිරීම මගින්, එතැන් පටන් එහි සාමාජිකත්වය පදනම් වීමට යන්නේ ආත්මිකත්වය මතයි කියා, වර්ෂ 1944දී සමිතියේ පැවති වාර්ෂික රැස්වීමේදී ඔහු නිවේදනය කළා. ඊළඟ අවුරුදු 30දී, ක්ෂේත්‍රයේ වැඩ කරන්නන්ගේ ගණන ලෝක ව්‍යාප්තවම 1,56,299 සිට 21,79,256 දක්වා වර්ධනය වුණා. වර්ෂ 1971-75 දක්වා කාලවල සංවිධානයේ තවත් වෙනස්කම් කිරීමට අවශ්‍ය වුණා. තවදුරටත්, සභාපති හැටියට සේවය කරන එක් තැනැත්තෙක් පොළොව පුරා සිදු වන රාජ්‍ය වැඩය කෙරෙහි අධීක්ෂණය හොබවන්න යන්නේ නැහැ. මාරුවෙන් මාරුවට මුලසුන ගන්නා සහෝදරයෙකුගෙන් යුත් පාලක මණ්ඩලය, ආලේප ලත් සාමාජිකයන් 18දෙනෙකු දක්වා පුළුල් කරනු ලැබුවා. තවද දැන් ඔවුන්ගෙන් අඩකට වැඩිදෙනෙක් පොළොවෙහි තම භූමික ජීවිතය අවසන් කොට ඇත.

21. කුඩා රැළ රාජ්‍යය සඳහා කුමක් මගින් සුදුසුකම් ලබා ඇද්ද?

21 දශක ගණනාවක් පුරා අද්දැක ඇති පරීක්ෂණයන් හේතුවෙන් කුඩා රැළේ ඉතිරි අය හැඩගැසී ඇත. ‘ආත්මයේ සාක්ෂිය’ නිසැකවම ලබා ඇති ඔවුන් ඉන් ප්‍රීතියට පත්ව සිටියි. යේසුස් ඔවුන්ට මෙසේ පවසා තිබෙනවා: “මාගේ පරීක්ෂාවලදී මා සමඟම සිටි අය නම් නුඹලාය. එබැවින් මාගේ [පියා] මට රාජ්‍යයක් නියම කළාක්මෙන්ම, මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.”—රෝම 8:16, 17; ලූක් 12:32; 22:28-30.

22, 23. කුඩා රැළ හා වෙනත් බැටළුවන්ව සකසනු ලබන්නේ කොහොමද?

22 මිහිපිට සිටින ආත්මයෙන්-ආලේප ලත් ඉතිරි අය ගණනින් අඩුවීමත් සමඟ, ලෝක ව්‍යාප්තවම තිබෙන සෑම සභාවකම වගේ මහත් සමූහයේ මේරූ සහෝදරයන්ට ආත්මික වශයෙන් අධීක්ෂණ වැඩ කටයුතු පවරා තිබුණා. තවද ඉතුරුව සිටින මහලු ආලේප ලත් සාක්ෂිකරුවන් ඔවුන්ගේ පොළොව මත ජීවිතය අවසන් කිරීමත් සමඟ, අධිපති පන්තිය හැටියට පොළොවේ අධීක්ෂණ වැඩ කටයුතු මෙහෙයවීමට වෙනත් බැටළුවන්ගේ සාරීම් කුමාරවරු හොඳින් පුහුණු වී සිටිනු ඇත.—එසකියෙල් 44:3; යෙසායා 32:1.

23 කුඩා රැළ මෙන්ම වෙනත් බැටළුවන්ද ගෞරවය පිණිස යොදාගන්නා භාජන හැටියට දිගටම සැකසෙමින් සිටියි. (යොහන් 10:14-16) අපේ බලාපොරොත්තුව ‘අලුත් අහසේ’ හෝ ‘අලුත් පොළොවේ’ හෝ වේවා, අපේ මුළු හදින් අපි යෙහෝවාගේ මෙම ඇරයුමට ප්‍රතිචාරය දක්වමු: “මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම [ස්වර්ගික] යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනග ප්‍රීතියක්දකොට මවමි.” (යෙසායා 65:17, 18) දුර්වල මනුෂ්‍යයන් වන අපි සැමවිටම නිහතමානීව සේවය කරමින්, “සාමාන්‍ය ඉක්මවූ බලය” වන දෙවිගේ ශුද්ධාත්මයේ බලය මගින් දිගටම සකස් වෙමු!—2 කොරින්ති 4:7, NW; යොහන් 16:13.

[පාදසටහන්වල]

a පුරාණ ඉශ්‍රායෙලයෙන් පූර්වාදර්ශ වන ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ලෝකයත් යෙහෝවාගෙන් වූ ඒ විනිශ්චයෙන් පාඩමක් ඉගෙනගත්තාවේ.—1 පේතෘස් 4:17, 18.

b අල්ලස් පිළිගැනීම යන චෝදනාව හේතුවෙන්, ඇප පිට බයිබල් ශිෂ්‍යයන්ව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ රෝමානු කතෝලිකයෙක් වන මැන්ටන් නම් විනිසුරුව පසු කලකදී සිරගත කරනු ලැබුවා.

c වර්ෂ 1950 නිකුත් කළ, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලෙහි නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) ආනුභාව ලත් ග්‍රීක් යෙදුමේ වඩා නිවැරදි පරිවර්තනයක් හැටියට “මහත් සමූහය” යොදාගනියි.

d වර්ෂ 1938දී ලෝක ව්‍යාප්තවම සිහි කිරීමට සහභාගි වූ අයගේ ගණන 73,420කි; තවද ඒ පැමිණි ගණනින් සියයට 53ක් එනම් 39,225ක් සංකේතවල පංගුකාරයන් වුණා. වර්ෂ 1998 වන විට, පැමිණි සංඛ්‍යාව 1,38,96,312ක් වූ අතර එයින් පංගුකාරයන් වූයේ සෑම සභා 10කින් එක පංගුකාරයෙකුටත් වඩා අඩු වූ 8,756දෙනෙක් පමණි.

ඔබට මතකද?

◻ තම පියාගේ සකස් කිරීමට යටත් වීමේදී, යේසුස් අපේ ආදර්ශකයා වූයේ කොහොමද?

◻ පුරාණ ඉශ්‍රායෙලයේ සිදු වූයේ කිනම් සකස් කිරීමක්ද?

◻ ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ අද දක්වා සකස් කර ඇත්තේ කොහොමද?

◻ ‘වෙනත් බැටළුවන්ව’ සකස් කර ඇත්තේ කිනම් අරමුණක් සඳහාද?

[18වන පිටුවේ කොටුව]

ක්‍රිස්තියානි ලෝකයේ තවදුරටත් කරන සැකසීම

ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියේ මෑතකදී පත් කළ ප්‍රධානියෙක් සම්බන්ධයෙන්, ග්‍රීසියේ ඇතන්ස්හි ඒකාබද්ධ පුවත්පත් නිකුත් කිරීමක මෙසේ වාර්තා වුණා: “ඔහු සාමයේ දූතයෙක් බවයි කියා සිටින්නේ. එහෙත් ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියේ නායකයාගේ වචන හරියට යුද්ධයට සූදානම් වන සේනාධිපතියෙකුගේ වචන මෙනි.”

“‘අවශ්‍යතාවක් පැනනැඟුණොත්, ලේ හෙළන්නත් පරිත්‍යාග කිරීම් කරන්නත් අප සූදානම්. පල්ලියක් හැටියට අපි සාමය සඳහා යාච්ඤා කරනවා . . . එහෙත් අවශ්‍යතාව පැනනඟින විට, පරිශුද්ධ ආයුධවලටද අපි ආශීර්වාද කරනවා’ කියා අගරදගුරු ක්‍රිස්තෝඩූලස් ග්‍රීසියේ සන්නද්ධ හමුදා දිනයද වැටී ඇති කන්‍යා මරිය ස්වර්ගාරෝහණය වූ ශුද්ධ දිනයේදී කියා සිටියා.”

[19වන පිටුවේ කොටුව]

“තවත් අමතර එකතු කරගැනීම් නැහැ!”

වර්ෂ 1970 පැවති ගිලියද් උපාධි පිරිනැමීමේ දවසේදී එවකට වොච් ටවර් සමිතියේ උපසභාපති හැටියට සේවය කළ ෆෙඩ්රික් ෆ්‍රාන්ස්, භූමික බලාපොරොත්තු ඇති වෙනත් බැටළුවන් වූ ඒ ශිෂ්‍යයන්ට කියා සිටියේ, සමහරවිට ආලේප ලත් කෙනෙකුයයි කියා සිටිය හැකි කෙනෙකුව ඔවුන් බව්තීස්ම කිරීමට ඉඩ තිබෙන බවයි. මෙවැනි දෙයක් සිදු විය හැකිද? ඔහු පැහැදිලි කළේ, යොහන් බව්තීස්ත වෙනත් බැටළුවන්ගෙන් කෙනෙකු වූ බවත්, ඔහු යේසුස්ව හා ප්‍රේරිතයන් සමහරෙකුව බව්තීස්ම කළ බවත්ය. ඉන්පසුව ඔහු ඇසුවේ, ඉතිරි අයගේ එකතු කිරීම සඳහා තවමත් කැඳවීමක් තිබෙනවාද කියායි. “තවත් අමතර එකතු කරගැනීම් නැහැ!” කියා ඔහු පැවසුවා. “එම කැඳවීම 1931-35 තරම් ඈත කාලෙකදී අවසන් වුණා. තවත් අමතර එකතු කරගැනීම් නැහැ. එහෙම නම්, සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් වන අලුතින් ආශ්‍රය කරන්න පටන්ගත් මේ අය කවුද? ඔවුන් ආලේප ලත් ඉතිරි අය නම්, ඔවුන් කෙනෙකු වෙනුවෙන් පත් කරන අය පමණයි! ඔවුන් ආලේප ලත් පිරිසට අමතරව එකතු කරගත් අය නෙවෙයි, ඒ වෙනුවට ඒ අය, වැටී ගියා කියා සිතිය හැකි අය වෙනුවෙන් පත් කරන අය පමණයි.”

[15වන පිටුවේ පින්තූරය

අපි අපේ සේවය නමැති වස්තුව කොතරම් අගය කරමුද!

[16වන පිටුවේ පින්තූරය]

පුරාණ ඉශ්‍රායෙලය විනාශය සඳහා පමණක් සුදුසු භාජනයක් බවට පත් වූවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න