ශ්‍රේෂ්ඨ කුම්භකාරයා හා ඔහුගේ කර්මාන්තයන්
“සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය පිණිසවූ භාජනයක් [වන්න].”—2 තිමෝති 2:21.
1, 2. (අ) දෙවිගේ මැවීම වූ මිනිසා හා ස්ත්‍රිය අද්විතීය වැඩක් වූයේ කොහොමද? (ආ) ශ්‍රේෂ්ඨ කුම්භකාරයා ආදම් හා ඒවව සෑදුවේ කිනම් අරමුණක් සඳහාද?
යෙහෝවා ශ්‍රේෂ්ඨ කුම්භකාරයාය. අපේ පළමු ආදි පියා වූ ආදම් ඔහුගේ මැවිල්ලේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් විය. බයිබලය අපට එය ගැන මෙසේ පවසයි: “[යෙහෝවා දෙවි] භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම [හෙළුවේය]. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.” එයින් අදහස් කරන්නේ “හුස්මගන්නා මැවිල්ලක්” යන්නයි. (උත්පත්ති 2:7, පාද සටහන, NW) පළමු මනුෂ්‍ය මැවිල්ල පරිපූර්ණ එකක් විය; දෙවිගේ ස්වරූපයටම සාදා තිබිණ. එය ඔහුගේ දිව්‍ය ප්‍රඥාවේත් සැබෑ ධර්මිෂ්ඨකම හා යුක්තිය සඳහා ඇති ප්‍රේමයෙත් සාක්ෂියක් විය.
2 ආදම්ගේ ඉල ඇටයේ ද්‍රව්‍ය යොදාගෙන, අනුපූරකයක් මෙන්ම සහකාරියක්ව දෙවි මිනිසාට සෑදුවා, ඒ ස්ත්‍රියකි. ඒවගේ කැළැල් රහිත සුරූපීබව අද සිටින රූපශ්‍රීයෙන් අනූන ස්ත්‍රීන්වද අබිබවා යයි. (උත්පත්ති 2:21-23) තවදුරටත්, මෙම පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට වූ ඔවුන්ගේ බලපැවරුම ඉටු කිරීම සඳහා සම්පූර්ණ ආකාරයකට නිර්මාණය කොට තිබූ ශරීර හා ඉන්ද්රියයන් පළමු මිනිස් යුවළට ලබා දී තිබුණා. එමෙන්ම උත්පත්ති 1:28 සඳහන් දෙවිගේ ආඥාව දියත් කිරීමේ බලයද ඔවුන්ට සැපයූවා; එහි මෙසේ සඳහන් වෙයි: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.” අන්තිමේදී, මෙම ලෝක ව්‍යාප්ත උයන “එක්සත්කමේ පරිපූර්ණ බැම්මක්” වන ප්‍රේමය මගින් බැඳුණු, ප්‍රීතිමත් මිනිසුන් බිලියන ගණනකගෙන් සමන්විත වීමටයි සැලසුම් කොට තිබුණේ.—කොලොස්සි 3:14, NW.
3. අපේ මුල් දෙමාපියන් අගෞරවනීය භාජන බවට පත් වූයේ කොහොමද? තවද කිනම් ප්‍රතිඵලයක් ඇතුවද?
3 නමුත් කනගාටුවට කරුණක් වන්නේ, අපේ මුල් දෙමාපියන් ඔවුන්ගේ සර්ව පරාක්‍රම මැවුම්කරු වන ශ්‍රේෂ්ඨ කුම්භකාරයාට විරුද්ධව කැමැත්තෙන්ම කැරලි ගැසීමට තෝරාගැනීමයි. ඔවුන් ගත් ක්‍රියාමාර්ගය යෙසායා 29:15, 16හි විස්තර කොට ඇති දෙයට සමානයි; එහි මෙසේ සඳහන් වෙයි: “[යෙහෝවාගෙන්] තමුන්ගේ අදහස සඟවන පිණිස කාරණා ගැඹුරුකර, තමුන්ගේ ක්‍රියාවල් අන්ධකාරයෙහිකර: අප දකින්නේ කවුද? අප ඇඳිනගන්නේ කවුදැයි කියන්නාවූ අයට දුක්වේ. . . . කුම්භකාරයා මැටි වාගේයයි සිතන්ට යුතුද? කර්මාන්තය ඒක සෑදූ තැනැත්තා ගැන—ඔහු මා සෑදුවේ නැතැයි කියන්ටවත්, සෑදූ දෙයක් ඒක සෑදූ තැනැත්තා ගැන—ඔහුට දැනුමක් නැතැයි කියන්ටවත් යුතුද?” ඔවුන්ගේ හිතුවක්කාරකමේ ප්‍රතිඵලය විනාශය විය, එනම් සදාකාල විනාශයේ තීන්දුවයි. තවදුරටත්, ඔවුන්ගෙන් ජනිත වූ මුළු මනුෂ්‍යවර්ගයාම පාපය හා මරණය උරුම කරගත්තා. (රෝම 5:12, 18) ශ්‍රේෂ්ඨ කුම්භකාරයාගේ මැවිල්ලේ අලංකාරය පලුදු වුණා.
4. අපට සේවය කළ හැක්කේ කිනම් ගෞරවනීය අරමුණක් සඳහාද?
4 කොහොම වුණත්, අප දැන් සිටින අසම්පූර්ණ තත්වය යටතේ පවා, පාපතර ආදම්ගේ ජනිතයන් වන අපට ගීතාවලිය 139:14හි සඳහන් දෙයට එකඟව යෙහෝවාට ප්‍රශංසා කළ හැකියි; එහි මෙසේ සඳහන් වෙයි: “මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.” එහෙත්, ශ්‍රේෂ්ඨ කුම්භකාරයාගේ මුල් හස්ත කර්මාන්තයන් මෙසේ පුදුමාකාර අයුරින් පලුදු වීම කොතරම් කනගාටුවකට කරුණක්ද!
කුම්භකාරයා තම කර්මාන්තයන් ඉදිරියටම ගෙන යයි
5. ශ්‍රේෂ්ඨ කුම්භකාරයාගේ දක්ෂතාව යොදාගැනීමට සැලසුම් කොට තිබුණේ කොහොමද?
5 කුම්භකාරයෙක් හැටියට අපේ මැවුම්කරුගේ දක්ෂතාව, මුල් මැවිල්ල වන මනුෂ්‍යවර්ගයාව සෑදීමට පමණක් සීමා නොවීම සතුටට කරුණක්. ප්‍රේරිත පාවුල් අපට මෙසේ පවසයි: “නුමුත්, අනේ මනුෂ්‍යය, [දෙවිට] විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද? එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද?”—රෝම 9:20, 21.
6, 7. (අ) අගෞරවය සඳහා සැකසීමට බොහෝදෙනෙකු තෝරාගන්නේ කොහොමද? (ආ) ගෞරවය පිණිස ධර්මිෂ්ඨයන්ව සකසන්නේ කොහොමද?
6 ඔව්, ශ්‍රේෂ්ඨ කුම්භකාරයාගේ සමහරක් කර්මාන්තයන් ගෞරවය පිණිසත් සමහරක් ඒවා අගෞරවය පිණිසත් සකස් කරන්න යනවා. අභක්තිකකමේ මඩ වගුරේ තව තවත් එරෙන මේ ලෝකය අනුව යෑමට තෝරාගන්න අයද සිටියි. තවද එවැන්නන්ව සකසන්නේ විනාශයට ලකුණු වන පිණිසයි. තේජාන්විත රජ වන යේසුස් ක්‍රිස්තුස් විනිශ්චය සඳහා පැමිණෙන විට, මේ අගෞරවනීය භාජනවලට හිත් දැඩි එළුවන් වැනි මිනිසුන් අයත් වන්න යන අතර, මතෙව් 25:46හි සඳහන් ආකාරයට ඔවුන්ව “සදාකාල දඬුවමට” නියම වෙයි. නමුත් “ගෞරවය පිණිස” සකසා ඇති අය වන බැටළුවන් වැනි “ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනය” උරුම කරගන්න යනවා.
7 ඒ වන විට මේ ධර්මිෂ්ඨ අය නිහතමානීව දිව්‍ය සැකසීමට යටත් වී සිටීවි. ඔවුන් දැන් ජීවිතය සඳහා දෙවිගේ මඟට ඇතුල් වී සිටියි. 1 තිමෝති 6:17-19හි සඳහන් ආකාරයට “වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ [දෙවි] කෙරෙහි බලපොරොත්තු” තබාගැනීමට වූ උපදේශය ඔවුන් අදාළ කරගෙන ඇත. “යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගිවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්, සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත්” ඔවුන් වෙර දරයි. ඔවුන් දිව්‍ය සත්‍යය මගින් සැකසෙන අතර, යේසුස් ක්‍රිස්තුස් මගින් යෙහෝවා දුන් සැපයුම කෙරෙහි ස්ථිර ඇදහිල්ලක් නිරූපණය කරයි. තවද යේසුස් ක්‍රිස්තුස් තමන්වම “අනුරූපක මිදීමේ මිලයක්” කොට දුන්නේ ආදම්ගේ පාපය හේතුවෙන් නැති වුණ සියල්ල නැවත ලබා දීමේ අරමුණෙනි. (1 තිමෝති 2:6, NW) එසේ නම්, “අලුත් මනුෂ්‍යයාව මැවූ [තැනැත්තාගේ] රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු [සකස් කරනු] ලබන ඒ අලුත් මනුෂ්‍යයාව [අපම පැළඳගන්නා]” හැටියට වූ පාවුල්ගේ උපදේශයට අප කොතරම් කැමැත්තකින් යටත් විය යුතුද!—කොලොස්සි 3:10.
ඔබ කෙබඳු භාජනයක් වනු ඇද්ද?
8. (අ) කෙනෙකු කෙබඳු භාජනයක් වෙනවාද කියා තීරණය වන්නේ කුමකින්ද? (ආ) කෙනෙකුව සකස් වීමට දායක වන්නේ කුමන කාරණා දෙකද?
8 කෙනෙකු කෙබඳු භාජනයක් වේවිද කියා නිශ්චය වන්නේ කුමකින්ද? ඔහුගේ ආකල්පවලින් හා හැසිරීමෙනුයි. මේවා මුලින්ම හදවතෙන් නික්මෙන ආශාවන්ට හා නැඹුරුවාවන්ට අනුව හැඩගැසෙයි. නැණවත් සාලමොන් රජ මෙසේ පැවසුවා: “මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ [යෙහෝවාය].” (හිතෝපදේශ 16:9) දෙවනුව ඒවා අසන්න දකින්න ලැබෙන දේ, ආශ්‍රිතයන් හා අද්දැකීම්වලට අනුව හැඩගැසෙයි. එහෙයින් අප මෙම උපදේශය පිළිපැදීම කොතරම් වැදගත්ද: “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” (හිතෝපදේශ 13:20) දෙවන පේතෘස් 1:16 අනතුරු අඟවන පරිදි, ‘ප්‍රයෝගයෙන් යොදන ලද ප්‍රබන්ධයන්ගෙන්’ නැත්නම්, නොක්ස්ගේ රෝමානු කතෝලික අනුවාදයට අනුව “මනුෂ්‍ය නිර්මාණයන් වූ ප්‍රබන්ධ කතාවලින්,” අප පරෙස්සම් විය යුතුයි. ක්‍රිස්තියානි ලෝකයේ ඉගැන්වීම් හා මංගල්‍යයන් රැසක් මෙයට අයත් වෙයි.
9. ශ්‍රේෂ්ඨ කුම්භකාරයාගේ සකස් කිරීමට අපට හිතකර අයුරින් ප්‍රතිචාරය දැක්විය හැක්කේ කොහොමද?
9 එසේ නම්, අප දක්වන ප්‍රතිචාරයට අනුව අපව සකස් කරන්න දෙවිට හැකියි. යෙහෝවා ඉදිරියේ, අපට දාවිත්ගේ යාච්ඤාව මෙසේ නැවත කිව හැකියි: “[දෙවි], මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.” (ගීතාවලිය 139:23, 24) රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා යෙහෝවා විධිවිධාන යොදා ඇත. අපේ හදවත් ශුභාරංචියට මෙන්ම ඔහු සපයන වෙනත් මඟ පෙන්වීම්වලටද අගයෙන් යුතුව ප්‍රතිචාර දක්වා ඇත. ඔහු සංවිධානය මාර්ගයෙන් ශුභාරංචියට සම්බන්ධ වන විවිධාකාර වූ වරප්රසාදයන් ලබා දෙයි; අප මේවා අත් කරගෙන ඒවා රැකගනිමු.—පිලිප්පි 1:9-11.
10. ආත්මික වැඩසටහන්වල නිරත වීම සඳහා අපම වෙර දැරිය යුත්තේ කොහොමද?
10 බයිබල් කියවීම දෛනික වැඩසටහනකට අනුව කරමින්, ශුද්ධ ලියවිලි හා යෙහෝවාගේ සේවය අපේ පවුලේ අය හා හිතමිත්‍රාදීන් සමඟ කරන සාකච්ඡාවල පදනම බවට පත් කරගනිමින්, දෙවිගේ වචනයට නිරන්තර අවධානයක් දීම වැදගත් වෙයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බෙතෙල් පවුල්වල හා මිෂනාරි නිවෙස්වල පවත්වනු ලබන උදෑසන නමස්කාරයට සාමාන්‍යයෙන් ඇතුළත් වන දෙයක් වන්නේ, බයිබලයෙන් හෝ වාර්ෂික පොතෙන් (ඉංග්‍රීසියෙන්) කරන කෙටි කියවීමකි. ඔබේ පවුලට ඒ හා සමාන සැලැස්මක් ඇති කරගත හැකිද? එමෙන්ම අපේ ක්‍රිස්තියානි සභාවල ඇසුරෙන් මෙන්ම, එකට රැස්වීමෙන් හා විශේෂයෙන්ම සතිපතා මුරටැඹ පාඩමට සහභාගි වීමෙන් අප මොනතරම් ප්‍රයෝජන ලබනවාද!
පීඩාවලට මුහුණ දීම සඳහා සැකසී
11, 12. (අ) අපේ දෛනික ජීවිතයේදී එන පරීක්ෂා සම්බන්ධයෙන් අපට යාකොබ්ගේ උපදෙස් අදාළ කරගත හැක්කේ කොහොමද? (ආ) අඛණ්ඩතාව පවත්වාගැනීම සඳහා අපට යෝබ්ගේ අද්දැකීම උපකාරවත් වන්නේ කොහොමද?
11 අපේ දෛනික ජීවිතයේදී, පැනනඟින සමහරක් තත්වයන්වලට යෙහෝවා ඉඩ දිය හැකියි. තවද ඒවායින් සමහරක් අපට අසීරු ඒවා බව ඔප්පු විය හැකියි. අප මේවා සැලකිය යුත්තේ කොහොමද? යාකොබ් 4:8 උපදෙස් දෙන ආකාරයට, අප කේන්ති නොගෙන, යෙහෝවාව අපේ මුළු හදින් විශ්වාස කර, දෙවිට කිට්ටු විය යුතුයි. තවද අප ‘දෙවිට ළං වෙද්දී, ඔහු අපට ළං වේවිය’ කියා නිසැක විය යුතුයි. අප සියල්ලන්ම අසීරුතා හා පරීක්ෂණවලට මුහුණ දිය යුතු බව ඇත්තයි. නමුත් අපව සකසන පිණිස ඒ සෑම එකකටම ඉඩ දී තිබෙන අතර, එහි අවසන් ඵලය සතුටුදායක එකකි. යාකොබ් 1:2, 3 අපට මෙසේ සහතික කරයි: “මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න.”
12 යාකොබ් මෙසේද පවසයි: ‘යමෙක් පරීක්ෂා කරනු ලබන කල: මම දෙවිගෙන් පරීක්ෂා කරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවිට නපුරෙන් පරීක්ෂා කරනු ලබන්ට නුපුළුවන, ඔහුම කිසිවෙකු පරීක්ෂා නොකරන්නේය. නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි.’ (යාකොබ් 1:13, 14) අපට බොහෝ පරීක්ෂා තිබිය හැකි අතර, ඒවා එකිනෙකට වෙනස්ද විය හැකියි. නමුත් යෝබ්ගේ තත්වයේදී මෙන්, ඒ සැමෙකක්ම අපේ සැකසීමට දායක වෙයි. යාකොබ් 5:11හි අපට සපයන්නේ මොනතරම් අගනා සහතිකයක්ද! එහි මෙසේ පවසයි: “ඉවසූ අය ආශීර්වාදලද්දෝයයි අපි කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, [ස්වාමීන්ගේ] තීරණයද නුඹලා දුටුවහුය, [ස්වාමීන්] බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” ශ්‍රේෂ්ඨ කුම්භකාරයගේ හස්තයේ ඇති භාජන හැටියට, අප සැමවිටම අඛණ්ඩතාව රැකගනිමු. තවද අපත් යෝබ් මෙන් එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් නිසැකකමින් යුතුව සිටිමු.—යෝබ් 2:3, 9, 10; 27:5; 31:1-6; 42:12-15.
අපේ යෞවනයන්ව සැකසීම
13, 14. (අ) දෙමාපියන් තම දරුවන්ව හැඩගැස්වීම ආරම්භ කළ යුත්තේ කුමන අවධියේ සිටද? තවද කිනම් කදිම ප්‍රතිඵලයක් ඇතුවද? (ආ) ඔබට කිනම් සතුටුදායක ප්‍රතිඵල සඳහන් කළ හැකිද?
13 දරුවන්ව හැඩගැස්වීම සම්බන්ධයෙන් දෙමාපියන්ටද කොටසක් ඇති අතර, එය දරුවාගේ ළදරු කාලයේ සිටම ඇරඹිය හැකියි; තවද අන්තිමේදී දරුවන් අඛණ්ඩතාව රැකගැනීමේ කොතරම් විශිෂ්ට ආදර්ශ බවට ඔප්පු වීමට ඉඩ තිබෙනවාද! (2 තිමෝති 3:14, 15) අන්තයටම පරීක්ෂාවට ලක් වූ අවස්ථාවලදී පවා මෙය සැබෑවක් වී තිබෙනවා. මීට වසර කිහිපයකට ඉහතදී, එක් අප්‍රිකානු රටක පීඩාව උච්චාවස්ථාවටම පැමිණ තිබූ කාලයකදී, වත්ත පහළ මඩුවක මුරටැඹ රහසිගතව මුද්‍රණය කිරීමේ වැඩය එක් පවුලක් කරගෙන ගියා. එක් දිනක, තරුණයන්ව හමුදාවට බඳවාගැනීම සඳහා හමුදා භටයන් සෑම නිවෙසක්ම සෝදිසි කිරීමේ කාර්යයක නිරත වුණා. මෙම පවුලේ සිටි තරුණ පුතුන් දෙදෙනාට සැඟවෙන්න කාලය ඉතුරුව තිබුණද, ස්ථිර වශයෙන්ම සෝදිසි කිරීම සිදු වන හෙයින් මුද්‍රණ යන්ත්‍ර සොයාගැනීමට ඉඩ තිබුණා. මෙයින් සමහරවිට මුළු පවුලටම වධහිංසා කිරීමක් හෝ ඔවුන්ව මරා දැමීම අදහස් විය හැකියි. එසේ නම් කුමක්ද කළ හැක්කේ? යොහන් 15:13 උපුටා දක්වමින් තරුණයන් දෙදෙනා නිර්භීතව මෙසේ පැවසුවා: “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” එනිසා තමන් සාලයේ රැඳී සිටීමට අවශ්‍යම බව ඔවුන් කියා සිටියා. භටයන් අනිවාර්යයෙන්ම ඔවුන්ව සොයාගනීවි. තවද බැඳීමට අකමැත්ත පළ කළ විට, කුරිරු හිංසාවට ඔවුන්ව ලක් කරන අතර, සමහරවිට මැරීමට පවා ඉඩ තිබෙන බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඉන්පසුව ඔවුන් තවදුරටත් සොයන එකක් නැහැ. මුද්‍රණ යන්ත්‍ර හා පවුලේ අනික් සාමාජිකයන් ආරක්ෂා වෙයි. කොහොම වුණත්, අවසානයේදී සිදු වූයේ පුදුමාකාර දෙයකි. භටයන් එම නිවස පමණක් ඉතුරු කර අනික් ඒවාට ගියා. ගෞරවනීය අරමුණක් උදෙසා අඹනු ලැබූ ඒ භාජන බේරුණු අතර, කාලෝචිත ආත්මික ආහාර මුද්‍රණය කිරීම දිගටම කරගෙන යෑමට උපකාර වන මුද්‍රණ යන්ත්රද බේරුණා. තරුණයන්ගෙන් එක් කෙනෙක් හා ඔහුගේ සහෝදරියද දැන් බෙතෙල්හි සේවය කරමින් සිටියි; ඔහු තවමත් පරණ යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් සිටියි.
14 ළාබාල අයට යාච්ඤා කරන අයුරු ඉගැන්විය හැකි අතර, ඇත්තෙන්ම දෙවි ඔවුන්ගේ යාච්ඤාවලටද පිළිතුරු සපයයි. රුවන්ඩාවේ සමූලඝාතන සමයේදී මේ පිළිබඳ අද්විතීය අද්දැකීමක් තිබෙනවා. අත් බෝම්බයක් මගින් මරණයට පත් කිරීමට සය හැවිරිදි දැරියක්ව හා ඇගේ දෙමාපියන්ව පෙළ ගැස්වූ විට, යෙහෝවාට තවදුරටත් සේවය කිරීමට හැකි වන පිණිස ඔවුන්ව බේරන හැටියට දියණිය ශබ්ද නඟා භක්තිවන්තව යාච්ඤා කරන්න පටන්ගත්තා. ඔවුන්ව මරණයට පත් කරන්න ගිය අය එසේ කිරීමෙන් වැළකුණු අතර, ඔවුන් මෙසේ කියන්න වුණා: “මේ පොඩි ළමයා නිසා අපිට ඕගොල්ලන්ව මරන්න බැහැ.”—1 පේතෘස් 3:12.
15. පාවුල් අනතුරු ඇඟවූයේ කිනම් දූෂිත බලපෑම්වලට එරෙහිවද?
15 ඉහත සඳහන් කළ ආකාරයේ තත්වයන්ට සමාන වූ තත්වයන්ටම මුහුණ දීමට සෑම යෞවනයෙකුටම සිදු නොවුණත්, පාසැලේදී හා මේ දූෂිත සමාජයෙන් එල්ල වන අනේකවිධ පරීක්ෂාවන්ට ඔවුන් මුහුණ දෙයි. ඒ අතරට, අශික්ෂිත කතාව, ලිංගිකත්වය හුවාදක්වන විවිධ ක්‍රම, පහත වැටුණු විනෝදාස්වාදය හා නරක පුරුදුවල නියැලීමට වූ තුල්‍ය පීඩනය දසත පැතිරී ඇත. මෙවැනි බලපෑම්වලට එරෙහිව ප්‍රේරිත පාවුල් නැවත නැවත අනතුරු ඇඟෙව්වා.—1 කොරින්ති 5:6; 15:33, 34; එපීස 5:3-7.
16. කෙනෙකු ගෞරවය පිණිස වූ භාජනයක් බවට පත් විය හැක්කේ කොහොමද?
16 “සමහරක් [භාජන] ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය” කියා පාවුල් පැවසීමෙන් පසු, ඔහු මෙසේ පවසයි: “එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍රකරගනී නම්, ඔහු පිරිසිදුකරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිච්චියට සුදුසුවූ, සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය පිණිසවූ භාජනයක් වන්නේය.” එහෙයින් තම ආශ්‍රිතයන් ගැන සැලකිලිමත් වීමට අපි අපේ යෞවනයන්ට දිරිගන්වමු. ඔව්, ඔවුන් ‘යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්ට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්නන්’ වේවා! (2 තිමෝති 2:20-22) ‘එකිනෙකාව වර්ධනය කරගන්නාවූ’ පවුල් වැඩසටහනක් යෞවනයන්ව හැඩගැස්වීමේදී මහෝපකාරි විය හැකියි. (1 තෙසලෝනික 5:11; හිතෝපදේශ 22:6) සමිතිය මගින් සපයන යෝග්‍ය ප්‍රකාශන ආධාරයෙන් දිනපතා බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම කදිම උපකාරයක් විය හැකිය.
සැකසීම—සැමට
17. හික්මවීමට අපව සකස් කළ හැකි වන්නේ කොහොමද? තවද කිනම් ප්‍රීතිදායක ප්‍රතිඵලයක් සහිතවද?
17 අපව සැකසීමේ අරමුණින් යෙහෝවා ඔහුගේ වචනයෙන් හා සංවිධානය මාර්ගයෙන් උපදෙස් සපයයි. එවන් දිව්‍ය උපදෙස් කෙදිනක ප්‍රතික්ෂේප නොකරන්න! එයට නැණවත්ව ප්‍රතිචාරය දක්වන්න; එමෙන්ම යෙහෝවා විසින් ගෞරවනීය පරිහරණයට යොදාගැනීම පිණිස ඔබව සකස් කිරීමට එයට ඉඩ දෙන්න. හිතෝපදේශ 3:11, 12 මෙසේ අවවාද කරයි: ‘මාගේ පුත්‍රය, යෙහෝවාගේ තරවටු කිරීම සුළු කොට නොසිතන්න; ඔහුගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් යෙහෝවා තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරන්නේය.’ තවදුරටත් හෙබ්‍රෙව් 12:6-11හි සපයා ඇති පියෙකුගෙන් බඳු උපදෙස් මෙසේ කියවීමට තිබේ: ‘යෙහෝවා ප්‍රේම කරන අයට ඔහු දඬුවම් [හික්මවීම්, NW] කරන්නේය . . . කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.’ තවද එවැනි හික්මවීමක් සඳහා ප්‍රධාන මාධ්‍යය විය යුත්තේ දෙවිගේ දේවානුභාව ලත් වචනයයි.—2 තිමෝති 3:16.
18. ලූක් 15වන පරිච්ඡේදයෙන් අප පසුතැවීම ගැන ඉගෙනගන්නේ කුමක්ද?
18 යෙහෝවා දයානුකම්පිත දෙවිකෙනෙක්ද වෙයි. (නික්මයාම 34:6) ඉතා බරපතළම පාපයක් කළ විට පවා, මුළු හදින්ම නැඟෙන පසුතැවීමක් පෙන්නුම් කරයි නම්, ඔහු සමාව දෙයි. නූතන දින ‘අකීකරු අයව’ පවා ගෞරවනීය පරිහරණය පිණිස යොදාගන්නා භාජනයක් බවට ඇඹිය හැකියි. (ලූක් 15:22-24, 32) අකීකරු පුත්‍රයාගේ තරම් අපේ පාප බරපතළ නොවිය හැකියි. නමුත් ශුද්ධ ලියවිලිමය උපදෙස්වලට අප දක්වන නිහතමානී ප්‍රතිචාරය, සැමවිටම ගෞරවනීය පරිහරණයට සුදුසු භාජන හැටියට අපව ඇඹීමට මඟ පාදයි.
19. යෙහෝවාගේ හස්තයේ දරන ගෞරවනීය භාජන ලෙස දිගටම සේවය කිරීමට අපට හැකි වන්නේ කොහොමද?
19 අප මුලින්ම සත්‍යය ඉගෙනගත් විට, අප කැමැත්තෙන්ම ඉඩ දුන්නා යෙහෝවාට අපව සකස් කරන්න. අප ලෞකික ක්‍රම අත්හළ අතර, අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගෙන කැප වූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් බවට පත් වුණා. අප එපීස 4:20-24හි සඳහන් උපදෙස්වලට කීකරු වූවා. එහි මෙසේ සඳහන් වෙයි: “[අපගේ] ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා, . . . සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [දෙවිට] සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පැළඳගන්න].” ශ්‍රේෂ්ඨ කුම්භකාරයා වන යෙහෝවාගේ හස්තයෙහි අප පෞද්ගලික වශයෙන් දිගටම නම්‍යසුලු වෙමු. තවද ගෞරවය පිණිස පරිහරණය කරන්නාවූ ඔහුගේ භාජන හැටියට අප සැමවිටම සේවය කරමු.
පුනරීක්ෂණයක් හැටියට
◻ අපේ පොළොව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ කුම්භකාරයාගේ අරමුණ කුමක්ද?
◻ ගෞරවනීය පරිහරණය පිණිස ඔබව සකස් කළ හැක්කේ කොහොමද?
◻ අපේ දරුවන්ව සකස් කළ හැක්කේ කුමන ආකාරයකින්ද?
◻ හික්මවීම අප සැලකිය යුත්තේ කොහොමද?
[10වන පිටුවේ පින්තූරය]
ඔබව ගෞරවනීය පරිහරණය පිණිස සකස් කරනු ලබයිද නැත්නම් ඔබව ප්‍රතික්ෂේප කරයිද?
[12වන පිටුවේ පින්තූරය]
යෞවනයන්ව ළදරු කාලයේ සිටම සකස් කළ හැකියි