දෙවිගේ වචනය කොයි තරම් බලවත්ද කියා මම දැක්කා
විටෝ ෆ්රාඑස්
ඔබෙන් බොහෝදෙනෙක් ට්රෙන්ටිනාරා ගම ගැන අසා නැතුව ඇති. එය ඉතාලියේ නේපල්ස් නගරයට දකුණෙන් පිහිටි කුඩා ගමක්. මගේ දෙමාපියන් සහ අයියා ඇන්ජලෝ ඉපදුණේ ඒ ගමෙයි. අයියා ඉපදුණාට පස්සේ මගේ දෙමාපියන් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ රොචෙස්ටර්වලට පදිංචියට ගියා. මම ඉපදුණේ රොචෙස්ටර්වලයි. ඒ, 1926දීයි. මගේ තාත්තට බයිබල් ශිෂ්‍යයන්ව මුලින්ම මුණගැසුණේ 1922දීයි. වැඩි කල් නොගොස් මගේ අම්මයි තාත්තයි දෙන්නම බයිබල් ශිෂ්‍යයන් වුණා.
තාත්තා ඉතා සන්සුන් ඒ වගේම හැම දෙයක් ගැනම බැරෑරුම්ව හිතන කෙනෙක්. ඔහුට අයුක්තිය පෙන්නන්න බැහැ. පල්ලියේ පූජකයන් මිනිසුන්ව නොසලකාහරින එක ගැන තාත්තා හිටියේ හරිම කනස්සල්ලෙන්. ඒ නිසා ඔහු බයිබලයේ ඇති සත්‍යය අන් අය සමඟ බෙදාගත හැකි හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගත්තා. ඔහු රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ පූර්ණකාලීන සේවය පටන්ගත්තා. සෞඛ්‍ය තත්වය වගේම දරුණු ශීත කාලය නිසා ඔහුට අවුරුදු 74දී පූර්ණකාලීන සේවය නතර කරන්න සිදු වුණා. නමුත් ඔහු අවුරුදු 90ක් වෙනකම්ම මාසයකට පැය 40ත් 60ත් අතර කාලයක් සේවයේ හවුල් වුණා. තාත්තගේ ඒ ආදර්ශය මගේ ජීවිතයට ලොකු බලපෑමක් වුණා. ඔහු විහිළුතහළුවලට කැමති කෙනෙක් වුණත් කාරණා සැහැල්ලුවට ගත්තේ නැහැ. ඒ නිසා ඔහු නිතරම කිව්වේ “සත්‍යය බැරෑරුම් දෙයක් ලෙස හිතන්න” කියලයි.
අපි පස්දෙනාට දෙවිගේ වචනය උගන්වන්න අම්මයි තාත්තයි ලොකු වෑයමක් දැරුවා. මම 1943 අගෝස්තු 23වෙනිදා බව්තීස්ම වුණා. ඊළඟ අවුරුද්දේ ජූනි මාසයේ ඉඳලා මම පුරෝගාමි සේවය පටන්ගත්තා. මගේ අක්කා කාමෙලා ඒ වෙනකොට ෆර්න් එක්ක නිව් යෝර්ක් නගරයේ ජිනීවාවල පුරෝගාමි සේවය කරමින් සිටියා. ෆර්න් නිතරම සිනාමුසු මුහුණින් සිටින කඩිසර සහෝදරියක්. මගේ අනාගත සහකාරිය ෆර්න් කියලා තේරුම්ගන්න මට වැඩි කල් ගියේ නැහැ. අපි 1946 අගෝස්තු මාසයේදී විවාහ වුණා.
මිෂනාරි සේවය
අපි මුලින්ම විශේෂ පුරෝගාමි සේවය කළේ නිව් යෝර්ක් නගරයේ ජිනීවා සහ නෝවිච්වලයි. අපිට 1948 අගෝස්තු මාසයේදී, 12වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඊටපස්සේ අපිට තවත් මිෂනාරි යුවළක් වන කාල් සහ ජොඈන් රිජ්වේ එක්ක ඉතාලියේ නේපල්ස්වල සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ වෙනකොට යුද්ධය නිසා විනාශ වුණු නේපල්ස් නගරය සාමාන්‍ය තත්වයට පත් වෙලා තිබුණේ නැති නිසා අපිට ඉන්න ගෙයක් හොයාගන්න ලෙහෙසි වුණේ නැහැ. මාස ගණනක් යනකම්ම අපි හිටියේ පොඩි කාමර දෙකක.
මගේ අම්මයි තාත්තයි ඉතාලි භාෂාව කතා කළ නිසා මටත් ඒ භාෂාව කතා කරන්න පුළුවන්කම තිබුණා. නමුත් මම කතා කළේ ඉංග්‍රීසි ආරෙටයි. ඒ වුණත් ඒක අනිත් අයට තේරුණා. ෆර්න්ට මුලින් ඒ භාෂාව කතා කරන්න අමාරු වුණත් එයා ඉක්මනින්ම ඒක ඉගෙනගෙන මටත් වඩා හොඳින් කතා කළා.
නේපල්ස් නගරයේ සත්‍යය ඉගෙනගන්න කැමැත්තක් දැක්වූ පවුලක් අපිට මුණගැහුණා. ඒ පවුලේ හිටිය හතරදෙනාම නීති විරෝධී දුම්වැටි විකුණුවා. ඒ පවුලේ හිටියා ටෙරෙසා කියලා කෙනෙක්. එයා හැම දවසකම උදේට එයාගේ සාය වටේට තියෙන සාක්කුවලට දුම්වැටි පුරවාගන්නවා. එතකොට එයාව පේන්නේ වට්ටක්කා ගෙඩියක් වගෙයි. දුම්වැටි ඔක්කොම විකුණුවාට පස්සේ ටෙරෙසාව පෙනුණේ පතෝල මැස්සකට ගහපු කෝට්ටක් වගෙයි. ඒත් කාලයක් යද්දී ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔවුන්ගේ නෑදෑයන් ඇතුළු 16දෙනෙක් සාක්ෂිකරුවන් බවට පත් වුණා. දැන් නේපල්ස් නගරයේ සාක්ෂිකරුවන් 3,700ක් පමණ ඉන්නවා.
විරුද්ධවාදිකම් මැද
අපි හතරදෙනාටම නේපල්ස්වල සේවය කරන්න ලැබුණේ මාස නවයක් වැනි කෙටි කාලයක් විතරයි. අපිට නගරයෙන් පිට වෙන්න කියලා බලධාරීන් කිව්වා. ඒ නිසා අපි මාසයකට ස්විට්සර්ලන්තයට ගියා. නැවතත් ඉතාලියට ආවේ සංචාරක වීසා අරගෙනයි. එහෙට ආවට පස්සේ ටියුරින්වලට පැවරුමක් ලැබුණා. අපිට කාන්තාවක් කාමරයක් කුලියට දුන්නත් කුස්සියයි නාන කාමරයයි ඇය සමඟ හවුලේ පාවිච්චි කරන්න සිදු වුණා. රිජ්වේ යුවළ ටියුරින්වලට ආවට පස්සේ අපි ගෙයක් කුලියට ගත්තා. කාලයක් ගියාට පස්සේ ඒ ගෙදර මිෂනාරි යුවළයන් පහක් හිටියා.
අපි 1955දී ටියුරින්වලින් පිටත් වෙන කොට සභා හතරක් පටන්ගන්න අඩිතාලම දාලයි තිබුණේ. එහේ හිටපු සහෝදරයන්ට සභාවේ වැඩකටයුතු බලාගැනීමට හැකියාව තිබුණා. අපි යන කොට බලධාරීන් කිව්වේ ‘ඔයාලා මෙහෙන් ගියාට පස්සේ, ඔයාලා පටන්ගත්ත වැඩ නිකම්ම නතර වෙයි’ කියලයි. ඒත් ඊටපස්සේ ඇති වෙච්ච වර්ධනයෙන් පැහැදිලි වුණේ වර්ධනය දෙන්නේ දෙවි කියලයි. දැන් ඒ නගරයේ සභා 56කුත් සාක්ෂිකරුවන් 4,600කට වැඩි පිරිසකුත් ඉන්නවා.
රමණීය නගරයක්
අපිට ඊළඟ පැවරුම ලැබුණේ ෆ්ලොරන්ස්වලටයි. මගේ අක්කයි එයාගේ මහත්තයයි ඒ නගරයේ සේවය කරලා තිබුණු නිසා අපි ඒ නගරය ගැන ගොඩක් විස්තර දැනගෙන හිටියා. ෆ්ලොරන්ස්වල අලංකාර චතුරස්‍රය (Piazza della Signoria), පැරණි පාලම (Ponte Vecchio), මයිකල් ඇන්ජලෝගේ ප්‍රතිමාව (Piazzale Michelangelo) හා රජමාලිගාව (Palazzo Pitti) වගේ ලස්සන ලස්සන තැන් තියෙනවා. මේ හැම දේටම වඩා අපේ සිත්ගත්තේ මිනිස්සු ශුභාරංචියට දැක්වූ ප්රතිචාරයයි.
අපි ෆ්ලොරන්ස්වල බයිබලය පාඩම් කළ පවුලක දෙමාපියන් බව්තීස්ම වුණා. ඒ පවුලේ පියා දුම්පානයට ඇබ්බැහි වූ කෙනෙක්. එය අපවිත්‍ර පුරුද්දක්, ඒක අත්හරින්න කියලා 1973 මුරටැඹ සඟරාවක කියලා තිබුණා. ඒ නිසා වැඩිමල් දරුවන් තාත්තට දුම්පානය නතර කරන්න කියා ඇවිටිලි කළා. ඔහු එය කරන්න පොරොන්දු වුණත් ඔහුට ඒක කරන්න බැරි වුණා. ඒ පවුලේ අවුරුදු නවයක් වයස නිවුන් දරුවන් දෙන්නෙක් හිටියා. එක දවසක්, ඒ දෙන්නා නිදාගන්න කලින් එයාලා එක්ක යාච්ඤා කරන්න අම්මාට බැරි වුණා. පස්සේ අම්මා දරුවන් ළඟට ගියත් ඒ වෙද්දිත් එයාලා යාච්ඤා කරලා තිබුණා. “ඔයාලා යාච්ඤා කළේ මොනවා ගැනද” කියලා අම්මා ඇහුවා. “තාත්තට සිගරට් බොන එක නතර කරන්න උදව් කරන්න කියලා අපි යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවා” කියලා ඔවුන් කිව්වා. ඇය ස්වාමිපුරුෂයාට කතා කරලා “මේ ළමයි යාච්ඤා කරපු දේ ගැන අහන්න” කියලා කිව්වා. ඒක ඇහුවාට පස්සේ ඔහුට ඇඬුණා. “මම ආයේ කවදාවත් සිගරට් එකක් කටේ තියන්නේ නැහැ” කියලා ඔහු පොරොන්දු වුණා. ඔහු ඒක ඒ විදිහටම ඉෂ්ට කළා. දැන් ඒ පවුලේ නෑදෑයන් ඇතුළු 15දෙනෙක් සාක්ෂිකරුවන්.
අප්‍රිකාවේ කළ සේවය
අපිට 1959දී තවත් මිෂනාරිවරුන් දෙන්නෙක් එක්ක සෝමාලියාවේ මොගඩිෂුවල සේවය කරන්න පැවරුමක් ලැබුණා. එක් කෙනෙක් ආටුරෝ ලිවෙරෙස්. අනිත් කෙනා මගේ මල්ලි ඇන්ජලෝ. අපි එහේ යද්දී දේශපාලන ප්‍රශ්න නිසා එහේ තිබුණේ භයානක තත්වයක්. සෝමාලියාවට නිදහස ලබාගන්න උපකාර කරන්න එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ඉතාලි ආණ්ඩුවට වගකීමක් දීලා තිබුණත් එන්න එන්නම තත්වය දරුණු වුණා. ඒ නිසා අපි එක්ක බයිබලය පාඩම් කළ සමහර අය රට අත්හැරලා ගියා. එහේ සභාවක් පටන්ගන්න එකත් ලෙහෙසි වුණේ නැහැ.
ඒ කාලයේදී කලාපීය සේවක ඔහුගේ සහායට එන්න කියලා මට ආරාධනා කළ නිසා ඔහු එක්ක අවට රටවල සේවය කරන්න මට අවස්ථාව ලැබුණා. සමහර අය අපිත් එක්ක පාඩම් කළත් විරුද්ධවාදිකම් නිසා ඒ රටවල් අත්හැරලා ගියා. ඒත් තවත් සමහර අය දැඩි විරුද්ධවාදිකම් තිබුණත් විඳදරාගත්තා. ඔවුන්ට යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු ප්‍රේමය වගේම විශ්වාසවන්තව ඉන්න ඒ අය කරපු සටන මතක් වෙන කොට අපේ ඇස්වලට තවමත් කඳුළු එනවා.
සෝමාලියාවේ හා එරිත්‍රියාවේ තිබුණේ අධික රස්නයක්. ඒ වගේම ඔවුන්ගේ කෑමත් හරිම දැවිල්ලයි. අපි මුලින්ම ඒ අයගේ කෑම රස බැලුවේ අපිත් එක්ක බයිබලය පාඩම් කළ ගෙදරකයි. ඒ කෑම කාලා මගේ බිරිඳ කිව්වා එයාගේ කන් දෙක රතු වුණා කියලා.
ඇන්ජලෝට සහ ආටුරෝට වෙනත් පැවරුමක් ලැබුණ නිසා ඔවුන් එහෙන් ගියා. තනියම සේවය කරන එක අපිට ලෙහෙසි වුණේ නැහැ. නමුත් යෙහෝවා දෙවිට තවත් ළං වෙන්නත් ඔහු කෙරෙහි තිබුණු විශ්වාසය තවත් වැඩි කරගන්නත් අපිට පුළුවන් වුණා. සේවය තහනම් කළ රටවලට සංචාරය කිරීමෙන් ලැබුණු අද්දැකීම මේ අවස්ථාවේදී ලොකු දිරිගැන්වීමක් වුණා.
සෝමාලියාවේදී අපි විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. අපිට ශීතකරණයක් තිබුණේ නැති නිසා මාළු සහ පලතුරු ගත්තේ එදා දවසට අවශ්‍ය ප්‍රමාණය විතරයි. මැස්සන් අපිට හරියට කරදර කළා. සමහර වෙලාවට අපි බයිබල් පාඩම් කරද්දී උන් ඇවිත් අපේ බෙල්ලේ වහනවා. හැබැයි අපිට කට්ට අව්වේ පැය ගණන් ඇවිදින්න සිදු වුණේ නැහැ. මොකද අපිට ස්කූටරයක් තිබුණා.
නැවතත් ඉතාලියට
පරිත්‍යාගශීලී සහෝදරයන්ට ස්තුතිවන්ත වෙන්න අපිට කෙසෙල් ප්රවාහණය කරන නැවකින් 1961දී ටියුරින්වල තිබුණු ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙන්න පුළුවන් වුණා. එහේ ගියාම දැනගන්න ලැබුණා අපේ පැවරුම වෙනස් වෙනවා කියලා. අපි 1962 සැප්තැම්බර් මාසයේදී ආයෙත් ඉතාලියට ඇවිල්ලා චාරිකා සේවය පටන්ගත්තා. අපි පොඩි කාර් එකක් ගත්ත නිසා ඒකෙන් අවුරුදු පහක් චාරිකා දෙකක සේවය කරන්න පුළුවන් වුණා.
අප්‍රිකාවේ රස්නෙ වගේම ඉතාලියේ අධික ශීතලත් දරාගන්න එක ලෙහෙසි වුණේ නැහැ. අපිට මුලින්ම ශීත ඍතුවට මුහුණ දෙන්න සිදු වුණේ ඇල්ප්ස් කඳුවැටිය ළඟ තිබුණු සභාවකට ගිය වෙලාවේදීයි. අපි නතර වෙලා හිටිය ගෙදර කාමර උණුසුම් කරන කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි රෑ නිදාගත්තේ කෝට් ඇඳගෙනයි. එදා රෑ කොච්චර සීතලද කියනවා නම් ඒක දරාගන්න බැරුව සත්තුත් මැරුණා.
මම දිස්ත්‍රික් සේවකයෙක් විදිහටත් සේවය කළා. ඒ කාලයේදී අපි ඉතාලිය පුරාම සංචාරය කළා. අපි කැලේබ්රියාව සහ සිසිලියාව වගේ ප්‍රදේශවලට කිහිපවතාවක්ම ගියා. අපි එහේ යෞවනයන්ට වැඩිමහල්ලන්, සංචාරක සේවකයන් හා බෙතෙල් සේවකයන් වෙන්න දිරිගැන්නුවා.
යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළ අපේ යාළුවන්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඕනෑම තත්වයක් යටතේදී යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න, ත්‍යාගශීලී වෙන්න, සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වන්න, ඕනෑම තත්වයකට හැඩගැහෙන්න වගේ දේවල් එයාලගෙන් ඉගෙනගත්තා. අපිට රාජ්‍ය ශාලාවල පැවැත්වූ විවාහ උත්සවවලට සහභාගි වෙන්න අවස්ථා ලැබුණා. සාක්ෂිකරුවන්ව දේවගැතියන් ලෙස නීත්‍යනුකූලව පිළිගෙන තිබුණ නිසා ඔවුන් විසින්ම රාජ්‍ය ශාලාවල විවාහයන් සිදු කළා. මීට කලින් නම් ඒ වගේ දෙයක් හිතාගන්නවත් බැහැ. තවදුරටත් සහෝදරයන්ගේ ගෙවල්වල රැස්වීම් පවත්වන්නවත් බංකුවල ඉඳගෙන රැස්වීම්වලට සවන් දෙන්නවත් අවශ්‍ය වන්නේ නැහැ. දැන් ගොඩක් රැස්වීම් පවත්වන්නේ අලංකාරවත් රාජ්‍ය ශාලාවලයි. ඒ වගේම එක්රැස්වීම් පවත්වන්න ඉඩපහසුකම් ඇති ශාලාවක්ද දැන් තියෙනවා. අපි ඉතාලියට ආපු දවස්වල හිටියේ සාක්ෂිකරුවන් 490ක් විතරයි. නමුත් දැන් 2,43,000කට වඩා වැඩි පිරිසක් ඉන්න එක ගැන අපි මොන තරම් සතුටු වෙනවාද!
අපේ තීරණය ගැන අපිට සතුටුයි
අපි සේවය කළ කාලයේදී විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. ගෙදරින් ඈත් වෙලා ඉන්න නිසා පාළුවක් දැනුණා. අපි අසනීප වුණා. මුහුද දකින හැම වෙලාවකම ෆර්න්ට ගෙදර මතක් වුණා. එයාට ශල්‍යකර්ම තුනකටම මුහුණ දෙන්න සිදු වුණා. එක දවසක් එයා බයිබල් පාඩමකට යද්දී අපේ සේවයට අකමැති කෙනෙක් එයාට මුල්ලුවකින් ගැහුවා. ඒ නිසා එයාට රෝහල් ගත වෙන්න සිදු වුණා.
එවැනි දේවල් නිසා විටින් විට අධෛර්යයට පත් වුණත් විලාප ගී 3:24හි කියන විදිහට අපි ‘යෙහෝවා දෙවි කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටියා.’ අපි අධෛර්යයට පත් වෙලා හිටිය අවස්ථාවක සහෝදර නේතන් නෝර්ගෙන් ෆර්න්ට ලියුමක් ලැබුණා. තමන් පෙන්සිල්වේනියාවේ බෙත්ලෙහෙම් අසල ඉපදුණ කෙනෙක් නිසා එහේ ස්ත්‍රීන් ශක්තිමත් හා අධිෂ්ඨානයෙන් වැඩ කරන අය බව තමා හොඳින් දන්න බව ඔහු එහි සඳහන් කර තිබුණා. ෆර්න් පුරෝගාමි සේවය පටන්ගත්තෙත් පෙන්සිල්වේනියාවේ. සහෝදර නෝර් වගේ බොහෝදෙනෙක් අපිව විටින් විට ධෛර්යයමත් කළා.
කොච්චර අපහසුකම් තිබුණත් දිගටම උද්යෝගයෙන් සේවය කරන්න අපි වෑයම් කළා. ෆර්න් නිතරම කිව්වේ “අපේ උද්යෝගය අඩු වෙන්න දෙන්න හොඳ නැහැ” කියලයි. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් චාරිකා සහ දිස්ත්‍රික් සේවය කළාට පස්සේ අපිට ඉතාලියේ විවිධ භාෂා කතා කරන කණ්ඩායම් සහ සභා දිරිගන්වන්නත් ඒවා සංවිධානය කරන්නත් අලුත් පැවරුමක් ලැබුණා. එම කණ්ඩායම්වලින් බංගලාදේශයෙන්, චීනයෙන්, එරිත්‍රියාවෙන්, ඉතියෝපියාවෙන්, ඝානාවලින්, ඉන්දියාවෙන්, නයිජීරියාවෙන්, පිලිපීනයෙන්, ශ්‍රී ලංකාවෙන් හා වෙනත් රටවලින් පැමිණි අයට ශුභාරංචිය ප්‍රකාශ කරනවා. යෙහෝවා දෙවිගේ කරුණාව නිසා තමන්ගේ ජීවිත වෙනස් කරගත් අය ගැන ලියන්න අපිට පොතක් මදි.—මීකා 7:18, 19.
අපි කරන සේවය දිගටම කරගෙන යන්න අපිට ශක්තිය ලබා දෙන්න කියලා හැමදාම දෙවිට යාච්ඤා කරනවා. දෙවිට ප්‍රීතියෙන් සේවය කරන එක අපිට ලොකු ශක්තියක්. අපිට දැනෙන ඒ ප්‍රීතිය නිසා ශුභාරංචිය ව්‍යාප්ත කරන්න අපි ගත්ත තීරණ හරියි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.—එෆී. 3:7; කොලො. 1:29.
[27–29වන පිටුවල වගුව⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
මගේ දෙමාපියන් නිව් යෝර්ක් රොචෙස්ටර්වලදී
1948
දකුණු ලැන්සිංවල 12වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙමින්
1949
ෆර්න් සහ මම ඉතාලියට යන්න කලින්
කැප්රි ඉතාලියේදී
1952
ටියුරින් හා නේපල්ස්වල මිෂනාරිවරුන් සමඟ
1963
ෆර්න් බයිබල් ශිෂ්‍යයන් කිහිපදෙනෙක් සමඟ
“අපේ උද්යෝගය අඩු වෙන්න දෙන්න හොඳ නැහැ”