මුල් පිටුවෙන් | දේවදූතයන් ඇත්තටම ඉන්නවාද?
ඔයාට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන්ද?
එදා ඉරිදා දවසක්. හවස් වේගෙන එද්දී කෙනෙත් සහ ෆිලොමිනා කියන යුවළ එයාලා එක්ක බයිබලයේ තොරතුරු සාකච්ඡා කරන යුවළක්ව හම්බ වෙන්න ගියා.
කෙනෙත් මෙහෙම කියනවා. “අපි එහෙට යද්දී දොර ජනෙල් වහලයි තිබුණේ. කාර් එක තිබුණෙත් නැහැ. ඒත් එකපාරටම මට හිතුණා ඒ ගෑනු කෙනාට කෝල් එකක් දෙන්න ඕනෙ කියලා.”
කෝල් එකට ආන්සර් කරලා එයා කිව්වා මහත්තයා වැඩට ගිහින් කියලා. ඒත් අපි දොරකඩ ළඟ ඉන්නවා කියලා දැනගත්තාම එයා ඇවිත් දොර ඇරියා.
එයා අඬලා තියෙනවා කියලා කෙනෙත්ටත් ෆිලොමිනාටත් තේරුණා. බයිබල් පාඩම පටන්ගද්දී එයා ආයෙත් ඇඬුවාම එයාලා ඇහුවා ඒ ඇයි කියලා.
එදා එයා සියදිවි හානි කරගන්නයි ඉඳලා තියෙන්නේ. ඒ ගැන මහත්තයාට ලියුමක් ලියලිය ඉද්දී තමයි කෙනෙත් කෝල් කරලා තියෙන්නේ. මානසික අවපීඩනයෙන් එයා හුඟක් දුක් විඳිනවා කියලා එයා කිව්වා. එයාලා බයිබල් පද කීපයක් පෙන්නලා එයාව සැනසුව නිසයි එදා එයාගේ ජීවිතේ බේරුණේ.
“එයාට උදව් කරන්න අපිව පාවිච්චි කරපු එක ගැන විශේෂයෙන්ම එදා ඒ කෝල් එක ගන්න අපිව පොලඹවපු එක ගැන අපි යෙහෝවා දෙවියන්ට ස්තුති කළා.a ඔහු ඒක කරන්න ඇත්තේ දේවදූතයෙක් මාර්ගයෙන් හරි දෙවියන්ගේ බලය මාර්ගයෙන් හරි වෙන්න ඇති” කියලා කෙනෙත් කිව්වා.
එදා ඇත්තටම දෙවියන් දේවදූතයෙක් මාර්ගයෙන් හරි ඔහුගේ බලය මාර්ගයෙන් හරි කෙනෙත්ටත් ෆිලොමිනාටත් උදව් කළාද? නැත්නම් ඒක නිකම්ම අහඹු සිදුවීමක්ද?
ඒක හරියටම කියන්න බැහැ. ඒත් දෙවියන් දේවදූතයන්ව යොදාගෙන මිනිසුන්ට උදව් කරනවා කියලා නම් අපි දන්නවා. උදාහරණෙකට දෙවියන් ගැන ඉගෙනගන්න ආසාවෙන් හිටපු ඉතියෝපියානු නිලධාරියෙක්ට උදව් කරන්න දෙවියන්ගේ සේවකයෙක් වුණු ෆිලිප්ට මඟ පෙන්නුවේ දේවදූතයෙක් කියලා බයිබලයේ කියනවා.—ක්‍රියා 8:26-31.
නොපෙනෙන බලවත් පුද්ගලයන් ගැන හුඟක් ආගම්වල උගන්වනවා. ඒ අයගෙන් සමහරු හුඟක් කරුණාවන්තයි, දෙවියන්ගේ කැමැත්ත ඉටු කරනවා, මිනිසුන්ව ආරක්ෂා කරනවා කියලා ඒ ආගම්වලින් උගන්වනවා. දේවදූතයන් කියලා පිරිසක් ඉන්නවා කියලා විතරක් නෙවෙයි එයාලගේ උදව් මිනිසුන්ට තියෙනවා කියලත් හුඟක් මිනිසුන් විශ්වාස කරනවා. ඒත් ඒක කොහොමටවත් විශ්වාස කරන්නේ නැති අයත් ඉන්නවා.
ඇත්තටම දේවදූතයන් කියලා පිරිසක් ඉන්නවාද? එයාලගේ ආරම්භය මොකක්ද? එයාලා මොන වගේ අයද? ඔයාට උදව් කරන්න එයාලට පුළුවන්ද?
a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 83:18.