මිහිපිට සන්තෝෂවත්ම ජනයා
1 “යෙහෝවාව තමන්ගේ දෙවි කරගත් ජනයා සන්තෝෂවත්ය.” (ගීතා. 144:15, NW) මෙම වදන්වලින් විස්තර කරන්නේ මිහිතලයේ සිටින සන්තෝෂවත්ම ජනයා වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැනයි. එකම සැබෑ ජීවමාන දෙවි වන යෙහෝවාට සේවය කිරීමෙන් ලැබෙන ප්‍රීතිය වෙන කිසිම දෙයකින් ලබාගන්න බැහැ. ඔහු “සන්තෝෂවත් දෙවි” නිසා ඔහුට නමස්කාර කරන අයද සන්තෝෂයෙන් සිටිනවා දකින්න පුළුවන්. (1 තිමෝ. 1:11, NW) අප මේ තරම් මහත් සන්තෝෂයක් භුක්ති විඳීමට හේතු වන අපේ නමස්කාරයේ අංග කිහිපයක් දැන් සලකා බලමු.
2 සන්තෝෂයෙන් සිටීමට හේතු: “[අපේ] ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත්” [NW] වීමෙන් සන්තෝෂය අද්දැකිය හැකි බව යේසුස් අපට සහතික කළා. (මතෙ. 5:3) බයිබලය දිගටම අධ්‍යයනය කිරීමෙන් හා අපේ ක්‍රිස්තියානි රැස්වීම් සෑම එකකටම පැමිණීමෙන් එම අවශ්‍යතාව සපුරාගත හැකියි. දේවවචනයේ සඳහන් සත්‍යය ඉගෙනගැනීම නිසා අද අපි බොරු හා වැරදි ආගමික ඉගැන්වීම්වලින් නිදහස්ව සිටිනවා. (යොහ. 8:32) ජීවත් වීමට තිබෙන හොඳම මඟ ශුද්ධ ලියවිලිවලින් අපි ඉගෙනගෙන තිබෙනවා. (යෙසා. 48:17) සන්තෝෂයෙන් සිටින අපේ සහෝදර සංගමය තුළ අපි යහපත් ක්‍රිස්තියානි ඇසුරක් භුක්ති විඳින්නේ, එහි ප්‍රතිඵලයක් හැටියටයි.—1 තෙස. 2:19, 20; 1 පේතෘ 2:17.
3 දෙවිගේ උසස් සදාචාර ප්‍රමිතිවලට කීකරු වීම අපට ආරක්ෂාවක් බවත්, එය යෙහෝවාගේ සන්තෝෂයටද හේතු වන බවත් දැන සිටීමෙන් අප ලබන්නේ මහත් තෘප්තියක්. (හිතෝ. 27:11) පුවත්පත් වාර්තාකරුවෙක් මෙසේ සඳහන් කළා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ස්ථිර, නොවෙනස් වනසුලු ප්‍රතිපත්ති මැද පවා අසන්තෝෂයෙන් සිටිනවා දකින්න නැහැ. ඔවුන් තුළ අසාමාන්‍ය අන්දමේ සන්තෝෂයක් සහ හොඳ සමබරතාවයක් තිබෙනවා. වෙන අය තුළ දකින්න නැති ප්‍රීතියක් හා එකමුතුකමක් [ඔවුන් අතර සිටින] බාල මහලු සෑම කෙනෙක් තුළම දකින්න පුළුවන්.” අනිත් අයටත් අපි භුක්ති විඳින සන්තෝෂය භුක්ති විඳීමට උපකාර කරන්න පුළුවන් කොහොමද?
4 සන්තෝෂය භුක්ති විඳීමට අනිත් අයට උපකාර කරන්න: අසන්තෝෂයෙන් පිරි මේ ලෝකයේ බොහෝදෙනෙකුගේ අනාගතය අඳුරුයි. ඒ වුණත් අද පවතින දුක් වේදනා අතීතයට පමණක් සීමා කරන දීප්තිමත් අනාගතයක් අපිට තිබෙනවා. (එළි. 21:3, 4) එනිසා ජ්වලිතවත්ව සේවයේ හවුල් වෙමින් අපේ බලාපොරොත්තුව ගැනත් යෙහෝවා ගැන අපි විශ්වාස කරන දේවල් ගැනත් කතා කළ හැකි අවංක හදවත් ඇති අයව සොයා යමු.—එස. 9:4.
5 පුරෝගාමී සහෝදරියක් මෙසේ පැවසුවා. “යෙහෝවා ගැනත් සත්‍යය ගැනත් දැනගන්න මිනිසුන්ට උපකාර කිරීමෙන් ලැබෙන තෘප්තිය වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ.” නිවාස බයිබල් පාඩම් කරන්න තව බොහෝදෙනෙකුව දිරිමත් කිරීම සඳහා අපට කරන්න පුළුවන් හැම දෙයක්ම කරමු. ලබන්න පුළුවන් මහත්ම සන්තෝෂය ලැබෙන්නේ යෙහෝවාට සේවය කිරීමෙන් හා ඔහුට සේවය කරන්න අනිත් අයට උපකාර කිරීම සඳහා අපේ කාලය හා ශ්‍රමය වැය කිරීමෙනුයි.—ක්‍රියා 20:35 [NW].