යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා සමඟ ප්‍රීතියෙන් එක්සත් වී
වසරේ අතිවැදගත්ම දවස මාර්තු 28වනදා සැමරේ
1 මේ වසරේ මාර්තු 28වනදා හිරු බැස යෑමෙන් පසු ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සැමරීමෙන් අප පෙන්වන්නේ යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් සමඟ අප ප්‍රීතියෙන් එක්සත් වී සිටින සෙනඟක් බවයි. මෙම විශේෂ අවස්ථාවේදී ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස සුවිශේෂ වූ පංගුකාරකමක්, එනම් පියාද ඔහුගේ පුත්‍රයාද රාජ්‍යයේ සෙසු උරුමක්කරුවන්ද සමඟ තිබෙන “පංගුකාරකම” ප්‍රීතියෙන් භුක්ති විඳිනවා. (1 යොහ. 1:3; එපී. 1:11, 12) දෙවිගේ වැඩය ඉටු කිරීමේදී එක හදවතක් හා එක මනසක් ඇතුව යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා සමඟ එක්සත්ව සිටීමට තමන්ට ලැබී තිබෙන මවිතකර වරප්‍රසාදය ගැන දශලක්ෂ ගණනක් වූ ‘වෙනත් බැටළුවන්’ ඒ විශේෂ අවස්ථාවේදී මෙනෙහි කරනවා ඇති!—යොහ. 10:16.
2 සමීප සබඳතාවක් තුළ එකට වැඩ කරමු: යෙහෝවා සහ යේසුස් නිතරම ප්‍රීතියෙන් එක්සත්ව සිට ඇති දෙදෙනෙක්. මිනිසාව මවන්න කලින් සිටම අසංඛ්‍යාත වසර ගණනාවක් ඔවුන් දෙදෙනා කිට්ටු ඇසුරක් භුක්ති විඳ තිබෙනවා. (මීකා 5:2) මේ නිසා ඔවුන් දෙදෙනා අතර මෘදු මොළොක් සෙනෙහසේ ගැඹුරු බැඳීමක් වර්ධනය වී තිබෙනවා. හිතෝපදේශ 8වන පරිච්ඡේදයේ පුද්ගලාරෝපණය කර තිබෙන ප්‍රඥාවෙන් කියවෙන්නාක් මෙන් මිනිසෙකු වීමට පෙර ස්වර්ගයේ සිටි මේ කුළුඳුල් පුත්‍රයාට මෙසේ පවසන්න හැකි වුණා. “මම ඔහු [යෙහෝවා] වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි. සෑම කල්හිම ඔහු ඉදිරියෙහි නිතර සන්තෝෂ වෙමින්, දවසින් දවස ඔහුගේ ප්‍රීතිය වීමි.” (හිතෝ. 8:30) ප්‍රේමයේ උල්පත සමඟ අසංඛ්‍යාත වසර ගණනාවක් සමීප ඇසුරක් භුක්ති විඳ තිබීම නිසා දෙවිගේ පුත්‍රයා කෙරෙහි එය ඇති කර තිබෙන බලපෑම අතිමහත්!—1 යොහ. 4:8.
3 මනුෂ්‍යවර්ගයාව මුදවාගැනීම සඳහා මිදීමේ මිලයක් හැටියට සපයන්න යෙහෝවා තෝරාගත්තේ මිනිසුන්ට මහත් ලැදියාවක් දැක්වූ ඔහුගේ ඒකජාතක පුත්‍රයාවයි. අපට බලාපොරොත්තුවක් සපයන්නේ එම මිදීමේ මිලය මගින් පමණයි. (හිතෝ. 8:31) යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා එක අරමුණක් ඇතුව, එය ඉටු කිරීමේදී එක්සත්ව සිටිනවා වගේ අපිත් ඔවුන් දෙදෙනා සමඟ දිගටම එක්සත්ව සිටිමු. ඒ වගේම ප්‍රීතියෙන් දෙවිගේ කැමැත්ත කරමින් එකිනෙකා සමඟ ප්‍රේමයේ ශක්තිමත් බැමිවලින් වෙළී සිටිමු.
4 අපේ හෘදයාංගම ස්තුතිය පළ කරමු: සිහි කිරීමට පැමිණ සිටීමෙන් හා සාවධානව මෙන්ම ගෞරවාන්විතව සවන් දීමෙන් අපට පුළුවන් යෙහෝවා පෙන්වූ ප්‍රේමය හා ඔහුගේ පුත්‍රයා අප වෙනුවෙන් කළ ජීවිත පූජාව සඳහා අපේ අවංක අගය කිරීම පෙන්වන්න. යේසුස්ගේ ප්‍රේමනීය ආදර්ශය, මිදීමේ මිලය සැපයීමේදී ඔහු මරණය දක්වාම විශ්වාසවන්තව සිටීම, දැනටමත් ස්ථාපිත කර තිබෙන දෙවිගේ රාජ්‍යයේ රජු වශයෙන් යේසුස්ගේ පාලන තන්ත්රය හා එම රාජ්‍යය මගින් මනුෂ්‍යවර්ගයාට ලබා දෙන ආශීර්වාද යනාදිය සිහි කිරීමේදී විශේෂ කොට දැක්වීමට නියමිතයි. අපේ ඇදහිල්ල දිගටම ක්‍රියාවලින් පෙන්වීමේ අවශ්‍යතාව ගැනත් ‘සත්‍යයේ හවුල් වැඩකරුවන්’ වශයෙන් දෙවිගේ කැමැත්තට එකඟව ජ්වලිතව එකට වැඩ කිරීමේ අවශ්‍යතාව ගැනත් අපට ඒ අවස්ථාවේදී මතක් කර දෙයි.—3 යොහ. 8; යාකො. 2:17.
5 අප සමඟ එක්වීමට අන් අයට උපකාර කරන්න: තම බලප්‍රදේශයේ සියලුම අක්‍රියාශීලී සාක්ෂිකරුවන්ව සිහි කිරීමට පැමිණීම සඳහා දිරිමත් කිරීමට වැඩිමහල් මණ්ඩලය විශේෂ වෑයමක් දැරිය යුතුයි. (මතෙ. 18:12, 13) හමු විය යුතු අයගේ නම් ලැයිස්තුවක් සකස් කරගන්න. මෙසේ කිරීමෙන් කිසිවෙකුව අතපසු වෙන්නේ නැහැ. ඒ වගේම සෑම කෙනෙකුවම පෞද්ගලිකව හමු වී ආරාධනා කරන්න පුළුවන්.
6 සිහි කිරීමට පැමිණෙන්න ඉඩ තිබෙන තවත් අයව ඔබ දන්නවාද? මේ අවස්ථාව සඳහා අගය කිරීමක් ඇති කරගැනීමට ඔවුන්ට උපකාර කිරීමට මුල් පියවර ගන්න. ඔවුන්ට උණුසුම් ලෙස ආරාධනා කරන්න. ඔවුන්ව සාදරයෙන් පිළිගනු ලබන බවටවූ හැඟීමක් ඇති කරවන්න. වසරේ අතිවැදගත්ම අවස්ථාව වන සිහි කිරීමට පැමිණීම සඳහා අපේ සියලුම බයිබල් ශිෂ්‍යයන්ට, උනන්දුව දක්වන අයට මෙන්ම පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ට ආරාධනා කරන්න අපට හැකි සෑම දෙයක්ම කරමු. “ක්‍රිස්තුස් යේසුස් ඇඳිනගැනීමේ උතුම්කම” ගැන ඉගෙනගන්න සියලුදෙනාටම මිදීමේ මිලයේ ප්‍රයෝජන අත් කරගත හැකියි. (පිලි. 3:8) ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන අයට සදාකාල ජීවනයේ නිසැක බලාපොරොත්තුව ඇතුව සිටිය හැකියි.—යොහ. 3:16.
7 අවංක හදවත් ඇති අය කෙරෙහි සිහි කිරීම මගින් ඇති කරන බලපෑම කිසිවිටකත් අඩුවෙන් තක්සේරු කරන්න එපා. මීට අවුරුදු දෙකකට කලින්, පැපුවා නිව් ගිනියා නම් දූපතේ උනන්දුව දක්වන පුද්ගලයන් 11දෙනෙක් පැය 17ක් පුරා දරුණු රළ පහර සහිත මුහුද ඔස්සේ බෝට්ටුවකින් ගමන් කරමින් සිහි කිරීමට පැමිණියා. ඔවුන් මෙවන් අසීරු ගමනක යෙදුණේ ඇයි? ඔවුන් මෙසේ පැවසුවා. “යෙහෝවාට නමස්කාර කරන අයත් එක්ක එකතු වෙලා ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්න අපට ලොකු ආශාවක් තිබුණා. මේ ගමන එන්න අපි දරපු හැම උත්සාහයක්ම වටිනවා.” උනන්දුව දැක්වූ ඒ පුද්ගලයන් පෙන්වූ ජ්වලිතය ගැනත් යෙහෝවා හා ඔහුගේ පුත්‍රයා සමඟත් ක්‍රිස්තියානි සහෝදරයන් සමඟත් ප්‍රීතියෙන් එක්සත්ව සිටීම ඔවුන් අගය කිරීම ගැනත් සිතා බලන්න.
8 සිහි කිරීමට පැමිණෙන උනන්දුව දක්වන සෑම කෙනෙකුටම බයිබල් පාඩමක් කිරීමට ආරාධනා කරන්න. නිතිපතා සභා රැස්වීම්වලට පැමිණීමටත් ඔවුන් ඉගෙනගන්න සත්‍යයන් අනිත් අය සමඟ බෙදාගැනීමටත් ඔවුන්ව දිරිමත් කරන්න. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙමින් ‘ආලෝකයේ ගමන් කරන්නත්’ ‘සත්‍යය ක්‍රියාවට නඟන්නත්’ ඔවුන්ට උපකාර කරන්න. (1 යොහ. 1:6, 7, NW) යෙහෝවා සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගනිමින් එක්සත්ව ඔහුගේ කැමැත්ත කිරීමට විවෘත වී තිබෙන ප්‍රස්තාව දිගටම අගය කිරීම සඳහා ඔවුන්ට සහය වන්න.
9 “එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යය කරමින්” ප්‍රීතියෙන් එක්සත්ව සිටින්න ලැබීම මොනතරම් අපූර්ව වරප්‍රසාදයක්ද! (පිලි. 1:27, 28) මාර්තු 28වනදා පවත්වනු ලබන සිහි කිරීමේදී දැකිය හැකි ප්‍රසන්න සහෝදරත්වය භුක්ති විඳින්න අපි සියලුදෙනාම මහත් ආශාවෙන් බලා සිටිනවා. මේ සඳහා යෙහෝවාටත් ඔහුගේ පුත්‍රයාටත් අපේ අවංක ස්තුතිය පුද කරමු!—ලූක් 22:19.