බයිබල් පාඩම් හොයාගන්න ක්‍රම 5ක්
1. අපේ ප්‍රදේශයේ බයිබල් පාඩමක් හොයාගන්න එක අභියෝගයක් නම් කරන්න ඕනේ මොකක්ද? ඒ ඇයි?
1 බයිබල් පාඩමක් හොයාගන්න එක ඔයාලට අභියෝගයක්ද? එහෙම වුණා කියලා උත්සාහය අත්හරින්න එපා. දෙවිගේ කැමැත්ත කරන්න දිගටම වෑයම් කරන අයට දෙවි උදව් කරනවා. (ගලා. 6:9) බයිබල් පාඩම් හොයාගන්න පුළුවන් ක්‍රම 5ක් අපි බලමු.
2. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා කෙළින්ම අහන්න පුළුවන් කොයි වගේ අවස්ථාවලදීද?
2 කෙළින්ම අහන්න: අපි පිබිදෙව්! සහ මුරටැඹ සඟරා දෙනවා කියලා හුඟක් අය දන්නවා. ඒත් එයාලත් එක්ක බයිබල් පාඩමක් කරන්න අපි කැමතියි කියලා එයාලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ගෙයින් ගෙට සේවයේ යද්දී බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා කෙළින්ම අහලා බලමු. ඒ වගේම උනන්දුව දක්වන කෙනෙක්ව නැවත හමු වෙද්දීත් එයා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා කෙළින්ම අහලා බලමු. සමහර විට එයාලා කැමති නැති වෙයි. ඒ වුණත් එයාලගේ උනන්දුව දිගටම තියාගන්න අපේ පොත් පත් දෙන එක අත්නොහරිමු. එක සහෝදරයෙක් කාලයක්ම විවාහ යුවළකට මාස්පතා සඟරා දෙමින් සිටියා. දවසක් එයා ඒ යුවළට අලුත්ම සඟරා දීලා නිවසෙන් පිටවෙලා යන්නත් හදලා, ආපහු හැරිලා මෙහෙම ඇහුවා. “ඔයාලා බයිබල් පාඩමක් කරන්න කැමතිද?” පුදුමයකට වගේ එයාලා “ඔව්” කිව්වා. දැන් ඒ යුවළ බව්තීස්මත් වෙලා.
3. රැස්වීම් එන හැමෝම බයිබල් පාඩමක් කරනවා කියලා හිතන එක හරිද? විස්තර කරන්න.
3 රැස්වීම් එන අය: රැස්වීම් එන හැමෝම දැනටමත් බයිබල් පාඩම් කරනවා කියලා හිතන්න එපා. එක සහෝදරයෙක් කිව්වේ මෙහෙමයි. “මම කරන බයිබල් පාඩම්වලින් භාගයකටත් වැඩිය මට හම්බ වුණේ රැස්වීම්වලට ආපු අයත් එක්ක කතා කරපු හින්දයි.” එක ගැහැනු කෙනෙක් බව්තීස්ම වෙලා හිටිය එයාගේ දුවලා එක්ක රැස්වීම් එනවා. එයා හරිම ලැජ්ජාශීලීයි. එයා රැස්වීම පටන්ගද්දිම ඇවිල්ලා රැස්වීම ඉවර වුණ ගමන්ම ගෙදර යනවා. එයා අවුරුදු 15ක් තිස්සෙ එහෙම කළා. පාඩමක් කරන්න කැමතිද කියලා ඇගෙන් අහන්න දවසක් එක සහෝදරියක් තීරණය කළා. ඇය ඒකට කැමති වෙලා පස්සෙ කාලෙක බව්තීස්මත් වුණා. දැන් අපේ සහෝදරී මෙහෙම කියනවා. “අපරාදෙ, පාඩමකට කැමතිද කියලා අහන්න මං අවුරුදු 15ක්ම හිටියනෙ.”
4. පාඩමක් හොයනවා නම් අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද?
4 අහලා බලන්න: එක සහෝදරියක් අනිත් අයත් එක්ක පාඩම්වලට යනවා. පාඩම කරලා ඉවර වුණාම එයා පාඩම කරන සහෝදරීගෙන් අවසර අරන් ශිෂ්‍යයාගෙන් මෙහෙම අහනවා. ‘බයිබල් පාඩමක් කරන්න කැමති කාව හරි ඔයා දන්නවද?’ ඒක හොඳ විදිහක් නේද? නැවත බැලීමකට බයිබලයේ ඉගැන්වීම් පොත දෙන ගමන් “මේ පොත කියවන්න කැමති වෙන කාව හරි ඔයා දන්නවද” කියලා අහන්නත් පුළුවන්. හැමෝත් එක්කම බයිබල් පාඩම් කරන්න සමහර ප්රචාරකයන්ටයි පුරෝගාමීන්ටයි වෙලාව නැතුව ඇති. ඒ නිසා ඔයාලා පාඩමක් හොයනවා කියලා ඒ අයට කියලා තියන්නත් පුළුවන්.
5. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා සත්‍යයේ නැති සැමියෙකුගෙන් හරි බිරිඳකගෙන් හරි අහන එක හොඳ ඇයි?
5 සත්‍යයේ නැති සැමියෙක් හෝ බිරිඳක්: ඔයාලගෙ සභාවෙත් සැමියා හරි බිරිඳ හරි සත්‍යයේ නැති සහෝදර සහෝදරියන් ඉන්නවද? සත්‍යයේ නැති සමහර අය සත්‍යයේ ඉන්න සැමියා හෝ බිරිඳ එක්ක බයිබලය ගැන කතා කරන්න කැමති නැති වුණත් පිට කෙනෙක් එක්ක කතා කරන්න කැමතියි. හැබැයි ඒ වගේ කෙනෙක්ට කතා කරන්න කලින් එයාට කතා කරන්න පුළුවන් හොඳම විදිහ ගැන සත්‍යයේ ඉන්න සැමියාගෙන් හෝ බිරිඳගෙන් අහලා දැනගන්න එක වඩා හොඳයි.
6. බයිබල් පාඩමක් හොයද්දී යාච්ඤා කරන එක කොච්චර වටිනවාද?
6 යාච්ඤා කරන්න: යාච්ඤාව තරම් ප්‍රබල දෙයක් තවත් නැති තරම්. (යාකො. 5:16) දෙවිගේ කැමැත්තට එකඟව කරන යාච්ඤාවලට දෙවි සවන් දෙනවා. (1 යොහ. 5:14) වැඩ රාජකාරි ගොඩක් තිබුණු සහෝදරයෙක් තමන්ට බයිබල් පාඩමක් හොයාගන්න උදව් කරන්න කියලා යාච්ඤා කළා. රාජකාරි අස්සෙ එයා කොහොමද බයිබල් ශිෂ්‍යයෙකුට, විශේෂයෙන්ම ප්‍රශ්න ගැටලු තියෙන ශිෂ්‍යයෙකුට උදව් කරන්නෙ කියලා ඔහුගේ බිරිඳ කල්පනා කළා. ඒ ගැනත් මහත්තයට පාඩමක් හොයාගන්න උදව් කරන්න කියලත් ඇය යාච්ඤා කළා. සති දෙකකට විතර පස්සෙ පුරෝගාමියෙක් ඇවිල්ලා එයාට අලුත් පාඩමක් භාර දුන්නා. බිරිඳ ඒ ගැන කියන්නෙ මෙහෙමයි. “බයිබල් පාඩමක් කරගන්න බැරි වෙයි කියලා හිතන අය, ඒ ගැන දෙවිට කියන්න. යාච්ඤා කරන එක නතර කරන්න එපා. මොකද අපි එහෙම කරපු එකෙන් ලබපු සතුට හිතාගන්නවත් බැරි තරම්.” උත්සාහ කළොත් බයිබල් පාඩමක් හොයාගෙන කෙනෙකුට “ජීවනය කරා යන පාරේ” යන්න උදව් කරන්න ඔයාලටත් පුළුවන් වෙයි.—මතෙ. 7:13, 14.