ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 මාර්තු 8-13 පි.
  • බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබල් පාඩමකට හවුල් වෙද්දී
  • බයිබල් ශිෂ්‍යයා රැස්වීම්වලට එද්දී
  • වැඩිමහල්ලන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 මාර්තු 8-13 පි.

පාඩම් ලිපිය 10

බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ

‘සෑම අවයවයක්ම මුළු ශරීරයේම වර්ධනයට දායක වෙනවා.’—එෆී. 4:16.

ගීතිකාව 85 සියලුදෙනාවම සාදරයෙන් පිළිගනිමු

මේ ලිපියෙන්a

1-2. බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයෙක්ට උදව් කරන්න පුළුවන් කාටද?

ෆීජීවල ජීවත් වන ඒමී මෙහෙම කියනවා. “මං බයිබල් පාඩම කළේ හරිම ආසාවෙන්. මේක සත්‍යය කියලා මං දැනගෙන හිටියා. හැබැයි සභාවේ අයව ආශ්‍රය කරන්න ගත්තාට පස්සේ තමයි මගේ ජීවිතේ වෙනස්කම් කරගෙන බව්තීස්මය දක්වා දියුණු වෙන්න මට පුළුවන් වුණේ.” ඒ අද්දැකීමෙන් අපිට වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි ශිෂ්‍යයෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න සභාවේ හැමෝම උදව් කරන එක කොච්චර වටිනවාද කියන එක.

2 ශිෂ්‍යයෙක්ට දියුණු වෙන්න සභාවේ හැමෝටම උදව් කරන්න පුළුවන්. (එෆී. 4:16) වානුවාටුවල පුරෝගාමි සේවය කරන ලායිලනි කියන දේ බලන්න. “ළමයෙක්ව හදා වඩා ගන්න ගමේ හැමෝගෙම උදව් ඕනෙ කියලා කතාවට කියනවා. යේසුස්ගේ ගෝලයෙක් වෙන්න අනිත් අයට උදව් කරන වැඩෙත් හරියට ඒ වගේ. කෙනෙක්ව සත්‍යයට ගේන්න සභාවේ හැමෝගෙම උදව් ඕනේ.” දරුවෙක්ට හොඳ වැඩිහිටියෙක් වෙන්න නම් එයාගේ දෙමාපියන්ගේ විතරක් නෙවෙයි, නෑදෑයන්, ගුරුවරු වගේ හැමෝම එයාට උදව් කරන්න ඕනේ. ඒ වගේ, ශිෂ්‍යයෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න සභාවේ හැමෝගෙම මඟ පෙන්වීම්, දිරිගැන්වීම්, ආදර්ශය එයාට උදව් වෙනවා.—හිතෝ. 15:22.

3. ආනා, ඩොරින් සහ ලායිලනි කියපු දේවලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

3 ඔයාගේ බයිබල් පාඩමට අනිත් අය උදව් කරද්දී ඔයා සතුටු වෙන්න ඕනෙ ඇයි? මෝල්ඩාවියාවේ විශේෂ පුරෝගාමි සේවය කරන ආනා ඒ ගැන මෙහෙම කියනවා. “ශිෂ්‍යයෙක් දියුණු වෙද්දී එයාට ගොඩක් පැතිවලින් උදව් ඕන වෙනවා. ඒ හැම දෙයක්ම ගුරුවරයාට විතරක් කරන්න බෑ.” ඒ රටේම විශේෂ පුරෝගාමි සේවය කරන ඩොරින් මෙහෙම කියනවා. “හුඟක් වෙලාවට මාත් එක්ක බයිබල් පාඩම්වලට යන අය මං කවදාවත් හිතලා තිබුණේ නැති පැති ගැන බයිබල් ශිෂ්‍යයන්ට කියනවා. ඒවා එයාලට හොඳට කාවදිනවා.” කලින් සඳහන් කරපු ලායිලනි මෙහෙම කියනවා. “සභාවේ හැමෝම ශිෂ්‍යයන්ට ආදරෙන් සලකද්දී සැබෑ ආගම මොකක්ද කියලා තේරුම්ගන්න එයාලට පුළුවන් වෙනවා.”—යොහ. 13:35.

4. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

4 වෙන කෙනෙක් කරන බයිබල් පාඩමකට ඔයාට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒක තේරුම්ගන්න දැන් අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු. (1) බයිබල් පාඩමකට එන්න කියලා කවුරු හරි කිව්වොත් මට කරන්න පුළුවන් මොනවාද? (2) ශිෂ්‍යයෙක් රැස්වීම්වලට ආවාම මං මොනවාද කරන්න ඕනේ? (3) බව්තීස්මය දක්වා දියුණු වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

බයිබල් පාඩමකට හවුල් වෙද්දී

පින්තූරවල අදහස: 1. වෙන කෙනෙක් කරන පාඩමකට යන්න කලින් සහෝදරයෙක් පාඩමට හොඳින් සූදානම් වෙනවා. 2. ඒ සහෝදරයා පාඩමට හවුල් වෙනවා.

බයිබල් පාඩමකට සහභාගි වෙන්න කලින් හොඳින් සූදානම් වෙලා යන්න (5-7 ඡේද බලන්න)

5. බයිබල් පාඩමකට හවුල් වෙද්දී ඔයා කරන්න ඕනෙ මොනවාද?

5 බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන මූලික වගකීම තියෙන්නේ පාඩම කරන කෙනාට. ඒ නිසා පාඩමට ඔයා හවුල් වෙද්දී ඒක ඔයාගේ අතට ගන්න හදන්න එපා. ඔයා යන්නේ එයාට උදව් කරන්න කියලා මතක තියාගන්න. (දේශ. 4:9, 10) පාඩම සාර්ථකව කරන්න ඔයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

6. පාඩමකට හවුල් වෙද්දී හිතෝපදේශ 20:18 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න පුළුවන් කොහොමද?

6 පාඩමට හොඳින් සූදානම් වෙන්න. පාඩමට යන්න කලින් ශිෂ්‍යයාගේ තොරතුරු ටිකක් පාඩම කරන කෙනාගෙන් දැනගන්න. (හිතෝපදේශ 20:18 කියවන්න.) උදාහරණෙකට ඔයාට එයාගෙන් මෙහෙම අහන්න පුළුවන්. “ශිෂ්‍යයා ගැන තොරතුරු ටිකක් කියන්න පුළුවන්ද? කරන්න තියෙන්නේ මොන පාඩමද? ඒ පාඩමෙන් ඔයා කාවද්දන්න හදන්නේ මොකක්ද? පාඩම වෙලාවේ මං කියන්න කරන්න හොඳ නැති දේවල් තියෙනවාද? ශිෂ්‍යයාට දිරිගැන්වීම් ඕනෙ මොන පැතිවලින්ද?” පාඩම කරන කෙනා ශිෂ්‍යයාගේ නමට හානියක් වෙන තොරතුරු ඔයාට කියන එකක් නැහැ. හැබැයි ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් පැති ගැන එයා කියයි. ඒ වගේ දේවල් ගැන කතා කරන එකේ ප්‍රයෝජන ගැන මිෂනාරිවරයෙක් වන ජෝයි මෙහෙම කියනවා. “ඒ වගේ තොරතුරු ගැන සාකච්ඡා කරන එක පාඩමට හවුල් වෙන අයට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා ශිෂ්‍යයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා තේරුම්ගන්න.”

7. පාඩමකට හවුල් වෙන්න කලින් සූදානම් වෙන්න ඕනෙ ඇයි?

7 බයිබල් පාඩමකට හවුල් වෙන්න කලින් ඒකට හොඳින් සූදානම් වෙන එක හරිම වැදගත්. (එස්රා 7:10) කලින් සඳහන් කරපු ඩොරින් ඒ ගැන මෙහෙම කියනවා. “මාත් එක්ක පාඩමට හවුල් වෙන කෙනා සූදානම් වෙලා එනවට මං කැමතියි. මොකද එතකොට එයාට පුළුවන් පාඩම සාර්ථකව කරන්න උදව් කරන්න.” ඒ වගේම දෙන්නාම හොඳින් පාඩමට සූදානම් වෙලා තියෙනවා කියලා ශිෂ්‍යයා දකිද්දී ඒක එයාටත් හොඳ ආදර්ශයක්. පාඩමට හොඳින් සූදානම් වෙන්න බැරි වුණොත් අඩුම ගාණේ පාඩමට යන්න කලින් පාඩමේ මූලික කරුණු ටික හරි හඳුනගන්න උත්සාහ කරන්න.

8. පාඩමේදී කරන යාච්ඤාවට හොඳින් සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

8 බයිබල් පාඩමකදී කරන යාච්ඤාව හරිම වැදගත්. ඒ නිසා යාච්ඤාවට ඇතුළත් කරන්න ඕනෙ මොනවාද කියලා ඔයා කලින්ම හිතලා සූදානම් වුණොත් ශිෂ්‍යයාට ප්‍රයෝජනවත් වෙන විදිහට ඒක කරන්න ඔයාට පුළුවන් වෙයි. (ගීතා. 141:2) ජපානයේ ජීවත් වෙන සහෝදරි හෑනයි කියන දේ බලන්න. “මං බයිබල් පාඩම කරපු කාලේ මගේ පාඩමට ආපු සහෝදරියක් යාච්ඤා කරපු විදිහ මට තාම මතකයි. එයා යාච්ඤා කරද්දී මගේ නම කියලා මං වෙනුවෙන් යාච්ඤා කරපු එක ගැන මට ලොකු සතුටක් දැනුණා. එයාට යෙහෝවා දෙවියන් එක්ක කොච්චර කිට්ටු බැඳීමක් තියෙනවාද කියලා එයා යාච්ඤා කරපු විදිහෙන් මට තේරුණා. මටත් ඕනෙ වුණේ එයා වගේ වෙන්න.”

9. යාකොබ් 1:19 අනුව බයිබල් පාඩම කරන කෙනාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

9 පාඩම කරන කෙනාට සහයෝගය දෙන්න. නයිජීරියාවේ විශේෂ පුරෝගාමි සේවය කරන ඔමාමූයෝවි මෙහෙම කියනවා. “පාඩමට හොඳින් හවුල් වෙන කෙනෙක් එයාගේ අවධානය එහෙ මෙහෙ යන්න දෙන්නේ නැහැ. එයා කතා කරන්නේ සුදුසුම අවස්ථාවලදී විතරයි. මොකද එයා දන්නවා පාඩම කරන වගකීම තියෙන්නේ එයාට නෙවෙයි කියලා.” පාඩමකට හවුල් වෙද්දී ඔයා කියන්න ඕනෙ මොනවාද, මොන වෙලාවෙද කියලා දැනගන්න පුළුවන් කොහොමද? (හිතෝ. 25:11) ඔයාට පුළුවන් පාඩම කරන කෙනායි ශිෂ්‍යයායි කියන දේවලට හොඳ අවධානයක් දෙන්න. (යාකොබ් 1:19 කියවන්න.) එහෙම කළොත් විතරයි සුදුසු අවස්ථාවලදී කතා කරන්න ඔයාට පුළුවන් වෙන්නේ. හැබැයි දෙයක් කියන්න කලින් හොඳට හිතන්න. උදාහරණෙකට පාඩම කරන කෙනා ශිෂ්‍යයාට යම් දෙයක් පැහැදිලි කරද්දී මැද්දට පනින්නවත් වෙන විෂයක් ගැන කතා කරන්නවත් එපා. ඒ වෙනුවට කෙටි අදහසකින්, උදාහරණෙකින් නැත්නම් ප්‍රශ්නෙකින් ඒ කාරණය ශිෂ්‍යයාට තේරුම්ගන්න උදව් කරන්න ඔයාට පුළුවන්. පාඩමේ හැම තොරතුරක්ම හොඳින් පැහැදිලි වුණ නිසා අමතර දෙයක් කියන්න ඕනෙ නැහැ කියලා ඔයාට හිතුණොත් මොකද කරන්නේ? ඔයාට පුළුවන් ශිෂ්‍යයාව අගේ කරලා ඔයාගේ ආදරේ එයාට දැනෙන්න සලස්වන්න. දියුණු වෙන්න ඒක එයාට උදව් වෙයි.

10. ඔයාගේ අද්දැකීම් ශිෂ්‍යයාට උදව් වෙන්න පුළුවන් කොහොමද?

10 ඔයාගේ අද්දැකීම් කියන්න. සුදුසු අවස්ථාවක් ආවොත් ඔයා සත්‍යයට ආපු විදිහ, අභියෝග ජය ගත්ත විදිහ, නැත්නම් යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරපු විදිහ ගැන ශිෂ්‍යයාට කෙටියෙන් කියන්න. (ගීතා. 78:4, 7) ඔයා හිතන්නෙත් නැති විදිහට ඒක එයාට ලොකු දිරිගැන්වීමක් වෙයි. උදාහරණෙකට එයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න, බව්තීස්මය දක්වා දියුණු වෙන්න ඒක එයාට උදව් වෙයි. සමහරවිට එයා අද්දකින පීඩාවකට සාර්ථකව මුහුණ දෙන්න වුණත් ඒක එයාට උදව් වෙන්න පුළුවන්. (1 පේතෘ. 5:9) බ්‍රසීලයේ පුරෝගාමි සේවය කරන ගාබ්‍රියෙල් එයාට උදව් වුණ දෙයක් ගැන මෙහෙම කියනවා. “මගේ පාඩමට ආපු සහෝදරයන් එයාලගේ අද්දැකීම් කියද්දී මට තේරුණා අපි මුහුණ දෙන අභියෝග යෙහෝවා දෙවියන්ට පේනවා කියලා. ඒවායින් ජය ගන්න එයාලට පුළුවන් නම් මටත් පුළුවන් කියලා මට හිතුණා.”

බයිබල් ශිෂ්‍යයා රැස්වීම්වලට එද්දී

පින්තූරවල අදහස: 1. බයිබල් ශිෂ්‍යයෙකුයි එයාට පාඩම කරන කෙනායි, එයාගේ බිරිඳක් නමස්කාර මධ්‍යස්ථානයේ රථ ගාලේදී යුවළක් එක්ක කතා කරනවා. 2. නමස්කාර මධ්‍යස්ථානයට ඇතුල් වෙන තැනේදී සහෝදරයන් දෙන්නෙක් බයිබල් ශිෂ්‍යයෙක්ව ආදරෙන් පිළිගන්නවා. 3. නමස්කාර මධ්‍යස්ථානයේදී ශිෂ්‍යයාට තවත් යුවළක්ව හඳුන්වලා දෙනවා.

දිගටම රැස්වීම්වලට එන්න ශිෂ්‍යයෙක්ට දිරිගන්වන්න අපි හැමෝටම පුළුවන් (11 ඡේදය බලන්න)

11-12. ශිෂ්‍යයෙක් රැස්වීම් එද්දී එයාව ආදරෙන් පිළිගන්න ඕනෙ ඇයි?

11 ශිෂ්‍යයෙක් බව්තීස්මය දක්වා දියුණු වෙන්න නම් එයා දිගටම රැස්වීම් එන එක හරිම වැදගත්. (හෙබ්‍රෙ. 10:24, 25) පාඩම කරන කෙනා එයාට රැස්වීම්වලට එන්න කියලා දිරිගන්වලා ඇති. ඉතින් එයා රැස්වීම්වලට ආවාම අපි හැමෝටම පුළුවන් දිගටම රැස්වීම්වලට එන්න කියලා එයාව දිරිගන්වන්න. ඒක අපිට කරන්න පුළුවන් කොහොමද?

12 ආදරෙන් පිළිගන්න. (රෝම 15:7) ශිෂ්‍යයෙක් රැස්වීම් ආවාම අපි එයාව ආදරෙන් පිළිගද්දී දිගටම රැස්වීම් එන්න එයා පෙලඹෙයි. එයා අපහසුතාවයට පත් වෙන්නේ නැති විදිහට ආදරෙන් එයාව පිළි අරන් සභාවේ අනිත් අයට එයාව හඳුන්වලා දෙන්න අපිට පුළුවන්. ‘පාඩම කරන කෙනා එයාව බලාගනියිනේ’ කියලා හිතලා පැත්තකට වෙලා ඉන්න එපා. මොකද පාඩම කරන කෙනා තාම රැස්වීමට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. නැත්නම් සභාවේ වගකීමක් එයාට කරන්න තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ශිෂ්‍යයා ළඟට ගිහින් එයාව ආදරෙන් පිළිගන්න. එයා කියන දේවලට හොඳින් ඇහුම්කන් දෙන්න. අවංකවම එයා ගැන සැලකිලිමත් වෙන්න. එහෙම කරන එක ශිෂ්‍යයෙක්ට කොච්චර උදව් වෙනවාද කියලා මේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. ඩිමිත්‍රි බව්තීස්ම වුණේ අවුරුදු කීපයකට කලින්. දැන් එයා සහායක සේවකයෙක්. එයා රැස්වීමට ආපු පළවෙනි දවස ගැන එයා මෙහෙම කියනවා. “එදා මං නමස්කාර මධ්‍යස්ථානයේ එළියේ ලැජ්ජාවෙන්, බයෙන් ඉන්නවා දැකපු සහෝදරයෙක් මං ළඟට ඇවිත් හරිම ආදරෙන් කතා කරලා මාව ඇතුළට එක්කගෙන ගියා. අපි ඇතුළට ගියාම හුඟදෙනෙක් මං ළඟට ඇවිත් මාත් එක්ක කතා කළා. ඒක මට හිතාගන්නවත් බැරි වුණා. ඒ වගේ දෙයක් මං කවදාවත් අද්දැකලා තිබුණේ නෑ. මට හිතුණා හැමදාම රැස්වීම් තිබුණා නම් කොච්චර හොඳද කියලා.”

13. ඔයාගේ ආදර්ශය බයිබල් ශිෂ්‍යයාට උදව් වෙන්නේ කොහොමද?

13 හොඳ ආදර්ශයක් වෙන්න. ඔයා හොඳ ආදර්ශයක් තියන එක බයිබල් ශිෂ්‍යයාට උදව් වෙයි අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා තේරුම්ගන්න. (මතෙ. 5:16) මෝල්ඩෝවියාවේ පුරෝගාමි සේවය කරන විටාලී කියන දේ බලන්න. “සභාවේ අය හිතන විදිහ, හැසිරෙන විදිහ, ජීවත් වෙන විදිහ මට උදව් වුණා මේක තමයි සැබෑ ආගම කියලා තේරුම්ගන්න.”

14. ඔයාගේ ආදර්ශය කෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් වෙන්න පුළුවන් කොහොමද?

14 ශිෂ්‍යයා බව්තීස්ම වෙන්න නම් එයා ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නම ඕනේ. හැබැයි ඒක කොයි වෙලෙත් ලේසි නැහැ. ඒත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න නිසා ඔයා කොච්චර ප්‍රයෝජන අද්දකිනවාද කියලා ශිෂ්‍යයා දකිද්දී ඒ දේම කරන්න එයාත් පෙලඹෙයි. (1 කොරි. 11:1) කලින් සඳහන් කරපු හෑනයි මෙහෙම කියනවා. “මං බයිබලෙන් ඉගෙනගන්න දේවල් සහෝදර සහෝදරියන් එයාලගේ ජීවිතේට අදාළ කරගන්න විදිහ මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා. අනිත් අයව දිරිගන්වන්න, සමාව දෙන්න, ආදරේ කරන්න පුළුවන් කොහොමද කියලා මං එයාලගෙන් ඉගෙනගත්තා. එයාලා කොයි වෙලෙත් කතා කළේ අනිත් අයගේ හොඳ පැති ගැන. ඉතින් මටත් ඕනෙ වුණා එයාලා වගේ වෙන්න.”

15. ශිෂ්‍යයෙක් රැස්වීම් එන්න පටන්ගත්තාම අපි එයාට හොඳ යාළුවෙක් වෙන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න හිතෝපදේශ 27:17 උදව් වෙන්නේ කොහොමද?

15 හොඳ යාළුවෙක් වෙන්න. ශිෂ්‍යයා දිගටම රැස්වීම් එන්න පටන්ගත්තාම එයා ගැන අවංකවම සැලකිලිමත් වෙන්න. (ෆිලි. 2:4) උදාහරණෙකට ඔයාට පුළුවන්ද එයාව හොඳින් දැන හඳුනා ගන්න උත්සාහ කරන්න? ඔයාට පුළුවන් එයාගේ බයිබල් පාඩම ගැන, පවුලේ අය ගැන එයාගෙන් අහන්න. හැබැයි ඔයා ඒක කරන්න ඕනෙ එයා අපහසුතාවයට පත් වෙන්නේ නැති විදිහට. ඒ වගේම එයා ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න එක ගැන එයාව අගේ කරන්නත් ඔයාට පුළුවන්. කාලයත් එක්කම ඔයා එයාට හොඳ යාළුවෙක් වෙද්දී බව්තීස්මය දක්වා දියුණු වෙන්න ඒක ශිෂ්‍යයාට උදව් වෙයි. (හිතෝපදේශ 27:17 කියවන්න.) කලින් සඳහන් කරපු හෑනයි දැන් ස්ථාවර පුරෝගාමියෙක්. රැස්වීම් ආපු මුල් කාලය ගැන එයා මෙහෙම මතක් කරනවා. “මට සභාවේ හොඳ යාළුවෝ හිටපු නිසා මං රැස්වීම්වලට ආවේ හරිම ආසාවෙන්. මහන්සියක් දැනුණු දවස්වලදී වුණත් මං රැස්වීම්වලට නොගිහින් හිටියේ නෑ. සභාවේ යාළුවෝ මට ගොඩක් ළං වුණා. ඒක මට උදව් වුණා යෙහෝවා දෙවියන්ට නමස්කාර කළේ නැති යාළුවන්ගෙන් ඈත් වෙන්න. මට ඕන වුණේ යෙහෝවා දෙවියන්ටයි සහෝදර සහෝදරියන්ටයි තවත් කිට්ටු වෙන්න. ඒ නිසා බව්තීස්ම වෙන්න මං තීරණය කළා.”

16. සභාවේ අයව පවුලේ අය විදිහට දකින්න ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට කරන්න පුළුවන් තවත් දේවල් මොනවාද?

16 ශිෂ්‍යයා ජීවිතේ වෙනස්කම් කරන්න පටන්ගද්දී එයත් සභාවට අයිති කෙනෙක් කියලා එයාට දැනෙන්න සලස්වන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් එයාට ආගන්තුක සත්කාරය පෙන්නන්න. (හෙබ්‍රෙ. 13:2) මෝල්ඩාවියාවේ ජීවත් වන ඩෙනීස් එයා බයිබල් පාඩම කරපු කාලය ගැන මෙහෙම කියනවා. “සහෝදර සහෝදරියන් එකතු වෙලා සතුටු වෙන අවස්ථාවලට එන්න කියලා එයාලා කීප වතාවක්ම මටයි මගේ බිරිඳටයි ආරාධනා කළා. ඒ වගේ අවස්ථාවලදී එයාලා අපිට කිව්වා යෙහෝවා දෙවියන් එයාලට උදව් කළේ කොහොමද කියලා. ඒක අපිට ලොකු දිරිගැන්වීමක් වුණා. අපිත් දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඕනෙ කියලා තීරණය කරන්නත් යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම තමන්ගේ සෙනඟට අනාගතයේදී ලස්සන කාලයක් දෙනවා කියන එක ගැන අපිට තිබුණු විශ්වාසය ශක්තිමත් කරගන්නත් ඒ වගේ අවස්ථාවන් අපිට උදව් වුණා.” බයිබල් ශිෂ්‍යයෙක් ප්‍රචාරකයෙක් වුණාම ඔයාට පුළුවන් ඔයාත් එක්ක සේවේ යන්න එන්න කියලා එයාට ආරාධනා කරන්න. බ්‍රසීලයේ ප්‍රචාරකයෙක් වන ඩියේගො මෙහෙම කියනවා. “හුඟක් සහෝදරයන් මට ආරාධනා කළා සේවේ යන්න එන්න කියලා. එයාලට තව කිට්ටු වෙන්න ඒක තමයි මට වැඩියෙන්ම උදව් වුණේ. මං එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. යෙහෝවා දෙවියන්ටයි යේසුස්ටයි තවත් ළං වෙන්න ඒක මට උදව් වුණා.”

වැඩිමහල්ලන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

පින්තූරවල අදහස: 1. ‘මුරටැඹ’ පාඩමේදී ශිෂ්‍යයා අදහස් ඉදිරිපත් කරනවා. 2. රැස්වීමෙන් පස්සේ ‘මුරටැඹ’ පාඩම මෙහෙයවපු සහෝදරයා ශිෂ්‍යයාව අගය කරනවා.

වැඩිමහල්ලෙනි, ඔයාලගේ ආදරයත් සැලකිල්ලත් ශිෂ්‍යයන්ට දියුණු වෙන්න ලොකු උදව්වක් වෙයි (17 ඡේදය බලන්න)

17. බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

17 ශිෂ්‍යයන් වෙනුවෙන් කාලය දෙන්න. වැඩිමහල්ලෙනි, ඔයාලගේ ආදරේ, සැලකිල්ල ශිෂ්‍යයන්ට දැනෙද්දී බව්තීස්මය දක්වා දියුණු වෙන්න ඒක එයාලට උදව් වෙයි. ඒ නිසා ඔයාලට පුළුවන්ද ශිෂ්‍යයන් රැස්වීම් එන හැම වතාවකම එයාලා වෙනුවෙන් යම් කාලයක් දෙන්න? ඔයාලට පුළුවන්ද ශිෂ්‍යයන්ගේ නම් මතක තියාගන්න? විශේෂයෙන්ම එයාලා රැස්වීමේදී අදහස් දෙන කොට එයාලගේ නමින්ම එයාලව හඳුන්වන්න පුළුවන්ද? විටින් විට ප්‍රචාරකයන් එක්ක එයාලගේ බයිබල් පාඩම්වලට යන්න සැලසුම් කරන්න ඔයාලට පුළුවන්ද? ඔයාලා ඒ දේවල් කරද්දී හිතන්නෙවත් නැති පැතිවලින් ඒවා ශිෂ්‍යයන්ට උදව් වෙයි. නයිජීරියාවේ පුරෝගාමියෙක් වන ජැකී කියන දේ බලන්න. “මගේ පාඩම්වලට මං වැඩිමහල්ලන්ව එක්කං ගියාම ශිෂ්‍යයන් ඒ ගැන පුදුම වෙනවා. එක් කෙනෙක් මට මෙහෙම කිව්වා. ‘අපේ පාස්ටර්ලා නම් කවදාවත් එහෙම කරන්නේ නෑ. එයාලා ගියොත් යන්නේ පොහොසත් ගෙවල්වලට විතරයි. ඒකටත් එයාලට ලොකු ගාණක් ගෙවන්න ඕනේ.’ දැන් ඒ ශිෂ්‍යයා අපේ රැස්වීම්වලටත් එනවා.”

18. ක්‍රියා 20:28 කියන විදිහට වැඩිමහල්ලන්ට තමන්ගේ වගකීම සාර්ථකව ඉටු කරන්න පුළුවන් කොහොමද?

18 ප්‍රචාරකයන්ව පුහුණු කරන්න. එයාලව දිරිගන්වන්න. වැඩිමහල්ලෙනි, ඔයාලට තමයි දක්ෂ විදිහට සේවේ හවුල් වෙන්නත් දක්ෂ විදිහට බයිබල් පාඩම් කරන්නත් ප්‍රචාරකයන්ව පුහුණු කරන මූලිකම වගකීම තියෙන්නේ. (ක්‍රියා 20:28 කියවන්න.) ඒ වෙනුවෙන් ඔයාලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. උදාහරණෙකට ඔයා ඉස්සරහා බයිබල් පාඩමක් කරන්න ප්‍රචාරකයෙක් ලැජ්ජයි නම් ඔයාට පුළුවන් පාඩම ඔයා කරන්නද කියලා එයාගෙන් අහන්න. කලින් සඳහන් කරපු ජැකී මෙහෙම කියනවා. “මගේ බයිබල් ශිෂ්‍යයන් ගැන වැඩිමහල්ලන් විටින් විට මගෙන් අහනවා. බයිබල් පාඩමක් කරද්දී මට මොකක් හරි අභියෝගයක් තියෙනවා කියලා මං එයාලට කිව්වොත් එයාලා මට උදව් කරනවා.” ප්‍රචාරකයන්ව දිරිගන්වන්නත් දිගටම සතුටින් සේවය කරන්න එයාලට උදව් කරන්නත් වැඩිමහල්ලන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. (1 තෙස. 5:11) ජැකී කියන දේ බලන්න. “වැඩිමහල්ලන් මාව දිරිගන්වද්දී මං මහන්සි වෙලා කරන දේවල් එයාලා අගේ කරද්දී මට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේ වෙලාවට මට දැනෙන්නේ හරියට හොඳටම පායලා තියෙන දවසක සීතල වතුර ටිකක් බොන්න ලැබෙනවා වගේ. දිගටම සතුටින් බයිබල් පාඩම් කරන්න ඒක මට උදව් වෙනවා.”—හිතෝ. 25:25.

19. අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් මොකක් ගැනද?

19 දැනට අපිට බයිබල් පාඩමක් ලැබිලා නැතත් කෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න අපි හැමෝටම පුළුවන්. තව කෙනෙක් කරන පාඩමකට හවුල් වෙද්දී අපිට පුළුවන් පාඩමට හොඳට සූදානම් වෙලා පාඩම කරන කෙනාට අපේ උපරිම සහයෝගය දෙන්න. පාඩම අපේ අතට ගන්නවා වෙනුවට අවශ්‍ය තැන්වලදී විතරක් කතා කරන්න අපිට පුළුවන්. ශිෂ්‍යයන් රැස්වීම් එන්න පටන්ගත්තාම එයාලට හොඳ යාළුවෙක් වෙලා හොඳ ආදර්ශයක් වෙන්නත් අපිට පුළුවන්. ශිෂ්‍යයන් වෙනුවෙන් කාලය දෙන එකෙන්, ප්‍රචාරකයන්ව පුහුණු කරලා එයාලව අගේ කරන එකෙන්, ඒ දෙගොල්ලන්වම දිරිගන්වන්න වැඩිමහල්ලන්ට පුළුවන්. පුංචිම විදිහකින් හරි අපේ දෙවි යෙහෝවාට ළං වෙන්න කෙනෙක්ට උදව් කරන්න ලැබෙන එක අපිට කොච්චර සතුටක්ද! ඒ වගේ සතුටක් වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • පාඩමකට හවුල් වෙන්න කියලා ඔයාට ආරාධනා කළොත් ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

  • ශිෂ්‍යයා රැස්වීම් එන්න පටන්ගත්තාම එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

  • ඔයා වැඩිමහල්ලෙක් නම් ශිෂ්‍යයන්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

ගීතිකාව 79 ස්ථිරව ඉන්න කියා දෙන්න

a අපි අතරේ ඉන්න සමහරදෙනෙක්ට බයිබල් පාඩමක් නැතුව ඇති. හැබැයි අපි හැමෝටම පුළුවන් බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න. ඒක කරන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න