ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 පෙබරවාරි 20-24 පි.
  • යෙහෝවා දෙවියන් මට ‘හරි මඟ පෙන්නුවා’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් මට ‘හරි මඟ පෙන්නුවා’
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හරි මඟ යන්න දෙමව්පියන් මට උදව් කළා
  • යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න තීරණය කළා
  • දෙවියන් ගැන විශ්වාසය තිබ්බොත් කවදාවත් වරදින්නේ නැහැ
  • පැවරුමේ වෙනසක්
  • සෆාරි ගොඩයි
  • තත්වයන් වෙනස් වුණා
  • මිෂනාරි සේවය සඳහා ආශාවෙන් කටයුතු කිරීම නිසා ලද ආශීර්වාද
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානය
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පූර්ණකාලීන සේවයෙන් ලැබුණු ආශීර්වාද
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මම යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන සිටියා
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 පෙබරවාරි 20-24 පි.
ස්ටීවන් හාඩි.

ජීවිත කතාව

යෙහෝවා දෙවියන් මට ‘හරි මඟ පෙන්නුවා’

ස්ටීවන් හාඩි

දවසක් තරුණ සහෝදරයෙක් මගෙන් ඇහුවා “ඔයාගේ ආසම බයිබල් පදය මොකක්ද” කියලා. මං ටක් ගාලා එයාට කිව්වා, “හිතෝපදේශ 3:5, 6” කියලා. ඒකේ කියන්නේ, “ඔබේ නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත” කියලා. ඔව්, යෙහෝවා දෙවියන් මගේ ජීවිත කාලය පුරාම මට හරි මඟ පෙන්නුවා. ඒ කොහොමද කියලා මං ඔයාලට කියන්නම්.

හරි මඟ යන්න දෙමව්පියන් මට උදව් කළා

මගේ අම්මාටයි, තාත්තාටයි සත්‍ය ලැබිලා තියෙන්නේ 1920ගණන්වල. ඒ කියන්නේ එයාලා විවාහ වෙන්නත් කලින්. මං ඉපදුණේ 1939. අපි හිටියේ එංගලන්තයේ. පුංචි කාලේ මං අම්මායි, තාත්තායි එක්ක රැස්වීම් ගියා. ටික කාලෙකින් සේවා පාසැලට ඇතුළත් වෙන්නත් මට පුළුවන් වුණා. මට තාම මතකයි පාසැලේ මං දුන්නු මුල්ම කතාව. එතකොට මට වයස අවුරුදු හයයි. කථික පුවරුව මට වඩා උස නිසා මට ඒ කතාව දෙන්න වුණේ පෙට්ටියක් උඩ නැඟලා. වේදිකාවේ ඉන්න වැඩිහිටි අය දිහා බලද්දී මට ලොකු බයක් දැනුණා.

ස්ටීවන් හාඩි පොඩි කාලේ අම්මායි තාත්තායි අනිත් අය එක්කයි සේවේ හවුල් වෙනවා. සමුළුවක පවත්වන බයිබල් දේශනයක තේමාව සඳහන් කරලා තියෙන දැන්වීම් පුවරු එයාලා අතේ තියාගෙන ඉන්නවා.

අම්මායි, තාත්තායි එක්ක මං වීදි සේවේ කරනවා

දේශනා සේවෙදී පාවිච්චි කරන්න අපේ පණිවිඩේ කෙටියෙන් ලියලා තිබුණු පොඩි කාඩ් එකක් තාත්තා මට දුන්නා. මං තනියම ගෙයින් ගෙට සේවේ යද්දී මට අවුරුදු අටක් විතර ඇති. මං ගිය පළවෙනිම ගෙදර කෙනා මගේ කාඩ් එකේ තිබුණු පණිවිඩේ කියවලා, ‘දෙවි සැබෑ බව ඔප්පු වේවා!’ කියන පොත ගන්න කැමති වුණාම මට කොච්චර සතුටක් දැනුණාද කියනවා නම්, මං පාරට දුවගෙන ගිහිං තාත්තාට ඒ ගැන කිව්වා. රැස්වීම්වලින් සහ සේවෙන් මං ලබපු ඒ සතුට පූර්ණකාලීන සේවය කරන්න මාව පෙලඹෙව්වා.

‘මුරටැඹ’ සඟරාව තැපැල් මාර්ගයෙන් මටම ගෙන්නගන්න තාත්තා මට සැලසුමක් හදලා දුන්නා. සඟරාව මගේ අතට ලැබුණු ගමන්ම මං හැම ලිපියක්ම හරිම ආසාවෙන් කියෙව්වා. ඒකෙන් බයිබල් සත්‍යය ගැන මට තිබුණු ආදරය තව තවත් වැඩි වුණා. කාලයත් එක්කම යෙහෝවා දෙවියන් ගැන මට තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා. මං බව්තීස්ම වෙන්න තීරණය කළා.

1950දී මං තාත්තායි, අම්මායි එක්ක ඇමරිකාවේ පවත්වපු දෙවිගේ පාලනය ව්‍යාප්ත වේ කියන සමුළුවට ගියා. අගෝස්තු 3 බ්‍රහස්පතින්දා දවසේ තේමාව වුණේ “මිෂනාරිවරුන්ගේ දවස” කියන එකයි. බව්තීස්ම දේශනය දුන්නේ, පස්සේ කාලෙක පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර කේරි බාබර්. දේශනයේ අන්තිම හරියේදී බව්තීස්ම අපේක්ෂකයන්ගෙන් අහපු ප්‍රශ්න දෙකට මාත් නැඟිටලා “ඔව්” කියලා උත්තර දුන්නා. ඒ වෙද්දී මට වයස අවුරුදු 11ක් වුණත් මං ගත්ත තීරණය හරිම වැදගත් එකක් කියලා මං තේරුම් අරන් හිටියා. හැබැයි බව්තීස්ම වෙන්න තටාකෙට යන්න නම් මං බය වුණා. මොකද ඒ වෙද්දී මං පීනන්න ඉගෙනගෙන තිබුණේ නැහැ. මගේ බාප්පා මාත් එක්ක තටාකේ ගාවට ඇවිල්ලා කිව්වා “ඔයාට මුකුත් වෙන්නේ නැහැ, කිසි දේකට බය වෙන්න එපා” කියලා. තටාකේ හිටපු සහෝදරයන් මාව වඩාගෙන බව්තීස්ම කරන තැනට අරන් ගිහින් බව්තීස්ම කරලා ආයෙත් ඒ විදිහටම මාව ගොඩට අරන් ආවා. බව්තීස්ම වුණු දවසේ ඉඳන් යෙහෝවා දෙවියන් මාත් එක්කම ඉඳන් මට හරි මඟ පෙන්නලා දුන්නා.

යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න තීරණය කළා

මූලික අධ්‍යාපනයෙන් පස්සේ මට ඕන වුණේ පුරෝගාමි සේවය කරන්න. ඒත් මගේ ගුරුවරු බල කළේ උසස් අධ්‍යාපනය කරන්න කියලා. ඉතින් එයාලගේ කීම අහලා මං විශ්වවිද්‍යාලෙට ගියා. ගියාට පස්සේ තමයි මට තේරුණේ අධ්‍යාපන කටයුතු නිසා මට දෙවියන්ගේ දේවලට මුල් තැන දෙන්න බැරි වෙනවා කියලා. ඉතිං මං හොඳට හිතලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා විශ්වවිද්‍යාලෙන් මං අයින් වෙනවා කියලා ලියුමක් භාර දුන්නා. පළවෙනි අවුරුද්ද ඉවර වෙනවත් එක්කම මං එහෙන් අයින් වුණා. ඊටපස්සේ මං යෙහෝවා දෙවියන් මත සම්පූර්ණ විශ්වාසය තියලා පුරෝගාමි සේවය පටන්ගත්තා.

මං පූර්ණකාලීන සේවය පටන්ගත්තේ 1957 ජූලි මාසේ. මට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් අද්දැකීම් තියෙන හොඳ පුරෝගාමි සහෝදරයෙක්ව නම් කරන්න කියලා මං ලන්ඩන්වල තියෙන ශාඛා කාර්යාලයෙන් ඉල්ලුවා. එයාලා කිව්වා විලින්බරෝ නගරයේ සේවය කරන සහෝදර බර්ට් වාසි එක්ක සේවය කරන්න කියලා. එයා හරිම උද්‍යෝගයෙන් සේවය කරපු කෙනෙක්. සේවයට හොඳ කාලසටහනක් හදාගන්නේ කොහොමද කියලා එයා මට කියලා දුන්නා. අපේ සභාවේ හිටියේ වයසක සහෝදරියන් හයදෙනෙකුයි සහෝදර වාසියි මායි. ඒ පුංචි සභාවේ රැස්වීම්වලට හොඳින් සූදානම් වෙලා සහභාගි වෙද්දී දවසින් දවස යෙහෝවා දෙවියන් ගැන මට තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් වුණා.

කාලයක් යද්දී මං හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා මාව හිරේ දැම්මා. ඊටපස්සේ තමයි මට බාබ්රාව මුණගැහුණේ. එයා විශේෂ පුරෝගාමියෙක්. අපි 1959දී විවාහ වුණා. සංවිධානයෙන් කියන ඕනෑම තැනක සේවය කරන්න අපි කැමැත්තෙනුයි හිටියේ. අපිට මුලින්ම සේවය කරන්න ලැබුණේ එංගලන්තයේ ලැන්කෙෂර්වල. පස්සේ 1961 ජනවාරි මාසේදී ලන්ඩන්වල බෙතෙල් එකේ පවත්වපු පත් කළ සහෝදරයන් සඳහා පාසැලට එන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ඒ පාසැලෙන් චාරිකා සේවකයෙක් විදිහට සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. මං කවදාවත් හිතුවේ නෑ ඒ වගේ පැවරුමක් මට ලැබෙයි කියලා. අද්දැකීම් තිබුණු චාරිකා සේවකයෙක් බර්මිංහැම්වලදී සති දෙකක්ම මාව පුහුණු කළා. ඒකට බාබ්රාටත් එන්න අවසර ලැබුණා. ඊටපස්සේ අපිට සේවය කරන්න පැවරුම ලැබුණු ලැන්කෙෂර්වලටයි චෙෂර්වලටයි අපි ගියා.

දෙවියන් ගැන විශ්වාසය තිබ්බොත් කවදාවත් වරදින්නේ නැහැ

1962 අගෝස්තු මාසේ අපි නිවාඩු ගිහින් ඉද්දී ශාඛා කාර්යාලයෙන් අපිට ලියුමක් ලැබුණා. ඇරලා බලද්දී ඒකේ තිබුණේ ගිලියද් පාසැලට සහභාගි වෙන්න පුරවන්න ඕනෙ අයදුම් පත් දෙකක්. ඒ ගැන අපි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඒ අයදුම් පත් දෙක පුරවලා ආයෙත් ශාඛා කාර්යාලයට යැව්වා. මාස පහකට පස්සේ නිව් යෝක් බෘක්ලින්වල පවත්වපු 38වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න අපි පිටත් වුණා. මාස දහයක්ම තිබුණු ඒ පාසැලෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා.

ගිලියද් පාසැලෙන් අපිට යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ සංවිධානය ගැන වගේම ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් කරන සේවය ගැන ගොඩක් දේවල් ඉගැන්නුවා. ඒ වගේම අපේ පංතියේ හිටපු ශිෂ්‍යයන්ගෙනුත් අපි දේවල් ඉගෙනගත්තා. හැම දවසකම පාසැලේ උපදේශකයෙක් වුණු සහෝදර ෆ්‍රෙඩ් රස්ක් එක්ක අමතර පැවරුම් කරන්න මට අවස්ථාව ලැබුණ නිසා එයාගෙනුත් මං හුඟක් වටින දේවල් ඉගෙනගත්තා. එයා මට කාවද්දපු එක දෙයක් තමයි කෙනෙක්ට උපදෙස් දෙද්දී කොයි වෙලෙත් ඒක බයිබලය මත පදනම් කරගන්න කියලා. ඒ වගේම සහෝදර නේතන් නෝර්, ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස් සහ කාල් ක්ලයින් වගේ අද්දැකීම් තියෙන සහෝදරයනුත් අපිට දේශන දෙන්න ආවා. ඒ විතරක් නෙවෙයි 1914ත් 1919ත් අතර කාලෙදී යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්නපු විදිහ ගැන අපිට දේශනයක් දීපු සහෝදර ඒ. එච්. මැක්මිලන්ගෙනුත් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. එයා හරිම නිහතමානී කෙනෙක්.

පැවරුමේ වෙනසක්

ගිලියද් පාසැල ඉවර වේගෙන එද්දී සහෝදර නෝර් අපිට කිව්වා අපිට පැවරුම ලැබෙන්නේ අප්‍රිකාවේ බුරුන්ඩිවලට කියලා. ඒක අහපු ගමන් අපි ඉක්මනටම බෙතෙල් එකේ ලයිබ්‍රරි එකට ගිහින් ‘වාර්ෂික පොතෙන්’ ඒ රටේ තොරතුරු ගැන හොයලා බැලුවා. ඒත් අපිට කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. අපිට යන්න වෙන්නේ එක ප්‍රචාරකයෙක්වත් නැති, අපි ගොඩක් තොරතුරු දන්නේ නැති රටකට නිසා අපිට ලොකු බයක් දැනුණා. හැබැයි අපි ඒ ගැන යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළාම අපේ බය නැති කරගන්න ඔහු අපිට උදව් කළා.

අපිට ලැබුණු ඒ පැවරුම අපිට අලුත්ම අද්දැකීමක් වුණා. මොකද එහේ කාලගුණයට, සංස්කෘතියට හුරු වෙන්න විතරක් නෙවෙයි ප්‍රංශ භාෂාවත් ඉගෙනගන්න අපිට සිද්ධ වුණා. ඉන්න තැනක් හොයාගන්න එකත් ලේසි වුණේ නැහැ. අපේ ගිලියද් පාසැලේ හිටපු හැරී ආනට් ආපහු එයාගේ පැවරුම කරන්න සැම්බියාවට යන්න කලින් අපිව බලලා යන්න ආවා. ඉන්න තැනක් හොයාගන්න එයා අපිට උදව් කළා. ඒත් වැඩි කාලයක් යන්න කලින් ආණ්ඩුවේ නිලධාරීන් අපිට විරුද්ධ වුණා. මොකද යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් ගැන එයාලා කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. එයාලා අපිට කිව්වා එහේ නතර වෙන්න නම් වැඩ කරන්න අවසරපතක් ගන්න වෙනවා කියලා. ඉතිං හැම දේටම හැඩගැහිලා සතුටින් සේවය කරන්න පටන්ගත්ත ගමන්ම වගේ ඒ පැවරුම දාලා එන්න අපිට සිද්ධ වුණා. අපිට ඊළඟ පැවරුම ලැබුණේ උගන්ඩාවේ. ඒ නිසා ආයෙත් සැරයක් හැම දේකටම අලුතෙන් හුරු වෙන්න අපිට සිද්ධ වුණා.

උගන්ඩාවට අපිට යන්න වුණේ වීසා නැතුව නිසා අපිට ලොකු බයක් දැනුණා. හැබැයි අපි යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තිබ්බා. අපි එහේ ගියාට පස්සේ කැනඩාවේ ඉඳන් එහේ සේවය කරන්න ඇවිත් හිටපු සහෝදරයෙක් එහේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිලධාරියෙක්ට අපිට වෙලා තියෙන දේ ගැන පැහැදිලි කළා. ඒ නිසා අපේ වීසා එක හදාගන්න කල් මාස කීපයකට එහේ නතර වෙලා ඉන්න එයා අපිට අවසර දුන්නා. ඒකෙන් අපිට හොඳින්ම පැහැදිලි වුණා යෙහෝවා දෙවියන් අපිත් එක්කම ඉඳන් අපිට උදව් කරනවා කියලා.

උගන්ඩාවේ තිබුණු තත්වය බුරුන්ඩිවලට වඩා ගොඩක් වෙනස්. මොකද උගන්ඩාවේ සාක්ෂිකරුවන් 28දෙනෙක් හිටියා. එයාලා දේශනා සේවය පටන් අරගෙනයි තිබුණේ. අනික මෙහේ ඉන්න හුඟක් දෙනෙක් ඉංග්‍රීසි භාෂාව කතා කළා. හැබැයි වැඩි කාලයක් යන්න කලින් අපිට තේරුණා මිනිසුන්ගේ හදවත්වලට කතා කරන්න නම් අඩුම ගාණේ එයාලගේ රටේ භාෂාවලින් එක භාෂාවක් හරි අපිට ඉගෙනගන්නම වෙනවා කියලා. ඉතින් අපි සේවය කරපු කම්පාලා කියන ප්‍රදේශයේ අය කතා කළේ ලුගන්ඩා භාෂාව නිසා අපි ඒ භාෂාව ඉගෙනගත්තා. ඒක දක්ෂ විදිහට කතා කරන්න අපිට අවුරුදු ගාණක් ගියා. හැබැයි ඒකෙන් ලැබුණු ප්‍රයෝජන නම් කියලා නිම කරන්න බැහැ. බයිබල් ශිෂ්‍යයන්ගේ හිත්වලට වැඩියෙන් කාවද්දන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න ඒක අපිට උදව් වුණා. ඒ විතරක් නෙවෙයි අපි ඒ භාෂාවෙන් කතා කරද්දී ශිෂ්‍යයනුත් හුඟක් සතුටු වුණා. ඉගෙනගන්න දේවල් ගැන එයාලට හැඟෙන විදිහ බය නැතුව එයාලා අපිත් එක්ක කියන්න පටන්ගත්තා.

සෆාරි ගොඩයි

පින්තූරවල අදහස: 1. ස්ටීවන් හාඩි අප්‍රිකාවේ සේවය කළ තැන් පෙන්නන සිතියමක්. 2. ස්ටීවන් වෑන් එක ළඟ පුටුවක ඉඳගෙන ඉන්නවා. 3. ස්ටීවන්ගේ පළවෙනි බිරිඳ බේසමක එළවළු හෝදනවා.

උගන්ඩාවේ අපි සංචාරය කරනවා

එහේ හිටිය සත්‍යය ගැන දැනගන්න කැමති අයට බයිබලය ගැන තොරතුරු උගන්වපු එකෙන් අපි ලොකු සතුටක් අද්දැක්කා. එහේ චාරිකා සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණාම අපේ සතුට තවත් වැඩි වුණා. කෙන්යාවේ ශාඛා කාර්යාලයෙන් අපිට කිව්වා මෙහේ විශේෂ පුරෝගාමීන්ට සේවය කරන්න හොඳම තැන් ගැන හොයලා බලන්න කියලා. ඒ නිසා අපි රට පුරාම සංචාරය කළා. අපිට දැනුණේ හරියට අපි සෆාරියක් යනවා වගේ. ඒ මිනිසුන්ට සාක්ෂිකරුවන්ව මුණගැහිලා තිබුණේ නැති වුණත් එයාලා අපිට හරිම ආදරෙන් සැලකුවා. සමහර අය අපිට කන්නත් දුන්නා.

ඊටපස්සේ මට යන්න ලැබුණේ වෙනස්ම විදිහේ සෆාරියක්. මං කම්පාලාවල ඉඳන් දවස් දෙකක් කෝච්චියෙන් ගිහින් කෙන්යාවේ මොම්බාසා කියන වරායට ගියා. එතනින් මං නැවකට නැඟලා ඉන්දියානු සාගරයේ තිබුණු සීෂෙල්ස් දූපතට ගියා. 1965 ඉඳන් 1972 වෙන කල්ම මගේ පැවරුමට සීෂෙල්ස්වල හිටපු සහෝදරයන් ගැන හොයලා බලන එකත් ඇතුළත් වුණා. එහෙට යද්දී බාබ්රාත් මාත් එක්ක ආවා. මං මුලින්ම එහෙට යද්දී එහේ හිටියේ ප්‍රචාරකයන් දෙන්නෙක් විතරයි. හැබැයි කාලයක් යද්දී පුංචි කණ්ඩායමක් හැදිලා ඊටපස්සේ ලොකු සභාවක් හැදුණා. පස්සේ මට එරිත්‍රියාවේ, ඉතියෝපියාවේ සහ සුඩානයේ හිටපු සහෝදරයන්ව බලන්න යන්නත් අවස්ථාව ලැබුණා.

උගන්ඩාවේ හමුදා පාලනයක් ඇති වුණාම රටේ තත්වය දරුණු අතට හැරුණා. ‘සීසර්ගේ දේ සීසර්ට දෙන්න’ කියලා යේසුස් කියපු අණට කීකරු වෙන එක කොච්චර වැදගත්ද කියලා ඒ කාලෙදී මං තේරුම්ගත්තා. (මාක් 12:17) එක අවස්ථාවක රටේ ඉන්න සියලුම විදේශිකයන් ළඟම තියෙන පොලීස් ස්ථානයේ ලියාපදිංචි වෙන්න ඕනෙ කියලා රජයෙන් අණ කළා. අපි ඉක්මනින්ම ඒ අණට කීකරු වුණා. ඊට ටික දවසකට පස්සේ මායි තව මිෂනාරිවරයෙකුයි කම්පාලා හරහා යද්දී රහස් පොලීසියේ කට්ටියක් අපේ වාහනේ නතර කළාම අපේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙන්න පටන්ගත්තා. අපි ඔත්තුකාරයන් කියලා එයාලා අපිට චෝදනා කරලා අපිව අත්අඩංගුවට අරන් ප්‍රධාන පොලීස් මූලස්ථානයට අපිව අරන් ගියා. අපි එයාලට කිව්වා අපි කිසිම දේශපාලනයකට හවුල් වෙන්නේ නැහැ, දැනටමත් අපි පොලීසියේ ලියාපදිංචි වෙලයි තියෙන්නේ කියලා. ඒත් ඒ දේවල් එයාලා කනකටවත් ගත්තේ නැහැ. ඊටපස්සේ පොලීස් ආරක්ෂාව යටතේ අපේ මිෂනාරී නිවස ළඟ තියෙන පොලීසියට අපිව අරගෙන ආවා. අපි එහේ කලින් ලියාපදිංචි වෙලා හිටිය නිසා එහේ හිටිය නිලධාරියෙක් අපිව අඳුනගෙන අපිව නිදහස් කරන්න කියලා කිව්වාම අපිට දැනුණේ පුදුම සහනයක්.

ඒ දවස්වල හැම තැනම හමුදාවෙන් මාර්ග බාධක දාලා තිබුණා. සමහර වෙලාවට ඒ මුරපොළවල්වල හිටපු නිලධාරීන් හොඳටම බීලයි හිටියේ. ඒ වගේ තැන්වල අපේ වාහනේ නැවැත්තුවාම නම් අපි හිටියේ හොඳටම බය වෙලා. ඒ හැම වෙලාවකම අපි යාච්ඤා කළාම අපිට ලොකු සන්සුන්කමක් දැනුණා. ඒ වගේම කිසි ප්‍රශ්නයක් නැතුව එතනින් යන්නත් පුළුවන් වුණා. හැබැයි 1973දී රජයෙන් අණ කළා විදේශ රටවලින් ඇවිත් හිටිය මිෂනාරිවරුන් හැමෝටම උගන්ඩාවෙන් පිට වෙන්න කියලා.

ස්ටීවන් මුද්‍රණ යන්ත්‍රයක් පාවිච්චි කරනවා.

අයිවරි කෝස්ට් බෙතෙල් එකේ අපගේ ‘රාජ්‍ය සේවාව’ මුද්‍රණය කරමින්

අපේ පැවරුම ආයෙත් වෙනස් වුණා. ඒ බටහිර අප්‍රිකාවේ අයිවරි කෝස්ට්වලට. එහේ තිබුණේ වෙනස්ම සංස්කෘතියක්. ඒකට හැඩගැහෙන්නත් ප්‍රංශ භාෂාවෙන් හැම දෙයක්ම කරන්නත් ආයෙත් හුරු වෙන්න වුණා. ඒ වගේම විවිධ පසුබිම්වලින් ආපු මිෂනාරිවරුන් එක්ක පෑහිලා වැඩ කරන්නත් අපි ඉගෙනගත්තා. සත්‍ය පිළිගන්න කැමති නිහතමානී අයව හොයාගන්න යෙහෝවා දෙවියන් උපකාර කරන විදිහ අපි මේ පැවරුමේදීත් අද්දැක්කා. යෙහෝවා දෙවියන් මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තියලා වැඩ කරපු නිසා ඔහු අපිට මේ වතාවෙත් හරි මඟ පෙන්නුවා.

ඊළඟට වුණේ අපි හිතුවේවත් නැති දෙයක්. බාබ්රාට පිළිකාවක් හැදුණා. ඒකට ප්‍රතිකාර කරන්න අපි කීප වතාවක්ම යුරෝපයට ගියත් ඒකෙන් පලක් වුණේ නැහැ. ඒ නිසා 1983දී අප්‍රිකාවේ අපි කරමින් හිටපු පැවරුම අපිට නතර කරන්න වුණා. ඒ ගැන අපි දෙන්නටම දැනුණේ කියාගන්න බැරි තරම් දුකක්.

තත්වයන් වෙනස් වුණා

අපි ලන්ඩන් බෙතෙල් එකට ආවට පස්සේ බාබ්රාගේ පිළිකාව තවත් දරුණු අතට හැරුණා. ඒ නිසා මගේ ආදරණීය බිරිඳව මට අහිමි වුණා. ඒ කාලෙදී බෙතෙල් පවුලේ අය මාව සනසපු විදිහ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා ඒ තත්වයට හැඩගැහෙන්න එක යුවළක් මගේ ළඟින්ම ඉඳලා මට උදව් කළා. ටික කාලෙකින් බෙතෙල් එකේ සේවය කරමින් හිටපු ඈන්ව මට මුණගැහුණා. එයා කලින් විශේෂ පුරෝගාමි සේවය කරපු කෙනෙක්. එයා වැඩ කරපු විදිහෙන් මං තේරුම්ගත්තා එයා යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරෙයි කියලා. 1989දී අපි විවාහ වුණා. එදා ඉඳන් අපි බෙතෙල් එකේ සේවය කරනවා.

ස්ටීවන් සහ ඈන් හාඩි.

මායි ඈනුයි බ්‍රිතාන්‍යයේ අලුත් බෙතෙල් සංකීර්ණය ඉස්සරහා

1995 ඉඳලා 2018 වෙන කල් ලෝකේ පුරා විවිධ රටවල් 60කට විතර මූලස්ථාන නියෝජිතයෙක් විදිහට මට යන්න ලැබුණු අවස්ථාව මං ගොඩක් අගේ කරනවා. ඒ ගිය හැම වතාවකම දෙවියන්ගේ සෙනඟ මොන තත්වයකට මුහුණ දුන්නත් දෙවියන් ආදරෙන් ඒ අයව රැකබලා ගන්න විදිහ මං දැක්කා.

2017දී අප්‍රිකාවේ සංචාරය කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ නිසා බුරුන්ඩිවල ඉන්න සහෝදර සහෝදරියන්ට ඈන්ව හඳුන්වලා දෙන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි එහේ වර්ධනය දැකලා අපි දෙන්නම ගොඩක් සතුටු වුණා. 1964දී මං ගෙයින් ගෙට ගියපු පැත්තක තමයි එහේ බෙතෙල් එක හදලා තියෙන්නේ. දැන් බුරුන්ඩිවල ප්‍රචාරකයන් 15,500කටත් වැඩිය ඉන්නවා.

2018දී මං යන්න ඕන රටවල්වල ලැයිස්තුවට අයිවරි කෝස්ට් ඇතුළත් වෙලා තියෙනවා කියලා දැක්කාම මට දැනුණේ පුදුම සතුටක්. එහේ අගනුවර වන අබිජ්ජාන්වලට අපි ආවාම මට දැනුණේ ගෙදර ආවා වගේ. අපි බෙතෙල් එකේ නැවතිලා හිටපු කාමරේ තිබුණු දුරකථන නාමාවලිය බලාගෙන යද්දී අපේ අල්ලපු කාමරේ ඉන්නේ මං අඳුරන කෙනෙක්නේ කියලා මට හිතුණා. එයාගේ නම සෝසු. මං අබිජ්ජාන්වල සේවය කරපු කාලේ එයාත් වැඩිමහල්ලෙක් විදිහට එහේ සේවේ කළා. හැබැයි ඇත්තටම අල්ලපු කාමරේ හිටියේ මං හිතපු සෝසු නෙවෙයි එයාගේ පුතා.

කොච්චර අභියෝග ආවත් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී ඔහු කවදාවත් අපිව තනි කරන්නේ නැහැ. ඔහු දිගටම අපිට හරි මඟ පෙන්නනවා. ඒක මං මගේ ජීවිතෙන්ම අද්දැක්කා. දවසින් දවස ආලෝකමත් වෙන ජීවනයට යන පාරේ දිගටම ගමන් කරන්නයි අපේ එකම ආසාව.—හිතෝ. 4:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න