ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 ඔක්තෝබර් 29-31 පි.
  • අතීතයේ ඊශ්‍රායෙල්වරු යුද්ධ කළා නම් ඇයි අපිට බැරි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අතීතයේ ඊශ්‍රායෙල්වරු යුද්ධ කළා නම් ඇයි අපිට බැරි?
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1. දෙවියන්ගේ සෙනඟ අයිති වුණේ එක ජාතියකටයි
  • 2. ඊශ්‍රායෙල්වරුන්ට යුද්ධ කරන්න කිව්වේ යෙහෝවා දෙවියන්
  • 3. දෙවියන් ගැන විශ්වාසයක් තිබුණ අයව ඊශ්‍රායෙල්වරු මැරුවේ නැහැ
  • 4. යුද්ධ කරද්දී ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දීපු නීති පිළිපදින්න වුණා
  • 5. දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් සටන් කළා
  • සැබෑ ක්‍රිස්තියානීන් සාමය ඇති කරන්න වෙහෙසෙනවා
  • යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අතීතයේදී
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධ
    2017 පිබිදෙව්!
  • යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අද දින
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 ඔක්තෝබර් 29-31 පි.
අශ්වයෙක්ගේ පිටේ ඉන්න ආසා රජ එයාගේ හමුදාව එක්ක සටනට යනවා.

අතීතයේ ඊශ්‍රායෙල්වරු යුද්ධ කළා නම් ඇයි අපිට බැරි?

“ප්‍රංශෙට හරි එංගලන්තෙට හරි විරුද්ධව යුද්ධ කළේ නැත්තං උඹලාව මරනවා!” දෙවෙනි ලෝක මහා යුද්ධය අතරතුරේදී කේන්තියෙන් පුපුර පුපුර හිටපු නාට්සි නිලධාරියෙක් සාක්ෂිකරුවන් කීපදෙනෙක්ට ඒ විදිහට තර්ජනය කළා. ආයුධ ගත්ත සෙබළු ඒ ළඟම හිටියත් අපේ සහෝදරයෝ නෙවෙයි පොඩ්ඩක්වත් බය වුණේ. සාක්ෂිකරුවන් හැටියට අපේ ස්ථාවරය මොකක්ද කියලා ඒ සිද්ධියෙන් හොඳටම පැහැදිලියි. අපිව මරනවා කියලා තර්ජනය කළත් අපි යුද්ධවලට සම්බන්ධ වෙන්නෙවත් කිසිම දේකදී පැති ගන්නෙවත් නැහැ.

හැබැයි ක්‍රිස්තියානීන් කියලා කියාගන්න හුඟදෙනෙක් මෙහෙම තර්ක කරනවා. ‘ඉස්සර ඊශ්‍රායෙල්වරු තමයි දෙවියන්ගේ සෙනඟ. එයාලත් යුද්ධ කළා නම් ඇයි අපිට බැරි?’ එයාලා හිතනවා ක්‍රිස්තියානීන් තමන්ගේ රට, ජාතිය වෙනුවෙන් නැඟී හිටියාට කිසිම වරදක් නැහැ කියලා. එහෙම හිතන කෙනෙක්ට ඔයා දෙන උත්තරේ මොකක්ද? ඒකට උත්තරයක් දෙන්න නම් ඊශ්‍රායෙල්වරුයි, අද ඉන්න දෙවියන්ගේ සෙනඟයි අතර පැහැදිලි වෙනස්කම් තියෙනවා කියලා ඔයා එයාලට පෙන්නන්න ඕනේ. ඒ වගේ වෙනස්කම් පහක් අපි බලමු.

1. දෙවියන්ගේ සෙනඟ අයිති වුණේ එක ජාතියකටයි

අතීතයේදී යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් ජාතියව ‘සියලු ජාතීන් අතරින් විශේෂ සෙනඟක්’ විදිහට තෝරගත්තා. (නික්. 19:5) එයාලට ජීවත් වෙන්න වෙනම ප්‍රදේශයකුත් දුන්නා. ඉතින් වෙනත් ජාතීන්ට විරුද්ධව යුද්ධ කරන්න කියලා දෙවියන් කියද්දී ඊශ්‍රායෙල්වරුන් ඇත්තටම මැරුවේ දෙවියන්ගේ සෙනඟව නෙවෙයි.a

අද දෙවියන්ගේ සෙනඟට “සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද” අයිතියි. (එළි. 7:9) ඉතින් ක්‍රිස්තියානීන් යුද්දෙට ගියා නම් සමහර වෙලාවට එයාලට මරන්න වෙන්නේ එයාලගෙම අයවමයි.

2. ඊශ්‍රායෙල්වරුන්ට යුද්ධ කරන්න කිව්වේ යෙහෝවා දෙවියන්

අතීතයේදී ඊශ්‍රායෙල්වරු යුද්ධ කරන්න ඕනෙ මොන අවස්ථාවලදීද, එහෙම කරන්න ඕනෙ ඇයි කියලා තීරණය කළේ යෙහෝවා දෙවියන්. උදාහරණෙකට කානානි ජාතිය ගැන හිතන්න. එයාලා භූතවාදයේ හවුල් වුණ, පහත් සදාචාරයක් තිබුණ, දරුවන්ව අමු අමුවේ පූජා කරපු ජාතියක්. එයාලා කරපු දේවල් පොරොන්දු දේශයට ආපු ඊශ්‍රායෙල්වරුන්ට බලපාන්න තිබුණා. ඒකයි එයාලව විනාශ කරන්න කියලා දෙවියන් කිව්වේ. (ලෙවී. 18:24, 25) ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ආපු සතුරු ජාතීන්වත් විනාශ කරන්න දෙවියන් අවසර දුන්නා. (2 සාමු. 5:17-25) හැබැයි එයාලට හිතුණ හිතුණ විදිහට යුද්ධ කරන්න දෙවියන් කිසිම වෙලාවක අවසර දුන්නේ නැහැ. එහෙම කරපු අවස්ථාවලදී එයාලට අත් වුණේ අන්ත පරාජයක්!—ගණන්. 14:41-45; 2 ලේක. 35:20-24.

අද මිනිස්සුන්ට යුද්ධ කරන්න කියලා දෙවියන් කියන්නේ නැහැ. එයාලා ගොඩක් වෙලාවට යුද්ධ කරන්නේ දේශ සීමා පුළුල් කරගන්න, ආර්ථික වාසි ගන්න නැත්නම් දේශපාලනික හේතු නිසා. එතකොට දෙවියන්ගේ නාමයෙන් කරනවා කියන යුද්ධ? දෙවියන් ඒවා අනුමත කරනවාද? නැහැ. යෙහෝවා සතුරන්ව විනාශ කරලා තමන්ගේ සෙනඟව බේරගන්නේ අනාගතයේදී. ඒ හර්–මගෙදොන් යුද්ධයේදී. (එළි. 16:14, 16) ඒකට ඔහු පාවිච්චි කරන්නේ ඔහුගේ ස්වර්ගික සේනාව මිසක් මිනිස්සුන්ව නෙවෙයි.—එළි. 19:11-15.

3. දෙවියන් ගැන විශ්වාසයක් තිබුණ අයව ඊශ්‍රායෙල්වරු මැරුවේ නැහැ

රාහබ්, මහලු වයසේ ඉන්න එයාගේ පවුලේ කෙනෙක් එක්ක විනාශ වුණ යෙරිකෝ නුවරෙන් එළියට එනවා. පවුලේ අනිත් අය එයාලගේ පිටිපස්සෙන් එනවා.

යෙරිකෝව විනාශ කරද්දී රාහබ්වයි, එයාගේ පවුලේ අයවයි බේරුවා වගේ දැන් යුද්ධ කරන අය දෙවියන්ට විශ්වාසවන්ත අයව බේරගන්නවාද?

අතීතයේදී ඊශ්‍රායෙල්වරු විනාශ කළේ විනාශයට සුදුසුයි කියලා දෙවියන් කියපු අයව විතරයි. ඒ අය අතරේ දෙවියන්ව විශ්වාස කරපු අය හිටියා නම් එයාලව මැරුවේ නැහැ. උදාහරණෙකට යෙහෝවා යෙරිකෝ නුවර විනාශ කරන්න කියලා අණ කළත් රාහබ්ට සහ එයාගේ පවුලේ අයට ඊශ්‍රායෙල්වරු අත තිබ්බේ නැහැ. (යොෂු. 2:9-16; 6:16, 17) ඒ විතරක් නෙවෙයි දෙවියන් ගැන ගරුබියක් පෙන්නපු ගිබියොන්වරුන්වත් ඊශ්‍රායෙල්වරු මැරුවේ නැහැ.—යොෂු. 9:3-9, 17-19.

අද සිද්ධ වෙන යුද්ධවලදී දෙවියන්ව විශ්වාස කරන අයගේ ජීවිත බේරෙනවාද? නැහැ නේද? ඒ වගේම යුද්ධ නිසා නිරපරාදේ අහිංසක ජීවිත ගොඩක් නැති වෙනවා.

4. යුද්ධ කරද්දී ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දීපු නීති පිළිපදින්න වුණා

අතීතයේදී ඊශ්‍රායෙල්වරු කරපු යුද්ධවලදී එයාලට ඕන ඕන විදිහට වැඩ කරන්න පුළුවන් වුණේ නැහැ. එයාලා දෙවියන් දීපු මඟ පෙන්වීම් පිළිපදින්න ඕන වුණා. උදාහරණෙකට සමහර අවස්ථාවලදී දෙවියන් එයාලට කිව්වා සතුරු ජාතීන්ට ‘සමාදාන වෙන්න ආරාධනා කරලා ඒකට කොන්දේසි’ ඉදිරිපත් කරන්න කියලා. (ද්වි. 20:10) යුද්දෙකට යද්දී ශාරීරිකව වගේම සදාචාරමය අතින් පිරිසිදුව ඉන්න කියලත් කඳවුරු පිරිසිදුව තියාගන්න කියලත් එයාලට අණ කළා. (ද්වි. 23:9-14) ඒ කාලේ අවට හිටපු ජාතීන් නුවරක් අල්ලගත්තාම ස්ත්‍රීන්ව දූෂණය කළා. හැබැයි ඊශ්‍රායෙල්වරුන්ට නම් ඒ වගේ දුෂ්ට දේවල් කරන්න දෙවියන් කොහොමටවත් ඉඩ දුන්නේ නැහැ. එයාලා අල්ලගත්ත නුවරක හිටපු ස්ත්‍රියක්ව විවාහ කරගන්න අවසර තිබුණා. ඒත් ඒ නුවර අල්ලගෙන මාසෙකට පස්සේ.—ද්වි. 21:10-13.

අද ගොඩක් රටවල්, යුද්දෙකදී කරන්නේ මොනවාද කරන්නේ නැත්තේ මොනවාද කියන එක ගැන ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ සිවිල් ජනතාව ආරක්ෂා කරන්න. ඒත් ගොඩක් වෙලාවට ඒ කොන්දේසි උල්ලංගනය වෙනවා.

5. දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් සටන් කළා

යොෂුවා අණ කරපු විදිහට ඊශ්‍රායෙල්වරුන් හයියෙන් කෑගහද්දී සහ පූජකයන් හොරණෑ පිඹිද්දී යෙරිකෝවේ තාප්ප කඩාගෙන වැටෙනවා. ඒත් ජනේලයේ රතු පාට ලණුවක් ගැටලා තියෙන තාප්පයේ කොටස කඩන් වැටුණේ නැහැ.

ඊශ්‍රායෙල්වරුන්ට යෙරිකෝව අල්ලගන්න උදව් කළා වගේ දෙවියන් අද ඉන්න ජාතීන්ටත් යුද්ධ දිනන්න උදව් කරනවාද?

අතීතයේදී යෙහෝවා ආශ්චර්යයන් කරලා ඊශ්‍රායෙල්වරුන්ට දිනන්න උදව් කළා. උදාහරණෙකට යෙරිකෝව අල්ලගද්දී දෙවියන් කියපු විදිහට ඊශ්‍රායෙල්වරුන් ‘හැමෝම එක හඬින් මහත් ඝෝෂාවක් නැඟුවා. එතකොට ඒ නගරයේ පවුර බිමට කඩා වැටුණා.’ ඒ නිසා එයාලා ලේසියෙන්ම යෙරිකෝව අල්ලගත්තා. (යොෂු. 6:20) අමෝරිවරුන් එක්ක කරපු සටනේදීත් දෙවියන් ඒ වගේ ආශ්චර්යයක් කළා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවි විශාල හිම කැට වර්ෂාවකින් ඔවුන්ට පහර දුන්නේය. ඊශ්‍රායෙල්වරුන් මරා දැමූ අයගේ ගණනට වඩා හිම කැට වර්ෂාවෙන් මැරුම් කෑ අයගේ ගණන අධික විය.’—යොෂු. 10:6-11.

අද නම් දෙවියන් මේ ලෝකේ කිසිම ජාතියක් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. ඔහුගේ රාජ්‍යයේ රජ වන යේසුස් කිව්වා දේවරාජ්‍යය ‘මේ ලෝකයට සම්බන්ධ නැහැ’ කියලා. (යොහ. 18:36) මේ ලෝකේ හැම ආණ්ඩුවක්ම තියෙන්නේ සාතන්ගේ අතේ. මේ සිද්ධ වෙන යුද්ධ, අපරාධ දිහා බලද්දී ඒවා පිටිපස්සේ ඉන්න සාතන් දුෂ්ට කෙනෙක් කියලා අපිට තේරෙනවා.—ලූක් 4:5, 6; 1 යොහ. 5:19.

සැබෑ ක්‍රිස්තියානීන් සාමය ඇති කරන්න වෙහෙසෙනවා

අපි බලපු විදිහට ඊශ්‍රායෙල්වරුයි, අපියි අතරේ ගොඩක් වෙනස්කම් තියෙනවා. ඒත් අපි යුද්ධ කරන්නේ නැත්තේ ඒ නිසාම නෙවෙයි. මොකද දෙවියන් කිව්වා අන්තිම කාලේ ඉන්න ඔහුගේ සෙනඟ යුද්ධ කරනවා තියා “යුද්ධයට පුහුණු වෙන්නේවත් නැහැ” කියලා. (යෙසා. 2:2-4) යේසුත් කිව්වා ඔහුගේ අනුගාමිකයන් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’ කියලා. යුධ ගැටුම් සහ මතභේදවලදී එයාලා හිතින්වත් පැති ගන්නේ නැහැ.—යොහ. 15:19.

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන් තවත් දේවල් බලාපොරොත්තු වුණා. අමනාපය, වෛරය වගේ ගුණාංගත් කෙනෙක්ව යුද්ධ කරන්න පොලඹවන වැරදි සිතුවිලිත් සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියලා යේසුස් කිව්වා. (මතෙ. 5:21, 22) ඒ වගේම “සාමය ඇති කිරීමට වෙහෙසෙන්න” කියලත් සතුරන්ට දිගටම ආදරේ කරන්න කියලත් ඔහු කිව්වා.—මතෙ. 5:9, 44.

අපි කවුරුත් කැමති නැහැ යුද්ධ කරන්න. හැබැයි සභාවේ ඉන්න කෙනෙක්ව හතුරෙක් කියලා ඔයාට හිතිලා තියෙනවාද? දිගටම ඒ වගේ සිතුවිලිවලට ඉඩ දුන්නොත් සභාවේ මතභේද ඇති වෙයි. ඒ නිසා හිතේ කොනක හරි ඒ වගේ සිතුවිල්ලක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න.—යාකො. 4:1, 11.

යුද්ධ කරනවා වෙනුවට ආදරෙන්, සාමයෙන් ඉන්න මහන්සි වෙමු. (යොහ. 13:34, 35) යෙහෝවා දෙවියන් මේ පොළොවෙන් යුද්ධ සම්පූර්ණයෙන්ම අයින් කරන දවස එන කල් හිතින්වත් පැත්තක් නොගෙන ඉන්න දිගටම අධිෂ්ඨාන කරගමු.—ගීතා. 46:9.

a සමහර අවස්ථාවලදී ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරේ යුධ ගැටුම් ඇති වුණා. හැබැයි ඒ වගේ දේවල් වෙනවාට දෙවියන් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. (1 රාජා. 12:24) ඒත් කලාතුරකින් සමහර ඊශ්‍රායෙල් ගෝත්‍රවලට විරුද්ධව යුද්ධ කරන්න දෙවියන් අවසර දුන්නා. එහෙම කළේ එයාලා දෙවියන්ව අත්හැරපු නිසා නැත්නම් වෙනත් බරපතළ වැරදි කරපු නිසා.—විනි. 20:3-35; 2 ලේක. 13:3-18; 25:14-22; 28:1-8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න