“සුවකළ හැකි” රෝග නැවත මතුවන්නේ මන්ද?
නිවසක් මුළුමනින්ම පිරිසිදු කර තිබුණා විතරයි. කෙසේවෙතත් දවස්, සති සහ මාස ගෙවී යනවාත් සමඟම, දූවිලි සහ කුණු ක්‍රමක්‍රමයෙන් නැවත මතුවේ. එබැවින්, එක් වරක් මුළුමනින්ම පවිත්‍ර කිරීම ප්‍රමාණවත් නොවේ. දිගටම නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වේ.
නවීන වෛද්‍ය ක්‍රම මගින් මැලේරියාව, TB (ක්ෂය රෝගය) සහ උපදංශය සම්පූර්ණයෙන්ම තුරන් කරනු ලැබුවාක් මෙන් කලකට පෙනෙන්නට විය. එනමුත් පර්යේෂණ සහ ප්‍රතිකාර මගින් අවශ්‍ය කරන ලද නඩත්තුව බොහෝ විට නොසලකා හරිනු ලැබීය. දැන් “දූවිලි සහ කුණු” නැවත මතු වී තිබේ. “සමස්ත ලෝක මට්ටමකින් ගත් කළ, මැලේරියා රෝගයේ තත්ත්වය ඉතා බරපතළ එකක් වන අතර වඩා දරුණු වෙමින් පවතී,” කියා ජා.සෞ.සං. (ජගත් සෞඛ්‍ය සංවිධානය)හි වෛද්‍ය හිරෝෂී නාකාජීමා පවසයි. “ක්ෂය රෝගය නැවත මතු වී තිබෙන බව මිනිසුන් වටහා ගත යුතුය—ඇරත් එය පැමිණ තිබෙන්නේ ඉතා ප්‍රබල අයුරකිනි,” යනුවෙන් ක්ෂය රෝග විශේෂඥ වෛද්‍ය ලී රයික්මන් අනතුරු අඟවයි. තවද මෙම දශකයේ මුල් භාගයේදී ද නිව් යෝක් ටයිම්ස්හි මෙසේ දැනුම් දෙන ලදි: “වර්ෂ 1949න් පසු උපදංශ රෝගීන්ගේ ඉහළම මට්ටමක් පැවත ඇත.”
මැලේරියාව—ලෝකයේ අඩකට පමණ තර්ජනයක් වෙයි
එය සම්පූර්ණයෙන්ම වාගේ තුරන් කර තිබෙන බව ප්‍රකාශ වී වසර 40කට පමණ පසුව, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, කම්පූචියාව, චීනය, තායිලන්තය, බ්‍රසීලය, වියට්නාමය, ශ්‍රී ලංකාව සහ අප්‍රිකාවේ විවිධ ප්‍රදේශවලට මැලේරියාව දැන් බරපතළ තර්ජනයක් ඉදිරිපත් කරයි. “සෑම විනාඩියකටම එම ආසාදනයෙන් දරුවෝ දෙදෙනෙකු මියයති,” යනුවෙන් ල ෆිගරෝ නමැති ප්‍රංශ පුවත්පත වාර්තා කරයි. වාර්ෂික මරණ සංඛ්‍යාව මිලියන දෙකක් වෙත්—එය වනාහි ඒඩ්ස් රෝගයෙන් මියයන අයට වඩා අතිශයින් විශාල සංඛ්‍යාවකි.
පුද්ගලයන් මිලියන 270කට කිට්ටු සංඛ්‍යාවක් මැලේරියා පරපෝෂිතයාගෙන් ආසාදනය වී සිටින නමුත්, බිලියන 2.2ක් අවදානම් තත්ත්වයක සිටින බව සැලකේ. “එක් කලක ලෝකයේ ජනගහණයෙන් සියයට 90ක ප්‍රමාණයකින් බොහෝ දුරට තුරන් කරනු ලැබූ නැතහොත් පාලනය කරනු ලැබූ මැලේරියාව, දැන් අපගෙන් සියයට 40කටත් වඩා වැඩි පිරිසකට තර්ජනයක් එල්ල කරන්නේ කොහොමද?” යයි නිව් සයන්ටිස්ට් සඟරාවේ ෆිලීඩා බ්‍රවුන් ප්‍රශ්න කරන්නීය. ඊට හේතු බොහොමයක් තිබේ.
කැලෑ එළි කිරීම සහ ජනාවාස පිහිටුවීම. මදුරුවන්ගෙන්-ගහණ වූ වර්ෂා වනාන්තර ප්‍රදේශවල ජනයා පදිංචි කිරීම බ්‍රසීලයේ මැලේරියාව තදින් හට ගැනීමට හේතුවක් වී ඇත. “අපට සිදුවුණේ මදුරුවාගේ පරිසරය ආක්‍රමණය කිරීමකි,” යනුවෙන් ප්‍රතිශක්තිවේද ක්ලව්ඩියෝ රිබේරෝ කියයි. පදිංචියට පැමිණි අයට, “මැලේරියා රෝගය සම්බන්ධයෙන් අද්දැකීමක්වත් රෝගයට විරුද්ධව ප්රතිශක්තියක්වත් තිබුණේ නැහැ.”
රටහැර යාම. මියාන්මාර් සිට රැකියා සොයා යන සරණාගතයෝ, තායිලන්තයේ පිහිටි කුඩා නගරයක් වන බොරයිහි තිබෙන මැණික් පතල්වලට රැස් වෙති. “ඔවුන් නිතරම තැනින් තැනට මාරු වීම මැලේරියාව පාලනය කිරීම බෙහෙවින් දුෂ්කර කාර්යයක් බවට පත් කරවයි,” යනුවෙන් නිව්ස්වීක් සඟරාව වාර්තා කරයි. මාසිකව මැලේරියා රෝගීන් 10,000ක් පමණ වාර්තාගත වේ—ඇරත් මෙය පතල්කරුවන් අතර පමණි!
සංචාරක ව්‍යාපාරය. මැලේරියා බෝකරන මදුරුවන් බහුලව සිටින ප්‍රදේශ බැහැදැකීමට යන බොහෝ දෙනෙක් නැවත නිවස කරා පැමිණෙන්නේ රෝගය ඇතුවය. එබැවින්, 1991දී, එක්සත් ජනපදයේ රෝගීන් 1,000ක්ද යුරෝපයේ රෝගීන් 10,000ක්ද සිටින බවට නිර්ණය කරනු ලැබීය. වාර්ෂිකව සංචාරකයෝ සහ විදේශ රටවල රැකියා කරන සිය ගණන් අය කැනඩාවට නැවත පැමිණෙන්නේ රෝගය ඇතුවය. ඛේදජනක වූ එක් අවස්ථාවකදී, පවුලක් අප්‍රිකාවෙන් පැමිණි විට දරුවන් දෙදෙනෙකුට උණ හට ගැනුණි. වෛද්‍යවරයා මැලේරියාව ඇති බව සැක කළේ නැත. “අවසානයේදී දෙමව්පියන් ඔවුන්ව රෝහලට ගෙන යන විට එය බොහෝසෙයින් ප්‍රමාද විය,” යයි ටොරොන්ටෝහි ග්ලෝබ් ඇන්ඩ් මේල් පුවත්පත වාර්තා කරයි. “ඔවුන් දෙදෙනාම පැය ස්වල්පයක් අතරතුරේදී මියගියහ.
ඖෂධවලට එරෙහිවන වර්ග. නිවර්තන අප්‍රිකාවේ සෑම ප්රදේශයකටම ඖෂධවලට එරෙහිවන මැලේරියා වර්ග පැතිරී තිබෙන බව ජ.සෞ.සං. වාර්තා කරයි. ගිනිකොන දිග ආසියාවේ, “ඖෂධවලට එරෙහිවීමේ ලක්ෂණ කොතරම් වේගයෙන් වර්ධනය වෙනවාද කිවහොත් ඇතැම් වර්ග සුව කිරීමට පවා නොහැකි විය හැකි බව,” නිව්ස්වීක් සඟරාව පවසයි.
සම්පත් හීන වීම. රෝගියාගෙන්ගත් රුධිර ස්වල්පයකින් කරන සරල පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වන උපකරණ පවා ඇතැම් ස්ථානවල තිබෙන සායනවල නොමැත. වෙනත් තැන්වල සෞඛ්‍ය කටයුතු සඳහා වෙන්කර තබන ලද මුදලින් විශාල කොටසක් වෙනත් හදිසි අවස්ථා සඳහා අවශ්‍ය කෙරේ, මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කෘමිනාශක බෙහෙත් සහ ඖෂධවල හිඟයක් ඇති වෙයි. ඇතැම් විට එය, ලැබෙන ලාභය නිසා ඇතිවන ප්‍රශ්නයක් වෙයි. “නිවර්තන කලාපයේ බෝවෙන රෝගවලින් ලාභයක් උපයාගත නොහැක, මන්දයත් සාමාන්‍යයෙන් එයින් බලපානු ලබන අයට බෙහෙත් මිලදී ගැනීමට හැකියාවක් නැත,” යනුවෙන් නිව් සයන්ටිස්ට් සඟරාව පිළිගනී.
ක්ෂය රෝගය—අලුත් උපක්‍රම ඇති පැරණි මාරකයෙක්
ක්ෂය රෝගය පාලනය කිරීමට බලාපොරොත්තුවක් ඉදිරිපත් කළ ඖෂධය වන ස්ට්‍රෙප්ටොමයිසින්, 1947දී හඳුන්වා දෙන ලදි. ඒ කාලයේදී, ක්ෂය රෝගය සදහටම තුරන් කරනු ලබන බව අපේක්ෂා විය. එහෙත් ඇතැම් රටවල තත්ත්වය දරුණු වී ඇත: මෑත වසර තුළ ක්ෂය රෝග අනුපාතය ප්‍රකට අන්දමකින් වැඩි වී ඇත. “අමෙරිකාවේ ඉතා දිළිඳු ප්‍රදේශවල, ක්ෂය රෝග අනුපාතය අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි දිළිඳුතම රටවල අනුපාතයට වඩා උග්‍ර වේ,” යනුවෙන් ද වොෂිංටන් පෝස්ට් වාර්තා කරයි. එක් සඟරාවක සඳහන් වන්නේ කෝට් ඩේව්වාහි “ක්ෂය රෝගය ඉතා දරුණු ආකාරයකින් නැවත මතුවන” බවයි.
වෛද්‍ය මයිකල් අයිස්මන් මෙලෙස ශෝකය ප්‍රකාශ කරයි: “එය සුව කරන ආකාරය අප දැනගෙන සිටියා. අප එය පාලනය කළා. එහෙත් අතරමඟදී අප අසාර්ථක වුණා.” ක්ෂය රෝගයට එරෙහිව කරනු ලැබූ සටන වැළැක්වූයේ කුමක්ද?
ඒඩ්ස්. මෙම රෝගය හේතුවෙන් ආසාදනයට එරෙහිව සටන් කිරීමට පුද්ගලයෙකුට තිබෙන ශක්තිය නැති වන හෙයින්, ක්ෂය රෝගය නැවත මතු වීමට එය ප්‍රධාන හේතු කාරකයක් වශයෙන් සලකනු ලබයි. “ඒඩ්ස් රෝගීන් වෙනත් යම් දෙයක් නිසා මියයන්නේ නැත්නම්, ක්ෂය රෝග බැක්ටීරියාව ඇති ඒඩ්ස් රෝගීන්ගෙන් සියයට සියයකටම වාගේ ක්ෂය රෝගය ඇති වේ.”
පරිසරය. සිරගෙවල්, සාත්තු නිවාස, නිවාස නොමැති අයට තිබෙන රක්ෂාස්ථාන, රෝහල් සහ වෙනත් ආයතන ක්ෂය රෝගය බෝකරන තැන් බවට පත්විය හැක. එක් රෝහලක බෙහෙත් ඉසීමෙන් කරන ලද ප්‍රතිකාර ක්‍රමය නියුමෝනියා රෝගීන්ගේ කැස්ස වැඩි කළ නිසා එමගින් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අතර ක්ෂය රෝගය බඳු වසංගතයක් ඇති වූ බව වෛද්‍ය මර්වින් පොමරැන්ට්ස් විස්තර කරයි.
සම්පත්වල ඌනතාවයක්. ක්ෂය රෝගය පාලනය කර තිබෙනවා මෙන් පෙනෙන්නට තිබූ විගස, ඒ සඳහා යොමු කරන ලද අරමුදල් අඩු වූ අතර පොදු ජනයාගේ අවධානය වෙනතකට යොමු වන්නට විය. “ක්ෂය රෝගය තුරන් කරනවා වෙනුවට අප විසින් කරනු ලැබුවේ, ක්ෂය රෝග වැඩසටහන් තුරන් කිරීමයි,” යනුවෙන් වෛද්‍ය ලී රයික්මන් කියයි. ජීවරසඥ පැට්රික් බ්‍රෙනන් මෙසේ පවසයි: “මා 1960 ගණන්වල මුල් භාගයේදී ඖෂධ මගින් ක්ෂය රෝගය වැළැක්වීම සම්බන්ධ කටයුතුවල ප්‍රබල වශයෙන් වැඩ කළ නමුත්, ක්ෂය රෝගය සුව වූ බව මා සිතූ බැවින් ඒ වැඩවලින් ඉවත්වීමට මං තීරණය කළා.” එමනිසා, ක්ෂය රෝගය නැවත මතු වීම බොහෝ වෛද්‍යවරුන් බලාපොරොත්තු නොවූ දෙයක් විය. “මගේ වෛද්‍ය විද්‍යාලයේ ගුරුවරිය එය නැවත නොදකින්නට යන රෝගයක් යැයි සදහන් කළද, එම රෝගය සහිත නව රෝගීන් සතර දෙනෙක් [1989 සරත් ඍතුවේ] එකම සතියක් තුළ මා දුටුවා,” යනුවෙන් එක් වෛද්‍යවරියක් පැවසුවාය.
උපදංශය—මාරාන්තිකව යළි මතුවේ
පෙන්සිලින් කොතරම් බලපෑමෙන් යුක්ත වුවත්, උපදංශය තවමත් අප්‍රිකාවේ අධිකව පැතිර පවතින රෝගයක් වෙයි. එක්සත් ජනපදයේ වසර 40කට පසුව වඩා වැඩියෙන් ඉතා ප්‍රබල ලෙස එය දැන් යළි මතු වෙමින් පවතියි. ද නිව් යෝක් ටයිම්ස්හි සඳහන් පරිදි, උපදංශය, “එවන් රෝගියෙක්ව කිසි දවසක දැක නැති හෝ කලාතුරකින් දැක තිබෙන වෛද්‍යවරුන්ගේ පරම්පරාවක් මෝඩයන් බවට පත් කරමින් සිටී.” එම රෝගය එසේ නැවත මතුවන්නේ මන්ද?
ක්‍රැක් (සුපිරි කොකේන්). ක්රැක්වලට ඇබ්බැහිවීම හේතුවෙන් එක් වෛද්‍යවරයෙකු පැවසු පරිදි “අධික සේ කොකේන් භාවිතය සහ ලිංගික සංවාසයට” අනුබල ලැබී ඇත. තම ඇබ්බැහි වීම දිගටම ගෙන යාම සඳහා පුරුෂයන් බොහෝ විට සොරකම් කරන අතර, ස්ත්‍රීන් මත් ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ගණිකා වෘත්තියේ නියැලීමට වැඩි නැඹුරුවාවක් තිබේ. “ක්‍රැක් විකුණන තැන්වල, දුරාචාරයද විවිධ අය සමඟ ලිංගික සම්බන්ධයේ යෙදීමද සිදුවේ. එම පරිසර තුළ කුමන ආසාදනයක් ප්රබලව පවතීද, පැතිරෙන්නට යන්නෙත් එයයි,” යනුවෙන් එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානවල වෛද්‍ය, කනිෂ්ඨ විලර්ඩ් කේට්ස් පවසයි.
ආරක්ෂාවීමට පියවර ගැනීමේ ඌනතාවය. “ ‘ආරක්ෂා සහිත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම’ සඳහා වූ ව්‍යාපාරය තිබෙන නමුත්, රෝගවලින් තමන්ව ආරක්ෂා කරගැනීම සඳහා ආරක්ෂක කොපු භාවිතා කිරීමට නහඹරයෝ තවමත් උනන්දුවක් දක්වන්නේ නැත,” යනුවෙන් ඩිස්කවර් සඟරාවෙහි වාර්තා වේ. අවදානම් සහිත ලිංගික සහකරුවන් ඇති අයගෙන් සියයට 12.6ක ප්‍රමාණයක් පමණක් නොකඩවාම ආරක්ෂක කොපු භාවිතා කරන බව එක්සත් ජනපදයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි විය.
සීමිත සම්පත්. ද නිව් යෝක් ටයිම්ස් මෙසේ ප්‍රකාශ කරයි: “උපදංශය සහ ලිංගිකව ව්‍යාප්ත වන වෙනත් රෝග බොහොමයක් නිර්ණය කරනු ලබන පොදුජන සායනයන්හි කටයුතුවලට අරමුදල් සීමා කිරීම නිසා බාධා සිදු වී ඇත.” තවදුරටත්, පරීක්ෂා කිරීම් සිදුකරන ක්‍රම හැමවිටම නිවැරදි නැත. එක් රෝහලක මව්වරුන් ගණනාවක් ආසාධිත දරුවන් බිහි කළහ, එනමුත් එම මව්වරුන් සම්බන්ධයෙන් කලින් කරන ලද රුධිර පරීක්ෂණවල උපදංශය ඇති බවට කිසිම ලකුණක් තිබුණේ නැත.
නිමාවක් අතළඟද?
රෝගවලට එරෙහිව මිනිසා විසින් කර තිබෙන සටන, දීර්ඝ මෙන්ම බලාපොරොත්තු භංගත්වය ඇති කරන එකක් බවට පත් වී ඇත. නිතරම වාගේ ඇතැම් අසනීපවලට එරෙහිව සටන් කිරීමට සාර්ථකත්වය ලැබෙන විට වෙනත් ඒවා සම්බන්ධයෙන් අසාර්ථක වීම සිදු වේ. මිනිසා යොමු වී සිටින්නේ ඔහුට කිසි දිනක ජයගත නොහැකි සදාතනික යුද්ධයකටද? රෝගවලින් තොර ලොවක් කවදා හෝ තිබෙනු ඇත්ද? g93 12⁄8
[7 පිටුවෙහි ඇති කොටුව]
උපදංශයෙන් සිදුවන හානි.
උපදංශය (සිෆිලිස්) හටගන්නේ ස්කුරුප්පුවක-හැඩය ඇති සර්පිලාකාර බැක්ටීරියාවක් වන ට්රෙපොනීමා පැලිඩම් මගින් වන අතර, සාමාන්‍යයෙන් මෙය සම්ප්‍රේෂණය වන්නේ ලිංගේන්ද්‍රියයන් මගිනි. පසුව සර්පිලාකාර බැක්ටීරියාව රුධිර ධාරාවට පිවිසී ශරීරය පුරාම පැතිරී යයි.
ආසාදනය සිදු වී සති කිහිපයකට පසුව, ක්ෂතය යනුවෙන් හඳුන්වන තුවාලයක් මතු වෙයි. එය සාමාන්‍යයෙන් ලිංගේන්ද්රියයන්වල සෑදෙන නමුත් ඒ වෙනුවට ඇතැම් විට තොල්වල, සෙම් ගෙඩිවල හෝ ඇඟිලිවල මතු විය හැකිය. අවසානයේදී එම ක්ෂතය කැළලක් ඉතිරි නොකොට සුව වෙයි. එහෙත් ද්විතීය සහලක්ෂණ මතුවන තුරු: එනම් සමේ බිබිලි, උගුරේ අමාරුව, හන්දිපත් කැක්කුම, කෙස් හැලීම, තුවාල සහ ඇස් දැවිල්ල ආදිය මතුවන තෙක්, විෂබීජ ශරීරය පුරාම පැතිර යයි.
ප්‍රතිකාර නොකරනු ලැබේ නම්, උපදංශය ක්‍රියා විරහිත අවධියකට පත්වෙයි, මෙය ජීවිත කාලයකට පැවතිය හැකිය. මෙම අවස්ථාවේදී ස්ත්‍රියක් ගර්භිණී වුවහොත්, ඇගේ දරුවා අන්ධව, අංග විකලව හෝ මියගොස් ඉපදිය හැකිය.
දශක ගණනාවකට පසුව, ඇතැම් අය උපදංශයේ ඊළඟ අවස්ථාවට පියවර තැබිය හැකිය, මේ අවස්ථාවේදී එම සර්පිලාකාර බැක්ටීරියාව හෘදය වස්තුවේ, මොළයේ, සුෂුම්නාවේ හෝ ශරීරයේ වෙනත් කොටස්වල තැන්පත් විය හැකිය. එම බැක්ටීරියාව මොළයේ තැන්පත් වේ නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන්, වලිප්පුව, පක්ෂාඝාත රෝගය සහ උන්මාදය පවා ඇතිවිය හැකිය. අවසානයේදී, එම රෝගය මාරාන්තික විය හැකිය.
[හිමිකම් වඟන්තිය]
Biophoto Associates/Science Source/Photo Researchers
[7 පිටුවෙහි ඇති කොටුව]
“ව්‍යාජ ඇඟවීම් දීමේ දක්ෂයෙක්”
වෛද්‍ය ලී රයික්මන් ක්ෂය රෝගය හඳුන්වන්නේ එලෙසටයි. “එය සෙම්ප්‍රතිශ්‍යාව, ක්ලෝම ප්‍රදාහය හෝ උණ මෙන් පෙනිය හැක,” යයි ඔහු පවසයි. “එමනිසා වෛද්‍යවරයෙකු ක්ෂය රෝගය ගැන කල්පනා කරමින් සිටිනවා නම් මිසක, ඔහු හෝ ඇයට එම රෝගය නිර්ණය කිරීමට නොහැකි විය හැකිය.” ආසාදනය සහතික කිරීමට පපුවේ X කිරණ සටහනක් ගැනීම අවශ්‍ය වේ.
ක්ෂය රෝගය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වාතය මගින් පතුරුවනු ලබයි. එක් වරක් කහින විට පෙණහලුවලට පිවිසිය හැකි ඉතා කුඩා අංශු ඇති විය හැකිය. කෙසේවෙතත්, ශරීරයේ ප්රතිශක්තිකරණයන් සාමාන්‍යයෙන් ආසාදනය පැතිර යාමෙන් වළක්වා තබා ගැනීම සඳහා ප්‍රමාණවත් සේ බලවත්ය. වෛද්‍ය රයික්මන් මෙසේ පැහැදිලි කරයි: “රෝගය පතුරුවන්නට හැකියාව තිබෙන්නේ තමන්ගේ පපුවේ කුහරවල ප්‍රමාණවත් බැසිලස—එනම් අක්‍රියාශීලී වාහකයන්ගේ 10,000ට විරුද්ධව ක්‍රියාශීලී වාහකයන්ගේ ප්‍රමාණය මිලියන 100ක්—තිබෙන අයට පමණි.”
[හිමිකම් වඟන්තිය]
SPL/Photo Researchers
[7 පිටුවෙහි ඇති කොටුව]
මැලේරියාව සහ පෘථිවිය පුරා උෂ්ණත්වය වැඩිවීම
ආසාදනය ඇති කරන ඇනෝෆිලිස් ගැමිබියේ මදුරුවා නොමැතිව මැලේරියාව හටගැනීමට නොහැකිය. “ඔබ වාහක [කෘමී] ගහණය වෙනස් කළා නම් රෝගය හටගනු ලබන ප්‍රමාණයද වෙනස් වේ,” යනුවෙන් දි ඉකොනමිස්ට් සඟරාව නිරීක්ෂණය කරයි.
උෂ්ණත්වයේ කුඩා වෙනස්වීම් පවා කෘමී ගහණයට අතිශයින් බලපෑ හැකි බව පරීක්ෂණාගාරවල සිදුකරනු ලබන පරීක්ෂණ මගින් දැක්වේ. එබැවින්, මැලේරියාව හටගැනීම සම්බන්ධයෙන් පෘථිවිය වටේ තිබෙන උෂ්ණත්වයට බැරෑරුම් බලපෑමක් ඇතිකළ හැකි බව ඇතැම් ප්‍රවීණයෝ නිගමනය කරති. “සමස්තයක් වශයෙන් ගත් කළ පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකක් හෝ දෙකක් [ෆැරන්හයිට් අංශක දෙකක් හෝ හතරක්] පවා වැඩි වුවහොත්, ඒ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන වැඩි විය හැකි අතර, මැලේරියාව දැන් තිබෙනවාටත් වඩා පුළුල්ව පැතිරීමට හැකි වනු ඇත,” යයි වෛද්‍ය වොලස් පීටර්ස් කියයි.
[හිමිකම් වඟන්තිය]
Dr. Tony Brain/SPL/Photo Researchers
[6 පිටුවෙහි ඇති පින්තූර]
නිවාස නැති අය සඳහා තිබෙන වාසස්ථාන ක්ෂය රෝගය බෝ කිරීමේ ස්ථාන බවට පත්විය හැක.
[හිමිකම් වඟන්තිය]
Melchoir DiGiacomo