ක්ෂය රෝගය යළි මතු වෙයි!
එක්සත් ජනපදයේ 1950 ගණන්වල පටන් ක්ෂය රෝගයෙන් (TB) පෙළෙන්නන්ගේ සංඛ්‍යාව වසරකට සියයට 5ක අනුපාතයකින් අඩු විය. කෙසේවෙතත්, 1985 පටන් වාර්තා කරන ලද TB රෝගීන්ගේ සංඛ්‍යාවේ සියයට 18ක වැඩිවීමක් දක්නට ලැබී ඇත. ඊටත් වඩා කනගාටුදායක කරුණක් වන්නේ, එම රෝගයේම, බෙහෙත් ප්‍රතිකාරවලට ඔරොත්තු නොදෙන අලුත් ආකාරයක පැවැත්මයි. තක්සේරුවලට අනුව, දැනට සෑම වසරකම මිලියන තුනක පමණ පිරිසක් TB නිසා මරුමුවට පත් වෙති. මෙම රෝගයට එරෙහිව ගෙනයනු ලබන සටන පරාජයට පත් වන්නේ මන්ද?
එක් හේතුවක් නම්, රෝගීන් බොහෝදෙනෙකු තම බෙහෙත් නියමිත කාල සීමාවේ අවසානය දක්වා ගැනීමට අසමත් වීමයි. මෙම කාල සීමාව බොහෝවිට මාස හයේ සිට නවයක් දක්වා වේ. නිදසුනක් වශයෙන්, නිව් යෝර්ක් නගරයේ, උග්‍ර විය හැකි TB සහිත රෝගීන් 200දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමකින් සියයට 89ක්ම තම ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම නොගත් බව එක් අධ්‍යයනයකින් හෙළි විය. “එය ඉතාමත්ම භයානක දෙයක්,” යයි අමෙරිකාවේ පෙණහලු සංගමයේ සභාපති වෛද්‍ය ලී රයික්මන් කියයි, “ඊට හේතුව, ඒ අය (අ) සුව වන්ට යන්නේ නැහැ, ඇරත් (ආ) සාමාන්‍යයෙන් පාවිච්චි වන බෙහෙත්වලට සනීප නොවන TB ඔවුන්ට හටගැනීමට ඉඩ තිබෙනවා.” එහෙත් මෙම TB වාහකයන් බලපෑම් ඇති කරන්ට යන්නේ තමුන්ගේ සෞඛ්‍යයට පමණක් නොවේ. “ඔවුන්ට නියම කර තිබෙන බෙහෙත් නොගැනීම නිසා අනිත් අයවත් ආසාදනය කරන්ට ඔවුන්ට පුළුවන්” බව වෛද්‍ය රයික්මන් තවදුරටත් කියයි. සෑම වසරකම ලොව පුරා සොයාගනු ලබන අලුත් රෝගීන් මිලියන අටක පමණ සංඛ්‍යාවට, මෙම කාරණය දායක වන හේතුවක් වන බවට කිසි අනුමානයක් නැත.
‘නොයෙක් තැන්වල වසංගත’ වනාහි අප මෙම දේවල පිළිවෙළේ “අන්තිම දවස්වල” ජීවත් වෙමින් සිටින බවට වූ ලකුණේ අංගයක් බව බයිබල් ශිෂ්‍යයෝ වටහාගනිති. (ලූක් 21:11; 2 තිමෝති 3:1) ඊළඟට පැමිණෙන්නේ කුමක්ද? “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකිය[න]” නව පොළොවකි. (යෙසායා 33:24) එසේය, යෙහෝවඃ දෙවියන්වහන්සේ තාවකාලික සහනයක් නොව, නමුත් අසනීප සහ මරණයෙන් සදාතනික නිදහසක් පොරොන්දු වනසේක.—එළිදරව් 21:1-4.