නිදැල්ලේ ගැවසෙන මාරකයෝ
මාගරට්ගේ පුත් ටිටෝට මැලේරියාව බෝවූ විට ඇය උමතුවෙන් මෙන් ඊට සුවයක් සෙව්වා. සුප්‍රසිද්ධ ලෙස පිළිගත් ක්ලෝරොක්වීන්, ඇතුළු බෙහෙත් තුනක් නියම කරනු ලැබුවා. කෙසේවෙතත්, ටිටෝ මියගියා—ඇරත් එවිට ඔහුගේ වයස වූයේ හුදෙක් මාස නවයක් පමණි.
මාගරට්ගේ නිවස පිහිටා තිබෙන කෙන්යාවේ, එවන් දුක්ඛදායක සිදුවීම් නිතරම පාහේ සිදුවෙනවා. “නිව්ස්වීක්” මෙසේ වාර්තා කරයි: “ලෝකයේ මෙම කොටසෙහි, මැලේරියාව බෝකරන මදුරුවන් අතර රැජින වන ‘ඇනෝෆිලිස් ගැම්බියේ,’ හොඳින් බෝවේ. දරුවන් බේරී ජීවත්වන්නේ නැත. ඔවුන්ගෙන් සියයට පහක් පාසල් වියට පැමිණීමට කලින් මැලේරියාව හේතුවෙන් මියයති.”
වර්ෂ 1991දී අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් ජනපදයේ සිරකරුවන් 12දෙනෙක් සහ ආරක්ෂක භටයෙක් ක්ෂය රෝගය හේතුවෙන් මරණයට පත් වුණා. වෛද්‍ය කනිෂ්ඨ ජෝජ් ඩිෆර්ඩිනැන්ඩෝ මෙසේ පවසයි: “සිරගෙවල එය පාලනය කරන්නට අප අදහස් කරනවා, නමුත් ගැටලුව වනුයේ එය දැනටමත් සමාජයේ හොඳින් ස්ථාපිතව පවතින හෙයින් ඔබ එය පාලනය කරන්නේ කොහොමද? යන්නයි.”
බිලියන 1.7දෙනෙක්—එනම් ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් පමණ—ක්ෂය රෝග බැක්ටීරියා වාහකයන් වන බව ජගත් සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. සෑම වසරකම මොවුන්ගෙන් මිලියන අටකට රෝගය වැළඳෙන අතර, මිලියන තුනක් එයින් මියයනවා.
නිව් යෝක්හි රෝහලක, ගැහැනු දැරියක් අඩු මාසෙන් එනම් සති 11ක් අඩුවෙන් උපත ලැබුවා, නමුත් එය ඇයට තිබූ ගැටලුවේ කොටසක් පමණයි. ඇගේ අත්වල හම යාමත්, පාදවල තුවාලත්, අක්මාව සහ පිලාව ඉදිමීමත් යන සියල්ල ඇගේ මවගේ ගර්භයේ සිටියදීම ඇයට උපදංශය බෝවී තිබූ බවට පැහැදිලි සාධක වුණා.
“සමහර ළදරුවන් ඔවුන්ගේ මව්වරුන්ගේ ගර්භාශයේ සිටින විට එම රෝගය නිසා කොතරම් දරුණු ලෙස හානි ලබනවාද කිවහොත් ඔවුහු අජීවීව උපත ලබති,” යයි “ද නිව් යෝක් ටයිම්ස්” පුවත්පත වාර්තා කරයි. තවද “තවත් ස්වල්ප දෙනෙක් උපන් විගස මියයති, මොවුන්ගෙන් ඇතැම් අයගේ සමේ තිබෙන දරුණු තුවාල, ප්‍රසූතියේදී පෑරෙන්නට පටන්ගනී.”
දශක ස්වල්පයකට පෙර, මැලේරියාව, ක්ෂය රෝගය සහ උපදංශය—යන මේ තුනම පාලනය කරනු ලැබූ බවටත් ඉතා ඉක්මනින් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇති බවටත් සලකන ලදි.
එවා දැන් දරුණු ආකාරයකින් නැවත මතුවන්නේ ඇයි? g93 12⁄8