මැලේරියාවට එරෙහි සටනේදී මුල් උපක්‍රම වෙතටම
මුළු ලෝකයේම අවධානය සිවිල් යුද්ධ, විරැකියාව හා වෙනත් අර්බුදකාරි තත්වයන් වෙතට යොමු වී තිබීම හේතුවෙන්, මැලේරියාවෙන් මියයන අය පිළිබඳ කිසිම වාර්තාවක්, වැඩිම පිරිසක් රූපවාහිනිය නරඹන කාලයේදී විකාශනය වන්නේ නැහැ. කොහොමවුණත්, ජගත් සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ, ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මැලේරියා තර්ජනය යටතේ ජීවත් වන බවත්, සෑම වසරකම මිනිසුන් මිලියන 300 සිට 500 දක්වා ප්‍රමාණයකට මැලේරියාව වැළඳෙන බවත්, ඒ අනුව මැලේරියාව “නිවර්තන කලාපීය රටවල තිබෙන සියලුම රෝග අතුරින් පුළුල් ලෙස පැතිරී තිබෙන මෙන්ම වැඩි පිරිසකට මරු කැඳවන රෝගය” බවට පත් වී තිබෙන බවත්ය. මොනතරම් මාරාන්තිකද?
සෑම තත්පර 20කට වරක්ම එක් අයෙකු මැලේරියාවෙන් මියයනවා. සෑම වසරකම මෙයට ගොදුරු වී මියයන සංඛ්‍යාව මිලියන 1.5ක් වෙනවා; එම සංඛ්‍යාව අප්‍රිකානු රටක් වන බොට්ස්වානාහි මුළු ජනගහනයට සමානයි. මැලේරියාවෙන් මියයන දසදෙනෙකුගෙන් නවදෙනෙක්ම ජීවත් වන්නේ අප්‍රිකාවේ නිවර්තන කලාපීය ප්රදේශවලයි; ඒ ප්‍රදේශවල මෙයට ගොදුරුවන්නන්ගෙන් වැඩිදෙනෙක් දරුවන්. දකුණු අමෙරිකානු රටවල මැලේරියා රෝගීන් වැඩිදෙනෙක් සිටින්නේ ඇමසන් ගංගාව ආශ්රිත ප්‍රදේශවල කියා WHO වාර්තා කළා. වනාන්තර එළි කිරීම හා වෙනත් පාරිසරික වෙනස්කම්, ලෝකයේ එම ප්‍රදේශවල මැලේරියාවට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව ඉහළ යැවීමට හේතු වී තිබෙනවා. බ්‍රසීලයේ ඇමසන් ගංගාව ආශ්රිත ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාවන් කිහිපයක මේ ගැටලුව දැන් මොනතරම් බරපතළ වී තිබෙනවාද කිව්වොත්, වැසියන් 1,000කගෙන් 500කට වඩා වැඩිදෙනෙකුට මැලේරියාව වැළඳී තියෙනවා.
අප්‍රිකාවේ හෝ වේවා, අමෙරිකානු රටවල හෝ වේවා, වෙන ඕනෑම තැනක හෝ වේවා, මැලේරියාවෙන් පීඩා විඳින්නේ ජනගහනයේ ඉතාමත්ම දිළිඳු කණ්ඩායම්. මේ මිනිසුන්ට “සෞඛ්‍ය සේවාවල උපකාරය ලබාගැනීමට ඇති හැකියාව ඉතාමත්ම අඩුයි; පෞද්ගලික ආරක්ෂාව සලසාගැනීමේ ඉඩ කඩ ඉතා අඩු අතර, සංවිධානාත්මකව සිදු කරන මැලේරියාව පාලනය කිරීමේ ක්‍රියාකාරකම්වලින් ඔවුන් හුඟාක් දුරස්තරව සිටිනවා” කියා WHO සඳහන් කරනවා. ඒ වුණත් මේ දිළිඳු අයගේ කනගාටුදායක තත්වය බලාපොරොත්තු රහිත නැහැ. මැලේරියාවෙන් සිදු වන මරණ වැළැක්වීම ගැන බොහෝ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රමවලින් එකක් මෑත වර්ෂවලදී බොහෝදෙනෙකු අතට පත් වී තිබෙනවා කියා, නිවර්තන කලාපීය රෝග පර්යේෂණ පිළිබඳ ප්රවෘත්ති නිවේදනයක් පළ කරන නිවර්තන කලාපීය රෝග පර්යේෂණ පුවත් පවසනවා. එම ජීවිත ආරක්ෂකයාගේ නම? කෘමිනාශක ගැල්වූ මදුරු දැල්.
මදුරු දැල් භාවිතයේ ප්‍රයෝජන
මදුරු දැල් භාවිත කිරීම, මුලින් යොදාගත්තාවූ උපක්‍රමයක් වුණත්, මැලේරියාවට එරෙහිව කරන සටනේදී ඒවායේ ඵලදායිත්වය පිළිබඳව කළ පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ මදුරු දැල් මගින් “ඉතාමත් මවිතකර ප්‍රතිඵල” පෙන්වා තිබෙන බවයි කියා, WHOහි අප්‍රිකාවේ පිහිටි කාර්යාලයේ අධ්යක්ෂ වෛද්‍ය එබ්‍රහිම් සාම්බා, පානොස් ආයතනය විසින් නිකුත් කළ පානොස් ෆීච’ස් නමැති ප්රවෘත්ති නිවේදනයකට පැවසුවා. උදාහරණයක් හැටියට, කෙන්යාවේ දිරාපත්වනසුලු කෘමිනාශක ගැල්වූ මදුරු දැල් භාවිත කිරීමෙන්, මැලේරියාවෙන් සිදු වන මරණ පමණක් නොව, වයස අවුරුදු පහට අඩු දරුවන් අතර සිදු වන සාමාන්‍ය මරණ තුනෙන් එකක් පවා අඩු වී තිබෙනවා. ජීවිත ආරක්ෂා කරනවාට අමතරව, මැලේරියාව සඳහා රෝහල්වල ප්‍රතිකාර අවශ්‍ය වන්නේ රෝගීන් ටිකදෙනෙකුට නිසා, “සෞඛ්‍ය සේවා මත පැටවෙන බර සම්පූර්ණයෙන්ම වගේ අඩු විය හැකියි.”
කොහොමවුණත්, තවමත් එක ගැටලුවක් විසඳන්න තියෙනවා: මදුරු දැල් සඳහා යන වියදම දරන්නේ කවුද? මෙයට සම්මාදම් කරන්න කියා එක් අප්‍රිකානු රටක වැසියන්ගෙන් ඉල්ලා සිටි විට, වැඩිදෙනෙක් ඊට කැමති වුණේ නැහැ. එමෙන්ම, වසරකදී සෞඛ්‍ය ආරක්ෂාව සඳහා එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් 300කටත් වඩා අඩුවෙන් වියදම් කරන රටවල ජීවත් වන මිනිසුන්ට, කෘමිනාශක ගැල්වූ හෝ නොගැල්වූ මදුරු දැලක් පවා සුඛෝපභෝගී භාණ්ඩයක් වී තිබෙනවා. ඒ වුණත් මෙම වැළැක්වීමේ ක්‍රමය සඳහා ආණ්ඩුවට වැය වන්නේ, මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැය කරන මුදල්වලටත් වඩා අඩු මුදලක් නිසා, “එය, මදුරු දැල් බෙදාහැරීමට හා ඒවාට කෘමිනාශක ගැල්වීමට ආණ්ඩුවේ තිබෙන සීමිත අරමුදල් ඉතාමත් පිරිමැසුම්දායකව යෙදවිය හැකි ක්‍රමයක් වේවි” කියා එ.ජා.ගේ ආයතනයේ විශේෂඥයන් පවසනවා. ඇත්තෙන්ම, මදුරු දැල් සැපයීම ආණ්ඩුවලට අරමුදල් ඉතිරි කරගැනීමේ මාර්ගයක් විය හැකියි. එම ආණ්ඩු යටතේ ජීවත් වන දශලක්ෂ ගණන් වැසියන්ට මෙය, මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රමයකට වඩා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ ක්‍රමයක් වෙනවා.
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
CDC, Atlanta, Ga.