යෞවනයන් අසති . . .
දෙයාකාර ජීවිතයක් කවරෙකු විසින් දැනගැනීම අවශ්‍යද?
“අම්මයි තාත්තයි මාව ක්‍රිස්තියානි රැස්වීම්වලට ගෙන ගොස් තිබූ බැවින්, මා හරි වැරැද්ද දැනගෙන සිටියා,” යයි රොබර්ට් පිළිගනියි. “එහෙත් පාසලේ අනෙක් ළමුන් මට කැමති වීමත්, මා පිළිගනු ලැබීමත් මට වුවමනා වුණා. එබැවින් වත්මන් සමාජ රටාවට අනුව ජීවත්වීමට හා ජනප්‍රියත්වය ලබාගැනීමට මා හයවන ශ්‍රේණියේදී දුම්පානය කරන්ට පටන් ගත්තා. සත්වන ශ්‍රේණියේදී මා LSD ගැනීමට හා මරිජුවානා ගැනීමට පටන් ගත්තා. අටවන ශ්‍රේණියේදී, මා ස්පීඩ් නමැති මත්ද්‍රව්‍යයක් ශරීරගත කිරීමට පටන් ගත්තා. මා සියල්ලන්වම රැවටුවා—නමුත් මා සිටියේ දුකෙනි.”
ක්‍රිස්තියානි දෙමව්පියන් විසින් ඇතිදැඩි කළ සමහරෙකුද ඇතුළු අදදින බොහෝ යෞවනයෝ දෙයාකාර ජීවිත ගත කරති. රොබර්ට් කළ ආකාරයට, සියල්ලෝම මත්ද්‍රව්‍ය ගන්නන් බවට පත් නොවෙති. එහෙත් ඇතැම් යෞවනයෝ සිය දෙමව්පියන්ට නොදැනෙන්න රහසිගතව විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුරේ යෙදෙති, මත්පැන් පානය කරති, නොහොබිනා ඇඳුම් අඳිති, අශිෂ්ට සංගීතයට සවන් දෙති, අසංවර සාදයන්ට සහභාගි වෙති, එමෙන්ම සිය දෙමව්පියන් විසින් අනුමත නොකළ හෝ තහනම් කළ වෙනත් ක්‍රියාවලියන් රාශියක යෙදෙති. ඔබත් එවැනිම ජීවන-රටාවක් අනුගමනය කරමින් සිටින්නෙහිද?
එසේ නම්, ඔබ කරන දෙය වැරදි බව ඔබ සමහර විට දන්නවා විය හැක. රොබර්ට් මෙන්, වරද සහිත හෘදය සාක්ෂියකින් ඔබ වේදනා විඳිනවාද විය හැක. (රෝම 2:15) කෙසේවෙතත්, ඔබේ වැරදි හැසිරීම් ඔබේ දෙමව්පියන්ට හෙළි කිරීම ගැන සිතීම ප්‍රසන්න එකක් නොවේ. එමෙන්ම ඔබ එවිට ඇතිවන ප්‍රතිඵල ගැන කල්පනාකර බලන විට, ‘මගේ දෙමව්පියන් නොදන්නා දෙයින් ඔවුනට වේදනාවක් ඇති වන්නේ නෑ’ යන තර්කය නුවණැති දෙයක් මෙන් පෙනෙන්නට පුළුවන. එහෙත් එය ඔබට වේදනා ගෙන දීමක් විය හැක.
දොස් සහිත තර්ක කිරීම
උදාහරණයක් වශයෙන්, ඔබේ දෙමව්පියන් නොයෙක් දේ කරන ආකාරය ගැන යම් සාධාරණ නුරුස්නාභාවයක් ඔබට හැඟෙන්නට ඉඩ තිබේ. සමහර විට දැනටමත් ඔබට එසේ හැඟෙනවා විය හැක. එහෙත් ඇතැම් අවස්ථාවලදී ඔවුන් අසාධාරණ ලෙස තදින් ක්‍රියා කරනවා නම්, අදහස් හුවමාරු නොකරනවා නම් හෝ හිතුමතේ ක්‍රියා කරනවා නම් වුවත්, නොකඩවාම අකීකරුවීම යුක්තිසහගත බවක් ඉන් අඟවයිද? දේව වචනයට අනුව එසේ නොවේ, එහි මෙසේ අවවාද කරයි: “සියලු කාරණාවලදී [ඔබේ, NW ] මව්පියන්ට කීකරුවෙයල්ලා, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට [බෙහෙවින්, NW ] ප්‍රසන්නය.” (කොලොස්සි 3:20) තවද ඔබේ දෙමව්පියන් සමඟ කේන්ති ගැනීමට ඔබට වලංගු හේතු තිබේ යයි ඔබට හැඟෙන්නේ නම් කුමක්ද? දෙවියන්වහන්සේ දුන් ප්‍රමිති රහසිගතව කඩකිරීමෙන් එම කේන්තිය පිටකර හැරීම සාධාරණ දෙයක්ද? ප්‍රතිඵලයක් වශයෙන්, එවිට ඔබ ක්‍රියා කරමින් සිටිනුයේ, යෙහෝවඃවහන්සේට විරුද්ධව කිපී සිටියාක් මෙනි.’ (හිතෝපදේශ 19:3) කිරීමට සුදුසු දෙය වන්නේ ඔබේ දෙමව්පියන් වෙතට ගොස්, ඔබ තුළ ශෝකයට හේතුවන යම් කාරණා ඇත්නම් සන්සුන්ව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමයි.—හිතෝපදේශ 15:22.
ඒ හා සමානව නිශ්ශබ්දතාවය පවත්වා ගැනීම මගින් ඔබ ඔබේ දෙමව්පියන්ව චිත්ත වේගීය වියවුලෙන් ආරක්ෂා කරන්නෙහිය යන විශ්වාසයද වැරදිය. දහසයහැවිරිදි පිරිමි ළමයෙක් මෙසේ පැවසීය: “[මගේ දෙමව්පියන්ගේ] බලාපොරොත්තු කඩකරන යමක් ගැන මා කථා කරන්නට යන්නේ නැහැ.” නැවතත්, එවැනි රැවටිලිකාර හේතු දැක්වීම ආත්ම-රැවටීමකට වඩා වැඩි දෙයක් නොවේ. බයිබලය ඒ ගැන පවසන ආකාරයට, එය යමෙකු තමාගේ අයුතුකම එළිදරව්වන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ‘තමාගේ ඇස් හමුයෙහි තමාටම චාටුකරගැනීමකි.’ (ගීතාවලිය 36:2) ඔබේ දෙමව්පියන්ගේ හැඟීම් ගැන ඔබ සැබවින්ම සැලකිලිමත් වන විට, ප්‍රථමයෙන්ම ඔබ අකීකරුවීමෙන් වළකියි. මීට අමතරව, ඔවුන්ගෙන් සියල්ල සඟවා තැබීමට ගන්නා යම් ප්රයත්නයන් සමහරවිට නිෂ්ඵල යයි ඔප්පු විය හැක, මන්ද නිසැකවම වෙනත් අය මේ වන විටත් ඔබේ රහසිගත ජීවිතය දන්නා බැවිනි.
කිසිවක් සැඟවී නැත
පැරණි ඉශ්රායෙල්වරුන් රහසිගතව වැරදි කරමින් දඬුවම් නොලැබ සිටීමට තැත් කළ විට ඔවුහු මෙය දැනගත්හ. ප්‍රොපේත යෙසායා මෙසේ අනතුරු ඇඟවීය: “ස්වාමීන්වහන්සේගෙන් [යෙහෝවඃවහන්සේගෙන්, NW ] තමුන්ගේ අදහස සඟවන පිණිස කාරණා ගැඹුරුකර, තමුන්ගේ ක්‍රියාවල් අන්ධකාරයෙහිකර: අප දකින්නේ කවුද? අප ඇඳිනගන්නේ කවුදැයි කියන්නාවූ අයට දුක්වේ.” (යෙසායා 29:15) දෙවියන්වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ වැරදි හැසිරීම දුටු බව ඔවුනට අමතක විය. නියමිත කාලයේදී, ඔවුන්ගේ වැරදි ක්‍රියාවන් සඳහා ගණන් දීමට උන්වහන්සේ ඔවුන්ට සැලසූ සේක.
පළමු ශතවර්ෂයේ සභාවෙහි සිටි ඇතැම් ක්රිස්තියානින්ටද එය සැබෑ බවට ඔප්පු විය. අනනියස් සහ සිය භාර්යාව වන සප්පිරා ගැන ක්‍රියා 5:1-11හි ඇති වාර්තාව ඔබම කියවා බලන්න. දිළිඳු ක්‍රිස්තියානින්ව රැකබලා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටෙවූ විට, අනනියස් ඉඩමක් විකුණා, තමා විකුණූ මුළු මුදලම දුන් බවට නිර්භීත ලෙස ඔහු කියා සිටියේය. එහෙත්, සැබෑව වූයේ, අනනියස් තම පෞද්ගලික ලාභය සඳහා “මිලෙන් කොටසක් [රහසිගතව, NW ] තබාගෙන,” සිටීමය. මෙම පරිත්‍යාගශීලී මවාපෑමෙන් දෙවියන්වහන්සේ රැවටුණු සේක්ද? කිසිසේත් නැත. “නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේටයයි,” ප්‍රේරිත පේතෘස් කීවේය. “අනනියස් ඒ වචන අසා වැටී මළේය.” වරදට හවුල් වූ සප්පිරාද, ඉන් ස්වල්ප වේලාවකට පසු මැරී වැටුණාය. දෙවියන්වහන්සේ “සිතේ [හදවතේ, NW ] රහස් දන්නා” බව ඔවුන් දෙදෙනාටම පැහැදිලිවම අමතක විය.—ගීතාවලිය 44:21.
එලෙසම අදදින, ඔබ සාර්ථක ලෙස ඔබේ වැරදි හැසිරීම ඔබේ දෙමව්පියන්ගෙන් සඟවනවා වුවත්, සෝදිසියෙන් සිටින යෙහෝවඃ දෙවියන්වහන්සේගේ නෙත්වලින් එවැනි වැරදි හැසිරීමක් සැඟවීමට ඔබට නොහැක. “උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත,” යයි හෙබ්‍රෙව් 4:13, පවසයි, “උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.” ඊට වඩා වැඩියෙන් ඔබ නිරාවරණය වී ඇතැයි ඔබට සිතා ගැනීමට හැකිකමක් තිබේද? තවද කල්යත්ම ඔබේ සැඟවුණු පාප අන්‍යයන්ටද එළිදරව් වනු ඇත. හිතෝපදේශ 20:11 [නව අනුවාදය] මෙසේ පවසයි: “ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකමද පිරිසිදුකමද දැනගත හැකිය.” වෙනත් හිතෝපදේශයක් මෙසේ පවසයි: “තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය;”—හිතෝපදේශ 28:13.
යෞවනියක වූ ටැමි මේ බව ඉගෙන ගත්තාය. ක්‍රිස්තියානි දෙමව්පියන් විසින් ඇතිදැඩි කළා වුවත්, ඇය දුම්පානය, මත්පැන් පානය හා නොඇදහිලිවන්ත විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුර පටන්ගත්තාය. ටැමි තම වැරදි ක්‍රියාවන් රහසිගතව තබා ගැනීමට ඉමහත් ප්රයත්නයක් දැරූ නමුත්, ඇය මෙසේ සිහිපත් කරන්නීය: “මගේ දෙමව්පියන් මා තුළ වෙනස්කම් සිදුවනවා දැක්කා. මා කැරළිගැසීමට පටන්ගත් අතර ස්වාධීන ආකල්පයක් ඇති කරගත්තා. පුද්ගලයෙකු දෙයාකාර ජීවිතයක් ගතකරන විට, එය විගස හෝ පසුව අනිවාර්යයෙන්ම හෙළිවේ. මා සම්බන්ධයෙන් නම්, එය විගස හෙළි විය. අසල පාසලකදී මා පෙම්වතෙකු හමුවූ අවස්ථාවේදී මගේ පියාට මාව අසුවුණා.”
යෙහෝවඃවහන්සේට හැඟෙන අයුරු
එමනිසා, යම් නියමිත කලකදී ඔබේ දෙමව්පියන්ට වේදනා දීමට ඔවුන් නොදන්නා දෙයට හැකියි—එමෙන්ම පෙනෙන හැටියට වේදනා දෙයි. මීටත් වඩා වැදගත් දෙයක් ලෙස, ‘බොරුවෙන් ජීවිතය ගතකරන අය ගැන යෙහෝවඃවහන්සේට හැඟෙන්නේ කෙසේද,’ යන්න ගැන ඔබෙන්ම අසාගෙන තිබේද? ගීතාවලිය 5:5, 6 මෙසේ පිළිතුරු දෙයි: ‘වේදනා ගෙනෙන දේ කරන සියල්ලන්වම යෙහෝවඃවහන්සේ ද්වේෂ කරන සේක; උන්වහන්සේ බොරුවක් කියන සියල්ලන්වම විනාශ කරන සේක. යෙහෝවඃවහන්සේ රැවටිලිකාර මිනිසෙකුව පිළිකුල් කරන සේක.’ ඔබ ආගමික රැස්වීම්වලට පැමිණෙන විට බොරු කැපවීමක් මවාපෑමෙන් පමණක්ම දෙවියන්වහන්සේව සතුටු කළ හැකි යයි සිතමින් ඔබවම මුළා කර නොගන්න. සෙනඟ ‘උන්වහන්සේට තොල්වලින් ගෞරව කරන අතර ඔවුන්ගේ හෘදයන් උන්වහන්සේගෙන් ඉතා දුරස්ව තිබෙන’ විට උන්වහන්සේ එය දන්නා සේක.—මාර්ක් 7:6.
ලිංගිකව අපවිත්‍ර හැසිරීමේ යෙදුණු රිකාඩෝ නමැති යෞවනයෙක් මෙසේ වරද පිළිගත්තේය: “කෙනෙකු යෙහෝවඃවහන්සේව දුකට පත්කර තිබෙනවා යයි ඔහු දන්නා විට ඔහුට අසීරුතාවයේ හැඟීමක් ඇති වෙනවා.” එහෙත් සැබවින්ම යෙහෝවඃවහන්සේව දුකට පත්කරන්ට—එනම් උන්වහන්සේට වේදනා ගෙන දෙන්නට හැකිද? ඇත්තෙන්ම හැකිය! පුරාණ ඉශ්රායෙල් ජාතිය දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අත්හළ විට, ඔවුහු “ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ උදහස්කළෝය [වේදනා ගෙන දුන්හ, NW ].” (ගීතාවලිය 78:41) “යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද” ඇතිදැඩි කළ යෞවනයන් රහසිගතව වැරදි දේ කරන විට උන්වහන්සේට අදදින කොපමණ වේදනාවක් ගෙන දේද!—එපීස 6:4, NW.
වේදනාවට පත්වූ දෙමව්පියෝ
එසේනම්, ඔබට සදහටම සඟවාගත නොහැකි බව වටහා ගන්න. සැබෑව පවසා, රහසිගතව සිදුවෙමින් තිබුණු දේ හෙළි කිරීමට ඔබ දෙවියන්වහන්සේට, ඔබේ දෙමව්පියන්ට හා ඔබටම ණයගැතිව සිටින්නෙහිය. මෙමගින් ලජ්ජාව හා සමහරවිට යම් දුක්ඛදායක ප්‍රතිඵල ඇති විය හැකි බව පිළිගත හැක. (හෙබ්‍රෙව් 12:10, 11) ඔබ බොරු කීමේ හා රැවටීමේ රටාවක් ගත කරමින් සිට ඇත්නම්, ඔබ කෙරෙහි ඔබේ දෙමව්පියන්ගේ විශ්වාසය ඔබ විසින් බිඳ දමා ඇත. එබැවින් පෙරට වඩා ඔවුන් ඔබට සීමා පැනෙවුවොත් පුදුම නොවන්න. ටැමි මෙසේ සිහිපත් කරන්නීය: “මගේ පෙම්වතා සමඟ සිටිද්දී මා අසුවුණාට පසු, මගේ පියා බිය වී සිටියා. මාව විශ්වාස කළ නොහැකි යයි මෙවිට ඔහුට වැටහුණා. එනිසා මා ගැන නිරතුරුවම සෝදිසියෙන් සිටීම ඉන් අදහස් වුණා.” එහෙත් තමා වැපුරූ දේ තමා කපා ගනිමින් සිටි බව ටැමි වටහා ගත්තාය.—ගලාති 6:7.
ඔබේ දෙමව්පියන් වේදනාවට හා කේන්තියට පත්වේ යයි ඔබටත් අපේක්ෂා කළ හැක. ඔවුන්ගේ නමට සහ කීර්තියට කැලැල් ඇති වී තිබේ. (උත්පත්ති 34:30, සසඳන්න.) ඔබේ පියා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු නම්, ඔහුට ඔහුගේ සභාවේ ඇතැම් වරප්‍රසාද අත්හැරීමට සිදුවිය හැක. (තීතස් 1:5-7) එසේය, හිතෝපදේශ 17:25 පවසන පරිදි, කැරළිකාර යෞවනයෙකු “තම පියාට ශෝකයක්ය, ඔහු වැදූ තැනැත්තීටද දුකක් විය හැකිය.”
දරුවෙකු කැරළිගසන විට ඇතැම් දෙමව්පියන්ට හැඟෙන ආකාරය ගැන ජෝයි පී. ගේජ් වේදනාකාරි චිත්ත ස්වභාවයකින් විස්තර කරන්නීය. ඇය පවසන්නේ මෙසේය: “සමහරු නිශ්ශබ්දව අඬනවා. සමහරු උමතු ස්වරයෙන් අඬනවා. සමහරු රහසිගතව අඬනවා. ඔවුන් ඔවුන්ගේ අතීතය වෙනුවෙන් අඬනවා. අනාගතයක් නැතැයි හදිසියේම සිතන බැවින් ඔවුන් අඬනවා. සිදුවීමට තිබූ දේ නිසා ඔවුන් අඬනවා. නිසැකවම සිදුවන්නට තිබෙන දේ ගැන ඔවුන් අඬනවා. ඔවුන් කේන්තියෙන් හඬනවා. ඔවුන් කලකිරීමෙන් අඬනවා.” ලෝකයේ වෙන කිසිවෙකුටත් වඩා ඔබට ප්‍රේම කරන දෙදෙනාව දුකට පත්කර සිටින ඔබට ඔවුනට මුහුණ දීම එතරම් පහසු නොවන බව තේරුම්ගත හැක. ටැමි මෙසේ පවසන්නීය: “මගේ පියාට හා මවට මා මෙතරම් කනගාටුවක් ඇති නොකළා නම් යයි මා යළි කල්පනා කර බලන විට මට සිතෙනවා.”
කෙසේවුවද, ඔබට අතීතයට ගොස් වරද නිවැරදි කළ නොහැක. තවද එය වේදනාකාරී හා දුෂ්කර වන බවට කිසි සැකයක් නැති බැවින් දේවල් හරිගැස්වීමට වෑයම් කිරීම සඳහා ඔබ බැඳී සිටියි. (යෙසායා 1:18 සසඳන්න.) ඔබේ දෙමව්පියන්ට සැබෑව පැවසීම, ඔවුන්ගේ වේදනාව හා කේන්තිය තේරුම් ගැනීම, ඔවුන් දෙන ඕනෑම හික්මවීමක් පිළිගැනීම ඉන් අදහස් වේ. ඔබ සැබෑව පැවසීම, ඔබේ දෙමව්පියන්ගේ හෘදයට හා යෙහෝවඃ දෙවියන්වහන්සේගේ හෘදයට ප්‍රීතිය ගෙන දීමේ එමෙන්ම ඔබට පිරිසිදු හෘදය සාක්ෂියක් තිබීමේ ප්‍රීතිදායක තෘප්තිය ලැබීමේ පළමු පියවර විය හැක.—හිතෝපදේශ 27:11; 2 කොරින්ති 4:2.
එහෙත් ඇත්තෙන්ම ඔබේ දෙමව්පියන්ට පැවසිය යුත්තේ කෙසේද? දෙයාකාර ජීවිතයක් ගත කිරීමෙන් බේරීමට ඔබට හැක්කේ කෙසේද? අපගේ ඊළඟ ලිපියෙහි මෙම ප්‍රශ්න සාකච්ඡා කෙරෙනු ඇත. g94 1/8
[17 පිටුවෙහි ඇති පින්තූරය]
සැබෑව පැවසීමෙන් ඔබටත් ඔබේ දෙමව්පියන්ටත් සහනය ගෙන දිය හැක