යෞවනයන් අසති . . .
කෙනෙකුට කැමතිවීම නැවැත්වීමට මට හැක්කේ කෙසේද?
“විසි හැවිරිදි මා, බව්තීස්ම ලත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකි. නමුත් මා 28-හැවිරිදි [නොඇදහිලිකාරයෙකු] සමඟ අදහසක් ඇතිව ඇසුරු කරන්ට පටන් ගත්තා. මා ඔහුට ප්‍රේම කළා, ඔහු මට ප්‍රේම කළ බවත් මා විශ්වාස කළා. මගේ දෙමව්පියන් ඒ බව දැන සිටියේ නෑ, මන්ද ඔවුන් එය අනුමත නොකරන බව මා දැනගෙන සිටි නිසායි. ඔවුන් දැනගත් විට, ඔවුන් වේදනාවට හා කම්පාවට පත්වුණා. ලෝකයේ මිනිසෙකු සමඟ මා කෙසේ චිත්තවේගීව සම්බන්ධ වී සිටිනවාදැයි තේරුම්ගන්න ඔවුන්ට පුළුවන් වුණේ නෑ.”
අප විසින් මොනික් යයි හැඳින්විය හැකි ක්‍රිස්තියානි යෞවනියක් එසේ ලීවාය.a යෞවනයන් ගණනාවක් එවැනිම අසීරු තත්ත්වයන්ට වැටී සිටීම—එනම් තම ක්‍රිස්තියානි විශ්වාස හා සදාචාර ප්‍රමිති හවුලේ බෙදා නොගන්නා නොඇදහිලිකාරයෙකු වෙත මුළාවූ ප්‍රේමයෙන් හෝ පෙමින් බැඳී සිටීම—කනගාටුවට කරුණකි. එවන් සබඳතාවක් දෙවියන්වහන්සේට අප්‍රසන්න වනවා පමණක් නොව, නමුත් කෙනෙකුගේ සන්තෝෂයට හා ශුභසිද්ධියට බරපතළ තර්ජනයක් බව මෙම ලිපි මාලාවේ පෙර ලිපියේ (පිබිදෙව්! 1994 නොවැම්බර් 8) පෙන්වීය. යෞවන රූත්ට මෙම කාරණය වැටහුණි. “මා ඇදහිලිවන්තයෙකු නොවූ කෙනෙක් වෙත ඉතා සමීප වුණා,” යයි ඈ පවසන්නීය. “එහෙත්, යෙහෝවඃවහන්සේ සමඟ මට යම් ආකාරයේ සබඳතාවක් ඇතුව සිටීමට නම්, ඔහු සමඟ තිබෙන සබඳතාව නැවැත්වීමට සිදු වන බව මට වැටහුණා.”
ඔබ ක්‍රිස්තියානියෙකු නම්, යාකොබ් 4:4හි බයිබල් වචන මතකයෙන් සඳහන් කිරීමට ඔබට හැකිවේ: “ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.” එහෙත් ඔබ නොඇදහිලිකාරයෙකු සමඟ චිත්තවේගීව සම්බන්ධ වී සිටින්නෙහි නම්, මෙම වචන අදාළ කරගැනීමට එතරම් පහසු නොවිය හැකියි. සැබවින්ම, සබඳතාව කැඩීමේ අදහස, ඔබට දරාගත නොහැකි යමක් වන්ට ඉඩ තිබේ. සැබවින්ම ඇතුළාන්තය ඉරි තැළී ඇති බවක් ඔබට දැනෙන්ට පුළුවනි. ‘කෙනෙකුට කැමතිවීම—හෝ ප්‍රේම කිරීම—නැවැත්වීමට මට හැක්කේ කෙසේද?’ කියා ඔබ ඇසිය හැක.
ප්‍රේරිත පාවුල් වරක් මෙසේ පැවසීය: “අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ. අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය!” (රෝම 7:22-24) පාවුල් වගේම, ඔබත් ඔබේ හැඟීම් සමඟ පොරබැදීමක් කරනවා විය හැකිය. එහෙත්, ක්‍රිස්තියානි යෞවනයන් ගණනාවක් මෙම සටනින් ජයගෙන ඇති අතර ‘ගින්නෙන් ඇදලා ගැළවුණා’ වැනි වී ඇත. (යූද් 23 සසඳන්න.) කෙසේද? සුව කළ නොහැකි හානියක් සිදුවීමට පෙර විනාශකාරි සබඳතා අවසන් කිරීම මගිනි.
උපකාරය ලබාගැනීම
උදාහරණයක් වශයෙන්, මාර්ක්ට වයස 14ක්ව සිටියදී, ඔහු පවසන පරිදි නොඇදහිලිකාරයෙකු වෙත “අව්‍යාජ බලවත් ස්නේහයක්” ඇතිකර ගත්තේය. උපකාරය පතනවා වෙනුවට, ඔහු සිය හැඟීම් රහසිගතව තබාගැනීමට වෑයම් කළේය. එහෙත් ගැහැනු ළමයා වෙත ඔහුගේ හැඟීම් වඩ වඩා වැඩිවන්ට විය. වැඩිකල් නොගොස් ඔහු ඇයට රහසිගත දුරකථන ඇමතීම් දෙන්ට විය. ඇය පෙරළා අමතන්ට පටන්ගත් විට, වැඩිකල් යෑමට පෙර සිදුවෙමින් තිබුණේ කුමක්දැයි ඔහුගේ දෙමව්පියෝ වටහාගත්හ.
තනිවම ගැටලුව විසඳීමට වෑයම් කිරීමේ එම වරදම නොකරන්න. හිතෝපදේශ 28:26 මෙසේ පවසයි: “තමාගේම සිත [හෘදය, NW ] කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.” සැබවින්ම, ඔබේ විනිශ්චයේ යම් අයුරක අඩුවක් නොතිබුණි නම්, ඔබ මෙම තත්ත්වයේ සිටිනු ඇද්ද? ඇතැම්විට හේතු විමසීම අභිබවා අපගේ චිත්තවේග නැගී සිටින බැවින් පැහැදිලිව කල්පනා කරන හා තත්ත්වය ගැන දැනුමක් ඇති යමෙකුගේ උපකාරය අපට අවශ්‍යයි. විශේෂයෙන්ම ඔබේ දෙමව්පියන් දේව-බියැති අයවලුන් නම්, ඔබට උපකාර කිරීමට හොඳම තත්ත්වයේ සිටින්නේ ඔවුන් විය හැකිය. වෙන කිසිවෙකුට වඩා ඔබව හොඳින් දන්නේ ඔවුන් යයි සිතිය හැකිය. වරක් ඔවුහු යෞවනව සිටි අතර ඔබ අද්දකිමින් සිටින දෙය තේරුම්ගැනීමට උපකාරවත් වීමට හැකිව සිටිති. හිතෝපදේශ 23:26හි බයිබල් ලේඛක සාලමොන් මෙසේ අවවාද කරයි: “මාගේ පුත්‍රය, නුඹේ සිත [හෘදය, NW ] මට දියන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.” ඔබේ හෘදය ඔබේ දෙමව්පියන්ට දී, ඔබට උපකාරය අවශ්‍ය බව ඔවුන්ට දැනගැනීමට ඉඩ නොහරින්නේ මන්ද?
යෞවන ජිම් එම දෙයම කළේය. ඔහු තුළ පාසැලේ ගැහැනු ළමයෙකු වෙත බලවත් මුළාවූ ප්‍රේමයක් ඇතිවී තිබුණි. ඔහු මෙසේ පවසයි: “අන්තිමේදී මට උපකාර කරන්න කියලා මං මගේ දෙමව්පියන්ගෙන් ඉල්ලුවා. මේ හැඟීම්වලින් මට ගොඩ ඒමට මෙය ප්‍රධාන දෙයක් වුණා. ඔවුන් මට ගොඩක් උපකාර කළා.” ඔහුගේ දෙමව්පියන්ගේ ප්‍රේමනීය සහාය අද්දුටු ජිම් මෙම අවවාදය දෙයි: “වෙනත් යෞවන ක්‍රිස්තියානීන් තම දෙමව්පියන්ට කථා කිරීමට පසුබට නොවිය යුතුයි කියලයි මා සිතන්නේ. ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්න. ඔවුන් ඔබව තේරුම්ගනීවි.”
එවැනිම තත්ත්වයක් යටතේ, ඇන්ඩෲ නමැති යෞවනයෙක් උපකාරයේ වෙනත් මාර්ගයක් තමන්ටම යොදාගත්තේය. ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය චාරිකා එක්රැස්වීමකට තමාගේ යෑම සම්බන්ධයෙන් මෙසේ පවසයි: “එක කථාවක් මගේ හිතට තදින් කාවැදුණා. ක්‍රිස්තියානි නොවන විරුද්ධ ලිංගයේ සාමාජිකයන් සමඟ සබඳතා වර්ධනය කිරීමට එරෙහිව චාරිකා අවේක්ෂක තදින් අවවාද කළා. ඒ වෙලාවේම මගේ සිතුවිලි හරිගස්සන්න අවශ්‍ය බව මා දැන සිටියා.” එබැවින් ඔහු කළේ කුමක්ද? ප්‍රථමයෙන්ම ඔහු තම තනි මව්පියෙකු වූ මවට කථා කළ අතර, ඇගේ අවවාදයෙන් ප්‍රයෝජන ලැබුවේය. තම සභාවේ සිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩිමහල්ලෙකු වෙතටද ගිය අතර උපකාරය දීමට ඔහුට හැකි විය. කනස්සල්ලෙන් පෙළෙන්නන්ට සභාවේ වැඩිමහල්ලන් “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක්” විය හැක. (යෙසායා 32:2) ඔවුන්ගෙන් කෙනෙකු වෙතට ගොස්, ඔබට වද දෙන දෙය ඔහුට දැනගන්ට ඉඩ නොහරින්නේ මන්ද?
විගස නවතා දමන්න
මාර්ක්ගේ රහසිගත සබඳතාව සිය දෙමව්පියන් දැනගත් විට, ඔවුහු එම මොහොතේම ක්‍රියාත්මක වූහ. “මෙම සබඳතාව නවත්වන්න යයි ඔවුන් මට කෙළින්ම කියා සිටියා,” යයි මාර්ක් පවසයි. “මා එවිට මුලින්ම කැරලිකාර ලෙස ප්‍රතික්‍රියා කළා. අපි එකිනෙකාට බැණගත්තා, ඊට පස්සේ මා මගේ කාමරයට වී සිටියා. නමුත් විගස මා තත්ත්වයේ යථාර්ථය ගැන සිතුවා, ගැහැනු ළමයාටත් මටත් වෙනස් ඉලක්ක තිබුණු බව වැටහුණා. ඒක හරියන එකක් නෙවේ.” එසේය, තත්ත්වයේ යථාර්ථයන් ගැන මෙනෙහි කිරීමෙන් ඔබේ හැඟීම් සන්සුන් කරගැනීමට උපකාර විය හැක. ඔබෙන්ම මෙසේ අසන්න: ‘මෙම පුද්ගලයාට මගේ ඉලක්ක, මගේ ස්ථිර විශ්වාස, මගේ සදාචාර ප්‍රමිති තිබෙනවාද? අප විවාහ වුණොත්, දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට මා දරන වෑයමට මෙම පුද්ගලයා උපකාර කරයිද? මෙම පුද්ගලයාට ආත්මික දේවල් සඳහා මගේ උද්යෝගිභාවයම තිබෙනවාද? සැබවින්ම, එවන් සබඳතාවක තිබිය හැක්කේ කිනම් එකඟතාවක්ද?’—2 කොරින්ති 6:14-18 සසඳන්න.
එහෙත්, එකපාරටම සම්පූර්ණයෙන්ම නැවැත්වීම පහසු නොවනු ඇත. මුලදී සඳහන් කළ මොනික් මෙසේ පවසයි: “සබඳතාව නැවැත්වීමට මා අවස්ථා දෙකකදී වෑයම් කළ නමුත් සාර්ථක වුණේ නෑ. ඔහුගේ ඇසුරෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්ට මට වුවමනා වුණේ නෑ. ඔහු යෙහෝවඃවහන්සේව පිළිගනියි කියා සිතමින් ඔහුට සාක්ෂිදැරීමට මා උත්සාහ කළා. ඔහු වතාවක ඉරිදා රැස්වීමට පවා පැමිණියා. නමුත් ඔහු තුළ යෙහෝවඃවහන්සේ කෙරෙහි සැබෑ උනන්දුවක් තිබුණේ නෑ. හොඳම ක්‍රියා මාර්ගය ඔහුගෙන් සම්පූර්ණයෙන්ම මිදීම බව මට වැටහුණා.”
මෙය අපට මතෙව් 5:30හි යේසුස්වහන්සේගේ වචන සිහිගන්වයි. දෙවියන්වහන්සේගේ රාජ්‍යයට කෙනෙකු ඇතුළුවීම වැළැක්විය හැකි දේවල්—එනම් දකුණු අතක් මෙන්ම වටිනවා විය හැකි දේවල්—ගැන උන්වහන්සේ එහිදී කථා කළසේක. එසේ වුවත්, යේසුස්වහන්සේ මෙසේ අවවාද කළසේක: “ඒක කපා අහකදමාපන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට [ගෙහෙන්නාවට, NW ] [සදා විනාශයේ සංකේතයක්] යෑමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට යහපත.” මේ ප්‍රතිපත්තියට එකඟව, ඔබ සම්බන්ධ වී සිටින පුද්ගලයා වෙතට ධෛර්යවත්ව ගොස්, “සැබෑව කථා[කරන්න].” (එපීස 4:25) තනිව හෝ සෙනෙහෙ බර හැඟීම් උත්සන්න විය හැකි අවස්ථාවක නොව—ජනයා ගැවසෙන ස්ථානයකදී, සබඳතාව අවසන් බව ස්ථිරයෙන්ම හෝ පැහැදිලිවම ඔහුට හෝ ඇයට දැනගන්ට සලස්වන්න. යෞවන ශීලා මෙසේ සිහිපත් කරයි: “ස්ථිර ක්‍රියාවන් ගැනීම මට ඵලදායී වුණා. මීට පස්සේ එකට දවල් කෑම ගන්නේ නෑ. පාඩම් කරන කාලයේදී එකිනෙකාව දකින්ට යන්නේ නෑ. මා ඔහුට මගේ ස්ථාවරය පැහැදිලි වීමට සැලැස්සුවා.” පෑම් නමැති ක්‍රිස්තියානි ගැහැනු ළමයෙක් එලෙසම මෙසේ කෙළින් කථා කළාය: “මට තනියෙන් ඉන්න ඉඩහරින්නැයි මා අවසානයේදී ඔහුට කිව්වා, එමෙන්ම මා ඔහුව මඟ හැරියා.”
වේදනාවෙන් ගොඩ ඒම
එවන් වෙන්වීමක් සිදුවූවාට පසුව, ගීතිකාකරු පැවසුවාක් මෙන් ඔබට හැඟෙන්ට පුළුවනි, ඔහු මෙසේ පැවසීය: “මම වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටිමි; දවස මුළුල්ලේම වැලපෙමින් පසුවෙමි.” (ගීතාවලිය 38:6) යම් කලකට ශෝකයෙන් සිටීම ස්වාභාවික දෙයක් පමණි. “අඬන්ට කාලයක්” තිබෙන බව බයිබලය පිළිගනියි. (දේශනාකාරයා 3:4) එහෙත් ඔබට සදහටම ශෝකවීමට අවශ්‍ය නැත. කල් යත්ම වේදනාව පහවී යනු ඇත. “එසේය,” මාර්ක් මෙසේ පිළිගනියි, “මා යම් කලකට ශෝකය අද්දැක්කා. මගේ දෙමව්පියන් මෙය වටහාගෙන වෙනත් ක්‍රිස්තියානි යෞවනයන් සමඟ මගේ ඇසුර වැඩි කළා. මෙය ඉතා උපකාරවත් වුණා.” සිය ප්‍රේම බන්ධනය කැඩී යෑමෙන් එලෙසම විෂාදයට පත් ඇන්ඩෲ, මෙසේ පවසයි: “වැඩිමහල්ලන් උපකාර කළා. මා දේශනා වැඩයෙහි වැඩියෙන් නිරත වූ අතර මා හොඳ සබඳතාවක් පවත්වා තිබූ සමහර ක්‍රිස්තියානි සහෝදරයන් වෙත සමීප වුණා.” එසේය, ආත්මික වැඩවල කාර්ය බහුලව සිටින්න. (1 කොරින්ති 15:58) යම් ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාමයද උපකාරවත් විය හැක. තනිව කල්ගෙවීමෙන් වළකින්න. (හිතෝපදේශ 18:1) සතුට දනවන හා වර්ධනය ගෙන දෙන දේවල් මත ඔබේ මනස තබාගන්න.—පිලිප්පි 4:8.
ඔබේ අධිෂ්ඨානපූර්වක ස්ථාවරය සමඟ යෙහෝවඃවහන්සේ ප්‍රසන්න වන බවත් මතක තබාගන්න. උපකාරය සහ අනුබලය සඳහා යාච්ඤාවෙන් උන්වහන්සේ වෙතට යෑමට බිය නොවන්න. (ගීතාවලිය 55:22; 65:2) “මා බෙහෙවින් යාච්ඤාවේ යෙදුණා,” යයි යෞවන ශීලා සිහිපත් කරන්නීය. හානිදායක සබඳතාවක් අවසන් කිරීම පහසු නොවේ. ශීලා මෙසේ පිළිගන්නීය: “එය අවසන් වුවත්, මා සමහර විට ඔහු ගැන සිතා, ඔහු මොනවා කරමින් සිටිනවාදැයි කල්පනා කරනවා. නමුත් යෙහෝවඃවහන්සේව සතුටු කරන බව දන්නා ඔබ, ඔබේ අධිෂ්ඨානයට ඇලී සිටින්න.” g94 6/8
[පාදසටහන්වල]
a නම් වෙනස්කර තිබේ.
[12 පිටුවෙහි ඇති පින්තූරය]
සබඳතාව අවසන් බව ස්ථිරයෙන්ම හෝ පැහැදිලිවම පුද්ගලයාට දැනගන්ට සලස්වන්න