සැබෑ ක්‍රිස්තියානීහු සහ යුද්ධය
යේසුස්වහන්සේ ස්වකීය ගෝලයන්ට මෙසේ පැවසූසේක: “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්රේමකරපල්ලාය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.” (යොහන් 13:34) එකිනෙකා කෙරෙහි එබඳු ප්‍රේමයක් විදහා පෙන්වන අතරම යුද්ධයේදී එකිනෙකාව මරා දැමීමට සැබෑ ක්‍රිස්තියානීන්ට හැකිද?
තවද ප්‍රේරිත පාවුල් විසින් අසනු ලැබූ ප්‍රශ්නයද සැලකිල්ලට ගන්න: “ක්‍රිස්තුස්වහන්සේ බෙදී සිටිනසේක්ද?” (1 කොරින්ති 1:13) ඔබගෙන් මෙසේ අසන්න: ‘එකම ආගමක සාමාජිකයන් එකිනෙකා මරා දැමීමෙන් ඇතිවන භේදයට වඩා ප්‍රබල භේදයක් තිබිය හැකිද?’
ඇත්ත වශයෙන්ම, මුල් ක්‍රිස්තියානීන් යුද්ධවල සහභාගි නොවූ බව දැනගැනීමෙන් අප පුදුමයට පත්විය යුතු නැත. හේස්ටිංස්ගේ සුප්‍රසිද්ධ එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් ඇන් එතික්ස්හි මෙසේ සටහන් විය: “යුද්ධය වනාහි පල්ලියටත් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ටත් කිසි සම්බන්ධයක් තිබිය නොහැකි, සංවිධානය කරන ලද අපරාධයක් බව මුල් ක්‍රිස්තියානීන් අතර පුළුල් වශයෙන් පිළිගත් අදහසක් විය.”
එකිනෙකාට ප්‍රේම කිරීම සඳහා වූ යේසුස්වහන්සේගේ ආඥාවට අනුකූලව මුල් ක්‍රිස්තියානීහු ජීවත් වූහ. ජර්මානු ජාතික දේව ධර්මශාස්ත්රඥ පේටර් මයින්හෝල්ට් මෙසේ පැහැදිලි කළේය: “ක්‍රිස්තියානීන් හමුදා භටයන් විය යුතුද නැද්ද සහ ඔවුන් ක්‍රිස්තියානීන් බවට පත් වූ විට හමුදා සේවයෙන් ඉල්ලා අස්විය යුතුද යන ප්රශ්නය ගැන නව ගිවිසුම නිහඬව සිටින නමුත්, පැරණි සභාව එම කාරණාව සම්බන්ධයෙන් ස්ථාවරයක් ගත්තේය. කිතු බැතියෙකු මෙන්ම සොල්දාදුවෙකු වී සිටීම පරස්පර විරෝධී යමක් බවට සලකන ලදි.” “පැරණි සභාව” ගත් ස්ථාවරය බඳු ස්ථාවරයක් අදදින සිටින කිසිවෙක් ගනිමින් සිටීද?
අදදින සැබෑ ක්‍රිස්තියානීහු සිටිත්ද?
එන්සයික්ලොපීඩියා කැනඩියානාහි මෙසේ සඳහන් වේ: “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කර්තව්‍යය වනාහි අපගේ යුගයේ පළමු සහ දෙවන ශතවර්ෂවලදී යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් විසින් ක්‍රියාවෙහි යොදවනු ලැබූ මූලික ක්‍රිස්තියානි ආගමේ නැවත පණගැන්වීම සහ නැවත පිහිටුවීම වේ. . . . සියල්ලෝම සහෝදරයන් වෙත්.”
මින් ප්‍රායෝගිකව අදහස් කරන්නේ කුමක්ද? “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ යුද්ධ සමයේදී දැඩි මධ්‍යස්ථභාවය රැක ගනිති,” යනුවෙන් ඕස්ට්‍රේලියන් එන්සයික්ලොපීඩියා ප්‍රකාශ කරයි. තනි පුද්ගලයන් වශයෙන් ඔවුන් මෙම ස්ථාවරය ගැනීමට තෝරාගන්නා නමුත්, ඔවුන් යම් ආණ්ඩුවක යටත්වැසියන් වශයෙන් එම ආණ්ඩුවේ කාරණාවලට ඔවුන් මැදිහත් වන්නේ නැත. එබැවින් ඔවුන් හිට්ලර්ගේ යුද්ධයට අනුබල දුන්නේ නැති අතර, නියූරම්බර්ග් නඩු විභාග කිරීම්වලදී යුද්ධ අපරාධකරුවන් යයි ඔවුන්ගෙන් කිසිවෙකු චෝදනා කරනු ලැබුවේද නැත.
වරද සහිත බවට සොයාගනු ලැබ මරණ දඬුවම ලැබූ එක් ජර්මානු ජාතිකයෙක් වූයේ ආල්ෆ්රෙට් රෝසන්බර්ච්ය, ඔහු නාට්සි පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකයා වූයේය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව වදක කඳවුරුවල දැමීමේ නාට්සි ක්‍රියා පිළිවෙළට පක්ෂව කථා කරමින්, ඔහුගේ විභාගයේදී රෝසන්බර්ච් මෙසේ සාක්ෂි ඉදිරිපත් කළේය: “අමෙරිකානු දේවගැතිවරයෙකු ඉතා කරුණාවන්ත ලෙස කොලොම්බස් [ඔහයෝ] වෙතින් පල්ලියේ ප්රවෘත්ති පත්‍රයක් මගේ සිර කාමරයේදී මට දී තිබෙනවා. ඉන් මට වැටහී යන්නේ එක්සත් ජනපදයත් යුද්ධ සමයේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව හිර භාරයට ගත් බවත් 1945 දෙසැම්බර් මාසය වන තෙක්, ඔවුන්ගෙන් 11,000දෙනෙක් තවමත් කඳවුරුවල සිටි බවත්ය.” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දේශපාලනමය ආරාවුල්වල පැති නොගෙන දැඩි ලෙස මධ්‍යස්ථභාවය රැක තිබෙන බව සැබෑවකි. දෙවන ලෝක යුද්ධයේදී හෝ වෙනත් ඕනෑම යුද්ධයකදී ඔවුන් විසින් රුධිරය වගුරුවා නැත.
හංගේරියාවෙහි, 1992 නොවැම්බර් 4 රිං නමැති සඟරාවේ ලේඛකයෙක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන මෙලෙස සඳහන් කළේය: “යමෙකු මරා දැමීම වෙනුවට ඔවුන් මරණය තෝරාගනු ඇත. එනිසා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පමණක් මෙලොව ජීවත් වුණා නම්, කිසිම තැනක යුද්ධ හට නොගනු ඇති බව මට සහතිකයි.” අව්‍යාජ ක්‍රිස්තියානියෙකුට යුද්ධයේ සහභාගි විය හැකිද යන්න ගැන දේශපාලන විද්‍යාවේ විශාරදයෙකු වන රියෝ එම්. ක්‍රිස්ටෙන්සන් ද ක්‍රිස්ටියන් සෙන්චරිහි සාකච්ඡා කළ අතර, ඔහුගේ නිගමනය මෙය විය:
“යේසුස්වහන්සේ ස්වකීය සතුරන් වෙතට අත් බෝම්බයක් එල්ල කිරීම, මැෂින් තුවක්කුවක් භාවිත කිරීම, ගිනිහෙළන යන්ත්‍රයක් මෙහෙයවීම, න්‍යෂ්ටික බෝම්බ හෙළීම හෝ මව්වරුන් සහ දරුවන් දහස් ගණනක් ඝාතනය කළ හැකි හෝ අංග විකල කළ හැකි අන්තර් මහද්වීපික ප්‍රාක්ෂේප මිසයිල එල්ල කිරීම කිසිම කෙනෙකුට සිතා ගත හැකිද? එම ප්රශ්නය කොතරම් නිරර්ථක එකක්ද කිවහොත් අඩුම වශයෙන් ඊට පිළිතුරක් සැපයීමවත් නොවටියි. යේසුස්වහන්සේට මෙය කර තම චරිතයට විශ්වාසවන්තව සිටීමට බැරි වී නම්, අප එය කර උන්වහන්සේට විශ්වාසවන්තව සිටිය හැක්කේ කෙසේද?” සිතුවිලි කළඹවන ප්රශ්නයකි.
එසේ වුවත්, ලෝකයේ තිබෙන ආගම් නොකඩවාම යුද්ධයේ පැති ගනිමින් සිටී. කතෝලිකයන් දිගටම කතෝලිකයන්ව ඝාතනය කරමින් සිටිත්, එමෙන්ම වෙනත් ආගම්වල ජනයා එක්කෝ තමන්ගේ ආගමේ අයවම හෝ වෙනත් පල්ලිවල සාමාජිකයන්ව ඝාතනය කරත්. යේසුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට නම්, ස්ථිර විශ්වාසයක් සහ ධෛර්යය අවශ්‍ය වේ, මතු සඳහන් වන සැබෑ කථාන්තරය එය හෙළි කරයි. g94 10/22
[7වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ යුද්ධයේදී මැෂින් තුවක්කුවක් භාවිත කිරීම, කිසිවෙකුට සිතා ගත හැකිද?
[හිමිකම් විස්තර]
U.S. National Archives photo