මිෂනාරිවරු ආලෝකයේ නියෝජිතයෝද, අන්ධකාරයේ නියෝජිතයෝද?—3වන කොටස
ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු සියල්ල ඇරඹූ ස්ථානය කරා යළි ගමනේ
ආසියාව මිනිස්වර්ගයාගේ මුල් නිවස වේ. මැවුම්කරුවාණන් නිර්මල නමස්කාරය හඳුන්වා දුන් ස්ථානය එයයි. ඉන්පසු වැඩිකල් නොගොස් මිනිසුන් විසින් අනුවණ ලෙස එය බොරු ආගමට හිලව් කළ මුත්, අවසානයේදී සැබෑ නමස්කාරය ආසියාවේ, පැරණි ඉශ්‍රායලයේ සහ අනතුරුව ක්‍රිස්තු ධර්මය තුළ නොකඩවා පැවතුණි. එබැවින් ක්‍රිස්තියානි ලෝකයේ යුරෝපීය මිෂනාරිවරුන් සිය පණිවුඩය ආසියාවට රැගෙන ගිය විට, ඔවුහු මිනිස් ජීවිතය සහ සැබෑ ආගම ආරම්භ වූ මහාද්වීපය වෙත ගියහ. ඔවුන් ආලෝකයේ නියෝජිතයන් වනු ඇත්ද නැතහොත් වඩාත් අන්ධකාරයේ නියෝජිතයන් වනු ඇත්ද?—උත්පත්ති 2:10-17.
එක දෙවිකෙනෙකු අඩුවුවත් වැඩිවුවත් මොකද?
ඉන්දියාවට ක්‍රිස්තියානි ඇදහිල්ල පැමිණියේ කවදාද, කෙසේද කියා ස්ථිරයෙන් තීරණය කිරීමට හැකිකමක් නොමැත. පළමු ශතවර්ෂයේදී ක්‍රිස්තියානි ප්‍රේරිත තෝමස් එය එහි ගෙන ගිය බව සතරවන ශතවර්ෂයේ ආගමික ඉතිහාසඥයෙක් වන යූසේබියස් පවසයි. දෙවන සහ සතරවන ශතවර්ෂ අතරතුරේදී එහි “ක්‍රිස්තු ධර්මය” හඳුන්වා දුන් බව වෙනත් අය පවසති. පෘතුගීසි ගවේෂකයන් 15වන ශතවර්ෂයේ අගභාගයේදී එහි පැමිණි විට, “ඉන්දියානු සමාජය තුළ ක්‍රිස්තියානීන්, පිළිගත් හා ගෞරවනීය ප්‍රජාවක්” බව ඔවුන්ට දැකගත හැකි විය.”—දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන්.
ස්පාඤ්ඤ ජාතික පූජක ෆ්‍රැන්සිස් සේවියර් 1542දී ඉන්දියානු උප මහාද්වීපයට පා තැබීය. ඔහු, ජේසු නිකායකයන් වශයෙන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ, ජේසුතුමාගේ සංගමයේ ප්රාරම්භකයා වන ලොයෝලාහි ඉග්නේෂස්ගේ ආශ්‍රිතයෙක් වූයේය. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා, සේවියර් “ඉන්දියාවේ, මලයාවේ කොදෙව්වල හා ජපානයේ ක්‍රිස්තු ධර්මය පිහිටුවීමට මහත් සේ දායක වූවෙක්,” බවට ඔහුව හඳුන්වමින් “නවීන කාලවල ශ්‍රේෂ්ඨතම රෝමානු කතෝලික මිෂනාරිවරයා” ලෙස ඔහු ගැන කතා කරයි.
අවුරුදු 46ක් ජීවත්වී 1552දී මියගිය සේවියර්ගේ ජීවිතය සාපේක්ෂ වශයෙන් කෙටි එකක් වුවත්, ඔහුගේ වර්ෂ දහයක මිෂනාරි සේවය ක්‍රියාකාරකමෙන් පිරී තිබිණ. මිෂනාරිවරුන් සේවය කළ ජනයාගේ සිරිත් විරිත්වලට සහ භාෂාවට හුරු පුරුදු වීමට ඔහු ඔවුන්ට දිරිගැන්වූ බව වාර්තා වේ.
විලියම් කේරි විසින් ඇන් ඉන්ක්වයරි ඉන්ටු දි ඔබ්ලිගේෂන්ස් ඔෆ් ක්‍රිස්ටියන්ස් ටු යූස් මීන්ස් ෆෝර් ද කන්වර්ෂන් ඔෆ් ද හීදන්ස් (මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ හැරීම සඳහා තිබෙන ක්‍රම භාවිත කිරීමට ක්‍රිස්තියානීන්ගේ වගකීම් සම්බන්ධයෙන් විමසීමක්) ප්‍රකාශයට පත් කිරීමට වර්ෂ 85කට පමණ පෙර, 1706දී පළමු රෙපරමාදු මිෂනාරිවරු ඉන්දියාවට පැමිණියහ. මෙම පොත ප්‍රකාශයට පත් කිරීම, “ක්‍රිස්තියානි ඉතිහාසයෙහි සන්ධි ස්ථානයක්” ලෙස නම් කර තිබේ. එය ලියූ පසු කේරි මිෂනාරිවරයෙකු වශයෙන් ඉන්දියාවේ වසර 40ක් සේවය කළේය.
කල් යත්ම, ක්‍රිස්තියානි මිෂනාරිවරු රට පුරා සියලු කොටස් තුළට ගියහ. හින්දු ධර්මය තුළ වඩා හොඳ අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් සොයාගත නොහැකි, අඩු වරප්‍රසාද ලත් පහත් පංති, විශේෂයෙන්ම අඩු කුලයේ සිටි අය, ක්‍රිස්තියානි ලෝකයේ ආගම් වෙත හැරෙන්ට පටන්ගත්හ. කෙසේවුවද, මෙම නැඹුරුවාව “බොහෝ මිෂනාරිවරුන් සහ උගත් ඉන්දියානු ක්‍රිස්තියානි නායකයන්ගෙන් වැඩිදෙනෙකු විසින් අනුමත නොකරනු ලැබූ” බව දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් සටහන් කරයි.
ක්‍රිස්තියානි ලෝකයේ නිෂ්ඵල වෑයම පැහැදිලි කරමින් ඉතිහාසඥ විල් ඩියූරන්ට් මෙසේ ලියයි: “ඉන්දියාවේ දුගීකම සහ ඇගේ පාළු තත්වය දෙස බොහෝ කලක් පුරා බලා සිටි දෙවිවරුන් කෙරෙහි ඉන්දියාව අතීතයේදී මෙන් අදදිනත් වෙන කවදාටත් වඩා දැඩි ලෙස විශ්වාස කරයි. . . . මිථ්‍යා ලබ්ධිකයන් හෝ නාඳුනන දෙවිවරුන් අනතුරුදායක ලෙස ජනප්‍රිය වූ විට ඔවුහු [බ්‍රහ්මනයෝ] ඔවුන්ට ඉඩ දුන් අතර, හින්දු විශ්වාසයන්හි තිබූ විශාල ඉඩ ප්‍රමාණය තුළට ඔවුන්ව ඇදගනු ලැබූහ; එක දෙවිකෙනෙකු අඩුවුවත් වැඩිවුවත් ඉන් වැඩි වෙනසක් සිදු නොවනවා ඇත.” මාන්ෆ්‍රෙට් බාර්ටල් විසින් 1984 ප්‍රකාශයට පත් ද ජෙසුයිට්ස් නම් සිය පොතෙහි, හේ මෙසේ පවසයි: “අන්තිමේදී ඉන්දියානු වැසියෝ ඔවුන්ගේ ශුද්ධ එළදෙනුන් නමස්කාරය පවත්වාගෙන ගියහ; ජේසු නිකායිකයන්ට සහ මෝගල්වරුන්ට වඩා හින්දු ධර්මය බොහෝ කල්පැවති අතර, අදදින එහි වැඩිපුර දෙවිවරුන් බටහිර ක්‍රිස්තියානීන් වෙත යවනු ලබන බව පෙනෙන්ට තිබේ.”
කල්පවතින සලකුණක් තැබීමට අසමත් වේ
මේ වන විටත් බටහිර සහ නැගෙනහිර යන පල්ලි දෙකකට බෙදී, මුල් ක්‍රිස්තියානි ලෝකය පස්වන ශතවර්ෂය තුළදී තවත් නිකාය භේදයකට ලක්වූයේය. කොන්ස්තන්තිනෝපල්හි කුලදෙටු නෙස්ටෝරියස්, මතභේදයකට පටලැවුණු අතර, එය නෙස්ටෝරියානු පල්ලිය ලෙස නැගෙනහිර පල්ලියෙන් කැඩී යන කණ්ඩායමක් සෑදීමට මඟ පෑදීය.
නෙස්ටෝරියානුවෝ මිෂනාරි වැඩයට විශේෂ අවධාරණයක් දුන්හ. ඔවුන්ගෙන් එක් මිෂනාරිවරයෙකු වන ආලෝපින් පො.යු. 635දී චීනය වෙත නෙස්ටෝරියානු විශ්වාසයන් හඳුන්වා දුන් බව පෙනෙන්ට තිබේ. අනික් අතට, මෝන්ටෙකොර්විනෝහි ෆ්‍රැන්සිස් නිකායට අයත් සහෝදර ජෝන් 1294දී පමණ චීනයට ගොස්, එහි මීසමක් පිහිටුවන තෙක්, බටහිර පල්ලිය එහි පැමිණියේ නැත.
කෙසේවෙතත්, ඇත්තෙන්ම කිවහොත්, ඉතාලි ජාතික ජේසු නිකායික මාට්ටෙඕ රීට්චි පැමිණෙන තුරු චීනයේ මිෂනාරි සේවය පටන්ගැනුණේ නැත. යුරෝපයේ ප්‍රතිසංස්කරණයට පසු, රෙපරමාදු ධර්මය එහි ස්ථාවරය පිහිටුවීමට මහත් පරිශ්‍රමයක් යොදමින් සිටියදී, කතෝලික ධර්මය යුරෝපයෙන් පිටත සිටින්නන්ව හැරවීමට සොයමින් කාර්ය බහුලව සිටියේය. ඉතා භක්තිවන්ත කතෝලික රටවල් දෙකක් වන පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ ගවේෂක කණ්ඩායම්, එසේ කිරීමට පල්ලිය ගත් උත්සාහයන්ට හොඳින් උපකාරවත් වුණි.
ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් චයිනා සටහන් කරන පරිදි, 17වන සහ 18වන ශතවර්ෂයේ මිෂනාරිවරුන්ට සෑහෙන සාර්ථකත්වයක් තිබුණේ සමහරවිට, “[ඔවුන්ගෙන්] (විෂේශයෙන් ජේසු නිකායිකයන්ගෙන්) විශාල ගණනක් බෙහෙවින් ඉවසීමේ ආකල්පයක් වර්ධනය කර තිබූ නිසාය.” චීන ඉතිහාසයේ ආචාර්ය හාන්ස් එච්. ඒ. බිලෙන්ෂ්ටයින් මෙසේ තවදුරටත් විස්තර කරයි: “ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ සමඟ ස්වර්ගය පිළිබඳ චීනයේ සංකල්පය සන්සන්දනය කරමින්, [ජේසු නිකායිකයෝ] ක්‍රිස්තු ධර්මය සහ කොන්ෆියුසියස් ධර්මය අතර සමානත්වයන් අවධාරණය කළ අතර, මුතුන්මිත්තන් නමස්කාරයට විරුද්ධත්වයක් පළ කළේ නැත. ජේසු නිකායිකයන් ඇතැම් පාර්ශවයන් තුළ හැරවීම් කළ නමුත්, ඔවුන් කල්පවතින ලාඤ්ඡනයක් නොතැබුවේ මන්දැයි මෙය පැහැදිලි කරයි.”
වර්ෂ 1724දී චීන අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තියානි ලෝකයේ ආගම් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, බොහෝ විදේශ මිෂනාරිවරුන්ව පහකර දැමීය. අවස්ථාව සැලසුණු විට, කතෝලික මිෂනාරිවරු යළි පැමිණියහ. රෙපරමාදු මිෂනාරිවරුන් ඔවුන්ට එකතු වූ අතර, 1807දී පැමිණි ලන්ඩන් මිෂනාරි සමාජයේ රොබට් මොරිසන්, එසේ පැමිණි අය අතරින් පළමුවැන්නා වූයේය. ඔහු සිය විශ්වාසයන් පතුරුවා හැරීමට පමණක් නොව, නමුත් චීනය බටහිර සංස්කෘතියට හඳුන්වා දීමටද, එමෙන්ම බටහිර ශිෂ්‍යයන්ව නැගෙනහිර සංස්කෘතියට හඳුන්වා දීමටද, ඔහු විද්‍යාලයක් පිහිටෙව්වේය. වර්ෂ 1819 වූ විට, විලියම් මිල්න්ගේ උපකාරය ඇතිව, මොරිසන් මුළු බයිබලයේම පරිවර්තනයක් සම්පූර්ණ කර තිබුණේය.
ඇතැම් මිෂනාරිවරු, වෙනත් ආකාරයක ආලෝකයක් ගෙන ඒමට කැපවී සිටියහ. වෛද්‍ය පීටර් පාර්කර්, 1838දී කැන්ටන්හි පිහිටෙවූ වෛද්‍ය මිෂනාරි සමාජය සංවිධානය කිරීමට උපකාර කරමින් චීනයට පැමිණි පළමු වෛද්‍ය මිෂනාරිවරයා බවට පත්වූයේය. අධ්‍යාපනික ලුහුබැඳීම්වලට, ජනහිතකාමී ව්‍යාපාරයන්ට සහාය දැක්වීමට හෝ සමාජ ගැටලු විසඳීමට වෙනත් මිෂනාරිවරු තමන්වම කැපකළහ. ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් චයිනා පවසන පරිදි, මිෂනාරිවරුන් කළ පරිවර්තනවලින් සමහරක් “චීන ජාතිකයන් ක්‍රිස්තු ධර්මය පිළිගැනීම වැඩි වර්ධනය කරනවාට වඩා චීනය පිළිබඳ යුරෝපීය අවබෝධය වැඩිදියුණු කිරීමට වඩාත් ගැළපෙන යමක් විය.”
ක්‍රිස්තියානි එක්සත්කම සහ සහෝදරත්වය පිළිබඳ ආදර්ශයක් චීන ජාතිකයන්ට දීමටද ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් අසමත් විය. විශේෂයෙන්ම රෙපරමාදු භක්තිකයෝ අසමගිව සිටියහ. දශක හතරක් තුළදී ඔවුන්ගේ මිෂනාරිවරුන්ගේ ගණන 189 සිට 3,445 දක්වා වැඩිවිය. වර්ෂ 1905 වූ විට මිෂනාරි සමාජයන් 60-සහ-ඊට වැඩි ගණනකින් සෑම එකක්ම තමන්ටම ආවේනික වූ ක්‍රිස්තියානි ඉගැන්වීම් පතළ කරමින් සිටියහ. ක්‍රිස්තු ධර්මය විය යුතු දෙය පිළිබඳ අහිතකර රූපයක් කතෝලික මිෂනාරිවරු ඉදිරිපත් කළහ. “හැරෙන්නන් විය හැකි අයව දිනාගනු වස්, දේශීය දේශපාලනය සහ අධිකරණ කටයුතු කෙරෙහි මැදිහත් වීම පැතිර පවතින පුරුද්දක්,” වූ බව ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් චයිනා සඳහන් කරයි.
හැරෙන්නන්ව වෙනත් තැන්වල සෙවීම
පෘතුගීසි ගවේෂක ෆර්ඩිනන්ඩ් මැගලන් 1521දී ප්‍රථමයෙන්ම පිලිප්පීන දූපත්වලට පා තබා ශතවර්ෂයකට අඩු කාලයකදී, එහි කතෝලික මිෂනාරිවරුන් විසින් මිලියන දෙකක් පමණ ජනයා බව්තීස්ම කර තිබුණි. අදදින, ජනගහනයෙන් සියයට 84 රෝමානු කතෝලික වේ. පල්ලිය මගින් පිහිටුවන ලද අධ්‍යාපනික ක්‍රමය නිසැකවම මෙම සාර්ථකත්වය පැහැදිලි කිරීමට උපකාර කරයි. එහෙත් මිෂනාරිවරුන් “හැරුණු අය ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හා ඇදහිලි ක්‍රමවලින් බොහොමයක් අත්නෑර තබාගැනීමට ඉඩදීම,” නොසලකා නොහැරිය යුතු තවත් සාධකයක් යයි එක් ලේඛකයෙක් පවසයි.
පල්ලියට වෙනත් තැන්වල සාර්ථකත්වය තිබුණේ අඩුවෙනි. උදාහරණයක් වශයෙන්, මුළු ජපන් ජාතිකයන්ගෙන් ජපානයෙහි සිටින කතෝලික භක්තිකයන්ගේ ගණන සියයට 0.3ක් පමණි. කොරියා සමූහාණ්ඩුවේ ගණන සියයට 6කට ආසන්නව පවතියි.
ජපානයට ප්‍රථමයෙන්ම යුරෝපීයයන් පැමිණුණේ 1542දීය. වර්ෂ 1549දී ජේසු නිකායික මිෂනාරිවරයා වූ ෆ්රැනිසිස් සේවියර් තවත් මිත්‍රයන් කීපදෙනෙකු සමඟ මිත්‍රත්වයෙන් පිළිගනු ලැබීය. වැඩිකල් යෑමට පෙර “යුරෝපීය මිෂනාරි සේවය (පිලිප්පීනයේ එය සිදුවී තිබුණු බව ඔවුන් දැන සිටි පරිදි) ස්පාඤ්ඤයේ රජ විසින් දේශපාලනික විජිතයකට අරඇඳීමක් විය හැකි” යයි ජපන් නායකයන් “සැක කිරීමට පටන්ගත් විට” මෙම මුල් උද්යෝගය මැළවී ගිය බව ඉතිහාසඥ ජේ. මේසන් ජෙන්ට්ස්ලර් ලියයි.
වර්ෂ 1614දී “මිෂනාරිවරුන් රජයේ සතුරන් ලෙස සලකා රටෙන් නෙරපූ අතර, අධිරාජයා විසින් නියෝග කරනු ලැබුවේ, ඔහුගේ පාලන තන්ත්රය තුළ තවදුරටත් ක්‍රිස්තු ධර්මය පවතින්ට ඉඩ නොහරිනු ලබන බවය . . . අලුත් ආගම අත්හැරීම ප්‍රතික්ෂේප කළ ආගමට හැරුණු අය දස දහස් ගණන් පිටින් ඇණගසනු ලැබීය. . . . , එමෙන්ම මිෂනාරිවරුන්ට ඊටත් වඩා දරුණු වධදීම් වෙන් කර තිබුණි . . . ඔවුන්ව පණ පිටින් පුලුස්සා, ශරීරය කෑලිවලට කපා, විසකුරු සර්පයන්ගෙන් පිරි වලවල් තුළට” හෙළනු ලැබීය, මේ සමඟම වෙනත් බිහිසුණු ක්‍රියා කරන ලදි.—ද ජෙසුයිට්ස්.
වර්ෂ 1784දී කොරියාවට කතෝලික ධර්මය හඳුන්වා දුන් අතර, රෙපරමාදු ධර්මය ඊට ශතවර්ෂයකට පසුව හඳුන්වා දෙන ලදි. “අමෙරිකානු මිෂනාරිවරුන් ශුභාරංචිය පමණක් නොව, නමුත් අධ්‍යාපනය, බෙහෙත් සහ තාක්ෂණය ගෙනා බැවින්” දෙවනුව සඳහන් රෙපරමාදු ධර්මය “වඩාත් ශීඝ්‍රයෙන් වැඩිවන්ට විය,” යයි ටයිම් සඟරාව පැහැදිලි කරයි. ආගමික උපදෙස්වලින් පමණක් සිදු කරනවාට වඩා වෙනත් මාධ්‍යයන්වලින් හැරවීම් කිරීමේ මෙම ප්‍රතිපත්තිය තවමත් සිදු කරනු ලබන බව පෙනෙන්ට තිබේ. සිඔල් ජාතික විශ්වවිද්‍යාලයේ, දර්ශනවාදය පිළිබඳ ආචාර්ය සොන් බොං හෝ මෙවැන්නක් සඳහන් කළේය: “ප්‍රධාන නිකායන්වලට වඩා ද්‍රව්‍යමය ආශීර්වාද අවධාරණය කර තිබෙන එම පල්ලි වේගයෙන් වැඩිවර්ධනය වී තිබේ.”
අනාගතය හෙළි කරන දේ
අප අතීතයේ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ව කෙසේ සැලකිය යුතුද? ඔවුන් ඉදිරිපත් කළ දෙය යේසුස්වහන්සේ විසින් හඳුන්වා දුන් නිර්මල නමස්කාරය නොවේ. එහෙත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙකු අවංක බවට සැකයක් නැත. කෙසේවෙතත්, ඔවුහු බයිබලය බොහෝ භාෂා ගණනකට පරිවර්තනය කළ අතර, අඩුම තරමින් යම් බයිබල් සංකල්පයන් ඉගැන්වූහ.
අඳුරු මහාද්වීපය ලෙස හඳුන්වන්ට යෙදුණු අප්‍රිකාවට ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන්ගේ පැමිණීම ගැන කුමක් කිව හැකිද? මේ ගැන “‘අඳුරු මහාද්වීපයකට’ ආත්මික ආලෝකය” නමැති අපගේ ඊළඟ කලාපයේ ලිපිය කියවන්න. g94 11/8
[22වන පිටුවේ කොටුව]
චීන බයිබලයෙහි “යෙහෝවඃවහන්සේ”
දහනවවන ශතවර්ෂයේ මිෂනාරිවරයෙක් සහ පරිවර්තකයෙක් වූ ජෝන් ඩබ්. ඩේවිස් මෙසේ තර්ක කළේ: “ශුද්ධාත්මය විසින් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ යම් තැනක යෙහෝවා යන නම දී තිබේ නම්, පරිවර්තකයා ඉංග්‍රීසියෙන් හෝ චීන භාෂාවෙන් යෙහෝවා යයි නොපවසන්නේ මන්ද? මම මෙහි යෙහෝවා යනුවෙන් යොදන අතර, වෙනත් තැනක ඊට ආදේශකයක් යොදන්නෙමි යයි කීමට ඔහුට ඇත්තේ කුමන අයිතියක්ද? . . . පරිවර්තනයේ යම් තැනක යෙහෝවඃ කියා යෙදීම වැරදි නම්, ආනුභාවය ලත් ලේඛකයා එය මුල් පිටපතේ යෙදුවේ මන්ද?”