මිෂනාරිවරු ආලෝකයේ නියෝජිතයෝද අන්ධකාරයේ නියෝජිතයෝද?—4වන කොටස
“අඳුරු මහාද්වීපයට” ආත්මික ආලෝකය?
“වර්ෂ 100කට වඩා අඩු කාලයකදී, යුරෝපීයයන් අප්‍රිකාවේ වැඩි කොටසක් ගැන නොදැන සිටි බැවින්, අප්‍රිකාව හැඳින්වූයේ අඳුරු මහාද්වීපය කියාය.” මෙහි ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා යොමු දක්වන්ට යෙදුණේ අප්‍රිකාවේ අඳුරුභාවය ගැන නොව නමුත්, ඊට වඩා යුරෝපීයයන්ගේ අඳුරුභාවය—එනම් විශාල ලෙස ගවේෂණය නොකරන ලද මහාද්වීපයක් සම්බන්ධයෙන් යුරෝපයේ මද දැනගැන්ම ගැනය. එබැවින් අප්‍රිකාව යන නම ලතින් වචනය වන ආප්රිකා, එනම් “ආලෝකය” යන අර්ථය දෙන වචනයෙන් ඇදගැනීමෙහි පටහැනිතාවක් නැත.
තවමත්, එක් පැත්තකින්, අප්‍රිකාව අඳුරේ—එනම් බයිබල් සත්‍ය සම්බන්ධයෙන් අඳුරේ තිබිණ. කැන්ටබරිහි හිටපු අග රදගුරු ප්‍රසාදි ඩොනල්ඩ් කොගන්, අප්‍රිකාව සහ ආසියාව හඳුන්වන්නේ “වසර දෙසීයෙන් වැඩි කලක් පුරා බටහිර පල්ලි සිය කාය බලයේ සහ මුදලේ සම්පත් වැගිරෙවූ විශාල මහාද්වීප දෙක බවටය.”
ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන්ගෙන් වැඩිදෙනෙකු අවංක වූ බවට සැකයක් නැත. සමහරු, තම වැඩය කරගෙන යෑමේදී, තමන්ගේ ජීවිත පවා පූජා කළහ. අප්‍රිකානු ජීවිතය මත ඔවුන්ගේ බලපෑම අධිකව තිබිණ. එහෙත් ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ කළාක් මෙන්, අඳුරු මහාද්වීපය යයි හඳුන්වන දෙයින් ආත්මික අඳුර ඉවත් කිරීමට “ශුභාරංචිය මගින් . . . ආලෝකය හෙළනු ලැබුවහුද?”—2 තිමෝති 1:10, NW.
දේශීය මිෂනාරිවරු පළමු ආලෝක ධාරා හෙළති
අප්‍රිකාවෙහි දේශනා කළ බවට වාර්තා වූ පළමු ක්රිස්තියානිවරයාම, බයිබලයේ ක්‍රියා 8වන පරිච්ඡේදයේ සඳහන් වූ, අප්‍රිකානු ජාතිකයෙක් වන ඉතියෝපීය නපුංසකයාය. යුදෙව් ආගමට හැරී සිටි ඔහු, යෙරුසලමේ දේවමාළිගාවෙහි නමස්කාරයෙන් පසු, සිය නිවස කරා ගමන් කරමින් සිටියදී, පිලිප් ඔහුව ක්‍රිස්තු ධර්මයට හැරවීය. ඉන්පසු මෙම ඉතියෝපීය නපුංසකයා මුල් ක්‍රිස්තියානීන්ගේ ජ්වලිතය පවත්වාගනිමින්, තමාගේම රටේ මිෂනාරිවරයෙකු බවට පත්වෙමින්, තමා සවන්දුන් ශුභාරංචිය ක්‍රියාශීලී ලෙස දේශනා කළ බවට සැකයක් නැත.
කෙසේවෙතත්, ඉතියෝපියාවේ ක්‍රිස්තු ධර්මය පිහිටුවනු ලැබුවේ, මෙලෙස බවට එකඟ වීමට ඉතිහාසඥයෝ අසමත් වූහ. හතරවන ශතවර්ෂයේ ඉතියෝපීය ඔර්තඩොක්ස් පල්ලිය පටන්ගැනුණේ, ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ට් පල්ලියේ බිෂොප්වරයෙකු වන අතනේසිඅස් විසින්, දර්ශනවාදය හැදෑරූ සිරියානු ශිෂ්‍යයෙකු වන ෆ්රූමෙන්ෂිඅස්ව ඉතියෝපීය “ක්රිස්තියානිවරුන්” සඳහා බිෂොප් කෙනෙකු වශයෙන් පත් කළ විටය.
කොප්ට් පල්ලියේ ප්රාරම්භකයා සහ පළමු කුලදෙටුවා, එවැන්ජලිස්ත මාර්ක් බවට පැවසේ. කොප්ට් යනු “ඊජිප්තුවරුන්” සඳහා යෙදෙන ග්‍රීක් වචනයෙන් ඇදගත් වචනයකි. සම්ප්‍රදායට අනුව, ඔහු පළමු ශතවර්ෂයේ මැදභාගයට ස්වල්ප කලකට පෙර ඊජිප්තුවේ දේශනා කළේය. කාරණය කුමක්වුවත්, ඕරිජන් සහ ඔගස්ටින් වැනි මිනිසුන් ප්රමුඛත්වයට පත් කරමින් පෙර කලකදී උතුරු අප්‍රිකාවට “ක්‍රිස්තු ධර්මය” පැතිරිණ. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියාවෙහි ප්‍රශ්නෝත්තර කතෝලික පාසැලක පළමු සභාපති වශයෙන් පැන්ටිනස් සමඟින් එය “ක්‍රිස්තියානි” ශිෂ්‍යත්වයේ ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් බවට පත්විය. එහෙත් පැන්ටිනස්ගේ අනුප්‍රාප්තික ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්ගේ කාලය වන විට, ධර්ම විරෝධය මුදුන්පෙත්තටම නැඟ තිබිණ. ක්ලෙමන්ට් “ක්‍රිස්තු ධර්මය සහ බයිබලය ග්‍රීක දර්ශනය සමඟ එකඟ කිරීමට පක්ෂව කතා කළ බව” දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් හෙළි කරයි.
කොප්ටික් පල්ලිය ප්‍රබල මිෂනාරි ව්‍යාපාරයක් කරගෙන ගිය අතර, විශේෂයෙන්ම එසේ කළේ නැගෙනහිර ලිබියාවෙහිය. නුබියාවෙහි සහ සුඩානයේ පහළ කොටසෙහි කරනු ලැබූ පුරාවස්තු ගවේෂණවලදීද, කොප්ටික් බලපෑම තිබී ඇති බවට හෙළිවේ.
යුරෝපීය මිෂනාරිවරු පැමිණෙති
දහසය සිට 18වන ශතවර්ෂවලට පෙර යුරෝපීයයන් අප්‍රිකාවෙහි සුළු මිෂනාරි වැඩක් කළ අතර ඒ කාලයේදී කතෝලිකයෝ සැලකිය යුතු ප්‍රමාණයකට සාර්ථකත්වයක් අත්කරගත්හ. දහනවවන ශතවර්ෂයෙහි මුල්භාගය වන තුරු රෙපරමාදු ආගම් පැමිණියේ නැති අතර, ඔවුන්ගේ මිෂනාරිවරුන් පැමිණි ප්‍රථම බටහිර අප්‍රිකානු රට බවට සියරා ලියොන් පත්විය. රෙපරමාදු භක්තිකයන් සම සමව පැමිණීමට මහත් වෑයමක් දැරුවද, අදදින, අප්‍රිකාවේ රටවල් ස්වල්පයක හැර විශාල “ක්‍රිස්තියානි” ජනගහනයක් සිටින බවට පුරසාරම් දොඩන, සෑම අප්‍රිකානු රටකම රෙපරමාදු භක්තිකයන්ට වඩා වැඩියෙන්, කතෝලිකයෝ සිටිති.
උදාහරණයක් වශයෙන්, ගැබොන්හි ජනගහනයෙන් සියයට 96ක් නාම මාත්‍රයෙන් ක්‍රිස්තියානීහු වෙති. පළවන ලෝක යුද්ධයට ස්වල්ප කලකට පෙර, ලූතරන් භක්තිකයෙකු වූ ඇල්බර්ට් ස්ක්වීට්සර්, එහි ධර්මදූත රෝහලක් පිහිටෙවූ අතර, පසු කලක එයට ළාදුරු යටත් විජිතයක් එකතු කරනු ලැබීය. රට තුළ ඔහුගේ මිෂනාරි සේවයේ වසර 40-සහ-ඊට වැඩි ගණනක් තුළ ඝට්ටන තිබුණත්, කතෝලිකයන්ගේ ගණන තවදුරටත් රෙපරමාදුවන්ගේ ගණනට වඩා 1ට 3 බැගින් වැඩිවිය.
කෙසේවුවත්, රෙපරමාදු භක්තිකයන්ගේ සහභාගිත්වයේ වැඩිවීමත් සමඟ, අප්‍රිකානු මිෂනාරි සේවයට නව නැම්මක් ඇති විය. ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ ඒඩ්‍රියන් හේස්ටිංස් පැහැදිලි කරන්නේ “මෙම කාලපරිච්ඡේදයේ [එනම් 19වන ශතවර්ෂයේ දෙවන භාගයේ] වැදගත් දායාදය වූයේ, බයිබලය අප්‍රිකානු භාෂාවලට පරිවර්තනයේ සැලකිය යුතු වැඩිවීමකට පටන්ගැන්මක් වීමය,” කියාය.
“ක්‍රිස්තු ධර්මය” පැතිරවීම සඳහා ස්වභාෂා බයිබල් පරිවර්තනයන් පදනමක් සපයනු ලැබීය, එය කලින් සිදුවූයේ මද වශයෙනි. සිහින සහ දර්ශන කෙරෙහි විශ්වාසය තැබූ බොහෝ අප්‍රිකානුවෝ, අසනීප වන්නේ කොඩිවින කිරීමේ හේතුවෙන් යයි සැලකූ අතර, බහුභාර්ය සේවනය ක්‍රියාවට නැඟූහ. ස්වභාෂාවෙන් බයිබලය සතුව සිටි ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන්ට මෙම විෂයන් සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලිමය ආලෝකය හෙළීමට අවස්ථාවක් උදාවිය. කෙසේවුවද, හේස්ටිංස් පවසන පරිදි, “අප්‍රිකානුවෝ නිතර මේ දේවල් සම්බන්ධයෙන් ඒත්තු නොගෙන සිටියහ.” ප්‍රතිඵලය? “දහනවවන ශතවර්ෂයේ අවසානයේදී, පළමුව දකුණු අප්‍රිකාවෙහි සහ නයිජීරියාවෙහිද, ඉන්පසු මේ වන විටත් සැලකිය යුතු මිෂනාරි සේවයක් තිබූ මහාද්වීපයේ වෙනත් බොහෝ කොටස්වලද, ස්වාධීන පල්ලි රාශියක් බිහිවීමට පටන්ගත්තේය.”
ඇත්තෙන්ම, අදදින, අප්‍රිකාවේ දකුණු සහරාවෙහි භක්තිවන්තයන් 3,20,00,000කට වැඩියෙන් සිටින නව ආගමික ව්‍යාපාර 7,000ක් පමණ පවතී. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් විශ්වකෝෂයට අනුව, “මෙම ව්‍යාපාර මූලික වශයෙන් බිහිවී තිබෙන්නේ ක්‍රිස්තියානි මිෂනාරි කටයුතු ප්රබලව සිදුවූ ප්රදේශවලය.” මිෂනාරිවරයෙකු වූ පාවුල් පැවසූ පරිදි “එක ස්වාමීන්වහන්සෙත්, එක ඇදහිල්ලත්, එක බව්තීස්මයත්” කරා, මිෂනාරිවරුන්ට තමන් විසින් හරවාගන්නන්ව එක්සත් කිරීමට පැහැදිලිවම නොහැකි විය.—එපීස 4:5.
මන්ද? “නිගමනයට එළඹීම සඳහා ඉදිරිපත් කළ කරුණු සහ ක්‍රිස්තියානි ධර්මයේ ප්‍රතිඵල හේතුවෙන් දේශීය හැරෙන්නන්ගේ අධෛර්යයට පත්වීම . . . , නිකායකට අයත් ක්‍රිස්තු ධර්මයෙහි බෙදීම් තිබීම සහ දේශීය අවශ්‍යතා සපුරාලීමට එහි අසමත්කම [මෙන්ම] සමාජීය සහ සංස්කෘතික බාධක බිඳ, සමූහත්වයේ හැඟීමක් උත්පාදනය කිරීමට ක්‍රිස්තු ධර්මයේ සභාවල අසමත්කම” හේතුවෙන් එසේ සිදුවූ බවට ඉහත සඳහන් මූලාශ්‍රය පැහැදිලි කරයි.
“අඳුරු මහාද්වීපය” මත ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු හෙළූ ආත්මික “ආලෝක” ප්‍රමාණය ඉතා ස්වල්පය. එමනිසා බයිබලය ගැන නොදැනුවත්කම පිළිබඳ අඳුර පලවා හැරීමට නොහැකි තරමටම දුර්වලත්වයක් තිබිණ.
අධිරාජ්‍යවාදයේ නියෝජිතයෝද?
ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් යහපත් දේ ඉටුකර තිබේය යන සැබෑව තිබුණත්, දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් විශ්වකෝෂයට අනිවාර්යයෙන්ම මෙය පිළිගැනීමට සිදුවේ: “අධිරාජ්‍යවාදි පවරාගැනීම්වලදී මිෂනාරිවරුන්ව උනන්දුමත් කළ අතර, පහසුකම් සලසනු ලැබූ බැවින් ඇතැම් අවස්ථාවල ක්‍රිස්තු ධර්මය සහ අධිරාජ්‍යවාදි යටත් විජිතය කාසියක පැති දෙක මෙන් පෙනෙන්ට තිබිය හැක. නවීන අධිරාජ්‍යවාදී විරෝධීන් බොහෝවිට අප්‍රිකාවේ ක්‍රිස්තු ධර්මය හංවඩුගසා තිබෙන්නේ යම් සාධාරණ හේතු ඇතුව අධිරාජ්‍යවාදි වරදෙහි මිත්‍රයෙකු වශයෙනි.”
“යටත් විජිතයන් පිහිටුවීමෙන්, නොදියුණු යයි සලකනු ලැබූ අභ්යයන්තරයෙහි එම ගෝත්‍රවලට විතර්කය, ප්රජාතන්ත්රවාදි ප්‍රතිපත්ති, විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාවේ ප්‍රයෝජන නමැති ආලෝකය ගෙනෙනු ඇතැයි” යන නිසැකකමින් බටහිර ජාතීන් පෙලඹුණු බව ද කොලින්ස් ඇට්ලස් ඔෆ් වර්ල්ඩ් හිස්ට්‍රි පැහැදිලි කරන විට, එය මේ ගැන අවබෝධයක් ලබා දෙයි. තවද ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ සඳහන් කරයි: “රෝමානු කතෝලික සභාවලට තමන්ව අධිරාජ්‍යවාදීන්ගෙන් වෙන් කරගැනීමට අසීරු වී තිබෙන අතර, බොහෝ මිෂනාරිවරුන්ට එසේ වෙන්වීමට වුවමනා වූයේ නැත.”
එසේනම්, ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් ප්රජාතන්ත්රවාදයට පක්ෂව, බටහිර විද්‍යාත්මක සහ වෛද්‍යමය දියුණුවේ ප්‍රයෝජන ප්‍රශංසාවට පත් කරන තාක් කල්, ඔවුන් අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් බවට පත්වීම තර්කානුකූලය. වරක් ජනයා අධිරාජ්‍යවාදි බලයන්ගේ ආර්ථික, දේශපාලනික සහ සමාජීය සැකසීම් කෙරෙහි මුළාවෙන් මිදුණු අතර, ඔවුන් තුළද යුරෝපීය ආගම් කෙරෙහි විශ්වාසය හීන වී ගියේය.
දේශනා කිරීමට මුල් තැන දිය යුතුද?
අප්‍රිකාවේ රෙපරමාදු මිෂනාරිවරුන් ගැන සඳහන් වන ඕනෑම අවස්ථාවකදී, ඩේවිඩ් ලිවිංග්ස්ටන් යන නම සාමාන්‍යයෙන්ම සඳහන් වේ. වර්ෂ 1813දී ස්කොට්ලන්ඩ්හි උපත ලද ඔහු වෛද්‍ය මිෂනාරිවරයෙකු බවට පත්වී, අප්‍රිකාව පුරාම පුළුල් ලෙස සංචාරය කළේය. “අඳුරු මහාද්වීපය” වෙත ඔහුගේ ගැඹුරු ප්‍රේමය සහ සොයාගැනීමේ ප්රබෝධය ඔහුට අමතර පෙලඹීමක් සැපයුවේය. “ක්‍රිස්තු ධර්මය, වාණිජ්‍යය සහ අධිරාජ්‍යවාදය යන මෙම ත්‍රිත්වය අප්‍රිකාවේ පටන්ගැන්ම නියම කළ බවට ඔහු විශ්වාස කළෙහි” යයි ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසා සිටියි.
ලිවිංග්ස්ටන්ගේ ඉටු කිරීම් බොහොමයක් තිබිණ. කෙසේවුවද, පැහැදිලිවම ඔහු මුල් තැන තබා තිබුණේ ශුභාරංචිය දේශනා කිරීමට නොවේ. ඔහුගේ 30 අවුරුදු මිෂනාරි වැඩය “දකුණු, මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවෙහි—එනම් බොහෝවිට කලින් කිසි යුරෝපීයයෙකු ධෛර්යයෙන් ඉදිරිපත් නොවූ ස්ථානවල” සිදුවූ බවට බ්‍රිටැනිකා සංක්ෂිප්ත කොට දක්වන අතර මෙසේ: “ඔහුට පෙර හෝ පසුව සිටි ඕනෑම පුද්ගලයෙකුට වඩා, ලිවිංග්ස්ටන් අප්‍රිකාව කෙරෙහි බටහිර ආකල්ප ඇති කර තිබෙනවා විය හැක. ඔහුගේ සොයාගැනීම්—එනම් භූගෝලීය, තාක්ෂණික, වෛද්‍යමය සහ සමාජීය සොයාගැනීම්—තවදුරටත් සෝදිසි කරමින් තිබූ ප්‍රධාන සංකීර්ණ දැනගැන්මක් සැපයීය. . . . නවීන ලෝකය කරා දියුණු වීමට අප්‍රිකානුවන්ගේ හැකියාව කෙරෙහි ලිවිංග්ස්ටන් මුළු හෘදයෙන්ම විශ්වාස කළේය. ඔහු මෙයාකාරයෙන් අප්‍රිකාවෙහි යුරෝපීය අධිරාජ්‍ය පාලනයට පමණක් නොව, නමුත් අප්‍රිකානු ජාත්යාලයටද පූර්වගාමියෙකු වූයේය.” ලිවිංග්ස්ටන් අප්‍රිකානුවන් සඳහා මහත් දයානුකම්පාවක් දැක්වීය.
සමහර මිෂනාරිවරුන් වහල් වෙළඳාමට සහාය දුන්නා හෝ අඩුම තරමින් ඉඩහරිනු ලැබුවා වුවත්, කණ්ඩායමක් වශයෙන් එසේ කළ බවට ඔවුන්ට චෝදනා එල්ල කිරීම අසාධාරණයක් වනු ඇත. එහෙත් අතීතය දෙස බලද්දී, ඔවුන්ගෙන් බොහෝදෙනෙකු පෙන්වූ දයානුකම්පාව ජාති භේදයකින් තොරව, සමානත්වය පිළිබඳ දේව ප්‍රමිති පිළිපැදීමට ආශාවක් මගින් පෙලඹීමක්ද නැතහොත් ඊටත් වඩා පුද්ගලයන්ගේ ශුභසිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකව සැලකිලිමත්වීමේ සාමාන්‍ය හැඟීම් මගින් සිදුවූවක්දැයි නිගමනය කිරීමට අසීරුය.
කෙසේවුවත්, මිෂනාරිවරුන්ගෙන් වැඩිදෙනෙකු මුල් තැන තබා තිබුණේ පසුව සඳහන් කළ දෙය වෙතය. කිසිවෙකුට “ඔවුන්ගේ සත්ව කරුණාවේ වැඩය පිළිබඳ වාර්තාවට සමවිය” නොහැකි බවට ක්රිස්ටිඇනිටි ඉන් ඇෆ්රිකා ඈස් සීන් බයි ඇෆ්රිකන්ස් පොත පිළිගනියි. එහෙත් රෝහල් සහ පාසැල් ගොඩනැගීමෙන් අදහස් වූයේ දිව්‍ය කටයුතු කරනු වස් දේව වචනය දේශනා කිරීමට ඉදිරියෙන් මිනිස් ශාරීරික අවශ්‍යතා තබන බවය. සමහර මිෂනාරිවරුන් විසින් අප්‍රිකානුවන්ට යුරෝපීය භාණ්ඩ ලබාගැනීමට හැකි කරවීම සඳහා වෙළඳ මධ්‍යස්ථාන පවා පිහිටුවනු ලැබූ අතර, මෙමගින් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවනු ලැබීය.
ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් ලබා දුන් ද්‍රව්‍යමය ප්‍රයෝජන වෙනුවෙන්, අදදින බොහෝ අප්‍රිකානුවෝ කෘතඥපූර්වක වෙති. ඒඩ්‍රියන් හේස්ටිංස් සඳහන් කරන පරිදි: “මිෂනාරිවරුන් සහ පල්ලි ගැන බෙහෙවින් විවේචනාත්මක වූ විට පවා, ද්විතියීක අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය සඳහා කෘතඥතාව දැක්වීමට අප්‍රිකානු දේශපාලනඥයන් අසමත් වූයේ කලාතුරකිනි.”
‘ඔබ තුළ ඇති ආලෝකය අඳුරෙහි නම් . . . ’
හේස්ටිංස් පවසන පරිදි, මෑත ශතවර්ෂ වන තුරුම අප්‍රිකාව වනාහි “ක්‍රිස්තු ධර්මය මගින් කල්පවතින දියුණුවක් ඇති කිරීමට අසමත් වූ මහාද්වීපයකි.” ඇත්තෙන්ම, 18වන ශතවර්ෂයේ මැද භාගය වන විට, කතෝලික ධර්මදූත සේවා සම්පූර්ණයෙන්ම වාගේ අතුරුදහන් වී ගිය බැවින් “එවැනි විශාල අසාර්ථකත්වයක්” ඇති වූයේ කෙසේද කියා ප්‍රශ්න කිරීමට කර්තෘ ජේ. හර්බර්ට් කේන්ට මඟ පෑදීය. එක් දෙයක් නම්, මිෂනාරිවරුන් අතර මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබිණ. තවත් කාරණයක් නම්, පෘතුගීසිය වහල් වෙළඳාමේ හවුල්වීමය. සියලු කතෝලික මිෂනාරිවරුන් පෘතුගීසීන් වූ බැවින්, මෙය “ක්‍රිස්තියානි ආගම වෙත ඉමහත් නරක ආලෝකයක් හෙළීය.” එහෙත් “වඩා යෝග්‍ය සහ සමහරවිට වඩා ප්‍රබල වූයේ හදිසියෙන් සිදුවූ ‘හැරවීම්’ සහ මහත් බව්තීස්මයන්ට ප්‍රතිඵල වූ මතුපිට මිෂනාරි ක්‍රම” යයි කේන් තවදුරටත් පවසයි.
අප්‍රිකානුවන්ට තම ආගම් වෙනුවට ක්‍රිස්තියානි මූලධර්මයන් පිළිපැදීමට පෙලඹවීමට ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු අසමත් වූහ. හැරවීමෙන් සිදුවූයේ ආගමික ලේබල වෙනස් කිරීමක් වුවත් විශ්වාසයන් සහ හැසිරීම අනිවාර්යයෙන්ම වෙනස්වීමක් නොවේ. නේටල් විශ්වවිද්‍යාලයේ එලීනර් එම්. ප්‍රෙස්ටන්-වයිට් මෙසේ සටහන් කරයි: “යම් සූක්ෂ්ම ආකාර ගණනාවකින් සූලු ක්‍රිස්තියානි කල්පනාව තුළට සූලු විශ්ව විද්‍යාත්මක අදහස් ඇතුළත් වී තිබේ.” තවද සැන්ඩියාගෝ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ බෙනෙට ජූල්ස්-රොසෙට් පවසන්නේ නවීන අප්‍රිකානු ආගම් “අප්‍රිකානු සම්ප්රදායී ආගම්වල මූලධාතූන් සමඟ, හඳුන්වාදුන් ආගම්, ක්‍රිස්තු ධර්මය සහ ඉස්ලාම් ධර්මය මිශ්‍ර කරන බවය.”
ගීතාවලිය 119:130ට අනුව, “ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.” දේව වචනය හෙළි කිරීම සඳහා මුල් තැන දීමට ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් සාමාන්‍යයෙන්ම අසමත් වූ නිසා, ඔවුන්ට දිය හැක්කේ කුමන ආලෝකයක්ද? අද්දැකීම් අඩු තැනැත්තෝ තේරුම්ගැනීමෙන් තොරව සිටිති.
ඉකුත් ශතවර්ෂවලදී ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් විසින් ඉදිරිපත් කළ “ආලෝකය,” එනම් ඔවුන්ගේ “යහපත් වැඩ,” නිකුත් වූයේ අඳුරේ තිබූ ලෝකයකිනි. ඔවුන් කුමක් පැවසුවත්, ඔවුහු සැබෑ ආලෝකය හෙළමින් නොසිටියහ. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද!”—මතෙව් 6:23.
ඒ අතරතුර, අමෙරිකාවල, එනම් නව ලෝකයෙහි මිෂනාරිවරුන්ගේ වැඩකටයුතු සිදුවූයේ කෙසේද? අපගේ ලිපි මාලාවේ පස්වන කොටස ඊට පිළිතුරු සපයනු ඇත. g94 11/22.
[17වන පිටුවේ පින්තූරය]
සමහර මිෂනාරිවරු තම වැඩකටයුතු කරගෙන යෑමේදී, තම ජීවිත පවා පූජා කළහ
[හිමිකම් විස්තර]
From the book Die Heiligkeit der Gesellschaft Jesu
[18වන පිටුවේ පින්තූරය]
ලිවිංග්ස්ටන් වැනි ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් දේශනා වැඩයට සැමවිටම මුල් තැන දුන්නේ නැත
[හිමිකම් විස්තර]
From the book Geschichte des Christentums