ගරුබිය දනවන විශ්වය
අබිරහසින් පූර්ණය, නමුත් ඉතා අලංකාරය
අවුරුද්දේ මුලදී, මුතු මැණික් හා සමාන අලංකාරයකින් සැරසුණු රාත්‍රි අහස් තලය ඉතා ආකර්ෂණීයයි. ඇලස්කාවේ ඇනකොරෙජ් සිට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් දක්වා ජනවාරි මාසයේ සවස්භාගවල ඉතා පැහැදිලි ඉහළ අහස් තලයේ දැකිය හැක්කේ ප්‍රබල ඔරයන් රාශියයි. ඔරයන් වැනි සුප්‍රසිද්ධ රාශිවල දැකිය හැකි ස්වර්ගික නිධාන දෙස ඔබ මෑතකදී තියුණු බැල්මක් හෙළා තිබේද? මෑතකදී අලුත්වැඩියා කරන ලද හබල් අභ්‍යවකාශ දූරේක්ෂය භාවිත කරමින් මෑතකදී තාරකා විද්‍යාඥයෝ තියුණු බැල්මක් හෙළුවෝය.
ඔරයන්ගේ බඳපටිය සාදන තරු තුනෙන් ඔහුගේ කඩුව එල්ලී පවතී. කඩුවේ මැද පැල්ලමක් සේ පෙනෙන තරුව ඇත්තෙන්ම තරුවක් නොවන නමුත් සුප්‍රසිද්ධ ඔරයන් නීහාරිකාවයි නොහොත් නෙබියුලාවයි, මෙය කුඩා දූරේක්ෂයකින් පවා බලන විට එය කැපීපෙනෙන අලංකාරයකින් යුත් වස්තුවක් සේ දිස් වේ. කෙසේවෙතත්, වෘත්තීය තාරකා විද්‍යාඥයන් ඊට ආකර්ෂණය වී සිටින්නේ එහි ස්වර්ගීය දීප්තිය නිසා නොවේ.
“ඔරයන් නීහාරිකාව හා එහි තරුණ තරු සමූහය තාරකා විද්‍යාඥයන්ගේ විමසිල්ලට භාජන වන්නේ, මන්දයත් මන්දාකිණියේ අපේ කොටසේ එය වූ කලි, තරු ඉපදීම සිදු වන වඩාත් විශාල මෙන්ම ක්‍රියාශීලී ප්‍රදේශය වන බැවිනි,” යනුවෙන් ඇස්ට්රොනමි සඟරාවේ ජොන්-පියේර් කයෝ වාර්තා කරයි. නීහාරිකාව හරියටම විශ්ව මාතෘ වාට්ටුවක් සේ දිස් වේ! පෙර නොදුටු විරූ තොරතුරු ග්‍රහණය කරගනිමින්, හබල් දූරේක්ෂය ඔරයන් නීහාරිකාවේ ඡායාරූප ගත් විට, නිකම්ම තරු හා දීප්තිමත් වායු ස්කන්ධ පමණක් නොව, නමුත් කයෝ විස්තර කරන පරිදි, “පැල්ලම් බඳු කුඩා ඉලිප්සාකාර” වස්තු, තාරකා විද්‍යාඥයන්ගේ නෙත් ගැටිණ. එනම් “තැඹිලි ආලෝකයෙන් යුත් ලපය. ඒවා හරියටම පෙනුණේ ඡායාරූපයට වැරදීමකින් යමෙකුගේ ආහාර පංගුවෙන් වැටී තිබුණු කැබලි මෙනි.” ඡායාරූප පිළියෙළ කරන කාමරයේ සිදු වූ දෝෂවලට වඩා මෙම පැල්ලම් බඳු ඉලිප්සාකාර වස්තු වූ කලි, “ආලෝක වර්ෂ 1,500ක දුරක් සිට දකිනු ලබන ප්‍රාථමික ග්‍රහ තැටි, එනම් තවමත් නිර්මාණය වෙමින් පවතින සෞරග්‍රහ මණ්ඩල වේ.” මේ අවස්ථාවේදී තරු—ඇත්තෙන්ම සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩල—ඔරයන් නීහාරිකාවේ උපත ලබමින් සිටිද්ද? එසේ සිදු වන බව තාරකා විද්‍යාඥයන් බොහෝදෙනෙක් විශ්වාස කරති.
මාතෘ වාට්ටුවේ සිට තාරකා සුසාන භූමිය දක්වා
ඔරයන් දුන්නක් අතැතිව, ඉදිරියට ඇදී යන අතරතුර, හෙතෙම ටෝරස් (වෘෂභ) රාශිය නමැති ගොනාට පහර දීමට සෑදී සිටින බවක් දිස් වේ. ගොනාගේ දකුණුදිග අඟේ මුදුනට නුදුරින්, යන්තමින් දැකිය හැකි ආලෝක පැල්ලමක් කුඩා දූරේක්ෂයකින් පෙනේ. එයට ක්රෑබ් (කටක) නීහාරිකාවයයි කියනු ලැබෙන අතර, විශාල දූරේක්ෂයකින් දුටු විට, 9වන පිටුවේ දක්නට ලැබෙන පරිදි, එය සිදු වෙමින් පවතින විශාල පිපිරීමක් සේ දිස් වේ. ඔරයන් නීහාරිකාව තරු ළමාගාරයක් නම්, ළඟපාත තිබෙන ක්රෑබ් නීහාරිකාව සිතාගත නොහැකි තරම් දරුණු මරණයකට ගොදුරු වූ තරුවක සුසාන භූමිය විය හැක.
හිටිහැටියේ, 1054 ජූලි 4වනදා දර්ශනය වී, දින 23ක් පුරා, දහවල් කාලයේදී දැකගැනීමට හැකි තරම් දීප්තියකින් බැබළූ, ටෝරස් රාශියේ දිස් වූ “මහත් තරුවක්” පිළිබඳව විස්තර දැක්වූ චීන තාරකා විද්‍යාඥයන් විසින් එම ස්වර්ගික ව්‍යසනය වාර්තාගත කරනු ලැබුවා විය හැක. “සූර්යයන් මිලියන 400කට සමාන ආලෝකයක් විහිදුවමින් එම තරුව සති කිහිපයකට දීප්තිමත්ව බැබළෙමින් පැවතිණ” යයි තාරකා විද්‍යාඥ රොබට් බර්නම් සටහන් කරයි. එවන් චමත්කාරජනක තරු දිවිනසාගැනීමක් තාරකා විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ සුපර්නෝවා වශයෙනි. එම පිපිරීමෙන් අවුරුදු දාහකට ආසන්න කාලයකට පසුව, දැන් පවා, ඉන් විසිරී ගිය කැබලි, දිනකට කිලෝමීටර් මිලියන 80ක තක්සේරුගත මහත් වේගයකින් අවකාශය හරහා විසිර යමින් පවතී.
මෙම නීහාරිකාවේ ගර්භය තුළට තියුණු බැල්මක් හෙළමින්, මේ අංශයටද යොමු වී තිබෙන හබල් අභ්‍යවකාශ දූරේක්ෂය මගින්, “ක්රෑබ්හි, තාරකා විද්‍යාඥයන් කිසිදාක අපේක්ෂා නොකළ තොරතුරු” සොයාගෙන තිබෙන බව ඇස්ට්රොනමි සඟරාව කියා සිටී. මෙම සොයාගැනීම් හේතුකොටගෙන “සෛද්ධාන්තික තාරකා විද්‍යාඥයන්ට මේ ගැන ඉදිරියට සෑහෙන කල්පනා කිරීමට සිදු වේවි,” කියා තාරකා විද්‍යාඥ පෝල් ස්කෝවන් පවසයි.
දැනට තියුණු පර්යේෂණවලට භාජන වන අංශයක් වන වෙනත් මන්දාකිණිවලට තිබෙන දුර ප්‍රමාණය මැනීමට ක්රෑබ් නීහාරිකාව වැනි සුපර්නෝවා අවශේෂ භාවිත කළ හැකි බැවින්, ඒවා තේරුම්ගැනීම වැදගත් බව හාර්වඩ් සරසවියේ රොබර්ට් කර්ෂ්නර් වැනි තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරති. අප දැක තිබෙන පරිදි, වෙනත් මන්දාකිණි අතර තිබෙන දුර ප්‍රමාණය පිළිබඳව තිබෙන එකඟ නොවීම් හේතුවෙන්, විශ්වයේ මැවීම පිළිබඳ මහ පිපුරුම් මතය පවසන දේ සම්බන්ධයෙන් විශාල විවාදයක් ඇති වී තිබේ.
ටෝරස්ට ඔබ්බෙන්, උත්තරාර්ධගෝලයේ ජනවාරි මාසයේදී, බටහිර ආකාශයෙහි ඇන්ඩ්‍රොමීඩා රාශියේ මද දීප්තියක් තවමත් පැහැදිලිව පෙනේ. එම දීප්තිය වූ කලි, පියවි ඇසට පෙනෙන ඈතම ආකාශ වස්තුව වන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියයි. ඔරයන් හා ටෝරස්හි ආශ්චර්යයන් සාපේක්ෂ වශයෙන් අපට ළඟය—එනම් ඒවා ආලෝක වර්ෂ ස්වල්ප දහසක් පමණ පොළොවට නුදුරින් පිහිටා තිබේ. කෙසේවෙතත්, තක්සේරු කර තිබෙන ආලෝක වර්ෂ මිලියන දෙකක් පමණ දුර පිහිටි දැවැන්ත සර්පිලාකාර තරු වැලක් දෙස දැන් අපි ඕනෑකමින් බලමු, මෙය අපේම මන්දාකිණියට එනම් ක්ෂීර පථයට බෙහෙවින් සමානය, නමුත් ඊටත් වඩා විශාලය—එනම් එක් කොනක සිට තවත් කොනක් දක්වා ආලෝක වර්ෂ 1,80,000ක් පමණ දුරකින් යුක්තය. ඇන්ඩ්රොමීඩාහි සෞම්‍ය ආලෝකය දෙස ඔබ බලන විට, අවුරුදු මිලියන දෙකකට වඩා වැඩි වයසකින් යුත් ආලෝකයකින් ඔබේ දෑස් නැහැවී යනවා ඇත!
මෑත වර්ෂවලදී, අප වටා තිබෙන මන්දාකිණි සියල්ල ත්‍රිමානයෙන් සිතියම්ගත කිරීමට මාර්ගරට් ගෙලර් හා වෙනත් අය අභිලාෂකාමී වැඩසටහන් දියත් කොට තිබේ, තවද එහි ප්‍රතිඵල මහ පිපුරුම් මතයට එරෙහිව බැරෑරුම් ප්‍රශ්න එල්ල කොට තිබේ. සෑම දිශාවකටම මන්දාකිණි ක්‍රමානුකූලව විහිදී යෑම දකිනවා වෙනුවට, විශ්ව සිතියම්ගත කරන්නෝ, ආලෝක වර්ෂ මිලියන ගණනකට විහිදෙන ව්‍යූහයක් සේ සැකසුණු, “මන්දාකිණි ගෙත්තම් තිරයක්” සොයාගත්තෝය. කීර්තිය දිනූ ජර්නලය වන සයන්ස්හි පළ වූ මෑත වාර්තාවක් අනුව, “අලුත උපන් විශ්වයේ ආසන්න වශයෙන් ඒකාකාර වූ පදාර්ථවලින් එම ගෙත්තම් තිරය ගොතනු ලැබුවේ කෙසේද යන්න, විශ්ව න්‍යාය විද්‍යාවේ තිබෙන වඩාත් බලපවත්වන ප්රශ්නයන්ගෙන් එකකි.”
අප ජනවාරි මාසයේ රාත්‍රි අහස දෙස බැලීමෙන් අපේ සන්ධ්‍යාභාගය ආරම්භ කළ අතර, අප විගස සොයාගත්තේ චමත්කාරජනක අලංකාරයක් පමණක් නොව, නමුත් විශ්වයේ සැබෑ ස්වභාවයට හා මූලාරම්භයට අදාළ වන ප්‍රශ්න හා අභිරහස්ද තිබෙන බවයි. එය ආරම්භ වූයේ කෙසේද? එහි වත්මන් සංකීර්ණ තත්වයට එය පිවිසියේ කෙසේද? අප වටා තිබෙන ස්වර්ගික ආශ්චර්යයන්ට කුමක් සිදු වේවිද? කිසිවෙකුට ඒ ගැන යමක් පැවසිය හැකිද? අපි බලමු.
[8වන පිටුවේ කොටුව]
එය කෙතරම් දුරද කියා ඔවුන් දන්නේ කෙසේද?
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය ආලෝක වර්ෂ මිලියන දෙකක දුරකින් පිහිටා තිබෙන බව තාරකා විද්‍යාඥයන් අපට කියන විට, සැබවින්ම ඔවුන් වත්මන් චින්තනයට අනුව අනුමානයක් කරනවා පමණි. එවන් සිත් ව්‍යාකූල කරවන දුර ප්‍රමාණ ඍජුව මැනීමට ක්‍රමයක් කිසිවෙකු සොයාගෙන නැත. ආලෝක වර්ෂ 200ක හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ඇතුළත පිහිටා තිබෙන සමීපම තරු දක්වා තිබෙන දුර, සරල ත්‍රිකෝණමිතියට ඇතුළත් තාරකා අසම්පාතය මගින් කෙළින්ම මැනිය හැක. එහෙත් මෙය අදාළ වන්නේ, පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නාක් මෙන් මදක් චලනය වන බව පෙනීමට සලස්වන පෘථිවියට ඉතා සමීප තරුවලට පමණි. තරු බොහොමයක් මෙන්ම මන්දාකිණි සියල්ලක්ම ඊට වඩා විශාල දුරක පිහිටා තිබේ. එම අවස්ථාවේදී, අනුමාන කිරීම ඇරඹේ. ඔරයන් රාශියේ සුප්‍රසිද්ධ රතු සුපිරි යෝධ බීටල්ජූස් වැනි, අපට සාපේක්ෂ වශයෙන් ළඟින් පිහිටා තිබෙන තරු පවා, අනුමාන කිරීම්වලට ලක් වේ, එහි තක්සේරු කරන ලද දුර ප්‍රමාණය ආලෝක වර්ෂ 300 සිට 1,000 ඉක්මවා යයි. එමනිසා, මිලියන ගුණයකින් වඩා විශාල දුර ප්‍රමාණයක් ඇතුළත් මන්දාකිණි දක්වා තිබෙන දුර සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයන් අතර මතභේද තිබෙනවා දක්නට ලැබීම ගැන අප පුදුම විය යුතු නැත.
[8වන පිටුවේ කොටුව]
සුපර්නෝවා, පල්සර හා කළු කුහර
දන්නා හඳුනන විශ්වයේ වඩාත් අරුම පුදුම වූ වස්තූන්ගෙන් එකක්, ක්රෑබ් නෙබියුලාවේ අභ්‍යන්තරයේ පිහිටා තිබේ. විද්‍යාඥයන්ට අනුව, මියගිය තරුවක කුඩා මළකඳ ඇදහිය නොහැකි ඝනත්වයකට සම්පීඩනය වී ඇති අතර, එය පිහිටා තිබෙන ස්ථානයෙහි තත්පරයකට තිස්වරක් කැරකෙමින් ගුවන්විදුලි කදම්බයක් විසුරුවා හැරිය අතර, එය මුලින්ම පොළොව මත සොයාගනු ලැබුවේ 1968දීය. එය පල්සරයක් ලෙස හඳුන්වා තිබෙන අතර, එය කරකැවෙන සුපර්නෝවා අවශේෂයක් ලෙස විස්තර කර තිබේ, එය කෙතරම් සම්පීඩන වී තිබෙනවාද කිවහොත් මුල් තරුවේ පරමාණුවල ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන, නියුට්‍රෝන සෑදීමට ඉවහල් වෙමින් එකට තද වී තිබේ. එය වරක් ඔරයන් රාශියෙහි බීටල්ජූස් නැතහොත් රිගෙල් හා සමාන සුපිරි යෝධ තරුවක දැවැන්ත හරය වූ බව විද්‍යාඥයෝ කියා සිටිති. එම තරුව පිපිරී ගොස්, බාහිර ස්තර අවකාශය තුළට විසිරී ගිය විට, ඉතිරි වී තිබුණේ සංකෝචනය වූ හරය පමණි, එය වූ කලි, බොහෝ කලකට පෙර එහි න්‍යෂ්ටික ගින්න නිවී ගොස් තිබූ දීප්තිමත් සුදු තාපයක් විහිදුවන අඟුරු කැබැල්ලකි.
අපේ සූර්යයා මෙන් දෙගුණයක් විශාල දැවැන්ත තරුවක් ගෙන කිලෝමීටර් 15 සිට 20 දක්වා විෂ්කම්භයකින් යුත් ගුලියක් වන සේ මිරිකීම සිතෙහි මවාගන්න! පෘථිවි ග්‍රහයා ගෙන මීටර් 120ක ප්‍රමාණයකට මිරිකීම සිතෙහි මවාගන්න. මෙම ද්‍රව්‍ය ඝන සෙන්ටිමීටර් 16ක බර ටොන් බිලියන 16ක් වනු ඇත.
මෙම විස්තරය පවා සම්පීඩනය වූ පදාර්ථ පිළිබඳව අවසාන අදහස නොවන බව පෙනේ. පෘථිවිය ජිල්බෝලයක ප්‍රමාණය දක්වා හැකිළීමට අප සැලැස්වූයේ නම්, පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රය අවසානයේදී කෙතරම් ශක්තිමත් වේවිද කිවහොත්, ආලෝකයට පවා ඉන් ගැළවී යා නොහැක. මෙම අවස්ථාවේදී අපේ කුඩා පෘථිවි ග්‍රහයා කළු කුහරයක්යයි හඳුන්වනු ලබන යමක් තුළ අතුරුදහන් වනු ඇත. තාරකා විද්‍යාඥයන් මේ ගැන විශ්වාස කළද, කළු කුහර තිබෙන බවට තවමත් ඔප්පු වී නැත, තවද මීට වර්ෂ කිහිපයකට පෙර සිතූ තරම්, ඒවා පොදුවේ දක්නට නැති බව පෙනේ.
[10වන පිටුවේ කොටුව]
එම වර්ණ සැබෑද?
කුඩා දූරේක්ෂයකින් අහස් තලය විමසිල්ලට ලක් කරන ජනයා පළමු වරට සුප්‍රසිද්ධ මන්දාකිණියක් හෝ නීහාරිකාවක් සොයන විට බොහෝදුරට බලාපොරොත්තු සුන් වූ බවක් හැඟෙයි. ඔවුන් ඡායාරූපවල දැක තිබෙන අලංකාර වර්ණ කොහේද? “දැනට තිබෙන විශාලතම දූරේක්ෂවලින් පවා, මන්දාකිණිවල වර්ණ පියවි ඇසට කෙළින් දැකගත නොහැක, මන්දයත් දෘෂ්ටිවිතානයේ වර්ණ ප්‍රතිග්‍රාහක උත්තේජනය කිරීමට ඒවායෙහි ආලෝකය ඉතා අඩු වන බැවිනි,” යනුවෙන් තාරකා විද්‍යාඥ මෙන්ම විද්‍යා කර්තෘ ටිමති ෆෙරිස් සටහන් කරයි. තාරකා විද්‍යා ඡායාරූපවල දැකගත හැකි අලංකාරවත් වර්ණ ව්‍යාජයක් බව, එනම් ඡායාරූප සෑදීමේ ක්‍රියාවලියේදී අමුතුවෙන් එකතු කරන ලද යමක් බව නිගමනය කිරීමට මෙය සමහර ජනයාට හේතුවක් වී තිබේ. කෙසේවෙතත්, මෙය සැබෑවක් නොවේ. “මෙම වර්ණ ඇත්තෙන්ම සැබෑ ඒවාය” කියා ෆෙරිස් ලියයි, “තවද ඒවා නිවැරදි ලෙස ප්රතිනිෂ්පාදනය කිරීමට තාරකා විද්‍යාඥයන්ගේ හොඳම ප්රයත්න එම ඡායාරූපවලින් නියෝජනය වේ.”
ගැලැක්සීස් (මන්දාකිණි) යන සිය පොතෙහි, මන්දාකිණි හා නීහාරිකා බහුතරයක් වැනි, පැහැදිලිව නොපෙනෙන දුර පිහිටි වස්තුවල ඡායාරූප වූ කලි, “මන්දාකිණිය දෙසට දූරේක්ෂය එල්ල කොට තැබීම මගින්, ඡායාරූප තෛලෝදයට තරු එළිය පතිත වන අතරතුර, පැය ගණනක් තිස්සේ එසේ ඡායාරූප තහඩුව නිරාවරණය කරමින් ලබාගන්නා කාල නිරාවරණ” බව ෆෙරිස් පැහැදිලි කරයි. “පෘථිවිය භ්‍රමණය වීමේ බලපෑමට එරෙහිව ක්‍රියා කරන එලවුම් යන්ත්‍රණයක්, දූරේක්ෂය මන්දාකිණිය වෙතට නොසැලී එල්ල කිරීමට ඉවහල් වන අතර, තාරකා විද්‍යාඥයා, නැතහොත් ඇතැම් අවස්ථාවන්හිදී, ස්වයංක්‍රීය නියමු පද්ධතියක්, තියුණු නිවැරදි කිරීම් කරයි.”
[7වන පිටුවේ රූප සටහන⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
1 ලොව පුරා ජනවාරි මාසයේදී සුපුරුදු දර්ශනයක් වන ඔරයන් රාශිය
2 ඔරයන් නීහාරිකාව, පැල්ලමක් බඳු “තරුවේ” චමත්කාරජනක සමීප රූපයකි
3 ඔරයන් නීහාරිකාවේ අභ්‍යන්තරය—විශ්ව මාතෘ වාට්ටුවක්ද?
[හිමිකම් විස්තර]
#2: Astro Photo - Oakview, CA
#3: C. R. O‘Dell/Rice University/NASA photo
[9වන පිටුවේ පින්තූරය]
පියවි ඇසට පෙනෙන ඈතම ආකාශ වස්තුව වන ඇන්ඩ්‍රොමීඩා රාශිය. එය භ්‍රමණය වන ශීඝ්‍රතාව නිව්ටන්ගේ ගුරුත්ව නියමය උල්ලංගනය කරන බවක් පෙන්වන අතර, දූරේක්ෂයන්ගෙන් ගිලිහී යන අන්ධකාර පදාර්ථ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉස්මතු කරයි
[හිමිකම් විස්තර]
Astro Photo - Oakview, CA
[9වන පිටුවේ පින්තූරය]
ටෝරස්හි ක්රෑබ් නීහාරිකාව—තාරකා සුසාන භූමියක්ද?
[හිමිකම් විස්තර]
Bill and Sally Fletcher
[10වන පිටුවේ පින්තූර]
ඉහළ: කරත්ත රෝදයක් බඳු මන්දාකිණිය. ඒ හා ගැටුණු කුඩා මන්දාකිණිය එතුළින් විසි වී ගිය අතර, කරත්ත රෝදයක් බඳු මන්දාකිණිය වටා අලුතින් නිර්මාණය වූ තරු බිලියන ගණනකින් යුත් නිල්වන් වළල්ලක් ඉතිරි කර වඩාත් කුඩා මන්දාකිණිය පහව ගියේය
[හිමිකම් විස්තර]
Kirk Borne (ST Scl), and NASA
පහත: බළල් ඇස් නීහාරිකාව. තරු දෙකක් එකිනෙක වටා කක්ෂාකාර ගමනක යෙදීමේ ප්‍රතිඵලය මෙම ඉතා සංකීර්ණ ව්‍යූහ මගින් හොඳින් පැහැදිලි වෙයි
[හිමිකම් විස්තර]
J. P. Harrington and K. J. Borkowski (University of Maryland), and NASA