නියම විසඳුම සොයාගැනීම
දේවවචනය වන බයිබලය දෙවියන්වහන්සේගේ ස්වර්ගික ආණ්ඩුව මගින් මනුෂ්‍යවර්ගයාගේ සියලු ගැටලු විසඳා තිබෙනු ඇති කාලයක් ගැන කතා කරයි. එයට වාහනවලින් ඇති වන පරිසර දූෂණයේ ගැටලුවත් දැන් ඇතුළත්ය. මෙම මෙසියානු රාජ්‍යය, එනම් බොහෝදෙනෙකුට යාච්ඤා කිරීමට උගන්වා ඇති රාජ්‍යය මගින් සම්පූර්ණයෙන්ම පරිසර දූෂණයෙන් තොර වාහනයක් නිපදවීමෙන් නියම විසඳුමක් සපයනු ඇද්ද? එසේ නැතහොත් සියලුම මෝටර් රථ පොළොවෙන් ඉවත් කිරීමෙන් නියම විසඳුම අත් කරගනු ඇද්ද? බයිබලය අපට නිශ්චිත පිළිතුරක් නොදෙන බැවින්, හුදෙක් බලා සිටිනවා හැර, වෙනත් කිසිවක් කිරීමට අපට නොහැක.—මතෙව් 6:9, 10.
එහෙත් එක දෙයක් ගැන නම් අපට ස්ථිර විය හැකිය: රාජ්‍යය ගෙනෙනු ඇති ප්‍රතිසංස්කෘත පාරාදීසයෙහි අලංකාර මැවිලි විනාශ කිරීමට, දේවරාජ්‍යය පරිසර දූෂණයට ඉඩ නොදෙනු ඇත.—යෙසායා 35:1, 2, 7; 65:17-25.
දේවවචනය පිළිපදින අයව දූෂණයෙන් තොර නව ලොවක ජීවිතය සඳහා දැනටමත් පුහුණු කර ඇති බැවින්, අදදින, වාහන භාවිතය පිළිබඳව ඔවුන්ට හැඟිය යුත්තේ කෙසේද? “වනාන්තර” යන විෂය සම්බන්ධයෙන් 1988 මැයි 8, පිබිදෙව්! සඟරාවේ සාකච්ඡා කෙරිණ. වාහනයෙන් පිට වන දුමාරයෙහි අඩංගු වායු දූෂ්‍යකාරක හා මියෙන වනාන්තර අතර සම්බන්ධයක් තිබෙන බවට ඇතැම් විද්‍යාඥයන් කල්පනා කරන බව එහි වාර්තා විය. මේ කාරණය ගැන සලකා බලද්දී, ක්‍රිස්තියානීන්ට මෝටර් රථ පැදවීම සුදුසුදැයි අසමින් වොච්ටවර් සමිතියට ලිවීමට එක් සැලකිලිමත් පාඨකයෙකුව මෙය පෙලඹවිය. එසේ කරනවා නම්, එය යෙහෝවඃවහන්සේගේ මැවිල්ල සඳහා දක්වන අගෞරවයක් වනු ඇද්දැයි ඔහු කල්පනා කළේය.
ඔහුගේ ලිපියට පිළිතුරු දුන් අතර, එහි කොටසක මෙසේ සඳහන් වේ: “පරිසර දූෂණය අඩු කිරීමට ආණ්ඩුවේ බලධාරීන් විසින් පැනවූ පාරිසරික නීති රීතිවලට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ විශ්වාසවන්තව කීකරු වෙති. (රෝම 13:1, 7; තීතස් 3:1) ආණ්ඩුවට අවශ්‍ය කරන දෙය අබිබවා ආරක්ෂිත පියවර ගැනීම පුද්ගලයා සතු මනාපයකි. තවදුරටත් මෝටර් රථයක් පදින්නේ නැතැයි කෙනෙකු තීරණය කරයි නම්, එය ඔහුගේ පෞද්ගලික තීරණයකි. කෙසේවුවත්, ඇතමුන්ට හැඟෙන ආකාරය පිළිබඳව පිබිදෙව්! ලිපියේ 26වන පිටුවෙහි පෙන්නුම් කළේ මෙසේ පවසමිනි: ‘බොහෝ දෙනා සාධාරණ ලෙසින් හැකි පමණට වාතය දූෂ්‍ය වීම අඩුකිරීමට ප්‍රායෝගික පියවර ගනිමින් සිටිති. ඔවුන් අඩු වේගයකින් රිය ධාවනය කරමින්, සංචාරයන් අඩු කරමින්, කාර් එකට සම්බන්ධීකරණය කරන්නා වූ සංවිධානයන් හා (මෝටර් රථ හවුලේ පාවිච්චි කිරීමට) එක්වෙමින්, ඊයම් රහිත පෙට්‍රල් වර්ග භාවිතා කරමින් හා රාජ්‍යයන් මගින් පනවා ඇති දූෂ්‍ය වීමට විරුද්ධ නීති රීතිවලට කීකරුවෙමින් සිටිති.’”
ක්‍රිස්තියානි සමබරතාව
මෙම පිළිතුර මගින් ක්‍රිස්තියානි සමබරතාව පිළිබිඹු කෙරිණ. පරිසර දූෂණය සිදු වන්නේ මෝටර් රථවලින් පමණක් නොවන බව මතක තබාගත යුතුය. ගුවන්යානා හා දුම්රිය මගින්—ඇත්තෙන්ම, නවීන ප්‍රවාහණ ක්‍රම වැඩි ප්‍රමාණයකින්—එය සිදු වේ. එහෙත් මෙම ප්‍රවාහණ ක්‍රම ඇති කර තිබෙන්නේ පරිසරය දූෂණය කිරීමේ අරමුණින් නොවේ. ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන දූෂණය අතුරු ඵලයකි, ඛේදජනකය, නමුත් සීමිත දැනුම හා අසම්පූර්ණ ආකල්ප හේතුවෙනි.
වර්ෂ 1993 ජනවාරි 1, මුරටැඹ කලාපයෙහි 31වන පිටුව මෙම කාරණය සාකච්ඡා කර තිබෙන්නේ මෙසේ පවසමිනි: “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් අපි, අපගේ භූමික නිවසට දැන් බලපාන බොහෝ පාරිසරික ගැටලු පිළිබඳ ව මහත් සැලකිල්ලෙන් සිටින්නෙමු. මෙම පොළොව පරිපූර්ණ මනුෂ්‍ය පවුලක් සඳහා පවිත්‍ර, සනීපදායී නිවසක් ව තිබීමට මවනු ලැබූ බව, ජනයාගෙන් බොහෝ දෙනෙකුට වඩා අපි අගය කරන්නෙමු. (උත්පත්ති 1:31; 2:15-17; යෙසායා 45:18) . . . එමනිසා මනුෂ්‍යයා විසින් දැන් පොළොවට කරනු ලබන නාස්තියට නුවුවමනා ලෙස දායක වීමෙන් වැළකී සිටීමට සමබර සාධාරණ වෑයමක් දැරීම හරි ය. එසේ නමුත්, “සාධාරණ” යන වදන සැලකිල්ලට ගන්න. . . . දෙවියන් වහන්සේගේ ජනයා පාරිසරික කාරණා පිළිබඳ ව අනවධානයෙන් සිටිය යුතු නොවේ. පාරිසරික මෙන් ම සෞඛ්‍යාරක්ෂක වැදගත්කමක් ඇති, අපද්‍රව්‍ය ඉවත් කිරීමේ පියවරවල් ගන්නා මෙන් යෙහෝවඃ වහන්සේ ස්වකීය පුරාතන ජනයාගෙන් ඉල්ලා සිටි සේක. (ද්විතීය කථාව 23:9-14) එමෙන් ම පොළොව විනාශ කරන්නා වූ අය දෙස උන් වහන්සේ බලන ආකාරය අප දන්නා බැවින්, පරිසරය පිරිසිදු ව තබා ගැනීමට අපට කළ හැකි දේවල් සම්බන්ධයෙන් නිසැක ව ම, අප නොසැලකිල්ල නොදැක්විය යුතු ය. . . .කෙසේ වෙතත්, නීතියෙන් නියෝග කර නොමැති නම්, ක්‍රිස්තියානියෙක් මේ පිළිබඳ ව ක්‍රියා කරන්නට යන තරම, පුද්ගලික කාරණයක් වෙයි. අසම්පූර්ණ මනුෂ්‍යයන් පහසුවෙන් අන්තවාදීන් වීමේ උගුලට හසු [වේ]. . . . දූෂණය ද ඇතුළු ව ප්‍රධාන පාරිසරික ගැටලුවලින් පොළොව මුදා ගැනීමට වූ මනුෂ්‍ය වෑයම් සහමුලින් ම සාර්ථක [නොවේ]. . . . තැනින් තැන යම් පමණ ප්‍රගතියක් තිබිය හැකිමුත්, කල් පවතින එක ම විසඳුම සඳහා දෙවියන් වහන්සේගේ මැදිහත්වීම අවශ්‍ය වේ. මේ හේතුව නිසා, මතුපිට පෙනෙන්නට ඇති දූෂණයේ ලක්ෂණ යම් පමණට පහ කරන්නට වෑයම් කරනවාට වඩා අපි දිව්‍ය විසඳුම කෙරෙහි අපගේ වෑයම් හා සම්පත් යොමු කරන්නෙමු.”
ලොව පුරා දේවරාජ්‍යයේ පණිවිඩය දේශනා කිරීමට තමන්ට පැවරී ඇති දිව්‍ය අණ මනසේ තබාගෙන සිටින ක්‍රිස්තියානීහු බයිබල් ප්‍රතිපත්ති පිළිපැදීමේදී සමබර වෙති. (මතෙව් 24:14) ඊට වඩා වැදගත් හෝ වඩාත් හදිසි වෙනත් කිසිවක් නැත! මෙම වගකීම ඉටු කිරීම සඳහා ක්‍රිස්තියානීන්ට උපකාර කිරීමට නවීන ප්‍රවාහණ හා සන්නිවේදන මාධ්‍යයන්ට හැකි නම්, ඒවායින් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට සෑම හේතුවක්ම තිබේ. ඒ අතරතුර, අනවශ්‍ය ලෙස හෝ හිතා මතා පරිසරය දූෂණය කිරීමෙන් ඔවුහු වැළකෙති. ඔවුහු මෙලෙස මිනිසා හා දෙවියන්වහන්සේ යන දෙපාර්ශ්වයම ඉදිරියේ හොඳ හෘදය සාක්ෂියක් පවත්වාගනිති.
එබැවින් පරිසර දූෂණය හා වාහන ගැටලුව අවසානයේදී විසඳෙනු ඇත්තේ කෙසේදැයි අප හරියටම නොදන්නා නමුත්, එය වනු ඇති බව අපි දන්නෙමු. ඇත්තෙන්ම, නියම විසඳුම අතළඟය.
[9වන පිටුවේ කොටුව]
දූෂණය සමඟ සටන් කිරීම
• හැකි අවස්ථාවල ඇවිදීම හෝ බයිසිකල් පැදීම
• මෝටර් රථ හවුලේ පාවිච්චියට හවුල් වීම
• නිතිපතා මෝටර් රථ සර්විස් කිරීම
• පිරිසිදු ඉන්ධන භාවිතය ගැන අවධානයෙන් සිටීම
• අනවශ්‍ය ගමන්වලින් වැළකීම
• ප්‍රමාණවත්ව නමුත් ස්ථාවර වේගයකින් ධාවනය කිරීම
• හැකි හා සුදුසු අවස්ථාවලදී පොදුජන ප්‍රවාහණය ප්‍රයෝජනයට ගැනීම
• වාහනය දිගු වේලාවකට එක තැන නවතාගෙන සිටීමට සිදු වන විට, එන්ජිම දුවන්ට ඉඩහරිනවා වෙනුවට එය නිවාදැමීම