ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 2/8 3-6 පි.
  • සාත්තු කිරීමේ අභියෝගය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාත්තු කිරීමේ අභියෝගය
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “ඒක දරාගන්න හරිම අමාරු වුණා”
  • “අපි සැලකිලිමත් වුණේ නැත්නම් මොනව වෙයිද කියලා මං භය වුණා. . . ”
  • “ඔවුන් කලින් හිටිය විදිහ ගැන හිතලා ඔබ දුක් වෙන්න පුළුවන්”
  • “ප්‍රතික්ෂේප කරලා කියලා දැනුණා; කෝපයක් ඇති වුණා”
  • “මට වරදකාරිබවක් හැඟෙනවා”
  • සාත්තු කරන්නාට සාත්තු කිරීම—උපකාර කිරීමට අන්‍යයන්ට පුළුවන් විදිහ
    1997 පිබිදෙව්!
  • හැඟීම් සමඟ කටයුතු කරන ආකාරය
    1997 පිබිදෙව්!
  • මහලු, අසනීප කෙනෙක්ව බලාගද්දී සතුට රැකගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “එයා ජීවත් වෙන්නේ තව ටික කාලයයි”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 2/8 3-6 පි.

සාත්තු කිරීමේ අභියෝගය

“මේ තත්වයෙන් ගැළවිලා යතහැකි නම් කියලා සමහර වෙලාවලට මම හිතුවා. නමුත් වෙන කවරදාකටත් වඩා එයාට මාව අවශ්‍ය වුණා. සමහර වෙලාවල මට මහ තනිකමක් දැනුණා.”—විසිනව හැවිරිදි තම සැමියා මොළේ අර්බුදයකින් මියයන්න කලින්, මාස 18ක් පුරා ඔහුට සාත්තු කළ ජීනි.a

“මට අම්මා එක්ක තරහ යන වෙලාවල් තියෙනවා; එතකොට මට මාවම එපා වෙනවා. තත්වයට හරියට මූණ දෙන්න බැරි වෙන කොට මං අසාර්ථකයි කියල මට හැඟෙනවා.”—ඔත්පළ වූ, 90 හැවිරිදි තම දුර්වල මවට සාත්තු කරන 59 හැවිරිදි රෝස්.

මාරාන්තික හෝ නිදන්ගත රෝගයක් තිබෙනවා කියලා ආරංචි වෙන කොට පවුලට හා මිත්‍රයන්ට මහත් කම්පනයක් ඇති වෙන්න පුළුවන්. “රෝග නිර්ණය කෙරෙන අවස්ථාවේදී හැම පවුලකටම තනි වූ බවක් හැඟෙනවා. මේ ප්‍රශ්නයම තිබුණු වෙනත් අයව ඔවුන් අඳුරන්නේ නැතුවා වෙන්න පුළුවන්” යයි චිල්ඩ්‍රන් විත් කැන්ස’ ප්‍රකාශනයෙහි ජීන් මන් බ්‍රැකන් පවසයි. තමාගේ 36 හැවිරිදි කිට්ටු මිතුරිය බෙටිට පිළිකාවක් තියෙන බව දැනගත්තහම එල්සාට හැඟුණ විදිහටම, “කිසි දෙයක් කරකියාගන්න බැරුව, විශ්වාස කරන්න බැරි තත්වයක” ඔවුනුත් හුඟක් වෙලාවලදී ඉන්නවා. ලෙඩ වූ තමාගේ පියා පිළිකාවකින් මියයන බව අන්තිමේදී වටහාගත් අවස්ථාවේ, සූට තම උදරයේ “දැඩි හිස්බවක්” දැනුණා.

ලෙඩ වූ තැනැත්තාගේ ශාරීරික හා චිත්තවේගීය අවශ්‍යතා සපයන්ට තිබෙන සාත්තු කරන්නන්ගේ වැඩකටයුත්ත තමුන්ට හදිස්සියෙන්ම භාරගන්න සිදු වන බවක් පවුලේ සාමාජිකයන්ට හා මිත්‍රයන්ට පෙනී යන්න පුළුවන්. පෝෂ්‍යදායී ආහාර වේල් සූදානම් කිරීමට, නිසි වේලාවට බෙහෙත් දීමට, වෛද්‍යවරයා හමුවීම සඳහා ප්‍රවාහණය පිළියෙළ කිරීමට, ලෙඩාව බලන්න එන අයට සංග්‍රහ කිරීමට, ලෙඩා වෙනුවෙන් ලිපි ලිවීමට හා තවත් බොහෝ දේවල් කිරීමට ඔවුන්ට සිද්ධ වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට මේ විදිහේ ක්‍රියාකාරකම් ඇතුළත් කරන්න සිද්ධ වෙන්නේ දැනටමත් කාර්යබහුල වැඩසටහනක් තුළටයි.

කොහොමවුණත්, රෝගියාගේ තත්වය පිරිහෙන කොට, සාත්තු කිරීමේ වැඩය, ඊටත් වඩා පීඩාකාරි එකක් බවට පවා පත් වෙනවා. මෙයට ඇතුළත් වෙන්න පුළුවන් මොනවද? “හැම දෙයක්ම!” යයි ඔත්පළ වූ තම මිතුරිය බෙටි ගැන එල්සා පවසයි. “ඇගේ ඇඟ සෝදන්න, ඇයට කවන්න, ඈ වමනේ දාන කොට උදව් කරන්න, ඇගේ මූත්‍රා බෑග් හිස් කරන්න, මේ හැම දෙයක්ම කරන්න තියෙනවා.” කැතීට පූර්ණ-කාලීන රැකියාවක් කරනවාට අමතරව ඇගේ රෝගී මවටද සාත්තු කරන්න සිද්ධ වෙලා තිබුණා. කලින් සඳහන් කළ සූ මෙහෙම කියනවා, “හැම පැය භාගයකටම සැරයක් [මගේ තාත්තගේ] උණ බලලා, සටහන් කරනවා; උණ වැඩි වෙන කොට ඔහුව ස්පොන්ජි කරනවා; ඒ වගේම පැය කීපයකට සැරයක් ඔහුගේ ඇඳුම් සහ ඇඳ ඇතිරිලි මාරු කරනවා.”

ලෙඩා ලබන සාත්තුවේ ගුණය විශාල වශයෙන් රඳා පවතින්නේ සාත්තුව දෙන අයගේ හොඳ සෞඛ්‍ය තත්වය මතයි. එහෙමවුණත්, හුඟක් වෙලාවට ලෙඩාව බලාගන්න අයගේ හැඟීම් සහ අවශ්‍යතා නොසලකා හැර තිබෙනවා. සාත්තු කිරීමේ ප්‍රතිඵල පිටේ වේදනාව හා උරහිස් අමාරුවට සීමා වුණත්, එය සෑහෙන අමාරු අද්දැකීමක් වෙනවා. ඒත්, සාත්තු කිරීමේ නියැලෙන වැඩිදෙනෙක් කියා සිටින විදිහට, සාත්තුව දෙන්නේ හැඟීම් අතිනුත් මහත් පීඩනයකට ලක් වෙලයි.

“ඒක දරාගන්න හරිම අමාරු වුණා”

“[ලෙඩා] එහෙ මෙහෙ ඇවිදීම, ව්‍යාකූලව හැසිරීම සහ කෑගැසීම නිසා ඇති වන සිත්තැවුල ගැන දැන් අධ්‍යයනවල නිතර විස්තර කෙරෙන බව” ද ජ’නල්ස් ඔෆ් ජෙරොන්ටොලජි වාර්තා කරයි. උදාහරණයකට, ජිල්යන්ගේ මහලු මව මුණගැහෙන්න පුළුවන්ද කියලා ක්‍රිස්තියානි රැස්වීමකදී ඇගේ මිතුරියක් ඉල්ලා සිටි විට සිද්ධ වුණ දේ ඈ විස්තර කරයි. “අම්මා ඔහේ බලාගත් අතම බලාගෙන හිටියා, කිසි දෙයක් කිව්වේ නෑ” යයි ජිල්යන් දුකෙන් සිහියට නඟයි. “ඒක දරාගන්න හරිම අමාරු වුණා; මගේ ඇස්වලට කඳුළු ආවා.”

මානසික ආබාධයකින් පෙළෙන සැමියෙක් සිටින ජෝන් කියන්නේ “ඒක, මූණ දෙන්න වුණ දේවල්වලින් අමාරුම දෙයක්” කියායි. “ආචාර ධර්ම මොනවද කියල එයාට තේරෙන්නේ නෑ” යි ඈ පැහැදිලි කරයි. අපි අනිත් අය එක්ක පිටට ගිහිල්ලා කෑම ගන්න කොට, “එයා කෑම කාමරයේ අනිත් මේසවලට යනවා; ජෑම්වල රහ බලලා, පාවිච්චි කරපු හැන්ද ආයිත් ජෑම් දීසියටම දානවා. අපි අහළ පහළ කෙනෙක්ව බලන්න ගියහම, එයා මිදුලේ පාරට කෙළගහනවා. අනිත් අය මේ පුරුදු ගැන කතා කරනවා ඇති කියන එකත්, එයා ආචාර ධර්ම දන්නැති කෙනෙක් කියලා භාගවෙලාවට සලකනවා ඇති කියන එකත් මගේ හිතෙන් ඈත් කරන්න හරි අමාරුයි. මට මොනවා කරන්නද කියලා තේරෙන්නෙ නෑ.”

“අපි සැලකිලිමත් වුණේ නැත්නම් මොනව වෙයිද කියලා මං භය වුණා. . . ”

දරුණු අසනීපයකින් පෙළෙන ප්‍රේමනීයයෙකුට සාත්තු කිරීම ලොකු භයක් ඇති කරවන අද්දැකීමක් වෙන්න පුළුවන්. රෝගී තත්වය උත්සන්න වෙන කොට මොනවා වෙයිද කියලා සාත්තු කරන්නා භය වෙන්න පුළුවන්—සමහරවිට තමාගේ ප්‍රේමනීයයාගේ මරණය ගැන භය වෙන්න පවා පුළුවන්. ලෙඩාගේ අවශ්‍යතා ඉටු කරන්න තමාට ශක්තිය හෝ හැකියාව නැහැයි කියාත් ඔහු භය වෙන්න පුළුවන්.

එල්සා තමා භයවීමට හේතුව මෙහෙම විස්තර කරනවා: “මම බෙටිගේ ශරීරයට හානියක් කරයිවත්ද, ඒ නිසා ඇගේ වේදනා විඳීම තවත් වැඩි වෙයිද, එහෙමත් නැත්නම් ඇගේ ජීවිතය කෙටි කරන්න පුළුවන් දෙයක් මං කරයිද කියලා මම භයෙන් හිටියා.”

සමහර අවස්ථාවලදී ලෙඩාගේ භය සාත්තු කරන කෙනාගේ භය බවටත් පත් වෙනවා. “හුස්ම හිර වෙයි කියලා මගේ පියාට ලොකු භයක් තිබුණා; සමහර වෙලාවට එක පාරටම භය වෙනවා” කියා සූ ප්‍රකාශ කළා. “අපි සැලකිලිමත් වුණේ නැත්නම් තාත්තගේ හුස්ම හිර වෙලා, තාත්තා අද්දකින්න තියෙන ලොකුම බිය අද්දකියිද කියලා මං භය වුණා.”

“ඔවුන් කලින් හිටිය විදිහ ගැන හිතලා ඔබ දුක් වෙන්න පුළුවන්”

“නිදන්ගත රෝගයක් තියෙන ප්‍රේමනීයයෙකුට සාත්තු කරන අයට දුක ඇතිවීම සාමාන්‍ය අද්දැකීමක්” බව කෙයාරිං ෆො’ ද ප’සන් විත් ඩිමෙන්ෂිඅ ප්‍රකාශ කරයි. “ලෙඩාගේ රෝගය ටිකෙන්ටික උත්සන්න වෙන කොට, මිත්‍රයෙකුත්, ඔබට වැදගත්ව තිබුණ සම්බන්ධතාවකුත් අහිමි වී යන බව දකින්න පුළුවන්. ඔවුන් කලින් සිටි විදිහ ගැන සිතා ඔබ දුක් වෙන්න පුළුවන්.”

දිගින්දිගටම මවගේ සෞඛ්‍යය පිරිහීම නිසා තමාගේ පවුලට ඒක බලපාපු විදිහ ගැන ජෙනිෆ විස්තර කරයි: “අපිට දුකක් දැනුණා. ඇයට ප්‍රාණවත්ව කතා බහ කරන්න බැරි වුණ හින්දා ඒකේ පාළුව අපිට දැනුණා. අපි හිටියේ හරිම දුකකිනුයි.” ජිල්යන් මෙහෙම පැහැදිලි කරයි: “මගේ අම්මා මැරෙනවාවත්, දුක් විඳිනවාවත් දකින්න මට ඕන වුණේ නෑ. මම ඇති වෙනකං ඇඬුවා.”

“ප්‍රතික්ෂේප කරලා කියලා දැනුණා; කෝපයක් ඇති වුණා”

සාත්තු කරන කෙනෙක් මෙහෙම කල්පනා කරන්න පුළුවන්: ‘ඇයි මට මෙහෙම වෙන්නේ? අනිත් අය උදව් කරන්නේ නැත්තේ ඇයි? මට මේවා හරියට කරගන්න බැරි බව ඒගොල්ලන්ට පේන්නැත්තෙ ඇයි? මීට වඩා සහයෝගයක් දක්වන්න ලෙඩාට බැරිද?’ සමහර අවස්ථාවලදී, ලෙඩාගේ හා පවුලේ අනික් සාමාජිකයන්ගේ වැඩි වෙන හා අසාධාරණයි කියලා පෙනෙන ඉල්ලීම් ගැන සාත්තු කරන්නාට තද කෝපයක් ඇති වෙන්න පුළුවන්. හැඳින්වීමේදී සඳහන් කළ රෝස් මෙහෙම පවසනවා: “මට හුඟක් වෙලාවට මාත් එක්කම තරහක් ඇති වෙනවා. නමුත් මගේ මූණෙන් ඒක කියන්න පුළුවන් කියලා අම්මා කියනවා.”

සාත්තුව දෙන තැනැත්තාට ලෙඩාගේම කලකිරීමේ සහ කෝපයේ පීඩා විඳදරාගන්න සිද්ධ වෙන්න පුළුවන්. ලිවිං විත් කැන්ස’ (පිළිකාව සමඟ ජීවත්වීම) යන පොතේ වෛද්‍ය අ’නස්ට් රෝසන්බවම් මෙහෙම පැහැදිලි කරනවා: සමහර රෝගීන් “ඇතැම් වෙලාවල කෝපය හා කලකිරීම අද්දකින්න පුළුවන් අතර, එම හැඟීම් ප්‍රකාශ කරන්න ළඟම ඉන්න පුද්ගලයාව යොදාගන්නවා . . . සාමාන්‍යයෙන් මේ වගේ කෝපයක් ඉස්මතු වෙන්නේ, සාමාන්‍ය වෙලාවලට ලෙඩා සාමාන්‍යයෙන් ගණනකටවත් ගන්නේ නැති පොඩිපොඩි දේවල් ගැන කේන්ති යන කොටයි.” ලෙඩාව බලාගැනීමට තමාගේ උපරිමය කරන ප්‍රේමනීයයන්ගේ වැය වුණ ශක්තියට මේක තවත් බරක් එකතු කිරීමක් වෙන්න පුළුවන් බව තේරුම්ගත හැකි දෙයක්.

උදාහරණයක් හැටියට, මරියා මියයමින් හිටි තමාගේ මිතුරියට පැසසීම් ලැබිය යුතු ආකාරයකින් සාත්තු කළා. ඒත් සමහර අවස්ථාවලදී, ඇගේ මිතුරිය තමාගේ හැඟීම් ගැන නොතකන බවක් පෙනෙන්ට තිබුණ අතර, වැරදි නිගමනවලට එළඹුණා. “ඇය ප්‍රේමනීයයන්ව ලජ්ජාවට පත් කරකර අකරුණාවන්තව හිත රිදෙන වචන කියනවා” යයි මරියා පැහැදිලි කරයි. මරියාට මේක බලපෑවේ කොයි විදිහටද? “ඒ වෙලාවේ ලෙඩාව ‘තේරුම්ගන්නා’ බවක් පෙනෙන්න පුළුවන්. නමුත් ඒ ගැන පස්සේ කල්පනා කරන කොට, මට ප්‍රතික්ෂේප වුණ බවක්, කෝපයක්, අස්ථිරත්වයක් දැනුණා—එනිසා පෙන්විය යුතු ආදරය පෙන්වන්න පෙලඹුණේ නෑ.”

ද ජ’නල්ස් ඔෆ් ජෙරොන්ටොලජිහි පළ වුණ අධ්‍යයනයක් නිගමනය කළේ මෙහෙමයි: “සාත්තුව දෙන අවස්ථාවලදී කෝපය ඉහළ මට්ටමකට නඟින්න පුළුවන් [වන අතර], ප්‍රතිඵලයක් ලෙස සමහර අවස්ථාවලදී ඇත්තටම සාහසික දෙයක් කරන්න හෝ එහෙම කිරීමට සිතා බලන්න හෝ පුළුවන්.” සාත්තු කරන්නන් පස්දෙනෙකුගෙන් හැම එක්කෙනෙකුටම වගේ තමන් සාහසික වෙයිද කියලා භයක් ඇති වුණ බව පර්යේෂකයන්ට සොයාගන්න හැකි වුණා. ඒ වගේම 20කින් එක්කෙනෙකුට වඩා තමන්ගේ ලෙඩාට සාහසික වුණා.

“මට වරදකාරිබවක් හැඟෙනවා”

සාත්තු කරන හුඟදෙනෙක් වරදකාරිබවේ හැඟීම්වලින් පිරී ඉන්නවා. සමහර වෙලාවට වරදකාරිබව හැඟෙන්නේ කෝපය ඇති වුණාට පස්සෙයි—ඒ කියන්නේ, ඇතැම් අවස්ථාවල ඔවුන්ට කෝපය දැනෙන නිසා ඔවුන්ට වරදකාරිබවක් හැඟීමයි. මේ විදිහට තවදුරටත් කටයුතු කරන්න බැහැයි කියලා හිතන තරමටම එවැනි හැඟීම් පීඩාකාරි වෙන්න පුළුවන්.

සමහරවිට, ලෙඩාව ආයතනයක හෝ රෝහලක සාත්තුව සඳහා තබනවා හැර වෙන කරන්න දෙයක් නැති වෙන අවස්ථා ඇති වෙයි. මේක සාත්තු කරන්නාගේ චිත්තවේගීය හැඟීම්වලට බලවත් ලෙස බලපාන වේදනාකාරි තීරණයක් වෙන්න පුළුවන්. “අන්තිමේදී අම්මව සාත්තු නිවාසයක නතර කරන්න සිද්ධ වුණහම, මම ඇයට ද්‍රෝහි වෙන බවක්, ඇයගෙන් නිදහස් වීමට හදන බවක් දැනුණා” කියලා ජීන් කියයි.

ලෙඩාව රෝහලේ නතර කළත්, නැතත්, ඔහුට තමන් ප්‍රමාණවත් ලෙස සලකන්නේ නැහැයි කියා වරදකාරි හැඟීමක් ඔහුගේ ප්‍රේමනීයයන්ට ඇති වෙන්න පුළුවන්. එල්සා මෙහෙම කිව්වා: “මගේ කාලය එච්චරටම සීමා වෙලා තිබුණ නිසා මට හුඟක් වෙලාවලට කනගාටුවක් ඇති වුණා. සමහර වෙලාවලදී මගේ මිතුරිය මට යන්න දෙන්නෙම නෑ.” සාත්තු කරන්නාට වැඩි කාලයක් රෝහලේ රැඳෙන්න වෙනවා නම් හෝ ගොඩගැහෙන බිල් ගෙවා දැමීමට පැය ගණනාවක් වැඩ කරන්න වෙනවා නම්, පවුලේ වෙනත් වගකීම් අතපසු වී යයි කියා කනස්සලු වෙන්නත් ඉඩ තියෙනවා. “වියදම් පිරිමහන්න මට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒත් මගේ දරුවන් වෙනුවෙන් ගෙදර ඉන්න බැරි වෙන නිසා මට වරදකාරිබවක් හැඟෙනවා” කියා එක මවක් ශෝකයෙන් පැවසුවා.

විශේෂයෙන්ම සාත්තුව ලැබූ තැනැත්තාගේ මරණයෙන් පස්සේ, සාත්තු කරන්නන්ට උපකාරය බෙහෙවින් අවශ්‍ය බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. “[ලෙඩෙකුගේ මරණයෙන් පස්සේ] මට තියෙන දුෂ්කරම වගකීම . . . බොහෝ වෙලාවලට සඳහන් නොකර දරාගෙන ඉන්න සාත්තු කරන්නාගේ වරදකාරි හැඟීම් නිවැරදි කරන එකයි” කියා නිව් යෝර්ක්, හන්ටිංටන්හි වෛද්‍ය. ෆ්‍රෙඩ්‍රික් ෂර්මන් පවසයි.

මේ හැඟීම් ගැන කතා නොකර හැරියොත්, ඒවා සාත්තු කරන්නාටත්, ලෙඩාටත් හානිදායක විය හැකියි. මේ හැඟීම්වලට මූණ දී සාර්ථකව කටයුතු කිරීමට සාත්තුව සපයන අයට කරන්න පුළුවන් මොනවද? එමෙන්ම අනිත් අයට—එනම් පවුලේ සාමාජිකයන්ට සහ මිත්‍රයන්ට—ඔවුන්ට උපකාර කිරීමට කරන්න පුළුවන් මොනවද?

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර ඇත.

[5වන පිටුවේ කොටුව]

ඔවුන්ව අතකොලුවක් කරගන්න එපා!

“නිවසේදී මහලු අයට සාත්තු කිරීම 80%ක්ම සිදු වෙන්නේ ස්ත්‍රීන් අතින් බව අපි දන්නවා” කියා නිව් යෝර්ක්හි මවුන්ට් සයිනයි වෛද්‍යවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ උපමහාචාර්යවරිය වූ ම’නා අයි. ලූවිස් පවසයි.

ද ජ’නල්ස් ඔෆ් ජෙරොන්ටොලජිහි (ජරා විභාගය ජ’නලයේ)b සාත්තු කරන ස්ත්‍රීන් ගැන පළ වුණ අධ්‍යයනයකදී ස්ත්‍රීන්ගෙන් සියයට 61කට පවුලෙන්වත්, මිත්‍රයන්ගෙන්වත් උපකාර ලැබුණේ නැති බවට වාර්තා වුණා. ඒ වගේම භාගයකටත් (සියයට 57.6කටත්) වඩා කිව්වේ තමන්ගේ ස්වාමිපුරුෂයන්ගෙන් ප්‍රමාණවත් චිත්තවේගීය උපකාරයක් ලැබුණේ නැති බවයි. සාත්තු කිරීමේ බරෙන් වැඩි කොටසක් දරන්නේ මව විය හැකි අතර, “පියා තමන්ගේම රාජකාරිවලට යොමු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්” කියා චිල්ඩ්‍රන් විත් කැන්ස’හි ජීන් මන් බ්‍රැකන් පෙන්වයි.

කොහොමවුණත්, පිරිමින් සැලකිය යුතු සංඛ්‍යාවක් සාත්තු කිරීමේ නියැලෙන බව වෛද්‍ය. ලූවිස් පවසයි. උදාහරණයක් වශයෙන්, ඇල්ෂයිමිර් රෝගය තියෙන භාර්යාවන් සිටින ස්වාමිපුරුෂයන් සෑහෙන පිරිසක් ඉන්නවා. එමෙන්ම අසනීප ප්‍රේමනීයයෙකු සඳහා සාත්තු කිරීමේ පීඩනවලට ඇත්තෙන්ම ඔවුන් ගොදුරු නොවන තත්වයක නොවෙයි සිටින්නේ. “සාමාන්‍යයෙන් මේ පුරුෂයන් තම භාර්යාවන්ට වඩා වයසින් වැඩි නිසාත්, ඔවුන්ගේම සෞඛ්‍ය තත්වය දුර්වලව තිබෙනවා වෙන්න පුළුවන් නිසාත් සමහරවිට සියල්ලන්ගෙන් වැඩියෙන්ම ගොදුරු වෙන අය ඔවුන් විය හැකියි. . . . ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සාත්තු කිරීමේ ප්‍රායෝගික පැති පුහුණු වෙලා නැහැ” යයි ලූවිස් තවදුරටත් පවසයි.

අභියෝගයට හොඳින් මූණ දෙනවායයි පෙනෙන්ට තිබෙන සාමාජිකයෙක් මත බර පැටවීමට ඇති පෙලඹීමට එරෙහිව පවුල් ආරක්ෂා විය යුතුයි. “පවුලේ එක්කෙනෙක් තමයි හුඟක් වෙලාවලට සාත්තු කරන කෙනෙක් බවට පත් වෙන්නෙ; සමහරවිට අවස්ථා කීපයකදීම” යයි කෙයා ෆො ද කෙයාර (සාත්තු කරන්නාට සාත්තුව) නමැති පොත ප්‍රකාශ කරයි. “මොවුන්ගෙන් වැඩිදෙනෙක් දැනටමත් වියපත් වෙමින් සිටින ස්ත්‍රීන්. . . . ස්ත්‍රීන්ව සාමාන්‍යයෙන්ම දකින්නේ ‘ස්වභාවයෙන්ම’ සාත්තු කරන්නන් ලෙසටයි . . . , නමුත් පවුල් සහ මිතුරන් මෙය අතකොලුවක් කර නොගත යුතුයි.”

[පාදසටහන]

b ජරා විභාගය නිර්වචනය කරලා තියෙන්නේ “මහලු වයස හා ඒ කාලයෙහි ඇති වන රෝග හැදෑරීමේ ක්ෂේත්‍රයක්” වශයෙනුයි.

[6වන පිටුවේ පින්තූරය]

වරදකාරි සහ කෝපයේ හැඟීම්වලට මූණ දීමේදී සාත්තු කරන්නන්ට උපකාරය අවශ්‍යයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න