පාඩම් ලිපිය 45
ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි
මහලු, අසනීප කෙනෙක්ව බලාගද්දී සතුට රැකගන්න
“කඳුළු සලමින් වපුරන අය ප්‍රීති ඝෝෂා නඟමින් නෙළාගන්නවා.”—ගීතා. 126:5.
ලිපියේ අරමුණ
මහලු වයසේ ඉන්න නැත්නම් අසනීපෙන් ඉන්න පවුලේ කෙනෙක්ව, යාළුවෙක්ව බලාගද්දී එන අභියෝග ගැනත් ඒ අභියෝග මැද සතුටින් ඉන්න පුළුවන් විදිහ ගැනත් අපි බලමු.
1-2. ඔයා තව කෙනෙක්ව බලාගන්න කෙනෙක් නම් යෙහෝවාට ඔයා ගැන දැනෙන්නේ කොහොමද? (හිතෝපදේශ 19:17) (පින්තූරත් බලන්න.)
කොරියාවේ ඉන්න සහෝදර ජින්යෙල් මෙහෙම කියනවා. “මං දැන් බැඳලා අවුරුදු 32කටත් වඩා වැඩියි. පහුගිය අවුරුදු පහ පුරාම මං මගේ නෝනාව බලාගන්නවා. එයාට පාකින්සන් තියෙනවා. ඒ නිසා එයාට ඇඟපත හොල්ලන්න අමාරුයි. මං මගේ නෝනාට ගොඩක් ආදරෙයි. ඒ නිසා එයාව බලාගන්න එක මට බරක් නෙවෙයි. එයාගේ මේ අසනීපේ නිසා එයා නිදාගන්නේ විශේෂ ඇඳක. මාත් එයාගේ ඇඳට එහා පැත්තේ එයාගේ අත අල්ලගෙන තමයි නිදාගන්නේ.”
2 ඔයාත් ඔයාගේ අම්මාව, තාත්තාව, සැමියාව, බිරිඳව, දරුවෙක්ව, යාළුවෙක්ව බලාගන්න කෙනෙක්ද? ඔයා එයාට ආදරේ නිසා ඔයා ඒක කැමැත්තෙන්ම කරනවා ඇති. ඇත්තටම ඔයාගේ හිතේ යෙහෝවාට කොච්චර ආදරයක් තියෙනවාද කියලා ඒකෙන් පේනවා. (1 තිමෝ. 5:4, 8; යාකො. 1:27) හැබැයි කෙනෙක්ව බලාගන්න එක ලේසි දෙයක් නෙවෙයි. ඔයා මූණ දෙන අභියෝග හුඟක් අය දන්නෙත් නැතුව ඇති. සමහරවිට ඔයාට හිතෙනවා ඇති ඔයාට දැනෙන දේ අනිත් අයට තේරෙන්නේ නැහැ කියලා. ඔයා පිටින් හොඳට හිනා වෙලා හිටියාට හිත ඇතුළේ ලොකු බරක් උහුලගෙන ඉන්නවා ඇති. (ගීතා. 6:6) ඔයා මූණ දෙන දේවල් අනිත් අයට තේරුණේ නැතත් යෙහෝවාට තේරෙනවා. (නික්. 3:7) ඔයාගේ ඇස්වලින් වැටෙන කඳුළු, ඔයා කරන කැප කිරීම් ඔහුට ගොඩක් වටිනවා. (ගීතා. 56:8; 126:5) ඔයා ආදරේ කරන කෙනා වෙනුවෙන් ඔයා කරන හැම දේම යෙහෝවාට පේනවා. ඔහු ඒවා සලකන්නේ ඔයා ඔහුට දෙන ණයක් විදිහට. ඔහු පොරොන්දු වෙනවා ඒ ණය ගෙවනවා කියලා.—හිතෝපදේශ 19:17 කියවන්න.
ඔයාත් ඔයා ආදරේ කරන කෙනෙක්ව බලාගන්න කෙනෙක්ද? (2 ඡේදය බලන්න)
3. ටේරාව බලාගද්දී ආබ්‍රහම් සහ සාරා මොන වගේ අභියෝගවලට මූණ දෙන්න ඇද්ද?
3 අසනීප, මහලු අයව බලාගත්ත හුඟදෙනෙක් ගැන බයිබලේ තියෙනවා. ඒ වගේ දෙන්නෙක් තමයි ආබ්‍රහම් සහ සාරා. එයාලා ඌර් දේශයෙන් එද්දී එයාලත් එක්ක එයාලාගේ තාත්තා වුණ ටේරාත් ආවා. එතකොට ටේරාගේ වයස අවුරුදු 200ක් විතර ඇති. එයාලා හාරාන්වලට යන්න කි.මී. 960ක විතර දුරක් ගියා. (උත්. 11:31, 32) ආබ්‍රහමුයි, සාරායි ටේරාට ගොඩක් ආදරේ කළා. හැබැයි හිතන්න, ඒ වගේ මහලු කෙනෙක් එක්ක එච්චර දුරක් යන එක ආබ්‍රහම්ටයි, සාරාටයි කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා. පේන විදිහට එයාලා ගියේ ඔටුවන් නැත්නම් බූරුවන් පිටේ. මහලු වයසේ හිටපු ටේරාටත් ඒ ගමන ලේසි වෙන්න නැතුව ඇති. ආබ්‍රහම්ටයි, සාරාටයි සමහර වෙලාවට ලොකු වෙහෙසක් දැනෙන්න ඇති. ඒ කොහොමවුණත් එයාලට ඕන කරන ශක්තිය යෙහෝවා එයාලට දුන්නා කියලා කිසිම සැකයක් නැහැ. යෙහෝවා ආබ්‍රහම්ටයි, සාරාටයි ශක්තිය දුන්නා නම් ඔයාට නොදී ඉඳියිද?—ගීතා. 55:22.
4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
4 ඔයා සතුටින් ඉන්නවා නම් ඔයා ආදරේ කරන කෙනාව බලාගන්න ලේසියි. (හිතෝ. 15:13) මොකද සතුටින් ඉන්න කෙනෙක් මොන අභියෝග ආවත් සැලෙන්නේ නැහැ. (යාකො. 1:2, 3) සතුට තියාගන්න පුළුවන් එක විදිහක් තමයි යාච්ඤාවෙන් යෙහෝවා මත රැඳිලා හැම දෙයක් දිහාම හොඳ විදිහට බලන්න ඔහුගෙන් උදව් ඉල්ලන එක. ඉතින් අපි මේ ලිපියෙන් බලමු කෙනෙක්ව බලාගන්න කෙනෙක්ට දිගටම සතුට රැකගන්න උදව් වෙන්නේ මොනවාද කියලා. ඒ වගේ කෙනෙක්ට උදව් කරන්න අනිත් අයට කරන්න පුළුවන් දේවල් ගැනත් අපි බලමු. හැබැයි කෙනෙක්ව බලාගන්න කෙනෙක් දිගටම සතුටින් ඉන්න ඕනෙ ඇයි? සතුටින් ඉන්න එයාට බාධා වෙන දේවල් මොනවාද? ඒ ගැන අපි මුලින්ම බලමු.
සතුටට බාධා වෙන දේවල්
5. අසනීප කෙනෙක්ව, මහලු කෙනෙක්ව බලාගන්න කෙනෙක් දිගටම සතුටින් ඉන්න ඕනෙ ඇයි?
5 කෙනෙක්ව බලාගන්න කෙනෙක්ගේ සතුට නැති වුණොත් එයාට කිසිම දෙයක් කරගන්න ශක්තිය නැති වෙයි. (හිතෝ. 24:10) එතකොට එයා මහලු කෙනාට, අසනීප කෙනාට කාරුණිකව සලකන එකක් නැහැ. අවශ්‍ය උදව් දෙන්නත් බැරි වෙයි. කෙනෙක්ව බලාගන්න කෙනෙක්ගේ සතුට නැති වෙන්න පුළුවන් මොනවා නිසාද?
6. තව කෙනෙක්ව බලාගන්න කෙනෙක්ට ලොකු වෙහෙසක් දැනෙන්න පුළුවන් ඇයි?
6 දැනෙන වෙහෙස නිසා. සහෝදරි ලියා මෙහෙම කියනවා. “දේවල් හොඳට වුණ දවසක වුණත් දවස ඉවර වෙද්දී මට හරිම මහන්සියි. මීට වඩා නං බෑ කියලා හිතෙනවා. සමහර වෙලාවට මෙසේජ් එකකට රිප්ලයි කරගන්නවත් මට පණ නෑ.” තවත් අයට නිදාගන්න, විවේකයක් ගන්නවත් වෙලාවක් නැහැ. බලන්න සහෝදරි අයිනිස් කියන දේ. “මට හරිහමන් නින්දක් නෑ. මං නැන්දම්මාව බලාගන්න නිසා සමහර දවස්වල රෑට මං පැය දෙකෙන් දෙකට ඇහැරෙනවා. මහත්තයායි, මායි අවුරුදු ගාණකින් නිවාඩුවකට ගිහින් නෑ.” තවත් අයට සුහද හමුවලට ලැබෙන ආරාධනා පිළිගන්න බැහැ. නමස්කාරයට සම්බන්ධ පැවරුම් කරගන්න බැහැ. මොකද එයාලා සම්පූර්ණ කාලේ දෙන්නේ අර කෙනාව බලාගන්න. ඉතින් එයාලට ලොකු තනිකමක් දැනෙන්න පුළුවන්. එයාලා හිර වෙලා කියලා හිතෙන්නත් පුළුවන්.
7. සමහරුන්ට දුකක් දැනෙන්නෙත් එයාලාගේ හිත් දොස් කියන්නෙත් ඇයි?
7 දුකක් දැනෙන නිසා, හිත දොස් කියන නිසා. සහෝදරි ජෙසිකා මෙහෙම කියනවා. “මට හැම වෙලේම හිතෙනවා මං තාත්තා වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න ඕනෙ කියලා. පොඩි විවේකයක් ගත්තත් මගේ හිත වධ දෙනවා මං හරිම ආත්මාර්ථකාමී කෙනෙක් කියලා.” තවත් අය හිතනවා දිගටම ඒ කෙනාව බලාගන්න එයාට බැහැ කියලා. සමහර වෙලාවට ලොකු මහන්සියක් දැනෙද්දී හිතන්නේ බලන්නේ නැතුව ඒ කෙනාට දේවල් කියන්න කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා කෙනෙක්ව බලාගන්න කෙනෙක්ට ලොකු දුකක් දැනෙන්න පුළුවන්. එයාගේ හිත දොස් කියන්න පුළුවන්. (යාකො. 3:2) තවත් අයට අභියෝගයක් වෙලා තියෙන්නේ එයා බලාගන්න කෙනා දවසින් දවස ලෙඩ වෙනවා බලන් ඉන්න වෙන එක. ඒ ගැන සහෝදරි බාබ්රා මෙහෙම කියනවා. “මට දරාගන්න අමාරුම දේ තමයි මං ආදරේ කරන කෙනා දවසින් දවස දුර්වල වෙනවා බලන් ඉන්න වෙන එක.”
8. අනිත් අය අගය කරද්දී කෙනෙක්ව බලාගන්න කෙනෙක්ට දැනෙන්නේ කොහොමද?
8 කරන දේ ගැන කිසි අගයක් නැහැ කියලා දැනෙන නිසා. ඇයි එහෙම දැනෙන්නේ? මොකද හුඟක් අය එයා කරන කැප කිරීම්, එයා වෙන වෙහෙස අගය කරන්නේ නැහැ. ඇත්තටම, අගය කරලා කියන පුංචි වචන දෙක තුනකට ලොකු දෙයක් කරන්න පුළුවන්. (1 තෙස. 5:18) සහෝදරි මෙලීසා මෙහෙම කියනවා. “සමහර වෙලාවට කොච්චර එපා වෙනවාද කියනවා නං මට ඇඬෙනවා. හැබැයි මං බලාගන්න කෙනා ‘තැන්ක් යූ ඔයා මං වෙනුවෙන් කරන හැම දේටම’ කියලා කියද්දී මට දැනෙන්නේ මං පණ ගහලා එනවා වගේ. ඒක මට ඊළඟ දවසටත් ශක්තියක්.” සහෝදර ආමඩුයි, එයාගේ නෝනායි නෝනාගේ නංගිගේ දුවව බලාගන්නවා. ඒ දුවට මීමැස්මොරේ තියෙනවා. දුව එයාලා කරන දේවල් අගය කරද්දී එයාට දැනෙන විදිහ ගැන ආමඩු මෙහෙම කියනවා. “සමහරවිට අපි එයා වෙනුවෙන් කරන හැම කැප කිරීමක්ම එයාට තේරෙන්නේ නෑ. හැබැයි එයා අපිට ‘තැන්ක් යූ’ කියද්දී, ‘මං ඔයාලට ආදරෙයි’ කියලා ලියලා දෙද්දී හිත පිරිලා යනවා.”
සතුට රැකගන්න නම්
9. කෙනෙක්ට සීමාව තේරුම් අරන් වැඩ කරන්න පුළුවන් කොහොමද?
9 සීමාව තේරුම්ගන්න. (හිතෝ. 11:2) අපි කැමති හැම දේම කරන්න අපිට කාලෙවත් ශක්තියවත් නැහැ. ඉතින් ඔයාට කරන්න පුළුවන් මොනවාද, බැරි මොනවාද කියලා තීරණේ කරන්න වෙයි. සමහර දේවලට බැහැ කියන්නත් වෙයි. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් පේනවා ඔයා සීමාව තේරුම් අරන් වැඩ කරනවා කියලා. කවුරු හරි කෙනෙක් ඔයාට උදව් කරන්න කැමති නම් ඒක පිළිගන්න. සහෝදර ජේ මෙහෙම කියනවා. “අපිට එක වෙලාවක කරන්න පුළුවන් දේවල සීමාවක් තියෙනවා. ඔයා ඔයාගේ සීමාව තේරුම් අරන් වැඩ කරනවා නං ඔයාට පුළුවන් ඔයාගේ සතුට දිගටම රැකගන්න.”
10. තව කෙනෙක්ව බලාගද්දී එයාව තේරුම්ගන්න එක වැදගත් ඇයි? (හිතෝපදේශ 19:11)
10 එයාව තේරුම්ගන්න. (හිතෝපදේශ 19:11 කියවන්න.) ඔයා මහලු කෙනෙක්ව, අසනීප කෙනෙක්ව තේරුම්ගන්නවා නම් එයා හිතන්නේ බලන්නේ නැතුව දෙයක් කියද්දී කරද්දී වුණත් සන්සුන්ව ඉන්න ඔයාට පුළුවන්. තේරුම්ගන්න කෙනෙක් එයා ඒ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා කල්පනා කරනවා. සමහර අසනීප නිසා සමහරු සාමාන්‍යයෙන් කරන්නේ කියන්නේ නැති දේවල් වුණත් කරන්න කියන්න පෙලඹෙනවා. (දේශ. 7:7) උදාහරණෙකට සාමාන්‍යයෙන් කාරුණිකව කතා කරන, වැඩ කරන කෙනෙක් වුණත් රණ්ඩුවට පැටලෙන්න හදයි. ඔයාගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙයි. මොනවා කළත් හැම වෙලාවෙම ඒකේ ඇදයක්ම හොයයි. ඔයා බලාගන්නේ බරපතළ අසනීපයක් තියෙන කෙනෙක්ව නම් ඒ අසනීපේ ගැන තොරතුරු හොයන එකත් හොඳයි. මොකද ඒ ගැන තේරුම්ගන්න තරමටම එයා මෙහෙම හැසිරෙන්නේ එයා ඉන්න තත්වේ නිසා මිසක් එයා ඇත්තටම ඒ වගේ කෙනෙක් නිසා නෙවෙයි කියලා ඔයාට තේරෙයි.—හිතෝ. 14:29.
11. කෙනෙක්ව බලාගන්න කෙනෙක් හැම දවසකම කාලේ වෙන් කරන්න ඕනෙ මොන දේවල් කරන්නද? (ගීතාවලිය 132:4, 5)
11 යෙහෝවාත් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න කාලේ වෙන් කරන්න. සමහර වෙලාවට සමහර වැඩ පැත්තකින් තියලා “වඩා වැදගත් දේවලට” ඔයා මුල් තැන දෙන්න ඕනේ. (ෆිලි. 1:10) වඩා වැදගත් දේවලට ඇතුළත් දෙයක් තමයි යෙහෝවාත් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න එක. දාවිත් රජත් කොච්චර කාර්යබහුල වුණත් දෙවියන්ට කරන නමස්කාරයට මුල් තැන දුන්නා. (ගීතාවලිය 132:4, 5 කියවන්න.) ඔයාටත් පුළුවන් හැම දවසකම බයිබලේ කියවන්න, යාච්ඤා කරන්න වෙලාව වෙන් කරගන්න. සහෝදරි එලිෂා මෙහෙම කියනවා. “මං වරද්දන්නේ නැතුව හැමදාම යාච්ඤා කරනවා. මට සැනසීමක් දැනෙන ගීතාවලිය පොතේ පද කියවලා ඒ ගැන හොඳට හිතනවා. ඒක මට උදව් වෙලා තියෙනවා සතුට රැකගන්න. ඇත්තටම යාච්ඤාව කියන්නේ මට මගේ පණ වගේ. දවස පුරාම මං හුඟක් සැරයක් යෙහෝවාගෙන් ඉල්ලනවා සන්සුන්ව ඉන්න මට උදව් කරන්න කියලා.”
12. කෙනෙක් තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නත් වෙලාව වෙන් කරගන්න ඕනෙ ඇයි?
12 තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන්න වෙලාව වෙන් කරගන්න. කෙනෙක්ව බලාගන්න අය කාර්යබහුලයි. ඒ අයට පෝෂ්‍යදායි කෑම කන එක අභියෝගයක්. මොකද හොඳ එළවළු පලතුරු ගන්න, සමබර ආහාර වේලක් පිළියෙල කරන්න තරම්වත් කාලයක් එයාලට නැතුව ඇති. ඒත් සමබර ආහාර, හොඳ ව්‍යායාම් මනසටත් ශරීරයටත් ඖෂධයක්. ඒ නිසා නිතිපතා හොඳ ආහාර වේලක් ගන්න, ව්‍යායාම් කරන්න ඔයාට තියෙන පොඩි කාලේ වුණත් පාවිච්චි කරන්න. (එෆී. 5:15, 16) හොඳ නින්දක් ගන්නත් අමතක කරන්න එපා. (දේශ. 4:6) විශේෂඥයන් කියන විදිහට හොඳ නින්දකට පුළුවන් අපේ මොළේ තියෙන සෛල අලුත්වැඩියා කරන්න. වෛද්‍ය තොරතුරු ඇතුළත් එක ලිපියක කියනවා කෙනෙක් හොඳ නින්දක් ගන්නවා නම් ඒක කනස්සල්ල අඩු කරගන්න, අමාරු තත්වයන් මැද සාමකාමීව ඉන්න උදව් වෙනවා කියලා. ඒ වගේම විනෝද වෙන්නත් පොඩි කාලයක් ගන්න. (දේශ. 8:15) කෙනෙක්ව බලාගන්න සහෝදරියකට සතුට තියාගන්න උදව් වුණ දෙයක් ගැන එයා මෙහෙම කියනවා. “කාලගුණය හොඳ දවස්වල අව්ව වදින්නත් එක්ක මං පොඩ්ඩක් ඇවිදින්න යනවා. මං අඩුම ගාණේ මාසෙකට සැරයක්වත් යාළුවෙක් එක්ක ටිකක් විනෝද වෙන්න සැලසුම් කරනවා.”
13. හිනා වෙලා ඉන්න එක හොඳ දෙයක් කියන්නේ ඇයි? (හිතෝපදේශ 17:22)
13 හිනා වෙලා ඉන්න අමතක කරන්න එපා. (හිතෝපදේශ 17:22 කියවන්න; දේශ. 3:1, 4) ඒක ඔයාගේ ශරීරයට වගේම ඔයාගේ මනසටත් හොඳයි. ඇත්ත, අපි හිතපු විදිහටම දේවල් වෙන්නේ නැති වුණාම දරාගන්න අමාරුයි. ඒත් ඒ වගේ වෙලාවට වුණත් හිනා වෙලා ඉන්න පුළුවන් පැත්තක් දකින්න පුළුවන් නම් අප්සෙට් යන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා බලාගන්න කෙනා එක්ක හිනා වෙලා ඉන්නත් අමතක කරන්න එපා. මොකද ඒක ඔය දෙන්නාගේ බැඳීම තව ශක්තිමත් කරයි.
14. විශ්වාසවන්ත යාළුවෙක් එක්ක කතා කරන එක උදව් වෙන්නේ කොහොමද?
14 විශ්වාසවන්ත යාළුවෙක් එක්ක කතා කරන්න. සමහර වෙලාවට සතුටින් ඉන්න මොන දේ කළත් තවත් නම් දරාගන්න බැහැ කියලා ඔයාට හිතෙයි. ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාව විනිශ්චය කරන්නේ නැති, ඔයාව තේරුම්ගන්න, විශ්වාසවන්ත යාළුවෙක්ට ඔයාට හැඟෙන දැනෙන හැම දේම කියන්න. (හිතෝ. 17:17) එයා ඔයාට ඇහුම්කන් දෙයි, ඔයාව දිරිගන්වයි. නැති වුණ සතුට ආයේ ගන්න ඒ වෙලාවේ ඔයාට ඕනම කරලා තිබුණ බෙහෙත ඒක වෙන්න ඇති.—හිතෝ. 12:25.
15. බලාපොරොත්තුව ගැන හිතන එක සතුට තියාගන්න උදව් වෙන්නේ කොහොමද?
15 ඔයාලා දෙන්නාම පාරාදීසේ ඉන්න විදිහ හිතින් මවාගන්න. මහලු, අසනීප කෙනාව ඔයාට හැමදාටම බලාගන්න ඕන වෙන්නේ නැහැ. මොකද ඔයා කරන ඔය වැඩේ යෙහෝවාගේ මුල් අරමුණට ඇතුළත් වුණේ නැහැ. (2 කොරි. 4:16-18) “සැබෑ ජීවිතය” ඉස්සරහටයි තියෙන්නේ. (1 තිමෝ. 6:19) ඔයායි, ඔයා බලාගන්න කෙනායි එකතු වෙලා පාරාදීසේදී කරන දේවල් ගැන කතා කරන එකෙන් ඔයාලාගේ සතුට වැඩි වෙයි. (යෙසා. 33:24; 65:21) සහෝදරි හෙදර් මෙහෙම කියනවා. “මං නිතරම වගේ මං බලාගන්න කෙනාත් එක්ක පාරාදීසේ ගැන කතා කරනවා. එදාට අපි එකතු වෙලා මහමු, එකට දුවමු, බයිසිකල් පදිමු කියලා අපි කතා වෙනවා. නැවත නැඟිටලා එන අයට කෑම හදන්න, පාන් පුච්චන්න අපි ආසාවෙන් ඉන්නවා. මේ වගේ බලාපොරොත්තුවක් දුන්නාට අපි දෙන්නාම එකතු වෙලා යෙහෝවාට ස්තුති කරනවා.”
උදව් කරන්න සභාවේ අයට පුළුවන්
16. කෙනෙක්ව බලාගන්න කෙනෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
16 විවේකයක් ගන්න උදව් කරන්න. සභාවේ ඉන්න අපිටත් පුළුවන් මහලු කෙනෙක්ව, අසනීප කෙනෙක්ව බලාගන්න යන්න. එතකොට ඒ වගේ කෙනෙක් ළඟ ඉන්න කෙනාට පොඩි විවේකයක් ගන්න, එයාගේ වැඩක් පලක් කරගන්න වෙලාව ලැබෙනවා. (ගලා. 6:2) සමහර ප්‍රචාරකයන් සතියකට සැරයක් ඒ වගේ කෙනෙක්ව බලන්න යන්න ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. සහෝදරි නටාල්යාගේ මහත්තයා අංශභාග රෝගියෙක්. නටාල්යා මෙහෙම කියනවා. “අපේ සභාවේ සහෝදරයෙක් සතියට සැරයක් දෙසැරයක් මහත්තයාව බලන්න එනවා. එයාලා එකතු වෙලා සේවේ කරනවා, කතා කරනවා, ෆිල්ම් එකක් බලනවා. එයා එක්ක කාලේ ගත කරන්න මගේ මහත්තයාත් හරිම කැමතියි. ඒකෙන් මටත් පොඩි විවේකයක් ලැබෙනවා. සමහර වෙලාවට මං ඇවිදින්නත් යනවා.” ඊට අමතරව ඔයාට පුළුවන් අසනීප, මහලු කෙනෙක් ළඟ රැයක් වුණත් ඉන්න. එතකොට ඒ කෙනාව බලාගන්න කෙනාට හොඳ නින්දක් ගන්න පුළුවන්.
සභාවේ අයට කරන්න පුළුවන් මොනවාද? (16 ඡේදය බලන්න)a
17. රැස්වීම් අතරතුරේදී අපිට උදව් කරන්න පුළුවන් කොහොමද?
17 රැස්වීම් අතරතුරේදී උදව් කරන්න. කෙනෙක්ව බලාගන්න කෙනෙක්ට රැස්වීම්වලට, සමුළුවලට අවධානය දෙන්න අමාරු වෙන්න පුළුවන්. සභාවේ ඉන්න කෙනෙක්ට පුළුවන් මුළු රැස්වීම පුරාම නැත්නම් රැස්වීමේ කොටසකදී ඒ මහලු, අසනීප කෙනා එක්ක ඉන්නද කියලා අහන්න. මොකද එතකොට එයාව බලාගන්න කෙනාට පුළුවන් රැස්වීම්වලට හොඳ අවධානයක් දෙන්න. අසනීප කෙනා නැත්නම් මහලු කෙනා ඉන්නේ ගෙදරටම කොටු වෙලා නම් අපිට පුළුවන් එයාගේ ගෙදරට ගිහින් එයාත් එක්ක රැස්වීම්වලට හවුල් වෙන්න. එතකොට එයාව බලාගන්න කෙනාට පුළුවන් නමස්කාර මධ්‍යස්ථානයට ඇවිත් රැස්වීම්වලට සහභාගි වෙන්න.
18. සභාවේ ඉන්න අයට කරන්න පුළුවන් තව දේවල් මොනවාද?
18 අගය කරන්න. එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න. මහලු කෙනෙක්ව, අසනීප කෙනෙක්ව බලාගන්න කෙනෙක්ව වැඩිමහල්ලන් නිතරම හම්බ වෙන්න ගිහින් එයාව දිරිගන්වන්න ඕනේ. (හිතෝ. 27:23) සභාවේ ඉන්න අපි හැමෝමත් මොන තත්වෙක හිටියත් එයාලට ආදරේ කියලා කියන්නත් එයාලා කරන කැප කිරීම් අපි ගොඩක් අගය කරනවා කියලා කියන්නත් අමතක කරන්න හොඳ නැහැ. එයාලා කරන වැඩේ දිගටම සතුටින් කරන්න ඕන කරන ශක්තිය එයාලට දෙන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්නත් අපිට පුළුවන්.—2 කොරි. 1:11.
19. අපි බලන් ඉන්නේ මොන කාලේ එන කල්ද?
19 යෙහෝවා අපේ ජීවිතවලින් වේදනාව නිසා ඇති වෙන කඳුළු පිහලා දාන දවස වැඩි ඈතක නැහැ. එදාට අසනීප, මරණය නැහැ. (එළි. 21:3, 4) “කොර අය මුවෙක් වගේ දුව පැන යයි.” (යෙසා. 35:5, 6) මහලු වයස නිසා ඇති වෙන වේදනාවන් නැහැ. අපි ආදරේ කරන අය වයසට යනවා, අසනීප වෙනවා බලන් ඉන්න වෙන්නේ නැහැ. “කලින් සිද්ධ වුණ දේවල් ආයේ මතකයට එන්නෙත් නැහැ.” (යෙසා. 65:17) ඒ දවස එන කල් යෙහෝවා අපිට උදව් කරයි කියලා අපිට විශ්වාසයි. ඉතින් අපි දිගටම ඔහු මත රැඳිලා ඉඳලා ඔහුගෙන් ශක්තිය ඉල්ලනවා නම් “සතුට, ඉවසිලිවන්තකම නැති කරගන්නේ නැතුව හැම දෙයක්ම සාර්ථකව විඳදරාගන්න” ඔහු අනිවාර්යයෙන්ම අපිට උදව් කරයි.—කොලො. 1:11.
ගීතිකාව 155 අපේ සතුට ඔබයි සැමදා
a පින්තූරේ අදහස: යෞවනියන් දෙන්නෙක් මහලු සහෝදරියක්ව බලන්න ගිහින්. ඒ නිසා එයාව බලාගන්න කෙනාට ඇවිදින්න යන්න කාලේ ලැබෙනවා.