සාත්තු කරන්නාට සාත්තු කිරීම—උපකාර කිරීමට අන්‍යයන්ට පුළුවන් විදිහ
“ලෝරියි, මමයි විවාහ වෙලා අවුරුදු 55ක්—දීර්ඝ කාලයක්—කොයිතරම් සතුටුදායක කාලයක්ද! මට ඔහුව ගෙදර තියාගන්න පුළුවන්කමක් තිබුණා නම් මං ඔහුව තියාගන්නවා. නමුත් මගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්න පටන්ගත්තා. අන්තිමේදී, ඔහුව සාත්තු නිවාසයකට ගෙන යන්න කටයුතු පිළියෙළ කරන්න මට සිද්ධ වුණා. මේක විස්තර කරද්දී ඇති වෙන හිතේ වේදනාව මට දරාගන්න බැරි තරම්. මං ආදරෙයි; හද පතුලෙන්ම ඔහුට ගරු කරනවා; මට පුළුවන් හැම වෙලාවකම මං බලන්න යනවා. ශාරීරික තත්වය නිසා මට වැඩි දෙයක් කරගන්න බෑ.”—ඇල්ෂයිමිර් රෝගයෙන් පෙළෙන තම ස්වාමිපුරුෂයාට අවුරුදු 10කට වඩා වැඩි කාලයක් සාත්තු කළාවූ මෙන්ම පහුගිය අවුරුදු 40 පුරා මොන්ගෝල්භාවයෙන් පෙළුණ දියණියට සාත්තු කළ 78-හැවිරිදි ස්ත්‍රියක් වන ඇනා.a
ඇනාගේ තත්වය කොහොමටවත් අසාමාන්‍ය එකක් නොවෙයි. බ්‍රිතාන්‍ය දූපත්වල කළ සමීක්ෂණයකදී හෙළි වුණේ “සමහර වයස් කණ්ඩායම්වල (හතළිස් සහ පනස් ගණන්වල පසු වෙන) හැම ස්ත්‍රීන් දෙන්නෙකුගෙන්ම එක්කෙනෙක් පාහේ සාත්තු කරන්නියක්” බවයි. කලින් සාකච්ඡා කළ විදිහට, සාත්තු කරන්නන් මූණ දෙන සිතේ තිබෙන කැලඹිල්ල සහ ප්‍රශ්න සමහර අවස්ථාවලදී දරාගන්න බැරි බව පෙනෙන්ට තිබෙනවා.
“සාත්තු කරන මුල් අවුරුද්දේදී අඩුම තරමින් සාත්තු කරන්නන්ගෙන් 50%ක්වත් කලකිරෙනවා කියලයි මට හිතන්නේ” කියා අමෙරිකානු ජරා විභාග සමිතියේ වෛද්‍ය. ෆ්රෙඩ්රික් ෂර්මන් පවසයි. තමන්ගේම ශක්තිය හීන වෙමින්, පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්වයක් තියෙන ඇනා වැනි වයසක අයට, තත්වය ඊටත් වඩා දුරකට අමාරු වෙන්න පුළුවන්.
සාත්තු කරන්නන්ට තමන්ගේ වගකීම් උසුලමින්ම තත්වයට මූණ දීමට උපකාර කිරීම සඳහා අපි ඔවුන්ගේ අවශ්‍යතා ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. ඒ අවශ්‍යතා මොනවාද? එමෙන්ම ඒවාට ප්‍රතිචාරය දැක්වීමට අපට පුළුවන් කොයි විදිහෙන්ද?
සාත්තු කරන්නන්ට කතා කරන්න ඕනෙ
“මගේ හිත සැහැල්ලු කරගන්න මට ඕන වුණා” කියා මරණාසන්නව හිටිය තම මිතුරියට සාත්තු කළ එක් ස්ත්‍රියක් පැවසුවා. ඉස්සෙල්ලා ලිපියේ පෙන්නපු විදිහට, තේරුම්ගන්නා මිත්‍රයෙක් එක්ක ප්‍රශ්න ගැන කතා කළ හැකි නම්, ඒවාට මූණ දීමටත්, ඒවා එක්ක කටයුතු කිරීමටත් බොහෝවිට පහසුයි. තම තත්වයන් හේතුවෙන් හිර වෙලා ඉන්නවයි කියලා හැඟෙන සාත්තු කරන්නන් හුඟදෙනෙක්ට, තමන්ගේ තත්වය ගැන කතා කිරීමෙන් තමන්ගේ හැඟීම් පැහැදිලි කරගන්නත්, ගොඩගැහුණ පීඩනය සැහැල්ලු කරගන්නත් උපකාර වෙනවා.
“අපි දෙන්නටම දිරිගැන්වීම හා අගය කිරීම අවශ්‍ය බව මිත්‍රයන් තේරුම්ගත්තහම මම ඒක අගය කළා” කියමින් තම ස්වාමිපුරුෂයාට සාත්තු කරමින් සිටි අවදිය ගැන ජීනි සිහි කරයි. සාත්තුව දෙන අයට දිරිගැන්වීම සහ ඇතැම් වෙලාවලට, අනුකම්පාවෙන් සවන් දෙන කෙනෙක් අවශ්‍යයි. තමන්ගේ ලෙඩ වූ මස්සිනාට සාත්තු කළ යල්මා ඊට එකඟ වෙමින් මෙහෙම කියා සිටිනවා: “මං භය වෙන දේවල් ගැන වගේම ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන, මට හැඟුණ ආකාරය තේරුම්ගන්න කෙනෙක් මට අවශ්‍ය වුණා.” කිට්ටු මිත්‍රයෙක් සම්බන්ධයෙන්, යල්මා මෙහෙමත් පවසනවා: “පැය භාගයකටවත් ඔහුව බැහැදකින්න ලැබීම ලොකු සතුටක්. ඔහු මට සවන් දෙනවා. ඔහු ඇත්තෙන්ම සැලකිලිමත්. මට ඊට පස්සේ නව පණක් ලැබුණා වගේ හැඟෙනවා.”
තේරුම්ගන්නාසුලු සවන්දෙන්නෙකුගෙන් සාත්තු කරන්නන්ට පුදුම විදිහේ දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන්. “ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමට . . . ප්‍රමාද වේවා” කියා බයිබලය ඥානවන්තව අවවාද කරයි. (යාකොබ් 1:19) “සෑහෙන සහනයක් ලබාගන්න, උපකාරය ලබාගත හැකි බව දැන සිටීමම ඇති” කියා ද ජ’නල්ස් ඔෆ් ජෙරොන්ටොලජි සඟරාවේ වාර්තාවක් හෙළි කළා.
සවන්දෙන්නෙක්, දිරිගන්වන හා අගය කරන කෙනෙක් සිටිනවාට අමතරව, සාත්තු කරන්නන්ට අවශ්‍ය වෙන මොනවාද?
ප්‍රායෝගික උපකාරය සැපයීම
“ආදරය දක්වන හා දිරිගැන්වීම දෙන ඕනෑම මාර්ගයකින්, ලෙඩා සහ පවුල ප්‍රයෝජනය ලබන බව” වෛද්‍ය. අ’නස්ට් රෝසන්බවම් නිරීක්ෂණය කරයි. මුලපිරීමක් වශයෙන්, පෞද්ගලිකව බැහැදකින්න යන අවස්ථාවකදී, දුරකථනයෙන් අමතද්දී, එහෙමත් නැත්නම් කෙටි සටහනක් (මල් හෝ වෙනත් යම් ත්‍යාගයක්ද සමඟ) දෙද්දී එවැනි “ආදරයක්” දක්වන්න “හා දිරිගැන්වීමක්” දෙන්න පුළුවන්.
“අපේ මිත්‍රයන් ටික වෙලාවකට හෝ ඇවිත් යන එක සහනයක්” කියා තම පියා හොජ්කින්ස් රෝගයෙන් මරණාසන්නව හිටියදී තම පවුල ලැබුව උපකාරය ගැන සූ සිහිපත් කරයි. “මගේ මිතුරියන්ගෙන් කෙනෙක් දුරකථන පණිවිඩ ගත්තා; අපි හැමෝගේම ඇඳුම් සෝදා, මැදලා දුන්නා” කියා ඇය තවදුරටත් පවසයි.
සාත්තු කරන්නන්ට උපකාර කරන විට, එයට සුවිශේෂ හා පැහැදිලිව දැකගත හැකි උපකාරය ඇතුළත් විය හැකියි; ඇත්තෙන්ම ඇතුළත් කළ යුතුයි. එල්සා මෙහෙම සිහියට නඟනවා: “මිත්‍රයන් ප්‍රායෝගික ආධාර ඉදිරිපත් කළ විට, ඒක උපකාරයක් කියලා මට පෙනුණා. ඔවුන් නිකම්ම මෙහෙම කිව්වේ නෑ: ‘මටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න.’ ඒ වෙනුවට ඔවුන් මෙහෙම කිව්වා: ‘මම බඩු ගේන්න යනවා. ඔයාට මොනවද ගෙනල්ලා දෙන්න ඕනෙ?’ ‘මං ඔයාගේ වත්ත සුද්ද කරලා දෙන්නද?’ ‘මට පුළුවන් ලෙඩා එක්ක ඉඳගෙන, ඇයට ඇහෙන්න කියවන්න.’ අපි දැනගත්ත තවත් දෙයක් තමයි, මගේ අසනීප මිතුරිය වෙහෙසට පත්ව හෝ නිදාගෙන ඉන්න කොට, බැහැදකින්න එන අයට සටහන් පොතක යමක් ලියා තබා යෑමට පිළියෙළ කිරීම ප්‍රායෝගිකයි කියන එක. එයින් අපි හැමදෙනාටම ඉමහත් සතුටක් ලැබුණා.”
උපකාර කරන්න කෙළින්ම ඉදිරිපත් වෙන කොට, ගෙදර දොරේ ඕනෑම වැඩකටයුත්තක් කිරීම එයට ඇතුළත් කරන්න පුළුවන්. තම මහලු දෙමාපියන්ට සාත්තු කළ 58-හැවිරිදි රෝස් මෙහෙම පැහැදිලි කරනවා: “ඇඳන් පිළියෙළ කිරීමෙන්, ලෙඩා වෙනුවෙන් ලියුම් ලිවීමෙන්, ලෙඩාව බලන්න එන අයට සංග්‍රහ කිරීමෙන්, බේත් හේත් ලබා දීමෙන්, සේදීමෙන් හා කොණ්ඩෙ සකස් කිරීමෙන්, දීසි සේදීමෙන් කළ උපකාර මං අගේ කළා.” කෑම වේල් සැපයීමට වාර ගැනීමෙනුත් සාත්තු කරන්නාට උපකාර කිරීමට පවුලට සහ මිත්‍රයන්ට හැකියි.
යෝග්‍ය අවස්ථාවලදී, සාත්තු කිරීමේ ප්‍රධාන පැතිවලින් උපකාර කිරීමත් ප්‍රායෝගික වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, ලෙඩාට කවන්න හෝ ලෙඩාව සේදීමට සාත්තු කරන්නාට උපකාරය අවශ්‍ය වෙන්න පුළුවන්.
අසනීපයේ මුල් අවදියේදී සැලකිලිමත් පවුල් සාමාජිකයන් සහ මිත්‍රයන් ප්‍රායෝගික උපකාරය දෙන්න පුළුවන්; නමුත් අසනීපය දීර්ඝ කාලයක් පවතින එකක් නම් මොකද කරන්නේ? අපේම කාර්යබහුල වැඩසටහනට හිර වෙලා ඉන්න අපි, සාත්තු කරන්නන් මූණ දෙන, දිගටම පවතින—තවතවත් වැඩි විය හැකි—පීඩනය පහසුවෙන්ම නොසලකා හරින්න පුළුවන්. බෙහෙවින් අවශ්‍යව තිබෙන උපකාරය අඩු වෙන්න පටන්ගත්තා නම්, ඒක කොයිතරම් කනගාටුදායක එකක් වෙයිද!
ඒක සිද්ධ වෙනවා නම්, සාත්තු කරන්නා ලෙඩාගේ සාත්තුව ගැන සාකච්ඡා කිරීමට පවුලේ රැස්වීමක් කැඳවීම ඥානවන්ත දෙයක් වෙන්න පුළුවන්. උපකාර කිරීමට කැමැත්තක් තියෙන බව දන්වා ඇති මිත්‍රයන්ගේ සහ නෑදෑයන්ගේ උපකාරය හුඟක් වෙලාවට ලබාගත හැකියි. සූ සහ ඇගේ පවුල කළේ මෙයයි. “අවශ්‍යතා ඇති වුණහම, උපකාර කරන්න ඉදිරිපත් වුණ අයව අපිට මතක් වුණා; ඔවුන්ට දුරකථනයෙන් කතා කළා. අපිට ඔවුන්ගෙන් උපකාරයක් ඉල්ල ගන්න පුළුවන් වෙයි කියලා අපිට හිතුණා.”
ඔවුන්ට විවේකයක් දෙන්න
“[සාත්තු කරන තැනැත්තා වූ] ඔබටත්, [ඔබේ ලෙඩාටත්] අත්‍යවශ්‍ය දෙයක් තමයි දීර්ඝ කාලයක් පුරා රෝගීව සිටින කෙනෙකුට විසිහතර පැයේම සාත්තු කිරීමෙන් ‘ටිකක් ඈත්වීමට’ ඔබ යම් ස්ථිර වෙලාවල් වෙන් කිරීම. . . . [රෝගියාට] සාත්තු කිරීමෙන් නිවාඩුවක් ගැනීම, යමෙකුට දිගටම සාත්තු කිරීමට ඔබට හැකි කරවන ඉතා වැදගත් දේවලින් එකක්” කියා ද ත’ටිසික්ස්-අව ඩේ නම් පොත පවසයි. සාත්තු කරන්නන් එයට එකඟ වෙනවාද?
“ඇත්තටම ඔව්” පිළිකාවෙන් මරණාසන්නව සිටි කිට්ටු මිතුරියකට සාත්තු කළ මරියා පිළිතුරු දෙයි. “කලින් කලට, සාත්තු කිරීම ටිකකට වෙන කෙනෙක්ට භාර දීලා මට විවේකයක් ගන්න ඕන වුණා.” ඇල්ෂයිමිර් රෝගයෙන් පෙළෙන තම ස්වාමිපුරුෂයාට සාත්තු කරන ජෝන්ටත් තියෙන්නේ ඒ අදහසමයි. “ඉඳලා හිටලා විවේක ගැනීම අපිට අවශ්‍යම දේවලින් එකක්” බව ඈ සඳහන් කරයි.
ඒත්, ඔවුන්, තම වගකීම්වල බරෙන් ටිකක් නිදහස් වෙන්නේ කොහොමද? තම මහලු දෙමාපියන්ට සාත්තු කළ ජෙනිෆ නිදහසක් ලැබුව ආකාරය ගැන මෙහෙම සඳහන් කරනවා: “අපිට විවේකයක් දෙන්න පවුලේ මිතුරියක් සමහර අවස්ථාවලදී අම්මාව බලාගත්තා.”
ලෙඩාව ටික වෙලාවකට පිටතට ගෙන යෑම සුදුසු නම්, පිටතට ගෙනියන්න ඉදිරිපත් වීමෙන් ඔබට සාත්තු කරන්නාට විවේකයක් දෙන්න පුළුවන් වෙයි. ජෝන් මෙහෙම කියනවා: “කවුරු හරි මගේ ස්වාමිපුරුෂයාව පිටතට ගෙනියන කොට මට පහසුවක් දැනෙනවා; එතකොට මට ඉඳලා හිටලා මගේම දේවල්වලට යොමු වෙන්න පුළුවන්.” අනිත් අතට, ඔබට ලෙඩා එක්ක ඔහුගේ නිවසේ කාලය ගත කරන්න පුළුවන් වෙයි. මේ කොයි අතටත්, සාත්තු කරන්නාට ඕනෑ කරන අත්‍යවශ්‍ය විවේකය ගන්න පුළුවන්.
ඒත්, සාත්තු කරන්නන්ට විවේකයක් ගැනීම හැමවිටම පහසු නැති බව මතක තියාගන්න. තමන්ගේ ප්රේමනීයයන්ගෙන් ඈත්ව සිටීම ගැන ඔවුන්ට වරදකාරිබවක් හැඟෙන්න පුළුවන්. “මේ තත්වයෙන් ටිකකට මිදී විනෝද වීමට හෝ විවේකය ගැනීමට පහසු නෑ” කියා යල්මා පිළිගනියි. “මට හැම තිස්සේම එතන ඉන්න ඕනෙ වගේ හැඟුණා.” ඔහුගේ මස්සිනාට අවම සාත්තුවක් අවශ්‍ය වුණහම විවේකයක් ගැනීමෙන් ඔහුට මනසේ ලොකු සාමයක් ඇති වුණා. වෙනත් අය පැය කීපයකට තම ප්‍රේමනීයයන්ව වැඩිහිටි දිවා-සුරැකුම් මධ්‍යස්ථානයකදී බලාගැනීම සඳහා කටයුතු සකස් කර තිබෙනවා.
සියලුම අසනීපවල අවසානය
දරුණු ලෙස රෝගීව සිටින ප්රේමනීයයෙකුට සාත්තු කිරීම ලොකු වගකීමක් බවට සැකයක් නෑ. කොහොමනමුත්, ප්රේමනීයයෙකුට සාත්තු කිරීම ඉමහත් සෑහීමක් හා තෘප්තියක් ගෙන දිය හැකි දෙයකි. පවුල සහ මිත්‍රයන් සමඟ ඇති සබඳතා ශක්තිමත් වෙනවා කියලා පර්යේෂකයන් මෙන්ම සාත්තු කරන්නන් පෙන්නුම් කරනවා. නොයෙක් ආකාරවලින් සාත්තු කරන්නන් අලුත් ගුණාංග හා හැකියාවන් ඉගෙනගනියි. බොහෝදෙනෙක් ආත්මික ප්‍රයෝජනද අද්දකිනවා.
සියල්ලටම වඩා වැදගත්ව, ඉතාමත්ම අනුකම්පාසහගත සාත්තු කරන්නන් වන්නේ යෙහෝවා හා ඔහුගේ පුත්‍රයා වන යේසු බව බයිබලය සඳහන් කරයි. හැම අසනීපයකම, වේදනා විඳීමකම සහ මරණයකම අවසානය අත ළඟ බව බයිබල් අනාවැකිය අපට සහතික කරයි. නොබෝ කලකින්, මිනිසාට සාත්තු කරන මැවුම්කරු පොළොවේ ධර්මිෂ්ඨවාසීන්ට සම්පූර්ණයෙන්ම සෞඛ්‍යසම්පන්න නව ලොවක—“තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකිය[න]” ලොවක—සදාකල් ජීවත්වීමේ භාග්‍යය උදා කර දේවි.—යෙසායා 33:24; එළිදරව් 21:4.
[පාදසටහන]
a මේ ලිපියේ සමහර නම් වෙනස් කර තිබෙනවා.
[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ලෙඩාගේ සුභ-සාධනය රඳාපවතින්නේ කෙළින්ම ඔබේ සුභ-සාධනය මතයි
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ඔබට අමාරුම කාලවලදී කටයුතු කරගෙන යන්න හොඳ මිතුරන්ගෙන් ලැබෙන සහයෝගය මහත් ප්‍රයෝජනයක්
[12වන පිටුවේ කොටුව]
සාත්තු කිරීම ප්රතිඵලදායී දෙයක් වෙන්න පුළුවන්
‘ප්රතිඵලදායී දෙයක්ද’ කියලා සමහරු කල්පනා කරන්න පුළුවන්. ‘ඒක වෙන්නේ කොහොමද?’ මතු දැක්වෙන සාත්තු කරන්නන් පිබිදෙව්! වෙත පැවසූ දේ සැලකිල්ලට ගන්න:
“තමාගේම ලුහුබැඳීම් හා ආශාවන්වලින් වැළකී සිටීමෙන් සන්තෝෂය අඩු වන බවක් අදහස් කරන්නේ නෑ. ‘ලබාගැනීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙයි.’ (ක්‍රියා 20:35) ඔබ ප්‍රේම කරන කෙනෙකුට සාත්තු කිරීම ඉමහත් සෑහීමක් ගෙනෙන දෙයක් විය හැකියි.”—ජෝන්.
“මට ආපහු ගෙවන්න මගේ සහෝදරියට සහ මස්සිනාට නොහැකි වුණත්, ඇත්තෙන්ම අවශ්‍යතාවක් තිබෙන වෙලාවක ඔවුන්ට උපකාර කරන්න ලැබුණු එක මට සතුටක්. එය අපව වඩාත් කිට්ටු කළා. ඒ වගේම තත්වයක ඉන්න තවත් කෙනෙකුට කවදාහරි උපකාර කරන්න ඒ පළපුරුද්ද යොදාගන්න මට පුළුවන් කියලා මං හිතනවා.”—යල්මා.
“මගේ රෝගී මිතුරිය බෙටිට මං එක වතාවකට වඩා කියා ඇති ලෙසම, මං දුන්නාට වඩා මට ලැබුණා. මම අනුකම්පාව හා ඉවසීම ඉගෙනගත්තා. ඉතාමත්ම අමාරු තත්වයන් යටතේ පවා ඒකාන්ත ආකල්පයක් පවත්වාගන්න පුළුවන් බව මං දැනගත්තා.”—එල්සා.
“මම වඩාත් ශක්තිමත් කෙනෙක් බවට පත් වුණා. යෙහෝවා දෙවි මත දිනපතා රඳා සිටිමින්, ඔහු මගේ අවශ්‍යතා සපුරාලන තෙක් බලාසිටීම කියන්නේ මොකක්ද කියන එක මං වඩාත් හොඳින් දැනගත්තා.”—ජීනි.
[13වන පිටුවේ කොටුව]
සාත්තු කරන්නෙකුව බැහැදකින විට
• සානුකම්පිතව සවන් දෙන්න
• මුළු හිතින්ම ප්‍රශංසා කරන්න
• නිශ්චිත උපකාරයන් කිරීමට ඉදිරිපත් වෙන්න
[10වන පිටුවේ පින්තූර]
බඩු ගෙනත් දීමෙන් හා උයා පිහා දීමෙන් නැත්නම් ලෙඩාට සාත්තු කිරීමට උපකාර කිරීමෙන් සාත්තු කරන්නන්ට සහයෝගය දෙන්න