හැඟීම් සමඟ කටයුතු කරන ආකාරය
දරුණු විදිහට අසනීප වෙලා ඉන්න ප්රේමනීයයෙකුට ඔබ දැන් සාත්තු කරමින් සිටිනවාද? එහෙම නම්, ඔබ යම් ව්‍යාකූල, බියකරු චිත්තවේගීය හැඟීම් අද්දකිමින් සිටිනවා වෙන්න පුළුවන්. ඔබට කරන්න පුළුවන් මොකක්ද? සමහර සාත්තු කරන්නන් පොරබදන හැඟීම් සහ ඒවාට මූණ දීමට ඔවුන්ට උපකාර වෙලා තියෙන ප්‍රායෝගික යෝජනා සලකා බලන්න.
ලජ්ජාවට පත්වීම. ලෙඩෙකුගේ හැසිරීම, අනිත් අය ඉදිරියේ විටින් විට ඔබව ලජ්ජාවට පත් කරවන්න පුළුවන්. නමුත් ඔබේ ප්රේමනීයයාගේ අසනීප තත්වය මිතුරන්ට හා අසල්වාසීන්ට පැහැදිලි කිරීමෙන්, තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කළ හැකි අතර, “සහෝදර ස්නේහය” සහ ඉවසීම පෙන්වීමටද ඔවුන්ට පෙලඹවීමක් විය හැකියි. (1 පේතෘස් 3:8) පුළුවන් නම්, ඔබේ තත්වයේම ඉන්න වෙනත් පවුල් එක්ක කතා කර බලන්න. ඔබ අද්දැකීම් බෙදාගන්න කොට ඔබට එතරම් ලජ්ජාවක් ඇති වෙන එකක් නෑ. සූ, ඇයට උපකාරවත් වූ දේ ගැන පැහැදිලි කරයි: “මට මගේ පියා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා—ඒක ලජ්ජාවේ හැඟීම් අබිබවා ගියා. ඒ වගේම ඔහුගේ සිනාමුසු ගතියත් උපකාර වුණා.” ඔව්, ලෙඩාගේ සහ ඔහුට සාත්තු කරන අයගේ පැත්තෙන් බලන කල, සිනාමුසු ගතිය කේන්ති ගතිය අඩු කරන මවිතාකාර උපකරණයක්.—දේශනාකාරයා 3:4, සසඳන්න.
භය. රෝගය ගැන නොදැනුවත්කම ඇත්තෙන්ම භයක් ඇති කරන දෙයක් වෙන්න පුළුවන්. අසනීපය වැඩි වෙන විට මොකක් බලාපොරොත්තු වෙන්න වෙයිද කියන එක ගැන හැකි නම් වෛද්‍ය උපදෙස් ගන්න. එවැනි තත්වයන් යටතේ සාත්තුව සපයන ආකාරය ඉගෙනගන්න. ලෙඩාගේ තත්වය පිරිහෙන කොට අපේක්ෂා කරන්න තියෙන්නෙ මොකක්ද කියලා, අනිත් සාත්තු කරන්නන් සහ රෝහලේ හෙදියන් එක්ක කතා කිරීම, එල්සාට ඇගේ භයට මූණ දීමට උපකාර වෙන වැදගත්ම සාධකවලින් එකක් වුණා. ජීනි මෙසේ අවවාද කරයි: “ඔබ භයවීම්වලට මූණ දී, පාලනය කරන්න. සිදු විය හැකි දේ ගැන භයවීම හුඟක් වෙලාවලට යථාර්ථයට වඩා නරකයි.” ඔබට කොයිතරම් භයවීම් ඇති වුණත් “ඒවා ඇති වෙන කොටම ඒ ගැන කතා කළ” යුතුයි කියා වෛද්‍ය. අ’නස්ට් රෝසන්බවම් නිර්දේශ කරයි.—හිතෝපදේශ 15:22, සසඳන්න.
ශෝකය. විශේෂයෙන්ම සාත්තු කරන අවස්ථාවකදී ශෝකය එක්ක කටයුතු කරන්න පහසු නෑ. විශේෂයෙන්ම ඔබේ ලෙඩ වූ ප්රේමනීයයාට තවදුරටත් කතා කරන්න, පැහැදිලිව තේරුම්ගන්න හෝ ඔබව අඳුනගන්න බැරි නම්, මිත්‍රත්වය නැතිවීම ගැන ඔබ ශෝක වෙන්න පුළුවන්. එවැනි හැඟීම් අනිත් අයට පහසුවෙන් තේරුම්ගන්න බැරි විය හැකියි. ඉවසිලිවන්තව හා අනුකම්පාසහගතව සවන් දෙන තේරුම්ගන්නාසුලු මිත්‍රයෙකු සමඟ ඔබේ ශෝකය ගැන කතා කිරීමෙන් අවශ්‍යව ඇති සහනය බොහෝ සෙයින් ගෙනෙන්ට පුළුවන්.—හිතෝපදේශ 17:17.
කෝපය සහ කලකිරීම. මේවා, දරුණු විදිහට අසනීප වෙලා ඉන්න, ඇතැම් අවස්ථාවලදී සුදුසු හැසිරීමක් පවත්වගන්නේ නැති කෙනෙක්ට සාත්තු කිරීමේදී ලැබෙන සාමාන්‍ය ප්රතිචාරයන්. (එපීස 4:26, සසඳන්න.) දුක්ඛදායක හැසිරීමක් සඳහා වගකිව යුතු වන්නේ ලෙඩා නොවෙයි, බොහෝ වෙලාවට රෝගය බව වටහාගන්න. ලූසි මෙහෙම සිහියට නඟයි: “මට ඇත්තෙන්ම තරහ ආවාම, නවතින්නේ අඬලයි. ඊට පස්සේ, ලෙඩාගේ තත්වය සහ අසනීපය ගැන මමම මතක් කරගන්න වෑයම් කරනවා. ලෙඩාට මගේ උපකාරය අවශ්‍ය වූ බව මං දැනගෙන හිටියා. ඒක, මට අත්හරින්නේ නැතුව වැඩකටයුතු කරගෙන යන්න උපකාර වෙනවා.” එවැනි තීක්ෂ්ණ බුද්ධියක් ‘ඔබේ කෝපය අඩු කරන්ට’ ඉඩ තිබේ.—හිතෝපදේශ 14:29; 19:11.
වරදකාරිබව. සාත්තු කරන්නන් අතර වරදකාරිබවේ හැඟීම් පොදුයි. ඒත්, ඔබ අත්‍යවශ්‍ය නමුත් ඉතා අමාරු වැඩක් කරන බවට සහතික වන්න. ඔබ හැම තිස්සේම වචනයෙන් හෝ ක්‍රියාවෙන් සම්පූර්ණත්වයකින් ප්‍රතික්‍රියා කරන්නේ නැහැයි කියන කාරණය පිළිගන්න. බයිබලය අපට මෙහෙම සිහිගන්වනවා: “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.” (යාකොබ් 3:2; රෝම 3:23) ඔබව දැන් ඒකාන්ත පියවරක් ගැනීමෙන් වැළැක්වීමට වරදකාරිබවේ හැඟීම්වලට ඉඩ දෙන්න එපා. ඔබ පැවසූ හෝ කළ යමක් ගැන ඔබට සිත්තැවුලක් ඇති වෙද්දී, “මට සමාවෙන්න” කීමෙන් ඔබටත්, ඔබේ ලෙඩාටත් වඩා පහසුවක් දැනෙන්න පුළුවන් බව ඔබ දැනගනීවි. අසනීප නෑයෙකුට සාත්තු කළ මනුෂ්‍යයෙක් මෙහෙම උපදෙස් දුන්නා: “තත්වයන් යටතේ ඔබට හැකි උපරිමය කරන්න.”
කලකිරීම. දරුණු අසනීප තත්වයකට මූණ දෙන පවුල්වලට කලකිරීම ඉතා පොදුයි—තේරුම්ගන්නත් පුළුවන්. (1 තෙසලෝනික 5:14, සසඳන්න.) කලකිරීමෙන් වේදනා විඳින සාත්තු කරන්නියක් ඇයට උපකාර වුණ දේ ගැන මෙහෙම පැහැදිලි කරයි: “සාත්තුව දීම සම්බන්ධයෙන් බොහෝදෙනෙක් අපිට ස්තුති කරනවා. ඔබ ඉතා මහන්සිව හෝ කලකිරීමකින් ඉන්න කොට හොඳින් වැඩකටයුතු කරගෙන යන්න දිරිගැන්වීමේ වචන ස්වල්පයකින් පමණක් ඔබව නඟාසිටුවන්න පුළුවන්.” බයිබලය මෙහෙම ප්‍රකාශ කරනවා: “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.” (හිතෝපදේශ 12:25, නව අනුවාදය) ඔබට දිරිගැන්වීම අවශ්‍ය බව අනිත් අයට හැමවිටම නොදැනෙන්න පුළුවන්. එනිසා, අනිත් අයගෙන් දිරිගැන්වීමේ “කාරුණික වචනය” ලබාගැනීමට සමහර අවස්ථාවලදී, ඔබට ඔබේ හෘදයේ තියෙන “සිත්තැවුල” විවෘත ලෙස ප්‍රකාශ කරන්න සිද්ධ වෙයි. ඒත්, කලකිරීමේ හැඟීම් දිගටම පවතිනවා නම් හෝ තවතව වැඩි වෙනවා නම්, වෛද්‍යවරයෙක් මුණගැහෙන එක ඥානවන්ත දෙයක් වෙන්න පුළුවන්.
අසරණබව. බෙලහීන කරන අසනීපයක් හමුවේ ඔබට අසරණබවක් හැඟෙන්න පුළුවන්. ඔබේ තත්වයෙහි යථාර්ථය පිළිගන්න. ඔබේ සීමාවන් පිළිගන්න—ලෙඩාගේ සෞඛ්‍යය ඔබට පාලනය කිරීමට තිබෙන දෙයක් නෙවෙයි, නමුත් ඔබට අනුකම්පාසහගත සාත්තුවක් දෙන්න පුළුවන්. ඔබෙන්වත්, ඔබේ ලෙඩාගෙන්වත්, ඔබට උපකාර කරන අයගෙන්වත් සම්පූර්ණත්වයක් අපේක්ෂා කරන්න එපා. සමබර එළඹීමක් අසරණබවේ හැඟීම් විතරක් නෙවෙයි, නමුත් පැටවී ඇති බරත් සැහැල්ලු කරවනවා. ප්රේමනීයයෙකුට සාත්තු කරලා තියෙන හුඟදෙනෙක් ඥානවන්තව මෙහෙම අවවාද කරනවා: එක වතාවකදී එක දවසකට මූණ දෙන්න ඉගෙනගන්න.—මතෙව් 6:34.
[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඔබේ භයවීම්වලට මූණ දී, පාලනය කරන්න. සිදු විය හැකි දේ ගැන භයවීම හුඟක් වෙලාවලට යථාර්ථයට වඩා නරකයි”
[7වන පිටුවේ කොටුව]
සාත්තු කරන්නන්ගෙන් දිරිගැන්වෙන වචන
“ඔබ ගැනම නිෂේධාත්මක සිතුවිලි ඇති කරගනිමින් දුක් වෙන්න එපා. එවැනි තත්වයන් යටතේදී ඒවා සාමාන්‍යයි. ඇත්තෙන්ම ඔබ ඔබේ හැඟීම් හිර කරගත යුතු නෑ. ඔබට හැඟෙන ආකාරය ගැන විශ්වාසනීය කෙනෙකුට පවසන්න; තවද ඔබට පුළුවන් නම්, විවේකයක් ගන්න—නිවාඩුවක් ගත කරන්න යන්න—එවිට ඔබට නැවුම් ගතියක් දැනෙයි.”—සාත්තු කරන්නන් මෙන්ම ලෙඩ්ඩු ගණනාවකට උපකාර කිරීමේ නිරත වී ඇති, සායනයක වැඩ කරන ලූසි.
“උපකාර කිරීමට පුළුවන් මෙන්ම කැමැත්තක් ඇති පවුලේ සාමාජිකයන් හෝ මිත්‍රයන් ඉන්නවා නම්, උපකාර කරන්න ඔවුන්ට ඉඩහරින්න. ඔබ අන් අය එක්ක වැඩකොටස බෙදාගැනීම වැදගත්.”—හොජ්කින්ස් රෝගයෙන් මියගිය තම පියාට සාත්තු කළ සූ.
“සිනාමුසු ගතියක් වර්ධනය කරගැනීමට ඉගෙනගන්න.”—පිළිකාවකින් මියගිය ආදරණීය මිතුරියකට සාත්තු කරමින් උපකාර කළ මරියා.
“ආත්මිකව ශක්තිමත්ව ඉන්න. යෙහෝවාට ළං වෙන්න; නොකඩවා යාච්ඤා කරන්න. (1 තෙසලෝනික 5:17; යාකොබ් 4:8) ඔහු, තම ආත්මය, තම වචනය, තම භූමික සේවකයන් හා තම පොරොන්දු මගින් උපකාරය හා සැනසීම සපයයි. පුළුවන් තරං සංවිධානය වෙන්න බලන්න. උදාහරණයක් හැටියට, බේත් දෙන වෙලාවල් සඳහා කාලසටහන්ද, උපකාර කරන අයට වාර චක්‍රද හදාගන්න ඒක උපකාර වෙනවා.”—මරණාසන්නව හිටිය තම මස්සිනාට සාත්තු කළ යල්මා.
“ඔබේ ලෙඩාගේ අසනීපයේ ස්වභාවය ගැන ඔබට පුළුවන් හැම දෙයක්ම ඉගෙනගන්න. ලෙඩාගෙන් සහ ඔබෙන් අපේක්ෂා කළ යුතු දේත්, ඔබේ ලෙඩාට සාත්තු කරන ආකාරයත් දැනගැනීමට එය උපකාරයක් වෙයි.”—ඇල්ෂයිමිර් රෝගයෙන් පෙළෙන ස්වාමිපුරුෂයෙක් ඉන්න ජෝන්.
“ඔබට කලින් වෙනත් අයත් එවැනි තත්වයකට මූණ දීලා තියෙන බවත්, ඒ වගේම සිද්ධ වෙන ඕනෑම දෙයකට මූණ දෙන්න ඔබට උපකාර කිරීමට යෙහෝවාට හැකි බවත් තේරුම්ගන්න.”—ස්වාමිපුරුෂයා මියයෑමට පෙර ඔහුට සාත්තු කළ ජීනි.
[8වන පිටුවේ පින්තූරය]
ඔබේ භයවීම් අඩු කරගැනීමට ඔබට පුළුවන් තරම් රෝගය ගැන සොයා දැනගන්න
[9වන පිටුවේ පින්තූරය]
තේරුම්ගන්නාසුලු මිත්රයෙකුට කතා කිරීමෙන් ඉමහත් සහනයක් ලබාගත හැකියි