තරවීම එතරම් හොඳ දෙයක් නොවන විට
“මගේ ඇඳුම් එකක්වත් මට දැන් කිට්ටු කරන්නවත් බෑ” කියමින් 35 හැවිරිදි රෝසා ළත වුණා. “මගේ බර දැන් කිලෝග්‍රෑම් 86යි; මං මෙච්චර මහත් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ!”
තමන්ගේ බර වැඩිවීම ගැන කනස්සලු වන්නේ රෝසා පමණක්ම නොවෙයි. ඇය පදිංචිව සිටින එක්සත් ජනපදයේ, වැසියන්ගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් තරබාරුයි.a වර්ෂ දහයක් තුළදී බ්‍රිතාන්‍යයේ තරබාරු වැඩිහිටියන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වුණා. එමෙන්ම අධිබර කලාතුරකින් දකින්න තිබූ ජපානයේ පවා තරබාරුකම සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබෙනවා.
දරුවන් වැඩි සංඛ්‍යාවක් ඔවුන් සිටිය යුතු බරට වඩා බරෙන් වැඩියි. කැනේඩියානු දරුවන්ගෙන් සියයට 20ක් පමණ තරබාරු වන අතරතුර, වයස 6 හා 17 අතර අමෙරිකානු බාලයන් මිලියන 4.7ක් පමණ සෑහෙන අධිබරකින් සිටියි. මෑත වර්ෂවලදී සිංගප්පූරුවේ ළමා තරබාරුකමේ තුන්ගුණයක වැඩිවීමක් පෙන්වා තිබෙනවා.
සමහර රටවල, බර වැඩිවීමෙන් තරවීම සමෘද්ධියේ සහ සෞඛ්‍යසම්පන්න වීමේ සාක්ෂියක් වශයෙන් සැලකෙනවා; එය දුගීකම සහ මන්දපෝෂණයට වඩා හුඟක් හිතකර තත්වයක්. නමුත් ඕනෑම වෙලාවක ආහාර ලබාගත හැකි බටහිර රටවල, බර වැඩිවීම සාමාන්‍යයෙන් හිතකර දෙයක් හැටියට සලකන්නේ නෑ. ඊට වෙනස්ව, එය සාමාන්‍යයෙන් බරපතළ ලෙස සැලකිය යුතු හේතුවක්. මන්ද?
“තරබාරුකම පෙනුමේ ගැටලුවක් කියලා බොහෝදෙනෙක් විශ්වාස කළත්, එය ඇත්තෙන්ම දරුණු රෝගයක්” කියා කලින් සිටි එ.ජ. ප්‍රධාන ශල්‍ය වෛද්‍ය. සී. එව’ට් කූප් පවසනවා. නියූ යෝක්හි අන්තෝසර්ග විශේෂඥ එෆ්. සේවිය’ පි-සන්ය’ මෙහෙම පැහැදිලි කරනවා: “[අමෙරිකාවේ මහත් වීම] වැඩිදෙනෙක්ව දියවැඩියාවට, අධිරුධිර පීඩනයට, ආඝාතයට, හෘද රෝගවලට, යම් ආකාරයේ පිළිකාවලට පවා ගොදුරු වීමේ අවදානමට ලක් කරවයි.”
බර වැඩි වන තරමටම අවදානමත් වැඩියි
වර්ෂ 16ක් පුරා කිට්ටු පරීක්ෂණයක යෙදෙමින් අමෙරිකානු සාත්තු සේවිකාවන් 1,15,000ක් කළ අධ්‍යයනයක් සලකා බලන්න. වැඩිහිටියන් කිලෝග්‍රෑම් 24 සිට 39කින් පවා බර වැඩි වන විට, එය හෘද රෝගයට වැඩියෙන් ගොදුරු කරවන බව අධ්‍යයනයෙන් සොයාගනු ලැබුවා. මේ අධ්‍යයනය පළ වුණ 1995 සැප්තැම්බර් 14, ද නියූ ඉංග්ලන්ඩ් ජ’නල් ඔෆ් මෙඩිසින්හි පෙන්නුම් කළේ, පිළිකා මරණවලින් තුනෙන් එකක් සහ හෘදවාහිනි මරණවලින් දෙකෙන් එකක් සිදු වුණේ අධිබර හේතුවෙන් බවයි. වර්ෂ 1996 මැයි 22/29 අමෙරිකානු වෛද්‍ය සංගමය පිළිබඳ ජ’නලයේ (JAMA) (ඉංග්‍රීසියෙන්) වාර්තාවකට අනුව “පුරුෂයන්ගේ අධිරුධිර පීඩනය 78%ක්ද, ස්ත්රීන්ගේ 65%ක්ද කෙළින්ම තරබාරුකම සමඟ බැඳී පවතිනවා වෙන්න පුළුවන්.” අමෙරිකානු පිළිකා සංගමය පවසන්නේ, “අධිබර සෑහෙන දුරකට (සියයට 40ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නියම බරට වඩා වැඩියි) පිළිකාවට ගොදුරු වීමේ වැඩි අවදානමක පවතින” බවයි.
නමුත් බර වැඩිවීම අනතුරක් වෙනවා විතරක් නෙවෙයි; ශරීරයේ මේදය පැතිර යෑම, රෝගවලට ගොදුරු වීමේ අවදානමටද ලක් කරවනවා. උදරයට අයිති කොටසේ මේදය වැඩියෙන් තියෙන අය, තම උකුළ සහ කළවාවල වැඩි බරක් තිබෙන අයට වඩා වැඩි අවදානමක සිටිනවා. උදර කොටසේ මේදය දියවැඩියාව, හෘද රෝග, පයෝධර පිළිකා සහ ගර්භාෂ පිළිකා වැඩියෙන් සෑදීමේ අවදානම හා සම්බන්ධව පවතියි.
එලෙසම, අධිබර යෞවනයන් අධිරුධිර පීඩනය, ඉහළ ගිය කොලෙස්ටරෝල් මට්ටම් සහ දියවැඩියාවේ ලකුණු පහළ කරන තත්වයන්වලින් පෙළෙනවා. තවද ඔවුන් බොහෝවිට තරබාරු වැඩිහිටියන් බවට පත් වෙයි. ද ලැන්සට් නම් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ පළ කළ දත්ත යොදා ද නියූ යෝක් ටයිම්ස් වාර්තා කළේ “දරුවන්ව සිටියදී ස්ථූලව සිටි අය සාමාන්‍ය මහජනයාට වඩා ඉතා අඩු වයසින් මරණයට හා රෝගවලට ගොදුරු වූ බවයි.”
අලුත් බර දර්ශක
දරුණු බර අර්බුදයක් තිබෙන බව ඒත්තුගත් එ.ජ. රජය, 1995දී නිර්දේශිත බර දර්ශක දැඩි කළා. (ඊළඟ පිටුවේ තිබෙන කොටුව බලන්න.) අලුත් කළ දර්ශක “සෞඛ්‍යසම්පන්න බර,” “සාමාන්‍ය අධිබර” සහ “දරුණු අධිබර” ලෙස හැඳින්වෙනවා. ඕනෑම වයසක සිටින වැඩිහිටි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම දර්ශක අදාළ වෙනවා.
මැදිවියේ පළල් වීම ලෙස බොහෝවිට හැඳින්වූ, මැදිවියේදී ශරීරයේ බඳ කොටස පළල් වීම සඳහා 1990 දර්ශක ඉඩ කඩ සැලැස්සුවා. වැඩිහිටියන් කාලයට ඉස්සෙල්ලා බර වැඩි කරගත යුතු නැහැයි කියලා පෙන්වන බැවින් අලුත් දර්ශක මෙයට ඉඩ සලස්වන්නේ නැහැ.b මෙබැවින්, සාමාන්‍ය බරක් ඇති තැනැත්තෙක් කියා කලින් සැලකූ කෙනෙක් දැන් තමා අධිබර ගණයට වැටී ඇති බව දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, සෙන්ටිමීටර් 168ක් උස, කිලෝග්‍රෑම් 75ක් බර වයස 35 සහ 65 අතර සිටින පුද්ගලයෙක් 1990 දර්ශක අනුව සෞඛ්‍යසම්පන්න බර ගණයට වැටෙන්න ඇති. නමුත් අලුත් දර්ශක යටතේ, ඔහු හෝ ඇය ඉන්නේ කිලෝග්‍රෑම් පහක අධිබරකින්!
අපි මෙතරම් තරබාරු වුණේ කොහොමද?
පුද්ගලයෙකුගේ තරබාරු වීමේ නැඹුරුවාවට උරුම වූ ගතිලක්ෂණ බලපෑ හැකි නමුත්, බටහිර රටවල බර වැඩිවීමට එය හේතුවක් වෙන්නේ නෑ. වෙනත් දෙයක් ගැටලුව සඳහා වගකිව යුතුයි.
මේදය කෑමෙන් අපව මහත් විය හැකියි කියා සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයන් එකඟ වෙනවා. ගොඩක් මස් වර්ග සහ කිරි නිෂ්පාදන, පුලුස්සන ලද දේවල්, කඩිනම් ආහාර, සුළු කෑම, බැදපු ආහාර, සාස්, හොදි සහ තෙල්වල මේදය පිරිලා තියෙන නිසා ඒවා කෑමෙන් තරබාරු වෙන්න පුළුවන්. ඒ කොහොමද?
ඇත්තෙන්ම, අපේ ශරීරය වැය කරන ප්‍රමාණයට වඩා අපි කන ආහාරවලින් වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනයට ගැනීමෙන් අපේ බර වැඩි වෙන්න සලස්වනවා. ප්‍රෝටීන් ග්‍රෑමයක හෝ කාබෝහයිඩ්රේට් ග්‍රෑමයක කැලරි හතර හා සසඳා බලන කල, මේද ග්‍රෑමයක කැලරි නවයක් තියෙනවා. එනිසා අපි මේදය කන විට අපි කැලරි වැඩියෙන් ගන්නවා. නමුත් තවත් වැදගත් හේතු සාධකයක් තියෙනවා—එනම් මනුෂ්‍ය ශරීරය කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් සහ මේද මගින් සපයන ලද ශක්තිය පාවිච්චි කරන ආකාරයයි. ශරීරය ඉස්සෙල්ලම කාබෝහයිඩ්රේට් සහ ප්‍රෝටීන් දවන අතර ඉන්පසු මේදය දවා දමනවා. පාවිච්චි නොකළ මේද කැලරි, ශරීරයේ මේදය බවට පෙරළණු ලබනවා. එනිසා මේදය සහිත ආහාර ගැනීම අඩු කිරීම, බර අඩු කිරීමට වැදගත්ම මාර්ගයක්.
ඒත්, මේද ගන්න එක අඩු කළ බව පවසන සමහර අයට තවමත් තමන්ගේ ශරීර පළල් වෙමින් තිබෙන බව පෙනෙනවා. ඇයි? එක හේතුවක් නම් ඔවුන් ආහාර විශාල ප්‍රමාණවලින් ගැනීමයි. එක්සත් ජනපදයේ පෝෂණවේදී තැනැත්තියක් මෙසේ පවසනවා: “අපි වැඩියෙන් කන්නේ වැඩියෙන් බෙදන නිසයි. ඕන තරම් තියෙනවා, ඉතින් අපිත් කනවා.” එමෙන්ම ජනයා මේද අඩු හෝ මේද රහිත ආහාර වැඩියෙන් කෑමට නැඹුරු වෙනවා. නමුත් එ.ජ. ආහාර-කර්මාන්ත තොරතුරු විමසීමේ සමාගමක ප්‍රවීණ තැනැත්තියක් මෙහෙම පැහැදිලි කරනවා: “මේදය අඩු නිෂ්පාදන බොහෝවිට [අධික කැලරි ප්‍රමාණයක් ඇති] සීනි වර්ග වැඩි කිරීමෙන් රසගන්වා තිබෙනවා.” මෙබැවින්, ද නියූ යෝක් ටයිම්ස් මෙසේ වාර්තා කළා: “අනූගණන්වල නැඹුරුවාවන් දෙකක්—වියදම් කරන ගණනට ගන්න පුළුවන් උපරිමය ලබාගැනීම සහ මේදය අඩු හෝ මේදය රහිත ආහාර කෑමට ගැනීම—කෑදරකමට අතවැනීමක් වෙලා තියෙන නිසා” මේ හේතුවෙන් බර වැඩි වෙනවා.
එක තැන ඉඳගෙන සිටීමේ ජීවන රටාවත් බර වැඩිවීමට සලස්වනවා. බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට වඩා, සෑම සතියකම සාමාන්‍ය ව්‍යායාමය කරන්නේ මිනිත්තු 20කට වඩා අඩුවෙන් බව එම රටේ කළ අධ්‍යයනයකින් සොයාගන්න ලැබුණා. ක්‍රියාකාරි ක්‍රීඩාවල යෙදෙන්නේ අඩකටත් වඩා අඩු සංඛ්‍යාවක්. බොහෝ බටහිර රටවල ඇවිදිනවා වෙනුවට රථයෙන් ගමන් කරන අතර, රූපවාහිනිය වැඩියෙන් නැරඹීම කම්මැළිකමට හා කෑදරකමට දිරි දෙනවා. එක්සත් ජනපදයේ ළමයි සෑම සතියකම රූපවාහිනිය ළඟ ඉඳගෙන පැය 26ක් එය නරඹන බවට ගණන් බලා තිබෙනවා; වීඩියෝ සෙල්ලම්වලට ගත කරන කාලය ඊට ඇතුළත් නෑ. ඒ අතරතුර, තවමත් ශාරීරික අධ්‍යාපනය තිබෙන්නේ පාසැල්වලින් සියයට 36ක විතරයි.
බර වැඩිවීමට බලපාන මානසික හේතුත් තිබෙනවා. “අපි කන්නේ චිත්තවේගී අවශ්‍යතා මතයි” කියා ජොන්ස් හොප්කින්ස් බර පාලක මධ්‍යස්ථානයේ වෛද්‍ය. ලෝරන්ස් චෙස්කින් පවසනවා. “අපි සතුටෙන් ඉන්න කොට කනවා, අපි දුකෙන් ඉන්න කොටත් කනවා. වෙනත් බොහෝ දේවලට ආහාරය ආදේශකයක් කියා හිතන විදිහටයි අපි හැදිලා වැඩිලා තියෙන්නේ.”
අපිට සාර්ථක වෙන්න පුළුවන්ද?
අධිබර සම්බන්ධ ප්‍රශ්න සංකීර්ණයි. ගණන් බලා ඇති අන්දමට හැම වසරකම අමෙරිකානුවන් මිලියන 80ක් යම් ආහාර රටාවක් අනුගමනය කරනවා. නමුත් බර අඩු වුණ ගමන්ම ඔවුන් සියල්ලන්ම පාහේ කලින් විදිහටම කෑම ගන්නවා. බර අඩු වුණ සියයට 95ක් වසර පහක් ඇතුළතදී යළිත් ඒ බරටම ආවා.
බර අඩු කරගන්නත්, එය ඒ විදිහට දිගටම තබාගන්නත් අවශ්‍ය වන්නේ ජීවන-රටාවේ වෙනස්කම් කිරීමයි. එවැනි වෙනස් කිරීම් සඳහා පවුලෙන් සහ මිත්‍රයන්ගෙන් සහයෝගය සමඟම වෑයම සහ බැඳීම අවශ්‍යයි. සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන්ගේ සහයෝගයද අවශ්‍ය වෙන්න පුළුවන්.c කෙසේවුවත්, සාර්ථක වීම සඳහා ඔබේ වෑයමට ඒකාන්ත පෙලඹීම තිබිය යුතුයි. ‘මට බර අඩු කරගන්න ඕනෙ ඇයි’ කියා ඔබෙන්ම අහගැනීම හොඳයි. සෞඛ්‍ය හානිවලින් වැළකීමට තියෙන ආශාව තිබෙන්නේ වඩාත් හොඳ හැඟීමක් හා වඩාත් හොඳ පෙනුමක් ඇති කරගැනීමට මෙන්ම ඔබේ ජීවිතයේ ගුණත්වය වැඩිදියුණු කරගැනීමට ආශාවක් එක්කම නම්, බර අඩු කරගන්න ඔබ දරන වෑයම සාර්ථක වෙන්න වැඩි ඉඩ කඩ තියෙනවා.
පෝෂ්‍යදායී මෙන්ම කැලරි ප්‍රමාණය අඩු ප්‍රණීත හා තෘප්තිය ගෙන දෙන ආහාර ඕනෑතරම් කන්න ඔබට පුළුවන්. ඔබේ බර අඩු කරගන්න උපකාරවත් විය හැකි ආහාර ගැන කල්පනා කරන්න පෙර, ආහාරවල තිබෙන ඇතැම් මූලධාතු සෞඛ්‍යයට අනතුරු විය හැකි ආකාරය අපි පරීක්ෂා කර බලමු.
[පාදසටහන්වල]
a තරබාරුකම බොහෝවිට නිර්වචනය කර තිබෙන්නේ නියම බර කියා විශ්වාස කළ දේට වඩා සියයට 20කින් හෝ ඊට වැඩියෙන් වැඩිවීමක් ලෙසයි.
b වර්ෂ 1995 දර්ශක හැම වයස් කණ්ඩායමකටම නොව නමුත් වයස් කණ්ඩායම් වැඩිහරියකට අදාළ වෙනවා. “අලුත් බර දර්ශක සමහරවිට අවුරුදු 65ට වැඩි අයට අදාළ නොවන්න පුළුවන් බවට සාමාන්‍ය එකඟ වීමක් තිබෙන” බව 1996 ජූනි 19වනදා JAMAහි වෛද්‍ය. රොබට් එම්. රසල් පවසනවා. “අසනීප කාලවලදී අවශ්‍ය ශක්තිය සැපයීමට හා පේශිවල මෙන්ම ඇටකටුවල ස්කන්ධය රැකගන්න උපකාර කිරීමට පවා, වයසක පුද්ගලයෙකුට සුළු අතිරේක බරක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.”
c බර අඩු කරගැනීම සම්බන්ධ යෝජනා සඳහා, 1994 ඔක්තෝබර් 8, 18-20 දක්වා පිටු; 1993 ජනවාරි 22, 12-14 දක්වා පිටු (ඉංග්‍රීසි); එමෙන්ම පිබිදෙව්!, 1990 ජනවාරි 8, 3-13 දක්වා පිටු බලන්න.
[6වන පිටුවේ වගුව]
ඔබ ඉන්නේ “සෞඛ්‍යසම්පන්න බර,” “සාමාන්‍ය අධිබර” හෝ “දරුණු අධිබර” යන කුමන එක යටතේද? මෙහි දැක්වෙන ප්‍රස්තාරය, ඒ ප්‍රශ්නයට ඔබට උත්තර ලබාගන්න උපකාර කරයි
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම 1995 බර දර්ශක
(සඟරාව බලන්න)
උස*
සෙ.මී. 198
190
180
170
160 සෞඛ්‍යසම්පන්න බර සාමාන්‍ය අධිබර දරුණු අධිබර
150
කි.ග්රෑ. 30 40 50 60 70 80 90 100 110
බර†
සංඛ්‍යා ලේඛන පදනම්ව තිබෙන්නේ: එ.ජ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එ.ජ. සෞඛ්‍යය සහ මානව සේවා දෙපාර්තමේන්තුව
* පාවහන් නොමැතිව.
† ඇඳුම් නොමැතිව. ඉහළ බර අදාළ වන්නේ පුරුෂයන් හුඟදෙනෙකුට මෙන් බොහෝ පේශි සහ අස්ථි තිබෙන අයටයි.