ඔබේ අත් සෝදා හොඳින් පිසදමන්න!
අපට සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් රෝග වැළඳෙන්නේ කොහොමද? ආසාදන මර්දන සහ වසංගත විද්‍යා ක්ෂේත්රයේ එ.ජ. වෘත්තීමය සංගමයට අනුව එවැනි රෝගවලින් අඩුම තරමින් සියයට 80ක්ම බෝ වන්නේ වාතයෙන් නොව අපේ අත්වලිනුයි. ඇත්තෙන්ම රෝග ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රධානතම මාර්ගය හැටියට පොදුවේ සලකන්නේ අත් සේදීමයි. එනමුත්, වැසිකිළි භාවිතයෙන් හෝ සොටු සීරීමෙන් පසු, නැත්නම් ආහාර ඇල්ලීමට පෙර බොහෝදෙනෙක් අත් සෝදන්නේ නැහැ. අනික් අතට, තවත් බොහෝදෙනෙක් එවැනි අවස්ථාවලදී හැමවිටම පාහේ තම අත් සෝදාගනියි. එනමුත්, ඉක්මනින් අත් සේදූ පමණින්ම ආසාදන වීමේ ඉඩ කඩ අඩු වී යන්නේ නැහැ.
අත් නිසි ලෙස පිස දැමීම ඒ හා සමාන වැදගත්කමක් උසුලනවා. එංගලන්තයේ වෙස්ට්මිනිස්ට’ සරසවියේ පර්යේෂකයන් සොයාගත්තේ, අත් සේදීමෙන් පසු බොහෝදෙනෙකු ඒවා හොඳින් පිසදමන්නේ නැති බවයි. විශේෂයෙන් මෙය දක්නට ලැබුණේ උණුසුම් වාත ධාරාවක් පිට කරන අත් වියළවන යන්ත්‍ර භාවිත කරන අය සම්බන්ධයෙනුයි. බොහෝදෙනෙක් පිසදැමීමේ ක්‍රියාවලිය නිම කරන්නේ ඇඳුම්වලින් තම අත් පිසදැමීමෙනුයි. අත්වල ඉතිරිව ඇති හානිකර ක්ෂුද්‍ර ජීවීන් පැතිරවීමට මෙය තුඩු දිය හැකියි. පර්යේෂකයන්ගේ මතයට අනුව, අත් සම්පූර්ණයෙන්ම පිසදැමීම ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි. මේ සඳහා ඉවතලන කඩදහි අත්පිස්නා හෝ පිරිසිදු, භාවිත නොකළ තුවා වඩාත්ම සුදුසුයි.
රෝග මර්දන සහ වැළැක්වීමේ එ.ජ. මධ්‍යස්ථාන අත් සේදීම සම්බන්ධයෙන් මතු දැක්වෙන උපදෙස් සපයයි:
• උණුසුම් ගලායන ජලයද සැර නැති සබන්ද හැමවිටම පාවිච්චි කරන්න. ගලායන ජලය වෙනුවට බේසමක් පාවිච්චි කිරීමට සිදු වේ නම්, පාවිච්චි කරන හැම අවස්ථාවකදීම එය පිරිසිදු කර විෂබීජ නසන්න. තෙත් වූ කුඩා කඩදහි අත්පිස්නාවලින් සාර්ථක ලෙස අත් පිසදැමිය නොහැකියි.
• අත්වලට ගෑ සබන්වලින් පෙණ එන තෙක් අත් හොඳින් එකට තබා අතුල්ලන්න. අඩුම තරමින් තත්පර 15කටවත් මෙසේ ඇතිල්ලිය යුතුයි. අතේ දෙපැත්තමද, ඇඟිලි අතරද, නියපොතු යටද හොඳින් අතුල්ලන්න.
• උණුසුම් ගලායන ජලය යොදාගෙන අත් සෝදන්න.
• පිරිසිදු, ඉවතලිය හැකි හෝ එක වතාවක් පමණක් භාවිත කරන කඩදහි අත්පිස්නාවකින් හෝ තුවායකින් අත් පිසදමන්න. ඒ අතර පිරිසිදු අත්වලින් කරාමයවත් තුවා ධාරකයවත් අල්ලන්න එපා.
• කරාමය ඇල්ලීමෙන් අත් අපවිත්‍ර විය හැකි නිසා, එය තුවායෙන් අල්ලා වසා දමන්න.
• දරුවන් අත් සෝදද්දී, ඔවුන්ගේ අත් පහසුවෙන් ගලායන ජලයට ඇල්ලිය හැකි තරම් උසක සිටීමට ඔවුන්ට හැකි විය යුතුයි. ඉහත සඳහන් සෑම පියවරක්ම අනුගමනය කිරීමට ඔබේ දරුවාට උපකාර කරන්න. ඉන් අනතුරුව ඔබේ අත්ද සෝදාගන්න.