ග්‍රහලෝකවලට ඔබ්බෙන් ඇත්තේ මොනවාද?
X ග්‍රහයා. නෙප්චූන් ග්‍රහයාට ඔබ්බෙන් ගමන් කරමින් තිබූ ග්‍රහලෝකයකට තාරකා විද්‍යාඥ ප’සිවල් ලවල් විසින් මේ නම දෙනු ලැබුවා. X ග්‍රහයා සම්බන්ධයෙන් කළ ඔහුගේ ගවේෂණය ඇරඹුණේ 1905දී, ඇරිසෝනාවේ ෆ්ලෑග්ස්ටාෆ්හි ඔහුගේ නිරීක්ෂණාගාරයේ සිටයි. X ග්‍රහයා සොයාගැනීමට පෙර ලවල් මියගියද, ඔහුගේ ගවේෂණය ඉදිරියටම ගෙන ගියා. අන්තිමේදී, 1930දී ක්ලයිඩ් ටොම්බවු, ලවල්ගේ නිරීක්ෂණාගාරයේදී ප්ලූටෝ ග්‍රහයාව සොයාගනු ලැබුවා. X ග්‍රහයා ඇත්තටම පැවතියා!
‘තවත් X ග්‍රහයෙක් සොයාගත හැකි වනු ඇද්දැයි’ තාරකා විද්‍යාඥයන් කල්පනා කරන්න පටන්ගත්තා. දශක හයක දැඩි ගවේෂණයක් කළ අතර, ඉකුත් වූ අවුරුදුවලදී අභ්‍යවකාශ යානා පවා යොදාගනු ලැබුවා. උල්කාපාත, තාරකා, මන්දාකිණි හා නෙබ්යූලා දහස් ගණනක් සොයාගනු ලැබුවද, එකම ග්රහලෝකයක්වත් සොයාගනු ලැබුවේ නැහැ.
එහෙත්, ගවේෂණය අවසන් වූයේ නැහැ. පියවි ඇසට දැකගත හැකි ප්‍රමාණයට වඩා මිලියන ගුණයක් කුඩා වන අභ්‍යවකාශ වස්තූන් සොයාගැනීම සඳහා විද්‍යාඥයන් නව තාක්ෂණික ක්‍රම මෙන්ම ප්‍රබල දූරේක්ෂ යොදාගනු ලැබුවා. අන්තිමේදී, ඔවුන්ගේ වෑයම්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණා. පුදුමාකාර ලෙස, ප්ලූටෝට එපිටින් පිහිටි තවත් කුඩා ග්රහලෝකයන් ගණනාවක්ම සොයාගනු ලැබුවා!
ඒ කුඩා ග්‍රහලෝක පිහිටා තිබෙන්නේ කොහේද? තවත් කීයක් සොයාගැනීමට ඇද්ද? ඒවාද අපේ සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටා ඇති වස්තූන්?
ඈතින්ම පිහිටි වස්තූන්
සූර්යයා වටා පරිභ්‍රමණය වෙමින් පවතින ග්‍රහලෝක නවයකින් සෞර ග්‍රහ මණ්ඩලය සෑදෙයි. මීට අමතරව, පාෂාණමය උල්කාපාත දහස් ගණනක් අභ්‍යවකාශයේ සැරිසරන අතර මේවා වැඩි වශයෙන් දක්නට ඇත්තේ අඟහරු හා බ්‍රහස්පති අතරයි. එමෙන්ම, තවත් වල්ගා තරු දහසක් පමණද සොයාගෙන තිබෙනවා.
මේවායින් සූර්යයාගේ සිට වැඩිම දුරක් ගමන් කරන්නේ කුමන ඒවාද? ඇත්තෙන්ම කියනවා නම්, අන් සියල්ල අබිබවා වැඩිම දුරක් ගමන් කරන්නේ වල්ගා තරුයි.
“වල්ගා තරුව” සඳහා යොදාගැනෙන ඉංග්‍රීසි වචනය කො·මීටීස් යන ග්‍රීක් වචනයෙන් පැමිණෙයි. ඒවායේ දීප්තිමත් වූ හිස්වලට පසුපසින් තිබෙන දිග වල්ගාවලට යොමු දක්වන “දිගු කේශ” යන්න එහි අරුතයි. වල්ගා තරු, බොහෝ මිථ්‍යා අදහස්වලට හා උමතුවට දායක වී ඇත. නිරීක්ෂකයන් තවමත් අහසේ දිස් වන වල්ගා තරු හඳුන්වන්නේ අවතාර කියායි. ඒවා භූතමය වස්තූන් බවට වූ විශ්වාසයෙන් එය පැමිණෙයි. ඒවාට එතරම් භය වන්නේ මන්ද? මන්දයත් ඒවායේ දැක්ම ඛේදනීය සිද්ධීන් සමඟ සම්බන්ධව ඇති නිසායි.
තවමත් වල්ගා තරුවලින් උමතුවේ හැඟීමක් ඇති කරයි. වර්ෂ 1997 මාර්තුවලදී, එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේහි, හෙවන්ස් ගේට් කල්ලියේ සාමාජිකයන් 39දෙනෙක් සියදිවි හානි කරගත්තේ, හේල් බොප් වල්ගා තරුව සූර්යයාට ළඟාවීමත් සමඟයි. එසේ කළේ ඇයි? මන්දයත්, ඔවුන්ව ගෙනයෑමට වල්ගා තරුව පිටුපස සැඟවී ආ පිටසක්වල අභ්‍යවකාශ යානයක් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි නිසයි.
කොහොමවුණත්, හැමෝම වල්ගා තරු එයාකාරයෙන් සලකා නැහැ. පොදු යුගයට පෙර හතරවන සියවසේදී, ඇරිස්ටෝටල් පෙන්නුම් කළේ, වල්ගා තරු ඉහළ ආකාශයේ දීප්තිමත් වූ වායුවෙන් පිරි වලාකුළු බවයි. සියවස් ගණනකට පසු, රෝම දාර්ශනිකයෙකු වූ සෙනේකා ව්‍යංගයෙන් පෙන්නුම් කළේ, වල්ගා තරු යනු භ්‍රමණය වන ආකාශ වස්තූන් බවයි.
දූරේක්ෂය හා ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියමයේ සොයාගැනීමත් සමඟ, වල්ගා තරු සම්බන්ධයෙන් කරන අධ්‍යයනය වඩා ස්ථිර වූ විද්‍යාවක් බවට පත් වුණා. වර්ෂ 1705 වන විට, වල්ගා තරු දිගු ඉලිප්සාකාර මඟක් ඔස්සේ ගමන් කරන බව එඩ්මන්ඩ් හේලි නිශ්චය කරගත්තා. තවදුරටත්, වර්ෂ 1531, 1607 හා 1682දී දක්නට ලැබුණාවූ වල්ගා තරුවල එයාකාරම ගමන් මඟක් තිබූ බවත්, ඒවා අතර අවුරුදු 75ක පමණ කාලයක් තිබූ බවත් පෙන්නුම් කළා. මේ සෑම අවස්ථාවකදීම භ්‍රමණය වෙමින් තිබුණේ එකම වල්ගා තරුවක් බව හේලි නිවැරදිව පෙන්නුම් කළ අතර, පසුව ඔහු මෙයට හේලිගේ වල්ගා තරුව කියා නම් තැබුවා.
සාමාන්‍යයෙන් වල්ගා තරුවල කිලෝමීටර් 1ත් 20ත් අතර ඝන විෂ්කම්භයක් ඇති බව පර්යේෂකයන් සොයාගනු ලැබුවා. අඳුරු, අපිරිසිදු, දූවිලි මිශ්‍ර වූ අයිස් වතුරෙන් සැදි අයිස් කන්දක් හැටියට න්‍යෂ්ටිය හැඳින්විය හැකියි. වර්ෂ 1986දී, ජෝතෝ අභ්‍යවකාශ යානයෙන් ගත් හේලිගේ වල්ගා තරුවේ සමීප දසුන්වලින් වල්ගා තරුවෙන් වායු හා දූවිල්ල පිට කරනවා පෙන්නුම් කරයි. මෙම පිට කිරීම්, පොළොවේ සිට දැකිය හැකි වල්ගා තරුවේ හිසත්, එහි වල්ගයත් සාදයි.
වල්ගා තරු පවුල්
සූර්යයා වටේ වල්ගා තරු පවුල් දෙකක් භ්‍රමණය වෙයි. වල්ගා තරුවක වර්ගීකරණය පදනම් වන්නේ එහි භ්‍රමණය වීමට ගත වන කාලය මතයි. එසේත් නැතිනම්, සූර්යයා වටා එක් ගමනක් සම්පූර්ණ කිරීමට එය ගන්නාවූ කාලය මතයි. හේලිගේ වල්ගා තරුව වැනි කෙටි කාලීන හෝ කලින් කලට එන වල්ගා තරු සූර්යයා වටා ගමන් කිරීමට අවුරුදු 200කට අඩු කාලයක් ගනී. ඒවා ගමන් කරන්නේ, සූර්යයා වටා පොළොව හා වෙනත් ග්‍රහලෝක ගමන් කරන්නාවූ ඉලිප්සාකාර මඟට කිට්ටුවෙන්. සූර්යයාට හැතැප්ම මිලියන ගණනකට එපිටින්, විශේෂයෙන්ම නෙප්චූන් හා ප්ලූටෝට එහායින් ගමන් කරන්නාවූ කලින් කලට එන වල්ගා තරු බිලියන ගණනක් තිබෙන්ට පුළුවන්. සමහරක් අවස්ථාවලදී, එඤ්ක වැනි වල්ගා තරු, ග්‍රහලෝක සමඟ සිදු වන ගැටීම් හේතුවෙන් සූර්යයා වෙතට තවත් ඇදගනු ලබනවා.
දීර්ඝ කාලීන වල්ගා තරුවල ගමන ගැන කුමක් කිව හැකිද? ඒවායේ කෙටි කාලීන සගයන්ට වෙනස්ව, දීර්ඝ කාලීන වල්ගා තරු විවිධාකාර දිශා ඔස්සේ සූර්යයා වටා ගමන් කරයි. මෑතකදී, චමත්කාරජනක අයුරින් දිස් වුණු හයකූටාකෙ හා හේල්-බොප් මීට අයත් වෙයි. කොහොම වුණත්, මේවා තවත් අවුරුදු දහස් ගණනකට දක්නට ලැබෙන්නේ නැහැ!
දීර්ඝ කාලීන වල්ගා තරු රාශියක් සෞර ග්‍රහ මණ්ඩලයේ කෙළවරේම ගමන් කරමින් සිටියි. වර්ෂ 1950දී, මුලින් ඒවා පැවතුණාය කියා පැවසූ ලන්දේසි තාරකා විද්‍යාඥයාගේ නමින් මෙම තරු සමූහයට ඕර්ට් වලාකුළු කියා නම් තබනු ලැබුවා. මෙම වලාකුළට වල්ගා තරු කීයක් අයත් වෙයිද? තාරකා විද්‍යාඥයන් තක්සේරු කරන ආකාරයට ප්රකෝටියකටත් වඩා අධික සංඛ්‍යාවක්! තවද මින් සමහරක් වල්ගා තරු සූර්යයාගේ සිට ආලෝක වර්ෂයකට හෝ ඊට වඩා වැඩි දුරකට ගමන් කරයි.a මේ දුර ප්‍රමාණයන් සලකා බලන විට, මෙසේ කරන එක් ගමනක් අවුරුදු මිලියන දහයකට වඩා වැඩි කාලයක් ගත හැකියි!
කුඩා ග්‍රහලෝක අප්‍රමාණ සංඛ්‍යාවක්
මුලින් සඳහන් කළ අලුතින් සොයාගෙන ඇති කුඩා ග්‍රහලෝක, කෙටි-කාලීන වල්ගා තරු සමඟ ප්ලූටෝට එපිටින් වූ ප්‍රදේශයේ සැරිසරයි. වර්ෂ 1992 සිට, තාරකා විද්‍යාඥයන් මෙවැනි කුඩා ග්‍රහලෝක බඳු වස්තූන් 80ක් පමණ සොයාගෙන තිබෙනවා. තවද කිලෝමීටර 100කට වඩා දිගින් යුත් එවැනි වස්තූන් දසදහස් ගණන් තිබෙනවා විය හැකියි. අවුරුදු 50කට පමණ කලින් ඒවායේ පැවැත්ම ගැන අදහස් දැක්වූ විද්‍යාඥයෙකුගේ නමින් කෞපර් තීරය ලෙස ඒවා හැඳින්වූවා. කෞපර් තීරයේ වස්තූන් පාෂාණ හා අයිස් යන ඒවායේ එකතුවෙන් සෑදී තිබෙනවා විය හැකියි.
මෙම කුඩා ග්රහලෝකයන් මෑතකදී සොයාගැනීම හේතුවෙන් සෞර ග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරය දෙස බලන ආකාරය වෙනස් වී ඇද්ද? ඇත්තෙන්ම වෙනස් වෙනවා! සෞර ග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරයේ ඇති, ප්ලූටෝ හා එහි චන්ද්‍රයා වන කැරන්, නෙප්චූන්ගේ චන්ද්‍රයා වන ට්රයටන් හා අයිස් ලෙස පවතින වෙනත් වස්තූන් කෞපර් තීරයෙන් පැමිණි ඒවා බව දැන් විශ්වාස කරනවා. තවද ප්ලූටෝ ග්‍රහලෝකයක් කියා හැඳින්වීමවත් සුදුසු නැති බව සමහරක් තාරකා විද්‍යාඥයන් සිතනවා!
ඒවා ආවේ කොහෙන්ද?
වල්ගා තරු හා කුඩා ග්‍රහලෝක කෞපර් තීරයේ බහුල වූයේ කොහොමද? කලින් දූවිලි අංශුවලින් හා ඝන අයිස්වලින් යුත් වලාපටලයක්ව පැවති යමක්, පසුව එකට සම්බන්ධ වී වඩා විශාල වස්තූන් බිහි කිරීම හේතුවෙන් මෙම වස්තූන් සෑදුණ බවට තාරකා විද්‍යාඥයන් අදහස් දක්වයි. කොහොම වුණත්, විශාල ග්‍රහලෝක දක්වා වර්ධනය වීමට තරම් මේ වස්තූන් කිට්ටුවෙන් පිහිටා තිබුණේ නැහැ.
දීර්ඝ කාලීන වල්ගා තරු, සෞර ග්‍රහ මණ්ඩලයේද ප්‍රධාන කොටසක් වෙයි. සියල්ලේ එකතුව ගතහොත්, මෙම වල්ගා තරුවල පොළොවට වඩා 40 වාරයකට වැඩි ස්කන්ධයක් ඇත. බාහිරින් පිහිටා ඇති වායුමය ග්‍රහලෝක පෙදෙසේ, සෞර ග්‍රහ මණ්ඩලය බිහි වූ අලුත මේවා සෑදී තිබූ බව සමහරුන්ගේ අදහසයි.
මෙම වල්ගා තරු සූර්යයාට මෙතරම් ඈතින් පිහිටීමට සැලැස්සුවේ කුමක්ද? පෙනෙන ප්‍රකාරයට, බ්‍රහස්පති වැනි විශාල ග්‍රහලෝක, ඒවාට කිට්ටු වූ ඕනෑම වල්ගා තරුවක් මත ප්‍රබල ගුරුත්වාකර්ෂණීය බලයක් ඇති කර කැටපොල්ලක් මෙන් ඈතට විසි කරයි.
වල්ගා තරු ගවේෂණය කිරීම
සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති පැරණිතම ද්‍රව්‍යයන්ගෙන් වල්ගා තරු සෑදී ඇත. මෙම පුදුම දනවන වස්තූන් තවදුරටත් ගවේෂණය කළ හැක්කේ කොහොමද? වල්ගා තරු සෞර ග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරයට ඉඳ හිට ගමන් කිරීම හේතුවෙන් ඒවා වඩාත් කිට්ටුවෙන් පිරික්සා බැලීමට හැකියි. ඊළඟ අවුරුදු කිහිපය තුළදී, වල්ගා තරු ගවේෂණය කිරීම සඳහා අභ්‍යවකාශ යානා රැසක් යැවීමට අභ්‍යවකාශ ආයතන කිහිපයක් සැලසුම් කොට තිබෙනවා.
අපේ සෞර ග්‍රහ මණ්ඩලය ගැන තව මොන මොන දේවල් සොයාගනීද කියලා කවුද දන්නේ? සූර්යයා වටා ගමන් කරන ඈතින් පිහිටා ඇති වස්තූන් සම්බන්ධයෙන් අලුත කරන සොයාගැනීම් මෙන්ම ඒවා තේරුම්ගැනීම, යෙසායා 40:26හි වාර්තා කොට ඇති බයිබල් පාඨය තවදුරටත් තහවුරු කරයි. එහි මෙසේ පැවසේ: “නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? [ඔහු] මේ සියල්ලට නම් කියා [හඬගසන්නේය.]”
[පාදසටහන]
a එක් ආලෝක වර්ෂයක් යනු අවුරුද්දකදී ආලෝකය ගමන් කරන දුරයි, නැතිනම් කිලෝමීටර් ට්‍රිලියන 9.5යි.
[27වන පිටුවේ කොටුව]
වල්ගා තරු හා උල්කාපාත වැසි
චමත්කාරජනක උල්කාපාත වැස්සක් අහස සිසාරා යනවා ඔබ දුටුවොතින් එය වල්ගා තරුවකින් පැමිණි බව කල්පනා කරනවාද? සමහරවිට එසේ පැමිණියා විය හැකියි. වල්ගා තරුවක් සූර්යයාට කිට්ටු වන විට, එහි අයිස්වලින් සැදි න්‍යෂ්ටිය කෙමෙන් කෙමෙන් කැඩී යන අතර, එමගින් පාෂාණමය කොටස් හෝ උල්කාපාත පිට කරයි. මෙම පාෂාණමය කොටස් වල්ගා තරුවේ වල්ගයේ ඇති දූවිල්ල තරම් සැහැල්ලු නොවන නිසා, සෞර ග්‍රහ සුළං මගින් අභ්‍යවකාශයට විසිරී යන්නේද නැහැ. ඒ වෙනුවට, මව් වල්ගා තරුවේ ගමන් මඟ ඔස්සේ සූර්යයා වටා ගමන් කරන සුන්බුන් තීරයක් ඉතුරු කොට යයි.
සෑම වසරකම, මෙවැනි උල්කාපාත තීරු රැසක් පොළොව හා ගැටේ. නොවැම්බර් මැද භාගයේ දක්නට ලැබෙන ලිඕනිඩ් උල්කාපාත වැස්ස ඇති වන්නේ, ටෙම්පල් ට’ටල් වල්ගා තරුව ඉතිරි කර යන ද්‍රව්‍යයන් හේතුවෙනි. මෙම උල්කාපාත වැස්ස, අවුරුදු 33කට සැරයක් අද්විතීය වූ සැණකෙළියක් පවත්වයි. වර්ෂ 1966දී ලිඕනිඩ් වැස්ස බලා සිටි, අහස නිරීක්ෂණය කරන්නන් කියා සිටියේ විනාඩියකට 2,000කට අධික වූ උල්කාපාත ප්‍රමාණයක් දුටු බවයි. එය ඇත්තෙන්ම කුණාටුවකි! වර්ෂ 1998දී එය පුදුම දනවන ගිනි පුපුරු පිට කළා. තවද මේ නොවැම්බර් මස එය ඇත්තටම දැකගැනීමට වටිනා යමක් වේවි.
[24-26යන පිටුවල රූප සටහන/පින්තූර]
1. වර්ෂ 1997දී දිස්වූ හේල්-බොප් වල්ගා තරුව
2. එඩ්මන්ඩ් හේලි
3. ප’සිවල් ලවල්
4. වර්ෂ 1985දී හේලිගේ වල්ගා තරුව
5. වර්ෂ 1910දී හේලිගේ වල්ගා තරුව
6. හේලිගේ වල්ගා තරුවෙන් නිකුත් වන වායුව හා දූවිල්ල
[හිමිකම් විස්තර]
1) Tony and Daphne Hallas/Astro Photo; 2) Culver Pictures; 3) Lowell Observatory/Dictionary of American Portraits/Dover අනුග්රහයෙනි
4) Anglo-Australian Observatory අනුග්රහයෙනි, ඡායාරූපය ඩේවිඩ් මැලින් විසින්; 5) National Optical Astronomy Observatories; 6) the Giotto Project, HMC principal investigator Dr. Horst Uwe Keller, the Canada-France-Hawaii telescope
[රූප සටහන]
(For fully formatted text, see publication)
7. වල්ගා තරු කිහිපයක ගමන් කිරීමේ රටාවන්
කහූටෙක් වල්ගා තරුව
හේලිගේ වල්ගා තරුව
සූර්යයා
පෘථිවිය
එඤ්කගේ වල්ගා තරුව
බ්‍රහස්පති
[පින්තූර]
8. වර්ෂ 1994දී බ්‍රහස්පති ග්‍රහයාට වැදීමට පෙර, ෂූමේකර් ලීවී 9 වල්ගා තරුව කෑලි 21කට කැඩී තිබුණා
9. ප්ලූටෝගේ මතුපිට
10. වර්ෂ 1974දී දුටු කහූටෙක් වල්ගා තරුව
11. තම චන්ද්‍රයා වන ඩැක්ටිල් සමඟ අයිඩා උල්කාපාතය
[හිමිකම් විස්තර]
8) Dr. Hal Weaver and T. Ed Smith (STScI), and NASA; 9) A. Stern (SwRI), M. Buie (Lowell Obs.), NASA, ESA; 10) NASA photo; 11) NASA/JPL/Caltech