ඔබගේ අනාගතය තෝරාගැනීමට ඔබට පුළුවන්
පේන කීම “පුරාණයේ ලොව පුරාම බුද්ධිය අතින් වැදගත් සමර්ථයක් ලෙස” සලකනු ලැබුවද, එය “හෙබ්‍රෙව් ප්‍රොපේතවරුන් නිග්‍රහ කළ කලාවක්” වූ බව පුරාවිද්‍යාඥ ජෝන් ඕට්ස් කියා සිටියි. ඒ මන්ද?
දෛවය වටා ගෙතුණු මතයන් දැරූ ජාතීන්ගෙන් වට වී සිටියද, ඔවුන්ගේ ජීවිතයට කල්පනා ශක්තියක් නැති අන්ධ බලවේගයක් බලපෑම් කළ බවට වූ අදහස පුරාණ ඉශ්‍රායෙලිතයන් ප්‍රතික්ෂේප කළා. එම ජාතියට දෙවි දුන් උපදෙස්වල ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා: “පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත් . . . නුඹ අතරෙහි නොසිටීවා.”—ද්විතීය කථාව 18:10, 11.
දෛවය නමැති අදහසවත්, ශාස්ත්රකාරයන්වත් නොමැතිව, අනාගතයට නිසැකව මුහුණ දෙන්න ඉශ්‍රායෙලිතයන්ට පුළුවන් වුණා. මීට හේතුව පැහැදිලි කරමින් ටේඕ නමැති ප්‍රංශ කතෝලික විශ්වකෝෂය කියා සිටින්නේ, “මිනිසා සහ ලෝකය යම් අන්ධ බලවේගයක ගොදුරක් නොවූ” බව එම ජාතිය විශ්වාස කළ බවයි. “මිනිසා සඳහා පැහැදිලි අරමුණක් දෙවිට තිබුණා.” කුමක්ද මේ අරමුණ?
ඉරණම සමඟ නිදහස් කැමැත්ත
ඉශ්‍රායෙලිතයන් දෙවිගේ නීතිවලට කීකරුව සිටියා නම්, ඔවුන්ට සාමය සහ සෞභාග්‍යය ලැබෙන බව දෙවි පොරොන්දු වුණා. (ලෙවී කථාව 26:3-6) මීට අමතරව පොළොව මත ධර්මිෂ්ඨකම නැවතත් පිහිටුවන මෙසියස් කෙරෙහි බලාපොරොත්තුවද ඔවුන්ට තිබුණා. (යෙසායා, 11වන පරිච්ඡේදය) කෙසේවෙතත්, දෙවි මෙම දේවල් පොරොන්දු වූ පළියට, පුද්ගලයන් අක්‍රියාශීලීව ඒ දේවල් සිදු වන තෙක් බලා සිටිය යුතු බව අදහස් කළේ නැහැ. ඊට වෙනස්ව ඔවුන්ට පැවසුවේ: “කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න” කියායි.—දේශනාකාරයා 9:10.
නිදහස් කැමැත්ත නමැති අදහස මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් දැරුවා. දෙවිට සේවය කරන්නත් ඔවුන්ගේ අනාගතය තීරණය කරන්නත් ඉශ්‍රායෙලිතයන්ට නිදහසක් තිබුණා. දෙවි ඔවුන්ට මෙසේ පොරොන්දු වුණා: “නුඹලාගේ දෙවිවූ [යෙහෝවාට] නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් [ඔහුට] සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්, නුඹේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට නුඹලාගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි.” (ද්විතීය කථාව 11:13, 14) ඉශ්‍රායෙලිතයන් කීකරුව සිටිද්දී, ඔවුන්ට දෙවිගේ ආශීර්වාද ලැබුණා.
දෙවි ඔවුන්ට පොරොන්දු වී තිබුණු දේශයට ඇතුල් වන්න ටික කාලෙකට මත්තෙන්, ඔහු ඉශ්රායෙල් ජාතියට තේරීමක් කරන්න කියා ඉල්ලා සිටියා: “මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි.” (ද්විතීය කථාව 30:15) හැම පුද්ගලයෙකුගේම අනාගතය රඳා පැවතුණේ තමන්ගේම ක්‍රියාමාර්ගයන් සහ තීරණ මතයි. දෙවිට සේවය කළොත්, ජීවනය සහ ආශීර්වාද ලැබෙන අතර, එසේ නොකළොත් දුෂ්කරතා විඳීමට සිදු වෙනවා. එනමුත් අදදින ගැන කුමක් කිව හැකිද?
හේතුව සහ ඵලය
අප යම් සීමාවන් තුළ ජීවත් වන්නේ අපගේ යහපත සඳහා පිහිටුවා ඇති ස්වාභාවික නීති කිහිපයක් හේතුකොටගෙනයි. මින් එක් නීතියක් හේතු ඵලවාදය ලෙස හැඳින්විය හැකියි. බයිබලයෙහි එය හඳුන්වා ඇත්තේ “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය” වශයෙනුයි. (ගලාති 6:7) අප මෙම මූලධර්මය ඒත්තුගත්තොත්, ඇතැම් අනාගත සිදුවීම් මොන අතට හැරේද කියා සලකා බලන්න පුළුවන්.
අපි අපරීක්ෂාකාරිව, අධිවේගයෙන් රිය පැදෙව්වොත්, පරෙස්සමින් පදවනවාට වඩා රිය අනතුරක් සිදුවීමේ ඉඩ කඩ වැඩියි. අප දුම්පානය කෙරුවොත්, අප දුම්පානය නොකරනවාට වඩා, පිළිකාවක් හටගැනීමේ ඉඩ කඩ බෙහෙවින් වැඩි වෙයි. මෙම ලිපි මාලාවේ මුල් ලිපියේ සඳහන් ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු වීමේ ඉඩ කඩ ඉතා අඩු බව අප ඒත්තුගත යුතු අතර, එවන් දෙයක් සිදුවීමේ ඉඩ කඩ ගණනය කිරීම පවා නිරර්ථක උත්සාහයක් වෙයි. කෙසේවෙතත්, දෛවය නමැති අදහසට යොමුවීම අපට බාධාවක් පමණයි. වර්තමානය හෝ අනාගතය පිළිබඳව එය අපව දැනුවත් කරන්නේ නැහැ. බොරුවක් විශ්වාස කිරීම අනාගතය සඳහා අපට සැබෑ සහතිකයක් ලබා දෙන්නේ නැහැ. හැම සිද්ධියකටම දෙවියන් මැදිහත් වෙනවායයි විශ්වාස කිරීම ගැනත් කිව හැක්කේ ඒ ටිකමයි.
ඔබගේ අනාගතය කෙබඳු එකක් වේවිද?
අපගේ අනාගතය කල්තියාම ලියවී ඇති දෙයක් නොව, නමුත් වර්තමානයට අනුව සකස් වන දෙයකි. ජීවිතය දෙවිගෙන් ලද දීමනාවක් වුවද, අපගේ වර්තමානය සහ අපගේ අනාගතය තීරණය කිරීමේදී අපට වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න තිබෙන බව බයිබලයෙහි පැහැදිලිව අඟවා තිබෙනවා. දෙවිව සතුටු කිරීමට හෝ ඔහුට දුක් දීම සඳහා තේරීමක් කිරීමට හැකිවීමේ කාරණයෙන් පැහැදිලි වන්නේ අපගේ ජීවිත ගමන මෙහෙයවීමට දෙවි අපට යම්තාක් දුරට ඉඩ දී ඇති බවයි.—උත්පත්ති 6:6; ගීතාවලිය 78:40; හිතෝපදේශ 27:11.
මීට අමතරව, අපගේ අනාගතය අප විඳදරාගන්නා අන්දමට සහ අපගේ ජීවිත ගමන ගෙනයන අන්දමට සම්බන්ධ බව ශුද්ධ ලියවිලිවල පුන පුනා අවධාරණය කර තිබෙනවා. දේවල් මේ වන විටත් නියම කර තිබුණා නම්, එවැනි අදහසක් වුණත් නිරර්ථක එකක් කියා පිළිගන්න සිදු වෙනවා. (මතෙව් 24:13; ලූක් 10:25-28) එසේ නම්, දෙවිට කීකරුව විශ්වාසවන්තව සිටින්න අප තෝරාගන්නවා නම්, අපට කෙබඳු අනාගතයක් අපේක්ෂා කළ හැකිද?
මනුෂ්‍යවර්ගයාට ඉතා දීප්තිමත් අනාගතයක් ඇති බව බයිබලයෙහි හෙළි කර ඇත. පොළොව සාමය සහ සුරක්ෂිතභාවය රජයන පාරාදීසයකට පරිවර්තනය කරනු ලබනවා. (ගීතාවලිය 37:9-11; 46:8, 9) සර්වබලධාරි මැවුම්කරු තම පොරොන්දු ඉටු කරන නිසා, ඒ අනාගතය ගැන සැක කිරීම අවශ්‍ය නැහැ. (යෙසායා 55:11) එනමුත් අප පාරාදීසයක ජීවිතයකින් ආශීර්වාද ලැබීම රඳා පවතින්නේ දෛවය මත නොව, නමුත් මේ කාලයේදී දෙවිගේ කැමැත්තට කීකරුව සිටීම මතයි. (2 තෙසලෝනික 1:6-8; එළිදරව් 7:14, 15) දෙවි අපට නිදහස් කැමැත්තක් දී ඇති අතර, අපට මෙසේ දිරිගන්වයි: ‘ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගන්න.’ (ද්විතීය කථාව 30:19) කුමක්ද ඔබගේ තේරීම? ඔව් ඔබගේ අනාගතය දෛවය මත රඳා පවතිනවා වෙනුවට එය තිබෙන්නේ ඔබේ අතෙහිය.
[10වන පිටුවේ පින්තූර]
දෙවි කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා විශිෂ්ට අනාගතයක් අරමුණු කර තිබෙනවා