මල් සිඹින කුරුල්ලා
බ්‍රසීලියානුවන් ඌව බේෂා-ෆ්ලෝර් යනුවෙන් හඳුන්වයි. මල් සිඹින කුරුල්ලා යන්න එහි අරුතයි. මල් පොකුරු මැද ගුමන කුරුල්ලන් කරන දෙය මෙමගින් හොඳින් විස්තර වෙයි. කුරුල්ලාගේ වෛවර්ණ පිහාටු දකින වෙනත් නිරීක්ෂකයන් මෙම කුඩා පක්ෂීන්ව “ජීවමාන මැණික්” හෝ “දේදුනු කුරුල්ලා” කියා හඳුන්වයි. රතු කැටයා, දිදුලන මරකතයා සහ රන් පෙඳ වල්ගා තරුවා ආදී වශයෙන් මෙම කුරුළු විශේෂයට අයත් විවිධ කුරුල්ලන්ව උන්ගේ රමණීය අංගලක්ෂවලට අනුව නම් කර ඇත.
පිරිමි ගුමන කුරුල්ලන්ගේ උගුරු ප්‍රදේශයේ හා හිසේ ඇති විශේෂ පිහාටුවලින් මෙම පුදුමාකාර පැහැයන් දැකගත හැකියි. උන්ගේ පිහාටුවල වාතයෙන් පිරි සෛල ඇති අතර, සබන් පෙණ බුබුළු මිලියන ගණනකට ඇති හැකියාව මෙන් මේ සෛලවලටද දේදුන්නක ආකාරයෙන් ආලෝක තරංග වර්තනය කිරීමේ හැකියාව ඇත.
උතුරු අමෙරිකාවේ බටහිර පැත්තේ සුලභව දැකිය හැකි කුරුඳු පැහැති රූෆස් ගුමන කුරුල්ලා ගැන විචිත්‍රවත් විස්තරයක් ජෝන් වෝඩ් හැරිස් විසින් රචිත සත්ව චර්යා (ඉංග්‍රීසියෙන්) යන පොතේ දැකගත හැකියි. එහි මෙසේ පවසයි: “මිණි බඳු පිහාටු උගේ උගුරේ දැකගත හැකියි. . . . හරියට කුඩා ළමයෙකුගේ බෙල්ල වටේ දවටන රෙදිකඩක් වගේ එය උගේ කම්මුල් දක්වාත්, නිකට දිගේ උගුරේ සිට ළැම ප්‍රදේශය දක්වාත් දිව යයි. ඌ කේන්තියෙන් සිටිද්දී, උගුරු ප්‍රදේශය සාමාන්‍යයට වඩා දෙගුණයක් පිම්බෙන අතර, එය ඇවිළෙන ගින්නක් මෙන් පෙනෙනවා. එය ඇත්තෙන්ම චමත්කාරජනක දර්ශනයක්. රූෆස් හදිසියෙන් මෙන් පියඹා යද්දී, උගේ උගුරු ප්‍රදේශය දම්, මරකත හෝ දේදුන්නේ සෑම වර්ණයක්ම ගත හැකියි. නමුත් ඌ ආලෝකයෙන් වෙනතකට ගියොතින්, උගුරු ප්‍රදේශය ඉක්මනින් තද කළු පැහැයක් ගනී.
ගුවන් කරණමේ අසිරිය
ගුමන කුරුල්ලා ගුවන් කරණම් ගැසීමේ හපනෙක් හැටියට ප්‍රසිද්ධව සිටියි. මොහොතකට ඌ මලක් ළඟ ගැවසෙමින් ඒකේ රොන් උරා බොන අතර, ගුමන ශබ්දයක් පිට කරමින් පියවි ඇසට නොපෙනෙන වේගයකින් උගේ පියාපත් ගසමින් සිටියි. නමුත් හදිසියෙන්ම වාගේ මෙම චූටි චණ්ඩියා ඉදිරියට, පසුපසට, හරහට නැතිනම් උඩු බෙලි අතට පවා යමින්, තත්පරයකට 50 සිට 70 වාරයක් හෝ සමහරුන් කියන පරිදි 80 වතාවක් පමණ තටු ගසයි! වාර්තාවල කියැවෙන ආකාරයට, ඌ පැයට කිලෝමීටර් 50 සිට 100ක වේගයක් අත් කරගන්නා ගමන්ම එකවිටම නැවතීමේ හැකියාවෙන්ද යුක්තයි. එවන් පුදුමාකාර වූ දෑ කිරීමට ගුමන කුරුල්ලාට හැකි කරවන්නේ කුමක්ද?
රහස වන්නේ මවිතාකාරව නිර්මාණය වී ඇති මෙම කුරුල්ලාගේ ශරීරයේ කොටසුයි. ඉදිරියට නෙරා ඇති ළැම ඇටයට හොඳින් සම්බන්ධව ඇති මනා ලෙස වර්ධනය වී ඇති මාංශ පේශි උගේ මුළු ශරීරයේ බරින් සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයක් ගනියි. උරහිසේ සිට පිහාටු අන්තය දක්වාම දැඩිව වැඩුණු උගේ පිහාටු නිසා, වෙනත් කුරුල්ලන්ට මෙන් පහළට පමණක් නොව, ඉහළට පහළට යන දෙකටම තටු ගැසීමට අවකාශ සලසයි. එහෙයින් එසේ ඉහළට හා පහළට තටු ගැසීමේදී එසවීම මෙන්ම වේගයද ලබා දෙන අතරවාරයේම, උරහිස් සන්ධි අංශක 180ක් දක්වා කරකැවීමට හැකියාව සලසයි. එසේ නම්, මෙම කුරුල්ලාගේ ගුවන් කරණම්වලින් ඔබ මවිතයට පත්වීම පුදුමයක් නොවෙයි!
ගුමන කුරුල්ලන්ට විඳදරාගැනීමේ පරීක්ෂණයකින් ජයගැනීමට හැකි වේවිද? ඇත්තෙන්ම පුළුවන්. උදාහරණයක් හැටියට, සමහරක් රූෆස් ගුමන කුරුල්ලන් මෙක්සිකෝවේ උන්ගේ ශීත නිවහන්වල සිට කිලෝමීටර් 3,000ක් පමණ ඈතින් පිහිටි උතුරු ඇලස්කාවට ගමන් කරයි. උස් කඳු, මහ මුහුද හෝ නොසන්සුන් කාලගුණය උන්ව පසුබෑමකට ලක් කරන්නේ නැහැ.
අලි බඩක්
මල්වලට ගුමන කුරුල්ලා දක්වන ලෙන්ගතුකමෙන් වැදගත් අරමුණක් ඉටු වෙයි. එනම් පර-පරාගණයයි. කොහොම වුණත්, උන් ඇත්තෙන්ම ආකර්ෂණය වන්නේ රොන්වලටයි. ඌට ඇති පුදුමාකාර ශක්තියට ඉන්ධන සපයාගැනීම සඳහා, ගුමන කුරුල්ලාට සෑම දිනකම උගේ බරින් බාගයක (සමහරුන් කියන්නේ දෙගුණයක්) පමණ කාබෝහයිඩ්රේට පිරි රොන් උරන්න සිදු වෙයි. සාපේක්ෂ වශයෙන් එවැනි ආහාර ප්‍රමාණයක් මිනිසෙකු විසින් ආහාරයට ගැනීම ඔබට සිතාගත හැකිද?
වෙනත් කුරුල්ලන්ට වෙනස්ව, ගුමන කුරුල්ලන් ඇවිදින්නේ කලාතුරකින්. කන්නේ පියාඹමින්. විවිධ වර්ගවලට අනුව, දිගින් හා හැඩයෙන් වෙනස් හොටවලින් යුක්තව සිටින ගුමන කුරුල්ලන් තෝරාගන්නේ උන්ටම සරිලන මලයි. පලතුරු මැස්සන්ව හා එළවළු බෝගවල ඇති කූඩිත්තන්ව කෑමෙන් රොන්වලට අමතර පෝෂණයක් ලබාගනියි. ගුමන කුරුල්ලන් උන් සිඹින මලෙන් රොන් ලබාගන්නේ කොහොමද?
ගුමන කුරුල්ලන් ආහාර ලබාගන්නා ප්‍රධාන උපකරණය වන්නේ උගේ දිවයි! ජෝන් වෝඩ් හැරිස් මෙසේ ලියයි: “ගුමන කුරුල්ලෙකුගේ දිව දිග, පටු, බෙදුණු ස්වරූපයක් ගන්නා අතර, එහි උඩු කෙළවර මවිල්වලින් යුක්ත වෙයි; වක දෙකකින් දිව වෙන් වී ඇති අතර, කේශාකර්ෂණය මගින් රොන් ගිලින තුරු එය ගෙන යෑමට කානුවක් බඳු තත්වයක් ඇති කරයි.”
ඔබේ ජනෙල් කණ්ඩිය මත කෑම තබා ගුමන කුරුල්ලන්ව ආකර්ෂණය කළොතින්, උන්ගේ දඟකාර රඟපෑම්වලින් ඔබ ආස්වාදයක් ලබනවා නියතයි. කොහොම වුණත්, උන්ව මුළු ඍතුව පුරාම බලාගැනීමට ඔබට හැකි නම් පමණක් උන්ට කෑම සපයන්න. මන්දයත් ඌ ළඟපාත කැදැල්ලක සිට උගේ පවුල රැකබලා ගැනීමට ඔබේ ආහාර සැපයුම මත රඳාපැවතීමට යන බැවිනි.
පෙම්බර රැඟුම්
මධ්‍යම හා දකුණු අමෙරිකාවේ වසන සමහරක් ගුමන කුරුළු විශේෂයන් උන්ගේ පෙම්වතියන්ව ආකර්ෂණය කරගන්නේ ගී ගැයීමෙනුයි. ගුවාටමාලාහි, ඇතිස් එලියටි ගුමන කුරුල්ලාගේ රිද්මය ගත් කල එය ඇත්තෙන්ම මිහිරියි. තවද සුදු කන් ගුමන කුරුල්ලාගේ ශබ්දය හරියට “කුඩා මිහිරි රිදී සීනුවක නාදය මෙනි.” එහෙත්, උන්ගෙන් වැඩිදෙනෙක්ව හඳුන්වන්නේ ගායකයන් හැටියට නොවෙයි. උන් බොහෝවිට කරන්නේ එකම ස්වරයකට ටින් ශබ්දයක් වැනි තනුවක් නැවත නැවත පිට කිරීම හෝ වෙනත් අවස්ථාවලදී හොටවල් වසාගෙන උගුරු පුම්බාගෙන ගුමු ගුමු නද දීමයි.
සමහර ගුමන කුරුල්ලන් තම පෙම්බර රැඟුමේදී චමත්කාරජනක ගුවන් කරණම්වල යෙදෙයි. ඉතා උස් ස්ථානයක සිට හදිසියේම පහළට වේගයෙන් එන ගිනිමය රූෆස් සම්බන්ධයෙන් මෙය සැබෑවක් වෙයි. ඌ දෙස බලා සිටින ගැහැනු සතාට මඳක් ඉහළට වන තුරු පහතට වේගයෙන් ඇවිත් ගැහැනු සතාට ළංවීමට ඔන්න මෙන්න කියා තිබෙද්දී, ඉංග්‍රීසි හෝඩියේ ජේ අකුරේ හැඩයට ඍජුව ඉහළට නැඟෙයි. මෙසේ නැවත උස් ස්ථානයට ළඟා වන තුරු හෝ අලුත් කලත්‍රයා සමඟ පියාඹන තුරු ඌ එම වක්‍ර ප්‍රදේශයේ සැරිසරයි. මෙම සැණකෙළියේදී උගේ තටු ගැසීමේ වේගය තත්පරයට දෙසිය වතාවක් දක්වා විය හැකියි!
හුරුබුහුටි නිවෙස්
එක් නිරීක්ෂකයෙකුට අනුව, ගුමන කුරුල්ලාගේ කැදැල්ල “ලොව ඇති හුරුබුහුටිම නිර්මාණයන්ගෙන් එකකි.” ජෝන් වෝඩ් හැරිස්, තමා සොයාගත් කැදැල්ලක් පිබිදෙව්! වාර්තාකරුට පෙන්නුවා. එය සෙන්ටිමීටර් 4.5ක් දිගින් යුක්ත වූ අතර සෙන්ටිමීටරයක් පමණ ගැඹුරින් යුතු වූවා. එසේ නිර්මාණය කළ කැදැල්ල කුරුමිණි තරම් කුඩා පැටවුන් වැඩෙද්දී උන්ව දරාගැනීමට හැකි වන විදිහටයි සාදා තිබුණේ. අතටවත් ප්‍රමාණවත් නොවන කුඩා කැදැල්ලක්, එනම් මෘදු වූ ශාක ද්‍රව්‍ය ඔබේ අතේ තියාගන්නවා කියන්නේ ඇත්තෙන්ම මවිතකර අද්දැකීමක්. මකුළු දැල් සමඟ පිහාටු එකට ගෙතීමෙන්ද ඌ කැදලි සාදයි. “එකම තරමේ පබළු” මෙන් කිරි සුදු බිත්තර දෙකක් හෝ තුනක් එතුළ ඇත.
තම පැටවුන්ට කැවීමේදී, කෑම ගිලීමට හැකි වන අයුරින්, මව කෑම සපා ඇගේ හොටෙන් ඒවා උන්ගේ උගුර තුළටම දමා අවශ්‍ය පෝෂණය ලබා දෙයි. සාමාන්‍යයෙන් සති තුනක් ගිය පසු, පැටවුන් තනිවම කැදැල්ලෙන් පිටත් වී, වඩා සෞම්‍ය වූ ශීත කාලගුණයකට මාරුවීම සඳහා උන්ගේ අභ්‍යන්තර ඔරලෝසුව දන්වන තුරු දිගටම වැඩෙයි.
අභීතයි
ගුමන කුරුල්ලාගේ පුදුමාකාර චරිත ලක්ෂණයක් වන්නේ උන්ගේ අභීතබවයි. කෑම ගන්නා ස්ථාන හෝ බලප්‍රදේශ සම්බන්ධ ගැටුමකදී කෝපය උත්සන්න වන විට මෙය දැකගත හැකියි. අවශ්‍ය විටකදී යෝධයෙකුට පවා එරෙහි විය හැකි බවට අඟවමින්, තම කැදැල්ලේ සීමාවට ඇතුළු වූ රාජාලියෙකුට අභීතව පහර එල්ල කළ තද දම් පැහැති කොරොනෙට් වර්ගයේ ගුමන කුරුල්ලන් දෙදෙනෙක්ව දකුණු අමෙරිකාවේ නිරීක්ෂණය කොට තිබුණා. නමුත්, සර්පයන්, ගෙම්බන්, මකුළු දැල්, කටු සහිත මල් හා කුරුල්ලන් එකතු කරන්නන් වැනි වෙනත් සතුරන්ට ගුමන කුරුල්ලන් ගොදුරු වෙනවා.
එහෙත්, ගුමන කුරුල්ලන්ව යාළු කරගැනීමට බොහෝදෙනෙක් වෑයම් කරන අතර, උන් නැවත පැමිණ උන්ගේ අර්ථාන්විත ජීවන ක්රමයේ යෙදී සිටිනවා නැරඹීමට ආශාවෙන් සිටිනවා. මැවීමේ මෙම ආකර්ෂණීය මිණි වඩා කිට්ටුවෙන් අධ්‍යයනය කිරීමෙන් උන් කෙරෙහි ඇති ඔබේ ආශාව වැඩිවර්ධනය වනු ඇත. එසේ වන්නේ ඔබේ වත්තේ ඇති මල් සිඹීමට උන් තෝරාගත්තොතින් පමණයි.
[31වන පිටුවේ කොටුව⁄පින්තූර]
ගුමන කුරුලු සාධක
• විශේෂයන් 320කින් සමන්විත වන ගුමන කුරුල්ලන් බටහිර අර්ධගෝලයේ දෙවන විශාලතම කුරුළු පවුල වෙයි
• උන් කුරුළු ලොවේ හුරුබුහුටීන් වෙයි: කියුබාවේ මී මැසි ගුමන කුරුල්ලාගේ වලිගයේ කෙළවරේ සිට හොටේ කෙළවර දක්වාම දිග සෙන්ටිමීටර 6ක් පමණයි
• විශාලතම ගුමන කුරුල්ලාගේ මුළු දිග සෙන්ටිමීටර් 22ක් වන අතර දකුණු අමෙරිකාවේ බටහිර ප්‍රදේශයේ ඉක්වදෝරයේ සිට චිලී දක්වා ප්‍රදේශවල දැකිය හැකියි
• දකුණු අමෙරිකාවේ සමක ප්‍රදේශයේ මුහුදු මට්ටමේ සිට මීටර් 4,500ක් දක්වා මෙන්ම කැරිබියානු හා පැසිෆික් සාගරයේ දූපත් සමහරක් උන්ගේ ප්‍රධාන නිවහන්වලට ඇතුළත් වෙයි
• ගිම්හාන මාසවල ඇලස්කාව තරම් උතුරට වෙන්න මෙන්ම තියේරා ඩෙල් ෆියේගෝ තරම් දකුණට වෙන්නත් උන්ව දැකිය හැකියි
• එක් කලෙකදී, වනිතා විලාසිතා සඳහා ගුමන කුරුල්ලන් මිලියන ගණනක් මරා දමනු ලැබුවා. ඒ අවස්ථාවේදී බොහෝ විශේෂයන් විනාශ වන්න ඇති
[පින්තූර]
පැටගෝනියා ගීගාස් (සැබෑ ප්‍රමාණයෙන්)
මී මැසි ගුමන කුරුල්ලා (සැබෑ ප්‍රමාණයෙන්)
[හිමිකම් විස්තර]
© C. H. Greenewalt/VIREO
© 1990 Robert A. Tyrrell
[29වන පිටුවේ පින්තූරය]
රූෆස් ගුමන කුරුල්ලා
[හිමිකම් විස්තර]
THE HUMMINGBIRD SOCIETY / Newark Delaware USA
[29වන පිටුවේ පින්තූරය]
මී මැසි ගුමන කුරුල්ලා (විශාල කර)
[හිමිකම් විස්තර]
© 1990 Robert A. Tyrrell
[29වන පිටුවේ පින්තූරය]
ඇන්ටිලියන් මැන්ගෝ
[හිමිකම් විස්තර]
© 1990 Robert A. Tyrrell
[30වන පිටුවේ පින්තූරය]
ෆේතනීස්
[හිමිකම් විස්තර]
© 1990 Robert A. Tyrrell
[30, 31 යන පිටුවේ පින්තූරය]
ක්ලිප්ටෙ ඇනා (විශාල කර)
[හිමිකම් විස්තර]
Patricia Meacham/Cornell Laboratory of Ornithology
[31වන පිටුවේ පින්තූරය]
ආකිලෝකස් කොලබ්රස් කිරිල්ලි හා පැටවුන්