24 පාඩම
බයිබලය වෙත අවධානය යොමු කිරීම
1, 2. අප, අපට සවන් දෙන්නන් බයිබලය වෙතට යොමු කළ යුත්තේ මන්ද?
1 දේව සේවය තුළ දෙවියන් වහන්සේගේ වචනය වන බයිබලය වෙතට සැමදෙනාගේ ම අවධානය යොමු කිරීම, අපගේ ආශාව වනු ඇත. අප දේශනා කරන පණිවුඩය අඩංගු වී ඇත්තේ එහි ය, තව ද අප දේශනා කරන දෙය දෙවියන් වහන්සේගෙන් මිස, අපගේ ප්‍රභවයකින් නොවන බවත් මනුෂ්‍යයන් අවබෝධ කර ගන්නවා දැකීමට අපි කැමැත්තෙමු. දෙවියන් වහන්සේට ප්‍රේම කරන මනුෂ්‍යයෝ බයිබලය කෙරෙහි විශ්වාසය තබති. එය ඔවුන්ට කියවනු ලැබූ විට, ඔවුහු එයට ඇහුම් කන් දී එහි සඳහන් උපදෙස් සිතට ගනිති. එහෙත් ඔවුහු තමන්ගේ බයිබල් පිටපතින් එම පණිවුඩය කියවන විට එයින් ලැබෙන වැටහීම, සැලකිය යුතු ප්‍රමාණයකින් ගැඹුරු ය. ඒ නිසා ක්ෂේත්‍ර සේවයේ දී අවස්ථාව තිබෙන විට තමාගේ පුද්ගලික බයිබල් පිටපත ගෙන, ඔබ සමඟ ශුද්ධ ලියවිලි පද හරවා බැලීමට නිවැසියා උනන්දු කරවීම ඥානාන්විත ය. එමෙන් ම, සභා රැස්වීම්වල දී, සියලු දෙනාට ම තමන්ගේ බයිබල් පිටපත පාවිච්චි කිරීමට උනන්දු කරවනු ලැබුවහොත් නවකයන් එය අපේ විශ්වාසවල ප්‍රභවය බවට පහසුවෙන් හඳුනා ගන්නා අතර දෘෂ්ටි උපස්ථිතියේ අමතර අවධාරණයෙන් සියල්ලන් ම ප්‍රයෝජන ලබනු ඇත.
2 එමනිසා, සභාවේ සිටින අය ප්‍රායෝගික වන සෑම විට ම ඔබ කියවන ශුද්ධ ලියවිලි පාඨය තමන්ගේ ම බයිබල් පිටපතෙන් හරවා බලන්නේ නම්, කථාවේ අරමුණ ඉටු කිරීම සම්බන්ධයෙන් ඔබට නිශ්චිත වශයෙන් ම ප්‍රයෝජන වනු ඇත. ඔවුන් මෙය කරනවා ද නැද්ද යන වග විශාල ප්‍රමාණයකට රඳා පවතින්නේ එසේ කිරීමට ඔබ ඔවුන්ට සුදුසු ධෛර්ය දෙනවා ද යන්න මතයි. ඔබේ කථික උපදෙස් පත්‍රිකාවේ “බයිබලය හැරවීමට සබය උනන්දු කරවීම” යනුවෙන් සඳහන් කර ඇත්තේ මෙයයි.
3, 4. අපට මෙය සඵල ලෙස කළ හැක්කේ කෙසේ ද?
3 යෝජනාවෙන්. හොඳ ම ක්‍රමවලින් එකක් සහ නිතර ම භාවිතා කරනු ලබන ක්‍රමය නම් සභාවට බයිබලය හරවන ලෙස, කෙළින් ම ආරාධනා කිරීමයි. ඇතැම් අවස්ථාවල දී ඔබ බයිබල් පදයක් කියවීමට කලින් එය තිබෙන තැන සඳහන් කිරීමෙන් පමණක් මෙම ප්‍රතිඵලය ම ලබා ගත හැක; සමහර විට ඔබට ඔවුන්ට මෙසේ කියන්නට පුළුවන: “දැන් අප 2 තිමෝති 3:1-5 දක්වා කියවද්දී, ඔබේ අහළ පහළ ප්‍රදේශයේ පවතින තත්ත්වයන් ගැන කල්පනා කර බලන්න.” මෙසේ සඳහන් කිරීමෙන් පසු ඔබ ඒ පාඨයට හරවද්දී ඔබ කළ යෝජනාවෙන් සභාව ප්‍රයෝජන ලබන්නේ දැයි දැනගැනීමට වට පිට බලන්න. සාමාන්‍යයෙන් ඔවුන් ද පද හරවා බලනු ඇත.
4 අසන්නන් ලවා හරවා බැලීමෙන් තමාට අවධාරණ කිරීමට අවශ්‍ය පද ඇත්නම්, ඒවා මොනවාදැයි තීරණය කළ යුත්තේ කථිකයයි. සභාව දෙස බලන්න. ඔවුන් ඔබ ව අනුගමනය කරනවා දැයි දැක ගැනීමට උනන්දු වන්න. යම් හේතුවක් නිසා ඔබට අත්පිටපත් කථාවක් දීමට සිදුවුවහොත් ඔබට සවන් දෙන්නන් තමන්ගේ ම බයිබල්වලින් ඔබ සමඟ ප්‍රධාන පද කියවන ආකාරයට ඔබට කටයුතු කළ හැක.
5, 6. අප කියවීමට බලාපොරොත්තු වන ශුද්ධ ලියවිලි පද සොයා ගැනීමට සවන් දෙන්නන්ට කාලය දීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි දැයි පැහැදිලි කරන්න.
5 පද හැරවීමට කාලය දීමෙන්. ශුද්ධ ලියවිලි පාඨ සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ එය කියවා සභාවට එය හරවා බැලීමට කාලය නොදී තවත් පදයකට ගියහොත්, අවසානයේ දී, ඔවුහු අධෛර්ය වී පද හැරවීමෙන් වළකිති. සභාවේ සිටින වැඩි දෙනා පදය හරවා ගත් බවට වග බලා ගන්න. ඉන් පසු ඔබට එම පදය කියවිය හැක.
6 ඔබ කියවීමට සිතා ගෙන සිටින පදය ප්‍රමාණවත් ලෙස කලින් සඳහන් කිරීම සාමාන්‍යයෙන් නුවණට හුරු ය, එසේ කිරීමෙන් සභාව එම පදයට හරවන තුරු නිතර ඇති වන දිග විරාමයෙන් සහ අනවශ්‍ය “ඉඩ පිරවීම්වලින්” වටිනා කාලය නාස්ති වීම වැළැක් විය හැක. එහෙත් මෙහි දී සුදුසු විරාමය යෙදීම උචිත ය. අනෙක් අතට, ඔබ කියවන්නට යන පදය ඉදිරිපත් කිරීමට කරන හැඳින්වීම මුල දී ම සඳහන් කළොත් ඔබ කියවන්නට යන දේවලින් සමහරකට එපමණ කිට්ටු අවධානයක් නොලැබී යාමට ඉඩක් ඇති බව ඔබ මතක තබා ගත යුතු ය. ඒ නිසා එවැනි අවස්ථාවක දී පදය නම් කිරීමට කලින්, පූර්ව තර්කයට උචිත කරුණු සඳහන් කළ යුතු ය.
**********
7-18. ශුද්ධ ලියවිලි පද සඵල ලෙස හඳුන්වා දීම සඳහා උපයෝගි කළ හැකි ක්‍රම මොනවා ද?
7 කථාවක දී භාවිතා කරනු ලබන ශුද්ධ ලියවිලි පද සාමාන්‍යයෙන් එම කථාවේ නාභීය ලක්ෂය වෙයි. ඉදිරිපත් කරනු ලබන තර්ක මෙම පද වටා කේන්ද්‍ර ගත වනු ඇත. එමනිසා ඒ පද කථාවට කොපමණ ප්‍රමාණයකින් දායක වන්නේ ද යන්න රඳා පවතින්නේ ඒවා කොතරම් සඵල අන්දමින් භාවිතා කරනු ලබන්නේ ද යන්න මතයි. ඒ නිසා ඔබේ කථික උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති “ශුද්ධ ලියවිලි පද සුදුසු සේ හැඳින්වීම” යන කරුණ සලකා බැලිය යුතු වැදගත් එකකි.
8 ශුද්ධ ලියවිලි පදයක් හැඳින්වීමේ, කියවීමේ සහ අදාළ කිරීමේ ක්‍රම විවිධ ය. උදාහරණයක් වශයෙන් ඇතැම් අවස්ථාවල දී පදයක් හඳුන්වා දීම එය කියවීමට මඟ පාදනවා පමණක් නොව, එහි අදාළත්වය ද පෙන්වා දෙයි. ඒ නිසා කියවීමෙන් කෙරෙන්නේ එහි සඳහන් කරුණු අවධාරණය කිරීමක් සහ ස්ථිර කිරීමක් පමණ ය. අනෙක් අතට, කථාවක ආරම්භයක් වැනි අවස්ථාවක දී කිසි ම හැඳින්වීමක් නොකොට සමහර පද කියවීමෙන් ඇති වන ප්‍රතිඵලය ඉතා සාර්ථක ය.
9 ශුද්ධ ලියවිලි සඵල ලෙස හඳුන්වා දිය හැක්කේ කෙසේ දැයි, ඉගෙනීම සඳහා පළපුරුදු කථිකයන් කරන දේ විග්‍රහ කර බලන්න. ශුද්ධ ලියවිලි පද ඉදිරිපත් කරනු ලබන විවිධ ආකාරයන් මොනවා දැයි හඳුනා ගැනීමට වෑයම් කරන්න. ඒවා කෙතරම් සඵල දැයි සලකා බලන්න. ඔබේ කථා සූදානම් කිරීමේ දී යොදා ගන්නා පදවලින් ඉටු කරන්නට යන්නේ කුමක් ද යන්න ගැන කලින් ම සැලකිලිමත් වීම වැදගත් ය, විශේෂයෙන් ම එම පදය ප්‍රධාන කරුණක් සනාථ කිරීමට යොදා ගනු ලබන ප්‍රධාන පදයක් නම් මෙසේ කිරීම විශේෂයෙන් ම වැදගත් වේ. එම පදය යොදා ගැනීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් එය හඳුන්වා දෙන්නට යන ආකාරය පිළිබඳ ව ඉතා ඕනෑකමින් සැලසුම් කළ යුතු ය. මෙන්න යෝජනා ස්වල්පයක්:
10 ප්‍රශ්නයක්. ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු ය. ඒවා චින්තනය උත්තේජනය කරයි. පදයට සහ එහි අදාළත්වයට පිළිතුර සැපයීමට ඉඩ දෙන්න. උදාහරණයක් වශයෙන්, ඔබ සාකච්ඡා කරන මාතෘකාව රුධිර පාරවිලයනය යයි සිතමු, හෙබ්‍රෙව් ලියවිලි අනුව එය තහනම් ක්‍රියාවක් බව සනාථ කිරීමෙන් පසු, ක්‍රියා 15:28, 29 ඔබ හඳුන්වා දෙන්නට යනවා විය හැක. ඔබට මෙසේ ප්‍රශ්න කිරීමෙන් එම පදය හඳුන්වා දිය හැකි ය. “නමුත් ක්‍රිස්තියානින්ටත් මෙම තහනම වලංගු ද? ශුද්ධාත්මයේ පෙලඹීම යටතේ මුල් සභාවේ පාලක මණ්ඩලය විසින් දෙන ලද මෙම බලය ලත් නියෝගය සලකා බලන්න.”
11 හඳුන්වා දෙන පදයෙන් සනාථ කරන්නට යන ප්‍රකාශනයක් හෝ ප්‍රතිපත්ති. උදාහරණයක් වශයෙන් අපචාරය පිළිබඳ කථාවක දී ඔබට මෙසේ කිව හැක: “මිත්‍රයන් පිළිබඳ ව අපේ තීරණය පවා හොඳ සහ නරක ගැන අපේ ආකල්පය කෙරෙහි බලපාන සාධකයකි.” ඉන් පසු ඔබේ ප්‍රකාශය සනාථ කිරීම සඳහා 1 කොරින්ති 15:33 හි සඳහන් පාවුල්ගේ වචන ඔබට කිය විය හැක.
12 බයිබලය ආධිපත්‍යය ලෙස සඳහන් කිරීම. විශේෂයෙන් ද්විතීයික පද සම්බන්ධයෙන් මෙසේ කීම ප්‍රමාණවත් වේ: “මේ කාරණය සම්බන්ධයෙන් දේව වාක්‍යයෙහි සඳහන් දෙය සලකා බලන්න.” ඔබ කියවන්නට යන පදය වෙතට අපේක්ෂාවෙන් බැලීමට මෙය ප්‍රමාණවත් ය, එමෙන් ම ඔබ එය භාවිතා කිරීම සඳහා ඇති හේතුව ද සපයයි.
13 ගැටලුවක්. “නිරය” පිළිබඳ කථාවක දී ඔබට මෙසේ කිව හැක: “මනුෂ්‍යයාට සිදුවන්නේ සදාකාලික ගින්නක දුක් විඳීමට නම් ඔහු මරණයෙන් පසු සිහියෙන් සිටිය යුතු ය. එහෙත් දේශනාකාරයා 9:5, 10 හි සඳහන් දෙය සලකා බලන්න.”
14 බහුවරණය. ඍජු ප්‍රශ්නයක් හෝ ගැටලුවක් වටහා ගැනීම එක්තරා සවන් දෙන්නන් පිරිසකට ඉතා අපහසු නම්, විසඳුම් කිහිපයක් ඉදිරිපත් කොට ඒවායින් නිවැරදි පිළිතුරු පෙන්වා දීමට ඔබ ඉදිරිපත් කරන පදයට සහ එහි අදාළත්වයට ඉඩ හරින්න. ඔබ කතෝලිකයෙක් සමඟ කථා කරන විට, යාච්ඤා කළ යුත්තේ කාට දැයි පැහැදිලි කිරීමට මතෙව් 6:9 උපයෝගි කිරීමට ඔබට අවශ්‍ය විය හැක. ඍජු ප්‍රශ්නයක් හෝ ගැටලුවක් නිසා නිවැසියාගේ මනස වෙන අතකට හැරෙන්නට ඉඩ ඇත. ඒ නිසා ඔබට මෙසේ කිව හැක. “අප යාච්ඤා කළ යුත්තේ කාට ද යන කරුණ සම්බන්ධයෙන් විවිධ මත තිබේ. ඇතැම් අය කියන්නේ මරියාට කියා ය, වෙනත් අය ‘ශුද්ධවන්තයන්ගෙන්’ කෙනෙකුට කියා ය, නමුත් සමහරු කියන්නේ අප යාච්ඤා කළ යුත්තේ දෙවියන් වහන්සේට පමණක් කියා ය. මේ ගැන යේසුස් වහන්සේ කී දේ මෙන්න.”
15 ඓතිහාසික පසුබිම. මිදීමේ මිලය ගැන කරන කථාවක දී යේසුස් වහන්සේ තමන් වහන්සේගේ ම රුධිරය පූජා කිරීමෙන් “අප උදෙසා සදාකාල මිදීම ලබා” දුන් බව පෙන්වා දීමට ඔබ විසින් හෙබ්‍රෙව් 9:12 යොදා ගන්නේ යයි සිතන්න. එවිට, පාවුල් පෙන්වා දෙන පරිදි, යේසුස් වහන්සේ ඇතුල් වූ ස්ථානයේ ඡායාවක් වූ කූඩාරමේ “ශුද්ධස්ථානය” පිළිබඳ ව ප්‍රාරම්භක වචන කිහිපයක් කීමෙන් පසු එම පදය කියවීම උචිත ය.
16 අවට තිබෙන පද. ඇතැම් විට, ශුද්ධ ලියවිලි පදයක් හැඳින්වීමට එම පදය වටා ඇති සම්බන්ධ පදවලින් පැහැදිලි කරන පසුබිම උපකාර වනු ඇත. උදාහරණයක් හැටියට: “කායිසර්ගේ දේ කායිසර්ට දීපල්ලා” යන්නෙහි අර්ථය පෙන්වා දීමට ලූක් 20:25 භාවිතා කිරීමේ දී, අවට පදවල වාර්තාව විස්තර කර තිබෙන පරිදි, කායිසර්ගේ රූපය ඇති කාසිය යේසුස් වහන්සේ විසින් භාවිතා කිරීම ගැන පහදා දීම ප්‍රයෝජනදායක බව ඔබට පෙනී යනු ඇත.
17 සංයෝගය. සැබවින් ම මෙම විධි කිහිපයක් සංයෝග කොට භාවිතා කළ හැක. එසේ කිරීම බොහෝ ඵලදායක වන බවට ද සැකයක් නැත.
18 ශුද්ධ ලියවිලි පදයක් කියවීමේ දී අවධානය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් අපේක්ෂාවක් ඇති කළ යුතු අතර, එය භාවිතා කරන හේතුව වෙත ද අවධානය යොමු කළ යුතු ය.
19, 20. සඳහන් කළ පදය ගැන බලාපොරොත්තුවක් අවදි කළා දැයි අපට තීරණය කළ හැක්කේ කෙසේ ද?
19 ශුද්ධ ලියවිලි පිළිබඳ බලාපොරොත්තු ඇති කිරීම. ශුද්ධ ලියවිලි පාඨයක් පිළිබඳ බලාපොරොත්තුව ඇති කර තිබෙන බව ඔබට දැන ගත හැක්කේ කෙසේ ද? මූලික වශයෙන් අසන්නන් දක්වන ප්‍රතිචාරයෙන් ය, නමුත්, ඔබ එය ඉදිරිපත් කරන ආකාරය ද වැදගත් ය. ඔබ පාඨය හඳුන්වා දීමෙන් පසු එය කියවීමට අතපසු කළ නිසා හෝ ඔබේ හැඳින්වීමේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු නොසැපයූ නිසා සවන් දෙන්නන් දෙගිඩියාවෙන් පසුවෙන්නේ නම්, ඔබ පාඨය පිළිබඳ ව සෑහෙන උනන්දුවක් අවදි කළ බව නිසැක ව ම කිව හැක. එහෙත් හැඳින්වීම, විෂය සහ හඳුන්වා දෙනු ලබන පදයට අනුකූල විය යුතු ය. එමෙන් ම, හැඳින්වීමේ දී අසන ලද ප්‍රශ්නයට කියවන පාඨයෙන් හෝ එහි අදාළත්වයෙන් හෝ පිළිතුර ලැබිය යුතු ය.
20 පාඨයකට කරන හැඳින්වීම ප්‍රකාශයකට කලින් කරන හොරණෑ නාදයකට සමාන කළ හැක. දූතයා හෝ ප්‍රකාශකයා සැරසෙන්නේ සම්පූර්ණ සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට නොවේ. ඒ වෙනුවට හොරණෑවේ ප්‍රබෝධ කර ස්වර සම්පූර්ණයෙන් ම උනන්දුව සහ අවධානය යොමු කරන්නේ ප්‍රකාශය වෙත ය. මේ අන්දමට හඳුන්වා දුන් විට ඔබ තෝරා ගත් පාඨයට සවන් දෙන සභාව එයින් තියුණු ආස්වාදයක් සහ ප්‍රයෝජනයක් ලබනු ඇත.
21. පාඨයක් භාවිතා කරන හේතුව වෙත අප අවධානය යොමු කර විය යුත්තේ මන්ද?
21 පාඨය උපයෝගි කරන හේතුව වෙත අවධානය යොමු කිරීම. පාඨයකට කරන හැඳින්වීම ප්‍රශ්නයකට පිළිතුරක් නොදුන්නත් අඩු වශයෙන් එම පාඨය උචිත ඇයි කියාත්, එයට සම්පූර්ණ අවධානය යොමු කළ යුත්තේ ඇයි කියාත් හේතු පැහැදිලි කළ යුතු ය. උදාහරණයක් වශයෙන්, මනුෂ්‍යයාගේ ස්ථිර නිවහන පෘථිවිය බව සාකච්ඡා කිරීමේ දී එළිදරව් 21:3, 4 භාවිතා කිරීමට ඔබ සූදානම් වනවා විය හැකි ය. ඔබේ ප්‍රාරම්භක තර්කයට අමතර ව ඔබට මෙසේ ද කිව හැක: “අපි ඊළඟට කියවන බයිබල් පදය එනම් එළිදරව් 21:3, 4ට අනුව, වේදනාව සහ මරණය කෙළවර වන විට, දෙවියන් වහන්සේගේ මණ්ඩපය තිබෙන්නට යන තැන කොහේ ද කියා බලන්න.” පාඨයට ම යමක් හෙළි කිරීමට ඉඩ හැරීමෙන් බලාපොරොත්තුව අවදි කළා පමණක් නොව, ඔබේ පාඨයේ වැදගත් ම කොටසට අවධානය යොමු කිරීමට ද ඔබ සමත් ය. එම පදය කියවීමෙන් පසු එය ඔබේ තර්කයට යොදා ගත හැක. ශුද්ධ ලියවිලි පාඨයේ අඩංගු දෙයට අවධානය යොමු කිරීමෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචනයේ වැදගත්කම අවධාරණය කරන්නෙහි ය.