පාඩම 19
බයිබලය භාවිත කිරීමට දිරිගැන්වීම
අපගේ ආශාව වන්නේ සියලුදෙනාගේ අවධානය දේවවචනය වන බයිබලය වෙත යොමු කිරීමය. එම පරිශුද්ධ පොත අප දේශනා කරන පණිවිඩයට පදනම සපයයි. තවද අප පවසන දේ අපම උපදවාගත් දේවල් නොව, නමුත් දෙවිගෙන් නික්මෙන දේවල් බව ජනයා විසින් තේරුම්ගැනීම අපගේ කැමැත්තයි. බයිබලය සම්බන්ධයෙන් ඒකාන්ත විශ්වාසයක් ජනයා තුළ ගොඩනැඟිය යුතුය.
ක්ෂේත්‍ර සේවයේදී. ක්ෂේත්‍ර සේවයට සූදානම් වන විටදී, සවන් දීමට කැමැත්තක් දක්වන උදවිය සමඟ බෙදාගැනීමට නිතරම ශුද්ධ ලියවිලි පද එකක් හෝ දෙකක් තෝරාගන්න. ඔබේ අරමුණ වන්නේ කෙටියෙන් යමක් පවසා බයිබල් පොත් පත් ඉදිරිපත් කිරීම වුවත්, ඊට අදාළ බයිබල් පදයක් කියවීම බොහෝ දුරට ප්‍රයෝජනදායකය. බැටළු ගුණැති ජනයාට නිසි මඟ පෙන්වීම දීමට අප පෞද්ගලිකව කියන දේට වඩා බයිබලයට බලයක් තිබේ. බයිබලයෙන් කියවීමට නොහැකි අවස්ථාවන්හිදී එයින් උපුටා දැක්වීමට ඔබට පුළුවන. මුල් සියවසේදී ශුද්ධ ලියවිල්ලේ අකුළන ලද පොත්වල පිටපත් පහසුවෙන් ලබාගත නොහැකි විය. එහෙත්, යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයෝ ශුද්ධ ලියවිල්ලෙන් කොටස් නිතරම පාහේ උපුටා දැක්වූහ. එසේ නම්, අපද ශුද්ධ ලියවිල්ලේ කොටස් කටපාඩම් කර, යෝග්‍ය අවස්ථාවන්හිදී ඒවා භාවිත කිරීමට වෑයමක් දැරිය යුතුය. නිකම්ම ඒවා උපුටා දැක්වීමෙන් පවා වැදගත් කාර්යයක් ඉටු වේ.
බයිබලයෙන් කියවීමට අවස්ථාවක් ලැබෙන විට, නිවැසියාටද දැකගත හැකි වන පරිද්දෙන් ළං වී එය කියවන්න. ඔබ කියවන විට නිවැසියා තමාගේම බයිබලයෙන් එය බලනවා නම්, කියවන දේට ඔහු දක්වන ප්‍රතිචාරය ඊටත් වඩා යහපත් එකක් විය හැක.
කෙසේ නමුත්, ඇතැම් බයිබල් පරිවර්තකයන් දේවවචනය තමන්ට රිසි සේ පරිවර්තනය කර ඇති බව තේරුම්ගත යුත්තකි. එම අනුවාදයන් ඇතැම්විට බයිබලයේ මුල් භාෂාවල ඉදිරිපත් කළ අදහස්වලට සෑම අතකින්ම අනුකූල නොවිය හැකියි. නූතන අනුවාදයන් කිහිපයකම දෙවිගේ පෞද්ගලික නාමය ඉවත් කර තිබේ. මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් මුල් භාෂාවල පවසා ඇති දේ ඔවුන් විකෘති කර ඇත. එමෙන්ම පොළොව සඳහා දෙවිගේ අරමුණ ගැන බයිබලයෙහි සඳහන් දේ සඟවාතිබේ. සිදු කර ඇති මෙවන් වෙනස්කම් පුද්ගලයෙකුට පැහැදිලි කර දීම සඳහා බයිබල් අනුවාද කිහිපයක්ම සන්සන්දනාත්මකව පෙන්වීමට හෝ එකම භාෂාවේ වඩාත් පැරණි අනුවාද පෙන්වීමට හෝ ඔබට සිදු විය හැක. ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම නමැති පොත විෂයන් කිහිපයක් සම්බන්ධයෙන් මෙවැනි සැසඳීම් ඉදිරිපත් කරයි. නිතරම භාවිත කරනු ලබන බයිබල් පදවල වැදගත් යෙදුම් පරිවර්තන කිහිපයක දක්වා ඇති ආකාරය දැකගත හැකි වේ. සත්‍යයට සැබෑ ප්‍රේමයක් හෝ ඇල්මක් ඇති ඕනෑම අයෙකු, සැබෑ කරුණු අනාවරණය වීම ගැන කෘතඥපූර්වක වනවාට සැකයක් නැත.
සභා රැස්වීම්වලදී. සභා රැස්වීම්වලදී සියලුදෙනාටම තම බයිබල් භාවිත කිරීමට දිරිගැන්විය යුතුය. මෙය පැති කිහිපයකින්ම යහපතක් ඉටු කරයි. සාකච්ඡා කරනු ලබන දෙය කෙරෙහි සබයේ අවධානය බැඳ තබාගැනීමට එය මහෝපකාරි වේ. තවද, කථිකයා ලබා දෙන වාචික උපදෙස් සියැසින් දකින විට අමතර අවධාරණයක් සිදු වීම තවත් විපුල ප්‍රයෝජනයකි. එමෙන්ම බයිබලය අපගේ විශ්වාසයන්වල සැබෑ පදනම බව උනන්දුවක් දක්වන නවකයන්ගේ මනස්වල කාවැද්දීමක්ද සිදු කෙරේ.
ඔබ බයිබල් පද කියවද්දී, සබයේ අය ඔවුන්ගේම බයිබල් පෙරළා බලනවාද නැද්ද යන්න බොහෝ දුරට රඳා පවතින්නේ එසේ කිරීමට ඔබ ලබා දෙන දිරිගැන්වීම මතයි. උපයෝගි කරගත හැකි හොඳම ක්‍රමයක් වන්නේ ඍජු ලෙස ආරාධනා කිරීමයි.
සබයට බයිබල් පද පෙරළීමට ආරාධනා කිරීමෙන් පසු අවධාරණය කළ යුත්තේ කවර බයිබල් පදද යන්න තීරණය කිරීම කථිකයා වන ඔබට භාරයි. ඔබේ මූලික කරුණු ගොඩනැඟීමට උපකාරවත් වන ශුද්ධ ලියවිලි පද කියවීම උචිතය. අනතුරුව, කාලය ඉඩ දෙන තරමට ඔබේ තර්කයට රුකුලක් වන වෙනත් පද කිහිපයක් එකතු කළ හැකිය.
ඇත්තෙන්ම නිකම්ම බයිබල් පදයක් සඳහන් කිරීම නැතහොත් ශුද්ධ ලියවිලි පදයක් පෙරළීමට සබයට ආරාධනා කිරීම පමණක් මදිය. එක පදයක් කියවා, සබය විසින් එය සෙවීමටත් පෙර ඔබ තවත් එකක් කියවීමට පටන්ගන්නවා නම්, ඔවුන් ඉක්මනින්ම අධෛර්යයට පත් වනවා ඇති. මෙහි ප්‍රතිඵලය විය හැක්කේ බයිබලය පෙරළීමට දරන උත්සාහය ඔවුන් විසින් අත්හරිනු ලැබීමයි. එමනිසා සබය දෙස හොඳින් බලන්න. වැඩිදෙනා බයිබල් පදය සොයාගෙන ඇති බවට පෙනෙන විට එය කියවන්න.
කියවීම සඳහා කල්තියාම සැලසුම් යොදන්න. ඉන් අදහස් වන්නේ ශුද්ධ ලියවිලි පදයක් කියවීමට පෙර කල්තියාම එය කියවන බවට සඳහන් කිරීමය. මෙයින්, බයිබල් පදය සෙවීමට උත්සාහ දැරීමෙන් අපතේ යා හැකි සෑහෙන වේලාවක් ඉතිරි කරගත හැකි වේ. සබයට ශුද්ධ ලියවිලි පද පෙරළා බැලීමට වේලාවක් ලබා දීමෙන් ඔබ පියවන තොරතුරු ප්‍රමාණය අඩු වී ගියත්, එයින් ඔබ නෙළාගන්නා ප්‍රයෝජන ඉමහත්ය.