ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 20 පාඩම 147 පි.-149 පි. 2 ¶
  • ශුද්ධ ලියවිලි පද බලපෑමෙන් යුතුව හඳුන්වා දීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශුද්ධ ලියවිලි පද බලපෑමෙන් යුතුව හඳුන්වා දීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • බයිබලය වෙත අවධානය යොමු කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • බයිබලය භාවිත කිරීමට දිරිගැන්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උනන්දුව අවදි කරවන හැඳින්වීමක්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • බයිබල් පද හොඳින් හඳුන්වා දීම
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 20 පාඩම 147 පි.-149 පි. 2 ¶

පාඩම 20

ශුද්ධ ලියවිලි පද බලපෑමෙන් යුතුව හඳුන්වා දීම

කළ යුතු වන්නේ කුමක්ද?

ශුද්ධ ලියවිලි පදයක් කියවීමට පෙර ඔබේ සවන්දෙන්නන්ගේ මනස් සකස් කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ශුද්ධ ලියවිලි පදයක් දක්ෂ ලෙස හඳුන්වා දෙන විට, එම පදයෙහි සඳහන්ව ඇති දෙයෙහි සැබෑ වටිනාකම සබයට තේරුම්ගැනීමට උපකාරවත් විය හැක.

අපගේ සභා රැස්වීම්වලදී උගන්වනු ලබන දේවලට පදනම සපයන්නේ ශුද්ධ ලියවිල්ලයි. අප ක්ෂේත්‍ර සේවයේදී පවසන දේද බයිබල් පද වටා කේන්ද්‍රගතව පවතී. කෙසේවෙතත්, අපගේ සාකච්ඡාවේ සාර්ථකත්වයට ඒවායෙහි දායකත්වය යම් දුරකට බලපාන්නේ ඒවා කොතරම් දක්ෂ ලෙස හඳුන්වා දෙනවාද යන්න මතය.

නිකම්ම ශුද්ධ ලියවිලි පදයක් සඳහන් කර, එය කියවීමට ඔබ සමඟ සිටින පුද්ගලයාට ආරාධනා කිරීම පමණක් මදිය. ඊට වැඩි යමක් කළ යුතු වේ. ශුද්ධ ලියවිලි පදයක් හඳුන්වා දෙන විට පරමාර්ථ දෙකක් ඉටු කිරීමට උත්සාහ දරන්න. එනම්, (1) යම් බලාපොරොත්තුවක් ජනිත කරවන්න, (2) එම බයිබල් පදය භාවිත කිරීමට වූ හේතුව වෙත අවධානය යොමු කරන්න. මෙම පරමාර්ථ ඉටු කරගැනීමට ක්‍රම කිහිපයක් උපකාරවත් විය හැක.

ප්‍රශ්නයක් අසන්න. ඔබේ සබයට පිළිතුර තවමත් පැහැදිලි නැත්නම්, අනුගමනය කළ යුතු සාර්ථකම ක්‍රමය මෙයයි. පුද්ගලයාට කල්පනා කිරීමට සලස්වන ආකාරයෙන් ඒ ප්‍රශ්නය ඇසීමට උත්සාහ කරන්න. යේසුස්ද මෙය කළේය. දේවමාළිගාවේදී ඵරිසිවරුන් ඔහු ළඟට පැමිණ, ශුද්ධ ලියවිල්ල සම්බන්ධයෙන් ඔහුට තිබූ අවබෝධය ප්‍රසිද්ධියේ පරීක්ෂා කළ විට යේසුස් ඔවුන්ගෙන් මෙසේ ඇසීය. “ක්‍රිස්තුස් ගැන නුඹලා කුමක් සිතවුද? ඔහු කාගේ පුත්‍රයාද”? “දාවිත්ගේ පුත්‍රයායයි” ඔවුහු පිළිතුරු දුන්නෝය. ඊළඟට යේසුස් මෙසේ ඇසීය. “එසේවී නම් ආත්මය කරණකොටගෙන දාවිත් . . . ඔහුට ස්වාමීන්යයි කියන්නේ කෙලෙසද?” එසේ ඇසූ විට ඔහු උපුටා දැක්වූයේ ගීතාවලිය 110:1නි. ඵරිසිවරු නිහඬ වූහ. කෙසේවෙතත්, සමූහයා යේසුස්ට සවන් දුන්නේ ඉමහත් ආශාවකිනි.—මතෙ. 22:41-46.

ක්ෂේත්‍ර සේවයේදී බයිබල් පද හඳුන්වා දීම සඳහා මෙවැනි ප්‍රශ්න භාවිත කළ හැකිය. “ඔබටත් මටත් පෞද්ගලික නම් තිබේ. දෙවිට පෞද්ගලික නාමයක් තිබේද? මෙම ප්‍රශ්නයට පිළිතුර ගීතාවලිය 83:17න් සොයාගත හැකි වේ.” “මුළු මිනිස්වර්ගයා සඳහා එක ආණ්ඩුවක් කවදාහරි ඇති වේවිද? මීට පිළිතුර දානියෙල් 2:44, 45න් ලැබෙන ආකාරය සලකා බලන්න.” “අපගේ කාලයේ පවතින තත්වය ගැන බයිබලයෙහි ඇත්තටම සඳහන් වේද? දෙවන තිමෝති 3:1-5හි සඳහන් දේවල්, ඔබ දන්නා තත්වයන් සමඟ සසඳා බලන්න කැමතිද?” “දුක් කම්කටොලු සහ මරණයට කවදාහරි අවසානයක් තිබේවිද? බයිබලය දෙන පිළිතුර එළිදරව් 21:4, 5හි සොයාගත හැකියි.”

කතාවක් දෙන විටදී, ශුද්ධ ලියවිලි පද හඳුන්වා දීමට ප්‍රශ්න දක්ෂ ලෙස භාවිත කිරීම මගින් සබයට බයිබල් පද දෙස, විශේෂයෙන්ම ඔවුන්ට හුරු වූ බයිබල් පද දෙස පවා නැවුම් දෘෂ්ටියකින් බැලීමට පෙලඹීමක් ඇති විය හැක. එනමුත් ඔවුන් එසේ කරාවිද? එය බොහෝ දුරට රඳා පවතින්නේ ඔබ ඉස්මතු කරන ප්‍රශ්න ඔවුන්ගේ සැලකිල්ලට සැබවින්ම භාජන වෙනවාද නැද්ද යන්න මතය. සාකච්ඡා කරන විෂය සබයේ උනන්දුවට හේතුවක් වුවද, කිහිප වතාවක් අසා ඇති බයිබල් පද කියවන විට ඔවුන්ගේ මනස් එහෙ මෙහෙ දිව යා හැකිය. එවැනි දෙයක් මඟහැරීමට එම පද හඳුන්වා දිය යුත්තේ ඔවුන්ගේ සිත ඇදගන්නා අන්දමකිනි. ඒ සඳහා ඒ ගැන හොඳින් සිතා බැලීම අවශ්‍යය.

ගැටලුවක් ඉදිරිපත් කරන්න. ඔබට ගැටලුවක් ඉදිරිපත් කළ හැකිය. අනතුරුව විසඳුම හෙළි කරන ශුද්ධ ලියවිලි පදයකට සබයේ අවධානය යොමු කිරීමට පුළුවන. කෙසේවෙතත්, විසඳුම ලෙස අපේක්ෂා කළ යුතු දෙයට වඩා වැඩි යමක් අපේක්ෂා කිරීමට සබයට දේවල් කීමෙන් වළකින්න. ඇතැම් අවස්ථාවලදී ශුද්ධ ලියවිලි පදයකින් ලැබෙන්නේ විසඳුමෙන් කොටසක් පමණි. කෙසේවෙතත්, එම බයිබල් පදය කියවන අතරතුරේදී සාකච්ඡා කරනු ලබන ගැටලුව හැසිරවීමට එයින් ලබා දෙන මඟ පෙන්වීම කුමක්දැයි සලකා බලන මෙන් ඔබට සබයෙන් ඉල්ලා සිටිය හැක.

සමානාකාරයෙන්, දෙවි අනුමත කරන හැසිරීමට අදාළ ප්‍රතිපත්තියක් සඳහන් කොට, එය අනුගමනය කිරීම කොතරම් ඥානවන්තද කියා ගෙනහැර දැක්වීමට බයිබල් වාර්තාවක් භාවිත කරන්නට පුළුවන. සාකච්ඡාවට අදාළ කරුණු දෙකක් (හෝ ඊට වැඩි ගණනක්) ශුද්ධ ලියවිලි පදයක අඩංගු වී ඇත්නම්, ඇතැම් කථිකයෝ ඒවා ගැන විමසිලිමත් වන්නට කියා ඔවුන්ගේ සබයට කියති. ඔබ අමතන එක්තරා සබයකට ගැටලුව සංකීර්ණ වැඩියි කියා පෙනී යනවා නම්, ඔවුන්ට කල්පනා කිරීමට උපකාර කිරීම සඳහා ගැටලුවට විකල්ප විසඳුම් කිහිපයක් මුලින්ම ඉදිරිපත් කළ හැකිය. ඉන්පසුව පිළිතුර ලබාගැනීමට මාධ්‍යය ලෙස බයිබල් පදය කියවා අදාළ කරන්න.

ඔබේ අධිකාරය ලෙස බයිබලයට යොමු දක්වන්න. ඔබේ විෂය ගැන මේ වන විටත් යම් උනන්දුවක් ජනිත කරවමින්, එහි එක්තරා අංගයක් සම්බන්ධයෙන් පැති එකක් දෙකක් සඳහන් කර ඇත්නම්, “මේ සම්බන්ධයෙන් දෙවිගේ වචනයෙහි පවසන දේ සැලකිල්ලට ගන්න” යනුවෙන් පැවසීමෙන් ශුද්ධ ලියවිලි පදයක් හඳුන්වා දිය හැකිය. ඔබ කියවන මූලාශ්‍රයට ස්ථිර පදනමක්, පිළිගත හැකි අධිකාරයක් ඇති බවට හේතුව එවැනි එළඹීමකින් පැහැදිලි වේ.

යෙහෝවා බයිබලයෙහි කොටස් ලිවීමට පාවුල්, පේතෘස්, යොහන්, ලූක් වැනි පුරුෂයන්ව යොදාගත්තේය. එහෙත් එවැනි අය ලේඛකයන් වූවා පමණි. බයිබලයෙහි කර්තෘ යෙහෝවාය. ශුද්ධ ලියවිල්ලේ ශිෂ්‍යයන් නොවන අයට කතා කරද්දී බයිබල් පදයක් හඳුන්වා දෙන විට “පේතෘස් ලිව්වේ මෙසේයි” නැතහොත් “පාවුල් පැවසුවේ මෙසේයි” යන්න පැවසීම, එම පදය දෙවිගේ වචනය ලෙස හඳුන්වා දීම තරම් ප්‍රබල විය නොහැක. ඇත්තෙන්ම යෙහෝවා ඇතැම් අවස්ථාවලදී යෙරෙමියාට උපදෙස් දුන්නේ සමහර ප්‍රකාශන ‘යෙහෝවාගේ වචනය අසන්න’ යනුවෙන් පවසා හඳුන්වා දෙන ලෙසය. (යෙරෙ. 7:2; 17:20; 19:3; 22:2) ශුද්ධ ලියවිලි පදයක් හඳුන්වා දෙන විට අප යෙහෝවාගේ නාමය භාවිත කළත් නැතත්, අප ප්‍රයත්න දැරිය යුත්තේ අපගේ සාකච්ඡාව නිම කරන්නට කලින් බයිබලයෙහි සඳහන් දේවල් ඔහුගේ වචනය බව පෙන්නුම් කිරීමටයි.

අවට පාඨ සම්බන්ධය සැලකිල්ලට ගන්න. ශුද්ධ ලියවිලි පදයක් හඳුන්වා දෙන්නේ කෙලෙසදැයි තීරණය කරන විට එහි අවට පාඨ සම්බන්ධය ගැන ඔබ අවබෝධයෙන් සිටිය යුතුය. ඇතැම් අවස්ථාවලදී අවට පාඨ සම්බන්ධය කෙළින්ම සඳහන් කළ හැකිය. කෙසේවෙතත්, අවට පාඨ සම්බන්ධය ඔබ පවසන දේට වෙනයම් ආකාරවලින්ද බලපෑ හැකිය. නිදසුනකට, දේවභයැති යෝබ් පැවසූ දෙයක් හඳුන්වන ආකාරයටම ඔහුගේ ව්‍යාජ සැනසිලිකාරයන් පැවසූ දෙයක් ඔබ හඳුන්වා දෙනු ඇද්ද? ක්‍රියා පොත ලියන ලද්දේ ලූක් විසිනි. එනමුත්, ඔහු යාකොබ්, පේතෘස්, පාවුල්, පිලිප්, ස්තේපන් සහ දේවදූතයන් මෙන්ම ගමාලියෙල් හා ක්‍රිස්තියානීන් නොවූ වෙනත් යුදෙව්වන් පැවසූ දේවල් උපුටා දක්වයි. එසේ නම්, ඔබ උපුටා දක්වන බයිබල් පදය කවුරුන් පැවසූ දෙයක් හැටියටද හඳුන්වා දෙන්නේ? තවත් නිදසුනක් සලකා බලන්න. ගීතාවලියේ ගීතිකා සියල්ලම දාවිත් රචනා නොකළ බවත්, හිතෝපදේශ පොතේ සියලුම කොටස් සාලමොන් විසින් ලියනු ලැබුවේ නැති බවත් මතක තබාගත යුතුයි. තවද, බයිබල් ලේඛකයා ඇමතුවේ කාවද යන්නත්, සාකච්ඡා කරනු ලැබූ විෂය කුමක්ද යන්නත් දැනගැනීමද ප්‍රයෝජනදායකයි.

පසුබිම සකසන තොරතුරු භාවිත කරන්න. බයිබල් වාර්තාවෙහි සඳහන් කාල වකවානුවෙහි පැවති තත්වයන් ඔබ සාකච්ඡා කරමින් සිටින තත්වයන්ට යම් ආකාරයකින් සමාන බව පෙන්නුම් කිරීමට හැකි නම්, මෙයින් විශේෂයෙන් හොඳ ප්‍රතිඵල නෙළාගත හැකිය. වෙනත් අවස්ථාවලදී, එක්තරා බයිබල් පදයක් තේරුම්ගැනීමට පසුබිම පිළිබඳ තොරතුරු දැනගැනීම අත්‍යවශ්‍යය. නිදසුනකට, මිදීමේ මිලය පිළිබඳ කතාවකදී හෙබ්‍රෙව් 9:12, 24 භාවිත කිරීමට සිදු වන බව සිතන්න. ඇතැම්විට එම බයිබල් පද කියවීමට පෙර මණ්ඩපයේ ඇතුළින්ම පිහිටි කාමරය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය විය හැක. මන්ද යේසුස් ස්වර්ගයට නැඟී ගිය විට, ඔහු ඇතුල් වූ ස්ථානය එම ඇතුල් කාමරයෙන් පිළිබිඹු වන බව එම පදවලින් අඟවනු ලබන බැවිනි. කෙසේවෙතත්, ඔබ හඳුන්වා දීමට උත්සාහ දරන බයිබල් පදය යටපත් වන තරමට පසුබිම පිළිබඳ තොරතුරු ඕනෑවට වඩා ඇතුළත් නොකරන්න.

ශුද්ධ ලියවිලි පද හඳුන්වා දෙන ආකාරය දියුණු කරගැනීමට නම්, අද්දැකීම් ලත් කථිකයන් කරන දේ විග්‍රහ කර බලන්න. ඔවුන් භාවිත කරන විවිධාකාර ක්‍රම සැලකිල්ලට ගන්න. මෙම ක්‍රම කොතරම් සාර්ථකද කියා විග්‍රහ කර බලන්න. ඔබේම කතාවලට සූදානම් වන විට ප්‍රධාන ශුද්ධ ලියවිලි පද හඳුනාගෙන, එම එක් එක් පදයෙන් ඉටු විය යුතු කාර්යය කුමක්දැයි හොඳින් සලකා බලන්න. ඒ එක් එක් පදය සඳහා යොදාගන්නා හැඳින්වීම පරෙස්සමින් සූදානම් කරන්න. එවිට උපරිම ප්‍රයෝජන නෙළාගත හැකි අන්දමකින් එය භාවිත කිරීමට ඔබ සමත් වනු ඇත. පසුව අද්දැකීම් ලබනවාත් සමඟම, ඔබ භාවිත කරන සෑම බයිබල් පදයක් සම්බන්ධයෙන්ම මෙම ක්‍රමය අනුගමනය කරන්න. ඔබේ ඉදිරිපත් කිරීමෙහි මෙම පැත්ත දියුණු වෙනවාත් සමඟම, ඔබ දෙවිගේ වචනය වෙතට වැඩි අවධානයක් යොමු කරමින් සිටින බව පවසන්නට පුළුවන.

එය කරන්නේ කෙසේද?

  • උනන්දුවක් ජනිත කරවන ක්‍රමයක් තෝරාගන්නා විට ඔබේ සබය දැනටමත් දන්නා දේ ගැන හා විෂය ගැන ඔවුන්ට හැඟෙන්නේ කෙසේද යන්න සැලකිල්ලට ගන්න.

  • එක් එක් බයිබල් පදයෙන් ඉටු විය යුතු කාර්යය කුමක්ද යන්න සහතික කරගෙන, එය එම පද හැඳින්වීමේදී ඔබ පවසන දේ තුළින් පිළිබිඹු කිරීමට සලස්වන්න.

අභ්‍යාසය: ඔබේ බලප්‍රදේශයෙහි හොඳ ප්‍රතිඵල ඇතුව භාවිත කළ හැකි ශුද්ධ ලියවිලි පදයක් තෝරාගන්න. (1) නිවැසියා තුළ යම් බලාපොරොත්තුවක් ජනිත කරවීමට ඔබ ඉදිරිපත් කරන්නේ කවර අන්දමේ ප්‍රශ්නයක්ද හෝ ගැටලුවක්ද යන්න සැලසුම් කරන්න. තවද (2) එම බයිබල් පදය කියවීමට හේතුව කෙරෙහි ඔබ අවධානය යොමු කරන අන්දමද සැලසුම් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න