30 පාඩම
කථාවක ඒකාබද්ධ වර්ධනය
1-3. කථාවක් තුළ ඒකාබද්ධතාවයට පැවරෙන කාර්යය කුමක් ද, තව ද එය ලබා ගන්නේ කෙසේ ද?
1 ඒකාබද්ධ කථාවක් වනාහි ශ්‍රාවකයන්ට පහසුවෙන් ම වටහා ගත හැකි එකකි. අනෙක් අතට, ඒකාබද්ධතාවය අඩු වූ විට ඔවුන්ගේ අවධානය ඉක්මනින් ම නැති වනු ඇත. ඔබ කථාවක් සූදානම් කරද්දී, මෙම කාරණය ඔබේ දැඩි සැලකිල්ලට භාජනය විය යුතු බව පැහැදිලි ය; එමනිසා “සම්බන්ධක තුළින් ඒකාබද්ධතාවය” ඔබේ සුපරීක්ෂාකාරී සැලකිල්ලට භාජනය විය යුතු කරුණක් හැටියට උපදෙස් පත්‍රිකාවට ඇතුළත් කර ඇත.
2 ඒකාබද්ධතාවයෙන් අදහස් කරන්නේ, අභ්‍යන්තරික ගැළපීමකි, තර්කානුකූල ඒකාබද්ධතාවයක් සාදන අන්දමේ කොටස් ස්ථිර ලෙස ම එකට බැඳීමකි. බොහෝ දුරට කොටස් තර්කානුකූල ලෙස පිළියෙළ කිරීමෙන් ම සමහර විට මෙය ඉටු කරනු ලැබේ. එහෙත් සරල ලෙස කරුණු සකස් කිරීමකට වඩා කොටස් එකට සම්බන්ධ කිරීමට අවශ්‍ය වන කථා ද ඇත. එවැනි තත්ත්වයන්හි දී ඒකාබද්ධතාවය ලබා ගැනීමට නම් එක් කරුණක සිට තවත් කරුණකට පුරුකක් අවශ්‍ය ය. නව අදහස් සහ කලින් සඳහන් කළ ඒවා අතර, සම්බන්ධතාවය පෙන්වීමට වචන සහ වාක්‍ය ඛණ්ඩ උපයෝගි කරනු ලැබේ, මේ අන්දමින් කාලය හෝ දෘෂ්ටි කෝණය වෙනස්වීම නිසා ඇති වන හිඩැස් පුරවනු ලැබේ. මෙය සම්බන්ධක තුළින් ඒකාබද්ධතාවයයි.
3 නිදසුනක් හැටියට, ඔබේ කථාවේ හැඳින්වීම, ශරීරය සහ අවසානය එකිනෙකට වෙන් වූ තනි කොටස් ය, එහෙත් ඒවා සංක්‍රාන්තික පද මගින් ස්ථිර ලෙස සම්බන්ධ කළ යුතු ය. මීට අමතර ව, කථාවක ප්‍රධාන කරුණු එකට බැඳීම අවශ්‍ය ය, විශේෂයෙන් ම, මෙය සැබෑ වන්නේ ඒවා කෙළින් ම එකිනෙකට අදහසින් සම්බන්ධ නැති වූ විට ය. වෙනත් අවස්ථාවල දී සම්බන්ධක අවශ්‍ය වන්නේ වාක්‍යය හෝ ඡේද ගැළපීමට පමණ ය.
4-7. සංක්‍රාන්තික ප්‍රකාශ භාවිතය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
4 සංක්‍රාන්තික ප්‍රකාශ භාවිතය. සුදුසු ලෙස වචන හෝ වාක්‍ය ඛණ්ඩ භාවිතා කිරීමෙන් බොහෝ විට අදහස් සම්බන්ධ කළ හැක. මේවායින් සමහරක් නම්: එසේ ම, මීට අමතර ව, තවදුරටත්, එපමණක් නොව, සමාන ලෙස, එලෙස ම, එබැවින්, මෙසේ, මෙලෙස, මේ හේතු නිසා, ඒ නිසා, කලින් සඳහන් කළ කරුණු නිසා, ඉතින්, ඉන් පසු, ඉක්බිති ව, කෙසේ වුවත්, අනෙක් අතට, මීට වෙනස් ව, විරුද්ධ වශයෙන්, කලින්, මෙතෙක් යනාදියයි. වගන්ති සහ ඡේද සම්බන්ධ කිරීමට මෙම වචන සඵල ලෙස උපකාරී වේ.
5 කෙසේ වෙතත්, මෙම කථික ගුණාංග සාර්ථක කර ගැනීමට එවැනි සරල සම්බන්ධකවලට වඩා යමක් අවශ්‍ය ය. තනි වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් ප්‍රමාණවත් නොවූ විට, ශ්‍රාවකයන් සම්පූර්ණයෙන් ම එක් අදහසකින් තවත් අදහසකට ගෙන යන විධියේ සංක්‍රාන්තියක් අවශ්‍ය වේ. මෙය සම්පූර්ණ වගන්තියක් හෝ වඩා පූර්ණ ලෙස ප්‍රකාශ කරන ලද සංක්‍රාන්තික අදහසක් හෝ විය හැක.
6 මෙවැනි හිඩැස් පිරවිය හැකි එක් ක්‍රමයක් නම් කලින් සඳහන් කළ කරුණ පසු ව සඳහන් කරන්නට යන කරුණේ හැඳින්වීමේ කොටසක් කර ගැනීමයි. බොහෝ විට ගෙයින්-ගෙට සාකච්ඡාවල දී මෙලෙස කරනු ලැබේ.
7 මීට අමතර ව, කථාවක අනුගාමී කරුණු පමණක් නොව, සමහර විට එකිනෙකට පුළුල් ලෙස ඈත් වී ඇති කරුණු පවා එකට බැඳීමට සිදු වේ. නිදසුනක් හැටියට, කථාවක අවසානය එහි හැඳින්වීමත් සමඟ ගැළපිය යුතු ය. සමහර විට කථාවේ ආරම්භයේ දී හඳුන්වා දෙන ලද අදහසක් හෝ උපහැරණයක් පොලඹවන ආකාරයට හෝ එම අදහස හෝ උපහැරණය කථාවේ අරමුණට තවදුරටත් සම්බන්ධ වන ආකාරය හෝ අවසානයේ දී විස්තර කළ හැක. උපහැරණයක හෝ අදහසක යම් ලක්ෂණයක් මෙලෙස නැවත හඳුන්වා දීම සම්බන්ධකයක් හැටියට ක්‍රියා කරන අතර ඒකාබද්ධතාවය තහවුරු කරයි.
8. ඒකාබද්ධතාවය සඳහා සංක්‍රාන්තික භාවිතය කෙරෙහි ශ්‍රාවකයෝ බලපාන්නේ කෙසේ ද?
8 ඔබේ සබයට ප්‍රමාණවත් ඒකාබද්ධතාවය. කොතෙක් දුරට සම්බන්ධක භාවිතා කළ යුතු ද යන්න සෑහෙන ප්‍රමාණයකට තීරණය වන්නේ ඔබේ ශ්‍රාවකයන් මත ය. ඇතැම් ශ්‍රාවකයන්ට සංක්‍රාන්තික පද අවශ්‍ය නැති බව මෙයින් අදහස් නොකෙරේ. ඒ වෙනුවට, එකිනෙකට සම්බන්ධ කිරීමට තිබෙන අදහස් පිළිබඳ ව තමන්ට හුරුවක් නැති නිසා සමහර ශ්‍රාවකයන්ට වැඩිපුර සම්බන්ධක අවශ්‍ය වේ. නිදසුනක් හැටියට, මේ වර්තමාන දුෂ්ට පිළිවෙළේ අවසානය පිළිබඳ ව කියන ශුද්ධ ලියවිලි පදයක් රාජ්‍යය ගැන කථා කරන පදයක් සමඟ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නිරායාසයෙන් සම්බන්ධ කරනු ඇත. එහෙත් රාජ්‍යය මනසේ හෝ හෘදයේ ස්වභාවයක් හැටියට සලකන කෙනෙකුට, මෙම සම්බන්ධය පහසුවෙන් නොවැටහෙන අතර, එම සම්බන්ධය පැහැදිලි කර දීම සඳහා යම් සංක්‍රාන්තික අදහසක් හඳුන්වා දීමට සිදු වේ. අපේ ගෙයින්-ගෙට සේවයේ දී මෙවැනි හරි ගැස්වීම් නිතර ම කිරීමට සිදු වේ.
**********
9-13. තර්කානුකූල වර්ධනය යනු කුමක් ද, තව ද, තර්කයක් වර්ධනය කළ හැකි මූලික ක්‍රම දෙක මොනවා ද?
9 කථාවකට තවත් කිට්ටු සම්බන්ධ ලක්ෂණයක් නම්, “තර්කානුකූල භාවය ඒකාබද්ධ වර්ධනය.” මෙයත් උපදෙස් පත්‍රිකාවට ඇතුළත් කර ඇත. මෙය සිත් ගන්නා සුලු කථාවක මූලික අවශ්‍යතාවයකි.
10 තර්ක ශාස්ත්‍රය යනු කුමක් ද? අපේ අරමුණ සඳහා තර්ක ශාස්ත්‍රය යනු හරි චින්තනය හෝ නිවැරදි විතර්කය පිළිබඳ විද්‍යාව යයි කිව හැක. විෂයක එකට සම්බන්ධ කොටස් පැහැදිලි කිරීමේ මාධ්‍යයක් වන නිසා එය වැටහීම ලබා දෙයි. ඒවා එකට ක්‍රියා කරන්නෙත් එකිනෙකට අයිති වන්නෙත් ඇයි දැයි තර්ක විද්‍යාව පෙන්වා දෙයි. සියලු ම කොටස් අනුපිළිවෙළින් එක්සත් වී ඇති ආකාරයට ක්‍රමානුකූල වැඩීමක් විතර්කය අනුගමනය කරයි නම්, වර්ධනය ඒකාබද්ධ යයි කිව හැක. තර්කානුකූල වර්ධනයක් ලබා ගත හැකි විධි කිහිපයක් නම් කරුණුවල වැදගත්කම අනුව ගොනු කිරීම, කාල නිර්ණය අනුපිළිවෙළින් දැක්වීම හෝ ගැටලුවෙන් විසඳුමට යාම යනාදියයි.
11 තර්කයක් වර්ධනය කිරීමේ දී මූලික ක්‍රම දෙකක් අනුගමනය කළ හැක. (1) සත්‍යය ඍජු ලෙස සබය ඉදිරියේ තබා එය සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කරන්න. (2) යම් වැරදි මතයකට පහර දෙන්න, එය නිෂ්ප්‍රභා කළ විට, ඉතිරි වන සත්‍යය තරයේ ප්‍රකාශ වේ. ඉන් පසු කිරීමට ඉතිරි වන්නේ සාකච්ඡාවට භාජනය වන සත්‍යයන්හි අදාළත්වය පෙන්වා දීමයි.
12 කථිකයන් දෙදෙනෙක් කිසි විටෙක එක විධියට ම තර්ක කරන්නේ නැත. ශුභාරංචි හතර ලිවීම එක ම විෂයක් විවිධ කෝණවලින් ඉදිරිපත් කිරීම පිළිබඳ පරිපූර්ණ නිදසුනකි. යේසුස් වහන්සේගේ ගෝලයන් හතර දෙනෙක් උන් වහන්සේගේ මෙහෙය පිළිබඳ ස්වාධීන වාර්තා ලීවෝ ය. එක් කෙනෙක් අනෙක් කෙනාට වෙනස් වුවත්, සියල්ලෝ ම විමර්ශනයෙන් යුක්ත ව සහ තර්කානුකූල ව ලියූහ. එක් එක්කෙනා කරුණු වර්ධනය කළේ සුවිශේෂ අරමුණක් ඉටු කිරීමට ය, එකිනෙකාගේ මේ ප්‍රයත්නය සාර්ථක විය.
13 මේ සම්බන්ධයෙන් උපදේශකයා ඔබගේ අරමුණ හඳුනා ගෙන එම අරමුණ ඉටු වූවාද නැද්ද යන පදනම මත ඔබේ චින්තන රටාව ඇගැයීමට වෑයම් කළ යුතු ය. ඔබේ අරමුණ පැහැදිලි කිරීමෙන් ඔහුටත්, ඔබේ ශ්‍රාවකයන්ටත් සහාය වීමට ඔබට හැකි වනු ඇත, සුවිශේෂ ලෙස ඔබට මෙය කළ හැක්කේ ඔබ කරුණු ඉදිරිපත් කරන විලාසයෙනුත්, අවසානයේ දී ඒවා අදාළ වන ආකාරය පෙන්වා දෙන විධියෙනුත් ය.
14, 15. කරුණු සාධාරණ පිළිවෙළට තිබීම වැදගත් වන්නේ ඇයි දැයි පෙන්වා දෙන්න.
14 කරුණු සාධාරණ පිළිවෙළකට ඉදිරිපත් කිරීම. ප්‍රථමයෙන් ම, ඔබේ කරුණු හෝ කටු සටහන සංවිධානය කිරීමේ දී, මූලික පදනමකින් තොර ව කිසි ම අදහසක් ඉදිරිපත් නොකිරීමට වග බලා ගන්න. මෙම ප්‍රශ්න ඔබගෙන් ම අසන්න: ඊළඟට කිව යුතු ස්වාභාවික දෙය කුමක් ද? මෙතෙක් දුර පැමිණීමෙන් පසු, ඊළඟට ඇසිය හැකි තර්කානුකූල ප්‍රශ්නය කුමක් ද? මෙම ප්‍රශ්නය හඳුනා ගැනීමෙන් පසු, එයට පිළිතුරු සපයන්න. “ඔබ දැනටමත් කී දෙයින් මේ කාරණය මෙසේ විය යුතු බව මට පෙනෙනවා” යයි කීමට ඔබේ සබයට හැකි විය යුතු ය. පදනමක් යොදා නැත්නම්, කරුණ තර්කානුකූල අනුපිළිවෙළකින් තොර බව සාමාන්‍යයෙන් සලකනු ලැබේ. යම් කිසි දෙයක ඌනතාවයක් ඇත.
15 ඔබේ කරුණු පිළියෙළ කිරීමේ දී ස්වාභාවික ලෙස එකිනෙකට සම්බන්ධ කොටස් ගැන ඔබ සැලකිය යුතු ය. එවැනි කොටස්වල සම්බන්ධතාවය තේරුම් ගෙන ඒ අනුව ඒවා සැකසීමට ඔබ වෑයම් කළ යුතු ය. එය තරමක් දුරට ගෙයක් ගොඩනැගීමකට සමාන ය. අත්තිවාරමක් නොදමා බිත්ති ඉදිකිරීමට කිසි ම ගොඩනැගිලි ශිල්පියෙක් වෑයම් නොකරයි. එමෙන් ම ඔහු ජලනල සවි කරන්නේ බිත්ති කපරාදු කළායින් පසු ව නොවේ. කථාව ගොඩ නැගීමේදීත් තත්ත්වය එසේ ම විය යුතු ය. එක් එක් කොටස ස්ථිර සංක්ෂිප්ත සමස්තයක් ගොඩ නැගීමට දායක විය යුතු ය. එක් එක් කොටස නිසි තැන තිබිය යුතු ය. එක් එක් කොටස කලින් සඳහන් කළ කොටසට එකතුවක් විය යුතු අතර, මතුවට පැමිණෙන්නට තිබෙන කොටස්වලට මඟ පෑදීමක් විය යුතු ය. ඔබේ කථාවේ කරුණු ඉදිරිපත් කරන පිළිවෙළට නිතර ම හේතුවක් තිබිය යුතු ය.
16-20. තමාගේ කථාව තුළ උචිත කරුණු පමණක් තිබෙන බවට කෙනෙකුට ස්ථිර විය හැක්කේ කෙසේ ද?
16 උචිත කරුණු පමණක් භාවිතා කිරීම. ඔබ භාවිතා කරන සෑම කරුණක් ම කථාවට ස්ථිර ලෙස සම්බන්ධ විය යුතු ය. එසේ නොවුවහොත්, එය සම්බන්ධයක් නැති, නොගැළපෙන උචිත නොවන කරුණක් වනු ඇත; එය සාකච්ඡා කරනු ලබන මාතෘකාව කෙරෙහි බල නොපාන කරුණක් වනු ඇත.
17 කෙසේ වුවත්, කරුණක් සාර්ථක ලෙස ගළපා ඇත්නම්, එය බාහිර පෙනුමට සම්බන්ධ නැති ලෙස පෙනුණත්, එය උචිත දෙයක් නොවන හැටියට ඔබේ උපදේශකයා අත්තනෝමතික ව තීරණය නොකරනු ඇත. සමහර විට, සුවිශේෂ අරමුණක් සඳහා එවැනි කරුණක් ඔබ තෝරා ගත්තා විය හැකි ය. ඉතින් එය තේමාවට ගැළපේ නම්, එය කථාවේ කොටසක් කර ඇත්නම්, එය තර්කානුකූල අනුපිළිවෙළින් ඉදිරිපත් කර ඇත්නම්, ඔබේ උපදේශකයා එය භාර ගනු ඇත.
18 ඔබේ කථාව සූදානම් කරද්දී, උචිත නොවන කරුණු ඉක්මනින් සහ පහසුවෙන් හඳුනා ගත හැක්කේ කෙසේ ද? විෂය බද්ධ කටු සටහනක් ඉතා සඵල ලෙස උපයෝගි වන්නේ මෙහි දී ය. මෙය ඔබේ තොරතුරු වර්ග කිරීමට සහාය වේ. කාඩ් පත් හෝ ඊට සමාන දෙයක් භාවිතා කිරීමට වෑයම් කරන්න. සියලු ම සම්බන්ධ කරුණු එක් එක් කාඩ් පතට ඇතුළත් කරන්න. දැන් සාමාන්‍යයෙන් ඉදිරිපත් කළ යුතු යයි ඔබ සිතන ස්වාභාවික අනුපිළිවෙළින් මෙම කාඩ් පත් නැවත සකස් කරන්න. මෙය විෂයට පිවිසෙන ආකාරය තීරණය කිරීමට ආධාර වනවා පමණක් නොව, තේමාවට අදාළ නැති ඕනෑ ම දෙයක් හඳුනා ගැනීමට ද උපකාර වේ. තර්කයට අවශ්‍ය ම නම්, අනුපිළිවෙළට නොගැළපෙන කරුණු ගැළපෙන විධියට සකස් කර ගත යුතු ය. එහෙත් ඒවා අවශ්‍ය නැත්නම්, තේමාවට අදාළ නොවන බව සලකා ඉවත් කළ යුතු ය.
19 මේ කරුණුවලින් පෙනී යන්නේ, තමන්ගේ සබය සහ අරමුණ සලකා ගෙන ඔබ කථාව සඳහා තෝරා ගන්නා තේමාව, කරුණක උචිත බව පාලනය කරන බවයි. ඔබේ ශ්‍රාවකයන්ගේ පසුබිම අනුව ඇතැම් අවස්ථාවල දී එක්තරා කරුණක් ඔබේ අරමුණ ඉටු කිරීමට අත්‍යවශ්‍ය එකක් විය හැක. ඒ අතර ම, වෙනත් ශ්‍රාවක පිරිසක් හෝ තේමාවක් සම්බන්ධයෙන් එය අනවශ්‍ය හෝ සම්පූර්ණයෙන් ම උචිත නොවන එකක් විය හැක.
20 මේ නිසා, ඔබේ පැවරුමට කොපමණ කරුණු ප්‍රමාණයක් ඇතුළත් කළ යුතු ද? ඔබේ පැවරුමට ඇතුළත් වී තිබිය හැකි සෑම කරුණක් ම ආවරණය කිරීමට යෑම නිසා තර්කානුකූල භාවය සහ ඒකාබද්ධතාවය පරිත්‍යාග නොකළ යුතු ය. එසේ වුවත් සිය කථා පාසල් විධිවිධානයෙහි උපදේශාත්මක කොටසක් වන නිසා ප්‍රායෝගික ලෙස ඇතුළත් කළ හැකි බොහොමයක් කරුණු අඩංගු වන විධියේ පසුබිමක් තෝරා ගැනීම වඩා හොඳ ය. කෙසේ වෙතත්, ඔබේ තේමාව වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය ප්‍රධාන කරුණු වශයෙන් සලකන අදහස් අත්හැරිය නොහැක.
21. ප්‍රධාන අදහස් එකක්වත් අත් නොහැරීම ඉතා වැදගත් වන්නේ මන්ද?
21 ප්‍රධාන අදහස් අත් නොහැරීම. අදහසක් ප්‍රධාන අදහසක් ද නැද්ද කියා ඔබ දන්නේ කෙසේ ද? එය නැතුව ඔබේ කථාවේ අරමුණ ඉටු කළ නොහැකි නම්, එය අත්‍යවශ්‍ය ය. තර්කානුකූල ඒකාබද්ධ වර්ධනය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සැබෑ ය. නිදසුනක් හැටියට, කොන්ත්‍රාත්කරුවෙක් ඔබට පියගැට පෙළක් නැති දෙමහල් නිවසක් සාදා දුන්නොත් ඔබට කෙසේ කටයුතු කළ හැකි ද? මේ අන්දමට, ඇතැම් අත්‍යවශ්‍ය කරුණු අත් හරිනු ලැබූ කථාවක් කිසිසේත් ම තර්කානුකූල සහ ඒකාබද්ධ ලෙස වර්ධනය කළ එකක් විය නොහැක. එහි යම් අඩු පාඩුවක් තිබෙන අතර ශ්‍රාවකයන්ගෙන් සමහර දෙනෙක් ඔබට අහිමි වනු ඇත. එහෙත් කථාවක් ඒකාබද්ධ ලෙසත් තර්කානුකූල ලෙසත් වර්ධනය කරනු ලැබූ විට එවැන්නක් සිදු නොවේ.