පාඩම 26
තොරතුරු තර්කානුකූලව ගොඩනැංවීම
තොරතුරු තර්කානුකූලව පෙළගැස්වීමට පෙර, ඔබේ මනසෙහි පැහැදිලි පරමාර්ථයක් තිබිය යුතුය. ඔබේ පරමාර්ථය අන් අයට එක්තරා විෂයක් එනම්, විශ්වාසයක්, ආකල්පයක්, ගුණාංගයක්, මිනිසුන් හැසිරෙන එක්තරා ක්‍රමයක් හෝ ජීවත් වන ආකාරයක් ගැන තොරතුරු කිහිපයක් ලබා දීමද? එක්තරා අදහසක් නිවැරදි හෝ වැරදි බව ඔප්පු කිරීම ඔබේ අභිප්‍රායද? ඔබ ඉලක්ක කරමින් සිටින්නේ යම් දෙයක් සම්බන්ධයෙන් අගයක් ගොඩනැංවීමටද? ඔබ උත්සාහ කරන්නේ සබය ක්‍රියාවට පෙලඹවීමටද? ඔබේ තොරතුරු ඉදිරිපත් කරන්නේ පුද්ගලයෙකුට හෝ වඩා විශාල සබයකට හෝ වේවා, එය දක්ෂ ලෙස කිරීමට නම් ඔබ දැනටමත් එම විෂය ගැන දන්නා දේ සහ ඒ සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය කුමක්ද යන්න සලකා බැලිය යුතුය. ඉන්පසු, ඔබේ පරමාර්ථය ඉටු කරගැනීමට උපකාරවත් වන අන්දමකින් ඔබේ තොරතුරු පෙළගස්වන්න.
සාවුල් (පාවුල්) දමස්කයේ සිදු කළ සේවය සම්බන්ධයෙන් ක්‍රියා 9:22 [න. අ.] වාර්තා කරන්නේ ඔහු “ජේසුස්, ක්‍රිස්තුස්ම යයි [තර්කානුකූලව, NW] ඔප්පු කරමින් දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර” කළ බවය. තර්කානුකූලව ඔප්පු කළ ඒ දේවලට ඇතුළත් වූයේ කුමක්ද? පාවුල් පසුව අන්තියෝකියෙහි සහ තෙසලෝනිකයෙහි සේවය කළ ආකාරය පිළිබඳ වාර්තාවෙන් අපට යමක් උගත හැකිය. මුලින්ම ඔහු යුදෙව්වන් හෙබ්‍රෙව් ලියවිලි පිළිගන්නවා යන කාරණයත්, එම ලියවිලිවල මෙසියස් සම්බන්ධයෙන් පවසන දේ ඔවුන් විශ්වාස කරනවා යන කාරණයත් අඩිතාලමක් ලෙස යොදාගෙන තම තර්කයන් ගොඩනැඟීය. ඊළඟට පාවුල් මෙසියස්ගේ ජීවිතය හා දේවසේවය ගැන සාකච්ඡා කළ කොටස් ශුද්ධ ලියවිල්ලෙන්ම තෝරාගත්තේය. ඔහු මුලින්ම මේවායින් උපුටා දැක්වූ අතර අනතුරුව යේසුස් සම්බන්ධයෙන් ඇත්තෙන්ම සිදු වූ දේවල් හා සැසඳීය. අවසාන වශයෙන්, ඔහු ඉතා පැහැදිලි නිගමනයකට එළඹීය. එනම් යේසුස් යනු ක්‍රිස්තුස් නොහොත් මෙසියස් බවයි. (ක්‍රියා 13:16-41; 17:2, 3) ඔබත් බයිබලයේ සත්‍යතා තර්කානුකූලව ඉදිරිපත් කිරීමට උත්සාහ දරනවා නම් එය අනුන්ගේ සිත්වලට ඒත්තුගැන්විය හැක.
ඉදිරිපත් කිරීම නිසි ලෙස පෙළගැස්වීම. තර්කානුකූලයයි සැලකිය හැකි ක්‍රම කිහිපයකින්ම තොරතුරු පෙළගැස්විය හැක. යම් ප්‍රයෝජනයක් තිබේයයි ඔබට පෙනේ නම්, ක්‍රම කිහිපයක් එකට භාවිත කරන්නටද පුළුවන. විකල්ප කිහිපයක් සලකා බලමු.
තොරතුරු කරුණු වශයෙන් පෙළගැස්වීම. මේ සඳහා ඔබේ තොරතුරු වෙන වෙනම කාණ්ඩවලට බෙදිය යුතුය. ඔබේ පරමාර්ථය ඉටු කරගැනීමට ඒ සෑම කාණ්ඩයකින්ම යම් දායකත්වයක් තිබිය යුතුය. සමහරවිට එම කාණ්ඩ සෑදීමට ඔබේ විෂයේ ප්‍රධාන තැනක් උසුලන මූලික කරුණු යොදාගත හැක. එසේ නැතහොත් එලෙස කාණ්ඩ ගත කළ හැක්කේ යම්කිසි දෙයක් නිවැරදි හෝ වැරදි බව ඔප්පු කිරීමට ඉවහල් වන නිශ්චිත තර්ක කිහිපයකි. ඇතැම් කරුණු විෂයට සම්බන්ධ වුවත්, ඒවා කතාවට එකතු කිරීමට හෝ ඉන් ඉවත් කිරීමට ඔබට තීරණය කරන්නට පුළුවන. එම තීරණයට ඔබේ සබය හෝ ඔබේ පරමාර්ථය බලපායි.
තොරතුරු කරුණු වශයෙන් පෙළගැස්වීමට උදාහරණයක් සලකා බලන්න. දෙවිගේ නාමය පිළිබඳ කෙටි ඉදිරිපත් කිරීමක මෙවැනි දේවල් ඇතුළත් කළ හැකිය: (1) දෙවිව නමින්ම හඳුනාගැනීම වැදගත් වීමට හේතුව, (2) දෙවිගේ නාමය කුමක්ද යන්න සහ (3) අපට එම නාමය ගෞරවයට පත් කළ හැක්කේ කෙසේද යන්න.
නිවාස බයිබල් පාඩම්වලදී භාවිතය සඳහා “විශ්වාස වූ නුවණ ඇති දාසයා” මගින් සැලසුම් කර ඇති ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් තොරතුරු කරුණු වශයෙන් පෙළගැස්වීමේ ක්‍රමය ගැන සෑහෙන අවබෝධයක් ලබාගත හැකිය. (මතෙ. 24:45) මෙම ප්‍රකාශනවල සාමාන්‍යයෙන් කරුණු නැතහොත් විෂයන් කිහිපයක් ඇතුළත් කර ඇත. ඒවා, මූලික බයිබල් සත්‍යයන් පිළිබඳව සමස්ත අදහසක් ලබාගැනීමට ශිෂ්‍යයන්ට උපකාරවත් විය හැක. පොත් වැනි ප්‍රමාණයෙන් විශාල ප්‍රකාශනවල පරිච්ඡේදයක් බෙදීමට උපමාතෘකා භාවිත කර ඇත. ඒ සෑම උපමාතෘකාවක් යටතේ ඉදිරිපත් කර ඇති තොරතුරු ඊළඟට තිබෙන තොරතුරුවලට අඩිතාලමක් සපයමින් ඒවා සඳහා ශිෂ්‍යයාගේ මනස සූදානම් කරවයි. අනික් අතට ප්‍රධාන විෂය පිළිබඳ සමස්ත අදහසක් ලබාගැනීමටද ඒවා උපකාර වේ.
හේතුව සහ ඵලය. තොරතුරු තර්කානුකූලව ඉදිරිපත් කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ යමකට හේතුව හා අනතුරුව අත් වන ඵලය තර්කානුකූලව ගෙනහැර දැක්වීමය.
තමන් කරමින් සිටින දෙයක හෝ කිරීමට අදහස් කරමින් සිටින දෙයක ප්‍රතිඵලය වඩාත් විමසිලිමත්ව සෝදිසි කළ යුතු කණ්ඩායමකට හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුට ඔබ කතා කරමින් සිටිනවා නම්, මෙම එළඹීමෙන් ප්‍රතිඵල ලැබිය හැක. මේ සම්බන්ධයෙන් හිතෝපදේශ 7වන පරිච්ඡේදයෙහි සුවිශේෂ උදාහරණයක් ඇත. “හෘදයේ අඩුවක්” (හේතුව) ඇති අද්දැකීම් අඩු තරුණයෙකු ගැන එය ඉතා පැහැදිලි විස්තරයක් ලබා දෙයි. මෙම තරුණයා ගණිකාවකගේ මායම්වලට හසු වී ඉතා තික්ත ප්‍රතිඵල (ඵලය) අද්දකියි.—හිතෝ. 7:7, NW.
යමක් ප්‍රබල ලෙස අවධාරණය කිරීම සඳහා, යෙහෝවාගේ මාර්ගවල ගමන් කිරීමට අපොහොසත් වන අය අද්දකින නපුරු ප්‍රතිඵල සහ යෙහෝවාට සවන් දෙන අය අද්දකින යහපත් ප්‍රතිඵල අතර වෙනස දැක්වීමටද ඔබට පුළුවන. යෙහෝවාගේ ආත්මයෙන් පොලඹවනු ලැබූ මෝසෙස් ඉශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශයට ඇතුල් වන්නට කලින් ඔවුන්ට කතා කළ විට එවැනිම දෙයක් කළේය.—ද්වි. 28 පරි.
සමහර අවස්ථාවලදී එක්තරා තත්වයක් (හේතුව) හඳුන්වා දී, අනතුරුව ඊට දායක වන හේතුසාධක (ඵලය) පෙන්වීමට සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් ඔබේ සාකච්ඡාව ඇරඹීම යහපති. මේ සඳහා බොහෝ දුරට පැන විසඳුම් ක්‍රමය යොදාගත හැකිය.
පැන විසඳුම් ක්‍රමය. ක්ෂේත්‍ර සේවයේදී ජනයාගේ සැලකිල්ලට භාජන වී ඇති ගැටලුවක් සාකච්ඡා කර ඊළඟට සතුටුදායක විසඳුමක් ඇති බව පෙන්නුම් කරන විට, පුද්ගලයන් සවන් දීමට උනන්දුවක් දැක්විය හැක. සමහරවිට ඒ ගැටලුව ඔබ ඉස්මතු කරන්නක් විය හැක. එසේ නැතහොත් ඔබ සමඟ කතා කරන පුද්ගලයාගේ ගැටලුවක් වන්නට පුළුවන.
මිනිසුන් මහලු වී මියයෑමට හේතුව, අපරාධ හාත්පස පැතිර පැවතීමට හේතුව නැතහොත් අයුක්තිය සෑම තැනකම දැකගැනීමට හේතුව වැනි ගැටලුවක් ඉස්මතු විය හැක. එවැනි ගැටලුවක් තිබෙන බව ගෙනහැර දැක්වීමට දීර්ඝ සාකච්ඡාවක් කිරීම අනවශ්‍යය. මන්ද එවැන්නක් පවතින බව කාටත් පැහැදිලිය. සරලම දේ නම්, ගැටලුව සඳහන් කර බයිබලයෙහි දක්වා ඇති විසඳුම විස්තර කිරීමයි.
අනික් අතට, ඇතැම් ගැටලු ඉතා පෞද්ගලික ඒවා විය හැක. තනි දෙමාපියෙකු මුහුණ දෙන අභියෝගයන්, බරපතළ අසනීපයක් නිසා ඇති වන අධෛර්යය, එසේ නැතහොත් වෙනත් පුද්ගලයෙකු අතින් විඳීමට සිදු වන හිරිහැර නිසා පුද්ගලයෙකුට අද්දැකීමට සිදු වන දුෂ්කරතා මේ අතර වේ. මෙහිදී උපරිම යහපතක් සිදු කිරීමට නම් ඔබ මුලින්ම හොඳ සවන්දෙන්නෙකු විය යුතුය. මෙවැනි ගැටලු සියල්ල සම්බන්ධයෙන් වටිනා තොරතුරු බයිබලයෙන් උකහා ගත හැකිය. එනමුත් එවන් තොරතුරු භාවිත කළ යුත්තේ විචාර බුද්ධිය පාවිච්චි කරමිනි. ඔබේ සාකච්ඡාව අනික් පුද්ගලයාට ඇත්තෙන්ම ප්‍රයෝජනයක් වීමට නම්, ඔබ යථාර්ථවාදී විය යුතුය. ඔබ සාකච්ඡා කරමින් සිටින්නේ ස්ථිරසාර විසඳුමක් ගැනද, කෙටි-කාලීන සහනයක් ගැනද නැතහොත් දැන් පවතින ක්‍රමයේ වෙනස් නොවන තත්වයක් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න ගැනද කියා පැහැදිලි කරන්න. වෙනත් වචනවලින් කිවහොත්, ඔබ ශුද්ධ ලියවිල්ලෙන් ඉදිරිපත් කරන තර්ක එයින් ලබාගන්නා නිගමනයට ප්‍රමාණවත් සාක්ෂි සපයනවාද යන්න සහතික කරගන්න. එසේ නොකළහොත්, ඔබ පෙන්නුම් කරන විසඳුමෙහි කිසිදු හරයක් නොමැති බව අනික් පුද්ගලයාට දැනිය හැක.
තොරතුරු කාලානුක්‍රමණිකව පෙළගැස්වීම. ඇතැම් තොරතුරු කාලානුක්‍රමණිකව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබේ. නිදසුනකට, නික්මයාම පොතේ පීඩා දසය ඉදිරිපත් කර ඇත්තේ ඒවා සිදු වූ අනුපිළිවෙළටය. හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයෙහි ප්‍රේරිත පාවුල් සඳහන් කළ ආදර්ශවත් ඇදහිල්ලකින් යුතු පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව ලැයිස්තුගත කර ඇත්තේ කාලානුක්‍රමණිකවය.
අතීතයේ සිදු වූ දේවල් කාලානුක්‍රමණික අන්දමකින් විස්තර කරනවා නම්, ඇතැම් තත්වයන් උද්ගත වූයේ කෙසේදැයි තේරුම්ගැනීමට ඔබේ සබයට හැකියාවක් ලැබේවි. මෙය නවීන ඉතිහාසයට මෙන්ම බයිබල් කාලවල සිදු වූ දේවලටද අදාළය. මෙලෙස ඔබට සිද්ධීන් කාලානුක්‍රමණිකව පෙළගැස්වීමේ ක්‍රමය සමඟ හේතුව සහ ඵලය ඉදිරිපත් කර තර්ක කිරීම මිශ්‍ර කොට භාවිත කරන්නට පුළුවන. බයිබලයෙහි සඳහන් අනාගතයේදී සිදුවීමට නියමිත දේවල් විස්තර කිරීම ඔබේ අභිප්‍රාය නම්, ඔබේ සබයට ග්‍රහණය කරගැනීමට සහ මතක තබාගැනීමට ඇතැම්විට වඩාත්ම පහසු ක්‍රමය වන්නේ කාලානුක්‍රමණික ඉදිරිපත් කිරීමකි.
කාලානුක්‍රමණික එළඹීමක් භාවිත කිරීම යන්නෙන් අදහස් වන්නේ ඔබ සෑම විටම යමක මුලට ගොස් ආරම්භ විය යුතු බව නොවේ. ඇතැම් අවස්ථාවලදී, කතාවේ ඉතා හැඟීම් දනවන අවස්ථාවකදී අනුපිළිවෙළින් තොරතුරු විස්තර කිරීමට පටන්ගත හැක. නිදසුනකට, අද්දැකීමක් විස්තර කරන විට දෙවි කෙරෙහි පුද්ගලයෙකුගේ අඛණ්ඩතාව පරීක්ෂාවට ලක් වූ අවස්ථාවක් ගැන මුලින්ම කීමට ඔබ තීරණය කරන්නට පුළුවන. එමගින් යම් උනන්දුවක් ජනිත කරවීමෙන් පසුව, එම සිද්ධියට මඟ පෑදූ තොරතුරු ඔබට ඒවා සිදු වූ අනුපිළිවෙළට අනුව විස්තර කළ හැකිය.
අදාළ තොරතුරු පමණක් භාවිත කිරීම. ඔබේ තොරතුරු කවර අන්දමකින් පෙළගැස්වුවද, අදාළ තොරතුරු පමණක් භාවිත කිරීම ගැන සැලකිලිමත් විය යුතුය. තෝරාගන්නා තොරතුරුවලට බලපාන එක දෙයක් නම් ඔබේ කතාවේ තේමාවයි. ඔබේ සබයේ සිටින්නේ කවර අයද යන්නත් සැලකිල්ලට ගැනීම අවශ්‍යය. එක්තරා සබයකට නිශ්චිත කරුණක් අතිශයින් වැදගත් විය හැක. එසේ නමුත්, වෙනත් කණ්ඩායමකට එය නොවැදගත් වන්නට පුළුවන. එමනිසා ඔබ සතු තොරතුරු සියල්ල ඔබේ පරමාර්ථය ඉටු කරගැනීමට දායක වන බවට සහතික විය යුතුය. එසේ නොකළොත්, ඔබේ ඉදිරිපත් කිරීම සිත්ගන්නක් විය හැකි වුවත්, ඉන් එතරම් ප්‍රතිඵල නෙළාගත නොහැකි වේ.
පර්යේෂණ කරන විට ඔබේ විෂයට සම්බන්ධ සිත්ගන්නා තොරතුරු රැසක් සොයාගැනීමට ඉඩ තිබේ. එයින් ඔබ භාවිත කළ යුත්තේ කොතරම් ප්‍රමාණයක්ද? ඔබේ සබයට දරාගත නොහැකි තොරතුරු සම්භාරයක් ඉදිරිපත් කළහොත්, ඔබේ අරමුණ අසාර්ථක විය හැක. අදහස් සම්භාරයක් ඉක්මනට ඉක්මනට ඉදිරිපත් කරනවා වෙනුවට හොඳින් ගොඩනඟන ලද ප්‍රධාන අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් ඒවා මතක තබාගැනීමට වඩාත් පහසු කරවයි. මින් අදහස් කරන්නේ සිත්ගන්නා අමතර කරුණු ඇතුළත් නොකළ යුතු බව නොවේ. එනමුත් ඒවා මගින් ඔබේ පරමාර්ථය බොඳ කිරීමට ඉඩ දෙන්න එපා. බයිබලයෙහි මාර්ක් 7:3, 4 සහ යොහන් 4:1-3, 7-9හි ඥානවන්තව එවැනි අමතර කරුණු ඇතුළත් කළ ආකාරය සැලකිල්ලට ගන්න.
එක කරුණක සිට තවෙකක් ගැන කතා කිරීමට යද්දී, සබය ක්‍රමානුකූලව ගොඩනඟා ඇති සිතුවිලි රටාවට බාධා වන ආකාරයකින් එය නොකරන්න. අදහස් කිහිපයක් දක්ෂ ලෙස එකට ක්‍රියාත්මක වීම සඳහා එක අදහසක සිට තවෙකක් දක්වා කතා කිරීමට යද්දී යම් සම්බන්ධයක් ගොඩනැඟීමට සිදු විය හැක. මෙම සම්බන්ධය යම්කිසි යෙදුමක් වන්නට පුළුවන. එසේ නැතහොත් අදහස් දෙක අතර ඇති සම්බන්ධය පෙන්නුම් කරන සම්පූර්ණ වාක්‍යයක් විය හැක. භාෂා බොහොමයක අලුත් අදහස් කලින් එකට සම්බන්ධ වූ ආකාරය පෙන්නුම් කිරීමට සම්බන්ධයක් දක්වන සරල වචන හෝ යෙදුම් පහසුවෙන් භාවිත කරන්නට පුළුවන.
ඔබේ පරමාර්ථය ඉටු කරගැනීමට හැකි වන්නේ අදාළ තොරතුරු පමණක් භාවිත කිරීමත්, එම තොරතුරු තර්කානුකූල අනුපිළිවෙළකට පෙළගැස්වීමත් මගින්ය.