35 පාඩම
ක්ෂේත්‍ර සේවය සඳහා කරුණු සකස් කර ගැනීම
1-3. අපේ කරුණු ක්ෂේත්‍ර සේවයට සකස් කර ගැනීමට ඉගෙන ගැනීම වටින්නේ කුමක් නිසා ද?
1 බයිබලය පිළිබඳ ව ඉතා අල්ප වශයෙන් දන්නා පුද්ගලයන්ට දේව වචනය දේශනා කිරීම සහ ඉගැන්වීම ක්‍රිස්තියානි සේවකයන් වන අපේ කාර්යයේ ප්‍රධාන කොටසක් වේ. මොවුන් සමහරෙක් කිසි විටෙකත් බයිබලයට හිමිකම් කියා නැත; වෙනත් අයගේ පිටපත පොත් රාක්කයට පමණක් සීමා වී ඇත. අප කියන දෙයින් ඔවුන්ට උපරිම ප්‍රයෝජන ලැබීමට නම්, ඔවුන්ගේ තත්ත්වයන්ට අනුව අප එය සකස් කළ යුතු බව මෙයින් අදහස් වෙයි. අප පණිවුඩය වෙනස් කරනවා නොවේ, නමුත් ඔවුන්ට වැටහෙන භාෂාවෙන් එය ප්‍රකාශ කිරීමට අපි විශේෂ ප්‍රයත්නයක් දරමු. ඇත්ත වශයෙන් ම, අපගේ කරුණු මෙසේ සකස් කර ගැනීමට සිදු වීම අප ම මෙය කොතරම් පූර්ණ ලෙස වටහා ගෙන ඇද්ද යන්නට පරීක්ෂණයකි.
2 සකස් වනවා යන්නෙන් අදහස් වන්නේ නව තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අලුතෙන් හැඩ ගැසීම, අනුකූල වීම යන්නයි. තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ තෘප්තියට යමක් එකඟ කිරීම ද එයින් අදහස් වෙයි. විශේෂ අසන්නන් පිරිසකට, එනම් විශේෂයෙන් ක්ෂේත්‍ර සේවයේ අලුතෙන් උනන්දුව දැක් වූ පිරිසකට සරල සහ වටහා ගැනීමට පහසු අන්දමේ ක්ෂේත්‍ර සේවා ඉදිරිපත් කිරීම හෝ වෙන යම් කථාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය, ක්ෂේත්‍ර සේවය සඳහා කරුණු සකස් කිරීම පිළිබඳ ව සැලකිලිමත් වීමේ දී අවධාරණය කළ යුතු ය. ඒ නිසා, පාසලේ දී මෙම ගුණාංගය පුහුණු වන විට, ඔබ අසන්නන් ව සැලකිය යුත්තේ ගෙයින්-ගෙට සාක්ෂි දැරීමේ දී ඔබට මුණ ගැසෙන පුද්ගලයන් මෙන් ය.
3 ඔබ මේ ගුණාංගය පුහුණු වන විට ඔබේ කථාව ගෙයින්-ගෙට ඉදිරිපත් කිරීමේ ස්වරූපයක් දැරිය යුතු බවට මෙයින් අදහස් කරන්නේ නැත. ස්වරූපය සහ ඉදිරිපත් කිරීමේ විලාසය අතින් සියලු ම කථා පාසල සඳහා දැනට ව්‍යවහාර වන උපදෙස්වලට අනුකූල විය යුතු ය. ඇත්ත වශයෙන් ම එයින් අදහස් කරන්නේ, ඔබේ ඉදිරිපත් කිරීම කුමන වර්ගයක් වුවත්, ඔබ ඉදිරිපත් කරන තර්ක සහ උපයෝගි කරන භාෂාව ක්ෂේත්‍රයේ මුණ ගැසෙන පුද්ගලයන්ට උපයෝගි කරන විලාසයට සමාන වන බවයි. අපේ කථාවෙන් වැඩි හරියක් ම කෙරෙන්නේ ක්ෂේත්‍ර සේවයේ දී නිසා, ක්ෂේත්‍ර සේවයේ මුණ ගැසෙන බොහෝ පුද්ගලයන්ට වටහා ගත හැකි මට්ටමින් සරල ලෙස කථා කිරීමේ අවශ්‍යතාවය ගැන සුපරීක්ෂාකාරී වීමට, මෙය ඔබට උපකාර විය යුතු ය. මේ ගුණාංගය සඳහා යම් පමණක සූදානමක් ඔබට 21වන පාඩමෙන් ලැබී ඇත. එහි කැපී පෙනෙන අවශ්‍යතාවය සහ වැදගත්කම නිසා දැන් එය වෙන ම සලකනු ලැබේ.
4, 5. අපේ ප්‍රකාශ මහජනයාට වැටහීමට සැලැස්විය යුත්තේ මන්දැයි පැහැදිලි කරන්න.
4 මහජනයා සඳහා ප්‍රකාශයන් වැටහීමට සැලැස්වීම. නව පාඩම්වල දී සහ ගෙයින්-ගෙට සේවයේ දී ඇතැම් සහෝදරයන් උපයෝගි කරන ප්‍රකාශයන් මෙම ගුණාංගයේ අවශ්‍යතාවය ප්‍රදර්ශනය කරයි. ශුද්ධ ලියවිලි පිළිබඳ අපේ වැටහීම පොදුවේ නොදත් වාග් මාලාවක් අපට දී ඇත. “ඉතිරි කොටස,” “වෙනත් බැටළුවෝ” යනාදි වචන අපි භාවිතා කරමු. ක්ෂේත්‍ර සේවයේ දී මුණ ගැසෙන පුද්ගලයන්ට කථා කිරීමේ දී, අප එවැනි ප්‍රකාශයන් භාවිතා කළහොත් ඒවා ඔවුන්ට කිසි ම අර්ථයක් ගෙන නොදෙනු ඇත. වටහා ගත හැකි වීමට නම්, සුදුසු සමාන පද ආශ්‍රිතයෙන් ඒවා පැහැදිලි කළ යුතු ය. “අර්මගෙදොන්” සහ “රාජ්‍යය පිහිටුවීම” වැනි සඳහන් කිරීම් පැහැදිලි නොකළහොත් ඒවායේ අර්ථය නොවැටහෙනු ඇත.
5 මෙම අංගය ගැන සලකා බැලීමේ දී, ඔබේ උපදේශකයා ඔහුගෙන් ම මෙසේ ප්‍රශ්න කරනු ඇත, බයිබල් සත්‍යය නොහඳුනන පුද්ගලයෙක් ඒ කාරණය හෝ ප්‍රකාශය වටහා ගනියි ද? එවැනි දිව්‍යාණ්ඩු පද ඔබ විසින් භාවිතා කිරීම නිසා ඔහු ඔබ ව අවශ්‍යයෙන් ම අධෛර්යවත් නොකරයි. ඒවා අපේ වාග් මාලාවේ කොටසක් වන අතර, අපට ඕනෑ කරන්නේ අලුතෙන් උනන්දුව දක්වන පුද්ගලයෙකුට ඒවා හඳුන්වා දීමටයි. එහෙත් එවැනි පද ඔබ භාවිතා කළහොත්, ඒවා නිසි ලෙස පැහැදිලි කරන්නේ ද යන්න ගැන ඔහු සැලකිලිමත් වෙයි.
6-8. අපේ කථා සූදානම් කිරීමේ දී සුදුසු කරුණු තෝරා ගැනීමට අප සුපරීක්ෂාකාරී විය යුත්තේ මන්ද?
6 සුදුසු කරුණු තේරීම. පසුබිම අනුව ඔබ භාවිතා කරන යෙදුම් වෙනස් වෙන්නාසේ ම, ක්ෂේත්‍ර සේවයේ දී ද ඉදිරිපත් කිරීම සඳහා ඔබ තෝරා ගන්නා අදහස් වෙනස් වනු ඇත. සාමාන්‍යයෙන් අප අලුතෙන් උනන්දුව පෙන්නූ පුද්ගලයෙක් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඇතැම් දේවල් තෝරා නොගැනීම ඊට හේතුවයි. එවැනි අවස්ථාවල දී කරුණු තෝරා ගැනීම සම්පූර්ණයෙන් ම ඔබට භාර වේ. එහෙත් පාසලේ දී ඔබට පැවරුමක් දෙනු ලැබූ විට, ඔබ ඇතුළත් කළ යුතු කරුණු කලින් තෝරා ගැනීම කරන ලද ඒවා ය. ඒ නිසා ඔබේ තීරණය පැවරුමේ අන්තර්ගත දෙයට සීමා වේ. ඔබ කුමක් කළ යුතු ද?
7 ඔබට භාවිතා කළ හැකි කරුණු සීමා සහිත නිසා, ඔබ ප්‍රථමයෙන් කළ යුත්තේ, වඩාත් ම සුදුසු කරුණු වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීමට ඉඩ දෙන පසුබිමක් යොදා ගැනීමයි. ඔබ තෝරා ගන්නා කරුණු පිළිබඳවත්, ඔබේ කථාවට ඒවා ගැළපෙන්නේ කෙසේ ද යන්න ගැනත්, ඔබේ උපදේශකයා උනන්දු වෙයි. ක්ෂේත්‍ර සේවයේ විවිධ අංග සඳහා නොයෙක් ආකාරයේ කරුණු අවශ්‍ය වන බව, දැන් සලකා බලනු ලබන මෙම ගුණාංගයෙන් ඔබ ප්‍රදර්ශනය කිරීම ඊට හේතුවයි. නිදසුනක් ලෙස අලුතෙන් උනන්දුව දැක් වූ පුද්ගලයෙක් රැස්වීමට ආරාධනා කිරීමේ දී ද, ගෙයින්-ගෙට සාකච්ඡාවක දී ද, ඔබ එක ම කරුණු උපයෝගි කරන්නේ නැත. එබැවින්, ඔබේ පැවරුම නිවැසියෙක් සමඟ සාකච්ඡාවක් හෝ සාමාන්‍යයෙන් වේදිකාවෙන් කෙරෙන කථාවක් හෝ වුවත් ඔබ කියන දේවලින් සහ ඔබට පවරා ඇති විෂයෙන් ඔබ තෝරා ගන්නා කරුණු මගින්, ඔබ අමතන සුවිශේෂ ශ්‍රාවක පිරිස හඳුනා ගන්න.
8 කරුණු සුදුසු ද නැද්ද කියා තීරණය කිරීම සඳහා, ඔබේ උපදේශකයා ඔබේ කථාවේ අරමුණ සැලකිල්ලට ගනී. ගෙයින්-ගෙට යාමේ දී ඔබේ අරමුණ වන්නේ නිවැසියාට ඉගැන්වීමත්, තවදුරටත් ඉගෙන ගන්නා ලෙසට ඔහු ව පෙලඹවීමත් ය. නැවත හමුවීමක දී ඔබේ අරමුණ වන්නේ උනන්දුව වර්ධනය කිරීමත්, හැකි නම් නිවාස බයිබල් පාඩමක් ආරම්භ කිරීමත් ය. පාඩමකට පසු ව කෙරෙන සාකච්ඡාවක් නම්, ඔබේ අරමුණ වන්නේ නිවැසියා රැස්වීමකට ආරාධනා කිරීම හෝ ක්ෂේත්‍ර සේවයට සහභාගි වන ලෙස ආරාධනා කිරීමයි.
9, 10. අප තෝරා ගත් කරුණු සුදුසු දැයි තීරණය කළ හැක්කේ කෙසේ ද?
9 ඇත්ත වශයෙන් ම, සේවයේ එක ම අංගයේ වුවද, ඔබ තෝරා ගන්නා කරුණු අසන්නන් නිසා වෙනස් විය හැක. ඒ නිසා මෙයත් සැලකිල්ලට ගත යුතු ය. ඔබේ පැවරුමේ ඇති ඔබේ අරමුණට නොගැළපෙන කරුණු ඔබේ කථාවට ඇතුළත් නොකළ යුතු ය.
10 මේ සාධක හේතු කොට ගෙන කථාව සූදානම් කිරීමට කලින් ඔබේ පසුබිම තෝරා ගත යුතු ය. ඔබෙන් ම මෙසේ විමසන්න: මට ඉටු කිරීමට අවශ්‍ය වී ඇත්තේ කුමක් ද? මේ අරමුණ ඉටු කිරීමට අවශ්‍ය කරුණු මොනවා ද? කථාවේ තත්ත්වයට ගැළපෙන පරිදි මේ කරුණු අලුතෙන් හැඩ ගැසිය යුත්තේ කෙසේ ද? මේ කාරණා සම්බන්ධයෙන් ඔබ තීරණය කළායින් පසු, අපහසුතාවයෙන් තොර ව කරුණු තෝරා ගත හැකි අතර, ක්ෂේත්‍ර සේවයට ගැළපෙන පරිදි එම කරුණු ඉදිරිපත් කළ හැක.
11-13. අප ඉදිරිපත් කළ කරුණුවල ප්‍රායෝගික වටිනාකම පෙන්වා දීම වැදගත් වන්නේ මන්ද?
11 කරුණුවල ප්‍රායෝගික වටිනාකම ඉස්මතු කිරීම. කරුණුවල ප්‍රායෝගික වටිනාකම ඉස්මතු කිරීම යන්නෙන් අදහස් කරන්නේ එය තමාට සම්බන්ධ බවත්, එය තමාට අවශ්‍ය හෝ භාවිතා කළ හැකි දෙයක් හැටියට පැහැදිලි ලෙසත්, නොවරදින ලෙසත් නිවැසියාට පෙන්වා දීමයි. කථාවේ ආරම්භයේ සිට ම “මෙය මට සම්බන්ධයි” යනුවෙන් නිවැසියා අවබෝධ කර ගත යුතු ය. අසන්නාගේ අවධානය ලබා ගැනීමට මෙය අවශ්‍ය ය. එහෙත් එම අවධානය රඳවා ගැනීමට නම්, සම්පූර්ණ කථාව තුළ දී ස්ථිර ලෙස කරුණු එසේ පුද්ගලික ව අදාළ කිරීම අඛණ්ඩ ව කළ යුතු ය.
12 සබය සමඟ සම්බන්ධය පවත්වා ගැනීම සහ සබයට තර්ක කිරීමට උපකාර කිරීමට වඩා වැඩි යමක් මෙයට සම්බන්ධ ය. දැන් ඔබ ඊට වඩා දුර යමින් කරුණු නිවැසියාට පුද්ගලික ලෙස අදාළ වන බවත්, යෝග්‍ය වන බවත් පෙන්වා දිය යුතු ය. ක්ෂේත්‍ර සේවයේ දී අපේ අරමුණ වන්නේ පුද්ගලයන්ට දේව වචනය පිළිබඳ සත්‍යතාවය ඉගැන්වීමත්, ගැලවීමේ මාර්ගය ඉගෙන ගැනීමට ඔවුන්ට උපකාර කිරීමත් ය. එබැවින්, ඔබට සවන් දීමෙන් සහ ඔබ කියන දෙයට අනුව ක්‍රියා කිරීමෙන් ඔහුට ලැබෙන ප්‍රයෝජන උපායශීලීකමින් සහ සැලකිල්ලෙන් යුක්ත ව ඔබේ නිවැසියාට ඔබ පෙන්වා දිය යුතු ය.
13 මෙම කථික ගුණාංගය අන්තිමට පෙන්වා දී ඇත්තේ, එහි වැදගත්කම ඉතා අඩු නිසා නොවේ. මෙය ඉතා වැදගත් කරුණක් වන අතර එය කිසි විටෙකත් අතපසු නොකළ යුතු ය. ක්ෂේත්‍ර සේවයට එය වැදගත් වන නිසා, එය වර්ධනය කර ගන්න. ඔබ කියන දෙය නිවැසියාගේ ම ජීවිතයට යම් පමණකින් වටිනා බව ඔහුට පැහැදිලි ලෙස පෙනෙන්නට සැලැස් වූයේ නැත්නම් මද වේලාවකට හෝ ඔහුගේ අවධානය රඳවා ගැනීමට ඔබට හැකි වන්නේ කලාතුරකිනි.